පිටු

Wednesday, December 12, 2012

ජේසුනි මට නත්තල් අරගෙන එන්න



අම්මා දුරු රටක මෙහෙවර කරන පැයේ
මීවිත බඳුන පිය සුරතේ ‍රැ‍දෙන රැයේ
බෙත්ලෙහෙමේ ගව මඩුවට හෙමින් සැරේ
අරන් යන්න මගෙ කඳුලැලි සුළං රැලේ.....

නත්තල් ළඟයි උඳුවප් මහ සිහිකෙරුවත්
අම්මා විඳින දුක අමතක ‍නැහැ කොහොමත්
තාත්තට නොවෙයි මධුවිත තරම් සැපක්
නත්තල් සමරන‍්නෙ කෝමද මං විතරක්

අම්මගේ තුරුල්ලේ උණුසුම විඳ ගන්න
තාත්තගේ උකුලේ හිඳ නැළවෙන්න
පාළු ගෙපැල හසරැල්ලෙන් පුරවන්න
ජේසුනි මට නත්තල් අරගෙන එන්න





මම මේ නත්තල් කවිපද ලිව්වෙ 1996 වසරේ සැප්තැම්බර් මාසයේ... ඒ වෙද්දි මම උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. ''උපතකට උපන් ගී'' කියල නත්තල් ගී තරඟයට ඉදිරිපත් කරන්නයි ලිව්වෙ.. මට මතක නැහැ මං ඒ ගැන දැන ගත්තෙ කොහොමද? සංවිධානය කළේ කවුද කියල නම්... කොහොම නමුත් හොඳම ගීත 10 අතරට මගෙ ගීතයත් තේරුණා. ''උපතකට උපන් ගී'' කියන නත්තල් ගී පොතටත් මේ ගීතය ඇතුළත් උණා...

ගීත ඇතුළත් කැසට්පටය සහ ගී පොත එළිදැක්වීමේ උත්සවය තිබුණෙ කොළඹ... ආරාධනා ලැබුණ උණත් මට එන්න බැරි උණා. ඒ දවස්වල ඉතින් කොළඹ කියන්නෙ මහා දුෂ්කර ගමනක්, ලොකු වියදමක් වගේ හැඟීමක්නෙ ගෙනෙන්නෙ. එන්න ආසාවක් තිබුණ උණත් මම ඒ ගැන කරදර කළෙත් නැහැ. ඒ දවස්වල කොළඹ වැඩ කරන පුංචි කෙනෙක් උත්සවයට ඇවිත් මට පොතක් ගෙනත් දුන්‍නා. ඒ පොත බලන්න ඉල්ලගත්ත කෙනෙක් ආපහු දුන්නෙ නෑ... දැන් ඒ පොත ආගිය අතක් නෑ... මගේ ගීතයත් ඒ උත්සවයෙදි ගායනා කළාලු... පොතේ පෙරවදනෙදිත් මගේ ගීතය ගැන කතා කරල තිබුණා.... කාලයත් එක්ක මගේ කවි පොතේ සටහනක් බවට පත් වෙලා මේ ගීතය ඔහේ තිබුණා....

 ( දයා අයියට මතක ඇති මම දවසක් ලිව්වා ඔයාගෙ ලිපියකදි ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගැන මතකයක් තියෙනවා ඒ ගැන නත්තලට ලියන්නම් කියල.... ඔන්න දැන් ඒ ගැනයි ලියන්න හදන්නෙ. )

ඉන් ටික කලකට  පස්සෙ මගේ ගමේ යාළුවෙක් නාට්‍ය පාඨමාලාවක් කරන්න කොළඹ ආවා. සෝමලතා සුබසිංහ මහත්මිය විසින් කළ නාට්‍ය පාඨමාලාවක්. ඒ නාට්‍ය පාඨමාලාවෙ නාට්‍ය සංගීතය ගැන කතා කරන්න දවසක් ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියා ඇවිත් තියෙනවා. නාට්‍යයකදි අදාළ සිදුවීම...... සිදුවීමට අදාළ හැඟීම මතු කරන්න සංගීතය යොදා ගන්නෙ කොහොමද කියල කතා කරද්දි එක් උදාහරණයකට අරන් තියෙන්නෙ ‍මම ඉහත ලියල තියෙන මගේ නත්තල් ගීතය... ගීතය ගායනා කරලත් පෙන්නුවලු.

