පිටු

Thursday, December 29, 2016

නත්තල් රෑ කෝපි දන්සැල්...

හඳ පායා ඇති සීත රැයක කඳු පන්තියක් අසලින් ඇදී යන තෑගි කෝච්චියක චිත්‍රයක්...

නත්තලට ගමේ ගියේ 23 වෙනි දා. ගෙදර ගියාට ඉතින් ළමයි බලනවා හැර මට කරන්න එච්චර වැඩක් නම් නැහැ. තේ එක පවා අතට ලැබෙද්දි මං කරන්නෙ ඒ ගෙදරින් මේ ගෙදරට පුංචි පැංචන්ගෙ හුරතල් බලමින් එයාල යන යන තැන ඇවිද ඇවිද ඉන්න එකයි, කකුල් දෙකේ තියල නළව නළව මාත් නිදන එකයි, දරුවන්ගෙ අත්අඩංගුවෙන් මිදෙන්න ඉඩක් ලැබුණොත් කුස්සියෙ ඉවුමකට පිහුමකට දායක වෙන එකයි තමයි...

අපට නත්තල් පූජාව තිබුණෙ රෑ එකොළහමාරට. නින්දක් නිදියල නැගිටිද්දි මාර සීතලක්. මට හිතුණෙම පල්ලි නොයා ආයෙම ගුලි වෙලා නිදියන්න. අලුත් ඇඳුම ඇඳන් පල්ලි යන්න ආසාවට චූටි දෝණිත් කම්මැලිකම් නොකර නැගිටිද්දි, අවුරුදු එකහමාරක් වෙන චන්දු බබත් පල්ලි යන්න ලෑස්ති වෙද්දි මටත් ලැජ්ජ හිතුණා තවත් නිදාගන්න. ඉතින් මමත් නැගිටල ලෑස්ති වුණා.

අප්පා ... එළියට බැස්සම තමයි තරු පෙනුණෙ... ඒ තරම්ම සීතලයි. පල්ලි ගියත් ඇතුළෙ ඉන්න වුණේ නැහැ. චන්දු අඬන්න ගත්ත නිසා අපි උන්නෙත් එළියෙ. ඒ අස්සෙ ෆාදගෙ දේශනාව රබර් වගේ ඇදුණා. නත්තල් පිත්තල් වෙමින් තියෙද්දි ඈතින් වතුර මුට්ටි උණු කරමින් උන්නු තරුණ නඩය ඇස ගැටුණා. ඒ අපේ ගමේ බෞද්ධ තරුණ කණ්ඩායම. එයාල කෝපි දන්සැලකට සූදානම් වෙමින්.

ඉඟුරු විස්කෝතු සමඟ කෝපි කෝප්පයක්... පින්තූරය නම් අන්තර්ජාලයෙන්..
පල්ලි යද්දි කැමරා, ෆෝන් අරන් ගියෙ නැහැනෙ.. ඉතින් පින්තූර ගන්න බැරිවුණා...

පූජාව ඉවර වෙද්දි එකට කිට්ටුයි. ඒ සීතලේ ඉඟුරු විස්කෝතු එක්ක උණුහුම් කෝපි කෝප්පයක් කියන්නෙ දිව්‍ය අමෘතයක් තමයි. එය වඩාත් දිව්‍යමය වෙන්නෙ එතැන මතුවුණු ආගමික සමඟිය, සහෝදරත්වය. ඒ සීතල රෑ අපට කෝපි කෝප්පයකින් සංග්‍රහ කළ ගමේ බොදුනු සහෝදරත්වයට අප්‍රමාණ පින්...

..............

25 වෙනිදා උදේ සුපුරුදු විදියට වට පිටට කැවිලි බෙදල මහගෙවල්වල ගියා නත්තලට කතා කරන්න. දැන් ඉතින් මහගෙවල්වල වැඩිහිටි පරම්පරාවෙන් ඉතිරි අම්මගෙ අම්ම විතරයි. ඒත් ඒ නෑ ගමන යන්න දරු මුණුබුරෝ නම් එන්න එන්නම වැඩි වෙනවා...

.............

නත්තල් සීයා වුණු අයියා... පුංචි නත්තල් ආච්චි අයියගෙ චූටි දූ අයිලියා...


නත්තල් සීයා එක්ක ගම වටේ දරුවන්ට තෑගි බෙදමින් යන එක අවුරුදු ගණනාවක් අපේ පවුල්වල අය සතුටින් කළ වැඩක්. අපේ ගමේ නත්තල් සීයාගේ ආරම්භය ගැන මං ලියූ සටහනක් මෙතන ඇති...  කාලයක් ඒ නත්තල් ගමනට වැඩිහිටි නිවාසයකුත්, ළමා නිවාසයකුත් එකතු වෙලා තිබුණා. ආර්ථික ප්‍රශ්න උග්‍රව දැනෙන කාලෙට මේ තෑගි ටොෆියකට, බැලුම් බෝලෙකට සීමා වුණා. පහුගිය අවුරුද්දෙ යන්න පුලුවන් වුණේ වැඩිහිටි නිවාසයට විතරයි. මේ අවුරුද්දෙ යන්න අදහසක් තිබුණෙම නැහැ. ‘‘අනේ ලොකූ ගම වටේවත් යමු...‘‘ කියල අයියයි, නෑනයි ටවුන් ගිහින් ආවෙ ළමයින්ට දෙන්න තෑගි භෝග ටිකකුත් අරගෙනමයි. මං ළඟත් කතන්දර පොත් ටිකක් තිබුණා. ඉතින් අපි හැන්දෑවෙ ගම වටේ නත්තල් සීයා එක්ක රවුමක් ගියා තෑගි බෙදමින්... ළමයින්ගෙ හිනා මූණු දැක්කම ඊට වඩා නත්තල් තවත් කොයින්ද?





.............

තවත් අමතකම නොවන දෙයක්... චන්දු බබාගෙ ආච්චි අම්මයි, සීයා තාත්තයි මේ සැරේ නත්තලට ඇවිත් තිබුණා අපි එක්ක නත්තල් සමරන්න. 27 හවස ඒ දෙන්නයි, මමයි එකටමයි ආපහු එන්න පිටත් වුණේ.

‘‘පුතේ ආච්චිඅම්මට ජේසු කියන්න..‘‘ මං එහෙම කියද්දි චන්දු බබා උන්නෙ මිදුලෙ ඇවිද ඇවිද... එයා එතනම වැල්ලෙ දණ ගහල පුංචි අත් දෙක එකතු කරල ජේසු කිව්ව හැටි මට තාම මැවිල පේනවා. තාම අවුරුදු එකහමාරයි. නත්තලට අම්ම තාත්තට වඳිද්දි, අපි හැමෝමත් වැඩිහිටියන්ට වඳිනවා. ඒ අතර අපේ පැටව් ටිකත් කෝලම් කර කර වඳිනව බලන්න ලස්සනයි...

නත්තල් රෑ පවුලේ භෝජන සංග්‍රහය නිමවෙලා මල්ලිල පිටත් වෙද්දි 

‘‘මම්මෙ ඔයා අපේ ගෙදර දොයියන්න එන්න...‘‘ කියපු සසෙන් බබාගෙ අහිංසක මූණ මට මැවිල පේනවා...

‘‘අම්ම එන්න කළින් අපි ඉස්කෝලෙ වැඩ ඉවර කරල අම්මව පුදුම කරවමු..‘‘ කියද්දි ‘‘හා අපි එහෙම කරමු... අම්මට සතුටු හිතෙයි...‘‘ කියල ඇස් නටව නටව කිව්ව චූටි මිමිත් මතක් වෙනවා.

යාම්තං අඩිය තියල ඇවිදින ගමන් තාල අල්ලන, නටන සවිරු බබා...

‘‘ලොතු නැන්දෙ ඔයා මොතද තලන්නෙ?‘‘ අහමින් වටේ කැරකෙන අයිලියා...

මේ තමයි අපේ ලෝකෙ... එයාල එක්ක ඉද්දි වෙලාවකට යුද්දයක් වගේ වුණත් හැමදාම නත්තල් තමයි...

චන්දු... සවිරු...

චන්දුට නත්තල් සීයා දුන්නු තෑග්ග ගිටාර් එකක්.. එයා ඒකට හරිම ආසයි... 


    

Wednesday, December 21, 2016

කෝඩුකාරී

මුහුදු වෙරළේ තනිව ඈත බලා සිටින යුවතියක්...
සිතුවම  Vicente Romero Redondo ගෙන්‍ෙ

කෝඩුකාරී
ප්‍රේමයේ නුරාගි සිඳු වෙරළේ
මා දැල් හෙලන්නී
ස්නේහයේ මීන දෙනුවන්
කෝ කොතැනදැයි අසන්නී
කෝඩුකාරී...

ඉරු සේල ළිහි ළිහී
වියන් බඳිනා පාඩුවේ
අම්බාව රැව් දිදී
කිම හදේ වීණාව බින්දේ...

පුලුක්කන දියඹෙහි මිදී
ගිමන් හරිනා ඉසව්වේ
මීන සිතුවිලි කැළඹි කැළඹී
නීල සයුරෙහි සලිත වේ...

