Monday, October 23, 2017

කලා වැව් දියේ උත්පල.... (එළුවන්කුලමට ගමනක්)



නිකින්නේ ඉර ඇවිලුන සති අන්තයක පාන්දරින්ම නවාතැනින් පිටවුණේ එළුවන්කුලම බලා යන්න. යන මගලකුණු මිසක කොහේ කොතැනද ඒ වෙද්දිත් හරි අදහසක් තිබුණෙ නැහැ. අනුරාධපුර බස් එකක නැගුණු මට හලාවත හරහා යන ගමනෙදි දිගින් දිගටම දකින්නට ලැබුණෙ වියැළුණු බිමක ලකුණු. දැදුරු ඔයත් තැන තැන දිය කඩිති, දිය සීරා බවට හැරී කේඩෑරි වෙලා. ඒ ඔය ඉවුරෙ ළමයින් එක්ක හිතේ හැටියට සෙල්ලම් කළ, ඉන්පස්සෙ ඔයට බැහැල නෑව කාලෙකුත් තිබුණා.  ඒ දවස්වල හලාවත පදවියෙ ළක්‍රිවී වැඩසටහන් කළේ දැදුරුඔය ආසන්නයේ තියෙන සංහිඳියාව කියන මධ්‍යස්ථානයේ. ඒ ළමා තරුණ වැඩසටහන්වලදි ක්‍රීඩා පිටිය වුණේ දැදුරු ඔය ඉවුර, ඔයේ දිය කෙළියත් වැඩසටහනේම අංගයක් වගෙයි දැනුණෙ. ජීවිතේ ලස්සනම කාලෙ ගෙවුණෙ ළක්‍රිවිය එක්ක කියලයි ආපස්සට හැරිල බලද්දි හිතෙන්නෙ.

නයිනමඩම, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, තල්විල, හලාවත, දැදුරුඔය, ආනවිළුන්දාව, බංගදෙනිය, සින්නපාඩුව, මදුරන්කුලිය......... මේ මඟ දිගටම ළක්‍රිවියත් එක්ක ගිය ගමන්වල, කළ වැඩසටහන්වල මතක තැන්පත් වෙලා තියෙනවා.

කරකුට්ටං වෙමින් තිබුණු පරිසරයට යාම්තමට වැහි පොදක් වැටුණා පාලවිය හන්දියෙදි. සැනෙකින් ඒ වැහි ඇල්ලත් ඉවරයි. ඉන්පස්සෙ ආයෙම කතරක සලකුණු. 

පුත්තලමෙන් එළුවන්කුලමට යන පරණ රෝසා බස් එකට නැගුණමත් හතර වටින්ම පේන්නට තිබුණෙ නියං සායේ දරුණු බව. ඉඳහිටක තැනක දිය රැඳුණු විල් දකින්නට ලැබුණා. එක තැනක මඩපාට විල් දියක එකමෙක ඕලු මලක්. තවත් තැනෙක කළු අඳුරු දියක අපුල්ලා ගන්නා සුදු රෙදි. එහෙම වෙන්නෙ කොහොමද, හිතාගන්නත් බැරි තරම්. තවත් විශාල බිම්කඩක තේක්ක වගාවකට නල ජලය ඉහින කෙසඟ ගැහැනියක්.

ලුණු ලේවාය, ඈතින් පෙනෙන්නෙ නොරොච්චෝලේ සුළං කුලුණු....

ගමනාන්තය වුණ එළුවන්කුලමෙන් බසය නැවතුණාට පස්සෙ ගම ඇතුළට යන්න ත්‍රීරෝද රියක සරණ පතන්නට සිදුවුණා. අහඹු ලෙස බසයේදී හමුවුණ සිස්ට කැතරීන් මා එක්ක උන්නා. ත්‍රීරෝද රියේ සුක්කානම රැඳවුණේ මුස්ලිම් දෑතක. ඒ පරිසරයේ වඩාත් දකින්නට තිබුණෙත් මුස්ලිම් ජන කොටසක් ජීවත් වන බවට ලකුණු. ඔහු ඉතාම හිතේෂිවන්තව දොඩමළු වුණා අපි එක්ක.

මන්නාරම් පාරෙන් එළුවන්කුලම ඇතුළට යන්න වම් පැත්තට හැරවුණාට පස්සෙ පරිසරය වෙනස්වුණේ හාස්කමකින් වගේ. බලන බලන අත නිල්ල. කුඹුරු සාරයි. හිතාගන්නවත් බෑ මේ තරම් කාස්ටක කාලෙක මෙච්චර හරිත පැහැයක් මැවෙන්නෙ කොහොමද? ඒ විස්මය ප්‍රශ්නයක්ව නැගුණම රියදුරු මහතා දුන්නෙ අපූරු උත්තරයක්.

