Wednesday, June 14, 2017

සුද්දිලාගේ කතාව ‘‘28‘‘

චිත්‍රපටයේ කැඩුණු මිනී පෙට්ටි පියන අතරින් බලා ඉන්නා සුද්දී
සේමිණී ඉද්දමල්ගොඩ

ඔහු ඉන්නෙ දෝනාව ඇතුළෙ අඳුරු කුහරයක... ඔහු කියන්නෙ අබසිරි. දෝනාවට පිටින් ඇහෙන තරුණ හඬක් එකින් එක කියමින් ඉන්නෙ ගැහැනුන්ගේ මායම් 64 බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. රාමුගත අඳුරු ගුහාවක හිරවුණු පැරණි පරම්පරාවත් පිටතින් නිදහස් අවකාශය තුළ සිටින තරුණ පරම්පරාවත් මායම් 64 න් එහාට ගැහැනිය තේරුම් ගන්න, ඇයට වටිනාකමක් දෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිද යන පැනය මතු වෙනවා. මායම් සංවාදය අතරතුර තමයි මේ පණිවිඩය ලැබෙන්නෙ.

‘‘අන්න අරකිව මරල දාලා. මිනිය කොළඹ මහ ඉස්පිරිතාලෙලු. අඳුනගන්න උඹට එන්න කියනවා...‘‘

ගැහැනු මායම් ගැන සිනාබර සංවාදයක අතරතුර ලැබෙන ගැහැනියකගේ මරණය පිළිබඳ මේ පණිවිඩය මා තුළ දැනවූයෙ කම්පනීය හැඟීමක්...

ඔව්, මම මේ ලියමින් ඉන්නෙ 28 චිත්‍රපටය ගැන...


පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ හුදකලා වුණ, අවතැන් වුණ, අසරණ වුණ පුරුෂ ලෝකය ස්ත්‍රීය මත පටවන පීඩනය එක් පැත්තකිනුත්, සංස්කෘතිය සදාචාරය කරපින්නාගත්  අවිචාරවත් සමාජය ගැහැනියගේ පැවැත්ම අර්බුදයට යවන ආකාරය තවත් පැත්තකිනුත් සංවේදීව කතා කරන චිත්‍රපටයක් විදියටයි මට 28 දැනෙන්නෙ.

‘‘සුද්දිට අගෞරවයක් වෙන්න දෙන්න බෑ‘‘ ඇගේ නීත්‍යනුකූල සැමියා, පතල් කනින්නා, නූගත් මිනිසා අබසිරි වරින් වර මේ කතාව කියනවා. සමස්ත ගැහැනියට නිසි ආදරය, ගෞරවය ලැබිය යුතු බව නොවේද මේ කියැවෙන්නේ. අයිස්ක්‍රීම් වෑන් රථයේ සුද්දීගේ දේහය රැගෙන යන ගමන පුරාමත්, ඇගේ දේහය නිවසේ තැන්පත් කළ පසුවත් අබසිරි සුද්දී ගැන දක්වන්නෙ ගෞරවය මුසු වූ ආදරයක් බව දැනෙනවා. නමුත් මේ ආදරය ඇගේ රුව නිසා හටගත් ඇල්මක්ද? ඔහු ඇගේ හදවත හැඳින ගත්තාද? හැඳින ගත්තා නම් නිවස අතහැර අර දුර්ග මාවත දිගේ ඇයට නගරයටත්, ඉන් එපිට කොළඹටත් පිටමංවී යන්නට සිදුවෙනවාද?

මිය ගිය සුද්දිත් චිත්‍රපටය තුළ වරින් වර කතා කරනවා. ඇය කියනවා ‘‘මැරුණු කෙනෙකුට මිස ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් ගැන ඇත්ත කතා කරන්න බෑ‘‘ කියල. කතාව ඇත්ත. විශේෂයෙන් ගැහැනියකට. ඇයට තීරණ ගන්න අයිතියක් නැහැ. ඇයට තමන්ගෙ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න හිමිකමක් නැහැ. අඩුම තරමේ නිදහසේ අඬන්නවත් ගැහැනියකට ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්.


