Tuesday, January 30, 2018

70 දශකයේ පොඩි මල්ලි ඇවිත්...

( කරළියෙන් එපිට කතා )
පරාක්‍රම මහතා සභාව අමතමින් - සේයා රුව ලාල් ලක්ෂ්මන්

27 සෙනසුරාදා සවස වෙලාව දෙකට විතර ඇති. මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ  ලාල් අයියයි, මමයි දේශද්‍රෝහියා කතාබහට ලකලෑස්ති වෙමින් පෝස්ටර් වගයක් එල්ලමින් උන්නෙ. ශාලාවෙ දොරටුව විවෘත වෙලා ඇතුළට පැමිණි පුද්ගලයා මම සැනෙකින් අඳුනගත්තා. ඒත් මේ එයාමයි කියල හිතන්න හිත පෙළඹුණේ නැහැ. ඒක වෙන්න බැරි දෙයක් කියල දැනන් උන්න නිසා. ඔහු ඉන්නෙ බොහෝ දුර බැහැර. අනික මං විශේෂයෙන් ආරාධනයක් කරලත් නැහැ. ‘වෙන කෙනෙක් වෙන්න ඇති.‘ කියල හිතමින් මම පෝස්ටර් වැඩේම එල්ලිලා උන්නා.

ඒ අතර ඔහු හෙමිහිට මා අසලටම පැමිණියා. මම සිනාවකින් ඔහුව පිළිගත්තා.

‘මට කම්මැල්ලවීර තමයි මේ වැඩේ ගැන කිව්වෙ. විමුක්ති ක්‍රිස්තියානි දැක්මක් තියෙන නවකතාවක් කියල. ඒ ගැන මගෙත් උනන්දුවක් තියෙන නිසා වැඩේට සහභාගි වෙන්න හිතුණා.‘‘

ඔහු ඉතාම හෙමිහිට වචනයෙන් වචනය ඇමිණුවා.

‘‘මේ මහත්තයා...?‘‘ සාංකා සිත නිරවුල් කරගන්න මම තාවර වෙමින් ඉද්දි,

‘‘මම පරාක්‍රම කොඩිතුවක්කු. ඔයාද ඕතර්‘‘ ඔහු මගෙන් ඇහුවා. අප්පච්චියේ මාව උස්සල පොළවෙ ගැහූ ගාණයි. ඔහු බව හිතුවත් ඒ බව පිළිගන්න හිත මැලි වෙමින් තිබුණෙ ඒ මොහොතේ 70 දශකයේ විශිෂ්ට කවියා මගේ මේ ආධුනික වැඩේදි දකින්න කොහෙත්ම බලාපොරොත්තුවක් නොතිබුණ නිසා. ඉතින් ඉක්මණින්ම ඔහුව වාඩි කරල මමත් ළඟින් වාඩි වෙලා කතා බහ කළා.

පරාක්‍රම කොඩිතුවක්කු කවියා කොළඹ කිට්ටුව පදිංචියට ඇවිත්. අවුරුදු 15 කට පස්සෙයි මේ කොළඹ සාහිත්‍ය කටයුත්තකට සහභාගි වෙන්නෙ  කියල ඔහු කිව්වා. පොතක් ගන්න තියෙනවද ඇහුවම මම ඉක්මණින් පොතක් අත්සන් කරල ඔහු අත තිබ්බා. කොයිතරම් ප්‍රතික්ෂේප කළත්  බලෙන්ම මා අත මුදල් තැබුවා. ‘‘එහෙම හොඳ නෑනෙ කියමින්.‘‘

මං වැඩවල යෙදිලා ඉන්න අතර ඔහු පොත කියවන බව මා දැක්කා. ලද අවසරයකදි,

‘‘මම මේ පිටු දෙක තුනක් කියෙව්වා. භාෂාව හරිම ලස්සනට හසුරුවල තියෙනවා. කවි බසක් තියෙන්නෙ.‘‘ ඔහු කිව්වා. දෙයියනේ ඉතින් එහෙම කිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු කවියා නේද කියල මට හිතුණා.

