වසත් කල සිහිනෙක
නිසල වැව් තලයක
සඳ දියට තුරුළුව
පිපි කුමුදු මල
නුඹ......
හිරුත් ගිනිගෙන දැවෙන
ගිම්හානයේ කතරක
හිතුවක්කාර වී වැඩුණ
විස කටු පඳුර මම.....
මැදියම් හීනෙක තැවරුණ
සෙනෙහෙ සුවඳට ලොබ කළත් සිත
මේ වැලි කතර මැද හිඳ
කුමුදක් රකින්නේ කෙලෙස
මම.....
මේ බොහොම කාලෙකට ඉස්සර
ලියවුණ කවියක්.. 1999 වසරේ නොවැම්බර් මාසෙ 12 වෙනිදා හරියටම කියනවනම්.. හේතුවක්
ඇතිවම ලිව්වත් නෙවේ.. මේ කවිය පිටිපස්සෙ කිසිම නිධාන කතාවකුත් නැහැ... 2000 දි
විතර අපේ ළ.ක්‍රි.වි. යෙ ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය ) කවි කිවිඳියො 10 දෙනෙක් එකතු වෙලා පුංචි කවි පොතක් පළ කළා '' සෙනෙහසේ නවාතැන''
කියල.. ඒ කවි පොතටත් මේ කවිය ඇතුළත්.. සෙනෙහසේ නවැතැන සැරසුණෙත් මගේ චිත්‍රවලින්...
කොයි තරම් අහිංසක ප්‍රයත්නයක්ද ඒක..
අපි වෙනුවෙන් ඒ කවි පොත
මුද්‍රණය කළ බර්නි අයියට ගිය මුදලවත් ලැබුණෙ නැහැ.. කාලයක් යනකල් ඒ අයියගෙ ගෙදර
අපේ කවි පොත් ගොඩ ගහල තිබුණා... එදා කවි කිවිඳියන්ගෙන්
ඉඳ හිට හරි අදටත් කවියක් ලියන්නෙ මම විතරමද මන්ද ? ඔන්න
අපේ කවියටයි, කවියන්ටයි අත් වෙන ඉරණම....
හදිසියෙම මේ කවිය මට
මතක් උණේ මග්ගොන වැඩසටහනට ගිය වෙලාවෙ දැක්ක කුමුදු මල් විලක් නිසා... අපි
සෙනසුරාදා උදේ ළමුන් කණ්ඩායමත් එක්ක පරිසර චාරිකාවක් ගියා... මේ චාරිකාව පා ගමනින්
සොබාදහම රස විඳිමින්
ගිය සුන්දර ගමනක්...... මග්ගොන
ළමා නිවාස බිමේ තැන තැන ජලාශ, පොකුණු, බිම් මට්ටමට බැඳපු
හතරැස් ළිං තියෙනවා.. මේ සමහර පොකුණුවල මානෙල්, ඕලු වගේ මල් පිරිලා... එක් පොකුණක්
පිරිල තිබුණෙ කුමුදු මල්වලින්.. පොල් අතු අග්ගිස්සෙන් හිරු එළිය පෙරී වැටෙන ඒ
උදෑසන මේ පුංචි පොකුණ හරිම සුන්දරව පෙණුනා...
'' ෆාද.... මේ තියෙන්නෙ කුමුදු
මල්'' අපට මග පෙන්වපු මේරියස් පියතුමාට මම
කිව්වා..
''
ආ...... ඇත්තද.. මේද කුමුදු මල්.... මම දැනගෙන හිටියෙ නැහැනෙ... ෂා.... '' පියතුමා
හදවතින්ම කුමුදු මල් අසිරිය වින්
..
මේ තරම් පරිසරයට ආදරය කරන, පරිසරය විඳින්න කැමති වෙනත් පියතුමෙක් මට හමුවෙලා
නැහැ... මර්සලින් ජයකොඩි පියතුමාත් පරිසරය විඳින්න ඇත්තෙ මේ වගේම ආදරයකින් ගෞරවයකින්
වෙන්න ඇති කියල මට හිතෙනවා...
'' මට
මේ කුමුදු විල දැක්කම මතක් වෙන්නෙ... සැලළිහිණි සංදේශයේ කවියක්..''
