පිටු

Wednesday, September 26, 2012

සති අන්තේ සුන්දර රස්තියාදුව



රස්තියාදුව සුන්දර දෙයක් විදියට දකින්න මට පුරුදු කළේ හිපියෙක් . ( කැමති නම් හිපියගේ ඒ බ්ලොග් සටහන බලන්නකෝ.) දැන් මම රස්තියාදුව කියන වචනය පාවිච්චි කරන්නෙ බොහොම ආදරණීයව. ඉතින් මගේ මේ සති අන්ත රස්තියාදුව පටන් ගත්තෙ සිකුරාදා හැන්දෑවෙ. ආදරණීය ඇරයුමක් ලැබුණා රාජ්‍ය ළමා  නාට්‍ය උළෙලේ නාට්‍යයක්  බලන්න එන්නෙයි කියල.

හොරොව්පතානෙ වර්ල්ඩ් විෂන්

අපිත් එක්ක ළ.ක්‍රි.වී.යෙ වැඩවලට සම්බන්ධ වෙලා හිටිය දීප්ති අයියා දැන් ''වර්ල්ඩ් විෂන්'' එක්ක එකතු වෙලා කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ප්‍රදේශයේ ලොකු වැඩ කොටසක් කරනවා. පිටරට ඩොලර්, පවුම්වලට ආදරයයි, මානව දයාවයි, කැපකිරීමයි එක් කළාම කොයි තරම් වෙනසක් කරන්න පුළුවන්ද කියල මේ පිරිස හොරොව්පතාන ප්‍රදේශයේ ඔප්පු කරලම පෙන්නල තියෙනවා. දීප්ති අයිය සරණ බැඳුමෙන් බැඳුණෙ මාව ළ.ක්‍රි.වී. ළමා සංවිධානයට බලෙන්ම කැන්දන් ආව රොෂානි අක්ක එක්ක. දැන් දූල දෙන්නෙක්ගෙ ආදරණීය මව්පියො. පදිංචිය අපේ ගම් පළාතෙමයි. එයාලගෙ ආරාධනය නිසයි 21 සිකුරාදා හැන්දෑවෙ මම නෙළුම් පොකුණෙ අසිරි බල බලා ජෝන් ද සිල්වා එක පැත්තට ඇදුණෙ. නාට්‍යය බැලීමේ ඕනෑකම වගේම රොෂානි අක්ක එක්ක ඕපදූප කියවන්නත්, දූල දෙන්න බලන්නත් ඕන කම තිබුණා.


සුලලිත සෞන්දර්ය සංචිතය... 

හොරොව්පතාන ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද? මායිම් ගම්මානයක් විදියට යුද්‍ධයෙන් බැට කෑව, කෘෂිකර්මයෙන් දිවි ගැටගහගන්න ජනතාවක් විදියට අව්ව වැස්ස නිසත් දුක් උහුලන,  අවම පහසුකම් තුළ දිවි ගෙවන ජනතාවක් මේ පැත්තෙ ඉන්නෙ. හොරොව්පතානෙ වර්ල්ඩ් විෂන් මගින් ළමුන් වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන ''සුලලිත සෞන්දර්ය සංචිතය ''  දරුවන් තුළ නාට්‍යය, සංගීතය, ලේඛනය, නර්තනය වැනි අංශ තුළ සෞන්දර්යාත්මක නිර්මාණාත්මක හැකියාව ඔප් නංවන අරමුණ පෙරදැරිව ආරම්භ කළ ව්‍යාපෘතියක්. සුලලිත නමින් සඟරාවකුත් පළ කරන බවයි දැන ගන්නට ලැබුණෙ. මේ වෙද්දි ටෙලි චිත්‍රපට දෙකක් නිර්මාණය කරල තියෙනවලු. ''‍සේපාලිකා මල්'' කියන ඒකාංගික ළමා ටෙලි නාට්‍යය පසුගිය 22 වන සෙනසුරාදා හවස 6.00 ට ජාතික රූපවාහිනියෙ විකාශය වුණා. යුද්ධය කියන වචනෙවත් ගාවන්නෙ නැතුව වාර්ගික සුහදත්වය, ආදරය ගැන කතා කළ අපූරු ටෙලි නාට්‍යයක්.

සමනළ චාරිකා..........

''සමනළ චාරිකා'' කියන ළමා නාට්‍යය මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කරල තිබුණෙ මේ සුලලිත සෞන්දර්ය සංචිතයෙන්. දරුවන්ගේ සම්පූර්ණ අවධානය දිනා ගන්න සමත් ළමා රංගන, පසුතල නිර්මාණ, රංග වස්ත්‍ර, ගීත, සංගීතය  ආදියෙන් ''සමනළ චාරිකා'' හරිම පොහොසත්. හරි අපූරු අලි පැංචෙක්, පෙත්තප්පු කෙනෙක්, සමනල්ලු රෑනක් මේ කතන්දරේ හිටිය. ළමා හිතට දැනෙන විදියෙ පුංචි පුංචි පණිවිඩ ටිකකුත් වේදිකාව මත දිග හැරුණා. නාට්‍යය දිහා බලන් ඉද්දි මොහොතකටවත් හිතුණෙ නැහැ මේ හොරොව්පතානෙ ගොවිතැන් කරන, කුලී වැඩ කරන අම්මල තාත්ත‍ලගෙ දරුවො නේද කියල. ඒ තරම්ම ඔවු‍න්ගේ හැකියාවන් ඔපමට්ටම් වෙලා චමත්කාර වෙලා තිබුණා. '' වර්ල්ඩ් විෂන් '' ආර්ථික හයියට සහ කණ්ඩායමේ ආදරණීය කැපවීමට, අජිත් ක්‍රිශාන්ත සේරම් ආචාර්යතුමන්ගෙ නිර්මාණශීලී හැකියාව සමග දරුවන්ගෙ හැකියාව කැපවීම අපූරුවට එක්තැන් වෙලා තිබුණා.