මූලික කතාව සහ සංවාද මණ්ඩපයේ කෙටි අදහස් දැක්වීම් අවසානයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාත් කතා කළා. ඔහු දැක්වූ අදහස් මගේ මතකයට අනුව මෙහෙමයි. ( මගේ අවාසනාවට ඒ වෙද්දි රෙකෝඩරය ඕෆ් වෙලා කතාව පටිගත වෙලා නැහැ. )

පරාක්‍රම මහතා සභාව අමතමින් - සේයා රුව ලාල් ලක්ෂ්මන්

‘‘අවුරුදු පහළොවකට පස්සෙ මම මේ කොළඹ සාහිත්‍ය වැඩකට ආවෙ. මහපොලවෙ වැඩ කරන අය බොහොම අව්‍යාජව කතා කරන බව දැනුණා. ගොඩක් සතුටුයි මේ කතා බහට සම්බන්ධ වෙන්න ලැබුණට.

මගේ තාත්තා බෞද්ධ. අම්මා කතෝලික. තාත්තා මාව අම්මට හොරෙන් පන්සල් එක්ක ගියා. තාත්තා නැති වෙලාවට අම්මා මාව පල්ලියට අරන් ගියා. තාත්තා බීල ආවම මගේ බෙල්ලෙ එල්ලල තිබ්බා බොරලික්කම්, මාල කඩල දාලා අම්මටත් ගහල රණ්ඩු කළා. මේ හින්දා ඒ පුංචි කාලෙම මම ඉල්ලුවෙ එක දෙයයි ‘අනේ මාව මේ බුදුන්ගෙනුයි, ජේසුගෙනුයි බේරල දෙන්න කියල.

මේ සාකච්ඡාවට සහාභාගි වුණ කාන්තාවො හැමෝම වැඩවල යෙදිලා ඉන්න අය. ඒ බව එයාලගෙ කතා බහෙන්ම පෙනුණා. ඒ කතා හරිම නිර්ව්‍යාජයි. ගෑනු අය මෙහෙම සමාජය එක්ක වැඩ කරන එක බොහොම හොඳ දෙයක්. මං කාලෙකින් මේ වගේ කාන්තා සහභාගිත්වයක් දැක්කෙ.‘‘

මීට අමතරව පරාක්‍රම මහත්තයා  දැක්වූ අදහස් මට අමතක වුණා නම් එදා සංවාදයට සහභාගි වූ අය එකතු කරන්න. මා ලියූ දේවල් නිවැරදි කරන්න ඇත්නම් එයටත් අවස්ථාව තියෙනවා. 

ඔහුගේ අලුත්ම කවි පොත, ළඟ ඇති මුත් තාම කියවන්න නොහැකිවුණ..

Thursday, January 25, 2018

දේශද්‍රෝහියාගේ හෘදය හා පුජකයෙකුගේ හෘදය (ආත්ම විවරණයක්)



මා දන්නා තරමින්  මිනිස් හදවතක් සාර්ථකව විවෘත කළ හැක්කේ  හදවත් සැත්කම් කරන ශල්‍ය  වෛද්‍යතුමෙකුට පමණකි. තරංගි අක්කා (පුරුදු ලෙසම ඈ අමතන්නට අවසර!) කිනම් ආකාරයේ වෛද්‍යවරියක්ද? ඇය  දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය  මා ඉදිරියේ විවෘත කර ඇත. පොත කියවා හමාර කළද මම බොහෝ වෙලාවක් ඒ දෙස නිසලව බලා සිටියෙමි. ඒ දේශද්‍රෝහියාගේ නිර්මල හදවත, නිර්මල මරිය නිකායිකයෙකුගේ (එතරම් නිර්මල නොවූ) හදවත හා සංවාදයක් අරඹා ඇති සෙයකි. මම නිහඬවම අසා සිටියෙමි.

