Thursday, September 20, 2018

‘‘සම‘‘ සමඟ පස්වසක්...



මා සහ ‘සම‘ අතර සබඳතාව ගොඩනැගෙන්නේ මට ඇති පොත් පිස්සුව නිසා මෙන්ම මංජුල ( වෙඩිවර්ධන) අයියාද නිසාය. මා ‘‘සම‘‘ වෙත කැඳවා යන්නේ මංජුල අයියාය. 2013 වසරේ මුල්භාගයේ, ඒ වන විටත් මා බත්තලංගුණ්ඩුව නව මුද්‍රණය සඳහා පොත නැවත පරිගණක ගත කරමින් සිටි අතර, සෝර්බා පරිගණක ගත කළ පිටපත පොතක් ලෙස සැකසීම සඳහා මා වෙත ලැබෙන්නේ ඒ අතරතුරය. මා ගැන කිසිවක් නොදැනම මංජුල අයියාගේ රෙකමදාරුව මත පමණක්ම එවැනි භාරදූර වැඩක් මවෙත පැවරීම ගැන සනත් අයියා, දේවිකා අක්කා, සංජීව අයියා ඇතුළු වඩිගමංගාව පවුලට ස්තූතිවන්ත විය යුතුය.

සෝර්බා පිටු සැකසීමෙන් අනතුරුව බත්තලංගුණ්ඩුවද, ඉන්පසු කඩිමුඩියේ මගේ ආදරණීය යක්ෂණීද සැකසීම සිදුවිණි. ඒ අතර සනත් අයියාගේ මේ සොඳුරු දඩබිමෙහි නවකතාවද, මරණයේ සෙවණැල්ල යට නිදාසිටි පූස් පැටියා කෙටි කතා පොතද එක්ව මුල්ම වතාවට 2013 වසරේ අප කළ පොත් සංඛ්‍යාව පහකි. එය මට අපූරුම අත්දැකීමකි.

2013 සහ 2014 වසරවල අප වෙනුවෙන් වෙන් වූ කුටියක් නොවූ අතර අපි අනෙකුත් කුටිවලට පොත් දැමුවෙමු. ඒ මුල්ම දුෂ්කර කාලයේ අප සමඟ සිටි බාසුරු මල්ලීද, ලාල් අයියාද සෙනෙහසින් සිහිපත් කළ යුතුය. ලාල් අයියා එදා සිට අද දක්වාම ‘සම‘ සහයට සිටිනා සහෝදරයෙකි.

ප්‍රභා ප්‍රකාශන කුටිය මට ගෙදර මෙන් වූයේ ඒ දවස්වලය. කුටියේ නිතර රැඳී උන් අම්මාට මෙන්ම මට ද කෑම බීම ගෙනවුත් දෙමින්, උපදෙස් දෙමින්, පොත් කතන්දර කියමින් තනි නොතනිය මැකුවේ මනෝරම මල්ලීය. ඒ බැඳීම අදටත් එලෙසින්ම පැවතීම සතුටකි.

අප මුල් වරට ‘සම‘ වෙනුවෙන් පොත් ප්‍රදර්ශනයේ කුටියක් වෙන් කරගත්තේ 2015 වසරේය. ඒ අනුව බලන විට මේ ‘සම‘ කුටිය කරන සිව්වැනි වසරය. මේ තෙවසර පුරා අපේ අසල්වැසියා වූයේ කළු රංජි අයියාගේ ‘අගහස්‘ ය. අගහස් සහ අප අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කරගනිමින් මහත් සහයෝගයෙන් කටයුතු කළෙමු. මෙවර අපේ අසල්වැසියා වන්නේ ‘අහස‘ය. ‘අගහස්‘ එම ශාලාවේම මදක් දුරකට ඇදී ගොස් ඇත. කෙසේ නමුත් මෙවර J ශාලාවේ දන්නා හඳුනන සාහිත්‍ය කුටි කිහිපයක්ම තිබීම සතුටට කරුණකි.

‘‘සම‘‘ පොත් කුටිය ඇරඹුණු දා සිට ම විදර්ශන, සන්ථව, අගහස්, අහස, සයුර, ප්‍රභා, සුභාවී, නයින් පබ්ලිකේෂන්ස්, බිසෝ, දර්ශන ඇතුළු ප්‍රකාශකයින් ගණනාවකගේ සහය අපට ලැබිණි. ‘සම‘ කුටිය වෙත පොතක් රැගෙන ආ කිසිවෙකු ආපසු හරවා නොයැවූයේයැයි සතුටු විය හැකිය. අප කෙසේ හෝ කෙනෙකු ගෙනෙන පොත්වලට ඉඩක් සාදා දෙන්නට වෙහෙස වූයෙමු. තමන්ගේ පොත හොදින් පෙනෙන තැනක තියන්නට හැමදෙනාටම උවමනා වුවත්, යම් අවස්ථාවල එය ඉටුකරදීමට නොහැකි විය.

කවි කුටිය හැරුණු විට කවි පොත් වැඩිම සංඛ්‍යාවක් අලෙවි කළ කුටියද ‘සම‘ විය යුතුය. අප කවියට දැක්වූ ඇල්ම නිසාම ‘සම‘ කුටියේ විශේෂ ඉඩක් හැමදාමත් කවි පොත් වෙනුවෙන් වෙන්විය. ළමා පොත්, පරිවර්තන මෙන්ම විවිධ සමාජ, දේශපාලන කෘති සදහාද ‘සම‘ අවකාශයේ ඉඩකඩ වෙන් විය.

මුල සිටම පොත් අලෙවියට අපට සහය වූ චතුරංග, රජිත, විරාජ් මල්ලිලා ආදරයෙන් සිහිකරමි. මේ අතර වැඩිම කාලයක් ‘සම‘ කුටියට සම්බන්ධ වූයේ රජිතය.

සුපුරුදු ලෙසින් මෙවරද, J 309 ‘‘සම‘ කුටියේ ඔබේ පොතටත් ඉඩක් ඇත. පොත් ප්‍රදර්ශනයට යනෙන අතර අපවත් බලා යන්න එන්න. නිවාඩු දින කිහිපයේ එහි රැඳී සිටීමට අදහස් කරමි.

සියලුම ‘‘සම‘‘ ප්‍රකාශන මෙන්ම 2018 රාජ්‍ය සාහිත්‍ය හොඳම ළමා පරිවර්තන ලෙස පිදුම් ලැබූ දේවිකා වඩිගමංගාව සොයුරියගේ මමයි මගේ අක්කා ක්ලාරා පොත් පෙළේ පළමුවැන්න සහ දෙවැන්නත් ‘සම‘ කුටියේ වන බව විශේෂයෙන් සඳහන් කරමි. මගේ දේශද්‍රෝහියාද එහි වනු ඇත.  


මංජුල අයියාගේ අලුත් නවකතාව ‘‘ඒ අහඹු අතීත හැන්දෑව‘‘ මෙන්ම ‘‘ශුද්ධවු ජුදාස්‘‘ නව මුද්‍රණයද J 310 ‘‘අහස‘‘ පොත් කුටියෙන් ලබා ගත හැකිය.

