පිටු

Tuesday, October 3, 2017

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය 01


රොෂානි අක්කා

අපි එක ම ගම් පළාතෙ. එකම පල්ලියෙ. පුංචි කාලෙ අපේ ගමට පල්ලියක් තිබුණෙ නෑ. අපි හැමෝම ගියේ කඩවලගෙදර පල්ලියට. ඒ කාලෙ මට ඇයව පෙනුණෙ නිතරම පොහොසත් ළමයි පිරිවරාගෙන ඉන්න, දවසින් දවස ලස්සන ලස්සන ඇඳුම් අඳින පොහොසත් ආඩම්බරකාර යුවතියක් විදියට. ඇය තමයි ගීතිකා කණ්ඩායමේ නායිකාව. ඇය තමයි ඕගන් එක ප්ලේ කරෙත්. මහ පල්ලියෙන් ඈත පුංචි ගමක උන්නු මට එතැන ළංවෙන්නවත් බැරි මහ විශාල තැනක් විදියටයි පෙනුණෙ. දැනුණෙ.

කාලයක් යද්දි අපේ ගමට පුංචි පල්ලියක් ලැබුණා. මම ගමේ පල්ලියෙ සන්ක්‍රිස්තියන් වෙලා ඔක්කෝම වැඩත් කළා. දහම් පාසලෙත් ඉගැන්නුවා. පුංචි කාලෙ අපිට ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ) ළමා සමිතියකුත් තිබුණා. ඒක පටන්ගත්තෙ 1988. ඒ වෙද්දි අපට පල්ලියක ලකුණක්වත් තිබුණෙ නැහැ. අත්හැරුණු වත්තක, පාළු ගේක තමයි දහම් පාසල පැවැත්වුණේ.

ගමෙන් පිටට ළමා පුහුණුවකට මුල්ම වතාවට මාව එක්කරගෙන ගියෙත් රොෂානි අක්කයි, සුනේත්‍රා අක්කයි. ඒ වෙද්දි මං නමය වසරෙ. කුලියපිටිය පල්ලියට ඇවිත් මාව භාර දීලා තාත්තා රොෂානි අක්කට කිව්ව රහස මං දැනගත්තෙ පස්සෙ කාලෙක. ‘‘අපේ දුව තාම වැඩිවිය පැමිණිලා නෑ දුවේ.‘‘ ඒ දවස් තුනක පුහුණුව තිබුණෙ මල්පිටියෙ පල්ලියෙ. එදා දැකපු ළක්‍රිවී අනුශාසකවරු නිසා මටත් ආසාවක් ඇති වුණා ළක්‍රිවී කරන්න. ඒත් අපේ අනුශාසක අයියල නැති වෙලා සමිතිය නැවතුණාට පස්සේ ආයෙම පටන්ගන්න තරම් ඒ ගැන මට හරිහැටි වැටහීමක් තිබුණෙ නැහැ. 

සාමාන්‍ය පෙළ හෙම කරල ඉද්දි තමයි රොෂානි අක්ක දිගින් දිගටම මාව ලුහුබඳින්න ගත්තෙ. හමුවෙන හමුවෙන තැන එයා කිව්වෙ නංගි ළක්‍රිවී කරන්න එන්න කියල. ‘‘එයාල එක්ක මොන ළක්‍රිවීද?‘‘ කියලමයි මට හිතුණෙ. ‘‘නංගි ඔයාට පුළුවන් ළමයි එක්ක වැඩ කරන්න.‘‘ එයා මට බල කරන්න ගත්තා. ඉතින් මං කළේ එයාව මග හැර හැර ඉන්න එක. මහ පල්ලියට ගියත් එයාගෙ ඇස් නොගැටෙන විදියට ඉන්නයි මට ඕන වුණේ. එයත් වැඩේ අතෑරියෙම නැහැ.

‘‘අම්මෝ මෙයා ඉස්සර මාව දකිද්දි පැනල දුවනවා.‘‘ ඇය ඒ අතීතය තාමත් සිහිපත් කරන්නෙ සිනාවෙන්. 

අන්තිමේ 1997 අපේ පල්ලියට ආව අලුත් පියතුමා එක්ක කතා බහ කරලා අපේ පල්ලියෙත් ළක්‍රිවී ළමා සමිතිය අලුතෙන් පටන්ගන්න රොෂානි අක්කා අඩිතාලම දැම්මා, මටත් බැහැ කියන්නම බැරි වෙන්න මාව වැඩේට අල්ල ගත්තා. ඉන්පස්සෙ ළක්‍රිවීයයි, මමයි දෙන්නෙක් නොවන තරමට ම මම ළක්‍රිවි එක්ක බැඳුණා. ළමයි එක්ක වැඩ කරන එක අප්‍රමාණ සතුටක් වුණා. එතෙක් ගෙවුණු ජීවිතය, මගේ සිතුම් පැතුම්, අරමුණු මේ හැමදෙයක්ම වෙනස් කරන්න ළක්‍රිවියට හැකි වුණා.

අර ආඩම්බරකාර යුවතිය මගේ ජීවිතයේ හමුවුණු ආදරවන්තම අක්කා කෙනෙක් වුණා. ඇගේ නිවස, ඇගේ කාමරය, ඇගේ පුංචි පුස්තකාලය මට මගේම වගේ දැනුණා. මම කැලණිය විශ්වවිද්‍යාලය තෝරගන්නත් එක හේතුවක් ඇය සහ ළක්‍රිවීය. ඒ වෙද්දි ඇය උන්නෙ කැලණියෙ. ඉතින් සරසවි ජීවිතයෙදිත් අපි නිතර නිතර හැන්දෑ වරුවල හමුවෙලා කතා කර කර උන්නා. කොයිතරම් කතා කළත් නොහිඳෙන කතා උල්පතක් අපි අතර ගලමින් තිබුණා.

