පිටු

Friday, May 18, 2018

ආදරයේ ඔන්චිල්ලා... (Swings of Love)




‘‘රන් කෙන්ඳෙන් රනින් තැනූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා...

මා හදේ ගැයෙමින් පැවතියේ ඒ ගීතයයි. ඒ ලුම්බිණි රඟහලේ දී ‘‘ආදරයේ ඔන්චිල්ලා‘‘ සීමිත ප්‍රේක්ෂාගාරයකට මුණගැස්වූ සුන්දර සැඳෑවයි. එහි කාව්‍යාත්මක පිටපත් රචනය මංජුල වෙඩිවර්ධනගේය. ඔහු සිය නිර්මාණ කාර්යය නාමකරණය කරනුයේ ‘එපික් රංග කාව්‍යයක්‘ ලෙසිනි.  මංජුල ගේ කවිකාර රංග රචනාව ඉංගිරිසියට නගන්නී දිලිනි ඊරියවලය. එය වේදිකාව මත සජීවී අත්දැකීමක් බවට පත්වන්නේ එම්. සෆීර් ප්‍රවීණ නාට්‍යවේදියාගේ නිර්මාණ පරිශ්‍රමයෙනි.

‘‘ස්ත්‍රීත්වය සහ ප්‍රේමය‘‘ තේමාත්මය කොට ගත් මෙම රංග කාව්‍යය ලාංකේය ප්‍රේක්ෂාගාරයට නවතම අත්දැකීමක් වනු නිසැකය. ඇත්තේ එකම චරිතයකි. එයට පණ පොවන්නී ඉතාලි ජාතික රංගන ශිල්පිනියක වන ජූලියා ෆිලිප්පෝය. ඔන්චිල්ලාවෙන් ඔන්චිල්ලාවට මාරු වෙමින් ඉතාම නම්‍යශීලීව, හුරුබුහුටිව, රිද්මයානුකූලව ඇය තම භුමිකාවට ප්‍රවිෂ්ට වන්නට සමත් වන්නීය. ඒ චරිතයට ඇය ම මිස, වෙනත් ලාංකේය රංගන ශිල්පිනියක මගේ මතකයට නො නැඟේ.  ප්‍රේමය, ස්ත්‍රීය, ජීවිතය පිළිබඳ ඕෂෝ සංකල්පනාවන්හි ආලෝකය සමස්ත රංගය පුරා විදිහ පැතිර යේ.

‘‘ඔබ මා තුළින් ඔබව දුටුවාදැයි මම දන්නේ නැහැ.
ඒ වුණත් මම මා තුළින් ඔබව දකිනවා...
ඔබට පුළුවන්ද කියන්න,
මට මා තුළින් මා දකින්නට නො හැකිද?

ස්ත්‍රිය වටහා ගන්නට වෙර දරන්නට එපා
ඇයට, ඔව්, ආදරය දෙන්න,
ඔබ කියනවා. 

ඉදින්,
ස්ත්‍රිය වටහා ගන්න
වෙර දරන්නට එපා. 
තේරුමක් නැහැ.

ආදරය කියන්නේ
අයිති කර ගැනීමට නෙවෙයි.