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
'' සැළලිහිණියා සංදේශයත්
අරගෙන පියාසර කරද්දි එයාට කොන්ත ගං තොට මුණ ගැහෙනවා... ඒ සඳ එළිය දෝරෙ ගලා යන රාත්‍රියක්.
හැම තැනම කුමුදු මල් පිපිල
තියෙනවා... සඳ එළියෙ පිපුණු කුමුදු මල් පේන්නෙ හරියට හඳ රැස් පොරවගෙන ඉන්නව වගේ.. හඳ
එළියත් සුදු පාටයි.. කුමුදු මලුත් සුදු පාටයි... ජල තලාව මතුපිට පරවුණු නෙළුම්
මල්වල පෙති විසිරිලා තියෙනවා... හඳ එළිය ගලන රැයක ළා රත්
පාට නෙළුම් පෙති විසිරුණු ජල තලාවක සුදු පාට කුමුදු මල් පිපිල තියෙද්දි කොයි තරම්
අපූරුද?
මේ ලස්සනට වශී වෙන
සැළලිහිණියාට එතන නවතින්නත් හිතෙන්න පුළුවන්... ඒ නිසා කවියා කියනවා එතෙර වෙනවයි
කියන ස්ථිර අධිෂ්ඨානය ඇතිව කොන්ත ගං තොටින් පියාසර කරන්න කියල... ''
කවිය විස්තර කරල මිස් ඒක
අපූරුවට අපේ නව යොවුන් ජීවිතවලටත් ගලපල දුන්නා.. සුන්දරත්වයට, බාහිර ඔපයට ආකර්ශණය
වෙන එක හරිම ස්වභාවික දෙයක්.. ඒත් ඒ නිසා තමන්ගෙ ජීවිත අරමුණු අමතක කරල දාන්න එපා..
ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව ජීවිත ගමන ඉදිරියට යන්න කියල...
මේ කවියෙ ඊටත් වඩා ලොකු
ගැඹුරක් තියෙන බවත් පෙන්වල දුන්නෙ සිංහල ගුරුතුමියමයි...... ඒ තමයි සියල්ල අනියතයි
කියන ජීවන සත්‍යතාවය. ඒ නිසා ලෞකික සුන්දරත්වයට ඇලීම් ඇති කර ගන්න එක නිෂ්ඵල
දෙයක්.... ලෝකයේ සුන්දරත්වය විඳින්න
ඕන... නමුත් අනවශ්‍ය ලෙස මනසින් හදවතින් අල්ලා ගැනීම නොකළ යුතුයි... මේ කවියේ
ගැඹුරු ධාර්මික අරුත එයලු....
ලස්සනයි!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි හිරුහිමාවි, මගේ තරු අහසට ගොඩ වැදුණට...
Deleteසැලලිහිනි සන්දේශයේ අර කවිය ජීවිතේට සම්බන්ධ කරපු හැටිනං නියමයි...
ReplyDeleteනියම ගුරුවරියක්..
කවියත් ලස්සනයි..
උසස්පෙළ වසර දෙකම අපේ පන්තිය භාරව හිටියෙත් මේ ගුරුතුමියම තමයි.. ඇය මුලින්ම පන්තියට ආව දවසෙ කිව්වෙ ඔයාල මාව විශ්වාස කරන්න.. මම ඔයාල හැමදෙනාටම ඒ සාමාර්ථ ඇතිව විභාගය සමත් වෙන්න මග පෙන්වනවා.. ටියුෂන් පන්තිවලට සල්ලි නාස්ති කරන්න එපා කියල... මම ඇයව විශ්වාස කළා... ඇත්තටම ඒ කියමන ඇය ඔප්පු කළා...
Deleteමම හුගාක් ආදරය කරන, ගරු කරන ගුරුතුමියක්...
තරූගෙ කවිය විතරක් තිබුණත් මේ පිටුවට සෑහෙනවා. කවිය ඒ තරමට කාව්‍ය සංකල්පනාවෙන් අනූනයි. නියමෙටම ඉතාමත් අපූර්ව ආකාරයෙන් ලියල තියෙනවා.
