Saturday, March 21, 2020

මං නොඉන්න මගේ ගෙදර දවසක්...




උදේ මම චූටි මිමීත් එක්ක කණුකැලේ ගෙදර ගියා. (මං නොඉන්න මගේ ගෙදර ) අපි දෙන්න පයින්මයි ගියේ. (බයවෙන්න එපා. ඒක පුංචි ගුරු පාරක්. වැඩිය කවුරුත් නොයන )

ගුරු පාරෙ කෙළවර මොණරු දෙන්නෙක්. මේ වෙද්දි අපේ පැත්තට මොණරු ආගන්තුක නෑ. ඒත් තාම මම හිතේ හැටියට මොණර රැඟුමක් දැක්කෙ නෑ. කොබෙයියො, කහ කුරුල්ලො, චූටික්කො, මයිනො නේකාකාර කුරුල්ලන්ගෙන් අඩුවක් නෑ. කුරුල්ලන්ට නම් කොරෝනා ගැන වගේ වගක් නෑ වගේ. උන් හරිම නිදහසේ ඉන්නවා.

ජීවිතේ මෙතෙක් ආදරෙන් ඉතිරි කළ යමක් ඇත්නම් ඒ පොත් ම තමයි. නවාතැන් මාරු කරද්දි ගෙනත් දැම්ම පොත් පෙට්ටිවල දාපු ගමන් සාලෙමයි තිබුණෙ, ඒ ටික අස් කරන්නත් උවමනා වුණා. අලුත් පොත් රාක්කවලට දාන්න පුස්තකාල කාමරේ ඇරියම ගොඩක් දූවිල්ල. පොත් රාක්කත් ටිකක් අවුල් වෙලා. දුකත් හිතුණා. පොත් අරන් යන අයට පොත් ටික පිළිවෙලක් කරන්න හිතෙන්නෙ නැද්ද?  පොඩ්ඩක් දූවිල්ල පිහදාන්න හිතෙන්නෙ නැද්ද කියල හිතිලා. මම ගමේ යන සති අන්තවල තමයි පොත් රාක්කවල දූවිලි පිහදලා අස්කරන්නෙ.

කොහොමවුණත් වටපිටාවෙ පොඩි පිරිසක් හරි පොත් අරන් ගිහින් කියවන එකම ලොකු දෙයක්. කවදා හරි ලොකු පුස්තකාලයක් හදන එක මගේ හීනයක්. ඒක චිත්‍රපටියක් පෙන්නන්නත් ඉඩකඩ තියෙන කියවීම් ශාලාවක් සහිත පුස්තකාලයක් වෙන්න ඕන කියල හිතෙනවා. බලමු 
ඉතින් කවදාහරි.

...........

ලොකු නංගිගෙ ඕකිඩ් වගාව මලින් පිරිලා. ‘‘අප්‍රේල්වල ඕඩර්ස් තියෙනවා මල් ගන්න පුළුවන් කියල කිව්වා. දැන් ඉතින් හරිනෙ ඒකත් අහවරයි.“ ලොකු නංගි හිනාවෙලා කිව්වා. මොනතරම් ප්‍රශ්න ආවත් හිනාවෙලා මුහුණ දෙන්න පුළුවන් එකම ලොකු දෙයක්.

‘‘ඔයාගෙ මසං පැලේ මල් පිපිලා “ ලොකු නංගි මට තවත් සුබාරංචියක් කිව්වා. මසං පැලේ ගත්තෙ කට්ටිමහන පල්ලියෙ මංගල්ල පොලෙන්. එදා ඇහැල පැලයකුයි, පේර පැලයකුත් ගත්තා. පැල මං ගත්තට හිටෙව්වෙ ලොකු නංගි. පේර පැලයත් හොඳට හැදීගෙන.