කැලේ පිපුණු මල් කැලේම පර වෙන්න නොදී වර්ල්ඩ් විෂන් හරහා ඒ මල්වල සුවඳ විඳින්න වැඩි දෙනෙකුට අවස්ථාව ලබා දීම අගය කළ යුතු දෙයක්. ( සැබවින්ම ‍දුෂ්කර පළාත්වල මේ වගේ වැඩපිළිවෙලක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන්න ඕන. ඒත් අධිවේගී පාරවල්, ගුවන් තොටවල්, සංචාරක හෝටල් වගේ සංවර්ධනයට අදාළ නැතිව ඇති මේ කාරණා. NGO ගැන ගැටලු රැසක් තියෙන බව ඇත්තයි. ඒත් මම පැහැදිලිවම දන්නවා හොඳ හිත් තියෙන මිනිසුන් NGO  සල්ලිවලින් රටේ දුප්පත් මිනිසුනට අවංක සේවයක් කරනවා. )

හැබැයි දුක හිතුණ කාරණය තමයි ජෝන්ද සිල්වා රඟහලෙන් කාලක් පිරෙන්නවත් සෙනගක් හිටියෙ නැහැ. කොළඹ අවට ඉන්න අයටවත් බැරිද තමන්ගෙ දරුවො කැන්දන් ඇවිත් මේ ළමා නාට්‍ය පෙන්නන්න.  

රස්තියාදු සෙනසුරාදාව.....................

උදෙන්ම නැගිටල උයල බත්මුලක් බැඳ ගත්තා. වතුර බෝතලේකුත් ගත්තා. කෝච්චියෙන් ගියා කොලොම්පුරේ. කුරුඳුවත්ත පොලිසිය ළගින් බස් එකෙන් බැහැල ‍ලංකාවේ ‍‍ආශ්චර්යයේ අසිරිය සිත් පුරා නෙත් පුරා විඳිමින් නිදහස් මාවත දිගේ පාද චාරිකාවෙන්ම ‍පොත් ප්‍රදර්ශනේට ගියා. අතේ වැඩිය සල්ලි තිබුණෙ නැහැ. ඒ නිසා පොත් දිහා වැඩියෙන් බල බලා අඩුවෙන්ම මිල දී ගත්තා.


·         ජීවිතය අන් තැනක - මිලාන් කුන්දේරා
·         විනාඩි 11 - පාවුලෝ කොයියෝ
·         ශුද්ධවු ජුදාස්, ඇහැල ඇමතුමකට ඇහැරුණෙමි, මාතෘකාවක් නැති මාතෘ භුමිය - මංජුල වෙඩිවර්ධන
·         පියෙද්රා ගඟ බඩ හිඳ හඬා වැළපුනෙමි. - පාවුලෝ ( මට නෙවෙයි. නමුත් මටත් කියවන්න ඇහැකි. )
·         ගෙත්සමෙනි සන්ධ්‍යාව - භද්‍රජී ( මේකත් මට නෙවෙයි. නමුත් මටත් කියවන්න ඇහැකි. )

‍ගමේ කඩේ, මැගී කඩේ, අයිස්ක්‍රීම්, කෝක් මෙකී නොකී හැමදේම නොදැක්ක වගේ අහක බලන් පොත් දෙසම නෙත් අලවන් පැදකුණු කළා. ගුරුගෙදරත් ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. කරුණා පෙරේරා, ඒ.වී. සුරවීර, දයා දිසානායක, පද්මා එදිරිසිංහ, තවත් නාඳුනන ලේඛකයන් විය හැකි අය සභාව ඉදිරියේ අසුන් ගෙන හිටියා. සාකච්ඡාව ආරම්භය එතරම් හිත් ගත්තේ නැහැ. කම්මැලි ගතියක් දැණුනා. ඒ නිසා නැගිටල ආයෙම පොත් අතර සැරිසැරුවා.

දොළහ වෙද්දි මහන්සියි. බඩගිනියි. කැන්ටිමට ගිහින් බත්මුල දිග ඇරන් අනුභව කරද්දි නම් හිතුණා අනේ තනියට කෙනෙක් හිටියා නම් කියල මොකද තමන් උයා ගත්ත ඒව තමන්ම තනියෙන් කද්දි හරිම මුස්පේන්තු ගතියක් දැනෙනවා. බාගෙට බත් මුල කාල අතුරු පසට මංජුල වෙඩිවර්ධනගෙ කවියක් ගිල දැම්මා. එන අතරෙ කැටපත් පවුරෙ කවි ටිකකුත් රස වින්ඳා.

ඉන්පස්සෙ සුදර්ශිය පැත්තට ගියේ '' පොත් දහසක්'' ව්‍යාපෘතියට පොත් ටිකකුත් දෙන්න තිබුණ නිසා. තිලණි නංගියි, අම්මයි විතරයි හිටියෙ. තිළණි පුංචි කෙල්ලෙක්නෙ. අපූරු කැපවීමක් අම්මගෙයි දූගෙයි දෙන්නගෙම. කෑගල්ලෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ පොත් එකතු කරන්න. දවසම වාඩි වෙලා ඉද්දි පණ යනවා ඇති. එයාලත් එක්ක පැයක් විතර වාඩි වෙලා හිටිය. කයියකුත් ගැහුවා. ඉන්පස්සෙ සමු අරන් ලයනල් වෙන්ඩට් එක පැත්තට ඇදුණා. පත්තර දැන්වීමකින් දැන ගත්තෙ සත්සර ඉලංගසිංහගෙ චිත්‍ර ප්‍රදර්ශනයකුත් ඒ දිනවල තියෙන බව....

සිත්තම් අතර සැරිසර......

ලයනල් වෙන්ටඩ් එක ඇතුළට ගියාම පුදුමත් හිතුණා. ශාලාවම හිස්. චිත්‍ර නිසොල්මනේ බලන් හිටියා. චිත්‍ර ශිල්පියා කිහිප දෙනෙක් එක්ක කතාවක. හිතුවෙ නැහැ මාව අඳුන ගනියි කියල. ඒත් එක බැල්මෙන්ම අඳුනගෙන අපි ටිකක් කතා බහ කළා. ඉස්කෝලෙ යන කාලෙත් එහෙම තමයි මේ සිත්තරා. අඩුවෙන් කතා කළේ. එයාගෙ චිත්‍ර තමයි වැඩියෙන් කතා කළේ.

