Wednesday, September 26, 2012

සති අන්තේ සුන්දර රස්තියාදුව



රස්තියාදුව සුන්දර දෙයක් විදියට දකින්න මට පුරුදු කළේ හිපියෙක් . ( කැමති නම් හිපියගේ ඒ බ්ලොග් සටහන බලන්නකෝ.) දැන් මම රස්තියාදුව කියන වචනය පාවිච්චි කරන්නෙ බොහොම ආදරණීයව. ඉතින් මගේ මේ සති අන්ත රස්තියාදුව පටන් ගත්තෙ සිකුරාදා හැන්දෑවෙ. ආදරණීය ඇරයුමක් ලැබුණා රාජ්‍ය ළමා  නාට්‍ය උළෙලේ නාට්‍යයක්  බලන්න එන්නෙයි කියල.

හොරොව්පතානෙ වර්ල්ඩ් විෂන්

අපිත් එක්ක ළ.ක්‍රි.වී.යෙ වැඩවලට සම්බන්ධ වෙලා හිටිය දීප්ති අයියා දැන් ''වර්ල්ඩ් විෂන්'' එක්ක එකතු වෙලා කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ප්‍රදේශයේ ලොකු වැඩ කොටසක් කරනවා. පිටරට ඩොලර්, පවුම්වලට ආදරයයි, මානව දයාවයි, කැපකිරීමයි එක් කළාම කොයි තරම් වෙනසක් කරන්න පුළුවන්ද කියල මේ පිරිස හොරොව්පතාන ප්‍රදේශයේ ඔප්පු කරලම පෙන්නල තියෙනවා. දීප්ති අයිය සරණ බැඳුමෙන් බැඳුණෙ මාව ළ.ක්‍රි.වී. ළමා සංවිධානයට බලෙන්ම කැන්දන් ආව රොෂානි අක්ක එක්ක. දැන් දූල දෙන්නෙක්ගෙ ආදරණීය මව්පියො. පදිංචිය අපේ ගම් පළාතෙමයි. එයාලගෙ ආරාධනය නිසයි 21 සිකුරාදා හැන්දෑවෙ මම නෙළුම් පොකුණෙ අසිරි බල බලා ජෝන් ද සිල්වා එක පැත්තට ඇදුණෙ. නාට්‍යය බැලීමේ ඕනෑකම වගේම රොෂානි අක්ක එක්ක ඕපදූප කියවන්නත්, දූල දෙන්න බලන්නත් ඕන කම තිබුණා.


සුලලිත සෞන්දර්ය සංචිතය... 

හොරොව්පතාන ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද? මායිම් ගම්මානයක් විදියට යුද්‍ධයෙන් බැට කෑව, කෘෂිකර්මයෙන් දිවි ගැටගහගන්න ජනතාවක් විදියට අව්ව වැස්ස නිසත් දුක් උහුලන,  අවම පහසුකම් තුළ දිවි ගෙවන ජනතාවක් මේ පැත්තෙ ඉන්නෙ. හොරොව්පතානෙ වර්ල්ඩ් විෂන් මගින් ළමුන් වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන ''සුලලිත සෞන්දර්ය සංචිතය ''  දරුවන් තුළ නාට්‍යය, සංගීතය, ලේඛනය, නර්තනය වැනි අංශ තුළ සෞන්දර්යාත්මක නිර්මාණාත්මක හැකියාව ඔප් නංවන අරමුණ පෙරදැරිව ආරම්භ කළ ව්‍යාපෘතියක්. සුලලිත නමින් සඟරාවකුත් පළ කරන බවයි දැන ගන්නට ලැබුණෙ. මේ වෙද්දි ටෙලි චිත්‍රපට දෙකක් නිර්මාණය කරල තියෙනවලු. ''‍සේපාලිකා මල්'' කියන ඒකාංගික ළමා ටෙලි නාට්‍යය පසුගිය 22 වන සෙනසුරාදා හවස 6.00 ට ජාතික රූපවාහිනියෙ විකාශය වුණා. යුද්ධය කියන වචනෙවත් ගාවන්නෙ නැතුව වාර්ගික සුහදත්වය, ආදරය ගැන කතා කළ අපූරු ටෙලි නාට්‍යයක්.

