Friday, October 27, 2017

උපන්දින තෑග්ගක් වෙන්න පුළුවන්ද?

තිස්ස සහ ඉසුරි ජපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා

මේ සටහන ලියන්නට සිතා සිටියේ බොහෝ කළිනි. නමුත් වැඩ රාජකාරි අතරතුර දිනෙන් දින පමාවිය. නමුත් අද, ඒ සඳහා සුදුසු ම දවස යැයි සිතමි.

අපේ බ්ලොග් ආදරණීයයන් වන කසුන්, සත්‍යා යුවළගේ විවාහ මංගල්‍යය අපට ඉතා සුවිශේෂ අවස්ථාවක් වූ බව එයට සහභාගි වූ සැම නිසැකවම පිළිගනු ඇත. ඒ දෙපළ ලියන ‘අහසෙන් එන්න‘ බ්ලොග් සටහන් කියවන කිසිවකු ඔවුන් දෑස් නොපෙනෙන අය යැයි සිතනු නැත. මම ද මුලින් දැන නොසිටියෙමි.

ඉතින්, එදා ඒ විවාහ මංගල්‍යයට දෑස් නොපෙනෙනා මුත් හදවතින් ලොව දකින, ඒ දකින ලොව තුළ උපරිමයෙන් සතුට විඳින සොයුරු සොයුරියන් රැසක්ම සහභාගි වී සිටියහ. වාද්‍ය වෘන්දයක නදට ගී ගැයෙමින් තිබිණි. ඒ අතර සුවිශේෂ හඬක් වෙත අවධානය යොමුවූයෙන් මම උන් අසුනෙන් නැගිට ඒ ගී හඬ සොයා ගියෙමි. 

ඒ තිස්ස ජයරත්න සොයුරාගේ හඬය. අපගේ ‘කටකාරි‘ ඉසුරි මට ඔහු කළින්ම අඳුන්වා දී තිබිණි. ‘‘අක්කෙ මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තිස්ස අයියා.“

මේ අහන්න තිස්සගේ හඬ...



තිස්ස සහ ඉසුරි, මේ දෙදෙනාම ඉතාම දක්ෂ ගායක යුවළකි. තමන්ගේම වන ගීතයක් සමාජගත කිරීමේ නොතිත් ආශාවෙන් පසුවන ඔවුන්ට උදව් කළ හැකි මඟක් බ්ලොග් ලොවෙන් සොයාගැනීම අසීරු නැතැයි සිතමි. ඒ සඳහා හැකියාව ඇති ඔබගේ සහය නොපැකිලව ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. 

හොඳ ගී පද රචනයක් සොයා ගැනීම, තනු නිර්මාණය, පටිගත කිරීම සහ මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා  කුමන හෝ අයුරකින් දායක විය හැකි නම් එය අගනා සත් කටයුත්තකි.

අද තිස්සගේ උපන්දිනය... තිස්සටත්, ඉසුරිටත් ගී ලොවේ සාර්ථක ඉදිරි ගමනකට සුබ පැතුම් පිරිනමමු.


Wednesday, October 25, 2017

ශෝකාන්තය, සුනෙත් කාන්තගේ පමණමද?



 ‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය‘‘ සුදර්ශන සමරවීරගේ පළමු කෙටි කතා සංග්‍රහය වේ. ඉකුත් සැප්තැම්බරයේ එය ‘අහස‘ ප්‍රකාශනයක් ලෙස කළඑලි දකින්නේ කස පිපිරුම්, බෙර හඬ, මගුල් සක් කිසිත් නැතිවමය. නිහඬවමය. ලේඛකයා කහටගස්දිගිලියෙනුත් ඇතුළත මීමින්නාවල ගම්මානයේ ජීවත් වන, වෘත්තියෙන් ගුරුවරයකු වන බැවින් ඔහුට අගනුවර සාහිත්‍ය සංවාද අතර නිරන්තර ගැවසීමේ අවකාශයක් නැත. එසේම ඔහු සාහිත්‍ය කල්ලි නඩත්තු කරන අයකුද නොවේ. ඒ නිසාමද, නැත්නම් මහා වරුසාව නිසාද, දිගින් දිගටම පැවති සාහිත්‍ය කටයුතු නිසාද, නොදනිම්???? ‘අහස‘ පිරිස සංවිධානය කළ කෙටි කතා පොත පිළිබඳ සංවාදය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ අසුන් වැඩි ප්‍රමාණයක් පැවතියේ හිස්වය. මගේ හිත වරදකාරී හැඟුමකින් තැවුණි. එදා පැවති කතා ටික නම් අපූරුය.

ඒ වන විටත් කෙටි කතා පොතෙන් මට කියවන්නට ඉතිරිව පැවතියේ අවසාන කතාව වූ  ‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය‘‘ පමණි. එසේම මේ සටහනද ඒ දක්වා ලියැවී තිබිණි. පළකිරීම පමාවූයේ අවසන් කතාවද කියවා එහි අදහසද ගොනු කොට ගත යුතුව තිබූ බැවිනි.

...........

ශෝකාන්තය සුනෙත් කාන්තගේ වූවාට ආරම්භයේ සිටම ඇත්තේ ශෝකාන්තයන්ම නොවේදැයි සිතේ. ‘‘සමියගෙ ගේම‘‘ නූතන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය තුළ විතැන් වූ, වල්මත් වූ තාරුණ්‍යෙයේම පිළිබිඹුවකි. තොග පිටින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරීන්ගේ ජීවිත ගස් ගල් යට, කොරිඩෝවල  හෑල්ලු වූ ආකාරය පිළිබඳ කොතෙකුත් අත්දැකීම් අපට ඇත. ඒ අතරම දුරකථන, පරිගණක අතර එබුණු දෑස්, මනස් එහිම මිදී, ගල් වී යන අයුරු පිළිබඳ අත්දැකීම්ද කොතෙකුත් ඇත. මේ සියල්ලම දෙස ඇස් ගසා සිටි පුළුල් හැදෑරීමක් සහිත ලේඛකයකුගේ ලේඛන ශ්‍රමය මෙන්ම මේ ජීවන අත්දැකීම්වලට සංවේදී වූ නූතන තරුණයකුගේ හදගැස්මද  ‘‘සමියගෙ ගේම‘‘ තුළ හමු වේ.

