පිටු

Wednesday, December 5, 2012

නත්තල් සීය හරිම නරකයි...



සිඟිති සුරංගනාවීගෙ දින ‍පොතෙන්....


( සුරංගනා ලෝ‍කෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ... සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. ඒ වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ හුඟක් ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා ගන්න එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම ඒ රාජකාරිය අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන දින පොතේ සිඟිති සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර, කටුක අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඇයි කියනවනම් අම්මල, තාත්තල, වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු වෙන්නයි... අපිත් කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල... )


නත්තලත් අත ළගටම ඇවිදින්. නත්තල කියන්නෙ පුංචි හිත්වල පැතුම් පිපෙන කාලෙ. බලාපොරොත්තු පොදි බැඳගෙන මග බලා ඉන්න කාලෙ. ලස්සන නත්තල් ගහක් හදන්න, පුංචි ගවලෙනක් හදන්න, නත්තල් සුබපැතුම් යවන්න... රසම රස රසකැවිලි කන්න.... නෑගම් යන්න... යාළුවො එක්ක ඇතිවෙන්න සෙල්ලම් කරන්න.... පුංචි අය හරිම ආසයි. පිණිමුවන් ඇදන් යන හිමයානෙක නැගල ඇවිදින් නත්තල් සීයා තෑග්ගක් දෙයි කියලත් පුංචි අය පෙරුම් පුරනවා.... ඉතින් මේ කාලෙට සිගිති සුරංගනාවියන්ටත් වැඩ බහුලයි... මොකද පුංචි ළමයින් සතුටින් ඉන්නව වගේම එයාලට දුක හිතෙන වැඩත් හරියට සිද්ධ වෙනවනේ.. මේ කතාවත් ඒ වගේ නත්තල් කාලෙක වුණ දෙයක්...

 සෝනු බබාට තෑගි එපා වෙලා

සෝනු බබා දැන් ඉස්කෝලෙ යන්නත් ළගයි. මොන්ටිසෝරි බබෙක් විදියට එයාට ලැබෙන අවසාන නත්තල මේ. සෝනු බබා හරිම ආසයි නත්තලට. නත්තල් ළගයි කියන වචනෙ ඇහුණ දා ඉන් එයා හීන මැව්වා නත්තල් සීයගෙන් තෑගි ගන්න. වයින් තියන්න පුළුවන් ලස්සන රතු කාර් එකක්. එයා හැමදාම රෑට නිදා ගන්න යද්දිත් ජේසුට කිව්වා..... 

'' අනේ ජේසු නත්තල් සීයට කියන්න මට වයින් තියන කාර් එකක් ඕන කියල... ''

සැරින් සැරේ එයා අම්මගෙනුත් ඇහුවා...
'' අම්මෙ නත්තල් සීය මට කාර් එකක් ගෙනත් දෙයි නේද? '' කියල.
'' ඔයා හොට හිටියොත් ගෙනත් දෙයි. '' අම්මා කිව්වා..
අම්මට වැඩ වැඩි නිසා ඒ ගැන වැඩිය හිතන්න ඉඩක් තිබුණෙ නැහැ. අම්මටත් ඒක අමතක උණා.

ඔන්න  නත්තල් දා රෑ පල්ලි ගිහින් සෝනු බබා හිතුවෙත් වයින් තියන කාර් එකක් ගැනමයි. එයාගෙ යාළුවෙකුටත් තිබුණා ලස්සන රතු පාට රේසින් කාර් එකක්. එයා ඒක යාළුවන්ට පෙන්නන්නෙ හරිම ආඩම්බරෙන්. සෝනු බබාට අල්ලන්න දෙන්නෙත් නෑ. ඒ වගේ එකක් උණොත් කොයි තරම් හොද? " නත්තල් සීයට අමතක වෙයිද දන්නෑ..." සෝනු බබාට බයත් හිතුණා.

පහුවෙනිදා ඉරටත් කළින් සෝනු බබා ඇහැරුණා. අම්මගෙ කිරිබතේ සුව ගේ පුරාම ඉහිරිලා. තාත්තා ආසම නත්තල් ගීතිකා හ පැතිරෙනවා.

'' සුර ගීයයි බිළිු හයි ඈත ඇසෙන්නේ..... සුළං රොදයි මල් සුවයි එදෙසින් එන්නේ...."