සුද්දි වරෙක කියනවා මම අබසිරිට ආදරය කළේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මං වගේ ගෑනියෙක්ව බඳින්න ගත්ත තීරණය නිසා කියල. ඈ තුළ අබසිරි වෙනුවෙන් පැවති ආදරයේ වෙනසක් නොවුණත් ඇගේ රූපය ඇයට ගෞරවනීය සමාජ ජීවිතයකට ඉඩ නොදුන් බවයි කියවෙන්නෙ. පව්කාර ගැහැනියට ගල් ගහන්නම බලන් ඉන්න සමාජයක්. අබසිරි ඈ වෙනුවෙන් පෙනී සිටියා නම් සුද්දීට මෙවන් ඉරණමක් අත් නොවන්නටත් ඉඩතිබුණා. කොහොම වුණත්  මරණයෙන් පසු හමුවන ඇයගේ අත්බෑගයේ තවමත් ඔවුන්ගේ මගුල් පින්තූරය තියෙනවා.

සුද්දීගේ දේහය කොළඹ සිට ඇලහැර දක්වා ගෙන යන්නට සොයා ගන්නේ අයිස් ක්‍රීම් වෑන් රථයක්. හිම කිරමක මිහිර, සිහිල එක්ක දූෂණයට ලක් වී  මරා දැමුණු ගැහැනියකගේ නිසල දේහය සමපාත වෙන්නෙ කොහොමද? එතැන තියෙන්නෙ ගැඹුරු සංකේතීය අරුතක්. වෙළඳ ලෝකය තුළ අලවි කරන සුකුමාර ගැහැනිය සහ සැබෑ ගැහැනිය අතර පවතින පරස්පරය වගේ. 

ලිංගිකත්වය ගැන සාධනීය කතිකාවක් මතුකරන්න දරන වෑයමත් අගය කරන්න ඕන. සුද්දී වරෙක කියනවා 9 වසරේ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ඈ කොයිතරම් කැමැත්තෙන් උන්නද කියල. ඒත් 38 වියැතිව දූෂණයට ලක් වී මරා දැමෙන තුරුත් ඇය ඒ පාඩම ඉගෙන ගෙන නැහැ. ප්‍රේමයේ අනුරාගයේ සැබෑ ප්‍රහර්ශය අපේ ජීවිතවලින් කොයි තරම් ඈතද කියන ගැටලුවත් සංවාද අවකාශයට අතෑරල තියෙනවා. එක් අතකින් සුද්දි ගමෙන් පිටවෙන්නෙ තමන් කිසිදාක අත්පත් කර නොගත් ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පිළිබඳ සාංකාවත් එක්ක. නමුත් කිසිදාක ඇයට ඒ අසිරිය හමුවන්නෙ නැහැ. ඒ වෙනුවට ඈ තවත් පාරට ඇද වැටුණු, අතින් අත යන ගැහැනියක් බවට පත්වෙනවා. මෙතනදි පාවුලෝගෙ මිනිත්තු එකොලහ නවකතාවේ මරියා සිහිපත් වෙනවා. මරියා දිනාගත් ප්‍රේමයේ ප්‍රහර්ශය සුද්දිට හැමදාමත් සිහිනයක්ම විතරයි.

චිත්‍රපටය දිග හැරෙන්නෙ වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙන්. කෙනෙකුට කම්මැලි හිතෙන්න පුළුවනි. නමුත් රූප රාමුවෙන් රාමුවට ඇහි පිල්ලමක පවා අර්ථ හොයන්න හදන මං වගේ ප්‍රේක්ෂිකාවකට නම් හිතන්න කාරණා ගොඩක් හමුවෙනවා. ඉහත ලියැවුණේ ඉන් අල්පයක්....

මම 28 ට කැමතියි.


චිත්‍රපටය පුරාම මට දැනුණෙ කම්පනීය හැඟුමක්. පීඩාවට පත්වෙන ගැහැනු වගේම පිරිමි ගැනත් දුකක්. සුද්දී අන්තිමේ කියනවා ‘‘පිරිමින්ට වෛර කරන්නත් එපා, එයාලත් පව්..‘‘ කියල.




