පිටු

Friday, November 6, 2015

රන් කරඬුව අත් හරිමු ද?



සාමාන්‍ය පෙළ කරල ගෙදර ඉන්න කාලෙ ( අපට එහෙම කාලයක් තිබුණා. අර කෝස් මේ කෝස් අර පන්ති මේ පන්ති නැතුව... ) අසල්වැසි දනව්වක තිබුණ පුස්තකාලෙට පුස් බයිසිකලයෙන් ගිහින් පොත් ගෙනත් පිස්සුවෙන් වගේ කියවන ගන්ධබ්බ අවධියක තමයි මට ජයසේන ජයකොඩි ගෙ පිච්ච මල, අරලිය මල් ආරාමය, මහමෙර, උපේඛා පොත් ඇහැ ගැටුණෙ.

මහමෙර, උපේඛා කියෙව්වම උපේඛා තෙරණියට වගේ මටත් ආරාමයක් හදාගෙන නිස්කාන්සුවේ ඉන්න ඕන වගේ හැඟීමක් දැනෙමින් තිබුණා. ගහකොලවලින් වටවුණු, නිස්කලංක තැනක නිසංසලව ඉන්න ජීවිතයක් ගැන හීනයක් මැවුණා.

ඊටත් අවුරුදු විස්සකට පස්සෙ කුරුලු කෙවිල්ලන්ගෙ හඬයි, සීතල සුළං රැලියි, ගහකොලයි එක්ක මිනිස් වාසයෙන් තරමක් බැහැරට වුණු මගේ ගෙදරට වෙලා ඉද්දි මට හිතෙනවා ඒ එදා සිහින දුටු ආරාමය නේද මේ කියල.


........

මේ ආරාම කතන්දරේ මතකය අලුත් වුණේ ‘‘රන් කරඬුව නවකතාව කියවමින් ඉද්දි. මුලින්ම කියන්න ඕන මම මේ නව කතාවට කැමති වග. සම්මාන කතන්දර එක්ක කළඑලි බහින නවකතා කියවීම පසුවට කල් දැමූ මොහොතක රන් කරඬුව අතටම ගෙනත් දීලා ‘කියෙව්වද‘ කියල කීප වතාවක්ම ඇහුවෙ චම්පි.

රන් කරඬුව කියවමින් යද්දි හෙස ගේ සිද්ධාර්ථ, කසාන්සාකිස්ගෙ සෝර්බා, පාවුලෝ ගෙ සන්තියාගෝ විටින් විට හිතට එබිකම් කළා. අධ්‍යාත්ම ගවේෂණය, ජීවිත ගවේෂණය ගැන ලියැවුණු මට දැණුනු පොත් අතර  ඉදිරියෙන්ම තියෙන පොත් ඒ. මම ඒ පොත්වලට කැමතියි. ඒ අතර බෞද්ධ සාහිත්‍යය ඇසුරු කරගනිමින් භික්ෂුවකගේ අධ්‍යාත්මික අරගලය ගැන කියවෙන රන් කරඬුව විශේෂ මතකයක් ඉතිරි කරන සිංහල නවකතාවක් වේවි.

‘‘රන් කරඬුව‘‘ භික්ෂුවකගේ වන්දනා ගමනක් කේන්ද්‍ර කරගත් කතාවක්. එය සිදුවන්නෙ ඉන්දියාවෙ. විශේෂයෙන්ම බුදුන් වහන්සේගෙ ජීවිත සිද්ධි එක්ක බැඳුණු ස්ථාන වන්දනාමාන කරගන්නා අදහසින් එන භික්ෂුවගෙ අධ්‍යාත්මික අරගලය ඒ හා බැඳුණු වෙනත් පුද්ගල ඇතුළාන්ත අරගල වගේම සමාජ දේශපාලන ආගමික අරගලත් මේ කෘතිය තුළින් මතුවෙනවා. බුද්ධකාලීන සිදුවීම්, සහ භික්ෂුවගේ වර්තමාන ජීවිතයත්, වන්දනා ගමනත් අතර කාල තරණය පටළැවිල්ලක් නොවන ආකාරයට ගොතන්නට සමත්වීම දක්ෂකමක්.


