අම්මා කඩිමුඩියේ තල්කොල පෙට්ටිවලට තවන ලද කෙසෙල් කොල
අතුරමින් සිටියාය. මලිති නැවත වරක් බත කූරු ගෑවේ හුමාලයට නිදහස් වන්නට ඉඩ හරිමිනි.
අතට වැදුණු හුමාලයේ රස්නයෙන් ඈ තිගැස්සුණාය.
'' තාම හයයි අම්මේ...'' මුවින් එසේ කීවද ඉක්මණින් බත්
පෙට්ටි සකසාගෙන ගෙයින් පිටවීමේ අවැසිතාව ඈ සිත පිරී තිබිණි.
'' මගුලක් වගේද? මළගෙයක් උණාම වේලපහින් බත් මේසෙ අරින්න
එපායැ.. දුර පළාත්වල ඉඳන් එන යන ඈයො
ඉන්නවනේ... ''
........සුදු අක්කයි, දුවයි ඉතින් තනිවෙනවා නේද?.....
මලිතිට සිහින් සුසුමක් පිටවිය.
'' අහස පොළව උහුලන වැඩක්ද මේ.. දැන් ඉතින් අර
දැරිවිටයි... කිරිසප්පයටයි යන කල මොකක්ද? '' මලිතිගේ හිත කියෙව්වාක් මෙන්
අම්මා සුපුරුදු ශෝකාලාපය පටන් ගත්තාය.
සුදු අක්කා සරණ බැඳුණේ වසර ගණනක ප්‍රේමයකට කිරුළු පළඳවමිනි. ඇය නිදහස් වෙළඳ කලාපයේ සන්නාලියකව සිටි සමයේ අතරමගක හමු වූ
ඉහළ පෙළේ සොල්දාදු උන්නැහේ කෙනෙක් සමග ප්‍රේමයෙන් බැඳුණාය. ඔහු සැබවින්ම උත්තම ගණයේ මිනිසෙකි. දුප්පත් සුදු
අක්කාගේ නිවසට පෑයූ පුර හඳකි. ජීවිත
කතරේ අතරමං වන සන්නාලි පුරවරයේ බොහෝ කෙල්ලන්ට වඩා ඇගේ ඉරණම වෙනස් වූයේ ඒ පුරහඳ නිසාමය.
පොල්අතු පැළ ඉදිරියෙන් නව නිවසක් ගොඩ නැගිණි. අතිනත් ගත්
දෙදෙන නව නිවසට ගෙවැදුණේ තනිවම නොවේ. සුදු අක්කාගේ අහිංසක මව්පියනුත්, එකම මල්ලීත්
සමගිනි. සුදු අක්කා මවක වූවාය. දියණිය දැන් සිව් හැවිරිදිය.
නමුදු නොසිතූ මොහොතක පුරහඳ නිවී ගොසිනි. දැවී අළුවුණු පුරහඳ සීල් තැබූ පෙට්ටියකය. ඒ මතින් සිංහ කොඩියක්
තේජාන්විතව වැතිර සිටී.
මලිතිට දුකය. සැබවින්ම දුකය. නමුත් ඒ දුක අතරින් හිත
පුරා සිනා මල් පිපෙමින් තිබිණි. ඒ කතා කරන දෑසක් නිසාය. තමන්ගේ දෑස ද මුව ද
පොපියමින් පවතින බව මලිතිට දැනේ. සිය දෑසේ දිදුලන කැල්ම වාරු කර ගන්නට ඈ බොහෝ වර
වෙර දැරුවාය. මේ වියෝවකි. දරා ගන්නට නොහැකි වියෝ වේදනාවක සැවොම ගිලෙමින් පවතින
මොහොතකි. ඉදින් මෙවන් මොහොතක නෙත කඳුලකට මිස
බැබළීමකට හිමිකමක් නොතිබිය යුතුය.
'' අහිංසක කැලෑ මලක් නේද මචං''
නිවස ඉදිරිපිට දාම් ලෑල්ලක් අබියස සිටි තරුණයින්
කණ්ඩායමකට පෙරදා රාත්‍රියේ කෝපි පිළිගන්වා ආපසු හැරෙන විට එවදන් මලිතිගේ සවන්
ගැටුණේය.