මායාවී අත්දැකීම් පිරුණු ‘‘පොළොං පෙම්බර අහස් සවාරිය‘‘ පසු කියවීමක් ඉල්ලා සිටියෙන් මම නැවත ද එහි ආරම්භයේ සිට අවසානය දක්වා සවාරියක් ගැසීමි. පොළොං විමානය ද, උකුස්සාද සංකේතාත්මකව ගෙන කියන්නට හදන මේ සර්ප විමානයේ කතාව කුමක්ද? මානව ජීවිත දරණ ගසා වෙළා ගන්නා සාම්ප්‍රදායික, දේශපාලනික සමාජ පීඩනයේ, රාගය, තෘෂ්ණාව මුල් වූ මානසික අරගලයේද ඛේදනීය අවසානයද?

‘‘මායාවී‘‘ නම් සැබෑවටම මායාවී ශෝකාන්තයක් ගෙනෙන්නකි. ආරම්භය ද, අවසානය ද අතර වන කාල පරාසය තුළ ඇත්තටම සිදුවූයේ කුමක් වන්නට ඇත්දැයි සිතමින් සිටින අතර ම සිරගෙයක සිරගත මනුෂ්‍ය ජීවිත පිළිබඳ කටුක අත්දෑකීම් මෙතරම්ම සීරු මාරුවට චිත්‍රණය කළේ කෙසේදැයි නොසිතා ඉන්නට ද නොහැකිය. තාවකාලිකව සිරගත ජීවිතය අත්දකින්නට, පාඨකයාද ඇතුළ් කරගන්නා පටු අඳුරු උමඟක් මෙනි. අප දන්නා හඳුනන රාමුගත ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට ඔබ්බෙන් කොතරම් පුළුල් පරාසයක සැරිසැරීමේ හැකියාව ප්‍රේමයට ඇත්ද? එහි ඉරණම කෙලෙස විසඳෙනු ඇත්ද? මම තවම සිතමි.

‘‘මරිකාර පේමේ පුත්තලං ලුණු විලේ‘‘ ගැමි බසද, ගැමි දිවියද ඇසුරු කොට වඩාත් ආකර්ෂණීය ගෙත්තමක් බවට පත්ව ඇති කතාවකි. කොතරම් දහිරිය දැම්මද, ධනය සහ බලයේ මළ පුඩුවට අසුව ගැළවුමක් පේන මානයක නොවන ජීවිත පිළිබඳ කතිකාවක් ගොඩනංවන අතරම, අගුළු ලා රැකිය නොහැකි මනුෂ්‍ය හැඟීම්, අවශ්‍යතාවන් ජීවන අපේක්ෂාවන් යටපත් කරගෙන දෙගොඩ තලා ගලා යද්දී, ජීවන අරගලයෙන් කිසිසේත් පළා නොගිය මරිකාර හදවතක්, ප්‍රේමයේ හව්හරණ බිඳී ගිය දා උඩුගම්බලා පිහිනිය නොහී ජීවන අරගලයෙන් මෙන්ම ජීවිතයෙන්ද පළා යන අයුරු කියවන්නට ලැබීම ශෝකාන්තයන්ගෙත් ශෝකාන්තයකි. ( ගැහැනු හදවතක ප්‍රේමය, ගැහැනු සිරුරක හැඟීම් මෙල්ල කරගැනීම, කුළු හරකුන් මෙල්ල කිරීමටත් වඩා අසීරු වැඩක්ද? )

‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය‘‘ සැබවින්ම ශෝකාන්තයක් වන්නේ කියවන්නිය ඒ තුළ අතරමං වන බැවිනි. ‘‘ඇත්තටම ඇයි සුනෙත්කාන්ත මැරුණෙ? මැරෙන්න තරම් දෙයක් වුණේ නැහැනෙ.‘‘ සිතමින් සිටින අතරම, කතාවේ නොකියවෙන කොතරම් දේ සිදුවන්නට ඇත්දැයි යන්නද සිතෙන්නට ගනියි. සිදුවූයේ කුමක්ද? ඒ මන්ද?  එකම සිදුවීම දෘෂ්ටිකෝණ කිහිපයකින් දකින්නට උත්සාහ දැරූවද, ඒ සෑම දොරටුවක්ම වැසී යන්නේ සුනෙත්කාන්තගේ මරණයේ ශෝකාන්තය ගැන නිශ්චිත හෝඩුවාවක් නොමැතිවමය. 

කෙටිකතා සංග්‍රහයේ එන බොහෝ කතා එබඳු පැටලිලිය. කතුවරයා හිතා මතාම අප කරකවා අතාරින සෙයකි. හද, මනස කැලැම්බී අනතුරුව කෙමෙන් කෙමෙන් සන්සුන් වී, පෑදී යථාවබෝධයට පත්වනු සඳහාද විය හැකිය. එක හුස්මට කියවිය නොහැකි, කියවිය නොයුතු කියවන්නිය යම් ශ්‍රමයක් වැය කළ යුතු කෙටිකතා එකතුවකි. මතුපිට කියවීමකින් පමණක් සෑහීමට පත් විය නොහැකි බවක් දැනේ. තල කිහිපයක කියවීමක් හරහා ගැඹුරට කිඳා බැසීමේ අවශ්‍යතාව ඉල්ලා සිටින කෙටි කතා එකතුවකි.


විෂම සමාජ ක්‍රමයේ මළ පුඩුවට අසුවන නූතන ජීවිත පිළිබඳ ඛේදාන්තය සමස්ත කෘතිය පුරාම නොසිඳී ගලා යන්නකි. ඒ අතරම නොබිඳී හුයක් ලෙස  කතාවෙන් කතාවට ගලා යන ස්ත්‍රීත්වය පිළිබඳ සාම්ප්‍රදායික කියවීමක් මතු වන්නේද යන්න කියවන්නිය සාංකාබරිත කරවයි. ස්ත්‍රී හදවත තේරුම් ගැනීමේදී අසමත්වන පුරුෂෝත්තමභාවය පිළිබඳ කතුවරයා හිතා මතාම ප්‍රශ්න කරන්නේද යන ගැටලුවද මතු වෙයි. කෙසේ නමුත් ලේඛකයා නූතන සමාජය, සාහිත්‍යය සහ තාරුණ්‍යය පිළිබඳ පුළුල් හැදෑරීමක සිටින බවට ලකුණු කෘතිය පුරාම ඇත. 