ජීවිතය කියන්නෙ ගමනක්. සමහර විට වන්දනා ගමනක්. තවත් විටෙක විනෝද ගමනක්. ගමනේ අරමුණ ලෞකික සුවය වෙන්න පුළුවනි. ලෝකෝත්තර සුවයක් වෙන්නත් පුළුවනි. බොදුනුවන් නිවන සොයා සංසාර වන්දනාවේ යෙදෙන විට, කිතුනුවන් ස්වර්ගීය සැනසුම සොයා වන්දනාවේ යෙදේවි. ක්‍රිස්තියානිය කියන්නෙත් විමුක්තිය සොයා යන වන්දනාවේ ගමනක්. පැරණි ගිවිසුමේ සිට පැවතෙන අදහසක් ඒ. නාම පුවරුවල, මඟ සලකුණුවල සංඥා, සංකේත, භාෂාමය වෙනස්කම් තිබුණාට අපි හැමෝම යන්නෙ එකම ගමනක්.  
     
‘‘රන් කරඬුව‘‘ භික්ෂුවකගේ අධ්‍යාත්මික අරගලය කේන්ද්‍ර කරගනිමින් ලියැවුණාට අප සියල්ලන්ම මුහුණ දෙන ඇතුළාන්ත අරගලය ඒ තුළ තියෙනවා. මමත් මා තුළම එවැනි අරගලයක ඉන්න නිසාම ද මන්ද මට මේ පොතට කැමැත්තක් දැනෙන්නෙ. පුද්ගල කේන්ද්‍රීය අරගල, සමාජ අරගලවලින් වෙන් කරල, හුදකලාව කියවාගන්න කොයි තරම් අසීරුද කියලත් හිතෙනවා. සමාජ අරගල වගේම පුද්ගල අධ්‍යාත්මික අරගල පැන නැඟෙන්නෙත් පීඩිත පන්තියේ අරගලයත් එක්කම. දරිද්‍රභාවය කියන්නෙ ආර්ථික දුබලතාවක් පමණක්ම නෙවෙයි. රන් කරඬුව වුණත් ඒ ගැන සියුම්ව කතා කරනවා.

අත්හැරීම කොතරම් අසීරු ද? අල්ල ගැනීම වේදනාවක්. අත්හැරීම සුවයක්. ඒ බව දන්නවා වුණත් අත්හැරීම ලේසි නැහැ. භික්ෂුව පැන්සල් කොටය, පතරොම් කොපුව වගේම රන් කරඬුවත් බදා වැළඳගන්නෙ තණ්හාවෙන්, ආශාවෙන් පමණක් ම නෙවෙයි. සමහර විට යුතුකමක් වගකීමක් පිළිබඳ හැඟීමෙන්. සමහරවිට ඒවා හදවත බදා වැළඳගත් ගැඹුරු තුවාල. සුවපත් වීම අපහසු. තවත් විටක දතක පුංචි හෙළවීමක් සියුම් වේදනාවක් පාර පාරා මිහිරි සුවයක් විඳිනව වගේ වැඩක්.

කෘතිය අවසානයේ මෙහෙණිය හමු නොවීම අත්හැරීම වෙනුවෙන් හිත හදාගන්නට භික්ෂුවට හැකි වුණා නම් මම කැමතියි. ඒ තරම් දුරක් මහත් වැරවෑයමෙන් අල්ලාගෙන පැමිණි දෑ එතරම්ම පහසුවෙන් අත්හැරිය හැකිද? එහෙමත් නැත්නම් නිරායාසයෙන් ගිලිහී යනවාද? ප්‍රශ්නයක්? සමහර විට හදවත ගැඹුරට කා වැදුණු තුවාල සුවවෙන්න කාලය ඔසුවක් වෙන්නෙත් එහෙම වෙන්න පුලුවනි.

