පිටු

Friday, September 14, 2012

මගේ කියවීමේ උත්පත්ති කතාව 02



මේ තරම්ම පොත් පිස්සුවක් හැදුණෙ කොහොමද කියල ඔයාල එක්ක බෙදා ගන්න වගේම, මගේම සොඳුරු ළමා වියේ මතක සැමරුම් අතර තනි වෙන්නයි මට ඕන උණේ... කියවීමේ උත්පත්ති කතාවේ දෙවෙනි කොටසට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා...


පළමු කොටස  මෙතනින් බලන්න.

අළුත් ගමේ පුස්තකාලෙ

අපේ අළුත් ගමේ බුදු මැදුරක්, කිතුනු ආගමික මැදුරක්, පුස්තකාලයක් සහිත ප්‍රජා ශාලාවක්, ක්‍රීඩා පිටියක් තිබුණා. නිවාස හැටයි. පවුලකට අක්කර භාගය බැගින් ලැබුණා. විදුලිය සිහිනයක්ව පැවති අපේ ගම්පළාතට විදුලිය ලැබුණෙත් ගම්උදාව සමගමයි. ගම මැදින් තිබුණු කරත්ත පාර එළි පෙහෙළි වෙලා පුළුල් උණෙත් ඒ ඒක්කමයි.

මේ කාලෙ වෙද්දි මගේ අම්මා අවුරුදු 24 ක් වයස තරුණ අම්මා කෙනෙක්. එයාටම හරියන නැන්දල දෙන්නෙක් වටෙන් එකතුවෙලා උන්නා. එකම චීත්ත රෙද්දෙන් එක විදියට ගවුම් මහන, හදන කෑම බීම බෙදා ගන්න, නිවාඩු වෙලාවට එකතුවෙලා ඕපදූප කතා කරන, හදිසි වෙලාවට දරුමල්ලො බලා ගන්න මේ තුන්කට්ටුවම පොත් කියවන්නත් රුසියො. සතියකට වතාවක් දෙකක් පුස්තකාලෙට යන අම්ම පස්සෙන් මමත් පුස්තකාලෙ යන්න පුරුදු වුණා. මුලදි කතන්දර පොත් පෙරළ පෙරළ පින්තූර බලල සතුටු උණා.. ඒත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ, හොඳට කියවන්න පුරුදු උණාම කතන්දර පොතක් ගෙදර අරන් එන්න පුංචි මටත් අවස්ථාව ලැබුණා. මේ විදියට පුංචිම කාලෙ පොත් කියවන පුරුද්ද මට ලැබුණෙ මගේ අම්මගෙන් තමයි.

රතු කැටය, කඩමාලි, හඳයා, සමන්මලී..  මේ කාලෙ බැලුව අදටත් මතක තියෙන ලස්සන කතන්දර පොත්... අද වගේ වෛවර්ණ පින්තූර ‍නොතිබුණාට ඒ සරල පින්තූරවල හිත් ගන්න අපූරු ලස්සනක් තිබුණා. රතුකැටයෙ චිත්‍ර සිබිල් නැන්දගේ. රතු කැටයෙ තියෙන්නෙ තමන්ගෙ රෝගී නංගිට දිනපතා දොඩම් ඉස්ම ටිකක් දෙන්න කැප වෙන අහිංසක පුංචි අයිය කෙනෙක්ගෙ අවංකකම නිසා එයා පොහොසතෙක් වෙන හැටි. හැමෝම එයාට ආදරේ වෙන හැටි. ඒ කතන්දර පොත්වලින් නොදැනිම ජීවිතයට වටිනාකම් රැසකුත් එකතු උණා. අනේ දැන් මේ පොත් දකින්නවත් නැහැනේ..

ගමේ පුස්තකාලෙන් අදටත් මතක තියෙන විශේෂ බලපෑමක් කළ පොතක් තමයි, ස්වර්ණලතා කිරිවත්තුඩුවගෙ '' තිලකසිරි'' පොත. ඒක කියවල මටත් උණක් හැදිලා තිබුණා ලංකාවෙ පළවෙනිය වෙලා ශිෂ්‍යත්වෙ පාස් වෙන්න. ලංකාවෙ පළවැනිය නොවුණත් ශිෂ්‍යත්වය පාස් වෙන්න තිලකසිරිගෙ චරිතයත් මට උදව් වෙන්න ඇති. ඒ පොත කියවල මමත් නිවිති දළු ටිකක්, මිරිස් පැලයක් හිටෙව්වා.. තිලකසිරි වගේ ගෙදරට උදව් වෙන හොඳ ළමයෙක් වෙන්න හිතාගෙන. පුංචි මනසට පොත්පත්වලින් කොයි තරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද? ධනාත්මකව වගේම එය ඍණාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්.

