මේ තරම්ම පොත් පිස්සුවක් හැදුණෙ කොහොමද
කියල ඔයාල එක්ක බෙදා ගන්න වගේම, මගේ ම සොඳුරු ළමා වියේ මතක සැමරුම් අතර තනි
වෙන්නයි මට ඕන උණේ... ඉතින් ඒ කියවීමේ උත්පත්ති ගමන මල්සමයෙන් නිමා කරන්නයි මගේ
අදහස....
පළමු කොටස මෙතනින් බලන්න.
දෙවන කොටසට පාර මෙන්න.
( මගේ කියවීමේ උත්පත්ති කතාවේ 03 කොටස )
ගමේ පුංචි පුස්තකාලයෙන් ආරම්භ උණ කියවීම
කාලෙන් කාලෙට එක එක තාලෙට වෙනස් උණා. අට නවය පන්ති වෙද්දි යොවුන් පත්තර කියවීමේ
පිස්සුවකුත් හැදුණා. ඒ කාලෙ ජනප්‍රියව
තිබුණ අරලිය, සඳරේණු වගේ පත්තරත් එකක් නෑර කියෙව්වා. සල්ලිවලට අරන් නම් නෙවෙයි. පත්තර
ගත්ත අක්කල අයියලගෙන් ඉල්ලගෙන. සමනල් හීන මැවුණු කාලයක්. වැඩියෙන්ම ආශාවෙන් බැලුවෙ
සඳරේණු. ඉන්පස්සෙ සුවඳත් ආවා. කුමරිත් එහෙන් මෙහෙන් බැලුව වගේ මතකයි. අද යොවුන්
පත්තරවලට වඩා කුමරි, අරලිය, සඳරේණු ඉදිරියෙන් හිටිය කියලයි මට හිතෙන්නෙ. මහේෂ්
රත්සර මද්දුම ආරච්චි, ප්‍රදීප් කුමාර බාලසූරිය, සෝමා ටී පෙරේරා, චන්දි කොඩිකාර වගේ
ලේඛක ලේඛිකාවන් කැපී පෙණුන කියලයි මට හිතෙන්නෙ. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතාවල
පරමාදර්ශී පෙම්වත්තු හිටිය. හැබැයි හැම කතාවක්ම එක වගේ. අනික එක තැනම ඇදෙන කතා.. ඒත්
ඒ කාලෙ ඒ පත්තරවල තමයි ප්‍රේමයේ අමාරස තිබුණෙ. කොයි තරම් කෑදරකමකින්ද මල් පත්තර
බැලුවෙ.
මේ කාලයේ කියවීම ඇතුළෙ සභ්‍ය අසභ්‍ය කියල
බෙදීමක් තිබුණෙත් නැහැ. අතට අහුවුණ හැමදේම කියෙව්වා.
උසස්පෙළ කරද්දි කියවීමේ දිශානතිය වෙනස්
උණා. හරබර පොත් කියවීමේ වටිනාකම දැණුනා. ගමේ ඉස්කෝලෙන් නගරයට ඒමත් ගමේ ඉස්කෝලෙ
දුවිලි බැඳුණ පුස්තකාලය වෙනුවට පොත් මහගොඩක් තිබුණ විශාල පුස්තකාලයක් ලැබීමත්, නාට්‍ය හා රංගකලාව විෂයක් විදියට තෝරා ගැනීමත්
කියවීම වෙනස් මගකට යොමු වෙන්න හේතුවක් උණා. මම ආශාවෙන්ම ලිව්ව විභාගය තමයි උසස්පෙළ.
'' කිරි කජු වගේ''. එහෙම උණේ නොසෑහෙන්න පොත් කියවල දැනුම රැස් කරගෙන හිටි නිසා බව
නිසැකයි.
දෙවෙනි අම්මා නිසා නව උපතක්...
හොය හොයා හොඳ පොත් කියවන්නත්, කියවන
පොතපත බෙදා ගන්නත්, පොත්පත් ගැන අදහස් බෙදා ගන්නත් කියල දුන්නේ නම් මගේ දෙවෙනි
අම්මා වන ළ.ක්‍රි.වි. ය. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා ව්‍යාපාරය). ඒ කාලෙ ළ.ක්‍රි.වි.
යෙ හොඳ පොත්පත් කියවන, ගීත රස විඳින, සමාජ වෙනසක් ගැන යහපත් දැක්මක් ඇති ජ්‍යෙෂ්ඨ
අක්කල, අයියල පිරිසක් හිටියා. එවන් පිරිසකගේ ඇසුර ලබන්න මමත් වාසනාවන්ත උණා.