ඇනියෙන් ගියත් කොයි
අවරෙන් ගියත් කොයි
රුවල් ඔරු සිඳු සරයි
නිදැල්ලේ...

තොටමුණක් කෝ කොහිද
තරු ලකුණු  නිනව් නැති දනව්වේ
වාරු බැඳි රුවල් අත් ගිලිහිලා
කවුරුන්ද මං ලකුණු සැඟෙව්වේ..


.............

ධීවර භාෂාවත් එක්ක කළ අත්හදා බැලීමක්...

අම්බාව - දැල් ඇදීමේදී වෙහෙස නිවා ගැනීමට සිදුකරන සමූහ ගායනය
පාඩුව - දැල එළීම සහ ඇදීම කරනු ලබන ප්‍රදේශය 

පුලුක්කන - මුහුද නිසලව පවත්නා කෙටි කාල සීමාව 
ඇනියෙන් ගියත් කොයි අවරෙන් ගියත් කොයි - ජීවත්වීම හෝ නොවීම එක හා සමානව පිළිගැනීම ( ජීවත් වුණත්, මැරුණත් එකයි. )

Sunday, December 18, 2016

නත්තල එන්න... ආගම්වාදය පුපුරුවා හරින්න.


( මර්සලින් ජයකොඩි පියතුමාගේ සහජීවන භූමිකාව පිළිබදව මහින්ද නාමල් සොයුරා කළ කතාවක්... )

ඒ, 1983 අගොස්තු 31 වෙනිදා සැඳැවයි. ස්ථානය පිලිපීනයේ මැනිලා අගනුවරයි. ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන මැග්සෙයිසේ සම්මාන රාත‍්‍රීයට පෙර එම ත්‍යාග කමිටුව සම්මානලාභින් සමඟ කරන සම්ප‍්‍රදායික කෙටි පිළිසඳරයි. අපේ කථා නායකයා වන ගරු මර්සලීන් ජයකොඩි නිර්මල මරිය නිකායික පියතුමා කමිටුව හා පිළිසඳරේ යෙදේ. කමිටු සාමාජිකයෙකු එතුමාගෙන් මෙසේ විමසයි.

‘‘ඔබ තුමන්ගේ දීර්ඝකාලීන සාහිත්‍ය සේවාව තුළින් කී දෙනෙකු කතෝලික ආගමට හරවාගෙන තිබෙනවාද?’’......

‘කිසිවෙක් නෑ’ පිළිතුර සෘජුය. කෙටිය.

‘‘කිසිවෙක් මගේ ආගමට හරවා ගන්න මට ඕන කළේ නෑ. මට අවශ්‍ය වූයේ මට හමුවන හැම කෙනෙකුගේම හදවත තුළ තිබෙන පහන, ආලෝකය දල්වාලන්නයි’’

පිළිසඳර තුළ නිහැඩියාවකි. එතුමා කිසිවෙක් ආගමට හරවාත්තේ නැතිවා විතරක් නොවෙයි. කිතුනු පූජකයෙකු ලෙස මෙහෙම ලියනවා.

නෙත යන යන තැන වෙහෙරක් තැනියන්
වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනියන්
ඉන් එන පණිවුඩය නුවණට දැනියන්
දුටු දුටු විට සිත තුළ සිල් ගැනියන්

අද කොයි ආගමක කුමන ආගමික පූජ්‍ය, පූජකවරයාද හදවතින් එහෙම කියන්නේ. අන් ආගමක පූජනීය සිද්ධස්ථාන, පල්ලි පන්සල්, කෝවිල් දකින දකින තැන තැනියන් කියන්නේ. අද තිබෙන්නේ තමන්ට ඕන තැනක ඕනැ දෙයක් කරන්න පුළුවන්. හැබැයි අනිත් ආගමිකයින් තමන්ගේ තැනේ මුකුත් නොකල යුතුයි කියන අධිපතිවාදය මෙතනදි මර්සලින් ජයකොඩි පියතුමා පවසන්නේ,වෙහෙර විහාර, පල්ලි. පන්සල්, කෝවිල් වලින් සැබෑවට පැමිණිය යුතු ධාර්මික හරයට සීලවන්තකමට සියලූ දෙනා පැමිනිය යුතුයි කියන අදහස...

එහෙම නැතිව අද පවතින පල්ලි, පන්සල්, කෝවිල් පිළිම ප‍්‍රතිමා සෑදීමේ මුග්ධ තරඟය නොවෙයි. අනෙකා යටපත් කරන අධිපතිවාදය ව්‍යාප්ත කිරිම නොවෙයි. අද ආගම් අතර පමණක් නොවෙයි එකම ආගමේ පල්ලි පල්ලි අතරත් පන්සල් පන්සල් අතරත් තරඟය. ඒක මහා අවිද්‍යාවක්, අධර්මයක්. මෝහාන්ධකාරයක්.

දැන් මා ඔබව රැගෙන යන්නේ ඒ අගොස්තු 31 වෙනිදාවේ ගරු ගාම්භීර සම්මාන ප‍්‍රදානෝත්සවය වෙතටයි. අප කථා නායකයාණෝ සම්මානය ලබා ගැනීමට වේදිකාවට පැමිණෙයි. නිවේදකයා ප‍්‍රශ්නයක් විමසයි.

‘‘ඔබ මේ ත්‍යාගය ලබන්නට සුදුසු වන්නට කුමක් කළෙහිද?’

‘‘මම වැඩි දෙයක් කරලා නෑ. අප රටේ ජනයාගේ සාමය සහෝදරත්වය පතා කවි කීපයක් ලියලා තිබෙනවා’’

මේ නිහතමානී පිළිතුර මුළු උත්සව සභාවම මොහොතකට නිහඬ කරන්න සමත් වුනා. එදින සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා එතුමාගේ පිළිතුර ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවා.

‘‘සහජීවනය කියන්නේ මිනිසුන්ගේ හදවත සාමයෙන්, සහෝදරත්වයෙන්, ගරුත්වයෙන් එකතු කිරිමයි’’

කොතරම් නිහතමානී පිළිතුරක්ද? සැබෑ ලෙස සංහිඳියාව වෙනුවෙන් ක‍්‍රියා කරන්නේ නිහඬව ජනතා හදවත් සමඟ වැඩ කරන මිනිස්සු. අද තියෙන්නේ සංහිඳියා ඝෝෂාවක්. දේශපාලකයින් තම තමන් කරපුවා ගැන කයිවාරු ගහනවා. ඒත් පසුගිය දශක හතක පමණ කාලය තුළ සංහිදියාව සඳහා කරපු දේ වල ප‍්‍රතිඵල ලේ ගංගා ලෙස ගලා ගිය බව අපි දන්නවා. අද වුනත් ජනතාව තේරුම් ගත යුතු දේ තමයි ජනතාව පෙරට විත් බල කළොත් මිස දේශපාලකයින් තම බලය ධනය පරදුවට තබා සංහිදියාව ඇති නොකරන බව.




මර්සලින් ජයකොඩි පියතුමාගේ සහජීවන භූමිකාව ගැන ඉතා කෙටියෙන් අදහසක් ඉදිරිපත් කිරීම එතුමාට කරන අසාධාරණයක්. එය පුළුල් නිබන්ධනයකින් සිදු කළ යුත්තක්. ඊට යම් ප‍්‍රස්ථාවනාවක් සැපයීමයි මේ සිදුකරන්නේ.

සහජීවනය ඇති කරන්න නම්, අපි ඒ සමාජයේ සිටින සියළු දෙනාටම ජාතිය, ආගම, ප‍්‍රදේශය, කුලය නොසලකා සම අවස්ථා සහතික කරන්න ඕනා. දක්ෂතාවය මත ඉදිරියට යන්න හැකිකම ඇති කරන්න ඕනා.

අල්හාජ් මොහිදින් බෙග් කිව්වම අපේ මතකයට එන්නේ බොදු බැති ගීත. ඒ කලා කරුවා බොදු බැති ගී ගැයුවේ සහජීවනය ඇති කරන්න කරන ව්‍යාපෘතියක් ලෙස නොවෙයි. ඔහුගේ හැකියාවට තැන ලැබුණා. ඔහුගේ ආගම ජාතිය නොවෙයි බැලූවේ දක්ෂතාවය. සහජීවනයේ මාවත වැටි තිබෙන්නේ හැම දෙනාටම සම අවස්ථා ලබාදෙන ව්‍යවස්ථාවක්, සමාජ ආර්ථීක ක‍්‍රමයක් ස්ථාපිත කර ගැනීම තුළයි. නමුත් අද ඇතැම් අන්තවාදින් බෙග් මහතා බොදු බැති ගී ගැයීම පවා විවේචනය කරනවා. ඔහුගේ උච්චාරනයෙන් අගතියක් වු බව පෙන්වා දෙනවා. නිදහස් දිනයේ ජාතික ගීය පුහුණු කරන්න මර්සලින් ජයකොඩි පියතුමාට බාර දෙන්නේ ආගම ගැන සලකලා නොවෙයි. දක්ෂතාවය ගැන සලකලා.