තේමාවන්හි විවිධත්වය, චරිත - සිදුවීම් විවරණය, ආඛ්‍යාන රටාව මෙන්ම වචන හරඹයද සිත් ගන්නා සුළුය. සාම්ප්‍රදායික කෙටිකතාවෙන් බැහැර ආස්ථානයක සිට කෘතිය කියවන්නැයි කරන ඉල්ලීමක් බඳු ය. අන්තර්ගත සිදුවීම් තවදුරටත් පිරිපහදු වූවා නම්, මුවහත් වූවා නම් හොඳ යැයි සිතෙන අවස්ථාද නැතුවා නොවේ. පැටලිලි සහිත බවද, ඉන්ද්‍රජාලද විටෙක වෙහෙසකි. යම් තැනක පමණ ඉක්මවා පානා වචන හරඹ අත්‍යාවශ්‍යමදැයි සිතේ. ‘‘මරිකාර පේමේ පුත්තලං ලුණු විලේ‘‘ ලියැවෙන ගැමි කට වහර නම් කියවන්නිය වඩාත් ආකර්ෂණය කළ බව නොකියාම බැරිය.

සුදර්ශන සමරවීර, සාහිත්‍යකරණය පිළිබඳ වගකීම් සහගතව කටයුතු කරන, ආවාට ගියාට නොලියා ශාස්ත්‍රීය පදනමක සිට සාහිත්‍ය විචාරයේ යෙදෙන ලේඛකයකු බව මම දැන සිටියෙමි. ‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තයෙන්‘‘ ඔහු බලාපොරොත්තු තැබිය හැකි වගකීම් සහගත කෙටිකතාකරුවකු බව ද පෙන්වා දී ඇත. ‘‘මීදුමාරේ සළු උනා‘‘ ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය, ඒකාකාරී නූතන කවියට, කවිය පිළිබඳ නැවුම් අත්දැකීමක් ගෙන එමින් සොඳුරු කවියකුගේ ආගමනයද සනිටුහන් කර ඇත.    


Monday, October 23, 2017

කලා වැව් දියේ උත්පල.... (එළුවන්කුලමට ගමනක්)



නිකින්නේ ඉර ඇවිලුන සති අන්තයක පාන්දරින්ම නවාතැනින් පිටවුණේ එළුවන්කුලම බලා යන්න. යන මගලකුණු මිසක කොහේ කොතැනද ඒ වෙද්දිත් හරි අදහසක් තිබුණෙ නැහැ. අනුරාධපුර බස් එකක නැගුණු මට හලාවත හරහා යන ගමනෙදි දිගින් දිගටම දකින්නට ලැබුණෙ වියැළුණු බිමක ලකුණු. දැදුරු ඔයත් තැන තැන දිය කඩිති, දිය සීරා බවට හැරී කේඩෑරි වෙලා. ඒ ඔය ඉවුරෙ ළමයින් එක්ක හිතේ හැටියට සෙල්ලම් කළ, ඉන්පස්සෙ ඔයට බැහැල නෑව කාලෙකුත් තිබුණා.  ඒ දවස්වල හලාවත පදවියෙ ළක්‍රිවී වැඩසටහන් කළේ දැදුරුඔය ආසන්නයේ තියෙන සංහිඳියාව කියන මධ්‍යස්ථානයේ. ඒ ළමා තරුණ වැඩසටහන්වලදි ක්‍රීඩා පිටිය වුණේ දැදුරු ඔය ඉවුර, ඔයේ දිය කෙළියත් වැඩසටහනේම අංගයක් වගෙයි දැනුණෙ. ජීවිතේ ලස්සනම කාලෙ ගෙවුණෙ ළක්‍රිවිය එක්ක කියලයි ආපස්සට හැරිල බලද්දි හිතෙන්නෙ.

නයිනමඩම, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, තල්විල, හලාවත, දැදුරුඔය, ආනවිළුන්දාව, බංගදෙනිය, සින්නපාඩුව, මදුරන්කුලිය......... මේ මඟ දිගටම ළක්‍රිවියත් එක්ක ගිය ගමන්වල, කළ වැඩසටහන්වල මතක තැන්පත් වෙලා තියෙනවා.

කරකුට්ටං වෙමින් තිබුණු පරිසරයට යාම්තමට වැහි පොදක් වැටුණා පාලවිය හන්දියෙදි. සැනෙකින් ඒ වැහි ඇල්ලත් ඉවරයි. ඉන්පස්සෙ ආයෙම කතරක සලකුණු. 

පුත්තලමෙන් එළුවන්කුලමට යන පරණ රෝසා බස් එකට නැගුණමත් හතර වටින්ම පේන්නට තිබුණෙ නියං සායේ දරුණු බව. ඉඳහිටක තැනක දිය රැඳුණු විල් දකින්නට ලැබුණා. එක තැනක මඩපාට විල් දියක එකමෙක ඕලු මලක්. තවත් තැනෙක කළු අඳුරු දියක අපුල්ලා ගන්නා සුදු රෙදි. එහෙම වෙන්නෙ කොහොමද, හිතාගන්නත් බැරි තරම්. තවත් විශාල බිම්කඩක තේක්ක වගාවකට නල ජලය ඉහින කෙසඟ ගැහැනියක්.

ලුණු ලේවාය, ඈතින් පෙනෙන්නෙ නොරොච්චෝලේ සුළං කුලුණු....

ගමනාන්තය වුණ එළුවන්කුලමෙන් බසය නැවතුණාට පස්සෙ ගම ඇතුළට යන්න ත්‍රීරෝද රියක සරණ පතන්නට සිදුවුණා. අහඹු ලෙස බසයේදී හමුවුණ සිස්ට කැතරීන් මා එක්ක උන්නා. ත්‍රීරෝද රියේ සුක්කානම රැඳවුණේ මුස්ලිම් දෑතක. ඒ පරිසරයේ වඩාත් දකින්නට තිබුණෙත් මුස්ලිම් ජන කොටසක් ජීවත් වන බවට ලකුණු. ඔහු ඉතාම හිතේෂිවන්තව දොඩමළු වුණා අපි එක්ක.

මන්නාරම් පාරෙන් එළුවන්කුලම ඇතුළට යන්න වම් පැත්තට හැරවුණාට පස්සෙ පරිසරය වෙනස්වුණේ හාස්කමකින් වගේ. බලන බලන අත නිල්ල. කුඹුරු සාරයි. හිතාගන්නවත් බෑ මේ තරම් කාස්ටක කාලෙක මෙච්චර හරිත පැහැයක් මැවෙන්නෙ කොහොමද? ඒ විස්මය ප්‍රශ්නයක්ව නැගුණම රියදුරු මහතා දුන්නෙ අපූරු උත්තරයක්.