සත්සර ඉංලගසිංහ නැත්නම් සත්සර අයියා අපි එක ඉස්කෝලෙ හිටියෙ උසස් පෙළ කරද්දි....... එයා මට වඩා වසරක් ඉදිරියෙන්.  මමත් උසස් පෙළට කළේ චිත්‍ර. අපිට ඒ කාලෙ චිත්‍ර උගන්වන්න ගුරු‍වරයෙක් හිටියෙ නැහැ. සම්පූර්ණ විෂය නිර්දේශයට සටහන් එකතු කර ගත්තෙ අපි පොත පතින්. චිත්‍ර කාමරේ අපි හතර පස් දෙනාගෙ තනි බූදලයට අයිති වෙලයි තිබුණෙ. සාමාන්‍ය පෙළ චිත්‍ර උගන්වපු අශෝක සර් අපට උදව් කළා. විභාගෙට මාස තුනක් තියෙද්දි එයාගෙ නංගි ඇවිත් ස්වේච්ඡාවෙන් අපිට අඳින්න වගේම ලියන්නත් පුහුණුවක් දුන්නා.

ඉතින් ඒ කාලෙත් මේ සිත්තරාගෙ හැකියාව අපිව විස්මයට පත් කළා. එයා අඳින දිහා බලන් ඉන්න ආසයි. තිසරණ ඉලංගසිංහ කියන නමින් චිත්‍ර කතා පත්තරවලටත් ඇන්ද මතකයි. පාසල් මතකයත් අවදි කරන් එදා මම ලයනල් වෙන්ටඩ් එක පැත්තට ගියේ. අපේ සිත්තර අයියා දැන් චිත්‍ර උගන්වනවලු අම්පාර තලාවෙ ඉස්කෝලෙක. ඒ වගේ පැත්තක ඉඳන් කොළඹ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර ගන්න එකත් ලේසි නැහැ. මීට වඩා ප්‍රචාරයක් ලැබෙන්න තිබුණා කියල හිතුණා. කොහොමටත් චිත්‍ර ප්‍රදර්ශන බලන හුරුවක් ලංකාවෙ අපට නැහැනෙ.

ඇත්තම කියනවනම් මේ බොහොමයක් චිත්‍ර වලින් කියන්න අදහස් කළේ මොනාද කියල මට නම් තේරුණේ නැහැ. සමහර චිත්‍ර ගැන අනුමානයෙන් කියන්න පුළුවනි. ඉස්කෝලෙදි ඇන්ඳ දිය සායම් චිත්‍ර මීට වඩා හොඳයි කියලත් හිතුණා. චිත්‍ර විඳීමට වඩා  සහෝදරාත්මක හැඟීමක් තුළ හිතට දැණුන නිහතමානී සතුට වින්දා කියන්න පුළුවනි. මේ පින්තූර ටික බලන්නකෝ... ඔයාලටත් දැනේවි……

( ඉරිදා රස්තියාදුව වෙනම කතාවක්..  අම්මෙක්ගෙයි, තාත්තෙක්ගෙයි සුන්දර කතාවක්... ) 


මේක නම් අනේ මන්ද? 

මේ වගේ සංකීර්ණ මඩ ගොහොරුවක එරිල නේද ඉන්නෙ අපිත්... 

අන්ධකාරෙ මේ ගිලෙන්නෙ රුවල් නැවක් වගේ... ඒත් ඇත්තටම බැලුවොත් මේ අපේ රට නේද? ලංකාවෙ ඡායාව තියෙනවා නේද? දැනටමත් සෑහෙන කොටසක් ගිලිලා. 

සොබාදහමයි නවීන තාක්ෂණයයි එකතු වුණාම ලස්සන නිර්මාණයක් බිහි වේවි... ඒත් නවීන තාක්ෂණය හැම විටම සොබාදහමට ආභරණයක් වෙන්නෙ නෑ නේද? ලෝකය සොබාදහම අභිබවමින් කෘතිම වේගන යන බවද මෙයින් කි‍යවෙන්නේ.. 

වනන්තරයක සිහිලස, සුවදායක බව වගේම ගුප්ත බවත් දැනෙනවා වගේ. 

ගිනි ගන්න ලෝකෙක ගහකොල කියන්නෙ නෙතටත්, සිතටත් සුවයක්... 

බලන්න හිස්.... චිත්‍ර පාළුවේ බලා හිටියා. 


Monday, September 24, 2012

විසි වසර සමරන ''කිතුසර'' ට සුබ පැතුම්




කිතුසර කියන්නෙ විකල්ප ධාරාවේ කිතුනු පුවත්පතක්. 1992 ජූලි මාසයේ දී තවත් කිතුනු පුවත්පතක් යනුවෙන් එළි දුටු කිතුසර මේ වසරේ සිය විසිවන සංවත්සරය සමරනවා. ‍කිතුසර විසි වසරක සංවත්සරය සැමරුවත් මේ සඳහා උර දුන් තරුණ කණ්ඩායමේ ඒකරාශී වීම සිදු වුණේ ඊටත් වසර පහකට පමණ පෙර සිට. 71 දී ළමුන්, 89 දී නව යෞවනයන් වූ මේ තරුණ පිරිස වඩා යහපත් සමාජයක් සඳහා කැප වෙන්නට සිහිනයක් තිබූ කණ්ඩායමක්. ඒ වෙනුවෙන් තෝරා ගත් විවිධ වැඩ අතර විකල්ප පුවත්පතක් යන්න එක් ප්‍රමුඛ වැඩක් උණා.

විකල්ප ධාරාවේ පුවත්පතක් පිළිබ සංවාද ගණනක ප්‍රතිඵලයක් ලෙසින් කිතුසර මුලින්ම ආරම්භ වුණේ '' දැකුම'' නමින්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුල් අවදියේ දැකුමට සුබ පැතුමක් යොමු කරමින් මෙ‍සේ ලියා තිබුණා.

'' හැම අතින්ම නිවැරදි දැක්මක් අවැසි කාලයක දැකුම බිහි වීම සතුටකි. ''

මේ වන විට රාවය, විවරණ වැනි පුවත්පත් පැවති බැවින් කිතුනු අනන්‍යතාවයක් තුළ ඉදිරි ගමනක් යන්නට ''දැකුම'' කිතුසර ලෙස වෙනස් වෙනවා. 1992 වසරේ කිතුසර පුවත්පත බිහිවෙන්නේ එලෙසයි. කිතුසර පුවත්පතේ ආරම්භක පිරිස  පිළිබව එහි ප්‍රධාන සංස්කාරක මහින්ද නාමල් සොයුරා පවසන කතාව මෙයයි.