මාටින් ලූතර් කිං පැවසු සේ ‘‘මගේ දරුවන් සතර දෙනා ඔවුන්ගේ සමේ වර්ණයෙන් නොව, ඔවුන්ගේ ආගම් හා ජාතියේ නාමයෙන් නොව, ඔවුන්ගේ හැකියාව, දක්ෂතාවය මත විනිශ්චය වන දවසක් උදාකර ගැනීම තුළය.’’ සහජීවනය උදාවීමට නම් ජාතිවාදය, ආගම්වාදය මිනිස් හිස් තුලින්, මිනිස් හිත් තුලින් තුරන් විය යුතුයි.

ජයකොඩි පියතුමා මිය ගිය විට දයාරත්න රණේපුර කවියා ලියු කවියේ මාතෘකාව මට මතක් වෙනවා.

‘ඔබ විය අපේ යුගයේ සමනල කන්ද ’

අපි දන්නවා සමනල කන්ද සියලූ ආගමිකයින්ට පූජනීය තැනක්. එත් පසුගියදා ඒ බිමේ මුස්ලිම් භක්තිකයෙක් හෝටලයක් හඳනවා කියලා ඉතා ජාතිවාදි ප‍්‍රචාර බෙදාහැරියා. හෝටලයකින් එකි පරිසර පද්ධතියට හානියක් වෙනවා නම් ඒක මුස්ලිම් කෙනෙකු වෙනුවට සිංහල කෙනෙක් හැදුවම ඒ හානිය අවම වෙනවාද? මෙන්න මේ ජාතිවාදය, මෙන්න මේ ආගම්වාදය අප සිත තුල තිබෙනවා නම් අපිට බෑ. මර්සලින් ජයකොඩි පියතුමාට ගරු කරන්න.

ගුණදාස ලියනගේ ශුරින් ජයකොඩි පියතුමා ගැන ලියු ලිපියක මෙහෙම සඳහනක් තිබේනවා.

‘කතෝලික පූජකවරයෙකු, කවියෙකු, සංගීතඥයෙකු යනාදි විවිධ ආකාරයකට හඳුන්වා දිය හැකි මර්සලින් ජයකොඩි පියතුමා වෙතින් මේ රටට සිදු වී ඇති විශිෂ්ඨ සේවා අතරින් විශිෂ්ඨම තැනක් ගන්නේ ආගමික සහජීවනය සම්බන්ධයෙන් කරන ලද සේවය’

එතුමා ඒ සහජීවනය ගැඹුරින් දුටුව කෙනෙක්, විවේචානාත්මක දුටුව කෙනෙක්, මේ බලන්න එතුමා ‘කුමට ආගම් මිනිමරත් නම්’ යන හිසින් ලියු කවි පංතියේ කොටසක්.

කුමට පල්ලිය කුමට පන්සල
කුමට කෝවිල මිනි මරත් නම්
ගම් නසත් නම් හිරි බිදිත් නම්
ගෙදර දොර සුන්බුන් කරත් නම්
මිනිස් හිමිකම් නැති කරත් නම්
එළිය උණුසුම සුන් කරත් නම්
කන්න නැත්නම් ඉන්න නැත්නම්
යනෙන රිය ගිනිබත් කරත්නම්

මෙයට වගකිව යුතුය ඔබ මම
එලෙස කීමට උරන වෙනවාද
ඇත්ත තිත්තයි හාමදුරුවනේ
දෙවොල අප දැන් දමලා යනවද
එසෙත් නැත්නම් අතට අත දී
සීල ලීලෙට සවන් දෙනවද
සවන් දී අප මෙයින් මතුවට
සොයමු අප කළ යුත්තේ මොනවාද?

බොහෝ විට අප ඉස්මතු කරන්නේ ජයකොඩි පියතුමාගේ සරල, සුකුමල සිනිග්ධ, මටිසිලිටි කවිත්වය. නමුත් මේ කවිය තුල තිබෙන ධර්මය වෙනුවට ආගම්වාදය ඉස්මතු වු තැනක ආගමික නායකයින්ගේ කාර්යභාරය ගැන කම්පිත හඬින් කරන ප‍්‍රශ්න කිරිමක්. ඒ වගේම කළ යුතු මෙහෙය ගැන මඟ පෙන්වීමක්.


මුස්ලිම්-සිංහල, සිංහල-දෙමළ, බොදුනු-කිතුනු, මුස්ලිම්-දෙමල, බොදුනු-හින්දු ආදි වශයෙන් විවිධ ගැටුම් මේ පුංචි රට තුල අත්විඳලා තිබේනවා. ඒවා නිමා වීමට කැමැති බවක් පේන්නේ නෑ. තවම සමහර අයට ආගම්වාදය ජාතිවාදය තම පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍යව තිබෙන බව මේ මොහොතේත් රට තුලින් පෙනී යනවා. ආගම නාමයෙන් මිනි මරා ගන්නවා නම් මොකටද ආගම් කියලයි උන්වහන්සේ අහන්නේ.

උන්වහන්සේ මේ කවියෙන් ආයාචනා කරන්නේ මේ රටේ සියලූ ආගමික නායකයින්ටයි. සහජීවනය සඳහා පෙරමුණ ගන්න කියලා. ඒ සඳහා දේපල, පිළිවෙත්, ඔළුගෙඩි ගණන ගැන සිතන එක පසෙකට ලා සීලය, ධර්මය මතු කරගනිමු කියලයි උන්වහන්සේ කියන්නේ.

සීලය කියන්නේ ආගම් අපට පෙන්වා දී ඇති ජීවිත ක‍්‍රමය, ජීවත් විය යුතු ආකාරය, බුදුනුවාට පන්සල්, කිතුනුවාට දසපනත, ඉස්ලාම් භක්තිකයාට පංච වගකිම්. අන්න ඒවා ඉටුකරන්න පටන් ගනිමු. එවිට අපි අතර ගැටුමක් නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට දෙව් මැදුරට යන්න පුළුවන්. සියළු දෙනාගේ ගැලවීම උදෙසා දිවි පිදු කිතු තුමන්ගේ ප‍්‍රතිමාව ඉදිරියේ ඉඳගෙන ආගම්වාදය, ජාතිවාදය වපුරන්න පුළුවන් ඒත් එවැනි අයට ස්වර්ගයට යන්න නම් ලැබෙන්නේ නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට පන්සල් යන්න පුළුවන්. සියළු සත්වයෝ නිදුක් වෙත්වායි පැතු බුදු හිමිහියන්ගේ පිළිරුව ඉදිරියේ ඉඳගෙන ආගම්වාදය ජාතිවාදය වපුරන්න පුළුවන්. ඒත් එවැනි අයට නිවන් දකින්න නම් ලැබෙන්නේ නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට මුස්ලිම් පල්ලියට යන්න පුළුවන්. පල්ලියේ ඉඳගෙන ආගම්වාදය ජාතිවාදය වපුරන්න පුළුවන්. ඒත් එවැනි අයට අල්ලාහ් සමඟ එක්වීමට නම් ලැබෙන්නේ නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට හින්දු කෝවිලට යන්න පුළුවන්. හැබැයි එවැනි අයට මහාත්මය සමඟ එක්වෙන්න නම් ලැබෙන්නේ නෑ.

ආගම්වාදින් හා ජාතිවාදින්ට ස්වර්ගයට යන්න අවශ්‍ය නම්, නිවන් දකින්න අවශ්‍ය නම්, මහාත්මය සමඟ එකතුවෙන්න අවශ්‍ය නම්, අල්ලාහ් ලබාදෙන පාරාදීසය අයිති කරගන්න කැමැති නම්, තමන් ජාතිවාදි වීමෙන් ආගම්වාදි වීමෙන් සිදුකල මහා පාපකර්මය, මහා අකුසලය තේරුම් ගෙන වෙනස්විය යුතුයි. ආගමික හා ජාතික සහජීවනය සඳහා කැපවී වැඩකල යුතුයි. අංගුලිමාල අංගුමාල තේරුන් උනා සේ වෙන්ස් විය යුතුයි. පව්කාර ස්තී‍්‍රයක් සාන්තුවරියක් උනා සේ වෙනස් විය යුතුයි. වන්ඩාශෝක ධර්මාශෝක ලෙස වෙනස් වූවා සේ වෙනස් විය යුතුයි.

සතුරාට කමා කිරිමට ඉගැන්වු, වෛර කරන්නාට සෙත් පතන්න ඉගැන් වූ කුරුසිය මත මහා පේ‍්‍රමයෙන් වැඩ සිටින්නාවු ජේසු සමිඳුන්ට මම නමස්කාර කරමි. ගෞරව කරමියි කියමින් ඒ මුවෙන්ම ජාතිවාදය ආගම්වාදය අවුසන්නේ නම් ඒ වනාහි දේව වන්දනාවක් නොව දේව අපහාසයකි.

අනන්ත ගුණයෙන් යුතු අනන්ත ඥානයෙන් යුතු මහා කරුණාවෙන් වැඩ සිටියා වු බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවායි පතමින් ඒ මුවින්ම ජාතිවාදය ආගම්වාදය අවුසන්නේ නම් ඒ වනාහි බුද්ධ පූජාවක් නොව බුද්ධ පීඩාවකි.