ගුප්ත ගේ චරිතය මට සිහිපත් කරන්නෙම සෝර්බා... ගුප්ත අත්හැරීම ප්‍රගුණ කරන්නෙ අල්ලාගැනීමේ තෘප්තිය කෙළවර. ගුප්තට ජීවිතය පහසු වෙන්නෙ ඒ නිසා විය යුතුයි. භික්ෂුව සහ ගුප්ත එකම කාසියේ දෙපැත්ත. එකම ගමනකදී එකවර මේ දෙදෙනාම හමුවීම සංකීර්ණ කල්පනා ලෝකයකට පාඨකයා ඇදල දානවා.



මායා යථාර්ථවාදය අපට එන්නෙ බටහිරින්ය කියන අදහස තිබුණත්, බුදු දහම මුල් කොට ගත් අපේ සාහිත්‍යය ඇසුරු කරද්දි මායාව සහ යථාර්ථය ගැටෙමින්, මැඩෙමින්, වැඩෙමින්, මුසුවෙමින් ජීවිතාවබෝධය අවුළුවන තැන් අප්‍රමාණව හමුවෙනවා.

බටුවන්ගල රාහුල හාමුදුරුවෝ බෞද්ධ සාහිත්‍යයත්, සංකල්පත් වර්තමානය එක්ක පාහමින් නිර්මාණය කරන මේ නව කතාව මායා යථාර්ථවාදය නූතන ලාංකේය සාහිත්‍යයට ගළපාගන්න විදිය පිළිබඳව දෙන්න පුළුවන් හොඳම නිදසුනක් කියලයි මට හිතෙන්නෙ. මායාව සහ යථාර්ථය සියුම්ව, ඉතාම දැනුවත් ව, උපක්‍රමශීලීව කතාව සමඟ බද්ධ කරගන්න කතුවරයා සමත්වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය ගැනත්, බෞද්ධ සාහිත්‍යය ගැනත් තියෙන දැනුම් සම්භාරය ඒ ගෙත්තමට සාධාරණයක් ඉෂ්ටකරන්න උදව් වෙලා තියෙනවා.  

රන් කරඬුව කියවා අවබෝධ කරගන්න තරම් බුදු දහම ගැනත්, බෞද්ධ සාහිත්‍යය ගැනත් මා සතු දැනුම ගැන ඇත්තෙන්ම මට නිහතමානී සතුටක් දැනෙනවා.

මගේ කවි පොත කියවූ කිවිඳියක් දැක් වූ එක් අදහසක් තමයි කතෝලික ආගමික පරිසරයෙන් ගන්නා සිදුවීම්, වචන නොදන්නා නිසා සමහර කවි රසවින්දනයට යම් බාධාවක් සිදුවන බව. මේ සම්බන්ධයෙන් කිතුනු පසුබිමකින් එන ප්‍රවීණයකු සමඟ කළ සංවාදයේ දී ඔහු දැක් වූ අදහසක් තමයි බෞද්ධ පසුබිමක් සහිත නිර්මාණ රස විඳීමේ දී කවදාවත් අපට එවැනි අපහසුතාවක් නොදැනෙන එක ගැන අප සතුටු විය යුතු බව. ඒ කතාව ඇත්ත.

ජීවිතය වන්දනාවක්. අපි එහි ගමන් සගයෝ. පැන්සල් කොට, පතරොම් කොපු, රන් කරඬු අත්හරින්න එක්වරම අපට නොහැකි වේවි. භික්ෂුව, භික්ෂුණිය, ගුප්ත ගේ ගමන වගේ ම අපේ ගමනත් තවම නිමි නෑ. කෙම්බිම තව බොහෝ දුර විය හැකියි.

රන්කරඬුව නවකතාව - බටුවන්ගල රාහුල හිමි
සදීපා ප්‍රකාශනයක්
මිල රු. 300.00


16 comments:

  1. රන් කරඬුව සම්බන්ධයෙන් මම දැනට කියවූ හොඳම ලිපිය සහ විචාරය මෙයයි. ක්‍රිස්තියානි කෙනෙක් වන් ඔබ අතින් මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීම පිලිබඳව ඔබට මාගේ ආචාරය.
    මමත් මේ පොතින් මගේ ස්වයං සංවාදයට ගත්ත දේ බොහෝමයි. ඒ අතරින් තෘප්තිය අවසන අත්හැරීම තමයි මටත් තදින්ම අහු උනේ.
    හැබැයි ඉතින් මම තවමත් නිවාඩු දවසකට පස්සට අවුව වැටෙනකල් නිදාගන්න ආසයි, "නින්ද ගැන මට තාමත් තෘප්තිමත් වෙන්න බැරි ඇයි කියලයි මම තාමත් හිතන්නෙ // හිනා මූනක් :)

