පිටු

Tuesday, January 16, 2018

කාලීන සමාජ දේශපාලන සංවාද සහිත ආදර වියමනක්

සීතා රංජනී 
( රාවය පුවත්පතේ පළ වූ ලිපියකි. )


දශක කිහිපයක් ම, ඝාතනය වෙනුවට ජීවිතය රකින්නැයි හඬ නගන්නට අපට සිදු විය. අවිචාරය වෙනුවට විචාරයට ඉඩ දෙන්නැයි කෑ ගසන්නට අපට සිදු විය. අත්තනෝමතිකත්වය වෙනුවට විවිධත්වයට ගරු කරන්නැයි කියන්නට අපට සිදු විය. යුද්ධය වෙනුවට ජනජීවිත රකින්නැයි බලපෑම් කිරීමට අපට සිදු විය. දේශපාලන බල ලෝභය නිසා නිර්ලජ්ජිත ලෙස උල්ලංඝණය කෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්නට පාරට බසින්නට අපට සිදු විය.  මිනිස් ජීවිතයේ වටිනාකම් සුණු විසුණු නොකරන්නැයි මොර ගසන්නට අපට සිදු විය.

තමන්ගේ දහමේ හරය නොදත්තවුන්ගේ අමනෝඥ හැසිරීම් නිසා ආගමික අන්තවාදයේ ගිනිදැල් වරින්වර ජන සමාජය වෙලාගනී. ජාතිවාදී, ගෝත‍්‍රවාදී, කුලවාදී මෙන්ම ධනවාදී කුහකකම් නිසා මිනිස්කම කොන් කිරීම තුරන් කිරීමට නොහැකි වී තිබේ. ස්තී‍්‍ර පුරුෂ වශයෙන් මිනිස්කම ලොකු කුඩා කිරීමේ මනෝ විකෘතීන් සුවපත් කළ නොහැකි වී තිබේ. මිනිස් ජීවිතයේ යහපත වෙනුවෙන් ගන්නා සියලූ පියවර එක්කෝ දේශද්‍රෝහිත්වයට බැරවේ. එක්කෝ මිලිටරි මානසිකත්වයට යටවේ. සියල්ලට ඉදිරියෙන් ඇත්තේ නැතිනම් සියල්ල මෙහෙයවන අදිසි හස්තය දේශපාලන බලලෝභිත්වය මිස වෙන කිසිවක් ම නොවේ. අද, අලූත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නවුන් වෙඩි තබා ඝාතනය කළ යුතුයැයි කියන්නේ, මිනිස් ලෙයින් ම මහ පොළොව තෙත් කොට සියල්ල විසඳීමට උර දුන් උන්ය. එවන් ඉතිහාසයක සාක්‍ෂිකරුවන් වූ අප වර්තමානය ද සාක්‍ෂිකරුවන් කොට අනාගතය ද සාක්‍ෂියට කැඳවමුද? මෙම ලැජ්ජාවෙන් අත් මිදෙන අනාගතයක් වෙනුවෙන් දැනුම්වත් සමාජයක් ගොඩනගන්නට සාහිත්‍යයට, කලාවට කාර්යභාරයක් ඇති බව අමතක කළ හැකිද?

අපගේ සමාජ දේහය උඩු යටිකුරු කළ අත්දැකීම් සමුදායක් අප ඉදිරියේ තිබිය දී ඒවා තමන්ගේ නිර්මාණ අත්දැකීම් බවට පත් වන්නේ අඩුවෙන් බව බැලූ බැල්මට පෙනේ. අතරින් පතර එකක් දෙකක් නිර්මාණ සඳහා ඒවා අත්දැකීම් බවට පත් වී නිර්මාණාත්මකව ප‍්‍රකාශයට පත් වුවත් ඒවා ප‍්‍රමාණවත් නොවන ගොහොරුවක අප ජීවත් වේ. තරංගනී රෙසිකා ප‍්‍රනාන්දු (තරුරසී) ගේ ප‍්‍රථම නව කතාව වන ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ කෘතියට පාදක වී ඇති අත්දැකීම් පරාසය කෙටි වුවත්, එය, පැහැදිලි සමාජ දේශපාලන දැක්මක් සහිත නිර්මාණාත්මක වියමනක් වී තිබීම සතුටට කාරණයකි.

‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ නවකතාවට පාදක වන්නේ 2005 වසරේ සිට අවසන් යුද්ධය සමය දක්වා කෙටි කාල පරාසයකි. කිතුණු විමුක්ති දේවධර්ම පාඨමාලාවක වැඩ මුලූ කිහිපයක ආගම සහ ජීවිතය කේන්ද්‍ර කොට ගෙන ඇති වූ සාකච්ඡාවල දී මතු වූ කරුණු කාරණා කතුවරියගේ සමාජ දේශපාලන දැක්ම වශයෙන් ඉදිරිපත් වේ. නැතහොත් ඇයගේ සමාජ දේශපාලන දැක්ම, තරුණ පැවිදි සහෝදරියක් වන සෙව්වන්දි සහ ආගම ගැන ලිබරල්වාදී දැක්මක් ඇති, යුද්ධය වෙනුවට සාමකාමී සමාජයක් පතන තරුණයකු වන ආදිත්‍ය අතර ගොඩනැගෙන සම්බන්ධය හරහා ඉදිරිපත් වේ. මිනිසුන්ගේ අයිතිවාසිකම්, යුද්ධයෙන් ජීවිතයට වන විනාශය ගැන දේවධර්ම පාඨමාලාවේ සංවාද හරහා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් දක්නට ලැබේ. ඇයගේ නව කතාවේ කාල පරාසය කෙටි වුව ද, මිනිස් ජීවිතයට එරෙහිව සිදු වූ අවිචාරවත් කි‍්‍රයා සම්බන්ධ අතීත සිහි ගැන්වීම් දේවධර්ම පාඨමාලාවේ දේශකයන් වන පූජකවරුන් හා වරියන් මඟින් අවස්ථාවෝචිතව සිදු වේ. ආදිත්‍ය අතුරුදහන් වූ පසු ඔහු ගැන සොයා බලන්නට ඔහුගේ ගමට යන තරුණ පැවිදිවරියගේ ගමන් විස්තරවලින් ද එවැනි සිදුවීම් ඇතුලූ කර ගෙන ඇත. 83 කලූ ජූලිය පිළිබඳ මතකය, 88/89 භීෂණය, පූජකවරුන් හා පූජකවරියන් ඝාතනය වීම් ඇතුලූ සිදුවීම් එම අතීත මතකවලට ඇතුළත්ය. සමාජ දේශපාලන පසුබිමක පිහිටා ප‍්‍රබන්ධ කර ඇති නවකතාවේ වියමන තරමක් නැවුම් ආදර කතාවක් වීම විශේෂය.

බයිබලයේ පේ‍්‍රම ගී කොටසේ වගන්ති නව කතාවේ පරිච්ඡේද ආරම්භයට යොදා ගෙන වියා ඇති තාරුණ්‍යයක් දිස්වන වියමන තුළ, දේවධර්ම පාඨමාලාවට එක්වන තරුණ කණ්ඩායම මෙන්ම එහි දේශකයන් වන ඉතා ම ජ්‍යෙෂ්ඨ පූජකවරුන් සහ පූජකවරියන්ගේ දේශනවලින් ද තාරුණ්‍යයක් දිස්වේ. ඔවුන් උගන්වන්නේ සාම්ප‍්‍රදායික ආගමික කාරණා ම නොවේ. පාඨමාලාවට සම්බන්ධ වන ආදිත්‍ය කිතුණු ආගමිකයකු නොවන අතර බුත්තල ජනතාව වෙනුවෙන් කැප වූ මයිකල් රොද්‍රිගු පියතුමා ඇසුරේ අත්දැකීම් ලැබූ තරුණයෙකි. ඔහු සියලූ ආගම්වල දර්ශනයන් පිළිගන්නා, ආගම මිනිසාගේ ජීවිත පීඩාවෙන් මුදවා ගැනීම සඳහා යොදා ගත යුතු බව පිළිගන්නා තරුණයෙකි. ආගම්වලට බෙදී සිටින සමාජයකට වඩා අනාගමික සමාජයක් වඩා යහපත් විය හැකිය යන විප්ලවීය අදහස පිළිගන්නා තරුණයෙකි. එමෙන්ම නව තරුණ  අදහස් නිසා පමණක් නොව වඩා ඉදිරිගාමී දැක්මක් ඇති ජ්‍යෙෂ්ඨ පූජ්‍ය පක්‍ෂයේ ද අදහස් අනුව, ආගම මිනිසාට ආදරය කරන්නට උගන්වන, මිනිසාට සේවය කරන්නට ඇති දෙයක් බව පිළිගැනීමක් කෘතිය පුරා ප‍්‍රකාශිතය. එය කිතුණු දහමට පමණක් සීමා නොවන ආකාරයක් පෙන්නුම් කරන අතර ම, කිතුණු ආගමික සංස්ථාවන් තුළ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ප‍්‍රාණ පරිත්‍යාගීව සේවය කළ පූජකවරුන් සහ පූජකවරියන් ගැන අගය  කිරීමක් ද අන්තර්ගතය. 