‘‘කලා වැවේ වතුර මිස්, මේ ගම හරිම වාසනාවන්ත ගමක්. දෙපැත්තෙන් ඇලවල් දෙකක් යනවා. කලා වැවෙන් වතුර ඇවිත් වැවට පිරිලා ඒ වැවෙන් ගමේ කුඹුරුවලට වතුර බෙදෙනවා.‘‘

එක් පසෙකින් ගලා යන ඇල...



ඒ කලා වැවේ වතුර. ධාතුසේන පාලන සමයේ පරිපාලනයේ මහිමයත්, මිනිසුන්ගේ ශ්‍රමයත් එක්තැන්ව තැන්පත් කරගන්නා මහා ජලස්කන්ධය ජීවිත සුවපත් කරන අපුරුව. ලංකාවෙ වාරි තාක්ෂණය කියන්නෙම මහා පුදුමයක්. එක අතකින් ආශිර්වාදයක්.

‘‘බොන වතුර ප්‍රශ්නෙ නම් තියෙනවා. ඒත් වගාවලට වතුර අඩුවක් නැහැ.‘‘ ඔහු කිව්වා.

යුද සමයෙ එළුවන්කුලම කියන්නෙත් අනාරක්ෂිත පැත්තක්. ඒ කාලෙ හිටි ගමන් ගමට කඩා වැදුණු එල්ටීටීඊය ගමේ මිනිසුන් කපා කොටා මරා දැමූ අත්දැකීම් තාමත් ඒ අය මතක් කරනවා. තමන්ගේ මව්පියන් මරා දැමෙන හැටි දෑසින් දුටු, රෑ එළිවනතුරු ඒ නිසල සිරුරු සමඟ ගේ තුළ බයෙන් ගැහෙමින් කොටු වී සිටි දරුවෙක් දැන් තරුණයෙක්...

‘‘යුද්දෙ ඉවරවුණ එක නම් ලොකු සැනසීමක්. දැන් ඉතින් මේ අලි කරදරේ. ඉස්සර අලි කොටි දෙගොල්ලම හින්දා අපි පුදුම දුකක් වින්දා.‘‘

.........

ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන් පුරා සතියක් එළුවන්කුලම නැවතිලා කළ වැඩසටහන් මාලාවක අවසන් දවස ඒ. මට නියමිත වෙලා තිබුණෙ පෙරවරුවේ දරුවන් සමඟ කතා බහක්. පරිසරය කොතරම් හරිත පැහැ වුණත්, අධ්‍යාපනය පැත්තෙන් ගත්තම නම් ඒ දරුවන්ගෙ ජීවිතවල තිබුණෙ සදාකාලයට අත්නොහරින නියං සායක්. පහසුකම් අඩු, ගුරුවරුන් පවා හරිහැටි නැති පාසල්වල ඉගෙනගන්න කියල වැඩි යමක් නැති බවයි දරුවන්ගෙන්ම කියවුණේ. ගැහැනු ළමයින්නම් අඩු වයසින්ම විවාපත් වෙන බව දකින්න ලැබුණා. පල්ලියට ඇවිත් තිබුණු ගොඩක් දරුවන්ගෙ අම්මලා  ළාබාලයි. 

දරුවන් සමඟ ගී ගයන පැවිදි සොයුරියන්, ගීටාරය වයන්නෙ සිස්ට කැතරින්, ඇය චන්දන ලියනආරච්චිගේ සොයුරියක්... 

පෙරපාසල් සහ පහ වසරට අඩු දරුවන් වැඩි දෙනෙක් උන් නිසා මං පටන්ගත්තෙම කතන්දරයකින්. ඒ කතන්දරයෙන් කියවුණේ වේලිලා කරංගෑටි වෙලා ගිය කැලෑවක ඉන්න හා පැටියෙක්,  වෙහෙස මහන්සිය නොබලා ඈත දුර දුවල දුවල, විපරම් කරල ජලයෙන්, ආහාරවලින් හිගයක් නැති පුංචි කැලෑවක් හොයාගෙන තමන්ගෙ කැලේ බඩගින්නෙ මැරිල යන්න සිද්දවෙලා තිබුණු යාළුවො ටික බේරගන්න විදිය...