විමුක්ති දේව ධර්මය යනු වත්මන් ශ්‍රි ලාංකීය කිතුනු සභාව තුළ ඉතා දැඩිව සහ පුළුල්ව මුල් ඇදගත් දේව ධාර්මික කතිකාවතක් නොවේ. හැත්තෑව දශකයේ සහ යුද්ධය ඇරඹි මුල් සමයේ මීට වඩා පුළුල් ලෙස එය සාකච්චාවට සහ භාවිතයට බඳුන් වූ බව මා අසා ඇත. එනමුදු එහි වටිනාකම සහ අවශ්‍යතාවය අදටත් අප රටට වලංගු බවයි මගේ නම් හැඟීම.  එම ධාර්මීක ජානරය ගැඹුරින් අධ්‍යනය කළ ඇලෝයි පිරිස් පියතුමන්, මහින්ද නාමල් සොයුරු වැනි කිහිප දෙනෙකු හෝ තවමත් අප අතර ජීවත් වීම සැබවින්ම භාග්‍යයකි. එවැනි සොඳුරු “දහම් පාසැලක” ඇසුරක්‌ නොලැබුනේ නම්, තරංගි අක්කාගේ අතින් මෙම නව කතාව  නොලියවෙන්නට ඉඩ තිබුණි.

ඉතින් මා නම්, අන් කිසිවකටත් වඩා නව කතාවෙන් අල්ලා ගන්නට තැත් කළේ එම දේව ධාර්මීක යටි පෙළයි. කතෝලික සභාව හුදෙක් ආයතනයක් (institute) ලෙස ලඝු කළ නොහැක. නමුත් ක්‍රි. ව. 313න් පසු, රෝම අධිරාජ්‍යය තුළ  ආගම, රාජ්‍ය යාන්ත්‍රනයේම කොටසක් වූවායින් ඉක්බිති,  ආයතනික ගති ලක්ෂණ ඕනෑවටත් වඩා එතුළට රිංගා ගත්තේය. එදා සිට අද දක්වා, සැබෑ ක්‍රිස්තු ධර්මයේ ආධ්‍යාත්මය පසෙක ලා, ආයතනය පමණක් රැක ගැනීමේ පුහු ප්‍රයත්නයන් කිතුනු සභාව තුළ දක්නට ඇති බව නොරහසකි. එම  දේව විරෝධී ක්‍රියාවලියට මාද අඩු වැඩි වශයෙන් සහභාගී වූ බව මාගේ හෘද සාක්ෂිය අදටද මට අවලාද කියයි. (මාගේ හෘදය එතරම් නිර්මල නොවන බව මා මුලින් කීවේ එබැවිනි.) විශේෂයෙන්ම අවසන් යුධ සමයේ සිදුවෙමින් පැවති දහස් සංඛ්‍යාත මරණ හමුවේ මුනිවත රැකීම හෙවත් බියගුළු, කුහක නිහඬතාවයක් රැකීම මට අද ඉසුලුම් නොදේ. “ආදිත්‍ය ගේ වගේ හදවතක් මටද තිබුණානම්...” යයි පොත කියවෙන අතරතුර සිතුනේ එක වරක් පමණක් නොවුයේ එහෙයිනි.

මානුෂීක මෙහෙයුම නමින් දෙපාර්ශවය විසින්ම සිදු කරමින් පැවති අමානුශිකකම්වලට මා එකදු වචනයකින්වත් ප්‍රසිද්ධියේ විරුද්ධ වී නොමැත. කිසිදු දේශනාවක ඒ ගැන සෘජු  සඳහනක් කළා යයි මට ආවර්ජනය නොවේ. මා පියතුමෙකු වී වසරක් ගත වෙන්නටත් මත්තෙන් නිල වශයෙන් යුද්ධය අවසන් විය. නමුත් මැණික් ෆාම් ඇතුළු කඳවුරු තුළ ජීවිත පරඬල රැක ගැනීමේ යුද්ධය, ඉන් පසුවත් වසර බොහෝ ගණනක් පැවතිනි. අදටත් තම ගම බිම් වලට යාගත නොහැකිව සිටින්නන්ගේ ගණන සුළු නොවේ. නමුත් දේශද්‍රෝහියෙකු වීමේ උවමනාවක් මට කිසිසේත්ම නොතිබිණි. “මොනවා උනත් යුද්ධෙ ඉවර වෙනවනේ” යන සිතුවිල්ල මා තුළ තිබූ බවනම් හොඳ හැටි මතකය. මානුෂීය මෙහෙයුමේ ප්‍රචාරණයේ බලගතුකම කෙතරම්ද කිවහොත් පූජකයෙකුගේ සංවේදී හදවතක් පවා හීලෑ කර, නිහඬ කර තබා ගැනීමට එය සමත් විය.