'' 1987 සිදු වූ මයිකල් රුද්‍රිගු පියතුමාගේ ඝාතනය විසින්ද, 88/89 වකවානුවේ ඝාතනය කළ හැට දහසකට අධික තරුණ තරුණියන්ගේ කැපවීම විසින් ද කිසියම් අනුප්‍රාණයක් ලැබූ පිරිසකි. ඔවුන්ගේ ගර්භාෂය විමුක්ති දේව ධර්ම කතිකාවතයි. ''

කිතුසර 20 වසර දිවැසිවර සැරිසැරුම වැඩසටහන

2012 සැප්තැම්බර් මස 29 සෙනසුරාදා පෙ.ව. 9.00 ට
මීගමුව රුක්මණීදේවී රහලේ දී පැවැත්වෙනවා.
ඒ සහා ඔබ සැමට සහෝදරත්වයෙන් ඇරයුම් කරනවා කිතුසර කණ්ඩායම වෙනුවෙන්.
       
දවසේ විශේෂ වැඩ.............
·         ලෝකය තුළ විමුක්ති අරගලය - කෙටි චිත්‍රපටය
·         ආගම හා දේශපාලනය - දේශනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා
·         කතෝලික සභාවේ ප්‍රගතිශීලිත්වය හා ප්‍රතිගාමීත්වය අතර ගැටුම - දේශනය ගරු ඇලොයි පීරිස් පියතුමා
·         අද දවසේ ජේසු ගීතය
·         කිතුනු විමුක්තියේ ‍කතෝලික නොවන කිතුනු මුහුණුවර - ආචාර්ය ගරු ජෙරොම් සහබන්දු දේවගැතිතුමා
·         ජාතික ප්‍රශ්නය හා ලාංකේය කිතුනුවා - නීතිඥ, යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගුරුබරන් මහතා
·         විවෘත සංවාදය

කිතුසර වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.



කිතුසර පාඨකයෙක් සහ කිතුසර කණ්ඩායමේ දිගුකාලීන මිතුරියක් ලෙස විසිවන සංවත්සරයට සුබ පැතුම් එක් කිරීම  සහ 
ඔබ සැමට ඒ සඳහා ඇරයුම් කිරීම මගේ යුතුකමක් ‍සහ වගකීමක් බව 
මා විශ්වාස කරනවා. 
හැකි අය, රිසි අය අප හා එක්වන්න ලබන සෙනසුරාදා 
මීගමුවේ රුක්මණීදේවී රඟහ‍ලේදී....



Friday, September 21, 2012

සරසවියේ කුරුටු කවි



සරසවි ජීවිතේ විරාමයක ලියවුණු පුංචි කවි කිහිපයක්.... ( කාල අවකාශය 2000 - 2004 )

එතෙර ගිය බිරින්ඳෑ මෙතෙර ආදා

ගං දෑල අසබඩට එන විට මම
හබලද අතැතිව
වරපට ළිහී ඔරු කඳ
රළු ජල පහරට මැදිව
ගං දියඹට පාවී
ඈතට ඇදී ගිහින්...

.....................................š..........................................

ලොකු අක්කා

වැහි අඳුරු අහස යට
දිදුලන තරු කැටය
හිනැහෙන අපූරුව
මියැදුණත් හඳ මඩල
නොයා තනිකර අහස

.....................................š..........................................



සතුරු මිතුරු

කුහකය මුළු ලොවම
මිතුරු වෙසිනි සතුරෝ
පැණිය කියා ලේබලය ඇති මුත්
විසමය ඇතුළත
මරණය ගෙනෙන
හඳුනා ගත්තේ
තොල ගෑ පසුවය....



.....................................š..........................................

ප්‍රාර්ථනා


අධිබල විදුලි රැහැන මත
චුට්ටං බට්ටිත්තෙක්
දෙපයින් හිටගෙන

පණසුන් තඩි වවුලෙක්
ඒ අසලම රැහැනේ
එල්ලීගෙන...




.....................................š..........................................

සරසවි ජීවිතේ

කෙමිබිමක් සොයන්
මරු කතර මැදින්
මිරිඟුව දකිමින්
හති ලා දිව යම්..


.....................................š..........................................

අම්මාවරුන්ගේ දිනය

ගොන් කිරි බී
හැදු දරුවන්
මව් ගුණ ගී
ගයන වගයි...


.....................................š..........................................

ප්‍රේමය සහ නුඹ

අරුණැල්ලක්ව පිබිද අවුත්
මද්දහනක ගිනියමින් දවා
පඬුපැහැ හැන්දෑවක
අවරගිරින් සැඟව ගියා....

නමුදු ගිරි සිරස සියල්ල දරා
එදා වාගේ අදත්
නොසැලීම උන්නා..

හංග ගත් කඳුලක් උල්පතක් වෙලා
සිහිල සුව සදමින්
ඈතට ඇදී ගියා....


.....................................š..........................................

රණවිරු පෙම්වතියකගේ ප්‍රේමය

හුදකලා පාළු සොහොනක
නැවුම් පස් කණ්ඩියක් මත
සුදෝ සුදු අරලිය මලක්
වැතිර තිබෙනු
බොහෝ කලකට පෙර
දුටු බව මතකය....

Tuesday, September 18, 2012

කියවීමේ මල් සමය




මේ තරම්ම පොත් පිස්සුවක් හැදුණෙ කොහොමද කියල ඔයාල එක්ක බෙදා ගන්න වගේම, මගේ ම සොඳුරු ළමා වියේ මතක සැමරුම් අතර තනි වෙන්නයි මට ඕන උණේ... ඉතින් ඒ කියවීමේ උත්පත්ති ගමන මල්සමයෙන් නිමා කරන්නයි ම‍ගේ අදහස....

පළමු කොටස  මෙතනින් බලන්න.
දෙවන කොටසට පාර මෙන්න.