ජයකොඩි පියතුමාට කිව්වේ පන්සලේ පියතුමා කියලා. සමහරු ඇහැව්වා ඔබ තුමා ඇයි මෙච්චර පන්සලට ගරු කරන්නේ කියලා. එතුමා දුන්නු පිළිතුර තුළින් මා ඉහතින් දැක් වු අදහස සනාථ කරනවා.
මා පන්සලට ගරු කරන්නේ මා පල්ලියට ගරු කරන නිසාය.

පන්සලත් පූජා බිමකි
පල්ලියත් පූජා බිමකි.

බුදු දහම මට එක මිටං ගත හැකිය. එහි හරය එක වචනයක කැටිවි ඇත. ඒ වචනය මෛතී‍්‍රයයි. මගේ දහමත් අනිත් මිටට ගත හැකියි. එයත් එක වචනයකට කැටි වි ඇත. ඒ වචනය පේ‍්‍රමයයි. මෛත‍්‍රියත්, පේ‍්‍රමයත් ගැටෙන්නේ මන්දැයි මට නොතේරන දෙයකි.

මම කැමැතියි මෙතනදි උන්වහන්සෙගේ අදහසට තව එකතු කිරිමක් කරන්න. ඉස්ලාම් දහමේ හරයත් අපිට එක මිටට ගන්න පුළුවන්. ඒ තමයි සාමය.

එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. මෛතී‍්‍රයත්, සාමයත්, පේ‍්‍රමයත් නම් අපි තුළ තිබෙන්නේ එතැන ගැටුමක් තියෙන්න බෑ. ඇයි මේ ගැටුම්? ධර්මයේ සාරය වෙනුවට මමත්වයෙන් පිරුණු අහංකාරයෙන් පිරුණු, ඇවතුම් පැවැතුම් වලට මුල්තැන දීම නිසයි. ප‍්‍රතිපත්තිය වෙනුවට ආමිසය ආගම කරගත්තු නිසයි. ධර්මස්කන්ධය වෙනුවට දේපල මුල් කරගත් සසුනට මුල් තැන දීම නිසායි. මතක තියාගන්න අනෙක් ආගමිකයා කෙරෙහි යම් වෛර සිතුවිල්ලක් ඇති කරන කවරෙක් හෝ වෙත්නම් ඔහු ධාර්මික මිනිසෙක් නොවෙයි. අද අපේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය වැඩිපුර ප‍්‍රචාරය ලබා දෙන්නේ අන්න ඒ ධර්ම විරෝධි මතවාද වලට. සහජීවන මතයට ඉඩ හරිම අල්පයි.

මේ රටේ මූලික ධාර්මික පදනම හැදුවේ බුදු දහම ඒ ගරුත්වය බුදු දහමට ලැබෙනවා. ලබා දිය යුතුයි. ඒ සමඟම අපි පිළිගත යුතුයි අද වන විට අප රටේ ඇති පොහොසත්කම වන්නේ ආගමික වාර්ගික විවිධත්වයයි කියන එක.මිනිස් වර්ගයා වුනත් ප‍්‍රබල වන්නේ ජාන සම්මිශ‍්‍රණයෙන්. විවිධ සම්ප‍්‍රදායන්ට ගරු කිරිමෙන් අපේ ප‍්‍රඥාව පොහොසත් වෙනවා.

ඉතා මෑතකදි කීර්තිභාවශේෂපගත වු අපේ මහා සංගීත ප‍්‍රාඥයා පණ්ඩිත්අමර දේවයන්ගේ විශිෂ්ඨත්වයට එතුමාගේ මව්පිය දෙපලගේ විවිධ වු ආගමික සම්ප‍්‍රදායද බලපෑවා. මෙතොදිස්ත කිතුනු මවකට හා බෞද්ධ පියෙකුට දාව උපන් ඔහු පන්සලේ දොරකොඩ අස්න පල්ලියේ කැරොල් ගායනයන් දෙකටම සහභාගී වී තමයි සංගීතය නම් විශ්ව භාෂාවට මුල් පොත් තැබුවේ.‍

ආගමික සහජීවනය ඇති කළ හැක්කේ අනෙකාගේ සංස්කෘතිය යටපත් කිරිමේන්වත් ජාතිවාදි හෝ ආගම්වාදි ලෙස තමාගේ සංස්කෘතිය මතු කිරීමෙන්වත් නොවෙයි. අනෙකාගේ සංස්කෘතියට ගරු කිරීමෙන් පිළිගැනීමෙන්.

අපේ මර්සලිනු ජයකොඩි පියතුමාටත් තිබුණා කිතුනු හා බොදුනු සංස්කෘතික ආභාෂයන් දෙකම. එතුමා පූජක තුමෙකු වුණාට අම්මගේ පරපුරේ සංස්කෘතිය ඇදහිල්ල කිසිදු දිනක අඩු තක්සේරුවට ලක් කළේ නෑ. මේ බලන්න.

මගේ අම්මගේ අම්මා දිනෙක
නෙළුම් මලක් නෙළලා
පෝය රෑක බුදුන් වැන්දා
දුවක් දෙන්න කියලා.

ඔහොම ටිකක් කල් යන කොට
මගේ අම්මා කියලා
ඒ පොඩි මල දුවක් වෙලා
ආවා මා සොයලා

අනෙකාගේ සංස්කෘතියට ගරු කරන්න. පිළිගන්න. විශිෂ්ඨම, හොඳම උතුම්ම නිවැරදිම අපේ දහම කියන තැනට ගිය ගමන් සහජීවනය බිඳ වැටෙනවා. මට උතුම්ම මගේ ආගම වෙද්දි තව කෙනෙකුට ඔහුගේ ඇයගේ ආගම උතුම්ම ආගම ලෙස පේන්න පුළුවන් බවවත් තේරුම් ගන්න. ජයකොඩි පියතුමා කිව්වේ ඒකයි. 


අවසාන වශයෙන් සහජීවනය ඇති වෙන්නේ අපි සියලූ ආගම් හි හරය වන පේ‍්‍රමය, මෛතී‍්‍ර, සාමය තුල පවතින විටයි.

ඉතිං මේ කෙටි අදහස් දැක්වීම අවසන් කරන්නටත් මා තෝරා ගත්තේ ජයකොඩි පියතුමා මේ සත්‍යය ඉස්මතු කර ලියු විශිෂ්ඨ කවි පංතියක්.

දවසක මටත් මල් පොකුරක් විය හැකි ද
මල් වට්ටියක නැඟ පිදුමට ගිය හැකි ද
හංවඩුවට නොව දහමට දිය හැකි ද
දවසින් දවස දියුනේ ලිය ලිය හැකි ද

කොයි හංවඩුව තිබුනත් ආගමේ කියා
කොයි පනිවුඩය තිබිණිද බයිබලේ ලියා
ආදරයයි ආගම යනු සිතේ තියා
මල් ගෙන පුදෙමු ඒ ආගම ලොවේ සොයා

නත්තල එන්න මේ බව පහදා දෙන්න
මල්පැල ගවහලය තැන දෙවිදුන් ඉන්න
මිනිහා හදයි මාළිගා නටබුන් වෙන්න.
ගවහල මල්පැල සැමදා පවතින්න.

ජයකොඩි පියතුමා නත්තලට ආයාචනා කරනවා. නත්තල එන්න ඇවිත් ආගම්වාදයේ පටු පවිටු පවුරු පදනම් බිඳ දමන්න කියලා.

ආගම ධර්මය තිබෙන්නේ කි‍්‍රස්තියානි ආගම, බුද්ධාගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම කියන හංවඩුවල නොවෙයි. පේ‍්‍රමය, ආදරය, මෛත‍්‍රීය, සහෝදරත්වය තුළයි. ආගම් තිබෙන්නේ මහා දෙව්මැදුරවල. මහා පන්සල් වල, මහා ඉස්ලාම් පල්ලි වල, මහා හින්දු කෝවිල්වල නොවෙයි. සරල අල්පේච්ඡ හදවත් වල. මනුෂ්‍යත්වය උතුරා හැලෙන හදවත්වල. මහා දෙව් විමන් කඩා වැටෙන්න පුළුවන්. බිඳ දමන්න පුළුවන්. ඒත් පේ‍්‍රමනීය හදවත් මෛතී‍්‍රය පිරුනු හදවත් බිඳ වැටෙන්නේ නෑ. සුරුවම් ප‍්‍රතිමා බිඳ දමන්න පුළුවන්. ඒත් බුදුන් වහන්සේ කි‍්‍රස්තුස් වහන්සේ මොහොමඞ් නබි තුමා වැනි මහා පුරුෂයන්ගේ ධර්මය බිඳ දමන්න බෑ. හංවඩුව නොවෙයි වැදගත් හරයයි වැදගත්.

හංවඩුව වෙනුවෙන් ගහගන්න, මරාගන්න මිනිසුන් සිටිනවා නම්, ඔවුන්ගෙන් ඈත් වෙන්න ඕනි. ඔවුන් නත්තලේ හරය මරා දමන්නන්.

