Tuesday, February 18, 2020

ඉවුරු - සාර වියමනක්!

ඉවුරු ගඟ සිඳී ගිය දා - කැත්ලීන් ජයවර්ධන
විදර්ශන ප්‍රකාශනයක්

( ප්‍රවීණ ‌ලේඛිකා/මාධ්‍යවේදිනී සීතා රංජනී ‌සොයුරිය විසින් රාවය පුවත්පතට ලියූ ලිපියකි. )
‘‘ජාතිකවාදය, ජාත්‍යන්තරවාදය, ධනවාදය, සමාජවාදය වම් ඉවුර, දකුණු ඉවුර කියා දෙයක් රට තුළ පවතීද? ඉවුරු පවතින්නටනම් ගඟක් තිබිය යුතුය. දැන් ගඟක් නැත. ගඟ සිඳී ගිය දා ඉවුරු ගැන කුමන කතාද?"
චාරයක්, විචාරයක්, සදාචාරයක් නොමැතිව සියල්ල අච්චාරු වී ඇති ශ්‍රී ලාංකික දේශපාලනය තුළ විශ්වීය මනුෂ්‍යයකු ගොඩනැගීමට ගන්නා උත්සාහයන් ඒ මඬ ගොහොරුවට ම යට කර වනසා දැමීමට අති දක්ෂ පාර්ශ්වයන්ට ම ඉතිහාසය තුළ ඉඩ ලැබී ඇත. මේ රටේ සමාජ දේශපාලන ඉතිහාසයේ සිදු වූ සියලු දේ කෙළවර වූයේ ඒ විශ්වීය මනුෂ්‍යාට ඉඩහසර අවහිර කරමිනි. ඒ අවහිර වූ අවකාශයන්ට පණ දෙන්නට, මිනිසුන්ගේ හද විදාරණය හරහා සියල්ලන්ට සාධාරණ සමාජ කතිකාවකට මිනිසුන් ගොනු කරන්නට කෙරෙන සුලු හෝ මානුෂීය  උත්සාහයකට එහි ඉඩක් තවමත් විවර වී නැත. ගමක මිනිසුන් ඒකරාශී කරවා දැනුම්වත් කිරීමට කටයුතු කිරීම නොකළ යුතු දෙයක් බවට පත් වී ඇත. අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට බලය පවත්වා ගැනීමට හැකි සේ මිනිසුන් භේද කරවා තබා ගැනීමයි. ඒ භේද මතින් ව්‍යාජ ජාතිකානුරාගයක්, ආගමානුරාගයක් රෝපණය කරමින් මිනිසුන් රවටා බලය ලබා ගැනීම පහසුය. මිනිසුන් අතර සංහිඳියාව ඒ වුවමනාවට බාධාවකි. හැමදාමත් වැජඹෙන්නේ සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයන් නොව ඔවුන් රවටා බලයට පත්වන්නවුන් ය. පොරොන්දු ගංගාවේ ගිලී සිටින මිනිසුන් එකිනෙකා පරයා නැගිටින්නට වෙර දරන්නන් බවට ලඝු වී ඇත. කැත්ලින් ජයවර්ධනගේ ‘‘ඉවුරු ගඟ සිඳී ගිය දා" නව කතාව, මිනිස්කමට ඉඩ විවර කර ගැනීමට අවකාශ නැති ගඟක ඉවුරු ගැන කරන කතා තව දුරටත් වලංගුද යන ප්‍රශ්නය සමඟ මේ රටේ ජරාජීර්ණ දේශපාලන වංශ කතාවේ නොයෙක් කඩඉම් මහත් කැපවීමකින් සිතුවම් කර ඇති බරපකල වියමනකි.
‘‘දකුණැසින් බුදුන් වහන්සේගේ මහා කරුණාව දකින මට, වමැසින් පෙනී යන්නේ ජේසුස් වහන්සේගේ විප්ලවීය දයාවයි. " කියා සිතිය හැකි දේවමිත්තා නම් තරුණ මෙහෙණින් වහන්සේ එක පසෙකය.
‘‘ප්‍රේමයත් නොවන, වෛරයත් නොවන අතරමැදි පොදු හැඟීමක් ගැන මට පාඩමක් ඉගැන්නුවෙ මෙහෙණින් වහන්සේ. වචනවලින් කියා දුන්නු පාඩමකුත් නෙවෙයි.  මං දන්නෙ නෑ ඒක පාඩමක්ද මායා බන්ධනයක්ද කියලත්. " දේවමිත්තා මෙහෙණිය ගැන එසේ සිතිය හැකි, ඈන්මරී නම් තරුණ පැවිදි සොයුරිය එක පසෙකය.
‘‘ඔව් පියතුමනි, දේවමිත්තා මෙහෙණිය වෑයම් කළේ ගණිකාවගේ ඉඳන් හැම පීඩිතයන්ගේම ඇතුළෙ හැංගිච්ච හැඟීම්, ප්‍රශ්න වගේම කරුණාවත් එළියට ගන්න. හැමෝම එකම තැනකට අරගන්න. පුංචි සාකච්ඡා මණ්ඩපවලදි අපි හැමෝම වාඩි වුණේ එකම ආසනවල. සමහර තරුණ භික්ෂූන්වහන්සේලාට පවා පනවලා තිබුණ ආසනවල සුදු ආවරණ තිබුණේ නෑ.... " වැඩිහිටි පූජකතුමාට දේවමිත්තා මෙහෙණිය ගැන ඒ ආකාරයෙන් කතා කළ හැකි ෂර්ලි නම් තරුණ පියතුමා එක පසෙකය.