( මගේ කියවීමේ උත්පත්ති කතාවේ 03 කොටස )

ගමේ පුංචි පුස්තකාලයෙන් ආරම්භ උණ කියවීම කාලෙන් කාලෙට එක එක තාලෙට වෙනස් උණා. අට නවය පන්ති වෙද්දි යොවුන් පත්තර කියවීමේ පිස්සුවකුත් හැදුණා.  ඒ කාලෙ ජනප්‍රියව තිබුණ අරලිය, සඳරේණු වගේ පත්තරත් එකක් නෑර කියෙව්වා. සල්ලිවලට අරන් නම් නෙවෙයි. පත්තර ගත්ත අක්කල අයියලගෙන් ඉල්ලගෙන. සමනල් හීන මැවුණු කාලයක්. වැඩියෙන්ම ආශාවෙන් බැලුවෙ සඳරේණු. ඉන්පස්සෙ සුවඳත් ආවා. කුමරිත් එහෙන් මෙහෙන් බැලුව වගේ මතකයි. අද යොවුන් පත්තරවලට වඩා කුමරි, අරලිය, සඳරේණු ඉදිරියෙන් හිටිය කියලයි මට හිතෙන්නෙ. මහේෂ් රත්සර මද්දුම ආරච්චි, ප්‍රදීප් කුමාර බාලසූරිය, සෝමා ටී පෙරේරා, චන්දි කොඩිකාර වගේ ලේඛක ලේඛිකාවන් කැපී පෙණුන කියලයි මට හිතෙන්නෙ. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතාවල පරමාදර්ශී පෙම්වත්තු හිටිය. හැබැයි හැම කතාවක්ම එක වගේ. අනික එක තැනම ඇදෙන කතා.. ඒත් ඒ කාලෙ ඒ පත්තරවල තමයි ප්‍රේමයේ අමාරස තිබුණෙ. කොයි තරම් කෑදරකමකින්ද ‍මල් පත්තර බැලුවෙ.

මේ කාලයේ කියවීම ඇතුළෙ සභ්‍ය අසභ්‍ය කියල බෙදීමක් තිබුණෙත් නැහැ. අතට අහුවුණ හැමදේම කියෙව්වා.

උසස්පෙළ කරද්දි කියවීමේ දිශානතිය වෙනස් උණා. හරබර පොත් කියවීමේ වටිනාකම දැණුනා. ගමේ ඉස්කෝලෙන් නගරයට ඒමත් ගමේ ඉස්කෝලෙ දුවිලි බැඳුණ පුස්තකාලය වෙනුවට පොත් මහගොඩක් තිබුණ විශාල පුස්තකාලයක් ලැබීමත්,  නාට්‍ය හා රංගකලාව විෂයක් විදියට තෝරා ගැනීමත් කියවීම වෙනස් මගකට යොමු වෙන්න හේතුවක් උණා. මම ආශාවෙන්ම ලිව්ව විභාගය තමයි උසස්පෙළ. '' කිරි කජු වගේ''. එහෙම උණේ නොසෑහෙන්න පොත් කියවල දැනුම රැස් කරගෙන හිටි නිසා බව නිසැකයි.

දෙවෙනි අම්මා නිසා නව උපතක්...

හොය හොයා හොඳ පොත් කියවන්නත්, කියවන පොතපත බෙදා ගන්නත්, පොත්පත් ගැන අදහස් බෙදා ගන්නත් කියල දුන්නේ නම් මගේ දෙවෙනි අම්මා වන ළ.ක්‍රි.වි. ය. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා ව්‍යාපාරය). ඒ කාලෙ ළ.ක්‍රි.වි. ‍යෙ හොඳ පොත්පත් කියවන, ගීත රස විඳින, සමාජ වෙනසක් ගැන යහපත් දැක්මක් ඇති ජ්‍යෙෂ්ඨ අක්කල, අයියල පිරිසක් හිටියා. එවන් පිරිසකගේ ඇසුර ලබන්න මමත් වාසනාවන්ත උණා.

1997 මම අනුශාසක කෙනෙක් උණ මුල් කාලෙ මට ප්‍රබුද්ධ තිළිණ කළේ බර්නි අයියා. එයා නිසාම තමයි නිරුත්තර සමාධිය කියවන්න ලැබුණෙත්. කවියට මගේ ඇල්ම වැඩි දියුණු වුණේ ඒ අනුව. සල්ගහ යට සෙවණේ රත්න ශ්‍රී අඳුන්වල දුන්නෙ දීප්ති අයිය. ඒකත් ලස්සන අත්දැකීමක්.

1998 වසරෙ මම මුලින්ම සහභාගි වුණ අනුශාසක සම්මේලනයෙ සෙනසුරාදා උදෑසන භාවනාව මෙහෙයවුයෙ දීප්ති අයිය. භාවනාව කළේ සල්ගහයට කවි පොතේ ගස ගැන කියවෙන කවිය මුල් කරගෙන. ඉතින් මට මේ පොත ගැන මහා ලෝභ කමක් දැණුනා. එදා හවස අපි පා ගමනින් පරිසර චාරිකාවක් ගියා. ඒ ගමනෙදි මම හෙමිහිට දීප්ති අයියගෙන් කවි පොත ගැන ඇහුවා. අදත් නොනැසී පවතින අපේ සොයුරු බැම්මට පදනම උණේ රත්න ශ්‍රී සහ ''සල්ගහයට'' කවි පොත.  

ළ.ක්‍රි.වී. කාර්යාලයේ පුස්තකාලෙ, රොෂානි අක්කගෙ, බර්නි අයියගෙ, දීප්ති අයියගෙ පෞද්ගලික පොත් එකතු මට නිර්ලෝභීව අගනා පොත පත දුන්නා කියවන්න.