ජයකොඩි පියතුමාගේ කාර්යභාරය ගැන විවේචනයකුත් තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ බොදුනු කිතුනු සහජීවන ගැන කි‍්‍රයා කළ තරමට අනිකුත් ආගම් අතර සහජිවනයට කි‍්‍රයා නොකල බවට වන විවේචනය හා එතුමාගේ භාවිතාව තුල සිංහල අධිපතිවාදය පැවැතුන බවට වන විවේචනය මේ ලිපිය ඒ ගැන විමසීමට අවස්ථාවක් නොවුනා වුණත් ඉහත කී විවේචනය ගැන මේ ලියුම්කරු එතුමා සමඟ කළ සංවාදයක් ගැන කෙටි සටහනක් තැබීම යුතුකමක් සේ සලකනවා.

වර්ථමානයේ නම් සියලු නාමධාරි පූජ්‍ය පූජක උතුමන්ලා වැඩ වසන ලැගුම් හල්, ආවාස ගෙවල්, සාතිශය බහුතරය සූඛෝපභෝගි ඒවා. එතුමා අවසන් කාලයේ ජීවත් වු කොළඹ හැව්ලොක් හි පිහිටි නිවසේ කුඩා කාමරය ඉතා අපිස් ජීවිතයක සංඛේතයක්. ගරු අර්නස්ට් පෝරු තොට පියතුමා එහි වාසය කරන කාලයේ කීපවිටක් මේ ලියුම්කරු එහිදි ජයකොඩි පියතුමා මූණගැසී තිබෙනවා. උතුර හා දෙමල ජනතාව පිළිබඳ එතුමාගේ ලිවීම් යොමු නොවීම ගැන අප කළ සුහද කතිකාවකදි එතුමා තමා යාපනයේ ගත කළ කාලය සිහි කරමින් කියු කාරණය වන්නේ ‘‘යාපනයට යන තුරු අපි නොවන බවයි’’ මේ අදහස පිළිබඳ විස්තරයක් සෝමසිරි කස්තුරිආරච්චි විසින් ලියු ජයකොඩි පියතුමාගේ පිය සටහන් පොතේ සඳහන් වෙනවා. එතුමා අප හා බෙදාගත්තේ ද්‍රවිඩයන්ගේ සංස්කෘතියෙන් අප ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙන බවයි. ඔවුන්ට අදින සංස්කෘතියක් ඇති බවයි.

පියතුමා උතුරට ඇළුම් කළේ ගමට ඇළුම් කරන ආකාරයටය. ඒ උතුරේ ජන ජීවිතයේ පැවැති දයාබර සංස්කෘතික දිවිය නිසාය. ‘‘මා ගමට - උතුරට ඉඳිකටුව සේ හැරෙන්නේ එහි කොටු කල ගෙවල් නැති නිසාය. මිනිසා වඩා දයාබර නිසාය’’ 1956 පෙරලිය හා මුසුවු අයෙකු ලෙස ජයකොඩි පියතුමාගේ දැක්මේ මූලික පදනම හෙළ ගතියයි. දේශීයභාවයයි. ‘අප රට බෙදන්න බෑ’’ ඇතුළු බොහෝ කවිවල මෙන්ම ගීතවලද එය ගැබ් වී තිබේ. නමුත් එපමණින් එතුමා ජාතිවාදියෙකැයි කීව නොහැකිය. ඒ පරපුරේ සෞන්දර්යවාදියෙකු මිස විමුක්තිවාදියෙකු නොවන්නෙකුගෙන් අපට ඊට එහාට යමක් බලාපොරොත්තු විය නොහැකිය. ප‍්‍රශ්නය ඇත්තේ ජයකොඩි පියතුමාගේ සහජීවන මාවතේ ඉතිරි දුර නොගිය පසු පරපුර තුළය.

මහින්ද නාමල්...


.................................................
 
ගරු මර්සලින් ජයකොඩි පියතුමා ලියූ නත්තල් ගීතිකා කිහිපයක්

සීනු හඬින් ලොව පිබිදෙනවා...



රෑ තරු බබළනවා...




Thursday, December 1, 2016

පුංචි පුතු හද සරැලි බින්දා...

By Gustav Klimt
පුතකු ඔසවාගෙන සිටින මවකගේ පින්තූරයක්... 

මේ බලන් පුංචි පුතු,
ඉස්සර මෙතැන
ලස්සන වැවක් තිබුණා...
ස්විමිං ෆූල් එක වාගෙම නැති වුණත්
හරිත පෑ නෙළුම් යායට යටින්
නිල් කැටෙක විල් දියක් දිලුණා...

අර ඈත පොල් රුප්පාවට උඩින්
ඉර එළිය එබිකම් පාන කොට
රත් නෙළුම්, ඕලු, මානෙල්
නිදිගැටැර සිනාවෙන් සැලුණා...

නෙළුඹුපත් දරුන් සේ
දෝතින් දරාගත් පිනි කැටිති
ඉර කිරණ නෑවි නෑවී
පළිඟු කැට වාගේම දිලුණා...

පුහු පොල් වාරු ගෙන
දිය මත පීන පීනා කෙළි පෑ
ළමා ළපටින් අතර
පුතුගෙ සුදු අම්මිත් උන්නා...

වස්සානයේ උස් මහත් වන වැව් දිය
හීන් සීරුවෙ වාන් දමනා කාලෙට
දිය රැලි මාලයේ එතීගෙන
තිත්ත පැටවුන් දුර නෑ ගමන් ඇදුණා... 

සොරොව් දොර හෙමිහිට
මුදා හැරි දියවරින්
පහළ කෙත් යායම
නිල්ල පීදී  රන්වනට හැරුණා...

ඉරත් සැර පරුෂව
වැවත් බය වෙන කාලෙට
ගමක් සනහන සෙත් ශාන්තියක් තරමට
මාළුවොත් බත්පතක නිවුණා...

මඩ පොලව කැන කැන
පාද ගන්නා නෙළුමල
ගම ගෙයක වේල දෙවේලට
රස මසවුලක් සේ පෑහුණා...

වැවත්, ගම්දොරත් මේ අපිත්
එකට එක පොකුරට
එකා මෙන් බැඳීගෙන
ජීවිතේ හරි හැඩට වින්දා...

විස්මපත් තරු ඇසින්
මගේ ඇස් පත්ළටම එබීගෙන
කෝ කොහිද ඒ වැව
පුංචි පුතු හද සරැලි බින්දා...





Friday, November 25, 2016

ආදර බාඳුරා !!!





‘‘ගැළපීමක් ගැන කතා කරන්නෙ මොකටද? මොකද මං තමුසෙව කසාද බඳිනවද?‘‘

ඉමක් නොපෙනෙන අන්ධකාර ළිං පත්ළකින් නැගෙන භයංකාර දෝංකාරයක් වගේ ඒ වචන උත්තරාගේ කන්අඩිවල හැප්පි හැප්පි රිදුම් දුන්නා. රිදුම් මැව්වා. ඇය රිය අසුනේ වම්පසට ගුලිවෙලා දෙසවන් දෝතින්ම වසා ගත්තා. වැසුණු දෙසවන් අස්සෙනුත් ඒ විස ඊතල නැවත නැවත හද මස පසාරු කරමින්... පියවුණු ඇස් පිය අස්සෙනුත් ඒ ඇස් ගිනි පුළිඟු නැවත නැවත සිහි කල්පනාවත් දවා හළු කරමින්...

.......කසාද බඳින්න විතරමද ගැළපෙන්න ඕනි......... උත්තරා හිතින් හිතුව විතරමයි. 

පිස්සු හැදෙන්න ඔන්න මෙන්න. මැරිල වැටෙන්න ඔන්න මෙන්න... රිය දොර ඇරගෙන එළියට පනින්න, වාහනේක හැපෙන්න, එතැනම මැරෙන්න ඇත්නම්!!! දැන් නම් මට පිස්සු!!! උත්තරාට හිතුණා.

138 ලේලන්ඩ් බස් එකක රෝද අස්සෙ චිප්ප චිරිප්පං වෙලා ඉන්න ඇගේ රූපකාය ඇයටම පෙනුණා. උත්තරා ගැස්සුණා.




‘‘බඩේ අච්චේ ලගතී හේ‘‘ ඒක පරණ හින්දි චිත්‍රපටියක සින්දුවක්. ශ්‍රෙයා ගෝෂාල්ගෙ හිත පිස්සු වට්ටන ලස්සන හඬින් එච්චර පරණ සින්දුවක් වුණත් අලුතෙන් ඇහෙද්දි පශ්චාත්නූතන හිත්වලත් ඉසියුම්ම ස්වර වැයෙන්න ගන්නවා. අපි අඳුනගත්ත මුල් දවස්වල මේලයක අමුණල මේ ගීතය එයාමට එවල තිබුණා. ඒ තමයි ආදරේ ලස්සනම දවස්. හරියට වළාකුලක පාවෙනවා වගේ දැනෙන, දේදුන්නක වාඩිවෙලා ගිමන් හරිනව වගේ හරි සැනසිල්ලක් දැනෙන, මල් පෙතිවලින් පවන් සලනවා වගේ හිත නැළවෙන, මීමැස්සො මල් රොන් හොයා ඇවිදිනව වගේ නිතරෝම හිත කැළඹිල්ලෙන් ගුම් ගුම් ගාන... එච්චර ලස්සන ආදරණීය දවස් ඊට කළින් කවදාවත් තිබිල නෑ. ආයෙම තියෙන එකකුත් නෑ.