තරංගි අක්කා, ඒ අමතක කළ නොහැකි  වුවත් මා විසින් වළ දමා තිබූ අතීතය, නැවත ගොඩ ගෙන ඇත. නව කතාව තුළ ආදිත්‍ය අතුරුදහන් කළේ (හෝ මරා දැමුවේ) කවුරුන්දැයි අපට හරියටම කිව නොහැකි වුවත්, මා තුළ සිටිනා ආදිත්‍ය ව යුද සමය තුළ අතුරුදහන් කර දැමුවේ මා විසින්ම බව නව කතාව පසක් කර දුන්නේය.

සිස්ටර් සෙව්වන්දි නැවත මුතු ඇල්ලේ ගියාය. ඈ පරාජය වූයේ නැත. පැවිදි ජීවිතය තුළම නැවත ජීවිතය සොයා යන්නීය.  කවුරුන් කෙසේ අර්ථකථනය කළද, කතුවරිය ගේ අවසන් වදන් පෙළ මා කියවා ගන්නේ එලෙසිනි. මාද මුතු ඇල්ල සොයා ගමන් කළ යුතුය. සැබෑ ධර්මය, සැබෑ ආධ්‍යාත්මය, සැබෑ නිදහස නම් වූ මෙලොවම තිබෙනා දේව රාජ්‍යය සොයා, බියගුළු බවින් මිදී නික්ම යා යුතු ය. මේ දැන්, මෙතැන, සැම තැන, සැම දින  ඒ නික්මයාම සිදුවිය යුතුමය. විමුක්තිය ලබන්නට නම්, නික්ම යා යුතුමය.


ශානිල් ජයවර්ධන (නි.ම.නි.) පිය 


Tuesday, January 16, 2018

කාලීන සමාජ දේශපාලන සංවාද සහිත ආදර වියමනක්

සීතා රංජනී 
( රාවය පුවත්පතේ පළ වූ ලිපියකි. )


දශක කිහිපයක් ම, ඝාතනය වෙනුවට ජීවිතය රකින්නැයි හඬ නගන්නට අපට සිදු විය. අවිචාරය වෙනුවට විචාරයට ඉඩ දෙන්නැයි කෑ ගසන්නට අපට සිදු විය. අත්තනෝමතිකත්වය වෙනුවට විවිධත්වයට ගරු කරන්නැයි කියන්නට අපට සිදු විය. යුද්ධය වෙනුවට ජනජීවිත රකින්නැයි බලපෑම් කිරීමට අපට සිදු විය. දේශපාලන බල ලෝභය නිසා නිර්ලජ්ජිත ලෙස උල්ලංඝණය කෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්නට පාරට බසින්නට අපට සිදු විය.  මිනිස් ජීවිතයේ වටිනාකම් සුණු විසුණු නොකරන්නැයි මොර ගසන්නට අපට සිදු විය.

තමන්ගේ දහමේ හරය නොදත්තවුන්ගේ අමනෝඥ හැසිරීම් නිසා ආගමික අන්තවාදයේ ගිනිදැල් වරින්වර ජන සමාජය වෙලාගනී. ජාතිවාදී, ගෝත‍්‍රවාදී, කුලවාදී මෙන්ම ධනවාදී කුහකකම් නිසා මිනිස්කම කොන් කිරීම තුරන් කිරීමට නොහැකි වී තිබේ. ස්තී‍්‍ර පුරුෂ වශයෙන් මිනිස්කම ලොකු කුඩා කිරීමේ මනෝ විකෘතීන් සුවපත් කළ නොහැකි වී තිබේ. මිනිස් ජීවිතයේ යහපත වෙනුවෙන් ගන්නා සියලූ පියවර එක්කෝ දේශද්‍රෝහිත්වයට බැරවේ. එක්කෝ මිලිටරි මානසිකත්වයට යටවේ. සියල්ලට ඉදිරියෙන් ඇත්තේ නැතිනම් සියල්ල මෙහෙයවන අදිසි හස්තය දේශපාලන බලලෝභිත්වය මිස වෙන කිසිවක් ම නොවේ. අද, අලූත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නවුන් වෙඩි තබා ඝාතනය කළ යුතුයැයි කියන්නේ, මිනිස් ලෙයින් ම මහ පොළොව තෙත් කොට සියල්ල විසඳීමට උර දුන් උන්ය. එවන් ඉතිහාසයක සාක්‍ෂිකරුවන් වූ අප වර්තමානය ද සාක්‍ෂිකරුවන් කොට අනාගතය ද සාක්‍ෂියට කැඳවමුද? මෙම ලැජ්ජාවෙන් අත් මිදෙන අනාගතයක් වෙනුවෙන් දැනුම්වත් සමාජයක් ගොඩනගන්නට සාහිත්‍යයට, කලාවට කාර්යභාරයක් ඇති බව අමතක කළ හැකිද?