‘‘සම‘‘ සමඟ පැමිණි ගමනේ මට පවුලේම කෙනෙකුට මෙන් ආදරයෙන් සැලකූ සංජීව අයියාද, අනූෂා අක්කාද, අනුෂා අක්කාගේ අම්මා සහ චූටි දූ ද ආදරයෙන් සිහිපත් කළ යුතුය. ‘‘සම‘‘ සමඟ පස්වසක් ජීවිතය පොහොසත් කළ කාලයකි. බොහෝ ආදරණීයයන් හඳුනා ගත් කාලයකි. අලුත් පොත් සුවඳ සමඟ ජීවිතය අලුත් වූ කාලයකි. ඒ පිළිබඳව ‘සම‘ පවුලට මගේ ස්තූතිය හිමි වේ. ‘සම‘ සමඟ පැමිණි ගමනේ මා පිටුපස වූ ශක්තිය මංජුල අයියා බව සහෝදරාත්මකව සිහිපත් කරමි. ඔහු නොවන්නට මා ‘සම‘ පවුලේ අයකු වන්නේ නැත. 

පොත් ප්‍රදර්ශන කාලය දුෂ්කර එකක් වුවද ළබැඳියන් හමුවන, පොත් අතර කල්ගත වන ඒ දින කිහිපය වසර පුරා ආශාවෙන් බලා ඉන්නා කාලයක්ද වේ. පසුගිය සති අන්තයට පෙර සති අන්තයේ ගමේ ගොස් ආපසු එන අවස්ථාවේ මගේ පුංචි පැටවුන් ටික සිප වැළඳ ‘‘ආයෙ එන්න වෙන්නෙ ඉතින් සති තුනකට පස්සෙ‘‘ යැයි කියන විට අම්මා පැවසූයේ ‘‘ඔයාට සුබ සාහිත්‍ය මාසයක්‘‘ කියාය.

ඉතින්, අපි හැමෝටම සුබ සාහිත්‍ය මාසයක් වේවා!

Tuesday, September 11, 2018

වත්මන් කිතුනු ගීතිකාවේ දිවැසිවර ලකුණ... ගී දිවැසිය



( ගී දිවැසිය කිතුනු ගීත සංග්‍රහය සහ සංයුක්ත තැටිය එළිදැක්වීම 2018.09.15 දින සවස 3.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී ද, 2018.09.16 දින සවස 3.00 කළුතර සිරි කුරුස විදුහලේදීද පැවැත්වීමට නියමිතය. එකී ගී පොත වෙනුවෙන් ලියූ පෙරවදනයි මේ... )

ගීතය, භාෂාවේ අපූර්වත්වයද, සංගීතයද, මානව හඬද එක්තැන් වූ සුවිශේෂ කලා මාධ්‍යයකි. එය මානව සිත්සතන්හි සංවේදී හැඟීම් පුබුදුවයි. බුද්ධිමය ප්‍රභාව අවුළුවයි. වර්තමානයේ ගීතය සහ ජීවිතය වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත. අප ප්‍රවේසම් විය යුත්තේ පුද්ගල ජීවිතයට සහ සමාජ ප්‍රගමනයට අද දවසේ ගීතය කොතරම් දුරට සාධනීයව බලපාන්නේද යන්න පිළිබඳවය. වෙළඳපළ බලාධිකාරයට යටත් වූ සෙසු කලාවන් සේම අද ගීතයද මුදල සහ ජනප්‍රියත්වය පමණක් ඉලක්ක කොට ගත්, ස්වකීය ආත්මීය වටිනාකම් වූ අර්ථය, රසය, අපූර්වත්වය අහිමි කරගත් ක්ෂණික වෙළඳ භාණ්ඩ බවට පත්ව තිබීම ඛේදනීය තත්ත්වයකි.

ගීතය යම් අනතුරකට මුහුණ පා ඇත්තේ යම් සේද කිතුනු ගීතිකාවද එපමණින්ම නොවුණත් යම් තරමක අනතුරුදායක අඩියක ඇති බව පෙනෙන්නට ඇත. දෙවි පියාණන්නේ ගැඹුරු ආදරය, ක්‍රිස්තුන් වහන්සේගේ විමුක්තිදායක ජීවන දැක්ම, මරිය මෑණියන්ගේ වීර්යසම්පන්න මාතෘ භුමිකාව පසෙක තිබියදී සරල, සුන්දර හැඟුම්, පුද්ගල යාතිකාවන්, බොළඳ සංකල්පනා අද ගීතිකාවද ආක්‍රමණය කරමින් පවතින බවක් දකින්නට ඇත. කිතුනු ගීතිකාවේ ඉතිහාසය මෙන්ම එහි කාර්යභාරය පිළිබඳවද අප වඩ වඩාත් විමසිලිමත් විය යුත්තේ එහෙයිනි.

කිතුනු ගීත සහ ගීතිකා, පොදු ගීතයෙන් වෙනස් වන්නේ කෙසේදැයි යන්න විමසා බැලීමද යුගයේ අවශ්‍යතාවක් ලෙස දකිමි. ගීතය මිනිසුන් අතර වන භාවමය, බුද්ධිමය සන්නිවේදන සබඳතාවක් වන අතර, ගීතිකාව මිනිසුන් වන අප දෙවි පියාණන් සමඟ සම්බන්ධ වන අධ්‍යාත්මික ගනුදෙනුවකි. එය ගැඹුරු අධ්‍යාත්මික ප්‍රකාශනයක් විය යුතුය. එසේම මානව ජීවිතය සහ දේව රාජ්‍යය අතර වන ප්‍රේමයේ බැඳීම පුළුල් කරවන්නක් විය යුතුය. දේව දරුවන් වන අප, අපගේ පියාණන් සමඟ ඉතා හෘදයාංගමව, අව්‍යාජව සම්බන්ධ වන සංවේදී අවකාශය ගීතිකාවයි. බයිබලයේ ගීතාවලියේ එන ගීත මේ සඳහා කදිම නිදසුන්ය. අප අද දවසේ ගයන කිතුනු ගීත සහ ගීතිකාවන් කොතෙක් දුරට දේව රාජ්‍යය උදෙසා සේවය කරන්නේද යන්න විමසා බැලීම වටින්නේ එහෙයිනි. 

පොට පටළවා ගැනීම නිසා අද බිහි වන බොහෝ කිතුනු ගීත මෙන්ම ගීතිකාද යුගයේ අනුරුවක් බඳු විරහ ශෝකාලාපවල හැඩරුව ගනිමින් පැවතීම සංවේගදායකය. එය කිතුනු විශ්වාසයේ මූලික පදනම වන ප්‍රේමයේ විමුක්තිදායක අත්දැකීම සාමූහිකව බෙදා හදා ගනු වෙනුවට දෙවියන් සමඟ හුදකලා වන මමත්වයේ අත්දැකීමක් ඉස්මතු කරවන බවක් පෙනෙන්නට ඇත. සැබෑ ක්‍රිස්තියානිය සැබවින්ම බරපතල ජීවිත අභියෝගයකි. නමුත් අද බිහි වන කිතුනු ගීත ඒ ජීවිත අභියෝගය සැබෑ ලෙස ඉස්මතු කරලීම වෙනුවට හුදකලා ආත්මලාභී ගායනා බවට පත්ව ඇත. 



