Thursday, September 13, 2012

මගේ කියවීමේ උත්පත්ති කතාව 01




වසර ගණනකට එපිට සුනේත්‍රා රාජකරුණානායකගේ '' අසිරිමත් කියවීම '' කියවීමෙන් ලත් අසිරිය නිසාම මගේ කියවීමේ උත්පත්ති කතාව යම්තාක් දුරකට ලියා තබන්න ඕන කියන හැඟීම තිබුණා. බොහෝ කරුණු කාරණා අතර අතරමංව සිටි ඒ සිතුවිල්ල ආයෙම අතින් අල්ලන් ඇවිත් මේ විදියට ළඟින් වාඩි ගෙන ලියන්න කියල ලොකු පෙළඹවීමක් ඇති කළේ බොහිමියන්ගේ මේ  කියවුමේ ඉතිහාසය  බ්ලොග් සටහනයි...

දරුවෙක් සම්බන්ධ කරුණු කාරණාවලදි බබෙක් ලැබිල හත් දවසින් කිරි අම්මා දානෙ දීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම අපේ ගම්වල අනිවාර්ය සිරිත්නේ. මටත් දෑවුරුදු ගෙවුණට පස්සෙ අකුරු කියෙව්වලු. අකුරු කියවන දවසෙ කැවිලි පෙවිලි, රන් බඩු, මල් බුලත් මේ හැම අතරින් මං තෝරා ගත්තෙ පොතලු. මට නම් මේ ගැන මතක නැහැ. ඒත් අම්ම කියනවා ඒ කාලෙ අභ්‍යාස පොතක් මම දවසට දෙකට ඉවර කරනවලු කුරුටු බලි ඇඳල.. මගේ මුල් ගුරුතුමී මගේ අම්මා. ඈ ඒ වෙද්දි අවුරුදු විසි එකක තාරුණ්‍යයේ එළිපත්තෙ හිටිය අම්මා කෙනෙක්. අනේ පව් කියල හිතෙනවා. ඒ තරම් අඩු වයසකදි අම්ම කෙනෙක් වෙලා ජීවිතේ බරට ‍කොහොම උර දෙන්න ඇත්ද?

මම බහ තේරුවෙ, පියෙන් පිය ඇවිද්දෙ, මගේ ළමා විය ගෙවුණෙ සැබෑම ගැමි ගෙදරක.
අක්කරයක විතර පොල්වත්ත මැද අඩි පාරකින් එන්න තිබුණ සුදු හුණු ගෑව පොල්අතු හෙවිල්ලපු පුංචි ගේ.... ගේ වටේටම සුදු වැලි මිදුල...
වටේට කොච්චි, මිරිස් පැළ, ගෙයි වම් පසින් රට නෙල්ලි ගහ, ඉස්සරහින් මල් පිපුණු ඇට්ටේරිය ගහ,
වැට මායිමේ රෝස පාට ඉදුණු ගෙඩි පොකුරු පිරුණු ගොං කරපිංච ගස්,
වත්ත පහළ කවදාවත් වතුර හිග නැති පතහ ( පුංචි පොකුණක් ), ඒ හරියෙ කාලෙන් කාලෙට එක එක ජාතියෙ එළවළු වගාවන්... කොස්,දෙල්, පොල්, අඹ, කජු වැනි ගස් හිග නැතිව...
එළුවො රෑනකුත් උන්නා... මගෙ වටේ කැරකි කැරකි මගේ කිරි බෝතලෙන්ම හවුලට කිරි බිව්ව අම්ම නැති එළු පැටිය දැනුත් හිතෙන් මවා ගන්න පුළුවන් මට. ඌට නම දාලා තිබුණෙ '' කිරී'' කියලයි.