‘‘කලා වැවේ වතුර මිස්, මේ ගම හරිම වාසනාවන්ත ගමක්. දෙපැත්තෙන් ඇලවල් දෙකක් යනවා. කලා වැවෙන් වතුර ඇවිත් වැවට පිරිලා ඒ වැවෙන් ගමේ කුඹුරුවලට වතුර බෙදෙනවා.‘‘

එක් පසෙකින් ගලා යන ඇල...



ඒ කලා වැවේ වතුර. ධාතුසේන පාලන සමයේ පරිපාලනයේ මහිමයත්, මිනිසුන්ගේ ශ්‍රමයත් එක්තැන්ව තැන්පත් කරගන්නා මහා ජලස්කන්ධය ජීවිත සුවපත් කරන අපුරුව. ලංකාවෙ වාරි තාක්ෂණය කියන්නෙම මහා පුදුමයක්. එක අතකින් ආශිර්වාදයක්.

‘‘බොන වතුර ප්‍රශ්නෙ නම් තියෙනවා. ඒත් වගාවලට වතුර අඩුවක් නැහැ.‘‘ ඔහු කිව්වා.

යුද සමයෙ එළුවන්කුලම කියන්නෙත් අනාරක්ෂිත පැත්තක්. ඒ කාලෙ හිටි ගමන් ගමට කඩා වැදුණු එල්ටීටීඊය ගමේ මිනිසුන් කපා කොටා මරා දැමූ අත්දැකීම් තාමත් ඒ අය මතක් කරනවා. තමන්ගේ මව්පියන් මරා දැමෙන හැටි දෑසින් දුටු, රෑ එළිවනතුරු ඒ නිසල සිරුරු සමඟ ගේ තුළ බයෙන් ගැහෙමින් කොටු වී සිටි දරුවෙක් දැන් තරුණයෙක්...

‘‘යුද්දෙ ඉවරවුණ එක නම් ලොකු සැනසීමක්. දැන් ඉතින් මේ අලි කරදරේ. ඉස්සර අලි කොටි දෙගොල්ලම හින්දා අපි පුදුම දුකක් වින්දා.‘‘

.........

ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන් පුරා සතියක් එළුවන්කුලම නැවතිලා කළ වැඩසටහන් මාලාවක අවසන් දවස ඒ. මට නියමිත වෙලා තිබුණෙ පෙරවරුවේ දරුවන් සමඟ කතා බහක්. පරිසරය කොතරම් හරිත පැහැ වුණත්, අධ්‍යාපනය පැත්තෙන් ගත්තම නම් ඒ දරුවන්ගෙ ජීවිතවල තිබුණෙ සදාකාලයට අත්නොහරින නියං සායක්. පහසුකම් අඩු, ගුරුවරුන් පවා හරිහැටි නැති පාසල්වල ඉගෙනගන්න කියල වැඩි යමක් නැති බවයි දරුවන්ගෙන්ම කියවුණේ. ගැහැනු ළමයින්නම් අඩු වයසින්ම විවාපත් වෙන බව දකින්න ලැබුණා. පල්ලියට ඇවිත් තිබුණු ගොඩක් දරුවන්ගෙ අම්මලා  ළාබාලයි. 

දරුවන් සමඟ ගී ගයන පැවිදි සොයුරියන්, ගීටාරය වයන්නෙ සිස්ට කැතරින්, ඇය චන්දන ලියනආරච්චිගේ සොයුරියක්... 

පෙරපාසල් සහ පහ වසරට අඩු දරුවන් වැඩි දෙනෙක් උන් නිසා මං පටන්ගත්තෙම කතන්දරයකින්. ඒ කතන්දරයෙන් කියවුණේ වේලිලා කරංගෑටි වෙලා ගිය කැලෑවක ඉන්න හා පැටියෙක්,  වෙහෙස මහන්සිය නොබලා ඈත දුර දුවල දුවල, විපරම් කරල ජලයෙන්, ආහාරවලින් හිගයක් නැති පුංචි කැලෑවක් හොයාගෙන තමන්ගෙ කැලේ බඩගින්නෙ මැරිල යන්න සිද්දවෙලා තිබුණු යාළුවො ටික බේරගන්න විදිය...

‘‘හා පැටියට ඒ තරම් ලොකු දෙයක් කරන්න පුලුවන් වුණේ එයාගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගත්ත නිසා. ඒ තමයි දුවන්න පුළුවන් කම. දැන් දුවල පුතාල හිතල බලන්න, මොනවද ඔයාල ළඟ තියෙන හැකියාවන් කියල.‘‘

ඒ ප්‍රශ්නෙට විවිධාකාර උත්තර ලැබුණා. සින්දු කියන්න, ක්‍රිකට් ගහන්න, නිවේදන කරන්න, ලියන්න, දුවන්න... ඔන්න ඔය වගේ. බරපතලම ප්‍රශ්නෙ ආවෙ ඉන්පස්සෙ. ඒ හැකියාවන් වැඩිදියුණු කරගන්නෙ කොහොමද?

‘‘අපිට සංගීත ගුරුවරයෙක් නෑනෙ...‘‘

‘‘අපිට ක්‍රීඩා කරන්න පහසුකම් නෑනෙ...‘‘

‘‘අපිට දැන් කාලෙක ඉඳල සිංහල උගන්නන්න ගුරුවරයෙක් නෑනෙ.‘‘

‘‘අපිට පුස්තකාලයක් නෑනෙ.‘‘

කට උත්තරත් නැති වෙන උත්තර ටිකක් දරුවන්ගෙන් ලැබුණෙ. නමුත් අපි සින්දු කියල, කතා කියල දරුවන්ට ඒත්තුගන්නන්න උත්සාහ කළා ජීවිතේ ජයගන්න බොහෝ මාවත් තියෙන බව. 

දරුවන්ට කතන්දර කියා දෙන මං...

...........

සුදු පවුලේ සොයුරියන් වසරකට වරක් දුෂ්කර ගම්මානයක් තෝරාගෙන එහි නිවෙස්වල නැවතිලා මේ කරන වැඩසටහන් මාලාව හරි වටිනවා. එතනදි නිවෙස් බැහැදැකීම වගේම පවුල, සමාජය, දරුවන්, ආගම සහ ජීවිතය වගේ විවිධ මාතෘකා සම්බන්ධව ජනතාව සමඟ කතා බහක් ගොඩනැගෙනවා. ගමේ ජනතාවටත් ඒක විශේෂ අත්දැකීමක්.