‘‘වරක් ගැයීම දෙවරක් යැදීමකි.‘‘

ලාංකේය කතෝලික සාහිත්‍යය පිළිබඳව හැදෑරීමේදී කන්තාරු ගායනා නැත්නම් ගීතිකා ප‍්‍රමුඛව අවධාරණයට ලක් විය යුතු ක්ෂේත‍්‍රයකි. වරක් ගැයීම දෙවරක් යැදීමක් බව කිතුනුවෝ විශ්වාස කරති. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ සුවිශේෂ ගීත සාහිත්‍යය කැරොල්, පසම් කන්තාරු ලෙසින් හඳුන්වා දෙමින් ඒ පිළිබඳ මනා විවරණයක් සිදුකොට ඇත. ඒ මහත් සාහිත පරිශ‍්‍රමය වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය එතුමා වෙත හිමි විය යුතුමය.

නත්තල් සමයේ ගැයෙන ගීතිකා අපි කැරොල් ලෙසින් හඳුන්වමු. පසම් ගායනා වන්නේ, ජේසුතුමන්ගේ දුක් ප‍්‍රාප්තිය මුල් කරගනිමින් පාස්කු සමයේ ගැයෙන විලාප ගායනාය. කන්තාරු නැත්නම් ගීතිකා ලෙසින් හැඳින්වෙන්නේ කිතුනු ජනතාව තම වත්පිළිවෙත්වලදී දෙවිඳුන්ට ස්තෝත‍්‍ර කීම සඳහා ගායනා කරන ගීතය. දෙවිඳුන්ට, ජේසුතුමන්ට, මරියතුමියට, සාන්තුවරයන්ට ගයන ගීතිකා මෙන්ම තුති පිදීම, පශ්චාත්තාපය, මරණය, විවාහය ආදී  විශේෂ අවස්ථාවලදී ගැයෙන ගීතිකාද ඇත. මෙම කිතුනු ගීතිකා පමණක්ම ගත්තද එය අතිශය රමණීය, සුවිශාල සාහිත්‍ය සම්ප්‍රදානයක් බව පැහැදිලිය.

පෘතුග‍්‍රීසි පාලන සමයේ මිෂනාරිවරුන් විසින් සිංහල බසින් යාච්ඤා සහ ගීතිකා භාවිත කළ බවට අදහස් පළ වන නමුත්, සිංහල කිතුනු ගීතිකාවේ ආරම්භය භාග්‍යවන්ත ජුසේවාස් පියතුමා වෙතින් සිදු වූ බව සැලකේ. මෙහිදී වඩාත් හෘදයාංගමව දෙවිඳුන් ඇමතීම උදෙසා තම මව්බසින් ගීතිකා ගැයීමේ වැදගත්කම අවබෝධ කොටගත් එතුමෝ හෙළ කිතුනු ගීතිකා නිර්මාණය කරලීම සඳහා විශේෂ අවධානයක් යොමු කළහ.

එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසිනි. සංගීතය කෙරෙහිද හසළ දැනුමැත්තකු වූ ගොන්සාල්වෙස් පියතුමා තමා සතු සංගීත ඥානයද මනාව හසුරුවමින් අදටත් ගැයෙන අගනා ගීතිකා රැසක් නිර්මාණය කළහ. කැරොල්, පසම්, කන්තාරු ගායනා ක්ෂේත‍්‍ර තුනටම එතුමාගේ දායකත්වය ලැබී ඇත. එතුමා විසින් රචිත ‘ආනන්ද කලිප්පුවදේශීය විරුදු, වන්නම් ශෛලියෙන් ලියන ලද ගීත 20 ක් ඇතුළත් කෘතියකි. මෙය ලෞකික සැපතෙහි නිස්සාර බවද, ජීවිතයෙහි අනියත බව ද මතු කරමින් රචිත කාව්‍යමය ගායනාය. ‘මංගල ගීතයවිවිධ ආගමික උත්සවවලදී ගායනා කරන්නට රචිත ගීත එකතුවකි. සප්තස්වර මියුරු ලෙස හැසිරවීමේ පියතුමා සතු මනා කෞශල්‍යයට එතුමා නිමැවූ ගීතිකා නිදසුන්ය. එසේම ඒවා සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ බසින්, විරිතින්, ආකෘතියෙන්ද පොහොසත්ය. අදටත් නත්තල් සමයේ ගැයෙනි ‘‘දෙවිඳු උපන්නේය සතුනි, දෙවිඳු උපන්නේය ඔහෝ‘‘ ගීතය එතුමාගේ මංගල ගීතය කෘතියෙහි එන ගීයකි.

පසන් ගායනාවල එන මෙම දේව මාතා වැලපිල්ල එතුමන් විසින් නිමැවූ මනරම් සංවේදී නිර්මාණයකි.

සුරලොවිනේ බැස මෙදිනේ - මව්කුසිනේ බිහිවෙමින්
කුඹු දෙතනේ කිරි බොමිනේ - මිණි ලෙසිනේ.. වැඩුනු තැනේ
අයියො මගේ සුර ජේසුනේ...

දිලෙන රනේ රුව ලෙසිනේ.. මල් උයනේ සිටිය දිනේ
මේ මරණේ ඔබට උනේ.. කිමද අනේ සුර ...  රජුනේ...

පසුකලෙක මනමේ නාටකය සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් තෝරා ගත් නාඩගම් ගී තනු, ගොන්සාල්වෙස් පියතුමාගේ තනු නිර්මාණවලට සමාන හැඩ රුව ඇති බව ප‍්‍රකට කරුණකි. කැරෙල්, පසම්, කන්තාරු කෘතියෙහි ලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිදසුන් සමඟ මේ සමානතාව පෙන්වා දී ඇත. අදත් දේවස්ථානවල ගැයෙන ත‍්‍රී එක සුර ජේසුනේ ගායනාවේ රිද්මය මනමේ නාටකයේ එන පවර එනිරිඳුගෙ පුත් කුමරා වෙමිගීතය තුළ දැකිය හැකිය. ‘පේ‍්‍රමයෙන් මන රංජිත වේ...ගී තනුව සිහිපත් කරනුයේ ‘‘ආරම්බෙන් පෙර නිර්මිත මනුලොව -  ආදිත්‍ය යුරු නිර්මලියේ සුරගීතිකාවය. 