සමනළ චාරිකා..........

''සමනළ චාරිකා'' කියන ළමා නාට්‍යය මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කරල තිබුණෙ මේ සුලලිත සෞන්දර්ය සංචිතයෙන්. දරුවන්ගේ සම්පූර්ණ අවධානය දිනා ගන්න සමත් ළමා රංගන, පසුතල නිර්මාණ, රංග වස්ත්‍ර, ගීත, සංගීතය  ආදියෙන් ''සමනළ චාරිකා'' හරිම පොහොසත්. හරි අපූරු අලි පැංචෙක්, පෙත්තප්පු කෙනෙක්, සමනල්ලු රෑනක් මේ කතන්දරේ හිටිය. ළමා හිතට දැනෙන විදියෙ පුංචි පුංචි පණිවිඩ ටිකකුත් වේදිකාව මත දිග හැරුණා. නාට්‍යය දිහා බලන් ඉද්දි මොහොතකටවත් හිතුණෙ නැහැ මේ හොරොව්පතානෙ ගොවිතැන් කරන, කුලී වැඩ කරන අම්මල තාත්ත‍ලගෙ දරුවො නේද කියල. ඒ තරම්ම ඔවු‍න්ගේ හැකියාවන් ඔපමට්ටම් වෙලා චමත්කාර වෙලා තිබුණා. '' වර්ල්ඩ් විෂන් '' ආර්ථික හයියට සහ කණ්ඩායමේ ආදරණීය කැපවීමට, අජිත් ක්‍රිශාන්ත සේරම් ආචාර්යතුමන්ගෙ නිර්මාණශීලී හැකියාව සමග දරුවන්ගෙ හැකියාව කැපවීම අපූරුවට එක්තැන් වෙලා තිබුණා.

කැලේ පිපුණු මල් කැලේම පර වෙන්න නොදී වර්ල්ඩ් විෂන් හරහා ඒ මල්වල සුවඳ විඳින්න වැඩි දෙනෙකුට අවස්ථාව ලබා දීම අගය කළ යුතු දෙයක්. ( සැබවින්ම ‍දුෂ්කර පළාත්වල මේ වගේ වැඩපිළිවෙලක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන්න ඕන. ඒත් අධිවේගී පාරවල්, ගුවන් තොටවල්, සංචාරක හෝටල් වගේ සංවර්ධනයට අදාළ නැතිව ඇති මේ කාරණා. NGO ගැන ගැටලු රැසක් තියෙන බව ඇත්තයි. ඒත් මම පැහැදිලිවම දන්නවා හොඳ හිත් තියෙන මිනිසුන් NGO  සල්ලිවලින් රටේ දුප්පත් මිනිසුනට අවංක සේවයක් කරනවා. )

හැබැයි දුක හිතුණ කාරණය තමයි ජෝන්ද සිල්වා රඟහලෙන් කාලක් පිරෙන්නවත් සෙනගක් හිටියෙ නැහැ. කොළඹ අවට ඉන්න අයටවත් බැරිද තමන්ගෙ දරුවො කැන්දන් ඇවිත් මේ ළමා නාට්‍ය පෙන්නන්න.  

රස්තියාදු සෙනසුරාදාව.....................

උදෙන්ම නැගිටල උයල බත්මුලක් බැඳ ගත්තා. වතුර බෝතලේකුත් ගත්තා. කෝච්චියෙන් ගියා කොලොම්පුරේ. කුරුඳුවත්ත පොලිසිය ළගින් බස් එකෙන් බැහැල ‍ලංකාවේ ‍‍ආශ්චර්යයේ අසිරිය සිත් පුරා නෙත් පුරා විඳිමින් නිදහස් මාවත දිගේ පාද චාරිකාවෙන්ම ‍පොත් ප්‍රදර්ශනේට ගියා. අතේ වැඩිය සල්ලි තිබුණෙ නැහැ. ඒ නිසා පොත් දිහා වැඩියෙන් බල බලා අඩුවෙන්ම මිල දී ගත්තා.