අඩි පාරක් දිගේ අපි නාන්න ගියේ නිල් කැටේට වතුර පිරුණු, කාලෙකට අතිනුත් වතුර ගන්න පුළුවන් අපූරු පුංචි ළිඳකට.....
වටේ පේන මානෙක තිබුණෙ එකම එක කටු මැටි ගෙයක් විතරයි. බලන බලන අත ගහකොල, ළඳු කැලෑව... මගේ පුංචිම අවදිය ගෙවුණෙ මෙවන් වටපිටාවකදි....... ( පුංචි කාලෙ ගැන නම් වෙනම ලියන්න ඕන )

ඒ පොල් අතු වහළ යට තමයි මම අ යනු ආ යනු කිව්වෙ.. ඒ පුංචි ගෙදර ගෙව්ව ජීවිතේ සුන්දර මතකය සුරංගනා කතාවක් වගේ තාමත් මගෙ හිතේ රැඳිල තියෙනවා.

පුංචි කාලෙ අකුරු කියවපු හෝඩි පොත ගැන මතකයක් නැති උණත්, තිළිණයක් ලෙස ලැබුණු මුල්ම පොත ගැන නම් නොමියෙන මතකයක් මගෙ හිතේ රැඳිල තියෙනවා.

මුල්ම පොත් තිළිණය

1983 වසරෙ මම මොන්ටිසෝරි යන දැරියක්. එවකට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ ගම් උදා සංකල්පය යටතේ බිහිවුණු අපූරු ගමක ගේ පොඩ්ඩක් අපටත් උරුම උණා. මුලින් කී අපේ පොල් අතු ගෙදරට සමු දෙන්න උණේ ගම් උදාවෙන් අපට ලැබුණු උළු හෙවිල්ලපු අළුත් ගෙදරට එන්න උණ නිසයි.

අපේ ගම ජනතා අයිතියට පවරා දෙන උත්සවයට පැමිණි අගමැතිතුමාව පිළිගත්තෙ මමත්, සුරංගි කියල තවත් පුංචි යහළුවෙකුත්. අපි සුදු ළමා සාරි ඇඳල, සුදු මුතු පටක් බැඳල, හිස වටා සුදු රිබන් එකකුත් බැඳල සුදු පාටින් බැබළි බැබළි උන්න මතකයි. මම බුලත් අතක් දීල වඳිද්දි ම‍ගේ යාළුවා මල්මාලයක් දැම්ම. අපේ හිස අත ගෑව එතුමා අපිට තෑගි පාර්සලය බැගින් දුන්නා...

ඒ තෑගි පාර්සලයේ තිබුණ දේවල් ගැන හරි මතකයක් නැති උණත් එක් කතන්දර පොතක් තිබුණා.. අදටත් මට ඒ කතා‍ පොතේ මුල් කවරය, ඇතුළෙ චිත්‍ර මතකයි. නමුත් පොතේ නමවත්, ලිව්වෙ කවුද කියලවත් මතක නැහැ. හරක් බලා ගන්න ගමන් ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙන දුප්පත් ළමයෙක් ගැනයි එයින් කියවුණේ... ඉගෙනීමෙ වටිනාකම හිතට කාවැදෙන්න ඇත්‍තෙ මේ පොතෙන් තමයි මුලින්ම.

පිට කවරය වර්ණ තුනයි. කළු, සුදු, කොළ... ඉරි වැටුණ සරම් කෑල්ලක් ඇඳ ගත් පිරිමි ළමයෙක් කෙවිටක් අතින් අරන් උන්න පින්තුරයක් තිබුණෙ... ඇතුළෙ තිබුණෙ කළු සුදු චිත්‍ර මට මතක හැටියට...

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල්කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරළි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා...

මේ කවිය මම මුලින්ම දැන හඳුන ගත්තෙ ඒ කතන්දර පොතෙන් තමයි.. අම්මයි  කතන්දරේ කියවල දුන්නෙ.. තනියෙන් කියවල තේරුම් ගන්න තරම් ඒ කාලෙ අකුරු දැනන් උන්නෙ නැහැනෙ.. සෙල්ලම් ගෙදර අනිවාර්ය වස්තුවක් වුණ පොත යාළුවො එක්ක පෙරළල බලලම ඉරිල ගියා. ඉන්පස්සෙ ආයෙ වතාවක් ඒ පොතම ගෙනත් දුන්නා සල්ලිවලට .