මම හින්දි ගීතයේ ඉංගිරිසි තේරුම සිංහල වචන විදියට ගැලපුවා. ඒක එච්චර අමාරු වුණේ නෑ. ආදරයෙන් හිතක් පිරිල තියෙද්දි ලස්සනම වචන උනන්නෙ රිදී උල්පතකින් වගේ. ලස්සනම සිතුවිලි ගලන්නෙ නයගරා ඇල්ල කඩන් හැලෙනවා වගේ. 

අපමණ සොඳුරු ය සියල්ල
මේ පොලෝ තලය ද
නදී දිය දහර ද
රාත්‍රිය ද...
පෙම්වත ඔබ ද...

හෙමි හෙමින්
සන්සුන් ලෙසින්
පැමිණෙනු ඇත එය
ප්‍රේමය යැයි අප පවසන
විස්මිත ය
ඒ සොඳුරු ආගමනය...

අරුමැසි ය සියල්ල
මේ මෝසම ද
සල්ලාපයන් ද
සාංකාවන්ද...
පෙම්වත ඔබ ද ...

සසර හුරුයැයි හඟිමි විටෙක
විටෙක නුහුරු ය.. නුපුරුදු ය...
දකිමි එලෙසින් ඔහු...
සිහිනයක් සේ
පිබිදී හිඳින්නෙය
රැය මුළුල්ලේ
ඔහු මා ඇසි පිය තුළ...



අසිරිමත් ය සියල්ල
මේ තරු කැට ද
මේ දැකුමන් ද
මේ සඳ මඬල ද
පෙම්වත ඔබ ද...

ඒ කාලෙ හරිම අහිංසකයි. ඒ අහිංසක ආදර මායා බාඳුරා ගොටුවට මං වැටුණෙ, ඇලුණෙ ස්වකැමැත්තෙන්ම. වැඩිදුර නොහිතාම...‘‘


උත්තරා අසරණ හසරැලි මාත්තුවකින් මූණ පුරා තැවරුණු වෙහෙසකර බව මකාදාන්න උත්සාහ කළා. 


............... 

‘‘ඉස්සර අපි කුලියට උන්නු ගේ ළඟ ගෙදරක් තිබුණා. හැමදාම රෑ හත වෙද්දි ඒ ගෙදර දෙන්න දෙමහල්ලො ගෝරිය පටන් ගන්නවා. ඒ මනුස්සයා සෝමපාල කුලී වැඩ කළේ. ගෑනු කෙනා කාන්ති. මුලදි මනුස්සයා බීල ඇවිල්ල ගෝරි දානවා. ගෑනු කෙනාට ගහනවා. හට්ටි මුට්ටි පොලවෙ ගහනවා. අර ගෑනු කෙනත් පැය ගානක් හැපි හැපී අඬනවා. පස්සෙන් පහුවෙද්දි ඒ ගෑනු මනුස්සයත් හැන්දෑවට බොන්න ගත්තා. දෙන්නත් එක්ක ජෝඩු දාල බයිසිකලේ ගිහින් බීල එනවා. ඉන්පස්සෙ මරාගන්නවා. අපි කියන්න පුරුදු වෙලා හිටියෙ අන්න තේවාව පටන්ගත්තා කියල....

ඒ දවස්වල මට හිතුණු දෙයක් තමයි, දෙයියනේ කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල. හැමදාම ගුටි කකා, අඬ අඬා ඒ මනුස්සය එක්කම ඉන්න පුලුවන්ද? ඇයි අතෑරල යන්නෙ නැත්තෙ. මම නම් මොහොතක්වත් එහෙම ඉන්නෙ නෑ කියල මම හිතුවා.“

උත්තරා හිනා වෙවී කිව්වා. ඒ මාරාන්තික ගැටුම් රැල්ලකින් පස්සෙ සාම සාකච්ඡා සාර්ථක වෙලා යුද උණුහුම මැකිල තිබුණු සැනසිලිදායක මොහොතක්. 

‘‘ඉතින්?“  ඔය කතාව මේ දැන් මෙතනට ඇයි? කියන්න වගේ ඔහු ඇහුවා. 

‘‘ඉතින්, දැන් මට තේරෙනවා. එහෙම ඉන්න පුලුවන් කියල. හිතේ ඩිංගක් හරි ආදරයක් තියෙනවනම් ඕන දුකක් උහුළන් ඉන්න පුලුවන් ගෑනියෙකුට... සමහර වෙලාවට කරන්නම දෙයක් නැත්නම්, ඒත් ඉන්න වෙනවා...“

උත්තරා දුස්ට ප්‍රේමවන්තයාගේ වම් කම්මුල මත පිටි අත්ල තියල මැදැඟිල්ලෙන් හෙමිහිට පිරිමදින ගමන් කිව්වා.දෙතුන් දොහකින් නොකැපුණු රැවුල් කොට අතැඟිලිවල ඇනි ඇනී හිත හීරෙන්න ගත්තා. ඒ මුහුණෙ තිබුණෙ මහා විඩාපත් බවක්. තැන තැන රවුළු කොට සුදු පෑයට හැරෙමින් තිබුණෙ දිගු ජීවිත ගමනක වෙහෙසකර ලකුණු මේ යැයි කියන්න වගේ...  

ඉස්සරම දවස්වල ප්‍රේමයම ඉහිරුණු ඇස්වල තවදුරටත් ආදරයක තෙතමනයක් ඉතිරි වෙලා තියෙනවද බලන්න උත්තරාගේ ඇස් ඉස්සි ඉස්සී වෙහෙසුණා. ඒත් ඒ අඳුරු මුහු‍ණේ දුඹුරු ඇස් බැල්ම කොහේදෝ නොදන්නා ඈත ඉසව්වක තනිවෙලා තිබුණා. 

Thursday, November 17, 2016

ඉක්බිති ඔවුහු බුදියගත්හ.



"Dream Under a Desert Sky," by visually impaired artist Stella De Genova
 
තක්ෂිලා ස්වර්ණමාලිගේ මා ඇස ගැටුණු මුල්ම කෘතිය ‘‘ගොයම‘‘ කෙටි කතා එකතුවය. ඇගේ කුළුඳුල් නවකතාව ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ පිළිබඳව පූර්ව ප්‍රචාරණපාඨ ඇස ගැටුණු විට එය අනිවාර්යයෙන් මිල දී ගත යුතු පොත් ලැයිස්තුවට ඇතුළත් වූයේ ඒ එකම කෘතියෙන් වුවද ලේඛිකාවගේ හෘද සංවේදී ලේඛන කලාව මා ආකර්ෂණය කර තිබූ බැවිනි. 

නවකතාවේ පිටකවරයේ පින්තූරයකි.
‘‘සියල්ලන් නිද්‍රෝපගතව සිටිද්දී අවදිව සිටීම විකෘතියක් වූ කල්හි...‘‘ 

නවකතාවෙහි පිදුම වෙනුවට ඇත්තේ එබඳු කරකවා අත්හරින යෙදුමකි. ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ යන මාතෘකාව තරමටම එය අමුතු ය. නිද්‍රෝපගත වීම සහ බුදියා ගැනීම එකිනෙකට සමපාත වන්නේ කෙලෙසදැයි අප සිතා බැලිය යුතු ය.

‘ඉක්බිති ඔවුහු බුදියගත්හ. ආයෙත් ඒ කළුවර ම ය. ආයෙත් ඒ ගෙරවිලි ම ය. ඊයේ වගේම ය. ඇතැම්හු උඩුබැල්ලෙන් නිදති. ඇතැම්හු මුණින් අතට නිදත්. අත් පා එහෙ මෙහෙ යයි. කට දෙපැත්තේ ආයෙත් කුණු කෙළ ම ය. වික්ටෝරියා වත්ත සන්සුන් ය..........‘

‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ යන කෙටි වැකියෙන් ආරම්භ වී එම වැකියෙන්ම අවසන් වන චරිත කීපයක දිනක හැසිරීම ආකෘතිය කරගත්තද ඒ තුළ වරින් වර අතීතයට පිවිසෙමින් දීර්ඝ කාලීන සමාජ, දේශපාලන ගමන්මගක් සහ එහි වර්තමාන අර්බුද සියුම්ව ග්‍රහණය කරගන්නට කතුවරිය සමත් වී ඇත. වික්ටෝරියා වත්තට සංක්‍රමණය වී ඇති අමරේ කේන්ද්‍ර කරගනිමින් ඔහුගේ ළමා වියේ සිට කෘතියෙහි අද දවස දක්වා වන ජීවිත කාලය තුළ ඔහුගේ ජීවිතය සමග බද්ධ වී සිටින තවත් මනුෂ්‍ය ප්‍රාණ රැසකගේ ජීවන අරගල සමඟින් ඇදී යන කතාව කියවීමෙහි රුචිය වඩවන්නකි. 

නවකතාවෙහි ඇරඹුම අලුත් දිනකට අමරේගේ නිදිගැට හැරීමත් සමඟ ය.