විශ්වීය මිනිස්කමක් වෙනුවෙන් මෙහෙණි ආරාමයත්, කිතුණු ආශ්‍රමයත්, ගමේ පන්සලත් එකතු කරගත් සද් ව්‍යායාමයේ දී, මව ගැන ද කෝපයෙන් සිටි වංගීස නම් ආබාධිත සෙබළාත්, පුළන්නෙකුට ඔහුගේ කය සතපවා ගැනීමට දානයක් දීමට  සිත හදාගත හැකි වූ වෙරෝනිකා නම් ලිංගික ශ්‍රමිකාවත්, වත්තේ වැඩ කරන බෞද්ධ හෝ කිතුණු හෝ හින්දු හෝ මුස්ලිම් හෝ වූ කම්කරුවනුත්, ගම් වැසි සියල්ලෝත් එකට ජීවත් වන්නට ඒකාත්මික වන්නෝය. එහෙත් ඉඩ ලැබේද?
මෙහෙණිය යනු ශාසනයට බාධාවක් බව සිතන අධිපති භික්ෂු මානසිකත්වය තුළ භික්ෂුණීභාවයට ඉඩක් නැත. කිතුණු ආගමික සංස්ථාව තුළ ද පැවිදි සොයුරියන්ට පුරුෂ පාර්ශ්වයට ඇති අයිතිවාසිකම් නැත. ඒ අහිමිවීම් එසේ තිබියදී, ආගමික වාදභේද, වාර්ගික භේද, උස් පහත් භේදවලින් තොර යහපත් මිනිස් සමාජයක බලාපොරොත්තුව සහිතව, සංහිඳියාව වෙනුවෙන් එක්වූ ඔවුනට රටේ සිදුවන පරිදිම වූයේ කුමන්ත්‍රණකරුවන්ගේ ලැයිස්තුවලට වැටෙන්නටය. එන්ජීඕකාරයින් යැයි හංවඩුව ගසා ගන්නටය. තම පැවිදි ජීවිතවලින් වෙන් වෙන්නටය. ජීවිතවලින් වන්දි ගෙවන්නටය.
කැත්ලින් ජයවර්ධන මහත් පරිශ්‍රමයක් යොදා ඇති බව පෙනෙන මෙම නවකතාවේ පරිකල්පන ලෝකය ඉතා විශාලය. ඉහත කී ලෙස චාරයක්, විචාරයක්, සදාචාරයක් නොමැති හා ඒ තුළ ඉතා ලඝු කළ මිනිස් ජීවියෙක් සහිත දේශපාලන අලකලංචි සමහර විට චරිතවල සීමාවෙන් ඔබ්බට ගිය සිදුවීම් බවට ද පත් නොවනවා නොවේ. කෙසේ වෙතත් මුලු වියමන පුරා ම සියුම් හුයක් ලෙස ගලා යන්නේ බෞද්ධ වුවද කිතුණු වුවද එම ශාස්තෘවරුන් විසින් මිනිසාට අවධාරණය කළ විශ්වීය මිනිස්කමට අදාල සහජීවනය පිළිබඳ දැක්මයි.
කිතුණු දහම හා බැඳුණු ලේඛක ලේඛිකාවන් අතින් එම දහම තුළ මිනිසා වෙනුවෙන් උස් පහත් භේදයකින් තොරව දේශනා කර ඇති ආදරය සහ සහජීවන දැක්ම නිර්මාණකරණයට හසු වී ඇත. ඒ දැක්මට පිටින් වන ව්‍යාජය සියුම් විවරණයන්ට ලක්වූ අවස්ථා ඇත. බෞද්ධ දර්ශනය දත් අය අතින් ඒ දර්ශනය තුළ ඇති විශ්වීය බව නිර්මාණකරණයන්ට හසුවී ඇත. එය ව්‍යාජයක්, ව්‍යාපාරයක්  බවට පත් කර ඇති ආකාරය විචාරයට ලක් වී ඇත. නමුත්, බෞද්ධ හා කිතුණු දහම් දෙකම ගැන පරිණත දැක්මකින් යුතුව පරිකල්පනයකට හසු කර ගත් අවස්ථා ගැන මතකයක් නැත. ඒ සඳහා හැදෑරීමක් අවශ්‍යය. කැත්ලින් තම ප්‍රබන්ධය සඳහා ඉතා ඉවසීමකින් යුතුව එම හැදෑරීම කර ඇති බව පෙනේ. එසේ වෙහෙසව කළ මෙම නවකතාව පාඨක ප්‍රජාව විසින් මඟ හැරිය යුතු නොවේ.
සීතා රංජනී
2020 ජනවාරි 11


Tuesday, January 21, 2020

හිමියනි ! හිස් ය මේ දිවි බඳුන !





සෙබළ උත්තමාචාර වියැකී
හිස් ව ගිය අවකාශයේ පාවී
හමා ආ සුසුදු අරලිය මලක්
මුදුන් වූ පස් කණ්ඩිය මත රැඳිණ...

හත් දොහක, තුන් මහක, අවුරුද්දක
දැල්වුණ පහන් එළි
දුබලව නිවී යද්දී
පා සටහන් සඟවා
නිදිකුම්බා යාය වැතිරිණි...

මුදුනත බිඳී ගිය
පස් වැටිය මත
ඒ අරලියා මල ?
කොහේ වේ දැයි
කවුරු නම් දනී ද ?

නිදිකුම්බා ගොල්ලකි
දැන් ඒ ඉසව්ව ම
සුවඳක් නැතත්
යායට මල් පිපුණ...