මෙලෙස දේශීය ආරක් ගත් ගීතිකා සම්ප‍්‍රදායක් ජාකෝමෝ ගොන්සාල්වෙස් පියතුමා අතින් බිහි වුණද එතුමාගෙන් පසුව නැවතත් කිතුනු ගීතිකාව බටහිර දෙසට නැඹුරු විය. කිතු සමය දේශීයකරණය වීම පිළිබඳව උද්‍යෝගයෙන් කටයුතු කළ අතිගරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන් අතින් වුවද ගීතිකා නිර්මාණය වූයේ බටහිර ආරටය. කෙසේනමුත් එතුමා අපරදිග ගීතිකා හෙළ බසට නගමින්ද, ස්වතන්ත‍්‍ර ගීතිකා නිර්මාණය කරමින්ද කිතුනු ගීතිකා සාහිත්‍යයේ උන්නතියට ලබා දුන් දායකත්වය අගය කළ යුතුය.

ගරු මෝසෙස් පෙරේරා පියතුමා බයිබලයේ ගීතාවලියේ එක් එක් කොටස් තෙහිළි ගී නමින් හෙළ බසට නගා ඇත. අර්ථ සම්පන්නතාව, භාෂාවෙහි මධුර බව මෙන්ම සුගායනීය බව ද මෙම තෙහිළි ගීවල නොඅඩුව ගැබ්ව ඇත. ඒ සඳහා එක් නිදසුනකි මේ.

දුවන ලෙසට පවසෙ පෙලි පෙලී
මුවදෙන උල්දියට සුසුම් ලා
හැපෙයි මගේ දෙවියනේ
මගෙ අත් බව ඔබ මැ සොය සොයා

එතුමා පසස ගී නමින් ගීතිකා පොත් පෙළක් පළ කර ඇති අතර, ඒවා ඇදහිල්ල සවිමත් කරන ගායනා ලෙසින් මෙන්ම අතිශය නැවුම්, අරුත්බර ගේය කාව්‍ය ලෙසද අගය කළ හැකිය. අපමණ සෙත මට සැලසූ සමිඳුට, කවුරු වුවත් ඔබ කොතැන වුවත් ඔබ මගේ සහෝදරයා, ජේසුනී නිහඬ වී මදොස පුදසුනේ, දෙවන් පහන් මිණි නගා වඩිනු සුදතුනේ, මහිමේ උස් මණ්ඩලේ, සමිඳේ ඔබ ඔබේ දෙසට සෙත සැලසූවෝ එතුමා විසින් රචිත අදටත් ගැයෙන මනරම් ගීතිකාවන්ට නිදසුන්ය.
   
කිතුනු ගීතිකාවේ අපරදිග නැඹුරුව බිඳ දමමින් වඩාත් ස්වදේශීය හැඩයක් ගෙන දෙන්නට නිහඬ අරගලයක් ගෙන ගියේ නිර්මල මරිය නිකායික ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. එතුමා ඇදහිල්ල සොබාදහම හා මුසු කරමින් සරල, සිලිටි ලෙස හසුරුවන ලද මනරම් හෙළ බසින් ගීතිකා ගීත රැසක් අප වෙත දායාද කොට ඇත. සපිරි සෑම අසිරි සෝම මව් මරියේම පණ වැනී, නෙළුම් පිපීලා පෙති විසිරීලා, මගෙ ආදර හැම හැඟුමම මිණි කැට කරවා, සුවඳ සැවැන්දන කුංකුම චන්දන, ඔබයි අපේ රාණි ලක්සන ලක් රාණි... වැනි ගීතිකා නිරීක්ෂණය කිරීමේදී එතුමා කොතෙක් දුරට අප රටේ වටපිටාව, ගැමි වහර, හෙළ ලකුණ කිතු දහම තුළට ගෙන එන්නට වෑයම් කළේද යන්න පසක් වේ.



මහැදුරු සුනිල් ආරියරත්නයන් කිතුනු ගීතිකාවට කළ අභියෝගය...

‘‘අද්‍යතන ගීතිකා රචකයන් විසින් පූර්වාදර්ශ කොට ගත යුත්තේ ජාකෝමේ ගොන්සාල්වෙස්, මර්සලීන් ජයකොඩි වැනි පියවරුන්ගේ සාහිත්‍ය හා සංගීත සම්ප‍්‍රදායයන්යැයි අපට සිතේ. එහෙත් අද්‍යතන රචකයා, ජයකොඩි පියනම අද සිටින දැඩි සෞන්දර්යවාදී ආස්ථානය සමතික‍්‍රමණය කළ යුතුව තිබේ. ගැඹුරින් චිත්ත සන්තානය ආමන්ත‍්‍රණය කළ හැකි මාධ්‍යයක් ලෙස ගීතිකාව සකස් කරගතහොත් එය වඩාත් ඵලදායී සහ සජීවී ගීත විශේෂයක් බවට පත් වනු නොඅනුමානය.‘‘

කැරොල්, පසම්, කන්තාරු කෘතියෙහි එලෙස සඳහන් කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉන් නොනැවතී නත්තල් ගීතයට නව අර්ථයක් සහ නත්තලේ සැබෑ දහම් හරයට නව සමාජ අගයක් එක්කරමින් ‘‘දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූනත්තල් ගීතය ලීවේය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අද්‍යතන කිතුනු ගීතිකාවට දායක වන්නන් හමුවේ තැබූ ඒ බරපතල අභියෝගයට එදා මෙදා තුර වඩාත් ගැඹුරින් සහ උවමනාවෙන් පිළිතුරු දුන්නේ කිතුසර කණ්ඩායම බව මගේ හැඟීමය. කිතුනු ගීතිකාවට සමාජමය ගැඹුරක් එක්කරමින්, නව හැඩයක් එක්කරමින් කිතුදන පුබුදුව ඉටුකළ මෙහෙවරද මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

ක්‍රිස්තියානි විමුක්ති දැක්ම පදනම් වූ කිතුනු ගීත/ගීතිකා කලාවක් සමාජගත කිරීමේ අවශ්‍යතාව මනාව අවබෝධ කොට ගත් කිතුසර කණ්ඩායම, පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කිරීම සැබෑ ක‍්‍රිස්තියානිය බව ගෙන හැර දක්වන නව කිතුනු සාහිත්‍යයක් ගොඩනැංවීමේ දැනුවත් වැඩපිළිවෙලක නියැළෙන්නේ බොහෝ කලක සිටය. මේ හරහා නිමැවුණු ගීත, ගීතිකා මෙන්ම වෙනත් සාහිත්‍ය කෘතිද පොදු සමාජය තුළ ජනප‍්‍රිය නොවුණද ලාංකේය කිතුනු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීමට ලබා දුන් අර්ථවත් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකිය. කිතුනු ගීත ක්ෂේත්‍රයට ඔවුන් තිළිණ කළ ගී සමුච්චයද හරවත් සංවාදයක් ගොඩනගන්නකි.  

