ඒ 2004 වසරේ නත්තල් දිනයයි. අපි උඳුවප්
මහේ 24 වන දා රාත්‍රියේ ගමේ පල්ලියේ පැවති නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගි
වෙමින් සිටියෙමු.
'' යන්න නත්තල් දින ඉපදුණු ජේසු කුමරුන් ලොවට ගෙන ආ ආදරයේ සාමයේ
පණිවිඩය රැගෙන යන්න. '
පියතුමා අවසාන ආශිර්වාදය දානය කළේය. අපි
සැවොම නත්තල් ප්‍රීතියෙන් ප්‍රමුදිත සිතින් මෙලෙස ගායනා කළෙමු.
බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ... ලස්සන
බිළිදෙක් මල් වගේ
මවගෙ ළයේ සුරතල් විඳින්නා ... මුතු වැනි
රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි ... ජය මංගල සිරි... මංගල
ආසිරි අත් වේවා...
මෙලොවට මේ නත්තල් දිනේ
ගීතිකාවෙන් පසුව එකිනෙකාට නත්තල්
සුබපැතුම් පිරි නමමින් අපි පල්ලිය ඉදිරිපසට එමින් සිටියදී '' අනේ අනේ මෙන්න නත්තල්
සීය කෙනෙක් එනවා.... '' ළමෝ කෑ ගසන්නට වූහ. සියල්ලෝ දෙව්මැදුරු අංගණයට පිවිසුණහ.
පොල් ගස් පේළි අතරින්, අන්ධකාරය මැදින් නත්තල් සීයා කෙනෙක් හෙමිහිට පැමිණේ. අතක
වර්ණවත් බැලුම් පිරුණු සැරයටියකි. අනෙක් අතින් ගත් කුඩා
සීනුවේ නාදය සුරලොව සිට විහිදෙන නාදයක් මෙන් නිසල රැය පුරා රැව් දේ. නත්තල්
සීයාගේ ඇඳුම අංගසම්පූර්ණය. උර
මත කුඩා මල්ලකි. අඩුවකට ඇත්තේ පිණිමුවෙක් පමණි. මින් පෙර කිසි දිනෙක මෙලෙස නත්තල්
සීයා කෙනෙක් අපේ ගමේ කුඩා දෙව් මැදුරට පැමිණ නැත. සියල්ලන් විස්මපත් වූයේ එබැවිනි.
දෙව් මැදුර අසලටම
පැමිණි නත්තල් සීයා ‘‘ සුබ නත්තලක් වේවා දරුවනේ...” ආරෑඪ කර ගත් වයස්ගත
කටහඬකින් සියල්ලන්ට සුබ පැතුවේය. අනතුරුව මල්ලෙන් ගත් බැලුම් බෝල සහ ටොෆි දරුවන්
අතර බෙදා දුන්නේය. වැඩිහිටියන්ටත් ටොෆිය බැගින් ලැබිණි. දුප්පත් නත්තල් සීයා
කෙනෙක් විය යුතුය. තෑගි මල්ල එතරම් පොහොසත් නොවූයේ එබැවිනි. නමුත් අපේක්ෂා නොකළ
මොහොතක පැමිණි නත්තල් සීයා අප හා බෙදා ගත් සතුට නම් සුළුපටු නොවීය. ඔහු ළමුන් සමග
අත්පොඩි ගසමින් නත්තල් ගීතිකා, ළමා ගී කිහිපයක් ගායනා කළේය.
‘‘කවුද මේ නත්තල් සීයා...?”
‘‘ වෙන පල්ලියකින් ආව කෙනෙක්ද? අපේ පල්ලියෙ කෙනෙක් වෙන්න නම් බෑ....”
‘‘ කියන්න බෑ.... කවුද බලන්න පේන්න නැත්තෙ...”
