Wednesday, October 25, 2017

ශෝකාන්තය, සුනෙත් කාන්තගේ පමණමද?



 ‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය‘‘ සුදර්ශන සමරවීරගේ පළමු කෙටි කතා සංග්‍රහය වේ. ඉකුත් සැප්තැම්බරයේ එය ‘අහස‘ ප්‍රකාශනයක් ලෙස කළඑලි දකින්නේ කස පිපිරුම්, බෙර හඬ, මගුල් සක් කිසිත් නැතිවමය. නිහඬවමය. ලේඛකයා කහටගස්දිගිලියෙනුත් ඇතුළත මීමින්නාවල ගම්මානයේ ජීවත් වන, වෘත්තියෙන් ගුරුවරයකු වන බැවින් ඔහුට අගනුවර සාහිත්‍ය සංවාද අතර නිරන්තර ගැවසීමේ අවකාශයක් නැත. එසේම ඔහු සාහිත්‍ය කල්ලි නඩත්තු කරන අයකුද නොවේ. ඒ නිසාමද, නැත්නම් මහා වරුසාව නිසාද, දිගින් දිගටම පැවති සාහිත්‍ය කටයුතු නිසාද, නොදනිම්???? ‘අහස‘ පිරිස සංවිධානය කළ කෙටි කතා පොත පිළිබඳ සංවාදය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ අසුන් වැඩි ප්‍රමාණයක් පැවතියේ හිස්වය. මගේ හිත වරදකාරී හැඟුමකින් තැවුණි. එදා පැවති කතා ටික නම් අපූරුය.

ඒ වන විටත් කෙටි කතා පොතෙන් මට කියවන්නට ඉතිරිව පැවතියේ අවසාන කතාව වූ  ‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය‘‘ පමණි. එසේම මේ සටහනද ඒ දක්වා ලියැවී තිබිණි. පළකිරීම පමාවූයේ අවසන් කතාවද කියවා එහි අදහසද ගොනු කොට ගත යුතුව තිබූ බැවිනි.

...........

ශෝකාන්තය සුනෙත් කාන්තගේ වූවාට ආරම්භයේ සිටම ඇත්තේ ශෝකාන්තයන්ම නොවේදැයි සිතේ. ‘‘සමියගෙ ගේම‘‘ නූතන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය තුළ විතැන් වූ, වල්මත් වූ තාරුණ්‍යෙයේම පිළිබිඹුවකි. තොග පිටින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරීන්ගේ ජීවිත ගස් ගල් යට, කොරිඩෝවල  හෑල්ලු වූ ආකාරය පිළිබඳ කොතෙකුත් අත්දැකීම් අපට ඇත. ඒ අතරම දුරකථන, පරිගණක අතර එබුණු දෑස්, මනස් එහිම මිදී, ගල් වී යන අයුරු පිළිබඳ අත්දැකීම්ද කොතෙකුත් ඇත. මේ සියල්ලම දෙස ඇස් ගසා සිටි පුළුල් හැදෑරීමක් සහිත ලේඛකයකුගේ ලේඛන ශ්‍රමය මෙන්ම මේ ජීවන අත්දැකීම්වලට සංවේදී වූ නූතන තරුණයකුගේ හදගැස්මද  ‘‘සමියගෙ ගේම‘‘ තුළ හමු වේ.

මායාවී අත්දැකීම් පිරුණු ‘‘පොළොං පෙම්බර අහස් සවාරිය‘‘ පසු කියවීමක් ඉල්ලා සිටියෙන් මම නැවත ද එහි ආරම්භයේ සිට අවසානය දක්වා සවාරියක් ගැසීමි. පොළොං විමානය ද, උකුස්සාද සංකේතාත්මකව ගෙන කියන්නට හදන මේ සර්ප විමානයේ කතාව කුමක්ද? මානව ජීවිත දරණ ගසා වෙළා ගන්නා සාම්ප්‍රදායික, දේශපාලනික සමාජ පීඩනයේ, රාගය, තෘෂ්ණාව මුල් වූ මානසික අරගලයේද ඛේදනීය අවසානයද?