‘‘තුං නොදකින් කාලකන්නිය, මූසලකමට පස්සට ඉර එළිය වැටෙනකල් බුදියගන්නවා. ඒ මදිවට තව ඈනුනුත් අරිනවා.‘‘

ඒකත් කළිං දා වගේමය. සීතක්කා පයිප්පයෙන් හෝදාගත් රෙදි ටික කම්බි වැටේ එල්ලයි.

‘‘ඕව ඉරෙයි බං. රෙදිවැලක් බැඳගං‘‘

‘‘තොගෙ මොකද මගෙ රෙදි ඉරුණම. තෝ යැ අරං දෙන්නෙ.‘‘

‘‘එහෙනං තොට මොකද මං මගෙ පස්සට එළිය වැටෙනකල් බුදියගත්තට......‘‘

පිටුව 10

සීතක්කා ලිංගික ශ්‍රමිකාවකි. මේ කටකමසිරියාවක් නැති කම චාරයක් නැති ගැහැනියකගේ ලක්ෂණයකැයි ඔබ සිතන්නට ඉඩ ඇත. නමුත් නවකතාව ගලා යන්නේ මෙබඳු මනුෂ්‍ය ජීවිත මුහුණ දෙන දුෂ්කර ජීවන අරගලය සහ ඒ තුළ පවා නොසිඳී පවත්වාගන්නට වෙර දරන මනුෂ්‍යත්වයේ සුවඳ සමඟිනි.  වික්ටෝරියා වත්ත ඇසුරු කරගෙන නාගරික මුඩුක්කු ජීවිතයද, අමරේගේ මවගේ මහගෙදර සහ ලොකු අක්කාගේ චරිතය මුල් කරගෙන ගැමි ජීවිතයද මේ සමස්ත ජීවිත ඇසුරින් එකම චක්‍රයක කැරකෙන ඒකාකාරී මිනිස් ජීවිත, සමාජ දේශපාලන සංසිද්ධි පිළිබඳවද අපගේ අවධානය යොමුකරවන්නට කතුවරිය සමත් වී ඇත. 

තවත් දවසකට නිදි බිඳින අමරේ පරණ පුරුදු ලෙසටම නිවසින් බැස පාර දිගේ ටිං බෙලෙක්කයකට පයින් ගසමින් ඇවිදින අතරමඟ හමුවන චරිත පාතිමා, චම්පිකා, එමලිං ආච්චි, රූපිකා, අයිරක්කා, තිලකෙ අයියා, අල්පෝන්සු, පෙට්ටි කඩේ සුමනෙ නාගරික පහළ පන්තියේ පෑගෙන, තැලෙන පීඩිත ජන ජීවිතයේ පැතිකඩක් අපගේ නිරීක්ෂණයට ලක්කරයි. අලුත් කීවාට කිසිවක් අලුත් නැති බව ද, කරකැවෙන්නේ එකම චක්‍රය බව ද වරින් වර සිහිකැඳවයි. මේ විෂම සමාජ දේශපාලන චක්‍රය තුළ අතරමං වුණු, හුදකලා වුණු, පිටුවහල් වුණු චරිත කිහිපයක් ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ තුළ අපට හමුවෙයි.

මෙහි කේන්ද්‍රීය චරිතය අමරේ වුව ද අපගේ සුවිශේෂ අවධානය පැහැර ගන්නා භූමිකාව සතුවන්නේ ‘ලොකූ‘ වෙත බව මගේ හැඟීමයි. ගමේ මහගෙදර හුදකලා තනිකඩ දිවියක් ගෙවන ලොකු අක්කා හෙවත් ලොකූ අමරෙගේ මාමා ගේ දියණියයි. ඇය සමාජයෙන් පිටමංව සන්සුන්, හුදකලා දිවියක් ගත කරන අහිංසක ගැහැනියකි. නමුත් ඒ අහිංසක ගැහැනිය තුළම සම්මත සමාජ සම්ප්‍රදායන්ට අභියෝග කරන, එයට එරෙහිව හුදකලා කැරැල්ලක් ගසන විප්ලවවාදිනියකද වෙසෙයි. සමස්ත කතාව පුරා මේ චරිත ලක්ෂණ මැනවින් සුසංයෝජනය කරමින් ‘ලොකූ‘ සම්බන්ධයෙන් සහකම්පනයක් අප තුළ ජනිත කරන්නට කතුවරිය සමත් වී ඇත. 

කාන්තාවකගේ සිතුවමක් - ඉන්දීය චිත්‍ර ශිල්පී

By Tapas Sardar

‘‘රූපිකාගේ වචන ලොකු අක්කගෙ වචන වාගෙ නෑ. දඩිබිඩි ගාල කියෝගෙන කියෝගෙනත් යනවා. සමහර වචන වත්තෙ කොල්ලංගෙ වාගෙ. සමහර හැසිරීං වත්තෙ අම්මණ්ඩියෙක් වගේ. පෙනුමට ගැලපෙන්නෙ නැද්ද මංදා ඒවා. බැන්දහම හරියයි. බැන්දහම ලොකු අක්ක වගේ වෙයි. හිමිහිට කනට නෑහෙන්න කතා කරාවි එතකොට. කීකරුව ඉඳීවි. ඒත් ලොකු අක්ක නං කීකරු නෑ කාටවත්. අපේ අම්ම, තාත්තටත් කීකරු නෑ. පුංචම්ම බාප්පටත් කීකරු නෑ. මහගෙදර නැන්ද සුදු මාමට කීකරුත් නෑ. රූපිකා මට කීකරුව යටහත්ව ඉඳියි ඒ උණාට. ලොකු අක්කගෙ හිතුවක්කාරකංවලට ආස කර කර රූපිකාගෙං කීකරුකං බලාපොරොත්තු වෙන්නෙ ඇයි මං. ලොකු අක්ක කරන කියන දේවල් ලොකු අක්ක කරද්දි ආස වෙන්නයි, ගෑනි කරගන්න හිතෙන එකියක් කරද්දි අපුල හිතෙන්නයි හේතුව මොකක් වෙංඩ ඇද්ද?‘‘

පිටුව 21 

‘‘අක්කට මගුල් අරං එන ගොඩක් ගෑනුන්ට අක්කා කීවේ, ‘ඔයත් බැන්ඳනෙ. ඉතිං හොඳයිද? ඉස්සරට වඩා හොඳින් ඉන්නවද?‘ කියා ය. ‘ඇයි මේ හොඳින් ඉන්නෙ‘ කියා බැරි වෙලා හරි කාටවත් කියවුණොත් ඉන් එහාට අක්කගෙන් බේරිලි බොරුය. ‘දවස තිස්සෙම වහලියක් වාගෙ වැඩ වැඩ වැඩ නේද? මිනිහ උදව්වක්වත් වෙනවද ඔව්වට. මිනිහටත් ඉතිං වැඩනෙ. උඹලට තේරෙන්නැතිව නෙවෙයි හති වැටිල කියල උඹල ඔය ජීවිතෙං. මට වාගෙ හිතිච්ච ගමං ගෙයිං එළියට බැහැල පාර දිගේ ඇවිදං හිතිච්ච අතේ යංඩවත් නිදහසක් තියද ආ. ඇත්තටම ඇඟට ඕන වෙලාවට නිදාගන්ඩ ඇහැරිංඩවත් පුලුවංද? උඹල ජීවිත කාලෙම ඔට්ටුවෙන්නෙ උඹලට ඕන දේවලට නෙමෙයි බං. පිට උංට ඕන දේවල් ළං කර ගංඩ. උඹලට තියෙන්නෙ උඹලගෙ ඕන එපා කං නෙමෙයි බං උඹලට පිටිං හදල දීපු ඕන එපාකං. ඒව උඹලගෙත් ඕන එපාකං කරගෙන. ඕනම දේ ගංඩ උනත් ඔට්ටු වෙන්ඩ වෙලානෙ...‘‘

පිටු 68-69 

මෙම කෘතිය තුළ කතුවරිය මනුෂ්‍ය සම්බන්ධතා විනිවිද දකින, විවරණය කරන හෘදයාංගම විලාසය, මානව ජීවිතය දෙස ඇය හෙළන නිරීක්ෂණාත්මක සංවේදී බැල්ම මසිත වඩාත් ඇද බැඳ ගනියි. පීඩිත පන්තිය ගැන කතුවරිය තුළ පවතින විශේෂ දයාන්විත හැඟීම නවකතාවේ අකුරු වැල් අතරින් මිදී අපගේ හදවත් තුළද ලැගුම් ගන්නා සෙයකි.  ඉහළ, පහළ, මධ්‍යම, නාගරික, ගැමි වෙනසක් නැතිව මේ කොයි කොතැන වුව පීඩාවට පත්වන කාන්තාව පිළිබඳවද ඇයගේ මුදු ස්ත්‍රී හදවත ඇවිළෙන බවට සාක්ෂ්‍ය බහුලය. එම මනුෂ්‍ය ජීවිත හසුරුවන සමාජ දේශපාලන වටපිටාව පිළිබඳ තියුණු විවේචනයක්, විග්‍රහයක්, පරිණත දැක්මක් ඈ සතු යයි හඟිමි. 