'' අබ්බගාත අපිට කොයින්ද ඉතින් සුවඳ මල්''
මලිති අසුරු සැණින් ආපසු හැරුණාය. සිතා මතා නොව එය ඉබේම
සිදු විය. වදන් ගිලිහුණු වත ඈ වත මතම නැවතී තිබිණි. ඒ දෑස් සිනාසුණි. කතා කරන දෑස
මුල්වරට ඈ නෙත ගැටුණේ ඒ නිමේෂයේ දීය.
තලෙළු පැහැ කඩවසම් ගත, කොටට කැපූ කොණ්ඩය, සුදු ටී ෂර්ටය,
දිලෙන දෑස, කට කොණකට නැගෙන මද සිනාව .......... මලිතිගේ හිත ඇඳී තිබු සිහින කුමාරයාගේ රුව හා බෙහෙවින් සැසඳිණි. ප්‍රථම වරට හිතේ විදුලියක් කෙටුවාක් වැනි හැඟීමක් ඇයට දැණිනි. මලිති වහා ආපිට හැරුණාය.
ඇය කෙළින්ම ගොස් නැවතුණේ නිවස පිටුපස තේ පැන් පිළියෙල වන එළිමහන් මේසය අසලය.
තවත් කෝපි බඳුන් සූදානම්ව
තිබිණි.
'' අනේ අම්මෙ තවත් මට බෑ කෝපි ගෙනියන්න... හැමෝම ඉන්නෙ
පිරිමි අය.. මල්ලි කෙනෙක්
යවමුකො...''
හිතේ නැගුණු තිගැස්ම තවත් පහවී නොමැත. නැවතත් ඒ දෙනෙත්
කැල්මට හසු වන්නට, ඒ මුව මත පිපෙන සිනා මලක් නෙළා ගන්නට ඕනෑ වුවද අහිංසක ගැමි යුවතියගේ
සිත පැකිළෙමින් තිබිණි. දෙපා අවසඟ බවක් දැණිනි.
රැය පහන් වුයේ කෙලෙසදැයි ඇයට නිනව්වක් නැත. පාන්දර යාමයේ ඩිංගිත්තක් ඇහැ පියා
ගන්නට නිවසට පැමිණියද ඇය සිහිනෙන් පවා දුටුවේ ඒ කතා කරන දෑසමය.
නිමාවක් නොවේ....
මුල්ම වතාවට
මගේ බ්ලොග් එකට කෙටි කතාවක් ලිව්වෙ.. මේ පළමු කොටස. දෙවෙනි කොටස
ළඟ ළඟම එනවා...
මෙගාවක් නම් කරගන්න එපෝ......
ReplyDeleteලියන්නට හපනියකගේ කතාව ගැන අටුවාටිකා කුමටද හරිම ලස්සනයි....ඉතුරු ටික නොපමාව දාන්න ඇත්තටම ඒ කථාවෙ විශේෂත්වයක් ඇතැයි සිතේ....
ReplyDeleteසුබම වේවා....
ලස්සන ආදර කථාවක් වගෙ.. උපමා එහෙම දාල නහර වලටම ආදරේ දැනෙන්න ලියල තියනව.. ඉතුරු කොටස් ටිකත් මේ වගේ ලස්සන උපමා එක්ක ඉක්මනින් දාන්න
ReplyDeleteෂෝයි හ්ම්ම්..:)
ReplyDelete"අබ්බගාත' කියන්නේ ක්‍රියාන්විත රාජකාරියේදි යුද්දෙට මුහුන දුන් කෙනෙක් වගේ.බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා
ReplyDeleteහ්ම්..හුගක් ලස්සනයි කතාව..ඔන්න දැන්නම් ඉතිරියත් ඉක්මනින් කියවන්නට ඔනේ....
ReplyDeleteලස්සන කතාවක් වේවි කියල හිතෙනවා . බලමු ඉතිරියත් කියවලාම .
ReplyDeleteමගේ පළමු බ්ලොග් කෙටිකතාව කියවා අදහස් දැක්වූ ඔයාල හැමදෙනාටම ස්තූතියි... ඔයාලගේ අගය කිරීම් වගේම මග පෙන්වීම්, නිවැරදි කිරීම් මට සවියක් වේවි...
ReplyDelete