    ReplyDelete
  2. මල් පැලේ උපන් පන්සලේ පියතුමා ගේ ආදරණිය දියෙණියක් :)

    විවේක ඇති වෙලාවක කියවන්න වටි වටි කියල හිතා ගත්තා....

    ReplyDelete
  3. මා තවම නවකතාව කියවා හමාර නැත. ඒ නිසා නවකතාවේ අවසානය පිලිබඳව කිසිවක් කීමට නොපෙළෙඹෙමි. එහෙත් කතාවේ දිශානතිය පැහැදිලිය.

    තරූට නවකතාවේ හරය හරියට ම අසුවී තිබේ. සංඛේත බහුල මෙවන් කතාවක් හරියට අල්ලා ගැනීම ද ලෙහෙසි නැත. භික්ෂුවක් මේ පොත ගැන ලියූ ලිපියක්ද දුටිමි. ඔහුටද හරය හසුවී තිබුනේ නැත.

    මට වැටහෙන හැටියට පොතේ දර්ශනය බෞද්ධ දර්ශනය ම නොවේ. භික්ෂු වේශයෙන් බුදු දහම නමින් වෙන මගුලක් කරන අයට ඇස් ඇරෙන අතුල් පහරක් මෙහි ගැබ්වී තිබේ.

    අත් හැරීමට නම් අල්ලා ගත යුතු ම ය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ සටහනට.

      Delete
  4. /* මගේ කවි පොත කියවූ කිවිඳියක් දැක් වූ එක් අදහසක් තමයි කතෝලික ආගමික පරිසරයෙන් ගන්නා සිදුවීම්, වචන නොදන්නා නිසා සමහර කවි රසවින්දනයට යම් බාධාවක් සිදුවන බව. මේ සම්බන්ධයෙන් කිතුනු පසුබිමකින් එන ප්‍රවීණයකු සමඟ කළ සංවාදයේ දී ඔහු දැක් වූ අදහසක් තමයි බෞද්ධ පසුබිමක් සහිත නිර්මාණ රස විඳීමේ දී කවදාවත් අපට එවැනි අපහසුතාවක් නොදැනෙන එක ගැන අප සතුටු විය යුතු බව. ඒ කතාව ඇත්ත. */

    මේක සුළුතර/බහුතර හේතුව නිසා ඇතිවෙන දෙයක්.
    කොලඹ අවට සිංහල/දෙමල භාෂා දැනුමත් එහෙමයි.

    ReplyDelete
  5. නිස්කලංක කැලෑ වලට මං ගොඩක් ආසයි. තරු අක්ක කියන සංහිඳයාවයි ගුප්ත බවයි දෙකම එහෙම තැන් වල තියනව. මට මේක කියවද්දි මතක් වෙන්නෙ “අරණකට පෙම් බැඳ“ සහ ඈන්ගෙ “අරඹෙ ගෙදර“ ඒ වගේම මගේම පුංචි කාලෙ.

    කැලෑවෙන් වට විච්ච ගේකුයි, ඉස්කෝලෙ යන්න කැලයක් මැද්දෙන් යන පාරකුයි කැලේකින්ම වටවිච්ච පුංචි ඉස්කෝලෙකුයි පුංචි කාලෙ මට තිබ්බ.

    ReplyDelete
  6. හාමුදුරුවන්ගේ රූපය මාර විදිහට හිත නිව්වා...... ඒක බා ගත්තා.......

    ReplyDelete
  7. මට රන් කරඬුව කියවන්න ඕන කියලා හිතුනේ ස්වර්ණ පුස්තක සම්මානේ ලැබුනට පස්සේ.. පොත නම් හම්බුනා, තාම කියවන්න නිවාඩු පාඩු වෙලාවක් ලැබුනේ නෑ..