ගීතයේ අදහස ගැන බොහොම හැගීමෙන් කතා කළාලු... එතුමා හිතල තියෙන්නෙ ඇත්තටම මේ ගීතය ලියල තියෙන්නෙ අම්ම රට ගිය, තාත්ත එක්ක තනිවෙලා ඉන්න දරුවෙක් කියල.‍ මේ වගේ අත්දැකීමක් මට නොතිබුණාට මේ වගේ අත්දැකීම් ඇති ළමයි මගෙ ගමේ, මං වටේට හිටියා... ඒ නිසා මේ අත්දැකීම මට ආගන්තුක අත්දැකීමකුත් නෙවෙයි. ගීතය ලිව්ව කෙනාගෙ නම කිව්වම මගේ යාළුවට මතක් වෙලා තියෙනවා ඒ මම වෙන්න ඇති කියල....

ඇත්තටම හිතද්දි සතුටුයි මම ලිව්ව ගීතයකට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් වැනි ප්‍රවීණ සංගීතඥයෙක් තනුවක් නිර්මාණය කළා කිව්වම. දුකක් තියෙන්නෙ ඒ ගීතය ගායනා කරනවා කවදාවත් මට අහන්න බැරි උණ එකයි...

( දයා අයියට පුළුවන්නම් මට ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයාට කතා කරන්න හෝ ලියන්න ක්‍රමයක් හොයා දෙන්න.... මට ආසයි මේ ගීතය ගැන මතකද කියල දැන ගන්න. )

13 comments:

  1. නත්තල් කවි පද ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි... මේ කවි ටික ලියල සෑහෙන කාලයක් ගත වෙලා තිබුණ උණත් තාමත් සුන්දර මතකයක්...

      Delete
  2. ආදරය විශ්වාසය සතුට සහ සමගිය එකට රැදුන තැන සැමදා නත්තල් නේද තරු අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තයි මල්ලී... අද නැත්තෙත් ඒ නත්තලමනේ....

      Delete
  3. ඇත්තටම ලස්සන නත්තල් ගීයක්. මම කල්පනා කළේ කවුද මේ ගිය ගායනා කලේ කියල ගායනා කළ හිල්පියා හෝ ශිල්පිනිය දැනගත්තොත් ගිතයේ පිටපතක් ලබාගන්න පුළුවන්.විශේෂයෙන්ම මේ ගිත එකතුව සඳහන් පොත ඔබ ලඟ නැති වුනත් එහි තොරතුරු දන්නවානම් ප්‍රකාශනය කළ ආයතනය තැන ඒ ඔස්සේ ගිහින් පොතයි ගිතයයි දෙකම හොයන්නත් පුලුවන්.

    එහෙමත් නැත්නම් පොත ගැන තොරතුරු සහ පොත කියවන්න පුළුවන් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන්. ඒ මගින් හොයන්නත් පුළුවන්.

    මට කණගාටු මේ වැනි නිර්මාණයක් කරලත් රචිකාව ලෙස ඔබට මේ ගීය අහන්න නොලැබුණ එක ගැනයි.

    ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පදිංචිවෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල වගේ මතකයි ඒ ගැන හොයල තොරතුරක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. එදා වැඩසටහනේදි කවුරු හරි ගීතය ගයන්න නම් ඇති. කැසට් පටයකට ඇතුළත් උණාද දන්නෙ නැහැ. මරදාන සමාජ හා සාමයික කේන්ර්ත යේ පොත් අලෙවි කරන තැන මේ පොත තිබුණ මම දැක්ක දවසක්. 2004 දි විතර.. එදා ගන්න බැරි උණා. දැන් ඒකත් නැහැ වගේ... ටිකක් හොයල බලන්න ඕන අයියේ...

      Delete
  4. දැසට කඳුළු ඉනුවා දරුවෝ මේ කව සහ පොස්ටුව කියවද්දී. ඔබ හැකියාවෙන් පිරිපුන් තැනැත්තියක්.සුබ නත්තලක්ම වේවා ඔබටත් පවුලේ සැමටත්.

    ReplyDelete
  5. අගෙයි තරු රසී. සංවේදී ලියවීමක්.ඇත්තටම නත්තල අර්ථවත් වෙන දිනයක් පැමිණෙයිද ?

    ReplyDelete
    Replies
    1. අපිට කරන්න පුළුවන් පුංචි දේ හරි කරමු නේද? ඔබ හැමදාමත් ලියනව වගේ... අපේ ජීවිතය අර්ථවත් කර ගන්නත්. අනිත් අයගෙ ජීවිත ප්රීතතිමත් කරන්නත්.

      Delete
  6. හ්ම්ම්ම්...
    ඇත්ත ඇත්ත...

    ReplyDelete
  7. හැමතැනම පේන්න තියෙන ඇත්ත ලස්සනට ලියවිලා...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...