‘‘ඇහැල පැලේ කේඩෑරි වෙලා. මම තව පැලයක් හිටෙව්වා.“ ඇහැල ගහක් ගැන මගේ ආශාව දන්න නිසාම වෙන්න ඇති ලොකූ ආයෙම මතක් කළේ. ගේ වටේට අඹ, අනෝදා, නෙල්ලි, කටුලොවි, කජු තියෙනවා. තවත් මදි කියල හිතෙනවා.  ගහකොල කොච්චර හිටෙව්වත් වැඩි වෙන්නෙ නෑ. ඒත් නංගි කියනවා පළතුරු පැල ගොඩක් එක ළඟ ආවම ගෙඩි හැදෙන්නෑලු. මට වඩා ගහකොල ගැන දැනුමක්, අවබෝධයක් එයාට තියෙනවා.

..............

හැන්දෑවෙ පුංචි කට්ටිය චිත්‍ර ඇන්දා. චූටි මිමීගෙ තමයි යෝජනාව. එයානෙ දැන් ලොකු අක්කා. වෙලාවකට නංගිලා, මල්ලිලා එක්ක සමගි සමාදානෙන් වැඩ කරන්න බැරිවුණත් තවත් වෙලාවකට අක්කාකම මතු වෙනවා. ‘‘අපි චිත්‍ර ප්‍රදර්ශනයක් කරමු.‘‘ මම පින්තූර ටිකක් අරගෙන එයාලව උනන්දු කළා. මේ දඟමළු ටික එක තැනක තියාගන්න පුළුවන් එකත් ලොකු දෙයක්.

Friday, March 20, 2020

හුදෙකලාවේ විරාම....


කාංචනා අමිලානිගෙන් ගත් නිර්මාණයක්

පහුවුණු සිකුරාදා වැඩ ඇරිලා ගමේ එද්දි, සති ගාණක් ගමේම ඉන්න වෙයි කියල හිතු‍වෙ නැහැ. ඒ නිසා ලැප්ටොප් එකවත්, පොත්පත්වත් මොනවත් අරන් ආවෙ නෑ. දවස් ගාණකට පස්සෙ තමයි පැත්තකට කරල තිබුණු ඩෙස්ක්ටොප් එක ආපහු හදල අරගෙන, නංගිගෙ වයිෆයි කනෙක්ෂන් එකට පින්සිද්ද වෙන්න මොනවහරි ලියන්න පටන්ගත්තෙ.

හුදෙකලාව මට දරන්න බැරි දෙයක් නෙවෙයි. ඒත් ලෝකයක්ම මරණීය වයිරසයක් එක්ක ගැටෙද්දි මෙහෙම හුදෙකලාව ඉන්න සිද්දවෙන එකම වරදකාරී හැඟීමක් ඇති කරවනවා. ඒත් අනිත් අතට හිතෙනවා ඒකම විතරයි නේද මේ වෙලාවෙ සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ කියලත්.

පළමු කොරෝනා රෝගියා වාර්තා වුණ දවස.. කවදාවත් අමතක වෙන්නෙ නෑ.

2020.03.11

අද මගේ උපන්දිනය. ඉතාම කාර්යබහුල විදියට ගෙවුණු දවසක්. අලුත් රැකියා ස්ථානයක, අලුත් නවාතැනක අලුත් වගකීම් එක්ක අලුත් ජීවිතයක් ගෙවන අතරෙ එළඹුණු උපන්දිනය ගැන අලුතින් හිතන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මුහුණුපොතින් උපන්දිනය හංඟා ඇති නිසා උපන්දිනය මතක ඇති අය ම පමණයි අද කතා කළේ සුබ පතන්නට. දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ වරුසාවකට මැදි නොවී නිදහසේ වැඩ කරගන්නට ලැබීමත් හොඳයි කියල හිතුණා.