    ReplyDelete
  8. බොහොම හොඳ විචාරයක්. පොත කියෙව්වට පස්සේ කොමෙන්ටුවක් දාන්න බලන්නම්.

    ReplyDelete
  9. මේ සැරේ පොත් ප්‍රදර්ශනයෙන් තරු ඇස් රහස්, සෝර්බා හා රන් කරඬුව පොත් තුනම ගත්තා. තරු ඇස් රහස් හා සෝර්බා කියවා ඉවර කළා . රන් කරඬුව ඊළඟට . හොඳ සටහනක් තරූ

    ReplyDelete
  10. හොඳ විචාරයක්... හම්බුනොත් කියෝලා බලනවා..

    ReplyDelete
  11. ලැබුනොත් කියවනවා.අල්ලා ගන්න තරම් ලේසි නැහැ අතාරින්න.එක මිනිස් අපේ ස්භාවයෙන්ම එන ජන්ම ගතියක්නේ අක්කේ.

    ReplyDelete
  12. බුදු දහම සම්බන්ධයෙන් වර්තමානයේ අප මුහුණදී ඇති මුළු ඛේදවාචකයම බටුවන්ගල රාහුල හිමි හරි අපූරුවට රන්කරඬුවේ මායා යථාර්ථවාදී රචනය තුලින් මවනවා. රන් කරඬුවේ සම්පූර්ණ හරය ගතහොත් එය වර්තමාන බෞද්ධයන්ගේ වත් පිළිවෙත් බොහා්මයක් අමු අමුවේ හෙලා දකිනවා එහෙමත් නැතිනම් උපහාසයට ලක් කරනවා....
    එමෙන්ම එහි ප්‍රධාන තේමාව වූ එක් රන් පතක් පමණක් සහිතව භාරදෙන රන් කරඬුවේ අවසානයේ බලද්දී රන් පත් ගණනාවකින් මුල් රන්පත වැසීගොස් තිබීම මගින් අර්ථවත් කරනුයේ නිර්මල බුදු දහම අප විසින් ඒ මත පැටවූ නිරර්ථ පූජා විධි, අර්ථ දැක්වීම් තුලින්ම වැසීගොස් ඇති බවයි.
    Paulo Coelho ගේ The Alchemist කෘතියේත් සන්තියාගෝ හා ඇල්කෙමිවරයා අතර සාකච්ඡා මගින් මෙවැනි දර්ශණයක් මතුකරනවා.

    කෙසේ නමුත් රන් කරඬුව කියවා අවසන් වූ මාගේ හිතේ ඇඳීගියේ මීට බොහෝ කලකට පෙර අසා තිබූ වැකියක්.

    මිනිසුන්
    තම ආගම වෙනුවෙන්
    බොහෝ දේ කරයි
    ඔවුන් ඒ ගැන
    කාව්‍ය රචනා කරයි
    පොත් ලියයි
    ප්‍රතිමා සාදයි
    යුද්ධ ද කරයි
    එහෙත් ඔවුන්
    නොකරන එකම දේ
    තම ආගම අනුව ජීවත් වීමයි

    ReplyDelete
  13. තරු රසීගෙ විචාරය අවතක්සේරු කරනවවත් එයට අභියෝග කරනව වත් නොවෙයි.
    මට පොත කියවන්න ලැබුණෙ නැහැ වගේම කියවපු අයගෙන් වෙනස් විදිහෙ ප්‍රතිචාරත් ලැබුණ.
    මට තියෙන ප්‍රශ්නෙ මෙතන සමහරු හොඳ විචාරයක්. පොත පස්සෙ කියවන්නම් කියල කියන්නෙ කොහොමද කියලයි.
    පොතක් නොකියවා විචාරයක් හොඳ හෝ නරක වෙන්නෙ කොහොමද?
    චිත්‍රපටයක් නොබලා විචාරයක් හොඳ හෝ නරක කියල කියන්න පුළුවනිද?

    ReplyDelete
  14. කතාවෙ එන ගුප්ත ගෙ චරිතය මගෙ හිතටත් මැව්වෙම සොර්බා ගෙ චරිතය.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...