මෑත කාලයක සූරිය පොත් සාප්පුවෙ පොත් අතරෙ රස්තියාදු වෙවී ඉද්දි, බිම දාපු පොත් ගොඩක දූවිලි වැදෙමින් තිබුණ තිලකසිරි පොත දැක්කම මට දැණුනෙ පුංචි කාලෙ යාළුවෙක් අවුරුදු ගාණකට පස්සෙ නොහිතපු වෙලාවක අහම්බෙන් මුණ ගැහුණම දැනෙනව වගේ සතුටක්. රුපියල් 40 ක් දීල පොත් පිංච ගත්තෙ මහා ආදරයකින් වගේම සතුටකින්.

දහම් පාසලේ මගේ මිතුරියක් හිටිය අමිලා. එයාගෙ අම්ම ටීච කෙනෙක්. එයා ළග ළමා පොත් තිබුණ අම්ම ගෙනත් දුන්න. එයාලගෙ ගෙදර තිබුණෙ පාරෙන් ඈතට වෙන්න වත්තක් මැද. පාරෙ ඉඳන් යන්න තිබුණ අඩි පාර අඳුරුයි. ගහකොලවලින් වටවෙලා. ඒ පාර දිගේ බයෙන් බයෙන් බයිසිකලේ ගිහින් අඹ යහළුවෝ, මඩොල්දූව ඉල්ලන් ඇවිත් බලද්දි මම හය වසරෙ විතර ඇති. පොත් පෙරේතකම අර අන්ධකාර පාරට තිබුණ බයට වඩා බලවත් වෙන්න ඇති. ඒ දවස්වල පුංචි දුකක් තිබුණා හිතේ අම්ම, තාත්ත කතා පොත් ගෙනත් නොදෙන එක ගැන. ඒත් කිසිම දෙයක් ඉල්ලල කරදර කරන සිරිතක් මගෙත්, නංගිල දෙන්න සහ මල්ලිගෙත් කවදාවත් තිබුණෙ නැහැ.  

අපේ පුස්තකාලෙ කරුණාසේන ජයලත් ශූරීන්ගෙ පොත් බොහොමයක් තිබුණා. ගොඩක් ආසාවෙන් මම ඒ පොත් කියෙව්වෙ. සතී, නිශ්ශංක,  කුසුම්, සෝමෙ, ලොක්කයිය, පද්මිණී, ගෝතමී මම දැන අඳුන ගත්තෙ ඒ කාලෙමයි. ආදර රත්නෙ, හිතවතිය, ජීවන කඳුළු වගේ පොත් කියෙව්වත් මතකයි. ඒ වෙද්දි මම 7 පන්තියෙ විතර ඇති. සුද්දිලාගෙ කතාව කියෙව්වෙ නම් 9 වසරෙදි. නැටුම් මිස්ට අහුවුණා ඒ පොත බල බල ඉද්දි... '' ඔයා මේ වගේ පොතුත් බලනවද " කියල ටීච ඇහුවෙ අමුතු තාලෙට. මට මුලදි තේරුණේ නැහැ ඇයි එහෙම අහන්නෙ කියල.. පොත කියවල ඉවර උණාට පස්සෙ නම් ටීචට මුහුණ දෙන්න ලැජ්ජාවකුත් දැණුනා. ටීචට ඒ සිද්ධිය අමතක උණාද, අමතක කළාද මම දන්නෙ නැහැ. ඉන්පස්සෙ ඒ ගැන මතක් කළේවත් නැහැ.

මුලින්ම අපේ මේ පුංචි ගමේ සිල්ලර බඩු කඩයක් පටන් ගත්තෙ අපේ තාත්ත. තාත්ත කඩේ පටන් ගත්ත උණත් එයාට ව්‍යාපාර ඥානයක් නැති නිසාම, හිත හොඳ වැඩි නිසාම කඩේ වහන්න වෙන තත්වෙට ආවා. ( ඒ කාලෙ අම්ම තාත්තව හඳුන්වන්න පුරුදු වෙලා හිටියෙ "වෙස්සන්තර සනී " කියලයි. ) ඉන්පස්සෙ කඩේ බාර අරන් කළේ ලොකු තාත්තා ( තාත්තගෙ තාත්තා ) කඩේට සතිපතා මධුර, සිත්තර ගත්තා. සත්සිරි පටන් ගත්තට පස්සෙ ඒකත් ගත්තා. හැන්දෑවට කඩේට එකතු වෙන කට්ටිය කැරම් ගහන්න, පත්තර බලන්න, ඕපදූප කියවන්න පුරුදු වෙලා හිටියා. කෝපි කඩේ වගේ තමයි. අඩුවකට තිබුණෙ තේ, කෝපි විතරයි. ඉතින් අකුරු කියවන්න ඉගෙන ගත්ත මුල් දවස්වල ඉඳලම මට චිත්‍ර කතා පත්තර බලන්නත් ඉඩ ලැබුණා.