ආදරෙයි නම් ඔබ මලකට
නෙලා ගන්නට එපා ඒ මල. “




තිරය විවර වන්නේම වේදිකාව මත පැද්දෙන ඔන්චිල්ලාවක තනි වී හිඳින යුවතියක පොතක් කියවමින් සිටින අතරතුරය. ප්‍රේක්ෂාගාරය මුළුමනින්ම රංග කාර්යය හා බද්ධවන තුරුම ඇය පොතෙහි නිමග්නව උන්නාය. වේදිකාව පුරා තවත් ඔන්චිල්ලා කිහිපයක් වේ. එහි වර්ණ ගැන්වුම එකිනෙකින් වෙනස් ය. සුදු, නිල්, රතු, දම්, කළු ආදී වර්ණ  ස්ත්‍රී ජීවිතයේ විවිධ ඍතුවල ඇගේ අධ්‍යාත්මික අත්විඳීම් නිරූපණය කරයි. ස්ත්‍රී ආත්මය ආදරයට, අනුරාගයට, ලිංගිකත්වයට, ප්‍රචණ්ඩත්වයට, නිශ්චලත්වයට මුහුණ දෙමින් ගලා යන අයුරු නිරූපණය වන්නේ ඔන්චිල්ලාවෙන්, ඔන්චිල්ලාවට මාරුවෙමින් ඇය ඉදිරිපත් කරන රංගනය තුළිනි.   

ඔබේ ගුරුවරයා කවුද?
ඔබ ඉදිරියේ සිටින පෙම්වතාද? ස්වාමියාද?
මහැදුරාද? නැහැ.
ඒ ඔබේ හෘදය.

ජීවිතය තමයි නිසල විල.
විල් දිය තමයි කැටපත.
ඔබ ඔබ දිහා බලන්න.
හොඳින් බලන්න.
තීක්ෂණ ඇසින් බලන්න.
විනිවිද බලන්න.

නාසිසස් වගේ ඔබට ඔබව පේන්න ගන්නවා.
ඔබ දැන් ඔබටම වසඟ වෙමින් ඉන්නෙ.
ඒ ඔබ ඔබෙන් පරිබාහිරව හිදිමින් ඔබ දෙස බලන හින්දා.
නමුත් ඔබට පුළුවන්
ඔබ දෙස බලන්න
ඔබ තුළම හිඳිමින්.
එවිට වසඟයක් නැහැ.


Swings Of Love - ආදරයේ ඔන්චිල්ලා රංග කාව්‍යය සාම්ප්‍රදායික ස්ත්‍රී පැවැත්මේ අර්බුදය සාකච්ඡා කරන අතරම, අර්බුදයට අභියෝග නොකරන ස්ත්‍රී අධ්‍යාත්මය ප්‍රශ්න කරයි. ස්වකීය අධ්‍යාත්මයට විවෘත වෙමින්  ජීවිතයේ සාරය තමා තුළම සොයා යන්නට ඇරයුම් කරයි. 

           
‘‘ආදරය සහ ජීවිතය එකිනෙකින් වෙන් කරන්න බැහැ.
ඔබට නොහැකි නම් ඔබ තුළ සතුට හොයන්න,
කාටද පුළුවන් ඔබ තුළින් සතුට හොයන්න .

ඔබ හැඟුම් සංකීර්ණයක්.
ඉතින් ඔබ අහිංසක වෙන්නෙ කොහොමද?
අහිංසක වෙන්නෙ මොකටද?
ඔබ අහිංසක නම් ඔබ සංකීර්ණ නැහැ.

ඉතින් කෝ ඔබේ ඇත්ත මුහුණ?
වෙස් මුහුණ ඉවත විසිකර ඇත්ත මුහුණ අතට ගන්න.
ඔබේ භාවනාවේ රසවිද්‍යාව විය යුත්තේ ඇත්ත මුහුණයි.“

මංජුලගේ කාව්‍යමය  භාෂා රටාව සරල ව, සිලිටිව ඉංග්‍රීසියට නඟන්නට දිලිනි සමත් වී ඇතැයි හගිමි.  සංගීතය හා බද්ධ වූ නම්‍යශීලී රංග ලාලිත්‍යයද, වේදිකාව පුරා පැතිරුණු ඔන්චිල්ලා අතර සීරුවට ගලා යන රංග වින්‍යාසයන්ද, තේමාවේ අරුත් වඩාත් තීව්ර කරන ආලෝක රටාද ආදරයේ ඔන්චිල්ලා තේමාත්මය සාර්ථකව අප  වෙත සමීප කරවන බව මගේ විශ්වාසයයි. එදා පළමුවරට ලුම්බිණියේ දුටු දර්ශනයෙන් පසුව රටවල් කිහිපයක ආදරයේ ඔන්චිල්ලා (Swings Of Love) රංග ගත විය. මේ වන විට එය තවදුරටත් ඔපමට්ටම්ව ඇති බව නිසැකය.