අපට මහත් ගැටළුවකි. විමසිල්ලෙන් බැලූ මුත් කිසිදු සලකුණක් හඳුනා ගත
නොහැකිය. සුදු පුළුන් රැවුලෙන් මුළු මුහුණම වැසී ඇත. ඇහි බැමටද සුදු පුළුන් අලවා
ඇත. කණ්නාඩි කුට්ටමක් පැළඳ ඇති මුත් මම දෑසට එබිකම් කළෙමි. නත්තල් සීයාගේ දෙනෙතේ
හුරු පුරුදු දීප්තියකි. ඒ නම් දන්නා හඳුනන දෑසකි.
‘‘ ඇස් දෙක අපේ අයියගෙ වගේ...” මම හෙමිහිට අපේ කට්ටිය සමග කීවෙමි.
‘‘ වෙන්න බෑ අයිය පල්ලි ඇවිත් හිටියනේ...” නංගී කීවාය.
‘‘ ලොකු පුතා වගේ තමයි...” තාත්තාද කීවේය.
අපි වටපිට බැලුවෙමු. අපේ නෑනා රේණු, දූත් වඩාගෙන සිනාසෙමින් බලා සිටියාය.
අයියා පෙනෙන්නට නැත.
‘‘ අයිය නේද නත්තල් සීය? ” රේණු හිස සලා හිනැහුණාය.
‘‘ කොහෙන්ද අනේ ඇඳුම හොයා ගත්තෙ. ”
‘‘ රෙදි ගෙනත් මැහුවා...”
‘‘ ඒ කවදද? අපි දන්නෙවත් නෑනෙ...” අපි පුදුම වීමු.
මේ නත්තල් සීයා අපේ බාප්පාගේ ලොකු පුතාය. බාප්පා සර්පයෙකු දෂ්ට කිරීමෙන්
මිය යන විට අයියාට වයස අවුරුදු තුනක් පමණ වන්නට ඇත. අයියා කුඩා කල හදවතේ සිදුරක්
නිසා සැත්කමක් කළ හෙයින් බර වැඩ කළ නොහැකිය. ජීවනෝපාය පිණිස ඔහු කළේ කුඩා සිල්ලර කඩයකි.
එය ලාබ ලැබූ වෙළඳාමකට වඩා ගමටම ණයට දුන් වෙළඳාමකි. කුලී ගමන් යන තීරෝද රථයකුත්
තිබිණි. කෙසේ නමුත් ඔහු අතමිට සරු කෙනෙකු නොවීය. ඉහටත් උඩින් ණය ගොඩ ගැසී තිබූ කාලයකි.
ඒ වන විට අයියාට සිටියේ එක් දියණියක පමණි.
මේ දිනවල කඩේ කොටසක අයියාගේ මිතුරකු කුලියට ඇඳුම් මැසීම කළේය. නත්තල් සීයා
ඇඳුම මසා ඇත්තේ ඔහු විසිනි. මාසයක පමණ කාලයක සිට කඩය වැසීමෙන් පසුව රාත්‍රී එකොළහට
පමණ මේ ඇඳුම ටිකෙන් ටික මසා තිබිණි. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වැය කර ඇත. එම
නත්තලේ අපේ නෑනාට හෝ දියණියටඅළුත් ඇඳුම් පැළඳුම් කිසිවක් නොගෙන, කැවිලි පෙවිලි කිසිවකට
මුදල් වැය නොකර අයියා නත්තල් සීයා සිහිනය වෙනුවෙන්ම කැප වී තිබිණි.