චිත්‍රකතා පත්තර කඩේට ගනිද්දි පත්තර පෙට්ටිය වටේ කැරකෙන මටත් විජය, මිහිර පත්තර අරන් දුන්නා.  විජය පත්තරෙන් ලැබුණ කතන්දර අති‍රේකය මතකයි නේද? ඒ කොලය ගාණට කපල නවල අමුණ ගත්තම හුරුබුහුටි පොත් පිංචක් ලැබුණා. ඒ පොත් ටික තමයි මගේ මුල්ම පුස්තකාලය.

මගේ අම්ම, තාත්තා කවදාවත් තහංචි දැම්මෙ නැහැ කියවීම සම්බන්ධව. මොන දේ ගැන උණත් එහෙම තමයි. අපිට ලොකු නිදහසක් ලැබුණා.. එයාල කවදාවත් ඇඟිලි ගැහුවෙ නැහැ අපේ ජීවිතේට. ඒකෙන් නරකක් උණෙත් නැහැ අපට. ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්න අවස්ථා ලැබුණා. අද අම්මයි තාත්තයි සතුටු වෙනවා, ආඩම්බර වෙනවා එයාලගෙ දරු හතරදෙනා ගැනම. මටත් සතුටුයි අපි ගැන. පොළවෙ පයගහල ජීවත් වෙන පුංචි කාලෙ වගේම අදටත් ආදරයෙන් බැඳිල ඉන්න මගේ නංගිල දෙන්න, මල්ලි එයාලගෙ පවුල්වල අය ගැන නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා. ( මේ කතාව කියවීමේ උත්පත්ති කතාවට අදාළ නැති උණත් අතීත මතකය දිග හැරෙද්දි නොලියා ඉන්නම බැරි උණා. )

24 comments:

  1. මටත් මගේ පුංචි කාලේ මතක් වුණා. අපි පොඩි කාලේ පොත් පත් අරන් දෙන්න දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නෑ. පුස්තකාලයෙන් තමයි ගොඩක් පොත් කියෙව්වේ.

    මමත් ගොඩාක් සතුටු වෙනවා අපේ අම්මලා තාත්තලා කියවීමට තහංචි නොදාපු එක ගැන. ඒ නිසා ගොඩාක් පොත් කියවන්න ලැබුණා. හොඳ පොත් තෝරගන්න හැකියාවකුත් ලැබුණා.

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් පුස්තකාල පිහිට තමයි නංගි. රස්සාවක් කරන්න ලැබුණට පස්සෙ නම් හිතේ හැටියට පොත් ගත්තා. දැන් නම් ඒකත් අමාරුයි.
      ජීවිතේ ගැන ආපහු හැරිල බලද්දි හිතෙනවා දෙමව්පියො දුන්න නිදහස වගේම, කිසිම දෙයක් ලේසියෙන්ම නොලැබීමත් ජීවිතේ ඉස්සරහට යන්න උදව් වුණා කියල. ස්තුතියි නංගි ඔයාගෙ ජීවිතයත් බෙදා ගත්තට.

      Delete
  2. ලස්සන ලිපියක්.. බොහොම අගෙයි... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි. කියවා දිරියක් උණාට.

      Delete
  3. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියනවනේ,මටත් මගේ පොඩි කාලේ මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ මතක් වෙන එකත් සුන්දරයි‍ නේද?

      Delete
  4. ඇත්තටම ඔව්.මාත් ඉස්සර හෙන ආසයි පොත් කියවන්න.හැම වර්ගයේම ඕනම අතට අහුවෙන පොතක් කියවනවා.ඒත් දැන් නම් ඒ පුරුදු අත් ඇරිලා

    ReplyDelete
    Replies
    1. පොත් පත් කියවීම ජීවිතේ හැම කාලෙකම තියෙන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නෙ. බ්ලොග් නිසා පොත් අමතක කරන්න එපා. පොත්වලින් උගත් දේ බ්ලොග්වලින් ගන්න බෑ.

      Delete
  5. මමත් පොත් කියවන්න හුරු උනේ ඉස්කෝලේ පුස්තකාලෙන්. ඉස්සර චූටි ඉඩක් ලැබුන හැටියෙ මම ඉන්නෙ පුස්තකාලෙ. ඒ දවස්වල අපේ අම්මා මට පොත් ගෙනත් දෙන්නෙ නෑ. ගෙනත් දෙන්න අම්මා ලඟ උන්නෙත් නෑ. සල්ලි නැති කාලේ පොත් කඩ වලට ගොඩ වෙලා හූල්ල හූල්ල පොත් අතපත ගාලා යන්න ගියා ගන්න සල්ලි නැතුව. දැන් ඒකටත් එක්ක පොත් අරගන්නවා. එක පොත තුන් හතර සැරයකුත් බලනවා...