ඉතින් ඒ, ඉංග්‍රීසි බසින් ගලා යන ආදරයේ ඔන්චිල්ලා (Swings Of Love) මෙවර අන්තර්ජාතික නාට්‍ය උළෙලේ, ලයනල් වෙන්ටඩ් වේදිකාවේ දී මැයි 25 වන දා ප.ව. 7.00 ට රංගගත වනු ඇත.  



මා මුලින්ම සඳහන් කළ ‘‘රන් කෙන්දෙන් රනින් තැනූ“ ගීතය    මුල් ගැයුම ඇන්ජලින් ගුණතිලක සමඟ මල්ලිකා කහවිට විසිනි. ගේය පද රචනය ධර්මසිරි ගමගේ ය. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසිනි. 1971 වසරේ තිරගත වූ ධර්ම ශ්‍රී කල්දේරා විසින් රන් ඔන්චිල්ලා චිත්‍රපටයෙහි ඇතුළත් වූ ගීතයකි. ( තොරතුරු අන්තර්ජාලයෙනි.)

රන් කෙන්ඳෙන් රනින් තැනූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා...

දෑතට බැඳි ලණු දෙපොටයි දෑතින් ගන්නේ
මාල අරුංගල් දෙකණේ තෝඩු වැනෙන්නේ
රෑන කිතුල් මල් වරළයි සුළඟෙ දුවන්නේ
ජීවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ...

අහස උසට ආසාවේ අහසට යන්නේ
අහසට යන ගිය සේරම පොළවට එන්නේ
උඩ ගිය අය හති අල්ලා බිමට බහින්නේ
බාල ලියන් රන් ඔන්චිල්ලාව පදින්නේ....

රන් ඔන්චිලි චිල්ල මලේ දුකට අඬනවා
රන් ඔන්චිලි චිල්ල මලේ කඳුළු පිහිනවා
කඩන්න බැරි කටු අකුලක මලක් පිපෙනවා
රන් ඔන්චිල්ලාවේ ගොස් එමල නෙළනවා...



‘‘Swings Of Love - ආදරයේ ඔන්චිල්ලා‘‘ දැන් මුද්‍රිත කෘතියක් ලෙසද මිල දී ගත හැකිය. එහි සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පිටපත් රචනය ඇතුළත් කර ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමි. 



Thursday, May 3, 2018

නැත ලොවේ අන් රසඳුනා!!!

By Vladimir Volegov 


දේශද්‍රෝහියාට ආ ලියුම් දෙකක්

පොතට ලැබෙන ප්‍රතිචාර එක තැනක ගොනු කොට තබා ගැනීමයි මෙහි අරමුණ... දේශද්‍රෝහියා ගැනම කියවල කම්මැලි හිතෙනවනම් අතෑරල දාන්න.

මේ මුල් ලියමන ලැබුණෙ සහෝදර පියතුමකුගෙන්. ඔහු දෙව්සත්හලේ ඉගෙනගන්නා කාලයේ ඉඳන්ම මා දන්නා මල්ලි කෙනෙක්. අපි ළමා සංවිධානයේ එකට වැඩ කළා කාලයක්. ඔහු පියතුමකු වූ පසුවත් ළමා සංවිධානයේ කලින් කලට සේවය කළා. අවංකව වැඩක් කරන, හිත හොඳ, නිහතමානී පියතුමකු විදියට තමයි මගේ මතකයේ ඔහු රැඳෙන්නෙ. ඔහුත් නිර්මල මරිය නිකායට අයිති පියතුමෙක්. ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය ක්‍රියාත්මක වෙන්නෙත් නිර්මල මරිය නිකාය හරහා. ඒ වගේම නවකතාවේ සඳහන් මයිකල් රුද්‍රිගු පියතුමාත් නිර්මල මරිය නිකායික පියතුමෙක්. බුත්තල සුබසෙත්ගෙදර කියන්නෙ නිර්මල මරිය නිකායෙ පියතුමෙකුට ආගන්තුක තැනක් නෙවෙයි. මේ කරුණු සියල්ලම නිසා මගේ නවකතාවේ පියතුමාගේ හදවතේ රැඳෙන්නට ඇති බව විශ්වාසයි. මේ තියෙන්නෙ ඒ කවියක් වගේ වූ ලියමන...