1997 මම අනුශාසක කෙනෙක් උණ මුල් කාලෙ මට ප්‍රබුද්ධ
තිළිණ කළේ බර්නි අයියා. එයා නිසාම තමයි නිරුත්තර සමාධිය කියවන්න ලැබුණෙත්. කවියට
මගේ ඇල්ම වැඩි දියුණු වුණේ ඒ අනුව. සල්ගහ යට සෙවණේ රත්න ශ්‍රී අඳුන්වල දුන්නෙ
දීප්ති අයිය. ඒකත් ලස්සන අත්දැකීමක්.
1998 වසරෙ මම මුලින්ම සහභාගි වුණ අනුශාසක
සම්මේලනයෙ සෙනසුරාදා උදෑසන භාවනාව මෙහෙයවුයෙ දීප්ති අයිය. භාවනාව කළේ සල්ගහයට කවි
පොතේ ගස ගැන කියවෙන කවිය මුල් කරගෙන. ඉතින් මට මේ පොත ගැන මහා ලෝභ කමක් දැණුනා.
එදා හවස අපි පා ගමනින් පරිසර චාරිකාවක් ගියා. ඒ ගමනෙදි මම හෙමිහිට දීප්ති අයියගෙන්
කවි පොත ගැන ඇහුවා. අදත් නොනැසී පවතින අපේ සොයුරු බැම්මට පදනම උණේ රත්න ශ්‍රී සහ ''සල්ගහයට''
කවි පොත.
ළ.ක්රි.වී. කාර්යාලයේ පුස්තකාලෙ, රොෂානි
අක්කගෙ, බර්නි අයියගෙ, දීප්ති අයියගෙ පෞද්ගලික පොත් එකතු මට
නිර්ලෝභීව අගනා පොත පත දුන්නා කියවන්න.
පේරාදෙණි සරසවි හීනය මකා දමල 2000 වසරෙ
මම කැළණි සරසවියට ආවෙ ඒ වෙද්දි ළ.ක්‍රි.වි. අයියල අක්කල කීප දෙනෙක් කැළණියෙ හිටිය
හින්දයි. ළ.ක්‍රි.වි. ජීවිතය මගේ හිත වඩාත් සුවපත් කරන බව දැනෙන්න ගත්ත නිසයි. මේ
වෙද්දි ගමේ කළ ළමා සමිතියට සමු දෙන්න සිදු වුණත් ජාතික කාර්යාලයේ කටයුතුවලට
වැඩියෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මාව මුලින්ම ගොඩගේ, සූරිය, දයාවංශ පොත්
සාප්පුවලට එක්කරගෙන ගියේ බර්නි අයියා සහ රොෂානි අක්කා. උපන්දින, විවාහ මංගල්‍යයන්,
ජීවිතේ වෙනත් විශේෂ අවස්ථාවලදි පොතක් තිළිණ කරන්න මම ඉගෙන ගත්තෙ ළ.ක්රි.වී.යෙන්. ඒ
වගේම ළමා, අනුශාසක වැඩසටහන්වලදී අනිවාර්යයෙන් පොත්පත් හඳුන්වා දීමත් සිදු වුණා. මේ
නිසාම වැඩි වැඩියෙන් පොත් ගැන අවධානය යොමු කරන්න සිදු උණා.
වසරකට වරක් ලංකාව පුරා ළ.ක්‍රි.වි. ළමා
සමිති කරන අනුශාසක සොයුරු සොයුරියන් එක් වන වාර්ෂික අනුශාසක සම්මේලනය පැවැත්වෙනවා
මග්ගොන ළමා නිවාසයෙදි. සුන්දර බක් මාසයේ දින හතරක්. මේ සමුළුවේ පැය දෙකක් වෙන්
වෙනවා '' පොත පතේ අසිරිය'' විශේෂාංගයට.
මෙහිදී සිදුවෙන්නෙ ළමුන්ට, තරුණ තරුණියන්ට කියවන්න සුදුසු පොත් හඳුන්වා
දීම. 1998 මගේ මුල්ම සම්මේලනයෙදි හඳුන්වා දුන්න පොත් තමයි මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ
කවි පොත සහ බෘනෝ ආපිට්ස්ගේ '' වෘකයන් අතර නග්නව'' කෘතිය. ඒ වසරෙදිම මේ පොත් දෙක
කියවන්න මට වාසනාව ලැබුණා.
පසුකාලීනව මමත් '' පොත පතේ අසිරිය ''
මෙහෙයවන අය අතරට ආවා. ඉතින් පොත් හඳුන්වල දෙන්න අපි අළුත් පොත් හෙව්වෙ, කියෙව්වෙ
තරගෙට වගේ. වසරින් වසර පොත් හඳුන්වා
දුන් ක්‍රමයත් වෙනස්. නාට්‍යානුසාරයෙන් තමයි කළේ. වසර
දෙකකදිම පොතපතේ අසිරියේ නාට්‍ය ජවනිකාවල පොත් තෑගි ලබන හොඳ ළමයාගෙ චරිතය රඟ
දක්වන්න මට අවස්ථාව ලැබුණා.