අපගේ සමාජ දේහය උඩු යටිකුරු කළ අත්දැකීම් සමුදායක් අප ඉදිරියේ තිබිය දී ඒවා තමන්ගේ නිර්මාණ අත්දැකීම් බවට පත් වන්නේ අඩුවෙන් බව බැලූ බැල්මට පෙනේ. අතරින් පතර එකක් දෙකක් නිර්මාණ සඳහා ඒවා අත්දැකීම් බවට පත් වී නිර්මාණාත්මකව ප‍්‍රකාශයට පත් වුවත් ඒවා ප‍්‍රමාණවත් නොවන ගොහොරුවක අප ජීවත් වේ. තරංගනී රෙසිකා ප‍්‍රනාන්දු (තරුරසී) ගේ ප‍්‍රථම නව කතාව වන ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ කෘතියට පාදක වී ඇති අත්දැකීම් පරාසය කෙටි වුවත්, එය, පැහැදිලි සමාජ දේශපාලන දැක්මක් සහිත නිර්මාණාත්මක වියමනක් වී තිබීම සතුටට කාරණයකි.

‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ නවකතාවට පාදක වන්නේ 2005 වසරේ සිට අවසන් යුද්ධය සමය දක්වා කෙටි කාල පරාසයකි. කිතුණු විමුක්ති දේවධර්ම පාඨමාලාවක වැඩ මුලූ කිහිපයක ආගම සහ ජීවිතය කේන්ද්‍ර කොට ගෙන ඇති වූ සාකච්ඡාවල දී මතු වූ කරුණු කාරණා කතුවරියගේ සමාජ දේශපාලන දැක්ම වශයෙන් ඉදිරිපත් වේ. නැතහොත් ඇයගේ සමාජ දේශපාලන දැක්ම, තරුණ පැවිදි සහෝදරියක් වන සෙව්වන්දි සහ ආගම ගැන ලිබරල්වාදී දැක්මක් ඇති, යුද්ධය වෙනුවට සාමකාමී සමාජයක් පතන තරුණයකු වන ආදිත්‍ය අතර ගොඩනැගෙන සම්බන්ධය හරහා ඉදිරිපත් වේ. මිනිසුන්ගේ අයිතිවාසිකම්, යුද්ධයෙන් ජීවිතයට වන විනාශය ගැන දේවධර්ම පාඨමාලාවේ සංවාද හරහා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් දක්නට ලැබේ. ඇයගේ නව කතාවේ කාල පරාසය කෙටි වුව ද, මිනිස් ජීවිතයට එරෙහිව සිදු වූ අවිචාරවත් කි‍්‍රයා සම්බන්ධ අතීත සිහි ගැන්වීම් දේවධර්ම පාඨමාලාවේ දේශකයන් වන පූජකවරුන් හා වරියන් මඟින් අවස්ථාවෝචිතව සිදු වේ. ආදිත්‍ය අතුරුදහන් වූ පසු ඔහු ගැන සොයා බලන්නට ඔහුගේ ගමට යන තරුණ පැවිදිවරියගේ ගමන් විස්තරවලින් ද එවැනි සිදුවීම් ඇතුලූ කර ගෙන ඇත. 83 කලූ ජූලිය පිළිබඳ මතකය, 88/89 භීෂණය, පූජකවරුන් හා පූජකවරියන් ඝාතනය වීම් ඇතුලූ සිදුවීම් එම අතීත මතකවලට ඇතුළත්ය. සමාජ දේශපාලන පසුබිමක පිහිටා ප‍්‍රබන්ධ කර ඇති නවකතාවේ වියමන තරමක් නැවුම් ආදර කතාවක් වීම විශේෂය.