එදා ඉපදුණු ගමේ නත්තල් සීයා දැන් සෑම නත්තලකම ගමට පැමිණේ. ඊලග වසර වන විට
සයිප්‍රස්වල සිටි නැන්දා කෙනෙක් අපට තව නත්තල් සීයා ඇඳුමක් එවා තිබිණි. ඒ වසරේ
නත්තල් දා හිමිදිරියේ නත්තල් සීයලා දෙදෙනෙක් ගම වටා සැරිසැරූහ. ළමුන්ට පොත්, පෑන්,
පැන්සල්, ටොෆි, බැලුම් බෙදා දුන්හ. වසරින් වසර නත්තල් සීයාගේ තෑගි මල්ල පොහොසත්
විය. වසර කිහිපයකට පසු අපිද ගීතිකා ගයමින් නත්තල් සීයා සමග ගෙයින් ගෙට ගියෙමු.
නත්තල් සීයලා, කැරොල් කණ්ඩායම් ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කරන අවස්ථා ඇත. නමුත්
අපේ නත්තල් සීයා තෑගි බෝග, ආදරය, සතුට ලබා දී පෙරළා ලබන්නේ ආදරය, සතුට සහ
ආශිර්වාදය පමණි.
වසර කිහිපයක සිට අසල්වැසි ගම්වලටද, කොහු මෝල් කිහිපයකටද, වැඩිහිටි නිවාසයටද
අපි නත්තල් අසිරිය රැගෙන යන්නෙමු. දැන් එය අපේ නත්තලේ අනිවාර්ය අංගයක් වී ඇත. ප්‍රමුඛ
කාර්යයක් වී ඇත. නත්තල් සීයාගේ තෑගි මල්ල පිරෙන්නේ අප සැමගේ දහඩිය මහන්සියෙනි. කොළඹ
කොටුවෙන් මිල දී ගන්නා කුඩා සෙල්ලම් බඩුවකින්, කතන්දර පොතකින්, නත්තල්
සැරසිල්ලකින් අපේ ගමේ පුංචි එකෙකුගේ මූණේ ඇදෙන හිනාව බලන්නට අපූරුය.
නත්තල් සීයා සමග යන ගමනේ අප ලැබූ අපූරු අත්දැකීම් රැසකි.
·
වරක් ගමේ තරමක මානසික දුබලතාවයකින් පෙළෙන නැන්දා කෙනෙක්
වරුවක් පුරාම නත්තල් සීයාට වඳිමින්, නත්තල් සීයා පසුපස පන්නන බල්ලන් එළවමින් පෙර
ගමන් ගියාය.
·
ජීවිතේට නත්තල් සීයා කෙනෙක් දැක නැති පුංචි එවුන් බිය වී
කෑ ගසන, දුව ගොස් හැංගෙන අවස්ථා සුලබය. හෙලුකොට්ටෙන් සෙල්ලම් කරමින් උන් කොහු මෝලක
පුංචි එකෙක් නත්තල් සීයා දැක බිය වැදී දුව ගිය ආකාරය අප සැම සිනා සයුරක ගිල්වන්නට
සමත් විය. පසුව අම්මාගේ චීත්ත කොණේ එල්ලී පැමිණි දරුවා අතට කෙසේවත් තිළිණයක් දීමට
නොහැකි විය. නත්තල් සීයා තෑග්ග අම්මා අත තැබුවේය.
·
එක් වසරක
අසල්වැසි නැන්දා කෙනෙකුට නත්තල් සීයා මැටි කෝප්පයක් තෑගි දුන්නේ ‘‘ මේකට අඹ
මාලුවක් කාරිය හදල දුන්නට කමක් නෑ ” කියමිනි. පසුදිනම අපට අඹ මාලුවක රස බලන්නට ලැබිණි. ඇගේ
අතින් හැදුණ අඹ ව්‍යාංජනය තරම් රස අඹ ව්‍යංජනයක් තවත් නැත. නත්තල් සීයා පවා ඒ බව
දනී.
