Thursday, January 25, 2018

දේශද්‍රෝහියාගේ හෘදය හා පුජකයෙකුගේ හෘදය (ආත්ම විවරණයක්)



මා දන්නා තරමින්  මිනිස් හදවතක් සාර්ථකව විවෘත කළ හැක්කේ  හදවත් සැත්කම් කරන ශල්‍ය  වෛද්‍යතුමෙකුට පමණකි. තරංගි අක්කා (පුරුදු ලෙසම ඈ අමතන්නට අවසර!) කිනම් ආකාරයේ වෛද්‍යවරියක්ද? ඇය  දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය  මා ඉදිරියේ විවෘත කර ඇත. පොත කියවා හමාර කළද මම බොහෝ වෙලාවක් ඒ දෙස නිසලව බලා සිටියෙමි. ඒ දේශද්‍රෝහියාගේ නිර්මල හදවත, නිර්මල මරිය නිකායිකයෙකුගේ (එතරම් නිර්මල නොවූ) හදවත හා සංවාදයක් අරඹා ඇති සෙයකි. මම නිහඬවම අසා සිටියෙමි.

විමුක්ති දේව ධර්මය යනු වත්මන් ශ්‍රි ලාංකීය කිතුනු සභාව තුළ ඉතා දැඩිව සහ පුළුල්ව මුල් ඇදගත් දේව ධාර්මික කතිකාවතක් නොවේ. හැත්තෑව දශකයේ සහ යුද්ධය ඇරඹි මුල් සමයේ මීට වඩා පුළුල් ලෙස එය සාකච්චාවට සහ භාවිතයට බඳුන් වූ බව මා අසා ඇත. එනමුදු එහි වටිනාකම සහ අවශ්‍යතාවය අදටත් අප රටට වලංගු බවයි මගේ නම් හැඟීම.  එම ධාර්මීක ජානරය ගැඹුරින් අධ්‍යනය කළ ඇලෝයි පිරිස් පියතුමන්, මහින්ද නාමල් සොයුරු වැනි කිහිප දෙනෙකු හෝ තවමත් අප අතර ජීවත් වීම සැබවින්ම භාග්‍යයකි. එවැනි සොඳුරු “දහම් පාසැලක” ඇසුරක්‌ නොලැබුනේ නම්, තරංගි අක්කාගේ අතින් මෙම නව කතාව  නොලියවෙන්නට ඉඩ තිබුණි.

ඉතින් මා නම්, අන් කිසිවකටත් වඩා නව කතාවෙන් අල්ලා ගන්නට තැත් කළේ එම දේව ධාර්මීක යටි පෙළයි. කතෝලික සභාව හුදෙක් ආයතනයක් (institute) ලෙස ලඝු කළ නොහැක. නමුත් ක්‍රි. ව. 313න් පසු, රෝම අධිරාජ්‍යය තුළ  ආගම, රාජ්‍ය යාන්ත්‍රනයේම කොටසක් වූවායින් ඉක්බිති,  ආයතනික ගති ලක්ෂණ ඕනෑවටත් වඩා එතුළට රිංගා ගත්තේය. එදා සිට අද දක්වා, සැබෑ ක්‍රිස්තු ධර්මයේ ආධ්‍යාත්මය පසෙක ලා, ආයතනය පමණක් රැක ගැනීමේ පුහු ප්‍රයත්නයන් කිතුනු සභාව තුළ දක්නට ඇති බව නොරහසකි. එම  දේව විරෝධී ක්‍රියාවලියට මාද අඩු වැඩි වශයෙන් සහභාගී වූ බව මාගේ හෘද සාක්ෂිය අදටද මට අවලාද කියයි. (මාගේ හෘදය එතරම් නිර්මල නොවන බව මා මුලින් කීවේ එබැවිනි.) විශේෂයෙන්ම අවසන් යුධ සමයේ සිදුවෙමින් පැවති දහස් සංඛ්‍යාත මරණ හමුවේ මුනිවත රැකීම හෙවත් බියගුළු, කුහක නිහඬතාවයක් රැකීම මට අද ඉසුලුම් නොදේ. “ආදිත්‍ය ගේ වගේ හදවතක් මටද තිබුණානම්...” යයි පොත කියවෙන අතරතුර සිතුනේ එක වරක් පමණක් නොවුයේ එහෙයිනි.