Monday, June 12, 2017

සුළු ඉඩක් වෙන් කර දිය හැකි නම් පමණක් ඔබ අසල...

"VLADIMIR VOLEGOV. ගේ සිතුවමක් - 

මේ තණ නිල්ල
ඒ එදා ඔබ පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින් පත දැවටී
සිලිලන පිනි කැටිති
ඔබේ ළය පෑරී ගලා ආ
කඳුළක හැඩය ගති...

තුරු අගිසි මත ඉසිඹුලන
රූරා හැලෙන සඳ වතුර
ළා දළු පත් සසලවා
සුසුම් ලන නළ රැලි

එදත් මේ ලෙසම සසැළුණිද?
ජීවිතය අයදින සරින්,

වැව් දිය සරැලි බිඳි බිඳී
නගනා මුණු මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි ජීවිතය මී විතක‘
ඔබ පැවසූ වදන්
නිහඬව අසා උන්නෙද?

ඒ එදා ඔබ අද කොහිද?
ඒ එදා මමම ද අද මෙතැන
ඔබ ද නැත,
මම ද ඒ එදා උන් මා නොවේ

කාලය ඉක්ම යයි
වේදනාවේ ගං දියෙහි එති එතී
රළු රළ සුලි සමඟ හැපි හැපී
යනු මිස එනු නැති
සන්තුෂ්ටියේ සේයා
අන්ධ අඳුරට මුහු වෙවී..

කියන්න මට,
ජීවිතේ දුර්ග කඳු වැටියෙන් ඔබ
මරණයේ මිටියාවත කෙලෙසින්ද
සෙවූ සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම ඉමිහිරි
මත් බවේ මායාවක්ද එය?

එක් වරක් දෑත දිගු කර
කැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්

ඔබ අසල... 

Sunday, June 4, 2017

ප්‍රේමයේ නන් පැහැ...!!!





පොසොන් සඳ බැතිබරව
ළයෙහි අත තබාගෙන
කල්වාරි කන්ද මත නවතී
ඔරසමක මුදු සරින්
මිදෙන්නට බැරි සිහින
ගැළවුමෙහි හද මඩල නමදී
අතින් අත පටලාන
පසන් ගී ස්වර මැදින්
පෙදෙන් පෙද ජිවිතය පබඳී
ළතෙත් ගුණයෙන් නිලන
ඉතින් ඒ ආදරය
සංසාරෙ ඇති තුරා පවතී

ස්නේහයේ පැහැ විසුළ
ඇන්තූරියම් පොකුර
අත දැරූ හීන්දැරි යුවතී
මුහුලසේ ලැඟුම්ගෙන
මඳහසට හිස නමන
සුදු සිලිටි ඉද්ද මල් දමෙකී
ස්වර්ගයෙන් ලැබිලාද
මේ සොඳුරු වේල්පට
සැහැල්ලුවෙ පතුළෙහිම කිමිදී
සන්සුන්ව වර නඟන
පැහැසර කැල්ම ළඟ
සංවේග සන්තාප පරදී

යවුවනය නිනද වන
ඔය නිමල ඇස් අතර
සනාතන යවුවනය දකිමී
අකුරු බොඳ වී නොගිය
ස්වර්ගීය ගිවිසුමෙක
සොඳුරුතම දෙපොළ බව හඟිමී
සාංසාර කැඳවුමෙක
අවිහිංසක ම ඉමෙක
අසෙනිය කුසුම් පොකුරු ඉසිමී
ගැඹුරුතර ජීවිතය
සරල බව මෙ තරම්ම
කියාදුන් පෙමට හිස නමමී


පොසොන් මස 4 වැනිදා, 2017
මංජුල වෙඩිවර්ධන


අම්මගෙයි තාත්තගෙයි විවාහ සංවත්සරය අද... හතළිස් වසක යුග දිවි ගමන සුවපහසු රෝස මල් යහනාවක් නොවූ බව මම හොඳින්ම දන්නවා... ඒ සියලු බාධක, අභියෝග, ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණදෙමින් මේ දක්වා ආ ගමන ගැන මට තියෙන්නෙ අප්‍රමාණ ආදරයක්, ගෞරවයක්. අම්මටයි, තාත්තාටයි මංජුල අයියාගෙන් ලැබුණු තිළිිණය තමයි මේ කවිය...