කිතුසර කණ්ඩායම මේ වන විට මුද්‍රණයෙන් පළකර ඇති ගේය කාව්‍ය සංග්‍රහ ලෙස ‘තිලැස‘, ‘විනිවිද‘, ‘තාරණ කෘති හැඳින්විය හැකිය. ‘විනිවිද‘ කෘතිය පළවූයේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙසිනි.  මෙම කෘතිවල වැඩිමනත් ගී වියමන් කිතුසර ප්‍රධාන සංස්කාරක මහින්ද නාමල් සොයුරාගෙනි. ඔහු විමුක්ති දෙව් දහමේ ආලෝකය තුළ ක‍්‍රිස්තියානි සංස්කෘතික පසුබිම, දේව ධාර්මික කාරණා මෙන්ම පොදු සමාජ කාරණා ද ආරම්මණය කොට ගත් ගේය කාව්‍ය රචනා කරන්නෙකි. මහින්ද නාමල් හුදු සාහිත්‍යමය කර්තව්‍යයක් ලෙස පමණක් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු නොවේ. පැහැදිලිවම විමුක්තිදායක කිතු සමිඳුන්ගේ ප්‍රේමය පදනම කොටගනිමින් සමාජ අරමුණක් ඉලක්ක කොට ගෙන නිර්මාණකරණයේ යෙදෙන කිතුනු ලේඛකයෙකි.

කුරුසිය කර දරා කල්වාරි කන්ද නඟින තම පුතු දෙස බලමින් මරිය මාතාව ධෛර්යය දෙන අයුරු ඔහු ගීතයට නඟා ඇත්තේ මෙලෙසිනි. ගයන්නේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසිනි.

බාලොලි ලොලි කියලා - පිදුරු ගොඩේ තියලා
නැලෙව්වා නුඹ විස්මයෙන් මම රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ දිරිය සිත මතු වේ
නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ...

කුසට නුඹ ආ දා පටන් අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් ඉන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින් නුඹේ මෙහෙවර නිම කරන්

නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලූවේ
සුවඳ ගව්සිය පැතිරෙනා බව මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසන් වන බව මම දනිමි පුතුනේ
කඳුළු කුමටද මයෙ පුතේ බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින් නුඹේ මෙහෙවර නිම කරන්

මේ ගී මඟ ගත් තවත් නූතන ලේඛකයන් අතර මංජුල වෙඩිවර්ධන, වියානි ටෙන්සින්, අජිත් හැඩ්ලි පෙරේරා ඇතුළු පිරිසක් වෙත්. අමරසිරි පීරිස් ගයන මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මග්දලාවේ මරියනීකිතු සමය මෙන්ම බොදු දහමද ඇසුරු කරමින් පීඩිත ගැහැනිය පිළිබඳව ලියූ අපූරු ගීතයකි. එසේම නාමල් ජයසිංහ විසින් රචිත ‘අප්පච්චිටෙලි නාට්‍යෙය් එන කසුන් කල්හාර ගයන‘ නාසරතයේ සහෝදරයා ... සත්‍යයේ පූජාවට නුඹේ කාලේ නුඹ දැරූ... එවැනි කුරුස තව තියෙනවා‘‘ ගීතයද විකල්ප ධාරාවේ කිතුනු ගී අතරට එක් කළ හැකියැයි සිතමි. 

ජේසු උපත අසා බියට පත් හෙරොද් රජු ජුදයේ පිරිමි දරුවන් මරා දැමීම වියානි ටෙන්සින් නත්තල් ගීතයක් ලෙසින් ලියා දක්වන්නේ මෙලෙසිනි. මෙය එතෙක් පැවති සොබාදහමේ සුන්දරත්වය හා මුසු වූ විචිත‍්‍ර නත්තල විනිවිද සැබෑ නත්තල් අත්දැකීමට සමීප වන්නට දැරූ උත්සාහයකි.

ඝනදුර කුටියම වට කරගත්තා
කුර හඬ ළංවී සවනට ඇසුණා
දඩ බල්ලන් කිරි දරුවන් මැරුවා
ජුදයේ මව්වරු විලාප නැගුවා
සියලූ ලෙසින් බල වියරු වෙලා රජුනේ
සිහසුන නොවෙදෝ සේදුවෙ අසිපත රුහිරේ

නත්තල් සීයා ගැන අජිත් හැඩ්ලි ලියූ ගීයක කොටසකි මේ.

ඉස්සර නම් සීයා අපටයි දුන්නේ
දැන් නත්තල් සීයා අපෙනුයි ගන්නේ
සේල් සේල් සේල් කියා හිනාපාන්නේ
ඒ ගැටේට අහුවුණාම කොකා පාන්නේ

මීට අමතරව ජනප‍්‍රිය ධාරාව තුළද කිතුනු ගීතය ගමන් කරන බවට සලකුණු ඇත. සංගීතවේදී රූකාන්ත ගුණතිලක විසින්ද වඩාත් ජනාදරයට පත් කිතුනු ගීත කිහිපයක්ම නිර්මාණය කර ඇත. මෑත කාලයේ විද්‍යුත් මාධ්‍ය ජාලාද නත්තල් ගීත නිර්මාණය කර ප‍්‍රචාරය කරන බව පෙනේ. නමුත් මාධ්‍ය හරහා මෙලෙස ජනප්‍රියත්වයට පත් වන ගීත, ගීතිකා කොතරම් දුරට කිතුනු ප්‍රේමයේ සැබෑ ගැඹුර මතුකරන්නේදැයි යන්න ගැටලුවකි.

‘ගී දිවැසිය‘ අද්‍යතන කිතුනු ගීතයේ දිවැසිවර ලකුණ...

ක්‍රිස්තියානිකම අප වෙත උරුම වන්නේම ත්‍රිවිධ කාර්යභාරයක් පවරමිනි. ඒ රාජකීය, පූජක, දිවැසිවර වගකීමයි. දේව කැමැත්ත ජනතාව වෙත දන්වමින් දේව රාජ්‍යය උදාකරලීම උදෙසා සක්‍රීයව දායකවීමට ජනතාව පෙළගැස්වීම දිවැසිවරයාගේ වගකීම වේ. එම දිවැසිවර කාර්යය වඩාත් ශක්තිමත්ව ඉටුකරලීම උදෙසා ගීතය දායක කරගැනීමේ අරමුණින් එළිදක්වන ‘ගී දිවැසිය‘ කිතුසර කණ්ඩායමේ නවතම ගීත එකතුව, කිතුනු ගීතය සම්බන්ධව අප වඩාත් පුළුල් අත්දැකීමකට සහ ගැඹුරු මෙනෙහිකිරීමකට, අරුත්බර සංවාදයකට යොමු කරවන ගේය පද සංගායනාවක් බව මගේ හැඟීමයි.  