‘‘හා පැටියට ඒ තරම් ලොකු දෙයක් කරන්න පුලුවන් වුණේ එයාගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගත්ත නිසා. ඒ තමයි දුවන්න පුළුවන් කම. දැන් දුවල පුතාල හිතල බලන්න, මොනවද ඔයාල ළඟ තියෙන හැකියාවන් කියල.‘‘

ඒ ප්‍රශ්නෙට විවිධාකාර උත්තර ලැබුණා. සින්දු කියන්න, ක්‍රිකට් ගහන්න, නිවේදන කරන්න, ලියන්න, දුවන්න... ඔන්න ඔය වගේ. බරපතලම ප්‍රශ්නෙ ආවෙ ඉන්පස්සෙ. ඒ හැකියාවන් වැඩිදියුණු කරගන්නෙ කොහොමද?

‘‘අපිට සංගීත ගුරුවරයෙක් නෑනෙ...‘‘

‘‘අපිට ක්‍රීඩා කරන්න පහසුකම් නෑනෙ...‘‘

‘‘අපිට දැන් කාලෙක ඉඳල සිංහල උගන්නන්න ගුරුවරයෙක් නෑනෙ.‘‘

‘‘අපිට පුස්තකාලයක් නෑනෙ.‘‘

කට උත්තරත් නැති වෙන උත්තර ටිකක් දරුවන්ගෙන් ලැබුණෙ. නමුත් අපි සින්දු කියල, කතා කියල දරුවන්ට ඒත්තුගන්නන්න උත්සාහ කළා ජීවිතේ ජයගන්න බොහෝ මාවත් තියෙන බව. 

දරුවන්ට කතන්දර කියා දෙන මං...

...........

සුදු පවුලේ සොයුරියන් වසරකට වරක් දුෂ්කර ගම්මානයක් තෝරාගෙන එහි නිවෙස්වල නැවතිලා මේ කරන වැඩසටහන් මාලාව හරි වටිනවා. එතනදි නිවෙස් බැහැදැකීම වගේම පවුල, සමාජය, දරුවන්, ආගම සහ ජීවිතය වගේ විවිධ මාතෘකා සම්බන්ධව ජනතාව සමඟ කතා බහක් ගොඩනැගෙනවා. ගමේ ජනතාවටත් ඒක විශේෂ අත්දැකීමක්.

සිස්ටර්ස්ල නවතින්නෙ ගමේමෙ ගෙවල්වල. ඔවුන් ගෙයින් ගෙට යනවා. මිනිසුන් එක්ක කතා බහ කරනවා. හැම හැන්දෑවරුවකම පල්ලියේ හෝ තෝරා ගත් තැනක විශේෂ වැඩසටහනක් තියෙනවා. එය චිත්‍රපටයක්, දැනුවත් කිරීමක්, ගී රස වින්දනයක්, යැදුම් මෙහෙයක් විය හැකියි. දරුවන්, තරුණ තරුණියන්, මව්පියන් වෙනුවෙන් වෙන වෙනමත් වැඩසටහන් සිදුවෙනවා. පල්ලියේ දහම් පාසලට පොත් කට්ටලයක් තෑගි දීල පුස්තකාලයකට ආරම්භයක් දෙන්නත් පැවිදි සොයුරියන් කටයුතු කරල තිබුණා.

සිස්ට කැතරින් නැවතිලා උන්නෙ මේ පුංචි ගෙදර... 

තමන්ගෙ දුක්ගැනවිලි, ප්‍රශ්න බෙදාහදාගන්නට වගේම කෑමෙන්, බීමෙන් සංග්‍රහ කරන්නත් ඔවුන් දක්වන්නෙ විශාල උනන්දුවක්. උදේ වැඩසටහනින් පස්සෙ අපි දවල් කෑමට ගියේ පල්ලියෙන් ටිකක් දුර බැහැරකට වෙන්න තිබුණු නිවෙසකට. අලි ගැන රස කතා අසමින් ඒ ගෙවුණු කෙටි කාලය හරිම සුන්දරයි. අලින්ගෙන් කුඹුරු බේරගන්න එක කොයිතරම් දුෂ්කර වැඩක් වුණත් ඒ කතා බහේදි දැනුණු දෙයක් තමයි, එයාලට අලි එක්ක තරහක් නැති බව.

ඒ තරම් ඉඩකඩක් තියෙද්දි, වතුර තියෙද්දි ඇයි වෙනත් වගාවන් නැත්තෙ කියන ප්‍රශ්නෙට ලැබුණෙ මේ වගේ උත්තරයක්.

‘‘වඳුරන්ගෙන්, රිලවුන්ගෙන් බේරගන්න බෑ. ඒ හින්දා ගොඩක් අය එළවලු වගාව අතෑරල තියෙන්නෙ.“

කෑමෙන් පස්සෙ අතුරුපසට තිබුණෙ තල්කිරි. කාලෙකින් බිව්ව රසවත්ම තල් කිරි බඳුනක්.