·         ජීවිතය අන් තැනක - මිලාන් කුන්දේරා
·         විනාඩි 11 - පාවුලෝ කොයියෝ
·         ශුද්ධවු ජුදාස්, ඇහැල ඇමතුමකට ඇහැරුණෙමි, මාතෘකාවක් නැති මාතෘ භුමිය - මංජුල වෙඩිවර්ධන
·         පියෙද්රා ගඟ බඩ හිඳ හඬා වැළපුනෙමි. - පාවුලෝ ( මට නෙවෙයි. නමුත් මටත් කියවන්න ඇහැකි. )
·         ගෙත්සමෙනි සන්ධ්‍යාව - භද්‍රජී ( මේකත් මට නෙවෙයි. නමුත් මටත් කියවන්න ඇහැකි. )

‍ගමේ කඩේ, මැගී කඩේ, අයිස්ක්‍රීම්, කෝක් මෙකී නොකී හැමදේම නොදැක්ක වගේ අහක බලන් පොත් දෙසම නෙත් අලවන් පැදකුණු කළා. ගුරුගෙදරත් ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. කරුණා පෙරේරා, ඒ.වී. සුරවීර, දයා දිසානායක, පද්මා එදිරිසිංහ, තවත් නාඳුනන ලේඛකයන් විය හැකි අය සභාව ඉදිරියේ අසුන් ගෙන හිටියා. සාකච්ඡාව ආරම්භය එතරම් හිත් ගත්තේ නැහැ. කම්මැලි ගතියක් දැණුනා. ඒ නිසා නැගිටල ආයෙම පොත් අතර සැරිසැරුවා.

දොළහ වෙද්දි මහන්සියි. බඩගිනියි. කැන්ටිමට ගිහින් බත්මුල දිග ඇරන් අනුභව කරද්දි නම් හිතුණා අනේ තනියට කෙනෙක් හිටියා නම් කියල මොකද තමන් උයා ගත්ත ඒව තමන්ම තනියෙන් කද්දි හරිම මුස්පේන්තු ගතියක් දැනෙනවා. බාගෙට බත් මුල කාල අතුරු පසට මංජුල වෙඩිවර්ධනගෙ කවියක් ගිල දැම්මා. එන අතරෙ කැටපත් පවුරෙ කවි ටිකකුත් රස වින්ඳා.

ඉන්පස්සෙ සුදර්ශිය පැත්තට ගියේ '' පොත් දහසක්'' ව්‍යාපෘතියට පොත් ටිකකුත් දෙන්න තිබුණ නිසා. තිලණි නංගියි, අම්මයි විතරයි හිටියෙ. තිළණි පුංචි කෙල්ලෙක්නෙ. අපූරු කැපවීමක් අම්මගෙයි දූගෙයි දෙන්නගෙම. කෑගල්ලෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ පොත් එකතු කරන්න. දවසම වාඩි වෙලා ඉද්දි පණ යනවා ඇති. එයාලත් එක්ක පැයක් විතර වාඩි වෙලා හිටිය. කයියකුත් ගැහුවා. ඉන්පස්සෙ සමු අරන් ලයනල් වෙන්ඩට් එක පැත්තට ඇදුණා. පත්තර දැන්වීමකින් දැන ගත්තෙ සත්සර ඉලංගසිංහගෙ චිත්‍ර ප්‍රදර්ශනයකුත් ඒ දිනවල තියෙන බව....

සිත්තම් අතර සැරිසර......

ලයනල් වෙන්ටඩ් එක ඇතුළට ගියාම පුදුමත් හිතුණා. ශාලාවම හිස්. චිත්‍ර නිසොල්මනේ බලන් හිටියා. චිත්‍ර ශිල්පියා කිහිප දෙනෙක් එක්ක කතාවක. හිතුවෙ නැහැ මාව අඳුන ගනියි කියල. ඒත් එක බැල්මෙන්ම අඳුනගෙන අපි ටිකක් කතා බහ කළා. ඉස්කෝලෙ යන කාලෙත් එහෙම තමයි මේ සිත්තරා. අඩුවෙන් කතා කළේ. එයාගෙ චිත්‍ර තමයි වැඩියෙන් කතා කළේ.