එක් වතාවක් පොත පතේ අසිරිය කළේ
වෙන්නප්පුවේ අනුශාසක සොයුරු සොයුරියන්. ''ආදරණීය ගුරුතුමාණෙනි'' හඳුන්වා දෙන්නට
ඔවුන් කළ නාට්‍යය වේදිකා නාට්‍යයක් තරමටම අපූරුයි. දුන්ගාල්පිටිය සොයුරු සොයුරියන්
පොතපත හඳුන්වා දුන් වසරෙ '' හරි අපූරු ඉස්කෝලෙ'' පොතට ලස්සන නාට්‍ය ජවනිකා ටිකක්
කළා. එහි ටොට්ටො චංට රඟ පෑව නංගියව අදටත් කට්ටිය හඳුන්වන්නෙ ටොට්ටෝ කියලයි.
2003 වසරෙ මම ළ.ක්රි.වී. ජාතික කාර්යාලට
සම්බන්ධ වෙනවත් එක්කම අනුශාසකවරුන් සඳහා නොමිළයේ බෙදා හරින '' සබඳ'' සඟරාවෙ
සංස්කරණ කටයුතු සහ පරිගණක සැකසුමත් මා වෙත
පැවරුණා. සබඳ සඟරාවෙ දෙවන පිටුව වෙන්වුණේ පොත්පත් හඳුන්වා දීමට වගේම පොතපතේ අගය
ගැන කතා කිරීමට. ඒ විශේෂාංගය නම් කළේ ''ඇසුර'' නමින්. මම ගොඩක්ම ආශාවෙන් ලියපු
ලිපි පෙළක්. පොත් සියයකට වඩා මේ වසර කිහිපය තුළ හඳුන්වා දෙන්නට ඇති.
තවත් ළ.ක්රි.වී. හා පොත් සමග බැඳුණු
සුන්දර මතකයක් තියෙනවා. එක් වසරක ලංකාව පුරා සිදු කළ ළමා සන්නිවේදන හා නායකත්ව
පුහුණු වැඩමුළුවෙ අවසන් දින රාත්‍රියෙ ගිනිමැලය මෙහෙයවීම කළේ ''පූ වළහා සහ
මිතුරෝ'' පොතේ කොටස් නාට්‍ය ජවනිකා ලෙස ඉදිරිපත්
කරමින්. මැදවච්චියෙ පල්ලියෙ ළමා වැඩමුළුව බලන්න මගේ තාත්තත් ආවා. එයා ඒ දවස්වල වැඩ
කළේ වව්නියාවෙ. මම ලංකාවෙ හතරවටේ ළ.ක්රි.වී. වැඩවලට ගියත් අපි කරන වැඩක් තාත්තට
දකින්න ලැබුණ පළමු අවස්ථාව තමයි මේ.
එදා ගිනිමැලයෙදි ක්‍රිස්ට රඟපාන නළුවො
කවුරුත් හිටියෙ නැහැ. ඉතින් කලිසමක් ඇඳල, කොණ්ඩෙ වැහෙන්න කැප් එකකුත් දාලා ''පූ'' ගෙ
හොඳම යාළුව ක්‍රිස්ට රඟ පෑවෙ මම. පූ වළහා සහ මිතුරෝ පොත කියවනවා වගේම සුන්දර
අත්දැකීමක් තමයි ඒ රංගනයත්. ඒ සැරේ තාත්ත ගමේ ආ වෙලාවෙ පාන්දර පහේ ඉඳන් නැගිටගෙන
කුස්සියට වෙලා ලොකු දුගෙ වැඩ වර්ණනා කළාලු කියල අම්ම කිව්ව.
මගේ කියවීමේ මල් සමයෙදි ගොඩක් අය කියවන්න
යොමු කරන්නත්, බොහෝ දෙනෙක් අතර පොත්පත් හුවමාරු කර ගන්නත්, පොත් තිළිණ රැසක් ලබා
දෙන්නත් මට හැකි වුණා. ''ධර්ම දානය උතුම්ම දානය'' කියනවනේ. මේකත් ඒ ළඟින් යන පුණ්‍යකර්මයක්
කියල මම හිතනවා. පොත් කතාව මෙතනින් නිමා උණත් පොත් එක්ක යන ජීවිත ගමන සුසානය
දක්වාම යාවි.
මැක්සිම් ගෝර්කි කියනව වගේම මටත් කියන්න
පුළුවනි මෙහෙම '' මම පොත්වලට ණය ගැතියි. ''
පොත් කියවලා මදිවට එව්වා රඟපාන්නත් ගිහිල්ලා... අපූරු අත්දැකීමක්නෙ..