පේරාදෙණි සරසවි හීනය මකා දමල 2000 වසරෙ මම කැළණි සරසවියට ආවෙ ඒ වෙද්දි ළ.ක්‍රි.වි. අයියල අක්කල කීප දෙනෙක් කැළණියෙ හිටිය හින්දයි. ළ.ක්‍රි.වි. ජීවිතය මගේ හිත වඩාත් සුවපත් කරන බව දැනෙන්න ගත්ත නිසයි. මේ වෙද්දි ගමේ කළ ළමා සමිතියට සමු දෙන්න සිදු වුණත් ජාතික කාර්යාලයේ කටයුතුවලට වැඩියෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මාව මුලින්ම ගොඩගේ, සූරිය, දයාවංශ පොත් සාප්පුවලට එක්කරගෙන ගියේ බර්නි අයියා සහ රොෂානි අක්කා. උපන්දින, විවාහ මංගල්‍යයන්, ජීවිතේ වෙනත් විශේෂ අවස්ථාවලදි පොතක් තිළිණ කරන්න මම ඉගෙන ගත්තෙ ළ.ක්‍රි.වී.යෙන්. ඒ වගේම ළමා, අනුශාසක වැඩසටහන්වලදී අනිවාර්යයෙන් පොත්පත් හඳුන්වා දීමත් සිදු වුණා. මේ නිසාම වැඩි වැඩියෙන් පොත් ගැන අවධානය යොමු කරන්න සිදු උණා.

වසරකට වරක් ලංකාව පුරා ළ.ක්‍රි.වි. ළමා සමිති කරන අනුශාසක සොයුරු සොයුරියන් එක් වන වාර්ෂික අනුශාසක සම්මේලනය පැවැත්වෙනවා මග්ගොන ළමා නිවාසයෙදි. සුන්දර බක් මාසයේ දින හතරක්. මේ සමුළුවේ පැය දෙකක් වෙන් වෙනවා '' පොත පතේ අසිරිය'' විශේෂාංගයට.  මෙහිදී සිදුවෙන්නෙ ළමුන්ට, තරුණ තරුණියන්ට කියවන්න සුදුසු පොත් හඳුන්වා දීම. 1998 මගේ මුල්ම සම්මේලනයෙදි හඳුන්වා දුන්න පොත් තමයි මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කවි පොත සහ බෘනෝ ආපිට්ස්ගේ '' වෘකයන් අතර නග්නව'' කෘතිය. ඒ වසරෙදිම මේ පොත් දෙක කියවන්න මට වාසනාව ලැබුණා.

පසුකාලීනව මමත් '' පොත පතේ අසිරිය '' මෙහෙයවන අය අතරට ආවා. ඉතින් පොත් හඳුන්වල දෙන්න අපි අළුත් පොත් හෙව්වෙ, කියෙව්වෙ තර‍‍‍‍ගෙට  වගේ. වසරින් වසර පොත් හඳුන්වා දුන් ක්‍රමයත් වෙනස්. නාට්‍යානුසාරයෙන් තමයි කළේ. වසර දෙකකදිම පොතපතේ අසිරියේ නාට්‍ය ජවනිකාවල පොත් තෑගි ලබන හොඳ ළමයාගෙ චරිතය රඟ දක්වන්න මට අවස්ථාව ලැබුණා.

එක් වතාවක් පොත පතේ අසිරිය කළේ වෙන්නප්පුවේ අනුශාසක සොයුරු සොයුරියන්. ''ආදරණීය ගුරුතුමාණෙනි'' හඳුන්වා දෙන්නට ඔවුන් කළ නාට්‍යය වේදිකා නාට්‍යයක් තරමටම අපූරුයි. දුන්ගාල්පිටිය සොයුරු සොයුරියන් පොතපත හඳුන්වා දුන් වසරෙ '' හරි අපූරු ඉස්කෝලෙ'' පොතට ලස්සන නාට්‍ය ජවනිකා ටිකක් කළා. එහි ටොට්ටො චංට රඟ පෑව නංගියව අදටත් කට්ටිය හඳුන්වන්නෙ ටොට්ටෝ කියලයි. ‍

2003 වසරෙ මම ළ.ක්‍රි.වී. ජාතික කාර්යාලට සම්බන්ධ වෙනවත් එක්කම අනුශාසකවරුන් සඳහා නොමිළයේ බෙදා හරින '' සබඳ'' සඟරාවෙ සංස්කරණ කටයුතු සහ  පරිගණක සැකසුමත් මා වෙත පැවරුණා. සබඳ සඟරාවෙ දෙවන පිටුව වෙන්වුණේ පොත්පත් හඳුන්වා දීමට වගේම පොතපතේ අගය ගැන කතා කිරීමට. ඒ විශේෂාංගය නම් කළේ ''ඇසුර'' නමින්. මම ගොඩක්ම ආශාවෙන් ලියපු ලිපි පෙළක්. පොත් සියයකට වඩා මේ වසර කිහිපය තුළ හඳුන්වා දෙන්නට ඇති.

තවත් ළ.ක්‍රි.වී. හා පොත් සමග බැඳුණු සුන්දර මතකයක් තියෙනවා. එක් වසරක ලංකාව පුරා සිදු කළ ළමා සන්නිවේදන හා නායකත්ව පුහුණු වැඩමුළුවෙ අවසන් දින රාත්‍රියෙ ගිනිමැලය මෙහෙයවීම ක‍ළේ ''පූ වළහා සහ මිතුරෝ''  පොතේ කොටස් නාට්‍ය ජවනිකා ලෙස ඉදිරිපත් කරමින්. මැදවච්චියෙ පල්ලියෙ ළමා වැඩමුළුව බලන්න මගේ තාත්තත් ආවා. එයා ඒ දවස්වල වැඩ කළේ වව්නියාවෙ. මම ලංකාවෙ හතරවටේ ළ.ක්‍රි.වී. වැඩවලට ගියත් අපි කරන වැඩක් තාත්තට දකින්න ලැබුණ පළමු අවස්ථාව තමයි මේ.

එදා ගිනිමැලයෙදි ක්‍රිස්ට රඟපාන නළුවො කවුරුත් හිටියෙ නැහැ. ඉතින් කලිසමක් ඇඳල, කොණ්ඩෙ වැහෙන්න කැප් එකකුත් දාලා ''පූ'' ගෙ හොඳම යාළුව ක්‍රිස්ට රඟ පෑවෙ මම. පූ වළහා සහ මිතුරෝ පොත කියවනවා වගේම සුන්දර අත්දැකීමක් තමයි ඒ රංගනයත්. ඒ සැරේ තාත්ත ගමේ ආ වෙලාවෙ පාන්දර පහේ ඉඳන් නැගිටගෙන කුස්සියට වෙලා ලොකු දුගෙ වැඩ වර්ණනා කළාලු කියල අම්ම කිව්ව.