සත්සර ඉංලගසිංහ නැත්නම් සත්සර අයියා අපි එක ඉස්කෝලෙ හිටියෙ උසස් පෙළ කරද්දි....... එයා මට වඩා වසරක් ඉදිරියෙන්.  මමත් උසස් පෙළට කළේ චිත්‍ර. අපිට ඒ කාලෙ චිත්‍ර උගන්වන්න ගුරු‍වරයෙක් හිටියෙ නැහැ. සම්පූර්ණ විෂය නිර්දේශයට සටහන් එකතු කර ගත්තෙ අපි පොත පතින්. චිත්‍ර කාමරේ අපි හතර පස් දෙනාගෙ තනි බූදලයට අයිති වෙලයි තිබුණෙ. සාමාන්‍ය පෙළ චිත්‍ර උගන්වපු අශෝක සර් අපට උදව් කළා. විභාගෙට මාස තුනක් තියෙද්දි එයාගෙ නංගි ඇවිත් ස්වේච්ඡාවෙන් අපිට අඳින්න වගේම ලියන්නත් පුහුණුවක් දුන්නා.

ඉතින් ඒ කාලෙත් මේ සිත්තරාගෙ හැකියාව අපිව විස්මයට පත් කළා. එයා අඳින දිහා බලන් ඉන්න ආසයි. තිසරණ ඉලංගසිංහ කියන නමින් චිත්‍ර කතා පත්තරවලටත් ඇන්ද මතකයි. පාසල් මතකයත් අවදි කරන් එදා මම ලයනල් වෙන්ටඩ් එක පැත්තට ගියේ. අපේ සිත්තර අයියා දැන් චිත්‍ර උගන්වනවලු අම්පාර තලාවෙ ඉස්කෝලෙක. ඒ වගේ පැත්තක ඉඳන් කොළඹ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර ගන්න එකත් ලේසි නැහැ. මීට වඩා ප්‍රචාරයක් ලැබෙන්න තිබුණා කියල හිතුණා. කොහොමටත් චිත්‍ර ප්‍රදර්ශන බලන හුරුවක් ලංකාවෙ අපට නැහැනෙ.

ඇත්තම කියනවනම් මේ බොහොමයක් චිත්‍ර වලින් කියන්න අදහස් කළේ මොනාද කියල මට නම් තේරුණේ නැහැ. සමහර චිත්‍ර ගැන අනුමානයෙන් කියන්න පුළුවනි. ඉස්කෝලෙදි ඇන්ඳ දිය සායම් චිත්‍ර මීට වඩා හොඳයි කියලත් හිතුණා. චිත්‍ර විඳීමට වඩා  සහෝදරාත්මක හැඟීමක් තුළ හිතට දැණුන නිහතමානී සතුට වින්දා කියන්න පුළුවනි. මේ පින්තූර ටික බලන්නකෝ... ඔයාලටත් දැනේවි……

( ඉරිදා රස්තියාදුව වෙනම කතාවක්..  අම්මෙක්ගෙයි, තාත්තෙක්ගෙයි සුන්දර කතාවක්... ) 


මේක නම් අනේ මන්ද? 

මේ වගේ සංකීර්ණ මඩ ගොහොරුවක එරිල නේද ඉන්නෙ අපිත්... 

අන්ධකාරෙ මේ ගිලෙන්නෙ රුවල් නැවක් වගේ... ඒත් ඇත්තටම බැලුවොත් මේ අපේ රට නේද? ලංකාවෙ ඡායාව තියෙනවා නේද? දැනටමත් සෑහෙන කොටසක් ගිලිලා. 

සොබාදහමයි නවීන තාක්ෂණයයි එකතු වුණාම ලස්සන නිර්මාණයක් බිහි වේවි... ඒත් නවීන තාක්ෂණය හැම විටම සොබාදහමට ආභරණයක් වෙන්නෙ නෑ නේද? ලෝකය සොබාදහම අභිබවමින් කෘතිම වේගන යන බවද මෙයින් කි‍යවෙන්නේ.. 

වනන්තරයක සිහිලස, සුවදායක බව වගේම ගුප්ත බවත් දැනෙනවා වගේ. 

ගිනි ගන්න ලෝකෙක ගහකොල කියන්නෙ නෙතටත්, සිතටත් සුවයක්... 

බලන්න හිස්.... චිත්‍ර පාළුවේ බලා හිටියා. 


14 comments:

  1. ඔය සිත්තර වල තේරුම් ටිකත් කිව්ව එක ලොකු දෙයක් නැත්නම් කොයිල් වෙලා වගේ සිත්තර ටික බලාගෙන බලාගෙන යයි. :)

    මරු රස්තියාදුවක් නේ අක්කා !