සිස්ටර්ස්ල නවතින්නෙ ගමේමෙ ගෙවල්වල. ඔවුන් ගෙයින් ගෙට යනවා. මිනිසුන් එක්ක කතා බහ කරනවා. හැම හැන්දෑවරුවකම පල්ලියේ හෝ තෝරා ගත් තැනක විශේෂ වැඩසටහනක් තියෙනවා. එය චිත්‍රපටයක්, දැනුවත් කිරීමක්, ගී රස වින්දනයක්, යැදුම් මෙහෙයක් විය හැකියි. දරුවන්, තරුණ තරුණියන්, මව්පියන් වෙනුවෙන් වෙන වෙනමත් වැඩසටහන් සිදුවෙනවා. පල්ලියේ දහම් පාසලට පොත් කට්ටලයක් තෑගි දීල පුස්තකාලයකට ආරම්භයක් දෙන්නත් පැවිදි සොයුරියන් කටයුතු කරල තිබුණා.

සිස්ට කැතරින් නැවතිලා උන්නෙ මේ පුංචි ගෙදර... 

තමන්ගෙ දුක්ගැනවිලි, ප්‍රශ්න බෙදාහදාගන්නට වගේම කෑමෙන්, බීමෙන් සංග්‍රහ කරන්නත් ඔවුන් දක්වන්නෙ විශාල උනන්දුවක්. උදේ වැඩසටහනින් පස්සෙ අපි දවල් කෑමට ගියේ පල්ලියෙන් ටිකක් දුර බැහැරකට වෙන්න තිබුණු නිවෙසකට. අලි ගැන රස කතා අසමින් ඒ ගෙවුණු කෙටි කාලය හරිම සුන්දරයි. අලින්ගෙන් කුඹුරු බේරගන්න එක කොයිතරම් දුෂ්කර වැඩක් වුණත් ඒ කතා බහේදි දැනුණු දෙයක් තමයි, එයාලට අලි එක්ක තරහක් නැති බව.

ඒ තරම් ඉඩකඩක් තියෙද්දි, වතුර තියෙද්දි ඇයි වෙනත් වගාවන් නැත්තෙ කියන ප්‍රශ්නෙට ලැබුණෙ මේ වගේ උත්තරයක්.

‘‘වඳුරන්ගෙන්, රිලවුන්ගෙන් බේරගන්න බෑ. ඒ හින්දා ගොඩක් අය එළවලු වගාව අතෑරල තියෙන්නෙ.“

කෑමෙන් පස්සෙ අතුරුපසට තිබුණෙ තල්කිරි. කාලෙකින් බිව්ව රසවත්ම තල් කිරි බඳුනක්.

............

මේ පුංචි ගම්මානයේ හතර අත කුඹුරු යායවල් වගේම, බලන බලන තැන තල් ගස්. තල් ගෙඩි ගස්යට ඔහේ වැටිලා. දකිද්දි ලෝබත් හිතෙනවා. ඒත් එයාලට තල් ගැන වගේ වගක් නැහැ. තල් එකතු කරලා අලෙවි කරන වැඩක් හරි, තල් නිෂ්පාදන වෙනුවෙන් කර්මාන්ත ශාලාවක් හරි ඒ පළාතෙ පටන්ගන්න පුළුවන් නම් ඔහේ වැටිල ගස්යටම පස්වෙලා යන තල්වලට ලොකු වටිනාකමක් ලැබෙන්න ඉඩ තියෙනවා.



.........

තවත් මං දැක්ක විශේෂම දෙයක් තමයි එහෙ සිංහල අයත් සිංහලට වඩා ලේසියෙන් කතා කරන්නෙ දෙමළ භාෂාව. සින්දුවක් කියන්න අවස්ථාව ලැබුණම තරුණ අය සිංහල සින්දුවලට වඩා බොහොම කැමැත්තෙන් කිව්වෙ දෙමළ සින්දු. බත්තලංගුණ්ඩුව නවකතාව මතක් වුණා. කල්පිටි දූපත්වල සිංහල අය වුණත් සිංහලට වඩා ලේසියෙන් කතා කළේ දෙමළ කියල එහි තැනක එනවා හරිම ලස්සනට.

කොහොමත් මේ ගමේ සිංහල, මුස්ලිම් වැඩි පිරිසකුත්, දෙමළ සුළු පිරිසකුත් ජීවත්වෙනවා. මහ සමාජයේ ජාත්‍යාලය තාමත් ඒ අයට මහ විනාශයක් කරල නැති බවයි දැනුණෙ. ඊට වඩා බරපතලයි ජීවන අරගලය. කොහොමත් ගමක් තේරුම්ගන්න නම් දවසක් මදි...

.......

ඒ උන්නු පැය කීපෙට දැනුණා ගමේ අය සිස්ටර්ස්ලට කොයිතරම් ළං වෙලාද කියල. හවස්වරුවේ විවිධ ප්‍රසංගය සහ වැඩසටහන නිමාකිරීමේ උත්සවයෙන් පස්සෙ අපි ආපහු එන්න පිටත් වෙද්දි බොහෝ අයගෙ ඇස්වල කඳුළු.




Sunday, October 8, 2017

දේශද්‍රෝහියාට ප්‍රතිචාර


ලොකු නංගී

‘‘අපි ඒ කාලෙ ජේවීපි එක නිසා කොච්චර දුක් වින්දද? ඔයා ඇයි, මේ පොතෙන් ජේවීපී එක සාධාරණීකරණය කරල තියෙන්නෙ?‘‘

‘‘මම? ජේවීපී එක සාධාරණීකරණය කරලා. නෑ මං එහෙම දෙයක් ලියල නැහැනෙ.‘‘

‘‘එතකොට ආදිත්‍ය ජේවීපී නෙමෙයිද?‘‘

‘‘නෑ, නෑ ආදිත්‍ය ජේවීපී නෙවෙයි. ආදිත්‍යට ආගමක් නෑ වගේම, දේශපාලන පක්ෂයකුත් නැහැ.‘‘

..........

අම්මා

සති අන්තයේ ගමේ යද්දි ඈ උන්නේ ගංඟාගේ පොතක් කියවමින්. අම්මා ගංඟාගේ පොත්වලට කැමති නිසාම පොත් ප්‍රදර්ශනයෙන් ඇයට ඒ පොත් ගෙනවිත් දුන්නෙත් මමයි.