දයාබර තරංගි අක්කාට,

කියවූයෙමි එක පිම්මට
‘‘දේශද්‍රෝහියාගේ නිමල හද‘‘
පෙම් බැන්දෙමි ඒ හද පොතට
බස් වහරට,
එහි ඇති දැක්මට        
තාමත් සොයනවා
එහි පතුළ, එහි ගැඹුර
කවුද මේ අපි නොදන්න
තරුරසීගේ ආදිත්‍ය
පුදුමයි! තරුරසී ගැන
ආඩම්බරයක් හිතුණා මට
නිමනි කුට්ටමට
ළක්‍රිවී අම්මට
සුබසෙත්ගෙදරට
ඔබත් ආඩම්බර වන්න ඔබ ගැන
ඔද වැඩෙන්නට නම් නොව
තවත් මෙවැනි දේ බිහිකරන්නට
හරිම අගෙයි!
ශු. සභාවේ
සිස්ටර්ගෙ නිකායේ
විමුක්ති දේව ධාර්මිකයින්ගේ
සාම්ප්‍රදායික මිනිසුන්ගේ
සියල් ජාතීන්ගේ
සියල් ආගමිකයින්ගේ
සිත කඩන්නැතුව
හිත රිද්දන්නැතුව
සියල්ල
සම තුල්‍යකරණය
කර ඇති ආකාරය.........



අනිත් ලියමන නමක් නැති ලියමනක්. පුල්ස්කැප් පිටු දෙකක් පුරා ලියා එවා තිබුණා. ඒ ස්වරය ස්ත්‍රී හදවතකින් පැන නගින්නකැයි මට හිතුණා.

2018.04.18

දයාබර තරංගනී සොයුරිය,

මේ මා ලියන පළමු නිර්නාමික ලිපිය වීම ගැන කණගාටුයි. ඒත් මගේ අනන්‍යතාවය ඔබට කීමට තරම් මට ධෛර්යයක් නොමැත.

2018.08.14 කෙනෙකු මගේ අතට පොතක් දීල කිව්වා ‘‘ඔයා මේ පොතට කැමති වේවි හුඟක්‘‘ කියලා. මං ඉන්නේ කොළඹින් හුඟක් දුර. කොළඹින් බස්රියට නැග්ග මම ඔහු මට කළින් දිනයේ දීපු පොත පෙරළන්න ගත්තා. ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘‘ මං දන්නෙ නැහැ මට මොනවා වුණාද කියල. මට හිතුණා ‘‘ගුරු ගීතයෙන්‘‘ පසු මා කියවූ හොඳම පොත කියල. ස්තුතියි ඔබට.

ජීවිතේ හරි පුදුමයි. ආදයට ඊට වඩා පුදුමයි. ඇත්තටම මං දන්නෙ නැහැ ඇයි මට මේ පොත ඒ පුද්ගලයා දුන්නෙ කියල. ඔහුගේ ඍජු බැල්මේ තිබුණු දේ කියවන්න මට උවමනා නැහැ. ඒත් එක හුස්මට කියවපු මේ පොත තවත් කෙනෙකුට තෑගි කරන්න මං බලන් ඉන්නවා.