    ReplyDelete
    Replies
    1. එකම පොත කාලෙන් කාලෙට නැවත කියවන පුරුද්ද මටත් තියෙනවා නංගි. දැන් නම් ආස කරන පොතක් සල්ලි දීල ගන්න ශක්තියක් තියෙන එකත් ලොකු සතුටක් තමයි.

      Delete
  6. හ්ම්ම්..අපේ අම්මත් ඉස්සර ඕන තරම් පොත් ගන්න කියනවා.පොත් සේල් එකක් ආවොත් මම පොඩිකාලේ පොත් 30 කට වඩා ගන්නවාමයි,ඒත් දැන්.,....කියවන්නේ බ්ලොග්.. :) :)

    ReplyDelete
    Replies
    1. නංගා....... Read more books more than more Blogs. බ්ලොග් නරක නැහැ. ඒත් පොත් කියවන එක අත් හරින්න එපා.

      Delete
  7. මමත් කියවන්න පුරුදු උනේ ගමේ පුස්තකාලෙන්.. එකටත් ලස්සන කතාවක් තියෙන්වා.. ඉඩ තියෙන වෙලාවක මමත් දන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට. මමත් බලන් ඉන්නවා මල්ලි ඔයාගෙ ඒ ලස්සන කතාව කියවන්න.

      Delete
  8. හරි වැදගත් කතාවක් ලියන් යනන ඉදිරියට..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි. කියවා දිරියක් උණාට.

      Delete
  9. matath kiyawana pissuwak thiyenawa yalu meka kiyeuwama mata e athithe mathak una iskole ugannadi des eka yata hangagena poth kiyawapu hati

    ReplyDelete
    Replies
    1. ඔයා මුලින්ම ආවෙ මේ පැත්තට එහෙම නේද? පොත් කියවීම සම්බන්ධව ඔය වගේ රසවත් අත්දැකීම් අපි හැමෝටම තියෙනවා නේද?

      Delete
  10. කඩමාලි ???
    අර පොඩි ගෑල්ලමයෙක් ඉස්කෝලේ බෝනික්කෝ උත්සවේට බෝනික්කෙක් හදපු කතාව නේ ? අර ඒ ළමයා දිනුවේ. බෝනික්කගෙ නම කඩමාලි නෙහ් ?
    අපේ අම්මා මට ගෙනත් දීපු පොතක්. මට තාමත් ඒ කතාව මතකයි !

    ReplyDelete
    Replies
    1. කඩමාලි කියන්නෙ ඒ රෙදි බෝනික්කගෙ කතාව තමයි. ලස්සන කතාව නේද? ඒකනෙ ඔයාටත් මතක තියෙන්නෙ.

      Delete
    2. ඔවු.. ඒ කතාව ලස්සනයි !

      Delete
  11. පුංචි කාලෙ පොතක් කියවලා ඉවර කරනකම් තියන සතුට තවත් නෑ.පුලුවන් තරම් බලන්නෙම ඉක්මනින් කියවලා අලුත් එකක් හොයාගන්න.

    මම අවුරුදු 14 -15 විතර වෙනකොට කරුමක්කාරයෝ පොතත් කියෙව්වා. ඒවගේම දවසක් "ගොන් දෙන්නක්" වගේ නමක් තිබුණ පොතක් කියවලා වස විලිලැජ්ජාවෙ බෑ.ඒකෙ තිබුණ දේවල්වලට

    ReplyDelete
    Replies
    1. මටත් කියවගෙන යද්දි ළමයින්ට නොගැ‍ළපෙන තාලෙ දේවලුත් අහුවුණා අයියෙ. ඒත් ඒ දේවල්වලින් ජීවිතේ අවුල් කර නොගන්න තරම් ‍මෝරපු නුවණක් තිබුණ කියලයි හිතෙන්නෙ.
      පුංචි කාලෙ ඉඳන්ම දහම්පාසල්, පල්ලි ගියා. යහපත් ගුරුවරු ඇසුරට ලැබුණා. හොද පොත් කියෙව්වා. ඒ නිසා ජීවිතේ වටිනාකම තේරුම් ගන්න වැඩි අවස්ථාවක් ලැබුණා. අසභ්යුයි කියන පොතපතට හිත අවුල් කරන්න නොලැබුණේ ඒ නිසයි කියල මට හිතෙන්නෙ.

      Delete
  12. මටත් ඕනේ මගේ පුස්තකාලයක් හදාගන්න.. මම දැන් ඒකට පොත් එකතු කරනවා.. කොහොම හරි පොත් එකක් වත් හැම මාසෙම ගන්නවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...