.........

අද කසුන්, සත්‍යා ගේ විවාහ මංගල උත්සවයේ දෙවෙනි දවස. හරියට බ්ලොග් මංගල්ලයක් වගේ... බ්ලොග් හිතවතුන් සෑහෙන පිරිසක් අද අපි මතුගම ගිහින් අහසෙන් එන දෙපළගේ ජීවිතයේ සුවිශේෂී මොහොතක සතුට බෙදා හදාගත්තා. ඒ ගැනත් ලියන්න දේවල් අපමණයි. පසුව ලියන්නම්.



Thursday, June 1, 2017

කසුන්මය සත්‍යය නිමැවූ ප්‍රේමය...


මට ඈ මුල්වරට හමුවන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයෙදි. ශ්‍රවණ පොත් සැකසීමේ කටයුත්තකට පොත් කියවීම සඳහා යොදාගත් හමුවක් එය. මගේ දුරකථන ඇමතුම අනුව මා එහි යන විට ඈ ගේට්ටුව අසලම බලා සිටියා... ඇගේ සිනහව මඟ බලා සිටියා. ඇගේ වත මඬල දැල්වෙමින් තිබුණා. ඒ මා දෑසින් ඈ දුටු පළමු දවස. ඒත් ඇය නම් මාව බොහෝ වර දකින්නට ඇති හදවතින්.

ඉතින් ඒ අපේ අහසෙන් එන සත්‍යා.... ලොකු හදවතක් ඇති පුංචි කෙල්ල සත්‍යා නිර්මාණී...


සුදු සැරයටිය අත නැතිව උන් ඈ මගේ අත අල්ලාගෙන ඉතාම හුරුබුහුටිව මා ඇගේ කුටියට කැඳවාගෙන ගියා. දොරටුව ඉදිරිපස පාවහන් ගළවා තබා කුටිය තුළට වන් සත්‍යා පුටුවක් ඇද මට වාඩිවන්නට සලස්වා ඇය ඇඳෙන් වාඩි ගත්තා. එදා දවස පුරාම අපි පොත් කියවීමට වඩා කළේ අපේ කියවීම... එදිනෙදා වැඩකටයුතු කිරීමේදී, පරිගණකය හැසිරවීමේදී වගේම කතා බහේදිත් ඇය දක්වන දක්ෂතාව, හුරුබුහුටිබව අත් දහසක්, නෙත් සහසක් පරදන තරම්...



නෙළුම් යාය බ්ලොග් මංගල්ලෙ ඉවර වෙලා ටික දවසකින් මට ඇමතුමක් එනවා. ඒ සත්‍යාගෙන්.

‘‘අක්කෙ ඔන්න අපේ වෙඩින් එක එනවා. ජුනි 04 වෙනිදා දිනය වෙන් කරල තියාගන්න. ඔයා එන්නම ඕන...‘‘

ඉතින් අපේ ඒ සත්‍යා අද දවසේ මනාලියක් වෙනවා...

මේ පෙම් හුටපටය ගැන ඉඟි බිඟි දැනිල තිබුණ වුණත් මම ටක්කෙටම දැනගත්තෙ එදා නේවාසිකාගාරයෙදි ඈ හමුවුණ දවසේ. අපේ හදවත් බැඳෙන්නෙ මුලින්ම දකින දසුනත් එක්ක ඇතිවෙන ආකර්ෂණයට. ඊට වඩා මේ ප්‍රේමය ගොඩක් ගැඹුරු වෙන්න ඕන අනිවාර්යයෙන්ම රුව දකින්නට ඉඩක් නැති හදවත් ස්පර්ශ වන බැඳුමක්නෙ.

‘‘ආදරය කොහොමද?‘‘ මම සත්‍යාගෙන් ඇහුවා.