බයිබලයේ පේ‍්‍රම ගී කොටසේ වගන්ති නව කතාවේ පරිච්ඡේද ආරම්භයට යොදා ගෙන වියා ඇති තාරුණ්‍යයක් දිස්වන වියමන තුළ, දේවධර්ම පාඨමාලාවට එක්වන තරුණ කණ්ඩායම මෙන්ම එහි දේශකයන් වන ඉතා ම ජ්‍යෙෂ්ඨ පූජකවරුන් සහ පූජකවරියන්ගේ දේශනවලින් ද තාරුණ්‍යයක් දිස්වේ. ඔවුන් උගන්වන්නේ සාම්ප‍්‍රදායික ආගමික කාරණා ම නොවේ. පාඨමාලාවට සම්බන්ධ වන ආදිත්‍ය කිතුණු ආගමිකයකු නොවන අතර බුත්තල ජනතාව වෙනුවෙන් කැප වූ මයිකල් රොද්‍රිගු පියතුමා ඇසුරේ අත්දැකීම් ලැබූ තරුණයෙකි. ඔහු සියලූ ආගම්වල දර්ශනයන් පිළිගන්නා, ආගම මිනිසාගේ ජීවිත පීඩාවෙන් මුදවා ගැනීම සඳහා යොදා ගත යුතු බව පිළිගන්නා තරුණයෙකි. ආගම්වලට බෙදී සිටින සමාජයකට වඩා අනාගමික සමාජයක් වඩා යහපත් විය හැකිය යන විප්ලවීය අදහස පිළිගන්නා තරුණයෙකි. එමෙන්ම නව තරුණ  අදහස් නිසා පමණක් නොව වඩා ඉදිරිගාමී දැක්මක් ඇති ජ්‍යෙෂ්ඨ පූජ්‍ය පක්‍ෂයේ ද අදහස් අනුව, ආගම මිනිසාට ආදරය කරන්නට උගන්වන, මිනිසාට සේවය කරන්නට ඇති දෙයක් බව පිළිගැනීමක් කෘතිය පුරා ප‍්‍රකාශිතය. එය කිතුණු දහමට පමණක් සීමා නොවන ආකාරයක් පෙන්නුම් කරන අතර ම, කිතුණු ආගමික සංස්ථාවන් තුළ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ප‍්‍රාණ පරිත්‍යාගීව සේවය කළ පූජකවරුන් සහ පූජකවරියන් ගැන අගය  කිරීමක් ද අන්තර්ගතය. 

සීතා රංජනී

තරංගනීගේ නව කතාවේ කේන්දී‍්‍රය චරිත වන සෙව්වන්දි පැවිදි සොයුරිය සහ ආදිත්‍ය නම් මිනිස්කම අගයන තරුණයා අතර පලූදු කළ නොහැකි බැඳීමක් ඇති වන්නේ
, වැඩමුලූ කිහිපයේ දී තරුණයා දක්වන අදහස් සහ පෞද්ගලිකව ලෝගුව තුළ බැඳීමට යටත් කළ තරුණියගේ ජීවිතය ප‍්‍රශ්න කිරීම හරහාය. වතාවත් සහ පුරුදුවලට යටත් කළ ජීවිතයකට වඩා මිනිසුන්ට සේවය කරන ජීවිතයක්, හඬක් නැති මිනිසුන්ගේ ජීවිතවලට කටහඬක් විය හැකි ජීවිතයක්, තරුණයාගේ වටහා දීම වෙයි. සත්‍ය වශයෙන් ආගමික ජීවිතයකින් සිදු විය යුත්තේ එය බවට හැඟවීමක් කෘතිය තුළ කැපී පෙනෙන නමුත් තරුණයා තරුණ පැවිදිවරියට ඊට එහා ආදරණීය ජීවිතයකට ද හැඟවීම් කරයි. පැවිදිවරිය එයින් වෙන්වීමට තීරණය කරන්නේ, තරුණයා අතුරුදහන් වූ පසු වැඩි වැඩියෙන් ඔහු දැනෙන්නට වූ නිසාය. එහෙත් පැවිදිවරියක් ලෙස ම ඇය අවසානයේ මුතුඇල්ලට යන්නට තීරණය කරන්නේ අතුරුදහන් වූ ඔහුගේ කැමැත්ත අනුව, පීඩිතයන්ට සේවය කිරීමෙන් ඔහුගේ ආකල්පයන්ට දායක වීමටය.