මානුෂීක මෙහෙයුම නමින් දෙපාර්ශවය විසින්ම සිදු කරමින් පැවති අමානුශිකකම්වලට මා එකදු වචනයකින්වත් ප්‍රසිද්ධියේ විරුද්ධ වී නොමැත. කිසිදු දේශනාවක ඒ ගැන සෘජු  සඳහනක් කළා යයි මට ආවර්ජනය නොවේ. මා පියතුමෙකු වී වසරක් ගත වෙන්නටත් මත්තෙන් නිල වශයෙන් යුද්ධය අවසන් විය. නමුත් මැණික් ෆාම් ඇතුළු කඳවුරු තුළ ජීවිත පරඬල රැක ගැනීමේ යුද්ධය, ඉන් පසුවත් වසර බොහෝ ගණනක් පැවතිනි. අදටත් තම ගම බිම් වලට යාගත නොහැකිව සිටින්නන්ගේ ගණන සුළු නොවේ. නමුත් දේශද්‍රෝහියෙකු වීමේ උවමනාවක් මට කිසිසේත්ම නොතිබිණි. “මොනවා උනත් යුද්ධෙ ඉවර වෙනවනේ” යන සිතුවිල්ල මා තුළ තිබූ බවනම් හොඳ හැටි මතකය. මානුෂීය මෙහෙයුමේ ප්‍රචාරණයේ බලගතුකම කෙතරම්ද කිවහොත් පූජකයෙකුගේ සංවේදී හදවතක් පවා හීලෑ කර, නිහඬ කර තබා ගැනීමට එය සමත් විය.

තරංගි අක්කා, ඒ අමතක කළ නොහැකි  වුවත් මා විසින් වළ දමා තිබූ අතීතය, නැවත ගොඩ ගෙන ඇත. නව කතාව තුළ ආදිත්‍ය අතුරුදහන් කළේ (හෝ මරා දැමුවේ) කවුරුන්දැයි අපට හරියටම කිව නොහැකි වුවත්, මා තුළ සිටිනා ආදිත්‍ය ව යුද සමය තුළ අතුරුදහන් කර දැමුවේ මා විසින්ම බව නව කතාව පසක් කර දුන්නේය.

සිස්ටර් සෙව්වන්දි නැවත මුතු ඇල්ලේ ගියාය. ඈ පරාජය වූයේ නැත. පැවිදි ජීවිතය තුළම නැවත ජීවිතය සොයා යන්නීය.  කවුරුන් කෙසේ අර්ථකථනය කළද, කතුවරිය ගේ අවසන් වදන් පෙළ මා කියවා ගන්නේ එලෙසිනි. මාද මුතු ඇල්ල සොයා ගමන් කළ යුතුය. සැබෑ ධර්මය, සැබෑ ආධ්‍යාත්මය, සැබෑ නිදහස නම් වූ මෙලොවම තිබෙනා දේව රාජ්‍යය සොයා, බියගුළු බවින් මිදී නික්ම යා යුතු ය. මේ දැන්, මෙතැන, සැම තැන, සැම දින  ඒ නික්මයාම සිදුවිය යුතුමය. විමුක්තිය ලබන්නට නම්, නික්ම යා යුතුමය.


ශානිල් ජයවර්ධන (නි.ම.නි.) පිය 


5 comments:

  1. හරි හරි අපි බලමු තව දවස් දෙකයි නේ.. :)))

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට වෙඩිමක් වැටුණෙ...

      Delete
  2. //මා දන්නා තරමින් මිනිස් හදවතක් සාර්ථකව විවෘත කළ හැක්කේ හදවත් සැත්කම් කරන ශල්‍ය වෛද්‍යතුමෙකුට පමණකි//

    හ්ම්ම් ඒ කියන්නේ කලා කරුවෙකුටත් එක කරන්න පුළුවන් නේද. ඇත්තෙන්ම පුළුවන් තමා

    ReplyDelete
  3. මම කොහොමත් අදේවවාදියෙක් ඒක වෙලා තියෙන්නේ දේව වාදය අනිත් ආගම් වගේම කරදරයක් වෙලා නිසා. හැබැයි මම ඕකට වාද කරන්නේ යන්නේ නැහැ. පෞද්ගලික දෙයක්. විමුක්ති දේව ධර්මයත් ලතින් ඇමෙරිකාවේ මුලින්ම පැන නැගුනේ ඒ කලේ තිබබ් මර්දනය නිසා. ජේසු තුමා ගත්තත් ඒ මර්දනයට විරුද්ධව සටන් කල අයෙක් නිසා. ඒකට මනාපයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...