............

මේ පුංචි ගම්මානයේ හතර අත කුඹුරු යායවල් වගේම, බලන බලන තැන තල් ගස්. තල් ගෙඩි ගස්යට ඔහේ වැටිලා. දකිද්දි ලෝබත් හිතෙනවා. ඒත් එයාලට තල් ගැන වගේ වගක් නැහැ. තල් එකතු කරලා අලෙවි කරන වැඩක් හරි, තල් නිෂ්පාදන වෙනුවෙන් කර්මාන්ත ශාලාවක් හරි ඒ පළාතෙ පටන්ගන්න පුළුවන් නම් ඔහේ වැටිල ගස්යටම පස්වෙලා යන තල්වලට ලොකු වටිනාකමක් ලැබෙන්න ඉඩ තියෙනවා.



.........

තවත් මං දැක්ක විශේෂම දෙයක් තමයි එහෙ සිංහල අයත් සිංහලට වඩා ලේසියෙන් කතා කරන්නෙ දෙමළ භාෂාව. සින්දුවක් කියන්න අවස්ථාව ලැබුණම තරුණ අය සිංහල සින්දුවලට වඩා බොහොම කැමැත්තෙන් කිව්වෙ දෙමළ සින්දු. බත්තලංගුණ්ඩුව නවකතාව මතක් වුණා. කල්පිටි දූපත්වල සිංහල අය වුණත් සිංහලට වඩා ලේසියෙන් කතා කළේ දෙමළ කියල එහි තැනක එනවා හරිම ලස්සනට.

කොහොමත් මේ ගමේ සිංහල, මුස්ලිම් වැඩි පිරිසකුත්, දෙමළ සුළු පිරිසකුත් ජීවත්වෙනවා. මහ සමාජයේ ජාත්‍යාලය තාමත් ඒ අයට මහ විනාශයක් කරල නැති බවයි දැනුණෙ. ඊට වඩා බරපතලයි ජීවන අරගලය. කොහොමත් ගමක් තේරුම්ගන්න නම් දවසක් මදි...

.......

ඒ උන්නු පැය කීපෙට දැනුණා ගමේ අය සිස්ටර්ස්ලට කොයිතරම් ළං වෙලාද කියල. හවස්වරුවේ විවිධ ප්‍රසංගය සහ වැඩසටහන නිමාකිරීමේ උත්සවයෙන් පස්සෙ අපි ආපහු එන්න පිටත් වෙද්දි බොහෝ අයගෙ ඇස්වල කඳුළු.




4 comments:

  1. ඔය අතරේ ලියන්නො හිටියෙ නැද්ද?

    ඔය විදියට මිනිස්සුන්ගෙ දුක සැප බලන්න යන එක ඔවුන්ට බොහොම ලොකු දෙයක්. නමුත් ආගම් පතුරුවන්න ගම්වදින මූලධර්මවාදීන් නිසා ක්‍රිස්තියානි පල්ලියෙන් කෙරෙන බොහොමයක් වැඩසටහන් වලට අපේ ගම්වලනම් තියෙන්නෙ අකමැත්තක්.

    ReplyDelete
    Replies
    1. ලේඛිකාවක් වෙන්න කැමති දුවෙක් උන්නා...

      මේ සිස්ටර්ස්ල වැඩ කරන්නෙ කතෝලික අය එක්ක විතරයි. පල්ලිය හරහා තමයි ඒ වැඩසටහන සංවිධානය වෙන්නෙ. ඒ නිසා ඒකට වෙනත් ආගම්වල විරෝධයක් එන්නෙ නැහැ. හිටිගමන් ගමකට ගිහින් පොදුවේ කරන වැඩක් නෙවෙයි. මේ වැඩසටහන්වලට අන්‍යාගමික අය එන්නෙ නැහැ.

      Delete
  2. පුත්තලමෙන් කල්පිටියෙන් එහාට ගියාම ඇත්තටම තියෙන්නේ වෙනම ලෝකයක් වගේ.. ඒ මිනිස්සුන්ගෙන් අපිට ගන්න තියෙන ලොකුම දේ තමයි සංහිඳියාව..

    ඉස්සර ඔය පැත්තේ වී වලටත් වඩා ළූණු එහෙම වැව්වා.. ඒත් ඒවාට හරි හමන් මාකට් එකක් කවදාවත් තිබ්බේ නෑ..

    ReplyDelete
  3. ග්‍රීෂ්මයේත් ලස්සන මල් පුබුදුවන්න දරන උත්සාහයන්ට බොහොම ස්තුතියි තරු අක්කේ...!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...