‘‘මායාවී‘‘ නම් සැබෑවටම මායාවී ශෝකාන්තයක් ගෙනෙන්නකි. ආරම්භය ද, අවසානය ද අතර වන කාල පරාසය තුළ ඇත්තටම සිදුවූයේ කුමක් වන්නට ඇත්දැයි සිතමින් සිටින අතර ම සිරගෙයක සිරගත මනුෂ්‍ය ජීවිත පිළිබඳ කටුක අත්දෑකීම් මෙතරම්ම සීරු මාරුවට චිත්‍රණය කළේ කෙසේදැයි නොසිතා ඉන්නට ද නොහැකිය. තාවකාලිකව සිරගත ජීවිතය අත්දකින්නට, පාඨකයාද ඇතුළ් කරගන්නා පටු අඳුරු උමඟක් මෙනි. අප දන්නා හඳුනන රාමුගත ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට ඔබ්බෙන් කොතරම් පුළුල් පරාසයක සැරිසැරීමේ හැකියාව ප්‍රේමයට ඇත්ද? එහි ඉරණම කෙලෙස විසඳෙනු ඇත්ද? මම තවම සිතමි.

‘‘මරිකාර පේමේ පුත්තලං ලුණු විලේ‘‘ ගැමි බසද, ගැමි දිවියද ඇසුරු කොට වඩාත් ආකර්ෂණීය ගෙත්තමක් බවට පත්ව ඇති කතාවකි. කොතරම් දහිරිය දැම්මද, ධනය සහ බලයේ මළ පුඩුවට අසුව ගැළවුමක් පේන මානයක නොවන ජීවිත පිළිබඳ කතිකාවක් ගොඩනංවන අතරම, අගුළු ලා රැකිය නොහැකි මනුෂ්‍ය හැඟීම්, අවශ්‍යතාවන් ජීවන අපේක්ෂාවන් යටපත් කරගෙන දෙගොඩ තලා ගලා යද්දී, ජීවන අරගලයෙන් කිසිසේත් පළා නොගිය මරිකාර හදවතක්, ප්‍රේමයේ හව්හරණ බිඳී ගිය දා උඩුගම්බලා පිහිනිය නොහී ජීවන අරගලයෙන් මෙන්ම ජීවිතයෙන්ද පළා යන අයුරු කියවන්නට ලැබීම ශෝකාන්තයන්ගෙත් ශෝකාන්තයකි. ( ගැහැනු හදවතක ප්‍රේමය, ගැහැනු සිරුරක හැඟීම් මෙල්ල කරගැනීම, කුළු හරකුන් මෙල්ල කිරීමටත් වඩා අසීරු වැඩක්ද? )

‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය‘‘ සැබවින්ම ශෝකාන්තයක් වන්නේ කියවන්නිය ඒ තුළ අතරමං වන බැවිනි. ‘‘ඇත්තටම ඇයි සුනෙත්කාන්ත මැරුණෙ? මැරෙන්න තරම් දෙයක් වුණේ නැහැනෙ.‘‘ සිතමින් සිටින අතරම, කතාවේ නොකියවෙන කොතරම් දේ සිදුවන්නට ඇත්දැයි යන්නද සිතෙන්නට ගනියි. සිදුවූයේ කුමක්ද? ඒ මන්ද?  එකම සිදුවීම දෘෂ්ටිකෝණ කිහිපයකින් දකින්නට උත්සාහ දැරූවද, ඒ සෑම දොරටුවක්ම වැසී යන්නේ සුනෙත්කාන්තගේ මරණයේ ශෝකාන්තය ගැන නිශ්චිත හෝඩුවාවක් නොමැතිවමය. 