‘‘සුන්දරයි නේද?‘‘ ඈ පෙරළා මගෙන් ප්‍රශ්න කරනවා. සිලි සිලි සිනාවක් එක්ක.. ‘‘ප්‍රේමණීයයි.‘‘ ඇය නැවතත් උත්තර දෙනවා.

‘‘නංගි කොහොමද ඔයාට කසුන් මල්ලිව හමුවුණේ..?‘‘

‘‘මම 2005 රත්මලානෙ අන්ධ විද්‍යාලයට ආවා. එතනදි තමයි කසුන් අයියව මුණගැහෙන්නෙ. දැන අඳුනගත්ත දා ඉඳලම අපි හොඳ යාළුවෝ...‘‘


‘‘ඉතින් කොහොමද ඒ යාළුකම ආදර සම්බන්ධයක් වුණේ?‘‘

‘‘2011 උසස් පෙළ ලියල ඉවර වෙලා මම අයිටී කෝස් එකක් කළා. ජපුර කැම්පස් එක ළඟ තමයි නැවතිලා හිටියෙ. මගෙ හැම වැඩකටම උදව් කළේ එයා, මගේ ආරක්ෂකයා, සහායකයා, මඟපෙන්වන්නා. ඔක්කොම එයා තමයි...

කසුන් අයිය මට කිව්වා, මගෙ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියල. මටත් දැනිල තිබුණෙ. අපි ගොඩක් කල් ඉඳන් දන්නවනේ. ඉතින් මට ආපහු හිතන්න දෙයක් තිබුණෙ නෑ.. ‘‘

‘‘එයා ඔයාට ගැළපෙනවා කියල තීරණය කළේ කොහොමද?‘‘

‘‘කසුන් අයියා ගොඩක් හොඳයි. මාව තේරුම් ගත්ත කෙනෙක්. අයියට ටිකක් පේනවා. මට පේන්නෙම නැහැනෙ. මොන දේ කරන්න ගියත් එයා මුලින්ම හිතන්නෙ මං ගැන. මගේ හැම වැඩකටම උදව් වෙනවා. මගෙ ඉගෙනීම් වැඩවලටත් උපදෙස් දෙනවා. නීති රීති දාන්නෙ නැහැ. මං වැරැද්දක් කරනවනම් ඒ ගැන කියල දෙනවා. අනිත් ආදරවන්තයො අතර තියෙන සැකය, අවිශ්වාසය වගේ දේවල් අපි අතර නැහැ.

පුරුෂාධිපත්‍යය ඔලුවෙ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි. නොදන්න දෙයක් තියෙනවනම් මගෙනුත් අහනවා. දෙයක් කරන්න කළින් මටත් කියනවා. මගේ සතුට වෙනුවෙන් තමයි හැමදෙයක්ම කරන්නෙ. දැන් අර ප්‍රී ෂූට් එක අයිය කැමති වුණේම නැහැ. ඒත් මං ආස නිසයි  කැමති වුණේ. ඔක්කොම වැඩ ඉවර වෙලා මගෙන් අහනවා.. ‘ඔබට සතුටුයිද දැන්...‘ කියල..‘‘

ඇය හිනැහේ... මම ටිකක් බරපතල ප්‍රශ්නයක් ඈ හමුවේ තැබුවා.

‘‘ආදරය කරන කාලය වගෙ නෙවෙයි විවාහය. සංකීර්ණ බැඳීමක්. ඒ ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?‘‘

‘‘ඒකත් අලුත් අත්දැකීමක් වෙයි. අපි දෙන්නා ඒ ගැනත් සැලසුම් කරල තියෙන්නෙ. ඇනෙක්ස් එකක් ගනිද්දි වුණත් අයිය බැලුවෙ මගේ පහසුව. එයා මං ගැන හිතලයි හැම වැඩක්ම සැලසුම් කරන්නෙ. ඒ නිසා විවාහ ජීවිතේ ගැන මට බයක් දැනෙන්නෙ නැහැ.‘‘

ඉතින්,


ආදරණීය කසුන් මල්ලී, සත්‍යා නංගී මේ ආදරය, විශ්වාසය, තේරුම්ගැනීම හැමදාමත් ඔබ අතර පවතීවා!!! සුබ මංගලම් !!!