මගේ කියවීමේ මල් සමයෙදි ගොඩක් අය කියවන්න යොමු කරන්නත්, බොහෝ දෙනෙක් අතර පොත්පත් හුවමාරු කර ගන්නත්, පොත් තිළිණ රැසක් ලබා දෙන්නත් මට හැකි වුණා. ''ධර්ම දානය උතුම්ම දානය'' කියනවනේ. මේකත් ඒ ළඟින් යන පුණ්‍යකර්මයක් කියල මම හිතනවා. පොත් කතාව මෙතනින් නිමා උණත් පොත් එක්ක යන ජීවිත ගමන සුසානය දක්වාම යාවි.

මැක්සිම් ගෝර්කි කියනව වගේම මටත් කියන්න පුළුවනි මෙහෙ‍ම '' මම පොත්වලට ණය ගැතියි. ''

Friday, September 14, 2012

මගේ කියවීමේ උත්පත්ති කතාව 02



මේ තරම්ම පොත් පිස්සුවක් හැදුණෙ කොහොමද කියල ඔයාල එක්ක බෙදා ගන්න වගේම, මගේම සොඳුරු ළමා වියේ මතක සැමරුම් අතර තනි වෙන්නයි මට ඕන උණේ... කියවීමේ උත්පත්ති කතාවේ දෙවෙනි කොටසට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා...


පළමු කොටස  මෙතනින් බලන්න.

අළුත් ගමේ පුස්තකාලෙ

අපේ අළුත් ගමේ බුදු මැදුරක්, කිතුනු ආගමික මැදුරක්, පුස්තකාලයක් සහිත ප්‍රජා ශාලාවක්, ක්‍රීඩා පිටියක් තිබුණා. නිවාස හැටයි. පවුලකට අක්කර භාගය බැගින් ලැබුණා. විදුලිය සිහිනයක්ව පැවති අපේ ගම්පළාතට විදුලිය ලැබුණෙත් ගම්උදාව සමගමයි. ගම මැදින් තිබුණු කරත්ත පාර එළි පෙහෙළි වෙලා පුළුල් උණෙත් ඒ ඒක්කමයි.

මේ කාලෙ වෙද්දි මගේ අම්මා අවුරුදු 24 ක් වයස තරුණ අම්මා කෙනෙක්. එයාටම හරියන නැන්දල දෙන්නෙක් වටෙන් එකතුවෙලා උන්නා. එකම චීත්ත රෙද්දෙන් එක විදියට ගවුම් මහන, හදන කෑම බීම බෙදා ගන්න, නිවාඩු වෙලාවට එකතුවෙලා ඕපදූප කතා කරන, හදිසි වෙලාවට දරුමල්ලො බලා ගන්න මේ තුන්කට්ටුවම පොත් කියවන්නත් රුසියො. සතියකට වතාවක් දෙකක් පුස්තකාලෙට යන අම්ම පස්සෙන් මමත් පුස්තකාලෙ යන්න පුරුදු වුණා. මුලදි කතන්දර පොත් පෙරළ පෙරළ පින්තූර බලල සතුටු උණා.. ඒත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ, හොඳට කියවන්න පුරුදු උණාම කතන්දර පොතක් ගෙදර අරන් එන්න පුංචි මටත් අවස්ථාව ලැබුණා. මේ විදියට පුංචිම කාලෙ පොත් කියවන පුරුද්ද මට ලැබුණෙ මගේ අම්මගෙන් තමයි.

රතු කැටය, කඩමාලි, හඳයා, සමන්මලී..  මේ කාලෙ බැලුව අදටත් මතක තියෙන ලස්සන කතන්දර පොත්... අද වගේ වෛවර්ණ පින්තූර ‍නොතිබුණාට ඒ සරල පින්තූරවල හිත් ගන්න අපූරු ලස්සනක් තිබුණා. රතුකැටයෙ චිත්‍ර සිබිල් නැන්දගේ. රතු කැටයෙ තියෙන්නෙ තමන්ගෙ රෝගී නංගිට දිනපතා දොඩම් ඉස්ම ටිකක් දෙන්න කැප වෙන අහිංසක පුංචි අයිය කෙනෙක්ගෙ අවංකකම නිසා එයා පොහොසතෙක් වෙන හැටි. හැමෝම එයාට ආදරේ වෙන හැටි. ඒ කතන්දර පොත්වලින් නොදැනිම ජීවිතයට වටිනාකම් රැසකුත් එකතු උණා. අනේ දැන් මේ පොත් දකින්නවත් නැහැනේ..

ගමේ පුස්තකාලෙන් අදටත් මතක තියෙන විශේෂ බලපෑමක් කළ පොතක් තමයි, ස්වර්ණලතා කිරිවත්තුඩුවගෙ '' තිලකසිරි'' පොත. ඒක කියවල මටත් උණක් හැදිලා තිබුණා ලංකාවෙ පළවෙනිය වෙලා ශිෂ්‍යත්වෙ පාස් වෙන්න. ලංකාවෙ පළවැනිය නොවුණත් ශිෂ්‍යත්වය පාස් වෙන්න තිලකසිරිගෙ චරිතයත් මට උදව් වෙන්න ඇති. ඒ පොත කියවල මමත් නිවිති දළු ටිකක්, මිරිස් පැලයක් හිටෙව්වා.. තිලකසිරි වගේ ගෙදරට උදව් වෙන හොඳ ළමයෙක් වෙන්න හිතාගෙන. පුංචි මනසට පොත්පත්වලින් කොයි තරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද? ධනාත්මකව වගේම එය ඍණාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්.

මෑත කාලයක සූරිය පොත් සාප්පුවෙ පොත් අතරෙ රස්තියාදු වෙවී ඉද්දි, බිම දාපු පොත් ගොඩක දූවිලි වැදෙමින් තිබුණ තිලකසිරි පොත දැක්කම මට දැණුනෙ පුංචි කාලෙ යාළුවෙක් අවුරුදු ගාණකට පස්සෙ නොහිතපු වෙලාවක අහම්බෙන් මුණ ගැහුණම දැනෙනව වගේ සතුටක්. රුපියල් 40 ක් දීල පොත් පිංච ගත්තෙ මහා ආදරයකින් වගේම සතුටකින්.