ජීවිතේ ගැන ආපස්සට හැරිල බලද්දි විශාල සතුටකුත් දැනෙනවා. හිස්තැන් නැතුවාම නෙවෙයි. නමුත් පිරුණු තැන් ඊට වඩා වැඩියි. අද මැරෙන්න සිද්දවුණත් හිතේ දුකක් නැතිව මැරෙන්න පුළුවනි. මනුස්සකම වෙනුවෙන් මම පුංචි හරි වැඩ කොටසක් මේ සමාජයට කළා කියල හිතෙනවා.

පළමු කොරෝනා රෝගියා වාර්තා වුණා. කොරෝනා වයිරසය ගැන අපටත් බැරෑරුම්ව හිතන්න වෙනවා දැන්නම්.


2020.03.12

මිනිස්සු දැනටමත් බය වෙලා. අද කීල්ස් එකේ කවුන්ටර්ස්වල පෝලිම. කරත්ත පුරවන් බඩු ගන්නවා පිරිසක්. ඒත් කුලී වැඩක් කරගෙන එදා වේල හොයාගෙන කන මිනිස්සු කොහොමනම් ගෙවල්වල බඩු පුරවල තියාගන්නද? කොරෝනා කොයිතරම් අපේ රටේ ජන ජීවිතයට බලපෑමක් කරයිද කියල තේරුම් ගන්න තාම කල් වැඩියි. 

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකල් බලා නොඉන්න එක නම් හොඳයි.

අන්තිමේ මොනව වුණත් වැඩියෙන්ම දුක් විඳීන්නෙ, මැරෙන්න දුප්පත් අසරණ මිනිස්සු.

2020.03.13

රාජගිරියෙ නවාතැනේ ඉඳන් ගෙදර එන පළමු දවස. අපහසුවක්, තනියක් නැතිව ගෙදර ආවා, ආදරණීය සම්බන්ධතා ජීවිතේ කොයිතරම් හිස්තැන් මකාදමනවද කියල හිතමින්. සමහරවිට ජීවිතේ කිසිම දවසක අද වැනි දවසක් උදානොවෙන්නත් පුළුවන්. මේ යන විදියට කාටද කියන්න පුළුවන් හෙට මොනව වෙයිද කියලා. හිතේ ශක්තියයි, පරිස්සමයි තමයි වටින්නේ.

කොරෝනා රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙනවා.
මල්ලිගෙ තුන්වෙනි බබා දූ පැටියෙක්. මං මොන වගේ ලෝකෙකටද ඉපදුණේ මේ කියල දන්නෙ නැතිව එයා අම්මගෙ තුරුල්ලෙ කිරි උරා බොනවා. අපේ පවුලේ පුංචි අයම හය හතක් ඉන්නවා. මේ වසංගත සමය එක්ක අනාගතය දිහා බලද්දි එයාලගෙ ජීවිත ගැනයි බය හිතෙන්නෙ.

2020.03.15

‘‘මම්මෙ ඔයා අපේ නංගිට නමක් දැම්මද?‘‘

චන්දු අහනවා. එයා හරිම හුරතල් විදියට හිනාවෙලා එහෙම අහද්දි අල්ලල පොඩිකරන්න හිතෙනවා.

‘‘ඔව්නේ... මං නම් ගොඩක් අරන් ආවා. මාමියි, හංසි නැන්දයි ලස්සන නමක් දායි නංගිට.‘‘

 ‘‘අපිත් නංගිට නමක් දැම්මා. සුද්දි කියලා. ඒක ලස්සනයි නේ“ එයා මගෙන් අහන්නෙ ඇයි අපේ නම හොඳ නැද්ද? ඔයත් නමක් දාන්නම ඕනද කියල අහන්නා වගේ.

‘‘මම්මා දාන නම නංගිගෙ උප්පැන්න සහතිකේ ලියන්න. ඔයාල දාන නම නංගිට ගෙදරදි කතා කරන්න. හරිම ලස්සන නමක්...“

නංගිට අයියලම හතර දෙනෙක් ඉන්නවා. ලොකු වෙද්දි කෙල්ලට ලේසි වෙන්නෙ නැති වෙයි.

..........