·
නත්තල් සීයාගේ
පැමිණීමෙන් ළමුන් තරමටම සතුටු වෙන්නේ වැඩිහිටි නිවාසයේ ආච්චිලා සීයලාය. හැරමිටි
ගසමින් ඔවුහුද ගී ගයති. නටති. අපේ පොඩි උන් සුරතල් කරති. තම දරු මුණුබුරන් ළග නැති
අඩුව මොහොතකට හෝ මැකෙනවා ඇතැයි සිතෙන්නේ ඔවුන්ගේ වියපත් මුහුණු මත ඇදෙන සිනා රැලි
නිසාමය. නමුත් කට කොණකට හෝ සිනා රැල්ලක් නොනැගෙන දුකින් බරවූ රැලි ගැසුණු මුහුණුද
නැත්තේ නොවේ.
·
පසුගිය වසරේ
අපි වැඩිහිටි නිවාසයට යන විට සවස්වරුවය. එවෙලේ ආච්චිලා සීයලා නින්දේය. ආපසු එන බව
කියා පැමිණියද නැවත යන්නට නොහැකි විය. එදා දවසම ආච්චිල සීයලා අප එනතුරු බලා සිටි
බව කන්‍යා සොයුරියන්ගෙන් දැන ගන්නට ලැබිණි. නැවත එවැනි වරදක් වන්නට ඉඩ නොතැබිය
යුතුය.
අපට නත්තල වඩාත් ප්‍රීතිමත්
අත්දැකීමක් වී ඇත්තේ නත්තලේ සතුට බදා ගන්නවාට වඩා බෙදා ගැනීම නිසා යැයි මට සිතේ.
ආර්ථික අමාරුකම් කොපමණ වුවද මෙවරත් නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට අපි
සූදානමින් සිටිමු. නත්තල් සීයා එනතුරු ඇගිලි ගනිමින් බලා හිඳින පුංචි උන්ගේ හීන බොඳ කළ නොහැකිය.
2010 වසරේ නත්තලේ
පින්තූර කිහිපයක්...
නත්තල් සීයා ගමනට
සැරසෙමින්
|
ළමුන් සමග ගීතයක්
ගයමින්
|
අනේ බබෝ බයවෙන්න එපා... මම නත්තල් සීයා.. |
නත්තල් සීයා ආච්චිල
සීයලා එක්ක
|
අනේ තරු අක්කා...ඉක්මනට ගෙදර යන්න ආස හිතුනා. නත්තල දොරකඩට ඇවිත්..අම්මා එක්ක දවස් කීපයක් ගත කරන්න ලැබෙනවා...
ReplyDeleteකොළඹ තනි උණ ජීවිතේට ලොකු සැනසීමක් සතුටක් ලැබෙනවා ඇත්තටම නත්තල් කාලෙ ගමේ ගිහින් ඉද්දි. මමත් ආසාවෙන් ඉන්නෙ නංගි 22 යන්න. ඒ ගියාම සතියම ඉදල තමයි එන්නෙ. ඔයාට සුබම සුබ නත්තලක්... අම්ම එක්ක ගොඩක් සතුටින් ආදරයෙන් නත්තල සමරන්න ලැබෙන්න කියල මම ප්රා.ර්ථනා කරනවා.
Deleteබ්ලොග් එකට ආවේ අදම වෙන්න ඕනා.... මුල් ටික කියවනකොට දැනුන හැගීමට ඇස් වලට කදුළුත් ආවා... මම නම් කතෝලික නෙමේ... මම ඉන්න හරියෙත් ගොඩාක් කතෝලික අය අඩුයි.. එත් ඔය වගේ දේවල් කරලා කාව හරි සතුටු කරන්න පුළුවන් කම ගොඩාක් වටිනවා.....
ReplyDeleteජය වේවා,...
ආදරයෙන් පිළිගන්නවා මගේ තරු අහසට.... ස්තුතියි දිරිමත් කළාට.
Deleteඅනේ හරිම හොඳ වැඩක් තරු අක්කේ. ඇත්තටම කොයි තරම් සතුටක් ලැබෙනවා ඇද්ද මේ බෙදා ගැනීම හින්දා. අර අයියා කොච්චර හොඳ කෙනෙක්ද? ගොඩක්ම ලෝබ නැතුව දන් දෙන්නේ දුප්පත් මිනිස්සුම තමයි. ඒක හැටියක්. හිත පහන් උනා මේ ලිපිය දැකලා.