එහි පළමු ගීතිකාව වෙන්වන්නේ ශුද්ධාත්ම නැමදුමටය. සාම්ප්‍රදායික ආමන්ත්‍රණයෙන් බැහැරව මෙහිදී ශුද්ධාත්මයාණන් වහන්සේ අමතන්නේ ‘ප්‍රාණයාණනී‘ යනුවෙනි. ‘පණ දෙන්නා, ජීවය දෙන්නා යන අරුතින් ප්‍රාණයාණනී යන ඇමතුම අර්ථ සම්පන්න නැවුම් හැඟුමක් ඇති කරයි. අපගේ මැරුණු ඇදහිල්ලට පණ දෙන්න යැයි ශුද්ධාත්මයාණන් වහන්සේට කරන අයැදුම, සමස්ත ගීතාවලියේ අරුත එක් මිටකට ගත්තාක් බඳුය.  එය ගී එකතුවට එක්කරනුයේ මහා ජීව ගුණයකි.

ප්‍රාණයාණනී
අපේ මැරුණු ඇදහිල්ලට
පණ පොවන්න පණ පොවන්න
ප්‍රාණයාණනී...

අපගේ ජීවිත කැඳවීම පිළිබඳව නැවත මෙනෙහි කිරීමක් සමඟින්ම, අලුත් අහසක් අලුත් පොළවක් පිළිබඳව දේව කැමැත්ත ඉටුකරන්නට කැප වීම අපගේ වගකීම වන බව සිහිපත් කරන ගීත කිහිපයක්ම මෙහි ඇතුළත්ය. ඒ අතර ‘‘මිනිසෙක් අවැසියි දෙවිඳුන්ට යවන්න එතුමා වෙනුවෙන්‘‘ ගීතය, ‘වන්නට කැමතිද ඒ මිනිසා ඔබ, වන්නට කැමතිද ඒ ගැහැනිය ඔබ?‘ යනුවෙන් අපෙන් විමසනුයේ අපගේ හෘද සාක්ෂිය  අවදිකරන්නට ඇරයුමක් සමගිනි. මතුපිට ඇදහිල්ලට පමණක් සීමා වූ කිතුනුවකු නොවී කුරුසියේ මඟ යන්නට මේ කරන ඇරයුම කොතරම් අභියෝගාත්මකද?
අද දවසේ ජේසු නමින් මහින්ද නාමල් විසින් රචිත මේ ගී පද රචනාව, සැබෑ ක්‍රිස්තු අත්දැකීමට සාංඝික වෙමින් කාලීන මානව පැවැත්ම හා බද්ධව ජීවත් වන්නට අපගේ හද, මනස පුබුදුවා ලන්නකි.

ඇණ ගසා කුරුසියේ සතපවා ගල්ලෙනේ
මකන්නට ඉතිහාසයෙන් නොහැකි වූ මිනිසාණනේ
ඊයෙ වගේ අදත්... අද වගේ හෙටත්
ආනුභාවය දෙමින්... අනුප‍්‍රාණය වෙමින්
ඔබ හිඳී... ඔබ හිඳී...
අලූත් අහසක් අලූත් පොළවක්
පතන මිනිසුන් හදවතේ...

දෙවන ගී පද පේළිය පවසන්නේ අද දවසේ ජේසු හමුවිය හැක්කේ අන්ධ බැතිය තුළ නොවන බවය. පීඩිත ජන දිවි අරගලය සමඟ ජීවත්වන ගැහැනුන්, මිනිසුන් තුළ අද දවසේ ජේසු හමුවිය හැකි බවය. හමුවිය යුතු බවය.

වහළෙක්ව දිවි ගෙවන - පිපාසෙන් පණ අදින
කුසගිනිව මිය ඇදෙන කුරා කුහුඹු මිනිසා.... තුළයි කිතු සමිඳා...
යුක්තියට පවසින් පෙළෙන - සත්‍යයට දිවියත් පුදන
ආත්මය පාවා නොදෙන - දිරිය ඇති මිනිසා......
තුළයි කිතු සමිඳා...

අපගේ කිතුනු ගීත/ගීතිකා තුළ මරිය මව්තුමියගේ සැබෑ ජීවන අත්දැකීම කොතරම් දුරට පිළිබිඹු වන්නේද යන්න ගැටලුවකි. සොබාදහම තුළ රැජිණියක් ලෙස උත්කර්ශයට නගන ඈ, දෙව් පුතුට උපත දුන් කන්‍යාවිය ලෙස වර්ණනාවට පාත්‍ර වන ඈ විමුක්තිදායක විප්ලවයකට මාතෘත්වය දුන් ධෛර්යවන්ත ගැහැනියක ලෙස දකින්නේ කොතරම් අල්පවද? විශ්වයේ අම්මා ලෙසින් මරිය මව්තුමිය හඳුන්වන ගීතය අපට සිහි කරනුයේ සොබාදමේ රැජිණිය ලෙස ඈ පිළිගන්නේ නම් අප පරිසරය සුරැකීමට කොතරම් කැපවිය යුතුද යන්නයි.

අතුරුදන් වූ, මරා දැමුණු තම දරුවන් සම්බන්ධයෙන් හඬා වැළපෙන දමිළ අම්මාවරුන්ගේ යාතිකාවක් ලෙස ගැයෙන ‘‘මරුද මඩු අම්මේ‘‘ ගීතය නෙත කඳුළක් මතු කරවන තරම් ප්‍රබල පද ගැළපුමකි. විශේෂයෙන් මඩු දේවස්ථානය වැඳ පුදා ගැනීමට යතත්, මරඳ මඩු දේවමාතාවන් කෙරෙහි උතුරා යන භක්තියක් ඇතත්, උතුරු නැගෙනහිර අම්මාවරුන්ගේ කඳුළු කෙරෙහි අසංවේදී වන දකුණේ ජනතාවගේ හෘද සාක්ෂිය මත මෙම ගීතය පතිත වනු ඇත්තේ අකුණු සරයක් ලෙසිනි.

මරුද මඩු අම්මේ
සමාවුව මැන අපේ යැදුමට
මරුද මඩු අම්මේ
අහිමි වු දා ඔබට ඔබේ පුතු
සිරුර ලැබුනා වැළඳ ගන්නට
සොහොන් ගැබකුත් සතපවන්නට
අපිට අම්මේ ඒ ටිකත් නෑ
කඳුළු විතරයි සුසුම් විතරයි
ඉන්නවද අපේ දරුවෝ....  ඉන්නවද අපේ සැමියෝ
කියාදෙනු මැන අම්මේ.... සොයාදෙනු මැන අම්මේ

අපේ දහඩිය වැටුනු පොළවේ
අපේ කුඹුරේ අපේ වෙරළේ
අපිට අයිතිය නෑ
ලබාදෙනු මැන අම්මේ - අපේ ජීවිතේ අම්මේ

අපේ නෑසියෝ නිදන පොළවේ
කුරුසියක් සිටුවන්න තවමත්
අපිට අයිතිය නෑ
ලබාදෙනු මැන අම්මේ - අපේ අයිතිය අම්මේ

කාලීන සමාජ ප්‍රශ්න කිතුනු ගීතයට පසුබිම් කරගනිමින් ඒ හරහා සමාජය ආමන්ත්‍රණය කරන්නට උත්සාහ දරන අවස්ථා මේ ගී එකතුව තුළ සුලබ දසුනකි. උක්ත මරුද මඩු අම්මේ ගීතයද එක් නිදසුනකි.