සීතා රංජනී

තරංගනීගේ නව කතාවේ කේන්දී‍්‍රය චරිත වන සෙව්වන්දි පැවිදි සොයුරිය සහ ආදිත්‍ය නම් මිනිස්කම අගයන තරුණයා අතර පලූදු කළ නොහැකි බැඳීමක් ඇති වන්නේ
, වැඩමුලූ කිහිපයේ දී තරුණයා දක්වන අදහස් සහ පෞද්ගලිකව ලෝගුව තුළ බැඳීමට යටත් කළ තරුණියගේ ජීවිතය ප‍්‍රශ්න කිරීම හරහාය. වතාවත් සහ පුරුදුවලට යටත් කළ ජීවිතයකට වඩා මිනිසුන්ට සේවය කරන ජීවිතයක්, හඬක් නැති මිනිසුන්ගේ ජීවිතවලට කටහඬක් විය හැකි ජීවිතයක්, තරුණයාගේ වටහා දීම වෙයි. සත්‍ය වශයෙන් ආගමික ජීවිතයකින් සිදු විය යුත්තේ එය බවට හැඟවීමක් කෘතිය තුළ කැපී පෙනෙන නමුත් තරුණයා තරුණ පැවිදිවරියට ඊට එහා ආදරණීය ජීවිතයකට ද හැඟවීම් කරයි. පැවිදිවරිය එයින් වෙන්වීමට තීරණය කරන්නේ, තරුණයා අතුරුදහන් වූ පසු වැඩි වැඩියෙන් ඔහු දැනෙන්නට වූ නිසාය. එහෙත් පැවිදිවරියක් ලෙස ම ඇය අවසානයේ මුතුඇල්ලට යන්නට තීරණය කරන්නේ අතුරුදහන් වූ ඔහුගේ කැමැත්ත අනුව, පීඩිතයන්ට සේවය කිරීමෙන් ඔහුගේ ආකල්පයන්ට දායක වීමටය.

පරස්පරතාව වන්නේ තරංගනී විසින් ගොඩනගන ආගමික සහජීවනය අගයන දැනුවත් තරුණ කණ්ඩායම තුළින් ද අවසානයේ ආදිත්‍ය ප‍්‍රතික්‍ෂෙපයට ලක්වීමයි. කෘතියේ දී කතිකාවට ලක්වන මිනිස්කම, සහජීවනය, ජනවාර්ගික අයිතීන් සියල්ලට වඩා එම තරුණ කණ්ඩායම ද යටත් වී ඇති බව පෙනෙන්නේ, රටේ දේශපාලනයේ ආධිපත්‍යය බවට පත් යුදවාදී මානසිකත්වයකටය. තරුණ කණ්ඩායම කිසිදු භේදයකින් තොරව, මුතුඇල්ලේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ධීවර ප‍්‍රජාවට සහාය වීම සඳහා ද එක්වේ. නමුත් තීරණාත්මක මොහොතේ, එනම් ප‍්‍රබන්ධයට අනුව අවසන් යුද්ධය සමයේ, ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ආයතනයක සේවය කරන ආදිත්‍ය ඩොලර් නිසා කතා කරන්නෙකුය යන චෝදනාවට ලක් වන්නේ දැනුවත්යැයි හැෙඟන එම තරුණ කණ්ඩායමෙන්මය. කතාව තුළ ගමෙන් ප‍්‍රතික්‍ෂෙප වීම ආදිත්‍යය රිදවූ එකක් බව ප‍්‍රකාශ වුවත්, යථාර්ථයට අනුව, බුත්තල වැනි ගමකින් ඔහු දේශද්‍රෝහියකු බවට පත්වීම පිළිගත හැකි වුවත් එකට වැඩ කරන අය අතරින් ඒ සා දරුණු ප‍්‍රතික්‍ෂෙප කිරීමකට ලක්වීම පිළිගැනීම තරමක් දුෂ්කරය.

කෙසේ වුවත්, විශාල අත්දැකීම් සම්භාරයක් සහිත සමාජ දේශපාලනික යථාර්ථයක කෙටි කාලයක් පසුබිමට ගෙන, තරංගනී රෙසිකා විසින් ගොතන ලද මෙම ආදර වියමනට, ගැලපෙන ප‍්‍රමාණයෙන් කාලීන සමාජ දේශපාලන සංවාද ඇතුළත් වුව ද එහි ඇති නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම නිසා එක දිගට කියවීමට කැමැත්තක් ඇති වේ. අතීතය වර්තමානය අතර දෝලනය කරමින් කරන ප‍්‍රබන්ධය තව දුරටත් පිරිපහදු වූවානම් සුදුසු බව යෝජනා කළ යුතුය. සමස්තයක් වශයෙන්, කිවිඳියක වන කතුවරිය බයිබලයේ සාහිත්‍යමය කියවීමකින් ද සන්නද්ධව තම වියමන කර ඇති කාව්‍යමය භාෂාව නිසා, තව දුරටත් පිරිපහදු වූ නිමාවක් ඉල්ලන කෘතිය ගැන පාඨකයාට පැහැදීමක් ඇති වන බව කිව යුතුය.

ප.ලි.

‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ පිළිබඳ කතිකාවක් 2018 ජනවාරි 27 සෙනසුරාදා සවස 2.30 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. බ්ලොග් සහෘද සැමටත් ආදරයෙන් ඇරයුම් කරමි.


4 comments:

  1. 27, නේද ගාල්ලේ සාහිත්‍යය සංවාදය තියෙන්නෙත්, මට මුලු සති අන්තේ ක්ලාස් නිසා, හැම සාහිත්‍ය වැඩක්ම අතපසු වෙනවා... දුක තමා..
    සුභ පැතුම් කර්තව්‍යයට, සියල්ල සාර්ථක වේවා...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...