‘‘මම ඔයාගෙ පොත ටිකක් කියෙව්වා. මේ කලබල එක්ක කියවන්න පුළුවන් පොතක් නෙමෙයි ඒක. නිවාඩුව කියවන්න ඕන.‘‘ මගේ පොත වෙනුවට ගංඟාගේ පොත කියවීම සාධාරණීකරණය කළේ එහෙම...

ඊටත් ටික වෙලාවකට පස්සෙ මෙහෙම කියනවා.

‘‘ගංඟාගෙ කතා තෙරුම් ගන්න ලේසියි. කියවගෙන යන්න පුළුවන්. මේ වගේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතාවක් ලියන්නකො.“

අයියෝ, මගේ සියඹලා!!!

...........

පොඩි නංගී

‘‘ගීතක්කා මට කතාව ටිකක් කිව්වා. මමත් මේ කියවන්න ඉන්නෙ නිවාඩුවක් ලැබුණම.“ 

( එයාට ඒ නිවාඩුව කවදාවත් ලැබෙන්නෙ නැති බව නම් මං දන්නවා. )

පොඩි නංගී කොහොමත් පොත් කියවන්න කම්මැලියා. අපේ ගෙදර මං ඇරුණම පොත් ගුල්ලි ලොකු නංගි. ඒ වගේම අම්මා.

‘‘ඉතින් ගීතක්කගෙන්ම කතාවෙ ඉතුරු ටිකත් අහගන්නකො.“ මම කිව්වා.

............

චූටි මිමී සහ චන්දු

පොත් පහක්ම තුරුළු කරගෙන.

‘‘මම්මේ ඔයාද මේ ඔක්කොම ලිව්වෙ?“ ඇසුත් ලොකු කරගෙන.

‘‘මං ලිව්වෙ එක පොතයි. ඒකෙන් තමයි අනිත් ඔක්කොම පොත් හදන්නෙ.“

‘‘මම්මෙ මමත් පොතක් ගන්නවා. මම ටික ටික කියවනවා.“ එහෙම කිව්වට ඈ තාම දෙක වසරෙ.

චන්දු පොතේ පසුකවරෙ පෙන්න පෙන්න... ‘‘මේ මම්මා, මේ මම්මා ‘‘ කියනවා.

අක්කා මල්ලිට පොතේ නම පාඩම් කරවනවා.

‘‘දේශ‘‘ - දේත
‘‘ද්‍රෝහියාගේ‘‘ - දෝයියාගේ
‘‘නිර්මල‘‘ - නීමල
‘‘හෘදය‘‘ - හදය...

මගෙ චන්දු කැටේ පොතේ නම කියන හුරතල් විදියට අල්ලල පොඩි කරන්න හිතුණා.

.........

‘‘තමුසෙ යකෙක් ඕයි. These are the best words I can muster. Amazing writing Nangi. Mixing Soloman and Panchasika is an amazing literary trick."

හෂිත අයියා

..........

‘‘විසල් අහස යට තරු කිරණ, ඔයාගෙ නිර්මල හෘදය මාරයි. ඔයා දක්ෂයෙක්. ඒ ගැන විවාදයක් ඇත්තෙම නෑ. ආදරෙයි.“

කුමාරි අක්කා

"young nun at prayer" | sergei ivanovich gribkov
.........

‘‘නංගියෝ, මට ආයෙත් ඒ පොල්ලතු ගෙදරට දුවල යන්න හිතයි. ඔයාට මාර මතකයක් තියෙනවනේ. ලස්සනට ලියල. මගේ ජීවන අත්දැකීම සහ ඔයාගෙ ලිවීමේ හැකියාව ගැන මම දෙවිඳුන්ට තුති පුදනවා හදවතින්ම. ස්තූතියි. ජේසු පිහිටයි.‘‘

සිස්ට ශිරානි

.........

‘‘තරූ, එයාගෙ කුළුඳුල් නවකතාවට නම දාලා තියෙන්නෙ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ කියල. ඒකෙ හැම චරිතයක්ම මහා සමාජෙට අනුව දේශද්‍රෝහීන්. ඒත් ඒ දේශද්‍රෝහීන්ගේ නිර්මල හෘදයන් මොන වගේද කියල කියන්න ඇය අවංක උත්සාහයක් දරල තියෙනවා. දවසක ලෝකය තේරුම් ගනීවි දේශද්‍රෝහීන්ගේ හෘදයන් මොන තරම් නිර්මලද කියල.“

සාලිය

.............

‘‘ඔන්න මං පොත බලන්න ගත්තා. දැන් දෙන්නගෙ හැඩරුවත් මගෙ හිතේ ඇඳිල ඉවරයි. මං නම් සිස්ට සෙව්වන්දි වගේ නෙවෙයි. මට එච්චර දෙයක් කරගන්න හයියක් නෑ. මං හිතුවට වඩා ඔයා දක්ෂයි. භාෂාව හරිම ලස්සනයි.

වාව්... ඔයාගෙ පොතේ මාත් ඉන්නවනේ.“

සිස්ට මර්සි

දෙව්දුව චිත්‍රපටයේ මාලනී
...........

‘‘මොකක්ද බං මේ ලියල තියෙන මළ ඉලව්ව. උදේ ට්‍රේන් එකේ එද්දි කියවන්න ගත්තා. නවත්තගන්න බෑ. ලෙක්චර්ස්වලදිත් කියෙව්වා. හොරෙන් ඉස්කෝලෙ යන කාලෙ වගේ. දැන් ඉන්නෙ 148 පිටුවෙ නික්ම යාමෙ. උඹ ආදිත්‍යට මොනව හරි කරල තිබ්බොත් අම්මපා හොයාගෙන ඇවිත් හොඳ වැඩක් කරනවා. ලැජ්ජයි කඳුළු පිහ පිහ පොත් කියවනකොට. වටේ ඉන්න උන් හිනාවෙනවා.“

විපුලි අක්කා

.............

කිසිසේත් අමතක කළ නොහැකි අපූරු දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබුණා පොත ගැන. එවරස්ට් ආරච්චිගේ, වසන්තා මිහිඳුකුලසුරිය, කැලුම් ප්‍රසන්න, සාලිය ඉඳුරුවිතාන දැක්වූ අදහස් මට ගොඩක් වටිනවා. ඒව දීර්ඝ සාකච්ඡා නිසා ලියන්නේ නැහැ. වසන්තා අක්කා කියූ අකුරු වැරදිත්, එවරස්ට් අයියා කියූ අටුවාවක අඩුවත් මීළඟ පොතේදි නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්න පොරොන්දු වෙනවා.