ධනවාදයට උගස් තැබුණු සමාජ ක්‍රමය තුළ පවුලක ශක්තිවන්ත බැඳීම්,  අනෝන්‍ය අවබෝධයෙන් යුතු මව්පිය දූ දරු සබඳතා වියැකී යමින් පවතී. ‘මව්පිය යැදුම‘ ගීතය අපට සිහිපත් කරන්නේ මව්පියන් ඇඹුල් මිදි කෑවොත් දරුවන්ගේ දත් හිරි වැටෙනු ඇත යන්නය. පවුල් දිවියේ අරුත සහ සිරිතට ගරු කරමින් දරුවන්ගේ ජීවිත ගොඩනැගීමට ප්‍රමුඛත්වය දෙමින් කැප විය යුතු බව අඟවන්නට බයිබලීය කියමන් සමඟින්  රචිත අපූරු ගීතයකි ඒ.  

තේ වතු, රබර් වතු අස්සේ දියවෙන ජීවිත පිළිබඳ ඛේදවාචකය ගෙනෙන්නේ ජේසු සාමිට යැදුමක් ගීතයෙනි.

අපේ කඳුළු වගුරා
රබර් කිරට හරවා
අපේ රුහිරු හෙළලා
තේ ලේ පැහැ ගන්වා
රන් කහවනු මේ දේශෙට දුන්නා
විනිමය උපයා රට ගොඩනැගුවා
ජේසු සාමි ඔබ ඒ බව දන්නවා
දෙව් ස්වරූපය අපටත් තියෙනවා...

බයිබලීය අත්දැකීම් අද දවසට ගළපමින් රචිත ගායනාද, දේව මැවිල්ල උත්කර්ෂයට නඟමින් ඒ තුළ මානව වගකීම ඉස්මතු කරවන ගීතද, දේව රාජ්‍යය උදාකරලීම සඳහා අපගේ කාර්යභාරය යළි යළි සිහිගන්වන ගීතද මෙහි ඇතුළත්ය. බයිබලීය විමුක්ති ඉතිහාසයේ අත්දැකීම අද දවසේ සමාජය කියවා ගැනීමට කොතරම් ආලෝකයක් ලබා දෙන්නේද යන්න ඉතාම පැහැදිලිය. අපගේ කිතුනු ලේඛකයන් කොතෙක් දුරට එකී විමුක්ති දැක්ම තම නිර්මාණ සඳහා පාදක කරගන්නේද යන්න ගැටලුවකි. 

අර්ථ රසයෙන් සහ අපූර්වත්වයෙන් නොඅඩු ගී දිවැසිය ගී කළඹ අප හදවත් සංවේදී කරවමින්, ප්‍රඥාසම්පන්න කරවීමට සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනු ඇති බව නොඅනුමානය. ස්වර්ගීය කැඳවුමට පිළිතුරු දෙමින් සමාජ ප්‍රගමනය උදෙසා දායක වීමට ගී දිවැසිය ගීතාවලිය අපගේ කිතුනු ජීවිතයට අභියෝග කරනු ඇත.

අලුත් අහසක්, අලුත් පොළවක් පිළිබඳ දේව අභිමතය යථාර්ථයක් වනු සඳහා දිවැසිවර කැඳවීමෙහි කැපවන්නට  මේ ගී කළඹ පන්නරයක් වේවා!

තරංගනී රෙසිකා ප්‍රනාන්දු




Friday, September 7, 2018

‘‘කවිය ජීවිතය වගේ වුණාම රිදි රිදී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන්.’’





‘‘ඇගේ පොතේ සියලූම කවි මැනවින් තෝරා හැඩගන්වා ඇත.
ඇය ගැහැනියකි.
ඇගේ කවි ද ගැහැනු කවි ය.’’
- රසිකා ගුණවර්ධන

සැප්තැම්බර් 07 වන දින සවස 3.30ට, කොළඹ පදනම් ආයතනයේදී එළිදකින්නට නියමිත තුෂාරිකා ඇන්තනී කිවිඳියගේ ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ කාව්‍ය කෘතියට පෙරවදනක් සපයන රසිකා ගුණවර්ධන තුෂාරිකාගේ කවිය හඳුන්වා දෙන්නේ එලෙසිනි. සයිබර් අවකාශය තුළ මෙන්ම පුවත්පත්, සඟරා තුළද තම කවියට ඉඩහසර පාදා ගත් කවි කිවිඳියන් අතර මනා සංයමයකින් අකුරු කළ කිවිඳියක වූ තුෂාරිකා දිගු කාලයක් පුරා තම කවියට නිදහසේ හැදෙන්නට, වැඩෙන්නට ඉඩහැර දැන් ඒ කවි මුද්‍රිත කෘතියක්ව රසික පර්ශද් වෙත ගෙනෙන්නට පෙරුම් පුරන්නීය. මේ තුෂාරිකාගේ කවිය සම්බන්ධව ඈ සමඟ කළ සංවාදයකි. 

‘‘මුහුදක වතුර ළඟ තියන්
රේල් පාරක් පිච්චෙන තරම්...
1.         මේ ඔබ ලියූ කෙටි කවියක්. ඇයි ඔබ කවි ලියන්නෙ?

සතුට, වේදනාව වගේ එකී නොකී හැඟීම් මතු වුණ වෙලාවට ඒවා හිත තුළම තෙරපාගෙන ඉද්දි හරි අපහසුවක් දැනෙනවා, ඒවා වචන බවට පෙරළලා මගේ හිත නිදහස් කරගන්නකම්ම. ඒ වගේ අවස්ථාවල ඉතින් කවි ලියනවා. ඒ ලියවිල්ලෙන් ආයෙම හිත පාරගන්නවා තමයි. ඒක වෙනම කතාවක්. ඒත් කවි කියවීම හා ලිවීම ජීවිතය වගේ වුණාම රිදි රිදී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. කවිය ඉතින් හරියට ඈඳිලා තියෙනවා ජීවිතයට.



‘‘කවියකින් පේව සැතකින් පාරවයි හද
යළිත් මිහිරකි අනික් පදයෙදි ඍතු මාරුවෙන
2.         අපි ඔබ කිවිඳියක් විදියට හඳුනාගන්නෙ සයිබර් අවකාශයෙන්. නමුත් කවිය සමඟ වන ඔබේ ගනුදෙනුවට ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති, ඒ ගැන සිහිපත් කරමු.?