හරි පුදුමයි. මං දන්නේ නැහැ මේ කතාව ඇත්තද කියල. ඒත් මේ චරිත මං හොඳට දන්න හඳුනන අය. පොත මගේම කරගෙන කියවන්න මට ඒක ගොඩක් හයියක් වුණා. මං තුලන ඔයාගෙ පොතත් එක්කම ඇවිද්දා. සිස්ට ක්‍රිස්ටිනා, ෆාද සතී එක්ක මාත් කතා කළා. ඇත්තටම නංගි ඔයා මේ කතාවේ ආදරය වගේම දවියො කවුද කියල ලියන්න දරපු උත්සාහය මගේ වචනයෙන් කිව්වොත් ‘‘පට්ට‘‘.

සමහරවිට මට මේ කතාව මෙතරම් දැනුණේ සිස්ට සෙව්වන්දිගෙයි, මගෙයි ලොකු වෙනසක් නැති හින්දමත් වෙන්න ඇති. එහෙත් මා මේ පොත නැවත කියවීමට දෙන්න යන පුද්ගලයා නැතහොත් මා සිත පැහැර ගත් මගේ චණ්ඩි ජීසස් ආදිට වඩා ටිකක් වෙනස් චරිතයක්. අපේ සිතුවිලි වෙනස් වුවද ‘‘ප්‍රේමය‘‘ නමැති පොදු සාධකයේදී ඔහුත් මාත් එකම සිතුවිල්ලකයි.


මගේ මේ ආදර කථාව ඔබට කියන්නට ඇත්තටම ආසයි. ඒත් එයට කාලයක් නොමැත. ඇත්තටම මට ඕන වුණේ ඔබ ඇගයීමට හා ස්තූති කිරීමටය. ඔබ දන්නවාද මේ පොත මට හරි පුදුම පොතක්. මේ පොත දීපු කෙනා මට ආදරය කරන බව මම දනිමි. ඒත් ඔහු හා ආදරයක් ගොඩනගා ගන්නට මට නොහැක. ඔහු මට ආදරෙයි කියා පැවසීමට ඔබේ පොත යොදා ගත් බව මම හොඳින් දනිමි. එහෙත් මා ආදරය පුදා හමාරය. මේ පොත නොබෝ දිනකින් ඔහු අතට පත්කරන්නට මම සැලසුම් කර ඇත. ඒත් මා කවදාවත් ඔහුට ආදරේ කියාවත්, ඔහු මට ආදරේ කියාවත් නැත. එහෙත් මාද ඔහුද අපේ ආදරය ගැන හොඳින්ම දනිමු. ඔහු කළේ මගේ නළල සිඹ මගේ සිහිනය වෙත යෑමට මා පිටකිරීම පමණි.

විටෙක මට සිතෙනවා අපි දෙන්නා රේල් පීලි දෙකක් වගේ කියල. හැමදාම එකට ඉඳීවි. කවදාවත් ළංවෙන්න බැහැ. සමහරවිට ලන් වුණොත් මගෙත්, ඔහුගෙත් ජීවිතේ වටිනාකම නැති වේවි.

එහෙනම් මම නවතින්නම්. ඔබට ස්තුතියි. මේ වගේ ලස්සන වටින කථා ලියන්න. දෙවියො කියන්නෙ ආදරේ. ඒ දෙවියො ඔයාට මඟ පෙන්නාවි. සමාවෙන්න නම නොකිව්වට. ඔයාට දෙවි පිහිටයි!

....................

ආදරය හරි පුදුමාකාර දෙයක්. ඒක මං දන්නවා. ඒ වගේම පුදුමාකාර ආදර කතාවලින් මේ ලෝකය පිරිල ඉතිරිලා තියෙනවා කියලත් මං දන්නවා. මේ ලියුමත් ඒ වගේ ආදරයක හදගැස්ම වෙන්න ඇති. නමක් නැති මේ ආදරණීය ලියුමටත් ස්තූතියි.