අමතක කළ නොහැකිම ඇමතුමක් තමයි නයනහාරිගෙ තාත්තා සිරිපාල අබේනායක මහත්මයා ලබා දුන් ඇමතුම.

පොත් ප්‍රදර්ශනය නිම වූ දවසෙ අස්පස් කිරීම් නිමවෙලා නවාතැනට එද්දි රෑ එකොළහයි. සාමාන්‍යෙයන් රෑ එන නාඳුනන ඇමතුම් මඟහැරියත් එදා මම ගෙට ගොඩවුණ ගමන්ම නිසත්, පොත් සම්බන්ධ කාරණයක් විය හැකි නිසාත් ඇමතුමට සම්බන්ධ වුණා.

‘‘දුව මම මේ කතා කරන්නෙ නයනහාරිගෙ තාත්තා. මම මේ දුවගෙ පොත කියවල ඉවරවුණා විතරයි.‘‘

ඒ විදියට පටන්ගත්ත සංවාදය පැය භාගයක් විතර දිගට ඇදුණා. තමන් ලියු පොතක් සම්බන්ධව එවැනි අදහස් දැක්වීමක් අහන්නට ලැබෙන එක මොනතරම් වාසනාවක්ද? ලිවීමේ අරමුණ සාක්ෂාත් වෙලා කියල දැනෙන්නෙ ඒ වගේ අදහස් දැක්වීමකදි. මට කියාගන්න උවමනා වුණ දේ තාත්තා කෙනෙකුට දැනුණ එක අප්‍රමාණ සතුටක්.

‘‘නංගි තාත්තා කතා කළානෙ මට පොත කියවල.‘‘ සතුට වෙනුවෙන් උපන් කඳුළුත් ඇස්වල තියන් මම පහුවෙනිදා නයනහාරිට කතා කළේ.

‘‘මම පොත් ගෙනත් මේසෙ උඩ තිබ්බා අක්කෙ. තාත්තා කොහොමහරි ඔයාගෙ පොත තමයි අරන් කියවල තියෙන්නෙ. පොතේ නම්බර් එකත් තිබුණනෙ. කතා කරන්න හිතෙන්න ඇති. මට කිව්වෙවත් නෑ කතා කළා කියල.“

........

මේ අතර පොතේ නම නිසා, බයිබල් පාඨ නිසා, පොතේ කවරෙ ආකර්ෂණීය නැති නිසා පොත පෙරළල තියල ගිය බවත් දැනගන්නට ලැබුණා. කවරය ගැන චෝදනා තිබුණත් මේ තමයි ඇත්තටම මට උවමනා වුණ කවරය. මේ කවරය සහ ඊට පසුබිම් වූ ස්මාරක පවුර කියන්නෙ ජාති, ආගම්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව යුද සමයේ අතුරුදහන් කරවූවන්, මරාදැමූවන්, මිය ගියවුන් සැමරීම සඳහා කළ නිර්මාණයක්.

මගේ භාෂා රටාවේ වෙඩිවර්ධන අභාසය ඇති බව අසන්නට ලැබුණු තවත් අදහසක්. එය විය හැකි දෙයක්. වසර පහක පමණ සිට පිටු සැකසුම් කරන්නට, ටයිප් කරන්නට මංජුල අයියාගේ පොත් සමඟ ගැටෙන නිසා එම බලපෑමෙන් මුළුමනින්ම මිදෙන්නට නොහැකි වූ බව, එය මගේ ලිවීමට වගේම කියවීමටත් බල පා ඇති බව මා පිළිගන්නවා.


71, 88-89, වසර 30 ක යුද්දය මේ හැම අවස්ථාවකම සිදුවුණා වගේ මනුෂ්‍ය ඝාතන නැවතත් අපේ රටේ සිදුනොවේවා, එයයි මගේ ප්‍රාර්ථනය!!!

ප.ලි.

මූණුපොතේ පළ වූ ප්‍රතිචාර මෙයට ඇතුළත් නොකළේ ඔබ දැනටමත් ඒවා කියවා ඇති බැවින්...

Tuesday, October 3, 2017

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය 01


රොෂානි අක්කා

අපි එක ම ගම් පළාතෙ. එකම පල්ලියෙ. පුංචි කාලෙ අපේ ගමට පල්ලියක් තිබුණෙ නෑ. අපි හැමෝම ගියේ කඩවලගෙදර පල්ලියට. ඒ කාලෙ මට ඇයව පෙනුණෙ නිතරම පොහොසත් ළමයි පිරිවරාගෙන ඉන්න, දවසින් දවස ලස්සන ලස්සන ඇඳුම් අඳින පොහොසත් ආඩම්බරකාර යුවතියක් විදියට. ඇය තමයි ගීතිකා කණ්ඩායමේ නායිකාව. ඇය තමයි ඕගන් එක ප්ලේ කරෙත්. මහ පල්ලියෙන් ඈත පුංචි ගමක උන්නු මට එතැන ළංවෙන්නවත් බැරි මහ විශාල තැනක් විදියටයි පෙනුණෙ. දැනුණෙ.

කාලයක් යද්දි අපේ ගමට පුංචි පල්ලියක් ලැබුණා. මම ගමේ පල්ලියෙ සන්ක්‍රිස්තියන් වෙලා ඔක්කෝම වැඩත් කළා. දහම් පාසලෙත් ඉගැන්නුවා. පුංචි කාලෙ අපිට ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ) ළමා සමිතියකුත් තිබුණා. ඒක පටන්ගත්තෙ 1988. ඒ වෙද්දි අපට පල්ලියක ලකුණක්වත් තිබුණෙ නැහැ. අත්හැරුණු වත්තක, පාළු ගේක තමයි දහම් පාසල පැවැත්වුණේ.

