පිටු

Monday, April 23, 2018

මා දුටු වෛෂ්ණාවී...




තමන් ආදරය කරන අය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ වැදගත් මොහොතකදී වටිනාම දෙයක් තිළිණ කරන්නට ඇත්නම් අප එය මහත් සතුටින් ඉටුකරන බවට සැකයක් නැත. 

සුමිත්‍රා පීරිස්ගේ ‘‘වෛෂ්ණාවී‘‘ මා දුටුවේ එවන් සුන්දර තිළිණයක් ලෙසිනි. ‘‘වෛෂ්ණාවී‘‘ පිළිබඳ ඍණාත්මක ප්‍රතිචාර දක්නට ලැබුණත් මා එය නැරඹිය යුතුම යැයි සිතූයේ ඇත්තටම ඒ ප්‍රවීණ කලාකරුවන් දෙපළ ලෙස්ටර්ටත්, සුමිත්‍රාටත්, ඔවුන්ගේ දීර්ඝකාලීනව ජීවිතය බෙදාගන්නා ප්‍රේම චාරිකාවටත් දක්වන ආදරයේ සහ ගෞරවයේ සංකේතයක් ලෙසිනි.  
පෞද්ගලික හැඟීම් එබඳු වුව,

‘‘වෛෂ්ණාවී‘‘ සාමාන්‍ය ගම කතාවකින් එහා යා නොහැකිව අතරමංවූ සිනමා කෘතියකැයි සිතේ. මනුෂ්‍ය භාවයන්ගේ සංකීර්ණ බව, විශේෂයෙන් ස්ත්‍රී හදවතේ ගැටීම්, මනුෂ්‍ය බැඳීම් සහ ඒ හරහා ඇති වන ගැටීම් ප්‍රබලව කියා පෑ හැකි කතා සංකල්පයක් තෝරා ගෙන තිබුණද, චරිත, දෙබස්, සිදුවීම් හරහා එම ප්‍රබල බව ගැඹුරින් නිරූපණය කරන්නට සිනමා කෘතිය අපොහොසත් වී ඇත. වෛෂ්ණාවී සාමාන්‍ය ගම කතාවකින් එහා නොයන්නේ යැයි මා කියන්නේ එබැවිනි.

පාරම්පරික රූකඩ ශිල්පියකු වන ඔසඳා දේවතාවියක පවා ආකර්ෂණය කරගන්නට සමත් ප්‍රබල පුරුෂයෙකිය යන්න විශ්වසනීයව ගොඩනගන රූප රාමුවක් චිත්‍රපටයෙන් උකහාගැනීම අසීරුය. ඔහු පළමු වරට බැහැදකින මනමාලිය කෙරෙහි ප්‍රේමයෙන් බැඳීම මෙන්ම එය අහිමි වීම නිසා ජීවිතය නැති කරගන්නට තරම් බිඳ වැටීමද තරමක ඇදහිය නොහැකි දෙයකි. ඒ අතර ඔසඳා කැටයම් කරන ලද දැවමය කාන්තා රුව රුක් දේවතාවියක බවට පරිවර්තනය වීමද, ඇය නිසා ඇති වන ගැටලුද ගොඩනැගෙන්නේ මතුපිටින් පමණි.

දේවතාවියගේ උදහසට පාත්‍ර වන්නට තරම් ඔසඳාගේ නෑනණ්ඩිය වන රුචිරා ඔහු වෙත පෙම් බඳින්නේද? එබඳු ගැඹුරු ප්‍රේමයක් ඈ තුළින්ද මතු වී නොපෙනේ. ඔසඳා සහ රුක් දේවතාවිය අතර වන බැඳීම වුව ද සංකීර්ණව නිරූපණය වන්නක් නොවේ. අවසන කිසිදු ගැටුමකින් තොරවම යාතිකා මැද වන දෙව්ලිය අලුත් රුක් විමනකට ඇදී යයි. චිත්‍රපටය නිම වෙයි.  

තිර පිටපතේ කුමන දුර්වලතා තිබුණද, අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ සංස්කරණය තුළින් ඔසවා තැබිය හැකිව තිබූ ‘‘වෛෂ්ණාවී‘‘ ඒ සෑම පියවරක් තුළදීම අසාර්ථක වී ඇතැයි සිතේ. තෝරා ගෙන ඇති ගැමි පරිසරයද, ගැමි ගෙවල්ද බලා ඉන්නට ලස්සනය. එපමණකි.

‘‘වෛෂ්ණාවී‘‘ එසේ වුවද ලෙස්ටර්ට සහ සුමිත්‍රාට ආදරය නොකර ඉන්නට තරම් එය හේතුවක් නම් නොවේ.