පාසල් කාලෙදි නම් කෙටි කතා ලියන්නයි මම කැමති. උසස් පෙළින් පස්සෙ ගෙදර ඉන්න කාලෙදී නම් යම් යම් කවි වගේ දේවල් ලිව්වා. හැබැයි ඒක දිගටම කළේ නැහැ. මට හිතුන වෙලාවට විතරයි. ඒ අතර කුඩා කවි හා කෙටිකතා තිබුණා. මගේ තාත්තා නිසා ගෙදර හරි කලාකාමී ගතියක් නම් නිතර තිබුණා. ඔහු සංගීතයට ලැදි අහිංසක මනුස්සයෙක්. ඒවයිනුත් පොඩි ආභාෂයක් ලැබෙන්නට ඇති සාහිත්‍යය, ගීතය, කවිය ගැන උනන්දු වෙන්න.


‘‘පුපුරපු ගල් බෝරයට
ජීවිතය නොදී
පර්වතය සිටියි තව දිනයක්...
3.         සයිබරයේ කාව්‍යාවකාශය තුළ සැරිසැරුම ඔබේ කවියට ලබා දුන් පන්නරය කෙබඳුද?

සයිබරයේ කාව්‍යාවකාශය හරි ඉක්මනට ප‍්‍රතිචාර ලබන්නට පුලූවන් අවකාශයක්. ඒ වගේම හොඳ කවි කියවන්න ලැබෙන තැනක්. බොහෝ දක්ෂ අයගෙ නිර්මාණ දැක ගන්න ලැබෙනව වගේම හොඳ සංවාද පවා දකින්නට ලැබෙනවා සාහිත්‍ය ලියවිලි සම්බන්ධයෙන්. ඇත්තටම මගේ කවිවලටත් එතන යම් වේදිකාවක් වුණා. මම ලියන කවි සයිබරයෙ පල කිරීම තුළින් මට හුඟක් ආදරණීය ප‍්‍රතිචාර ලැබිලා තියෙනව. දිරිගන්වන සුලූ ඒ හැම අකුරකටම ආදරෙයි කියලා තමයි කියන්න  ඕන.

විශේෂයෙන්ම සයිබරයේ දී සමර විජේසිංහ සහ රසිකා ගුණවර්ධන යන මනුස්සයන් දෙන්නා මුණ ගැසීම තමා සිදුවූ ලස්සනම සිද්ධිය. ඒ දෙන්නට කුඩා හෝ විසල් කවි නෑ. හැම කවියක්ම ලස්සන කවි වගේ පෙණුනා, කවුරු හෝ ලියන්නට උනන්දු නම් ඒ දේවල්වලට බලපත‍්‍ර හිමි අයෙක් විය යුතු වගට විශ්වාස නොකරපු දෙන්නෙක්.  ඕනම කෙනෙක්ට කැමති විදිහකට හැඟීම්  කියාගන්න නිදහස තියෙන වග විශ්වාස කරපු නිසා අපි වගේ අයව නිතර දයාබර නෝක්කඩුවලින් ඉස්සරහට තල්ලූ කරපු දෙන්නෙක්. ඒ විස්තර කියන්න පුළුවන්  ඕන තරම්.  ඒත් උත්තරය දිග වැඩි නිසා නවත්තන්නම් ඒ දෙන්න ගැන කීම.  ඒ වගේම තව ඉතා ප‍්‍රවීණ කවියන් පවා සයිබරයෙදි හමු වුණා, ‘කවියසරල විදිහට නොගෙන බරපතල විදිහට සැරිසරන්න  ඕන තැනක් වග කියා දුන්න. නිතර අභ්‍යාස කරමින් වගකීමකින් මේ දෙය කළ යුතු බවට අදහස් ඔලූව මත තැබුව. ඒ අතරෙ කාංචනා, උපේක්ෂා, අනිල් සහ තව නම් විදිහට කියන්න බැරි තරම් කට්ටියක් ඉන්නවා නිතර දිරියක් වුණ. කවි අගය කළ කැටපත් පවුර, වළාකුළු අතර, බූන්දිය වැනි අවකාශ අමතක කරන්නත් බෑ.


‘‘නිතරම වැස්සොතින් නිතරම
ඉඳහිට වැස්සොතින් ඉඳහිට
උතුරා යන්න නියමිත
ගංඟාව මෙනි ඔබ...
4.         ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ මේ ඔබේ පළමු කවි පොත. සමකාලීන කවි කිවිඳියන් එකපෙළට කවි පොත් කරද්දි, ඔබ මුද්‍රිත මාධ්‍යයට පිවිසෙන්න දීර්ඝ කාලයක් ගන්නවා. ඒ ඇයි කියන්න පුළුවන්ද?

ඒකට නම් කියන්න තරම් විශේෂ හේතුවක් නෑ. ඒ අයට හිතෙන්න ඇති එහෙම කරන්න. මට හිතුනෙ නෑ මීට කලින් කවි පොතක් කරන්න. කොහොමත් මගේ දිගුකාලීන සැලසුම් නෑ මොනම දේකදිවත්. මේ වෙලාව හොඳයි කියලා හිතුණොත් ඒ දේ කරනවා. ඉතින් දැන් කවි පොතක් කළොත් හොඳයි කියලා මට හිතුණා.

‘‘වසර ගණනකට පසුව
අපට අප හමුවිය හැකිද
දුරක ගොස් සිට නොව
එකම වහළක සෙවණේ වුව
5.         ඔබේ කවි පොතේ කවි අතර ගේහසිත පේ‍්‍රමය වැඩි ඉඩක් ගන්නා බව පේනවා. මවක්, බිරිඳක්, ගෘහණියක් කියන භුමිකා සමඟ ස්ත‍්‍රී කාව්‍යාත්මයක ගනුදෙනුව ඔබ දකින්නෙ කොහොමද?

ඒක නම් බොහොම පරෙස්සමට උත්තර දෙන්නත්, කැමැත්තෙන් උත්තර දෙන්නත් පුලූවන් ප‍්‍රශ්නයක්. තේ හදද්දි, බතට වතුර ඇද්ද කියලා ඇස් දෙකෙන් මනිද්දි,  ළමයින්ට කෑම පෙට්ටියට දමද්දි, ඒ අය නොපෙනී යනකන් අත වනද්දි, කෑම කෑවද කියලා අහන්න සැමියාට ටෙලිපෝන් කරද්දි, ඒ කී නොකී හැම වෙලාවකම බොහෝ කවි නිමිති පහළ වෙනවා. කාව්‍යාත්මයක ගනුදෙනුවක් සිද්ධ වෙනවා.

මමත් මේ භූමිකාව කරන සාමාන්‍ය ගැහැණියක්. ඉතින් ගෘහණියක කියන භූමිකාවෙදි පෙනී නොපෙනී යන හදිසි කවි බීජ වෙනම තැන්පත් කර ගන්න තැනක් හදා ගන්න වෙනවා. මොකද ඒ ගෙදර දොර හා කාර්යාලයේ කටයුතු අතර ජීවිතය ගෙවෙද්දී කවි ලියනා නිසා. ඒක ඉතින් විශේෂ අමතර වීර්යයකින් කළයුතු කාරණාවක් වෙන අවස්ථාත් නැත්තෙ නෑ.

සංවාද සටහන - තරුරසී ප‍්‍රනාන්දු (දිනමිණ පුවත්පතේ පළ විය. )