ගමෙන් පිටට ළමා පුහුණුවකට මුල්ම වතාවට මාව එක්කරගෙන ගියෙත් රොෂානි අක්කයි, සුනේත්‍රා අක්කයි. ඒ වෙද්දි මං නමය වසරෙ. කුලියපිටිය පල්ලියට ඇවිත් මාව භාර දීලා තාත්තා රොෂානි අක්කට කිව්ව රහස මං දැනගත්තෙ පස්සෙ කාලෙක. ‘‘අපේ දුව තාම වැඩිවිය පැමිණිලා නෑ දුවේ.‘‘ ඒ දවස් තුනක පුහුණුව තිබුණෙ මල්පිටියෙ පල්ලියෙ. එදා දැකපු ළක්‍රිවී අනුශාසකවරු නිසා මටත් ආසාවක් ඇති වුණා ළක්‍රිවී කරන්න. ඒත් අපේ අනුශාසක අයියල නැති වෙලා සමිතිය නැවතුණාට පස්සේ ආයෙම පටන්ගන්න තරම් ඒ ගැන මට හරිහැටි වැටහීමක් තිබුණෙ නැහැ. 

සාමාන්‍ය පෙළ හෙම කරල ඉද්දි තමයි රොෂානි අක්ක දිගින් දිගටම මාව ලුහුබඳින්න ගත්තෙ. හමුවෙන හමුවෙන තැන එයා කිව්වෙ නංගි ළක්‍රිවී කරන්න එන්න කියල. ‘‘එයාල එක්ක මොන ළක්‍රිවීද?‘‘ කියලමයි මට හිතුණෙ. ‘‘නංගි ඔයාට පුළුවන් ළමයි එක්ක වැඩ කරන්න.‘‘ එයා මට බල කරන්න ගත්තා. ඉතින් මං කළේ එයාව මග හැර හැර ඉන්න එක. මහ පල්ලියට ගියත් එයාගෙ ඇස් නොගැටෙන විදියට ඉන්නයි මට ඕන වුණේ. එයත් වැඩේ අතෑරියෙම නැහැ.

‘‘අම්මෝ මෙයා ඉස්සර මාව දකිද්දි පැනල දුවනවා.‘‘ ඇය ඒ අතීතය තාමත් සිහිපත් කරන්නෙ සිනාවෙන්. 

අන්තිමේ 1997 අපේ පල්ලියට ආව අලුත් පියතුමා එක්ක කතා බහ කරලා අපේ පල්ලියෙත් ළක්‍රිවී ළමා සමිතිය අලුතෙන් පටන්ගන්න රොෂානි අක්කා අඩිතාලම දැම්මා, මටත් බැහැ කියන්නම බැරි වෙන්න මාව වැඩේට අල්ල ගත්තා. ඉන්පස්සෙ ළක්‍රිවීයයි, මමයි දෙන්නෙක් නොවන තරමට ම මම ළක්‍රිවි එක්ක බැඳුණා. ළමයි එක්ක වැඩ කරන එක අප්‍රමාණ සතුටක් වුණා. එතෙක් ගෙවුණු ජීවිතය, මගේ සිතුම් පැතුම්, අරමුණු මේ හැමදෙයක්ම වෙනස් කරන්න ළක්‍රිවියට හැකි වුණා.

අර ආඩම්බරකාර යුවතිය මගේ ජීවිතයේ හමුවුණු ආදරවන්තම අක්කා කෙනෙක් වුණා. ඇගේ නිවස, ඇගේ කාමරය, ඇගේ පුංචි පුස්තකාලය මට මගේම වගේ දැනුණා. මම කැලණිය විශ්වවිද්‍යාලය තෝරගන්නත් එක හේතුවක් ඇය සහ ළක්‍රිවීය. ඒ වෙද්දි ඇය උන්නෙ කැලණියෙ. ඉතින් සරසවි ජීවිතයෙදිත් අපි නිතර නිතර හැන්දෑ වරුවල හමුවෙලා කතා කර කර උන්නා. කොයිතරම් කතා කළත් නොහිඳෙන කතා උල්පතක් අපි අතර ගලමින් තිබුණා.

ඇය දීප්ති අයියව තමන්ගේ ජීවිතයෙ සහකාරයා හැටියට තෝරගත් බව දැනුම් දුන්නෙත් හරිම ආදරණීය විදියට. “නංගි මං ඔයාට ගොඩක් හොඳ අයිය කෙනෙක් තෝරගත්තා.“ දීප්ති අයිය කියන්නෙත් මේ ජීවිතය තුළ හමුවුණ ආදරවන්තම සහෝදරයෙක්.

ඉතින් ගමෙන් පිටට තනියෙන් අඩියක් නොතිව්ව, දවසට වචන දහයක්වත් කතා නොකළ නිශ්ශබ්ද, කුලෑටි දැරියක වුණු මාව බලෙන්ම ළක්‍රිවියට අරන් ඇවිදින් අලුත් ජීවිතයකට පාර පෙන්නුවෙ රොෂානි අක්කා. අද මං යම් ගමනක් ඇවිත් තියෙනවනම් ඒ ගමනේ අඩිතාලම දැම්මෙ ඇය කියලයි මට හිතෙන්නෙ. මං අකමැත්තෙන් මගහරිද්දිත් අත්නොහැර මාව ළක්‍රිවියට කැන්දගන ආවට අක්කේ ඔයාට ස්තූතියි. 

ඇය ගැන මුලින් මං මවාගෙන උන්නු චිත්‍රය බොඳවෙලා ඉක්මණින්ම අලුත් සිත්තමක් ඇඳුණා. මිනිසුන් ගැන පූර්ව නිගමනවලට නොඑළඹී මනුෂ්‍යත්වය ගැන විශ්වාස කරන්න මට කියාදුන්නේ ඇයයි මුලින්ම. ඒ ඇගේ ජීවිතයෙන්ම. ඒ නිසාම පසුකාලයේ යම් වේදනාත්මක අත්දැකීම් ලැබුණත් මං තාමත් කැමතියි හැම මනුෂ්‍යෙයක්ම යහපත් කියන තැන ඉඳල මානව සම්බන්ධතා පවත්වන්න. මිනිසුන් එක්ක වැඩ කරන්න.

රොෂානි අක්කයි, දීප්ති අයියයි, දුවල දෙන්නයි පොත් ප්‍රදර්ශනයට ඇවිදින් මාව හොයාගෙන ‘සම‘ කුටියටම ඇවිත් මගේ නවකතාව ගනිද්දි මගේ ඇස්වල කඳුළු. මගේ හිත දිව්වෙ ඒ අතීතයට. මං හරි වාසනාවන්තයි ඒ වගේ ආදරවන්ත මිනිසුන් මේ ජීවිත ගමන තුළ හමුවන්න.

රොෂානි අක්කා සමඟ ‘සම‘ පොත් කුටියේ

දීප්ති අයියා, ප්‍රේමන් අයියා, රොෂානි අක්කා සමඟ මම