ReplyDeleteලංකාවෙ කවිවලට තියෙන්නෙ ඉතාම සිමිත ඉල්ලුමක් ඒත කවි ලියන පිරිස දිහා බැලුවාම අසීමිත සංඛ්‍යාවක්. අඩුම තරමින් ලංකාවෙ ප්‍රකාශයට පත්වන කවිපොත් මේ කවි ලියන අයවත් කියවනව නම් ඒක ප්‍රමාණවත්. නමුත් එහෙම දෙයක් සිදුවන්නෙ නෑ.
පුංචි උදාහරණයක් දෙන්නම් ලංකාවෙ ඉන්න හොඳම දක්ෂතම කවීන් අතර රත්න ශ්‍රී, නන්දන, එරික්, ආරියවංශ රණවීර යන අයගේ පවා කවි පොත් 250 ක් විකිනෙන්න වසර 02 හා් ඊට වැඩියෙන් යනවා. ඒත් පළමු නවකතාව ලියන ලේඛකයාට හෝ ලේඛිකාවට නවකතාවේ පිටපත් 1000 ක් වසරක් තුලදී අලවිකරගන්න පහසුවෙන්ම පුළුවන්. මේ මම පෞද්ගලිකවම කළ සමීක්ෂණයක් . එතකොට හිතාගන්න කවියට අත්ව ඇති ඉරණම.
හැබැයි ලේභන කලාවට පිවිසිමට කවිය හොඳ අත්වැලක් සපයනවා. මමත් කාලෙකට සත් අන්ත පත්තර සගරා වලට ඉහත සෑහෙන්න කවි, කෙටිකතා ලිව්වා, ඒ අත හුරු කරගන්න.දැන් ලියනනෙ නෑ. ඒත් තවම කවියට සැබැවින්ම ආදරේ කරනවා. ඒ කවිය හරි සුන්දර නවාතැනක් නිසා.
කවිය මගෙ ජීවිතේට ගොඩක්ම සමීපයි.... කවියෙන් ඈත් වෙන එක නම් හිතන්නත් අමාරු දෙයක්.. අඩුම තරමෙ අළුත උපන් බබෙකුට, විශ්රාවම යන කෙනෙකුට, ස්ථාන මාරු යන කෙනෙකුට හරි කවියක් ලියන්න වෙනවාමයි...
Deleteබූන්දියෙ පළවෙනවා ගොඩාක් හොඳ කවි... කවි ලියන්න වගේම කවි රස විඳින්නත් මම ආසයි... ඔයා වගේ ප්රවවීණ ලේඛකයෙක්ගෙ අදහස් මට හරිම වටිනවා අයියෙ.. ස්තුතිය ගොඩාක්..
අන්තිම්ට කිව් එකට එකඟයි අක්කා...බාහිර ඔපේට රැවටිලා අතරමං වෙනවාට වඩා අවංක හිත ලස්සන නම් එච්චරයි...
ReplyDeleteඅක්කාගේ පද ගැලපිම ලස්සනයි...
මට මුණ ගැහුණා ගුරු දෙවිවරු නංගා.. එයාල ඉගැන්නුවෙ විෂය විතරක් නෙවි, ජීවිතයත් ඉගැන්නුවා.. මේ කවිය බ්ලොග් එකට දැම්මට පස්සෙ මටත් ඒකෙ අමුතු ලස්සනක් පේන්න ගත්තා.. ස්තුතියි නංගි..
Deleteකවි පොත පීඩීඑෆ් කරලා දාමුද අන්තර්ජාලයට අක්කේ ??
ReplyDeleteඒක නම් හොඳ අදහසක් මල්ලී.. මම ගමේ ගියාම කවි පොතක් ගේන්නම්.. හොඳයි කියල හිතෙනවනම් අන්තර්ජාලයට එක් කරමු.. ඔයා මගේ නිර්මාණ ගැන දක්වන උනන්දුවට ගොඩක් ස්තුතියි මල්ලි..
Deleteනියමනේ ඈ.... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජතුමනි හොඅෙඳ්..
Delete//..හිරුත් ගිනිගෙන දැවෙන
ReplyDeleteගිම්හානයේ කතරක
හිතුවක්කාර වී වැඩුණ
විස කටු පඳුර මම.....//
තරුරසී අන්තිමට කියපු එකනම් ඇත්තම ඇත්ත තමයි..ඒ වගේම ඔයාගේ කවියත් හරිම ලස්සනයි....