ReplyDeleteමේ පාරත් වෙනදාටත් වඩා හොඳින් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්න කියලා පතනවා.
මට හිතෙන්නෙ මිනිස්සුන්ට ඕනවට වඩා සල්ලි ලැබෙන එකත් හොද නැහැ නංගි... ඇති හැකි විදියට බෙදා ගන්න හිතෙන එකත් ලොකු දෙයක් තමයි. මේ සැරෙත් අපි ලැස්තියි දැන් ඉදන්ම. අභ්යාගස පොත් දෙන්න තමයි සුදානම. තව පුංචි පුංචි තෑගි එක්ක.
Deleteනියම වැඩක් අෑ....
ReplyDeleteස්තුතියි
Deleteතරුරසීට නත්තල් සරුයි වගේ.. දිගටම නත්තල් පෝස්ට්මනෙ දාන්නෙ... :)
ReplyDeleteමේක නම් නියම වැඩක්නෙ අප්පා.. මුලින් මුලින් විශ්වාස කරන්නත් බැරිවුනා.. මේක නම් අගය කරන්න ඕනා වැඩක්..
විශේෂයෙන්ම තමුන්ගේ සල්ලිකාරකම පෙන්නන්න කෙනෙක් කරන වැඩක් නොවීම හා මෙමඟින් කිසිවක් බලාපොරොත්තු නොවීම.. අනික් නත්තල් සීයලා නම් එන්නෙ මොනවත් දෙන්න නෙමේනෙ.. අපෙන් ගානක් කොටන් යන්නනෙ..
කැරොල් ජාවාරමක් කරගත්තු අය ගැන හිතෙන කොට මේ නත්තල් සීයට මල් තියලා වඳින්න ඕනා.. හැබැයි ඉතින් මූ දුප්පත්, මූ පෝසත්, මූ හොඳ නෑ, මූ අපිත් එක්ක තරහයි වගේ කැටගරි කිරීමකින් තොරව යනවා නම් තමයි ඒ..
මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ ආව පළවෙනි නත්තලනෙ මේ... ඒ නිසා වෙන්න ඇති ලියන්න දේවල් වැඩි...
Deleteඅපේ ගමේ වර්ග කරන්න තරම් පන්ති පරතරයක් තියෙන මිනිස්සු නැහැ මල්ලි... වැඩි දෙනෙක් එක වගේ සාමාන්ය ආර්ථිකයක් තියන මිනිස්සු... අනික අපිත් ඒගොල්ලන්වගෙම කොටසක්නෙ.
ඒ කියන්නේ තරු රසී බ්ලොග් එකට තාම අවුරුද්දක් නෑ කියන එක නේ. එහෙම නේද තරු අක්කේ ?
Deleteඅවුරුද්දක් වෙන්නෙ 2013 මාර්තු පළමුවෙනිදට... මම බ්ලොග් ගැන දැන ගත්තෙත් ඒ ළගදිම තමයි මල්ලි...
Deleteහැමදේම බදා ගන්න දඟලන ලෝකෙක බෙදා ගන්න එක කොයිතරම් දෙයක් ද........
ReplyDeleteපරණ ලිපි ටික ඊයේ ඉඳන් කියෝගෙන යනවා. අහම්බෙන් හම්බවුණ ලින්ක් එකක් කිලික් කරල තමයි මේ නිධානෙ හොයාගත්තෙ.
දිගට ලියමු අක්කේ.....
ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා මගේ තරු අහසට.... ස්තුතියි මල්ලී... කියවල ඔයාගෙ අදහසත් කියන්න.