ඇය දීප්ති අයියව තමන්ගේ ජීවිතයෙ සහකාරයා හැටියට තෝරගත් බව දැනුම් දුන්නෙත් හරිම ආදරණීය විදියට. “නංගි මං ඔයාට ගොඩක් හොඳ අයිය කෙනෙක් තෝරගත්තා.“ දීප්ති අයිය කියන්නෙත් මේ ජීවිතය තුළ හමුවුණ ආදරවන්තම සහෝදරයෙක්.

ඉතින් ගමෙන් පිටට තනියෙන් අඩියක් නොතිව්ව, දවසට වචන දහයක්වත් කතා නොකළ නිශ්ශබ්ද, කුලෑටි දැරියක වුණු මාව බලෙන්ම ළක්‍රිවියට අරන් ඇවිදින් අලුත් ජීවිතයකට පාර පෙන්නුවෙ රොෂානි අක්කා. අද මං යම් ගමනක් ඇවිත් තියෙනවනම් ඒ ගමනේ අඩිතාලම දැම්මෙ ඇය කියලයි මට හිතෙන්නෙ. මං අකමැත්තෙන් මගහරිද්දිත් අත්නොහැර මාව ළක්‍රිවියට කැන්දගන ආවට අක්කේ ඔයාට ස්තූතියි. 

ඇය ගැන මුලින් මං මවාගෙන උන්නු චිත්‍රය බොඳවෙලා ඉක්මණින්ම අලුත් සිත්තමක් ඇඳුණා. මිනිසුන් ගැන පූර්ව නිගමනවලට නොඑළඹී මනුෂ්‍යත්වය ගැන විශ්වාස කරන්න මට කියාදුන්නේ ඇයයි මුලින්ම. ඒ ඇගේ ජීවිතයෙන්ම. ඒ නිසාම පසුකාලයේ යම් වේදනාත්මක අත්දැකීම් ලැබුණත් මං තාමත් කැමතියි හැම මනුෂ්‍යෙයක්ම යහපත් කියන තැන ඉඳල මානව සම්බන්ධතා පවත්වන්න. මිනිසුන් එක්ක වැඩ කරන්න.

රොෂානි අක්කයි, දීප්ති අයියයි, දුවල දෙන්නයි පොත් ප්‍රදර්ශනයට ඇවිදින් මාව හොයාගෙන ‘සම‘ කුටියටම ඇවිත් මගේ නවකතාව ගනිද්දි මගේ ඇස්වල කඳුළු. මගේ හිත දිව්වෙ ඒ අතීතයට. මං හරි වාසනාවන්තයි ඒ වගේ ආදරවන්ත මිනිසුන් මේ ජීවිත ගමන තුළ හමුවන්න.

රොෂානි අක්කා සමඟ ‘සම‘ පොත් කුටියේ

දීප්ති අයියා, ප්‍රේමන් අයියා, රොෂානි අක්කා සමඟ මම


 

16 comments:

  1. අාදරණිය මිනිසුන්ගේ ඇසුරක් ලබන්නත් පිං කරන්න ඕනි... ඒ පින ඔබ තුමියට තියෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. විශාල ඇත්තක් මගෙ ජීවිත ගමන ගැන හිතද්දි.

      Delete
  2. ආව්.. ඒ ගොල්ලන් එක්ක ඉද්දි මෙයාගේ තියෙන ආඩම්බර කම.. (හෙක් හෙක්..)

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි තමයි හී... හී... ඉරිසියා කරන්න එපා.

      Delete
  3. ආදරණිය හදවත් හොයා ගත්තු ආදරණිය මිනිස්සු.

    ReplyDelete
  4. “Some people come into our lives and quickly go. Some stay for a while, leave footprints on our hearts, and we are never, ever the same” ― Flavia Weedn

    ReplyDelete
  5. මම දන්නේ ඉරිසියා කරන්න විතරයි... කමක් නැහැනේ....?

    ReplyDelete
  6. ඔය අක්කිටයි, අයියිටයි බැයිද දන්නෑ මේ ඉස්ටාර් නගාගෙ තුනටියට පය තියලා තව ලක්ෂයකිං හරෝලා කසාදෙකුත් බන්දලා දෙන්න?
    ඒත් එක්කම තව එකක් කියන්න හිතුනත් නොකියම ඉන්නං.

    ReplyDelete
    Replies
    1. කාලයක් එහෙම උත්සාහ කළා. බැරිම තැන එයාල වැඩේ අල්ලල දැම්මා...

      හොඳ වෙලාවට ඉතිරි ටික නොකිව්වෙ.

      Delete
  7. Deepthi ayya Manoramage ayya kenek wage 😀

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි. ඔයා කිව්වමයි ඒ සමානකම පෙනුණෙ...

      Delete
  8. මිනිසුන් ගැන පූර්ව නිගමනවලට නොඑළඹී මනුෂ්‍යත්වය ගැන විශ්වාස කරන්න මට කියාදුන්නේ ඇයයි මුලින්ම.- සම්පුර්ණ ඇත්ත. - අපිටත් පොතක් ගන්න ක්‍රමයක් කියන්න.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...