'' පරිස්සම් කරල තියා ගන්න. වටිනවනෙ අගමැතිතුමා දුන්න තෑග්ගනෙ කියල''

ඉස්කෝලෙත් අරන් ගිහින් යාළුවන්ට පෙන්නුවෙ හරිම ආඩම්බරෙන් අගමැතිතුමා දුන්න තෑග්ග. ඒත් ඒ පොතටත් මොනා උණාද මතක නැහැ. දැනටත් පොත් සාප්පුවල රස්තියාදු වෙන අතරෙ මම බලනවා ඒ කතන්දර පොත තියෙනවද කියල.. දකින්නවත් ලැබුණෙ නැහැ.

( ප්‍රේමදාස දේශපාලනය ගැන ගැටළු රැසක් තියෙනවා. නමුත් මේ කියන කාල වකවානුව රණසිංහ  ප්‍රේමදාස අගමැතිතුමා කියන්නෙ මගේ පුංචි ලෝකෙ උත්තම වීරයෙක්... එතුමා මිය ගිය වෙලාවෙ හතරවටින් රතිඤ්ඤා ඇහුණත් මගේ ඇස්වලින් නම් කඳුළු වැටුණා.. එදා සරා සඳ පසුකාලයේ වියළි සඳක් සේ දකින්නට සිදු වීම කොතරම් ඛේදනීයද? )

25 comments:

  1. පරණ මතක.කොහොමත් ප්‍රේමදාසට මාත් කැමතියි එක පැත්තකින්.හැබැයි අනිත් අතින් මට පේනන්නම බැරි චරිතයක්.මං හිතක විදිහට මනුෂ්‍යාව නරක් කලේ ලග ඉන්න උදවිය කියලා

    ReplyDelete
    Replies
    1. අසීමිත බලය මිනිසුන්ව නරක් කරනවා නේද ධම්මික.. පුංචි කාලෙ දේශපාලනය ගැන දන්නෙ නැහැනෙ. ගෙයක් දුන්න උතුම් මනුස්ස‍යා ගැන විතරනෙ දන්නෙ. පස්සෙ පොතපත කියවල ඉතිහාසය ගැන නිවැරදි දැක්දක් එද්දි ඇත්තටම දුක හිතුණා ගොඩ නැගිල තිබුණ ප්ර තිරූපය හිතින් බිඳිල යද්දි.

      Delete
  2. මුල්ම පොත හිතට වැදිලා වගෙයි.. මාත් පොඩිකාලෙ පොත් කාවෙක්.. පොත්තොයියො පත්තොයියො කිය කිය ගෙදර එන උන්ටත් පොත් පෙරලපු එකමලු කළේ..

    ඒකට දැන්.. ඊයෙ මම පොත් අටක් ඉල්ලන් ආවා.. හිතෙන්නෙ නෑනෙ කියවන්න.. :)

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ කියවපු පොත් කොයි තරම් හිතට කා වැදිලද කියල තේරුණේ මේ ලිපිය ලියන්න මතකය අවුස්සද්දි තමයි.

      Delete
  3. Replies
    1. පරණ මතකය ඇවිස්සීම හිතට සුවයක් උණා මල්ලි.

      Delete
  4. අගමැති ප්‍රේමදාස ජනාධිපති ප්‍රේමදාසට වඩා දහස් වාරයක් හොඳයි කියන කතාව මාත් අහලා තියෙනවා...

    "බොහිමියන්ගේ මේ කියවුමේ ඉතිහාසය බ්ලොග් සටහනයි..."

    ඔය බ්ලොග් එක ලියන හාදයාගේ නම බොහිමියන් නෙමේ අක්කේ ලිෂාන් පුවකෝවිට :)

    ReplyDelete
    Replies
    1. ආර්. ප්රේ මදාස අගමැතිතුමාගෙ ගම්උදාව හොඳ වැඩපිළිවෙලක්. ජනසවියත් හොඳයි. නමුත් මම දැක්කෙ අපේ ගම්වල පිරිමි ජනසවිය නිසා උදාසීන වෙන බවයි. ගැහැණු අයට එයින් පස්සෙ පවුල්වල බර වැඩියෙන් කරට ගන්න උණා.