Deleteඔයාලත් අර විදියට පහන් පත්තු කරනවද ගමනක් යන්න කලින්.... හරි පුදුමයි... ඒක තමයි මම දැක්ක ලස්සනම ෆොටෝ එක මේකේ... මට මතක් උනේ අපේ මහත්තයා වැඩට යන්න කලින් බුදු පහන පත්තු කරන හැටි... මට ඒ ෆොටෝ එකේ අමුතුම කතාවක් පෙනුනේ.. මිශ්‍ර රටක් ඇතුලේ හැදෙන සංස්කෘතිය කොච්චර ලස්සනද...
ReplyDeleteඔයාගේ අයියා ගැන පුදුමාකාර ආදරයක් දැනුනේ මේක කියවලා... ඇත්තටම ඒ වගේ මිනිස්සු පුංචි දෙයක් කියලා හිතලා කරන වඩේ, ලෝකෙට කොච්චර ලොකු දෙයක් දෙනවද... මම නම් හිතන්නේ නත්තල් සීයා ගේන්නේ තෑගි විතරක් නෙවෙයි.. සතුට... සමගිය... අවුරුද්ද පුරාවටම හැමෝටම අමතක වෙලා තියෙන සංවේදී දේවල් ගොඩක් කියලා ...
නත්තල් සීයා එනකම් ඉස්සර මාත් බලං හිටියා.. බුද්ධාගමේ කියලා නෑ... අපේ තාත්තා මොනවා හරි පුංචි දෙයක් මගේ කොට්ටෙ යටින් තියනවා එදාට.... මම බඳිනකම්ම ඒ වැඩේ කළා... හි හි...
නත්තල් සීයා අතින් පහනක් පත්තු කරල, යාච්ඤා කරල තමයි ගමන පටන් ගන්නෙ. ඒක හිතට ලොකු ධෛර්යයක්.. මේ වගේ ආර්ථික ප්ර ශ්න තියෙන කාලයක අපිට මේ වැඩේ හැමදාම කරන්න ලැබෙන එකත් කොයි තරම් ලොකු දෙයක්ද? යහපත් චේතනාවෙන් කරන වැඩවලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා.
Deleteමිනිස්සු වයසට යනකොට ආයෙත් පුන්චි උන් වෙනව කියල කතාවක් අහල තියේද?
ReplyDeleteඒ වගේ තමයි. කරන කියන වැඩ වඉන් විතරක් නෙමේ සිතිවිලි වලිනුත් පොඩි උන් වෙන්වා.
ඒකයි පොඩි උන් වගේම එයාලත් සතුටු වෙන්නෙ.මම අත්දැකීමෙන් දැකල තියෙන දෙයක් තමයි. හරිම සුන්දර සටහනක් :)
සමීගේ පුංචි ලෝකය
වයසට යද්දි පුංචි ළමයි වෙන කතාව නම් ඇත්ත.. ඒ බව තේරුම් අරන් අපටත් සිද්ධ වෙනවා එයාලව පුංචි ළමයි වගේ බලා ගන්න.
Deleteෂෝක් :) :)
ReplyDeleteස්තුතියි
Deleteමේ අවුරුද්දෙත් මට වාසනාව උදා උනා නත්තල හිස් බවකින් තොරව සමරන්න. කොටින්ම මම නත්තල සමරලා ඉවරයි :)
ReplyDeleteසතුටුයි මල්ලී... ඉතින් ඔයා නත්තල් සමරපු විදිය ලියන්නකො අපිටත් බලන්න... කැමති නම් විතරක්.
Deleteඅද ගෙදර ගිහින් ලියන්ඩ ඕනා.
Deleteකම්මැලිකමනේ ඉතින් වැඩේ !! :)
අදම ලියන්න... නත්තල් පහුවෙලා ලියල වැඩක් නැහැනෙ... අපිටත් ඔයාගෙ අත්දැකීමෙන් ඉගෙන ගන්න දෙයක් තියේවි.
Delete