Wednesday, July 29, 2020

අඳුරට සාප නොකර ඡන්දදායකයාගේ හෘද සාක්ෂිය දල්වමු.


පින්තූරය Daily mirror  වෙබි අඩවියෙනි.

“මේ සැරේ නම් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. ඔක්කොම කරන්නෙ බොරුව, වංචාව, ගසා කෑම, අසාධාරණේ. පොඩි මිනිහා ගැන සලකන එක දේශපාලඥයෙක්වත් නෑ. රට විකුණල හරි කමක් නෑ උන්ට ඕන තමන්ගෙ සේප්පු පුරවගන්න.”

“හොඳයි ඉතින් ඡන්දෙ නොදී හිටියා කියමුකො. එතකොට මොකද වෙන්නෙ පාර්ලිමේන්තුවම හොරුන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන්, දූෂකයන්ගෙන්, මදාවිකාරයන්ගෙන් පිරෙයි. තත්ත්වෙ තවත් නරක් වෙන එක නෙමෙයිද වෙන්නෙ.”

“හා ඉතින් කියමුකො බලන්න අවංකව ඡන්දයක් දෙන්න පුළුවන් එකම එක නියෝජිතයෙක්වත් ඉන්නවද කියලා, එකම එක පක්ෂයක් කියන්න බලන්න රට ගැනයි, මිනිස්සු ගැනයි හිතන.”

“නපුර වැඩියි ඇත්ත... නමුත් මේ තියෙන තත්ත්වය ඇතුළෙ අපට අවම නපුර ගැනවත් හිතන්න වෙනවා. හොඳට ඇහැ කණ ඇරල බැලුවොත් මේ කුණු වුණ දේශපාලනය ඇතුළෙත් තාමත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මිනිස්සු ඉන්න බව පෙනෙයි. එහෙම නැත්නම් අපි එවැනි මිනිස්සු දේශපාලනයට එන විදියට වැඩ කරන්න ඕන. බලය දූෂිතයි, පරම බලය අතිශය දූෂිතයි කියල කතාවක් තියෙනවනේ. ඉතින් නොමිනිසුන් අතට මහා බලයක් නොයන විදියට තමන්ගෙ කතිරෙ පාවිච්චි කරන එකත් මේ මොහොතෙ පුරවැසියන් විදියට අපේ වගකීමක්. ඒකට තමයි පුරවැසි දේශපාලනය කියන්නෙ.”

“හ්ම්... හ්ම්”

“දේශපාලනය කියන්නෙ උත්තරීතර වැඩක්. රටක, ජන සමාජයක යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙලක් හැදීමනෙ දේශපාලනයේ සැබෑ අරමුණ විය යුත්තෙ. එතන පටු අරමුණු තියෙන්න බෑ. පීඩිත පන්තිය අමතක කරලා තමන්ගේ සුඛ විහරණය ගැන විතරක් හිතන්න බෑ. හැමදෙනාටම යහපත සැලසෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හරි අධ්‍යාත්මයක්, හෘද සාක්ෂියක්, නිවැරදි දැක්මක් නැති මිනිස්සුන්ට මේක කරන්න බෑ. අද මේ දේශපාලනය කියල කරන්නෙ සීමිත පිරිසක් අත ආර්ථික බලය පවත්වාගන්න පොඩි මිනිහගෙ ඇස් වහල කරන ඇස්බැන්දුම් වැඩක්නෙ.”

“මේ රටට නිදහල ලැබිල අවුරුදු හැත්තෑවක් ගියත් අපට ඔය තියෙන මජර දේශපාලන ක්‍රමය නවත්වන්න බැරිවුණානේ.”

“එහෙම හිතුවොත් නම් කලකිරීමක් විතර තමයි ඉතුරු වෙන්නෙ. නමුත් ජනතාව වෙනස් වෙනව නම් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි හිතන පතන විදිය සහ වැඩ කරන විදිය වෙනස් වෙන්න ඕන.”

“ඒ කොහොමද?”