පරස්පරතාව වන්නේ තරංගනී විසින් ගොඩනගන ආගමික සහජීවනය අගයන දැනුවත් තරුණ කණ්ඩායම තුළින් ද අවසානයේ ආදිත්‍ය ප‍්‍රතික්‍ෂෙපයට ලක්වීමයි. කෘතියේ දී කතිකාවට ලක්වන මිනිස්කම, සහජීවනය, ජනවාර්ගික අයිතීන් සියල්ලට වඩා එම තරුණ කණ්ඩායම ද යටත් වී ඇති බව පෙනෙන්නේ, රටේ දේශපාලනයේ ආධිපත්‍යය බවට පත් යුදවාදී මානසිකත්වයකටය. තරුණ කණ්ඩායම කිසිදු භේදයකින් තොරව, මුතුඇල්ලේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ධීවර ප‍්‍රජාවට සහාය වීම සඳහා ද එක්වේ. නමුත් තීරණාත්මක මොහොතේ, එනම් ප‍්‍රබන්ධයට අනුව අවසන් යුද්ධය සමයේ, ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ආයතනයක සේවය කරන ආදිත්‍ය ඩොලර් නිසා කතා කරන්නෙකුය යන චෝදනාවට ලක් වන්නේ දැනුවත්යැයි හැෙඟන එම තරුණ කණ්ඩායමෙන්මය. කතාව තුළ ගමෙන් ප‍්‍රතික්‍ෂෙප වීම ආදිත්‍යය රිදවූ එකක් බව ප‍්‍රකාශ වුවත්, යථාර්ථයට අනුව, බුත්තල වැනි ගමකින් ඔහු දේශද්‍රෝහියකු බවට පත්වීම පිළිගත හැකි වුවත් එකට වැඩ කරන අය අතරින් ඒ සා දරුණු ප‍්‍රතික්‍ෂෙප කිරීමකට ලක්වීම පිළිගැනීම තරමක් දුෂ්කරය.

කෙසේ වුවත්, විශාල අත්දැකීම් සම්භාරයක් සහිත සමාජ දේශපාලනික යථාර්ථයක කෙටි කාලයක් පසුබිමට ගෙන, තරංගනී රෙසිකා විසින් ගොතන ලද මෙම ආදර වියමනට, ගැලපෙන ප‍්‍රමාණයෙන් කාලීන සමාජ දේශපාලන සංවාද ඇතුළත් වුව ද එහි ඇති නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම නිසා එක දිගට කියවීමට කැමැත්තක් ඇති වේ. අතීතය වර්තමානය අතර දෝලනය කරමින් කරන ප‍්‍රබන්ධය තව දුරටත් පිරිපහදු වූවානම් සුදුසු බව යෝජනා කළ යුතුය. සමස්තයක් වශයෙන්, කිවිඳියක වන කතුවරිය බයිබලයේ සාහිත්‍යමය කියවීමකින් ද සන්නද්ධව තම වියමන කර ඇති කාව්‍යමය භාෂාව නිසා, තව දුරටත් පිරිපහදු වූ නිමාවක් ඉල්ලන කෘතිය ගැන පාඨකයාට පැහැදීමක් ඇති වන බව කිව යුතුය.

ප.ලි.

‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ පිළිබඳ කතිකාවක් 2018 ජනවාරි 27 සෙනසුරාදා සවස 2.30 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. බ්ලොග් සහෘද සැමටත් ආදරයෙන් ඇරයුම් කරමි.