      ස්තුතියි මල්ලි.. බොහිමියන් කියන්නෙ ලිෂාන් නේද? බ්ලොග් එකේ මුලම බොහිමියන් තිබුණ නිසා එහෙම දැම්මෙ.

      Delete
    2. ඔව් ඔව් එයා තමා

      Delete
  5. කුඩා කළ ඒ මතකයන් නැවත ආවර්ජනය වෙද්දී කොච්චර සතුටුද හිතට. ඊළඟ කොටස කියවන්න බලාගෙන ඉන්නවා. නිතර එන්න බැරි වුනත් ආ විට සේරම කියවනවා.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි, ඔයාගෙ කාර්යබහුල ජීවිතේ මගේ බ්ලොග් එකටත් ඉඩක් වෙන් කළාට. හැබැයි ඔයා කාලෙකින් ලිව්වෙ නැහැ නේද? ඒක අඩුවක්. මේ ලිපිය ලියද්දි මමත් හිතින් අතීතයට ගියා. ඒ කාලෙ හරිම සුන්දරයි.

      ඉතිරියත් ඉක්මණින් පළ කරන්නයි ඉන්නෙ.

      Delete
  6. . පිළිවෙලකට මතක අඩුක් කල ලස්සන සටහනක්. දැන් අපි පොත් ගැන කතා කරමුද ..ප්‍රේමදාස මැතිතුමා ගැන කතා කරමුද ...ගම් උදාව ගැන කතාකරමුද . බලන් ගියහම කතාකරන්න ගොඩක් තියෙන පෝස්ට් එකක් . මුල් කාලයේ මිනිස්සුන්ගේ ආදරය දිනලා පහු වෙද්දී එපාම වෙලා ගිය කෙනෙක්නෙ . අපේ තාත්ත හෙම මට මතකයි ඉස්සර හරිම කැමැත්තෙන් හිටිය . තාත්තගේ මාමලත් එක්ක ළඟ හිතවත්කමක් තිබුන . ආච්චිව බලන්න මහගෙදරට ගිහිනුත් තිබුන . ඒ වුනාට ළමයින් වුන අපි නම් ප්‍රේමදාසව දුටුවේ හතුරෙක් විදිහට . තාත්තල වුනත් පසු කලෙක ඕව ගැන කතා නොකර හිටියා . ජනසවිය තුල නම් අඩුපාඩු ගොඩක් තිබුන . ඒවා ඉතින් ප්‍රේමදාස මහත්තයාගේම පිට දාන්නත් අමාරුයි. ගම් වල පාක්ෂිකයෝ ඕන විදිහට බෙදා ගත්ත . ගෙවල් වුනත් එහෙමයි . හැබැයි ඇත්තටම උවමනා අයටත් ලැබුන . කොයිදේත් කරන්න ගියහම අඩුපාඩු වෙනවනේ ඉතින්. හැමදේම නිකන්ම දෙනකොටත් මිනිස්සු කම්මැලි වෙන එක ඇත්ත . ඔය ගෙවල් දෙන්න තිබුනේ ගණනක් කාලයකදී අය කරගන්න විදිහට .

    මන් මුලින්ම කියවපු පොත නම් මට මතක නැහැ .. අම්මා මි-හි-ර. කියල පත්තරේ නම කියවන්න කියල දුන්න . මගෙත් මුල්ම ටීච අම්ම . අපි ඉතින් ස්වෝත්සාහයෙන් තමයි පෙරපාසල් අධ්‍යාපනය ලැබුවේ . මන් පෙරපාසල් ගිහිනුත් නැහැ . හැබැයි ගෙදර පොත් ගොඩක් තිබුන නිසා කියෝගෙන කියෝගෙන ගියා . පටන් ගත්තු දවසක් මතක නැහැ . ලොකු අයගේ පෙළපොත් වල ඉඳන් නවකතා චිතරකතා හැමදේම කියෙව්වා . මගේ කතන්දරේ මෙතන කියන්න ගියොත් නම් ඉඩ මදි .