“මුලින්ම, අපි ආසන්න පාර්ලිමේන්තු මැතිවරණය ගැන හිතමු. මෙතනදි අපි ඡන්දය පාවිච්චි කරන්න ඕන අපේ පුද්ගලික වාසිය ගැනවත්, ජාතිය, ආගම හරි, පුද්ගල ජනප්‍රියත්වය හරි, පාරම්පරික පක්ෂය ගැන හරි හිතල නෙවෙයි. පොදුවේ ගමට, රටට අවම යහපතක් හරි ඉටුවෙයි කියල හිතන්න පුළුවන් පුද්ගලයා ගැන හිතලා. දැන උගත්, යහපත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න අපි මහන්සි ගන්න ඕන. අනිත් කාරණේ තමයි නිවැරදි දැක්මක පිහිටන ශක්තිමත් විපක්ෂයක් ඕන රටකට. බලය යහපත් මිනිසුන් අතට භාරදෙන්න මේ මොහොතෙ අපට පුළුවන්කමක් නැත්නම් ප්‍රබල විපක්ෂයක්වත් හදන්න අපි මහන්සි වෙන්න ඕන. ඈලි මෑලි දුබල විපක්ෂයක් නෙවෙයි අවම වශයෙන් පාර්ලිමේන්තුව ඇතුළෙ මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් විපක්ෂයක්.” 

“ඒ කතාව ඇත්ත, ඒත් ඕවා තාවකාලික පැලැස්තරනේ”

“ඔව්, ඇත්ත, ක්ෂණික නූඞ්ල්ස් හදනව වගේ දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න බෑ. ඒකට ජනතාව දැනුවත් කරන්න ඕන. ඒක බිම් මට්ටමින් පටන් ගන්න ඕන වැඩක්. කුඩා කණ්ඩායම් විදියට දැනුවත්කිරීම් කරන්න ඕන. දේශපාලනය කියන්නෙ පුරවැසි වගකීමක් කියන එක හැමදෙනාම තේරුම් ගත්ත දවසට තමයි මේ ක්‍රමයේ වෙනසක් දකින්න පුළුවන් වෙන්නෙ. සල්ලි වීසිකරලා, මදාවිකම් කරලා අන්ත දූෂිතයින්ට බලයට එන්න පුළුවන් වෙලා තියෙන්නෙ, උන්ට ඡන්දෙ දෙන පිරිසක් මේ සමාජයේ ඉන්න නිසානෙ. අන්න එතැනයි අපි වෙනස් කරන්න ඕන. හෘද සාක්ෂියක් ඇති මිනිස්සු හරියට කතිරෙ ගහන්න ඉගෙනගත්තු දවසට ගොඩක් දේවල් වෙනස් වෙයි.”

“මිනිස්සු හැමදාමත් රැවටෙනවා. ඉතින් කොහොමද වෙනසක් කරන්නෙ?”

“රැවටෙන්නෙ මිනිස්සු ඇත්ත දන්නෙ නැති නිසා. ඇත්ත සමාජ ප්‍රශ්න ගැන මිනිස්සුන්ට දැනීමක් නැහැ. තමන්ව පීඩාවට පත්වෙන්නෙ කොහොමද කියන එක, ඒ පීඩාවේ මූලය තියෙන්නෙ කොතනැද කියන එක මිනිස්සු දන්නෙ නෑ. ඒ ඇත්ත දේශපාලකයොත්, මාධ්‍යයත් මිනිස්සුන්ගෙන් හංගනවා. අපි ඒ ඇත්ත මිනිස්සුන්ට ඇහෙන්න, දැනෙන්න කියන්න ඕනි. දේශපාලකයා තමන්ගේ වාසිය වෙනුවෙන් ජාති, ආගම්, කුල, පක්ෂ ආදී නොයෙක් විදියට අපිව භේදබින්න කරන බව ජනතාව දැනගන්න ඕන. ඒ දැනුවත්භාවය සමාජය තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක්.” 