රසවත් කතන්දරයක් ලෙසින් දිගහැරෙන නවකතාව තුළ පුළුල් සමාජ දේශපාලන විග්‍රහයක්ද යටි පෙළ තුළ සියුම්ව මතු වෙයි. 

පවතින සමාජ, දේශපාලන ක්‍රමය පිළිබඳ නිරීක්ෂණය මතුවන්නේ විටෙක අමරෙගේ ගමේ පාසලේ භෞතික විද්‍යා ගුරුවරයා සුනිල් සර්ගේ හඬිනි. තවත් විටෙක ලොකු අක්කා තුළිනි. ලොකු අක්කාගේ ජීවන සහකරුවා වන වාමාංශික දේශපාලනයේ නියැළුණු, යහපත් සමාජයක් ගැන අපේක්ෂාවෙන් නොනිමි අරගලයකට එක් වී සිටින අතුල ගේ ඇසිනි. ලොකූ සහ අතුල අතර වන බැඳීම සම්මත සමාජයේ නිල මුද්‍රාව යටතේ වූවක් නොවේ. නමුත් එය හදවතින් සහ සමාජමය වගකීමෙන් බැඳුණු ඕනෑම මොහොතක එන්නටත්, ඕනෑම මොහොතක යන්නටත්,  අවැසි නම් රැඳෙන්නටත් නිදහස ඇති අපූරු බැඳීමකි. 

‘‘මං මගෙ ශ්‍රමය ධනපති ආණ්ඩුවට විකුණනවා. ඒක මගෙ බඩගෝස්තරේ. එච්චරයි. අධ්‍යාපනෙං කරන්නෙ සිස්ටම් එක රකින්න මිනිස්සු හදන එක. සිස්ටම් එක දුවවන්න ශ්‍රමිකයො හදන එක. මං කරන්නෙ මේ ජඩ සිස්ටම් පවත්වගෙන යන කොන්ත්‍රාත් එකක්.......‘‘
‘‘මේ කිසිම සංසිද්දියක් ගැන හුදකලාව වියුක්තව විග්‍රහ කරන්න බෑ දරුවනේ. නිර්මාණවලින් කියවෙන හැම ඛේදවාචකේම මුල් තියෙන්නෙ පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ. ඒ සමාජ ආර්ථික ක්‍රියාවලියට තමා දේශපාලනේ කියන්නෙ. නැතුව ඡන්දෙ ඉල්ලන පක්ෂ දේශපාලනේට නෙවෙයි. අපිත් එක්ක තියෙන මේ හැමදේම දේශපාලනිකයි. අපේ හුස්මෙත් තියෙන්නෙ දේශපාලනේ. ඒකෙං වියුක්තව කිසිම දෙයක් විග්‍රහ කරන්න බෑ සංයුක්තයි.‘‘

සුනිල් සර්

පිටුව 28

‘‘එහෙම කිංඩිය දාන්ඩ එපා බං. අපෙත් පපුව පත්තු වෙනවා. පිකාසෝල එක්ක ෆුල්ටයිම් වැඩ කරපු ඉතිහාසයක් අපිටත් තියෙනව කියල මල්ලි දන්නවනෙ. මේ සිස්ටම් එක පෙරළන එක මේ යන විදියට කරන්ඩ පුළුවං වැඩක් නෙමෙයි බං. දියුණු ධනේෂ්වරයෙං පස්සෙ තමයි ඕව හිතන්නවත් පුළුවං. අපි තාම ඔව්වට හරි දුරයි බං.‘‘

අතුල අයියා, අතුල අයියා මක්කරනවා ඇද්ද? මේ වෙලාවෙ කොහේ ඇද්ද? 

‘වම්මු වම්මු නෙවෙයි. උං වම්මු කියල කියාගන්නවා. මේ සිස්ටම් එකේ උංගෙ වම මාර මාකට්. උංට මේක පවතින එක වාසියි. උංට මර්දනේකුත් නෑ. මේක රෙපෙයාර් කර කර හොඳට පවත්වං යනව මිසක් මේක පෙරළන්න උංට ඇත්ත උවමනාවක් නෑ. වම්මු කියල පෙනී හිටියට විප්ලවවාදියො වෙන්නෙ නෑ. දේශපාලන සාහිත්‍යෙය් වම කියන වචනෙ වේසකමේ ඇරල තියෙන්නෙ.‘‘

විජිත අයියා

පිටුව 156

යුනික් රේඩියෝවේ, බැටරියෙන් දුවන කළු සුදු රූපවාහිනියේ සිට වර්තමානය දක්වා සමාජ වෙනස මෙහි සියුම්ව නිරූපිතය. සමසමාජ දේශපාලන ව්‍යාපාරයේ සිට වමේ දේශපාලන ව්‍යාපාරවල ගමන සහ එහි බිඳී යාම වර්තමාන අර්බුද චරිත සහ සිදුවීම් ඇසුරින් මතුකරන අතරම ධනවාදයේ ගොදුරු බවට පත් වූ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳවත් එහි යහපත් වෙනසක් වෙනුවෙන් කැප වන මිනිසුන් සහ ඒ පිළිබඳව වන සුවහසක් අපේක්ෂාවනුත් නවකතාවට ජීවය කවයි.  

‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ යනුවෙන් මුද්‍රිත කෘතියක් ලෙස එය නිමාව දුටුවද ජීවිතයට හෝ පැවැත්මට නිශ්චිත අවසානයක් නැති බවම එයින් ඉඟි කෙරේ. 

තක්ෂිලා ස්වර්ණමාලිගේ කුළුඳුල් නවකතාව වන ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ 2016 වසරේ ප්‍රකාශයට පත් වූ සිංහල නවකතා අතර පාඨක, විචාරක, සහෘද අවධානයට පාත්‍ර විය යුතු අගනා ප්‍රයත්නයක් ලෙස හඟිමි. 

පසු සටහන 

තක්ෂිලා ගේ ගොයම කෙටි කතා එකතුව  පිළිබඳව මට දැනුණු හැඟුණු දෑ 2014 වසරේ වත්පොතෙහි තැබූ සටහනකි මේ. වර්ල්ඩ් විෂන් ආයතනය මඟින් නවගත්තේගම විද්‍යාලයේ සංවිධානය කළ පොත් ප්‍රදර්ශනයකට  පොත් රැගෙන ගොස් තිබියදී කුටිය තුළදීම පොත කියවා හමාර කර, ඒ පිළිබඳ මගේ අවධානය යොමු කළේ රොෂානි නංගීය.

https://www.facebook.com/rsrc.php/v3/yB/r/-pz5JhcNQ9P.png
ජීවිතය, ආදරය, මනුස්සකම ගැන හිතට දැනෙන සරල කතා ටිකක් කියවන්න කැමති අයට පොතක් හඳුන්වා දෙන්න කැමතියි.

‘‘ගොයම
තක්ෂිලා ස්වර්ණමාලි
සන්ථව ප්‍රකාශන
මිල රු. 250

මනුෂ්‍ය සම්බන්ධතාවල අපූර්වත්වය ඇය ග්‍රහණය කරගන්නවා සංවේදීව. සමාජ සම්මතය විසින් අසම්මතයැයි හංවඩු ගසන මනුෂ්‍ය සම්බන්ධතා දෙසත් මානුෂිකව බලන්න ඇය අපිව පොළඹවනවා. .. ලිංගික ඊර්ෂ්‍යාවෙන් තොරව මනුස්ස සම්බන්ධකම් තේරුම්ගන්න පුළුවන් ගැහැණු පිරිමි මේ කතාවල ජීවත් වෙනවා. ඇගේ කතාවල ඉන්න මිනිස්සු ආදරවන්තයි. ඒ ආදරය දැනෙන්නෙ ගතට නෙවෙයි හිතට... බොහෝ විට අප්‍රකාශිත වුණත් ඒ ප්‍රේමණීය හැඟීම් ජීවිතවල ඇති කරන වෙනස පැහැදිලියි.

කතාවෙන් කතාවට වෙනස් අත්දැකීම් තියෙන්නෙ. නමුත් මේ හැම කතාවක් ඇතුළෙන්ම ගලාගෙන යන එක තේමාවක් අහු වෙනවා. ඒ මනුස්සකම සහ ආදරය...

ජීවිතය ගැන ඇගේ හැඟීම් අපිත් එක්ක බෙදා ගන්න සරල කතා ශෛලියක්, භාෂා රටාවක් කතුවරිය අනුගමනය කරනවා. පිටු සැකසුමේදී අත්වැරැද්දක් සිදු වී ඇති බව දැනෙනවා, පිටුව පුරා ඉඩකඩ ඉතිරිව තිබියදීත් අකුරු මෙතරම්ම කුඩා වීම නිසා... කතා එකතුවේ නමත්, කවරයේ ඡායාරූපයත් අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්නෙ බොහොම අඩුවෙන් කියලත් හිතෙනවා...

කෙසේ නමුත් සිත් ගත් සරල සුන්දර කතා එකතුවක්...

( ‘‘ගොයමගැන අවධානය යොමු කළ රොෂානි නංගීට තුති )
  

(‘ඉක්බිති ඔවුහු බුදියාගත්හ‘  ආශිර්වාද ප්‍රකාශනයක්. මිල රු.350.00 )