දහම් පාසලේ මගේ මිතුරියක් හිටිය අමිලා. එයාගෙ අම්ම ටීච කෙනෙක්. එයා ළග ළමා පොත් තිබුණ අම්ම ගෙනත් දුන්න. එයාලගෙ ගෙදර තිබුණෙ පාරෙන් ඈතට වෙන්න වත්තක් මැද. පාරෙ ඉඳන් යන්න තිබුණ අඩි පාර අඳුරුයි. ගහකොලවලින් වටවෙලා. ඒ පාර දිගේ බයෙන් බයෙන් බයිසිකලේ ගිහින් අඹ යහළුවෝ, මඩොල්දූව ඉල්ලන් ඇවිත් බලද්දි මම හය වසරෙ විතර ඇති. පොත් පෙරේතකම අර අන්ධකාර පාරට තිබුණ බයට වඩා බලවත් වෙන්න ඇති. ඒ දවස්වල පුංචි දුකක් තිබුණා හිතේ අම්ම, තාත්ත කතා පොත් ගෙනත් නොදෙන එක ගැන. ඒත් කිසිම දෙයක් ඉල්ලල කරදර කරන සිරිතක් මගෙත්, නංගිල දෙන්න සහ මල්ලිගෙත් කවදාවත් තිබුණෙ නැහැ.  

අපේ පුස්තකාලෙ කරුණාසේන ජයලත් ශූරීන්ගෙ පොත් බොහොමයක් තිබුණා. ගොඩක් ආසාවෙන් මම ඒ පොත් කියෙව්වෙ. සතී, නිශ්ශංක,  කුසුම්, සෝමෙ, ලොක්කයිය, පද්මිණී, ගෝතමී මම දැන අඳුන ගත්තෙ ඒ කාලෙමයි. ආදර රත්නෙ, හිතවතිය, ජීවන කඳුළු වගේ පොත් කියෙව්වත් මතකයි. ඒ වෙද්දි මම 7 පන්තියෙ විතර ඇති. සුද්දිලාගෙ කතාව කියෙව්වෙ නම් 9 වසරෙදි. නැටුම් මිස්ට අහුවුණා ඒ පොත බල බල ඉද්දි... '' ඔයා මේ වගේ පොතුත් බලනවද " කියල ටීච ඇහුවෙ අමුතු තාලෙට. මට මුලදි තේරුණේ නැහැ ඇයි එහෙම අහන්නෙ කියල.. පොත කියවල ඉවර උණාට පස්සෙ නම් ටීචට මුහුණ දෙන්න ලැජ්ජාවකුත් දැණුනා. ටීචට ඒ සිද්ධිය අමතක උණාද, අමතක කළාද මම දන්නෙ නැහැ. ඉන්පස්සෙ ඒ ගැන මතක් කළේවත් නැහැ.

මුලින්ම අපේ මේ පුංචි ගමේ සිල්ලර බඩු කඩයක් පටන් ගත්තෙ අපේ තාත්ත. තාත්ත කඩේ පටන් ගත්ත උණත් එයාට ව්‍යාපාර ඥානයක් නැති නිසාම, හිත හොඳ වැඩි නිසාම කඩේ වහන්න වෙන තත්වෙට ආවා. ( ඒ කාලෙ අම්ම තාත්තව හඳුන්වන්න පුරුදු වෙලා හිටියෙ "වෙස්සන්තර සනී " කියලයි. ) ඉන්පස්සෙ කඩේ බාර අරන් කළේ ලොකු තාත්තා ( තාත්තගෙ තාත්තා ) කඩේට සතිපතා මධුර, සිත්තර ගත්තා. සත්සිරි පටන් ගත්තට පස්සෙ ඒකත් ගත්තා. හැන්දෑවට කඩේට එකතු වෙන කට්ටිය කැරම් ගහන්න, පත්තර බලන්න, ඕපදූප කියවන්න පුරුදු වෙලා හිටියා. කෝපි කඩේ වගේ තමයි. අඩුවකට තිබුණෙ තේ, කෝපි විතරයි. ඉතින් අකුරු කියවන්න ඉගෙන ගත්ත මුල් දවස්වල ඉඳලම මට චිත්‍ර කතා පත්තර බලන්නත් ඉඩ ලැබුණා.

චිත්‍රකතා පත්තර කඩේට ගනිද්දි පත්තර පෙට්ටිය වටේ කැරකෙන මටත් විජය, මිහිර පත්තර අරන් දුන්නා.  විජය පත්තරෙන් ලැබුණ කතන්දර අති‍රේකය මතකයි නේද? ඒ කොලය ගාණට කපල නවල අමුණ ගත්තම හුරුබුහුටි පොත් පිංචක් ලැබුණා. ඒ පොත් ටික තමයි මගේ මුල්ම පුස්තකාලය.

මගේ අම්ම, තාත්තා කවදාවත් තහංචි දැම්මෙ නැහැ කියවීම සම්බන්ධව. මොන දේ ගැන උණත් එහෙම තමයි. අපිට ලොකු නිදහසක් ලැබුණා.. එයාල කවදාවත් ඇඟිලි ගැහුවෙ නැහැ අපේ ජීවිතේට. ඒකෙන් නරකක් උණෙත් නැහැ අපට. ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්න අවස්ථා ලැබුණා. අද අම්මයි තාත්තයි සතුටු වෙනවා, ආඩම්බර වෙනවා එයාලගෙ දරු හතරදෙනා ගැනම. මටත් සතුටුයි අපි ගැන. පොළවෙ පයගහල ජීවත් වෙන පුංචි කාලෙ වගේම අදටත් ආදරයෙන් බැඳිල ඉන්න මගේ නංගිල දෙන්න, මල්ලි එයාලගෙ පවුල්වල අය ගැන නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා. ( මේ කතාව කියවීමේ උත්පත්ති කතාවට අදාළ නැති උණත් අතීත මතකය දිග හැරෙද්දි නොලියා ඉන්නම බැරි උණා. )