මේ කවි පද කිහිපයටසෙල්ලක්කාර, නපුරු කොල්ලෙක්ව හිතේ මැවෙනවා... එහෙම කෙනෙක්ව උණත් වෙනස් කරන්න ආදරයට පුළුවන් කියල මට හිතෙනවා.. ඒත් අහිංසකම කුමුදු මලකට එහෙම ආදරයක් ඔරොත්තු දෙන එකක් නැහැ.. ස්තුතියි ඔයාට..
Deleteලස්සනයි .කවි ටික වගේ අර සැළලිහිණිය ගැන ලියාපු ටික . මටත් ඔය කවි ලිවිම ඇඟට අරන් තිබ්බ කාලයක් තිබුනා .මුලින්ම කලේ පරිසරය වනන එක . ඊට පස්සේ සටන් කවි ..ආදර කවි පස්සේ හිමිට ඒවා දියාරු වෙලා ගියා . දැන් ඉතින් බොහොම කලාතුරකින් තමා ලියන්නේ . මෙව්වා ජීවිතේම නොනවත්වා කරන අයට මගේ ප්‍රණාමය .
ReplyDeleteස්තුතියි බින්දි ඔයා දෙන ධෛර්යයට... කවියක් ලියන්නත් අමතක කරන්න එපා... ඔයාට ලස්සනට ලියන්න පුළුවන්නෙ...
Deleteඋසස් පෙළ කතද්දි සැළලිහිණියේ කවි සේරම කට පාඩම් කලා.මම ඒවගෙ තිබුණ කවි වලින් ආසම අර සැළලිහිණියට කියන්නේ
ReplyDelete''බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩී"කියන කවියට. දැන්නම් පාඩම් කල 104 දෙක තුනක්වත් මතක නැද්ද මන්දා....
මටත් ඒ දවස්වල සැලළිහිණි සංදේශයම, මනමේ නාට්යේ පිටපතම කට පාඩම් බට්ටි.. මම ආශාවෙන්ම ඉගෙන ගත්ත ආශාවෙන්ම විභාගෙ ලිව්වෙ උසස් පෙළ තමයි.. අපේ පන්තිය සෞන්දර්ය පන්තිය.. චිත්රෙ, සංගීතය, නර්තනය, නාට්යම හා රංග කලාව ඉගෙන ගත්ත අය තමයි හිටියෙ.. ඉතින් පන්තිය එකම රස ගුලාවක්... කලාගාරයක්... සිංහල මිස් හැමදාම පේලියෙන් පේලියට නැගිට්ටවල කවිය තාලෙට කියවල තමයි උගන්වන්න පටන් ගත්තෙ...
Deleteලස්සනට කවි කියන්න පුළුවන් කට්ටියක්ම හිටියා අපේ පන්තියෙ... හිතා ගන්නකො උසස් පෙළ ජීවිතේ කොයි තරම් සුන්දර වෙන්න ඇද්ද කියලා... වටේම හිටියෙ කලාකාරයොනෙ...
කවියක් දැක්කොත් හිත නවතින්නෙම එතන...ලස්සනයි ඔයා ලියපු කවිය...වගේම සැළලිහිණිය කවියේ අරුත..
ReplyDeleteඒ වගේම ඉගැන්වූ ගුරුවරිය කවිය ජීවිතයට සම්බන්ධ කරලා ඉගැන්වූ පාඩම ඔබත් අපට කියල දුන්නා...
ලෞකික සුන්දරත්වයට ඇලීම් ඇති කර ගන්න එක නිෂ්ඵල දෙයක්....
මේ වාක්‍යයේ වටිනාකම මෙච්චරයි කියල කියන්න බැරි තරම්ම වටිනවා...
මේ පැත්තට ගොඩවැදුන පළමු වතාවද කොහෙද ආයෙමත් එන්නම්කෝ...
ගොඩක්ම ස්තූතියි මගේ ලිපිය ගැන දැක් වූ අදහසට... ඒ වගේම සතුටුයි මේ පැත්තෙ ආවට.. ආදරයෙන් පිළිගන්නවා ඔයාවත්.. ආයෙම එන්න...
Delete