කෙටිකතා සංග්‍රහයේ එන බොහෝ කතා එබඳු පැටලිලිය. කතුවරයා හිතා මතාම අප කරකවා අතාරින සෙයකි. හද, මනස කැලැම්බී අනතුරුව කෙමෙන් කෙමෙන් සන්සුන් වී, පෑදී යථාවබෝධයට පත්වනු සඳහාද විය හැකිය. එක හුස්මට කියවිය නොහැකි, කියවිය නොයුතු කියවන්නිය යම් ශ්‍රමයක් වැය කළ යුතු කෙටිකතා එකතුවකි. මතුපිට කියවීමකින් පමණක් සෑහීමට පත් විය නොහැකි බවක් දැනේ. තල කිහිපයක කියවීමක් හරහා ගැඹුරට කිඳා බැසීමේ අවශ්‍යතාව ඉල්ලා සිටින කෙටි කතා එකතුවකි.


විෂම සමාජ ක්‍රමයේ මළ පුඩුවට අසුවන නූතන ජීවිත පිළිබඳ ඛේදාන්තය සමස්ත කෘතිය පුරාම නොසිඳී ගලා යන්නකි. ඒ අතරම නොබිඳී හුයක් ලෙස  කතාවෙන් කතාවට ගලා යන ස්ත්‍රීත්වය පිළිබඳ සාම්ප්‍රදායික කියවීමක් මතු වන්නේද යන්න කියවන්නිය සාංකාබරිත කරවයි. ස්ත්‍රී හදවත තේරුම් ගැනීමේදී අසමත්වන පුරුෂෝත්තමභාවය පිළිබඳ කතුවරයා හිතා මතාම ප්‍රශ්න කරන්නේද යන ගැටලුවද මතු වෙයි. කෙසේ නමුත් ලේඛකයා නූතන සමාජය, සාහිත්‍යය සහ තාරුණ්‍යය පිළිබඳ පුළුල් හැදෑරීමක සිටින බවට ලකුණු කෘතිය පුරාම ඇත. 

තේමාවන්හි විවිධත්වය, චරිත - සිදුවීම් විවරණය, ආඛ්‍යාන රටාව මෙන්ම වචන හරඹයද සිත් ගන්නා සුළුය. සාම්ප්‍රදායික කෙටිකතාවෙන් බැහැර ආස්ථානයක සිට කෘතිය කියවන්නැයි කරන ඉල්ලීමක් බඳු ය. අන්තර්ගත සිදුවීම් තවදුරටත් පිරිපහදු වූවා නම්, මුවහත් වූවා නම් හොඳ යැයි සිතෙන අවස්ථාද නැතුවා නොවේ. පැටලිලි සහිත බවද, ඉන්ද්‍රජාලද විටෙක වෙහෙසකි. යම් තැනක පමණ ඉක්මවා පානා වචන හරඹ අත්‍යාවශ්‍යමදැයි සිතේ. ‘‘මරිකාර පේමේ පුත්තලං ලුණු විලේ‘‘ ලියැවෙන ගැමි කට වහර නම් කියවන්නිය වඩාත් ආකර්ෂණය කළ බව නොකියාම බැරිය.

සුදර්ශන සමරවීර, සාහිත්‍යකරණය පිළිබඳ වගකීම් සහගතව කටයුතු කරන, ආවාට ගියාට නොලියා ශාස්ත්‍රීය පදනමක සිට සාහිත්‍ය විචාරයේ යෙදෙන ලේඛකයකු බව මම දැන සිටියෙමි. ‘‘සුනෙත් කාන්තගේ ශෝකාන්තයෙන්‘‘ ඔහු බලාපොරොත්තු තැබිය හැකි වගකීම් සහගත කෙටිකතාකරුවකු බව ද පෙන්වා දී ඇත. ‘‘මීදුමාරේ සළු උනා‘‘ ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය, ඒකාකාරී නූතන කවියට, කවිය පිළිබඳ නැවුම් අත්දැකීමක් ගෙන එමින් සොඳුරු කවියකුගේ ආගමනයද සනිටුහන් කර ඇත.    


1 comment:

  1. කවදද තිබ්බේ? කවද තිබ්බත් ඉතින් මේ ටිකේ එන්න ඉවරයකුත් නෑ හිටං..

    විචාරය කියෙව්වම කියන්නම හිතෙනවා.. :)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...