    ඇත්තම කියන්න ඔයා කියල තියෙන විස්තර ටික මන් ගැනම ලිව්වා වගේ බොහෝ දේවල් . අපිත් හිටියේ ඔයවගේම ලොකු ඉඩමක . අපේ නොවුනත් දුව පැන ඇවිදලා අපේ වගේ තමයි හිටියේ. ඒ කාලේ කුලී ගෙවල් වල ඉන්න එක එච්චර හොඳ දෙයක් නොවුනත් අද හිතද්දී ගෙවල් මාරු කරද්දී විවිධ ගෙවල් වල ඉඳීමත් ලොකු අත්දැකීමක් වුනා .

    ReplyDelete
    Replies
    1. ලිෂාන් සොයුරාගෙ ලිපිය දැක්කම පොත් ගැන මගේ මතකය අවදි උණෙත් ඔය වගේමයි බින්දි. ඇත්තටම මම මේ ලිපිය ලිව්වෙ මාවම සතුටු කරන්න. තාමත් මං ඇතුළෙ ඉන්න පුංචි ළමයා කාරණා එක එක මතක් කරල දෙනව කියල මට හිතුණා. මේ ලිපිය ලියද්දි මට දැණුනා මගේ අම්ම මගේ ජීවිතේ පදනමට කොයි තරම් හයියක් වෙලා තියනවද කියල?
      තාමත් මම ආස අපි පුංචිම කාලෙ හිටිය වත්තට. දැන් ඒ ගේ තිබුණ තැනක්වත් හිතා ගන්න බෑ. දැන් ඒ ඉඩමෙන් වැඩි කොටසක් අපිට අයිතිත් නැහැ. ඒත් මගේ අළුත් ගේ පොඩ්ඩ ඉදි වෙමින් පවතින්නෙ ඒ ඉඩමේම පුංචි කොටසක. තාමත් පතහ නම් අයිති අපට.
      ඇත්තටම ජීවිතේ විවිධ අත්දැකීම් ලැබෙන එක නම් හොඳ දෙයක් තමයි.

      Delete
  7. පුංචි කාලෙදි අපි කියවපු පොත් ගොඩක් කල් යනකන් අපේ හිතේ රැඳිලා තියෙනවා.

    ලස්සන මතකයන් ටිකක් අපූරුවට අකුරු කරලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තයි නංගි, පුංචි කාලෙ කියවපු පොත් අපේ ජීවිත ගොඩ නගන්නත් දායක වෙලා තියෙනවා. ස්තුතියි මගේ අතීත කතාව අගය කළාට.

      Delete
  8. මටත් පොඩි කාලේ ඉදන්ම තිබුනේ පුදුම පොත් පිස්සුවක්,මුල්ම පොත් තිලිනයගන එහෙම මතකයක් නැති උනාට දැන් කාලේ වගේ නෙමෙයි අපි පෙර පාසලේදී ම අකුරු ඉගෙන ගත්තා.මට මතකයි වැඩිමල් පන්තිවල හිටපු අක්කලාගේ ඉස්කෝලේ අච්චු පොත් මම අකුරු ගෙට ගහගහ කියවපු හැටි!කොටින්ම පොතක් කියව කියව ඉන්නකොට කව්රුහරි කතාකරොත් ඇහෙන්නේ නැති තත්වයටම මම පත් උනා!පස්සේ පස්සේ ඒ පුරුද්ද ටිකක් ඈත් උනා!දැනටත් කියවන්න බොහොම ආස උනාට මම තාමත් කැමති ළමා කාලයට!ඒ කාලේ අහුවෙන මොකක් හෝ කියවපු පුරුද්දට !