“අපේ තරුණ පරපුර ? අලුත් ඡන්ද? එයාලගෙ කතිරෙ තීරණාත්මකයි නේද?”

“හ්ම්, ඒක තමයි කණගාටුවට කරුණ, අද තරුණ පරපුරට නිවැරදි නායකත්වයක් නැහැ. සමාජ මාධ්‍ය තමයි ඒ ඔලුගෙඩි පාලනය කරන්නෙ. බහුතරයක් ජාතිවාදී, ආගම්වාදී විස පුරවගෙන වල්මත් වෙලා. අපි කොතනින්ද පටන්ගන්න ඕන. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ජපානය තමන්ගෙ රට ගොඩනගන්න තීරණය කරද්දි එයාල පටන්ගන්නවා රන් බිජුවට කියලා ව්‍යාපෘතියක්. එයාල සමාජය ගොඩනගන වැඬේ පටන්ගත්තෙ පෙර පාසලේ දරුවන්ගෙන්. අදත් අපිට එතන ඉඳන්ම වැඩ පටන්ගන්න සිද්දවෙලා තියෙනවා. ජනතාව ආත්මාර්ථකාමී නම්, තණ්හාධික නම්, නූගත් නම්, අපිලිවෙළ නම් එවැනි ජනතාවක් අතරින් අපට සුපිරිසිදු දේශපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ ළමා පරපුර, නව යොවුන් සහ තරුණ පරපුර සබුද්ධික කිරීමේ වගකීම අපිට තියෙනවා.”

“අපේ රටේ සදාචාරසම්පන්න දේශපාලනයක් කියන්නෙ හීනයක් තමයි.”

“හීන හැබෑ කරගන්න නම් වැඩ කරන්න ඕන. අඳුරට සාප නොකර ඡන්දදායකයාගේ හෘද සාක්ෂිය දැල්වීම මේ මොහොතේ අපේ වගකීම. කතෝලික අපිට ඒ වගකීම ඉටුකරන්න නිවැරදි මාර්ගෝපදේශයක් තියෙනවා. ඒ තමයි ජේසු ඉගැන්වූ විමුක්තිදායක ප්‍රේමයේ දැක්ම. අද ජේසු හිටියා නම් කාට ඡන්දෙ දෙන්න කියයිද කියල තමන්ගෙම හෘද සාක්ෂියෙන් අහල බලන්න. ජේසු අපට ප්‍රේම කළ තරමින් දශමයක ප්‍රේමයක්වත්, කැපවීමක්වත් නැති දේශපාලකයෙක්ට කතිරෙ ගහන්න සැබෑ කතෝලිකයකුට බෑ. ජේසු ගිය මඟ ගන්න සැබෑ කිතුනුවෙකුට අනේ අපිට දේශපාලනයෙන් වැඩක් නෑ කියල ඇහැ කණ පියාගෙන ඉන්නත් බෑ. එදා ආගමික නායකයොයි, දේශපාලන බලාධිකාරයයි එකතු වෙලා ජේසු කර මත තැබූ කුරුසිය, අද අපේ කර මත බව අමතක නොකර මේ ගමන යමු.”

(ඡන්දදායකයාගේ වගකීම පිළිබඳව සරල ලියවිල්ලකට ඇරයුම ලැබුණේ භක්ති ප්‍රබෝධනය සඟරාවේ සංස්කාරක එමාඩ් පියතුමාගෙන්. ඒ අනුව ලියවුණු මේ සංවාදාත්මක සටහන ඔබ හමුවේ තබන්නට රිසිවෙමි. එය මෙවර භක්ති ප්‍රබෝධනය  සඟරාවේ පළ වී ඇත.)

2 comments:

  1. තරූ,
    හොඳයි! මටත් මගේ හැංගීම නොලියා බැරි වුණා. ඒ නිසයි මෙතන විස්තර නොලියා link එක විතරක් දාන්නේ:
    https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_29.html

    ReplyDelete
  2. මිනිස්සු කවදා මේ තට්ටුමාරු ක්‍රමයෙන් මිදෙයිද

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...