නිකමට ටීවී එක දාගෙන හිටියෙ. නිදිමතක් නැති නිසා. The Silence  කියල චිත්‍රපටියක් ස්වාධීන රූපවාහිනියෙ යන්න ගත්තා. අඳුරු ගුහාවකින් මතුවන අද්භුත සත්ව විශේෂයක් මිනිසුන් මරා දමන හැටි කියවෙන චිත්‍රපටයක්. ඒකත් හරියට කොරෝනා වයිරසය වගේ තමයි. ඒ සත්තු වවුල්ලු වගේ ඉගිලෙනවා. ඇස් පේන්නෙ නැහැ. ප්‍රතිචාර දක්වන්නෙ හඬට. උන්ට අහුවුණොත් සතෙකුට වුණත් මනුස්සයකුට වුණත් සොරි ම තමයි. ආයෙ හුස්ම ගන්න වෙන්නෙ නෑ. එක පවුලක් බේරෙන්න දරන උත්සාහය චිත්‍රපටිය පුරා යන්නෙ.

ගැහැණු ළමය බිහිරි නිසා ඒ පවුලම ගොළු භාෂාව කතා කරන්න හුරුවෙලා ඉන්නෙ. ඒකෙන් එයාල ගොදුරු වීමේ අවදානමෙන් මිදෙනවා. තනියෙන් බලන්න බය හිතුණ නිසා මම මගදි චිත්‍රපටිය අතෑරියා. පස්සෙ කල්පනා කරද්දි හිතුණෙ ස්වයං නිරෝධායනය, හුදෙකලාව කොරෝනා එක්ක සටන් කරද්දිත් වැදගත් වෙනවනේ කියලා.

නිහඬ හුදෙකලා ජීවිතේකට පුරුදු වෙලා ඉන්න එක මේ වගේ කාලෙක එක අතකින් සහනයක්.



2020.03.17

ළමයි පස්දෙනෙක් එක සැරේ ‘‘මම්මෙ බඩගිනියි“ කියද්දි, ‘‘මම්මෙ තේ ඕන“ කියද්දි. මම අරක ඕන මේක ඕන, මම්මෙ මෙහෙ එන්න. අරක දෙන්න මේක දෙන්න කියද්දි. අම්මා දැනෙන සනීපෙ. බැන්දනම් දරුවෙක් නැත්නම් දෙන්නයි බලන්න වෙන්නෙ. දැන් ඉතින් හතරපහක්ම බලාගන්න එපැයි.

ජීවිතේ එහෙම තමයි.

උයන පිහන, කවන පොවන, ළමයි බලන, සෙල්ලම් කරන අතර වින්ද්‍යාගෙන් ගෙනාව එමිලි පොතේ කොටස් තුනකුත් බලල ඉවර කළා. ඒ කාලෙ ගැහැනු ළමයෙකුට ලේඛිකාවක්, කිවිඳියක් වෙනවා කියන එක කොයිතරම් අමාරු දෙයක් ද? එමිලි ගැන හරි ආදරේ හිතුණා.

2020.03.18

ගිනි ගන්න තරම් ඉර සැර තිබුණු කාලසීමාව නිම වෙලා යාම්තම් වැහි වැටෙනවා. රෑ වැස්ස උදේ පරිසරය එහෙම පිටින්ම අලුත් කරලා. දැනටමත් වේළුණු තණකොල දළුලන්න අරන්. කුරුල්ලො කෑ ගහන්නෙත් වෙනදා නැති සතුටකින්.

මට හිතෙන්නෙ කොරෝනා කියන්නෙ මනුස්ස ජීවිතේට මරණීය අවදානමක් උණාට, පරිසරයට අලුත් හුස්මක් කියලා. අපි කවදාවත් සොබාදහමට අවස්ථාවක් දුන්නෙ නෑ එයාගෙ ජීවිතේ අලුත් කරගන්න. දැන් එයා බලෙන්ම ඒ අවස්ථාව අරගෙන.