    බොහොම පින් අක්කට සුන්දර මතකයන් අවදි කලාට!:)

    ReplyDelete
    Replies
    1. පොත් පිස්සුව නරක දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ මල්ලි. හැම හොඳ පොතක්ම හොඳ යාළුවෙක්. නරක පොත් කියල වෙන් කරන්න ඕන කියල නෙවෙයි මම කියන්නෙ. භේදයක් නැතිව මිනිස්සු ඇසුරු කරන්න ඕන වගේම භේදයක් නැතිව කියවන්නත් ඕන කියල මම හිතනවා. ඒකෙන් අ‍පි හැදෙනවා, වැඩෙනවා...

      පුංචි කාලෙ මතකය අවදි කරන එක මටත් හරිම සුන්දර අත්දැකීමක් උණා ඇත්තටම.

      Delete
  9. ඕනෑම පොකත් සිහිවටන එක්කම හිතට දාගත්තාම ජීවිත කාලය පුරාම වෙලාවෙන් වෙලාවට මතකයට එනවා. ඒවා නිර්මානාත්මක අත්දැකිම්වගේ.

    සුරංගනා කතා වගේ දේවල් මතකයේ තියෙන්නේ ඒ නිසා.

    මම කුඩාම කාලයේ මුලින්ම කියවූ පොත් රුසියානු සුරංගනනා කතාවක් "ගේකුරුල්ලලෝ" අදටත් මතකයි.

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ දේවල් මේ තරම් මතක ඒ කාලෙ අපේ හිත් පැහැදිලියි. දැන් වගේ වැඩ පිරිල අවුල් වෙලා නැහැනෙ. මම හිතන්නෙ ඒ නිසයි.

      Delete
  10. පුංචි කාලේ පොත්වලින් මට මතකම ටොම් සෝයර්ගේ අබිරහස් හොල්මන් ගෙදර පොත :)
    ඇත්තටම මතක අපූරුයි! :)
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙත් මම කැමති නැහැ ඔය අබිරහස් කතා, හොල්මන් කතා බලන්න. දැනුත් එහෙමමයි නංගි.
      ස්තුතියි නංගි.

      Delete
  11. ප්‍රේමදාස නිසා තමයි එදා දකුනේ මිනිස්සූ භිෂනෙන් බේරුනේ අද ප්‍රෙමදාසට බනින දේශපාලඥයොත් වමේ අයත් බේරුනේ උන්නැහේ නිසා එහෙම ආරක්ෂා කල මිනිහා මැරුනම රතිඤ්ඤා දාන්න උසි ගැන්නුවෙත් උන්මයි...

    ReplyDelete
    Replies
    1. 1988 මම පහ වසරෙ. මගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති සභාපති. අපි ඒ කාලෙ වින්ද දුක, බය, අවිනිශ්චිතබව, පීඩනය වෙනම නවකතාවක් ලියන්න පුළුවන්. ඒ හැ‍මදෙයක්ම තාමත් මට මතකයි.
      මගේ කුළුඳුල් ඡන්දෙ චන්ද්රිතකා අවදියේ ප්ර්සිද්ඹ වයඹ ඡන්ද මංකොල්ලයට අහු උණත්, ඉන්පස්සෙ මගේ මුල්ම ඡන්දෙ මම දුන්නෙ ජේ.වි.පී. එකට. දැන් නම් කාලෙකින් ඡන්දෙ දාන්න ගියෙ නැහැ.

      මරණයක් ගැන ප්ර සිද්ධියේ සතුටුවෙන සංස්කෘතියක් අපට තිබුණෙ නැහැ. ඒක ඇරඹුණේ ප්රේඡමදාස මරණයෙන්ද මන්ද?

      Delete
    2. ස්තූතියි ඔබට, මගේ බ්ලොග් එක බලන්න ඇවිත් අදහස් පළ කලාට.

      Delete
  12. පොත් කිව්වොත් ඉතින් බතුත් එපා තමා.. මම දැන් කොහොමත් මාසෙකට පොත් දෙකක් වත් ගන්නවාමයි..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...