    ReplyDelete
    Replies
    1. චිත්රස මට තේරුණ හැටි මල්ලී විස්තර කළේ. සිත්තරාගෙ අදහස වෙනම එකක් වෙන්නත් පුළුවන්. සත්සර අයිය ම‍ට නඩු දාන්නත් බැරි නෑ මේ තේරුම්වලට.

      මරු රස්තියාදුව මල්ලී. ඒ වගේම රස්තියාදුවත් මරු මල්ලී.

      Delete
  2. සමහර වෙලාවට කලය ගතකරන්න විදියක් ඇත්තෙම නැති වුනාම මමත් මේවගේ රස්තියාදුවේ යනවා. හැබැයි ගෙවුන වද් ගනනාවක්ම ගතවුනේ ඔය පොත් ප්‍රදර්හනේ. ඒකනමි සුන්දර කාලය ක දැමිමක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොත් ගන්න අතමිට නැති උණත්, පොත් දිහා බල බල යන එකත් සුන්දර අත්දැකීමක් තමයි.

      Delete
  3. ඔයා තේරුම පැහැදිලි නොකලනම්.. මට කවදාවත් ඒ චිත්‍ර රස විඳින්න බෑ

    ReplyDelete
    Replies
    1. මේ චිත්රනවලට මීට වඩා වෙනස් තේරුම් තියෙන්නත් පුළුවන් මල්ලී. මුල්ම චිත්ර ය හරිම ලස්සනයි. ඒත් මට ‍ඒක තේරුම් ගන්න බැරි උණා.

      Delete
  4. ෂහ්, හොඳ රස්තියාදුවක් ගහලනෙ. මට ළඟකදි යන්න බැරි වුණා රස්තියාදුවෙ. :)

    ReplyDelete
    Replies
    1. ඔයා පළමු වතාවටයි මගේ බ්ලොග් පිටු අතරට ආවෙ. ගොඩක් සතුටුයි. ඒ වගේම ආද‍රයෙන් පිළිගන්නවා. රස්තියාදුව මේ වගේ සුන්දරව දකින්න මම හුරු උණේ පැතුම්ගෙ හිපියාගේ සටහන් බ්ලොගයේ ලිපියකින්.

      Delete
  5. අපිටත් අඬගහන්නකෝ ඔය වගේ රස්තියාදු යද්දී!
    ඒක නෙමෙයි ඇහැල ඇමතුමකට ඇහැරෙමි කොහෙද තිබුනේ??
    මම හැමතැනම වගේ බැලුවා ඒත් හොයා ගන්න බැරි උනා!:-/
    දෙමල කවි පොත නම් මම ගිය පාර ගත්තේ!

    ReplyDelete
    Replies
    1. රස්තියාදු ගමන් සැලසුම් කරල නෙවෙයිනෙ යන්නෙ. ඒ නිසා තමයි කළින් ඇරයුම් කරන්න අමාරු. කවි පොත් කුටියක් තිබුණා කැටපත් පවුර ළග. මම එතනින් ගත්තෙ.

      Delete
  6. හරිම සුන්දර රස්තියාදුවක් .මාත් හිටපු ගමන් මේ වගේ රස්තියාදුවේ යනවා . චිත්‍ර ටිකත් හරි අපූරුයිනෙ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්... බැරිද ඔයාගෙ රස්තියාදුවකට මාවත් හවුල් කර ගන්න. දයාබර යාළුවෙක් එක්ක රස්තියාදු වෙන එකත් හොද අත්දැකීමක් වේවි...

      Delete
  7. ටික දවසකින් මේ පැත්තේ රස්තියාදු වෙන්නත් බැරි වුනා . පරණ ලිපි පැත්තේ හිමිට රස්තියාදු වෙන්න ඕන . ෂා නියමයි. මාත් ආසයි රස්තියාදු වෙන්න . දැන් ටිකක් අඩුයි . ළමයි ලොකු වුනහම ආයේ යන්න ඕන . හැබැයි ඊයේ ගියා පොඩි රස්තියාදුවක් . ලියන්න ඕන ඒ ගැන

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...