ReplyDeleteමේ වගේ ලස්සන අත්දැකීම් ගොඩක් තියෙනවා මල්ලි. අනුශාසක පුහුණුවලදි ළමයින්ගේ ස්වභාවය ගැන කතා කරන්න අපි පොලියානා පොතේ කොටසක් අර ගත්තා. ඒ නාට්යය ජවනිකාවෙදි පොලී පුංචි අම්මගෙ චරිතය කළා මම. ඒ දවස්වල සුනාමි කෑම්ප්වල ළමා වැඩසටහන් කරද්දි ළමයිව සතුටු කරන්න '' ඉසේ ඉසේ පූස් නෝනෙ'' සින්දුව රඟ දැක්වුවා. ඒකෙදි කෝටුවක් අරගෙන පූස්නෝනට තරවටු දාන ළමයට රඟ පෑවා මම. ජීවිතේ අමතක නොවන අත්දැකීම්.
Deleteකියවීම මිනිසා සම්පූර්ණ කරයි ඈ...
ReplyDeleteඇත්ත, ඇත්ත. හැබැයි නිකම්ම කියෙව්වට ඒහෙම වෙන්නෙ නැහැ.
Delete// මැක්සිම් ගෝර්කි කියනව වගේම මටත් කියන්න පුළුවනි මෙහෙම '' මම පොත්වලට ණය ගැතියි. ''//
ReplyDeleteමේක ඇත්තක් කියලා මටත් හිතෙනවා. මොකද ඒ කතාව මටත් අදාලයි. තරු ට කියවීමේ ඉතිහාස කතාවක් තියෙනවා. මම නම් ඔයා තරමට කියවලා නැති උනත්, කියවීමේ පිපාසය මට ඕනෑවටත් වැඩියි කියලා හිතෙනවා.
කියවීමේ පිපාසය තියෙන එකම ඇති ළිහිණි. මම දන්නවා ඔයාගෙ ජීවිතේට පොත් ලොකු හයියක් වෙයි.
Deletekiyavima minisa sampurana karayi mamath wadipurama asa poth kiyawanna
ReplyDeleteඅපි විනෝදයට, විවේකයට කරන වැඩ අතරින් හොඳම දේ පොත් කියවීම තමයි කියල මමත් හිතනවා.
Deleteපොත් කතා මටත් ගොඩක් තියෙනවා. ඒ ගැනත් ලියන්න ඕනේ.
ReplyDeleteඅර රඟපාන වැඩේ නම් ඇත්තටම ගොඩක් හොඳයි. පොඩි ළමයින්ට පොත් ගොඩක් සමීප කරන්න පුළුවන් ඒ විදියට.
අපි කොයි තරම් උත්සාහ කළත් දැන් ළමයි කියවන්න හරිම කම්මැලියි සිතූ.
Deleteරත්න ශ්‍රීගේ, එහෙමත් නැත්නම් සේකරගේ පොත් කියවලා කලාවට හිතැතියක් වීම පුදුමයක් නෙවෙයි. ඒ කවි ගීවලට ආදරය කරන අය ඉබේම නිර්මානකරුවෝ බවට පත්වෙනවා
ReplyDeleteඇත්ත අයියෙ. ඒ අයගෙ නිර්මාණවල මනුස්සකම තියෙනවා. සෞන්දර්යය තියෙනවා. ආදරය තියෙනවා. නිර්මාණකරුවකුට මේ වගේ කලාකරුවන්ගෙ නිර්මාණ කියවීම හරිම වටිනවා.
Deleteළ.ක්රි.වී. ගැනත් විස්තර ටිකක් දවසක කියමුද අක්කේ ??
ReplyDeleteමමත් හිතනවා මල්ලී ඒක හොඳයි කියල. මොකද මම ලියන ගොඩක් දේවලදි මට ළ.ක්රි .වී. ගැන කියන්නම වෙනවා. ඉදිරියෙදි ඒ ගැන ලිපියක් පළ කරන්නම්.
Deleteඒක හොඳයි :)
Deleteගියපාර පොස්ට් එකටත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනත් කියවල රස වින්දා . තමන් කියවනවා වගේම තව අය කියවන්න පොළඹවන එකත් කොච්චර දෙයක්ද . මාත් ඉතින් පොත් වලට සදා ණයගැතියි . දුකේදී සැපේදී මා සමග සිටි මගේ ප්‍රාණ සම මිතුරන් වගේ .
ReplyDeleteමටත් පොතක් නැත්නම් ජීවිතේ හිස් වගේ. වෙලාවකට හිතෙනවා මේකත් පිස්සුවක්ද කියලත්? ජීවිතේ ගොඩක් අමාරු තැන්වලදි පොත් මට දරා ගැනීම, ඉවසීම කියල දීල තියෙනවා.
Deleteහොඳ මතකයක්, ලස්සන ලිපියක්. සුබ පැතුම්!!
ReplyDelete