නිදිගැට කඩ කඩ සෝනු බබා නත්තල් ගහ ළගට දුවගෙන ගියා. ( මේ ගමේ නත්තල් සීයා ජනේලෙ එල්ලෙන මේස් කකුලක තෑගි දාල යන්නෙ නැහැ. එයා නත්තල් ගහ ගාවයි තෑගි තියන්නෙ. ඔයාල දන්නවනෙ ඇත්තටම නත්තල් සීය එනව නෙවෙයිනෙ. නත්තල් සීය හිටියෙ බොහොම කාලෙකට ඉස්සර. දැන් නත්තල් සීය වෙනුවෙන් තෑගි තියන්නෙ අම්ම, තාත්තා, පවුලෙ අනිත් අය තමයි.... )

'' ඕ............" සෝනු බබාගෙ ඇස් දිලිසුණා. ලස්සන පාට පාට දිලිසෙන කොලවලින් ඔතපු තෑගි කීපයක්ම තිබුණා. සෝනු බබාට හදිසිය තෑගි බලන්න. ලස්සන කොල සිලි සිලියෙ සද්ද නගමින් ඉරිල ගියා. තෑගි එකින් එක එළියට ආවා. ඒ වගේම තෑග්ගෙන් තෑග්ගට සෝනු බබාගෙ මූණ ටිකින් ටික මැලවිලා ගියා. ඉස්කෝල බෑග් එකක්, අළුත් ඇුමක්, කතා පොත්, ඉස්කෝලෙ ගෙනියන පොත්... ඒවයි ලැබුණ තෑගි. සෝනු බබා මූණ බෙරි කරගෙන නැගිට්ටා.

'' ඇයි පුතේ තෑගි හොඳ නැද්ද?'' අම්ම ඇහුවා.

'' මම පොඩ්ඩක්වත් ආදරේ නෑ මේ නත්තල් සීයට. '' සෝනු බබා කිව්වේ තරහෙන්. '' නත්තල් සීය හරිම හොඳ නෑ. චූටි ළමයි ආස සෙල්ලම් බඩුවලට කියල දන්නෙ නැද්ද නත්තල් සීය... '' මූණ බෙරි කරගෙන එහෙම කිව්ව සෝනු බබා ආයෙම දුවල ගිහින් ඇ‍ෙඳ් ගුලි ගැහුණා. ඒ නත්තල් දවස පුරාම සෝනු බබා හිටියෙ දුකින්...

මම්ම හැමතිස්සෙම ගෙනත් දෙන්නෙ කතන්දර පොත්. හැමවෙලේම කතන්දර කියව කියව ඉන්න පුළුවන්ද?

‍'' මේ ළමයට සෙල්ලම් බඩු අරන් දීල වැඩක් නෑ.. වැඩිම උ‍ණොත් දවසයි '' කියල ආච්චම්ම තියන සෙල්ලම් බඩුත් අල්මාරියෙ දානව. ලොකු උණාම දෙන්නම්ලු. සෝනු බබා සෙල්ලම් බඩු කඩනව නෙවෙයි. ඒව ඇතුළෙ මොනාද තියෙන්නෙ කියල බලන්නයි ගළවන්නෙ... අනික ඉතින් සෙල්ලම් බඩු යකඩ බඩු වගේ හයියට හදල නැහැනෙ. පොඩ්ඩ ඇත්නං කැඩෙනවා. ආච්චම්මට ඕව පැහැදිලි කරන්නෙ කොහොමද? ආච්චම්මට නම් කිව්වට වැඩක් නෑ. ඒත් නත්තල්  සීය ඇයි මෙහෙම කළේ.... ඇඳට වෙලා දුකෙන් ඉද්දි සෝනු බබාට ඔය වගේ දේවල් කල්පනා උණා
.......................................

....... පුංචි ළමයින්ට දෙන්න තෑගි තෝරද්දි වැඩිහිටි අය හිතන්න ඕන තමන්ට ඕන කරන දේ ගැනවත්, තමන්ගෙ පහසුව ගැනවත් නෙවෙයි. පුංචි අය ආස කරන දේ ගැනයි. එයාලගෙ සතුට ගැනයි. ළමා කාලෙ හැමදාම තියෙන්නෙ නැහැනෙ. බොහොම පුංචි කාලයයි. ඉතින් ඒ අහිංසක ළමා කාලෙ ලස්සන අත්දැකීමක් කරන්න වැඩිහිටි අපි උත්සාහ කරන්න ඕන........ සිඟිති සුරංගනාවි තමන්ගෙ දිනපොතේ එහෙම ලියල තිබ්බා ඒ නත්තල් දවසේ... 

10 comments:

  1. අපට බැරිද සෝනු බබාව දකින්න. එකාගේ ෆොටෝ එකක් අනිත් පාට පෝස්ට් කරන්න. සෝනු කියන්නේ අක්කෑ පුතාට ද ?

    ReplyDelete
    Replies
    1. සෝනු කියන්නෙ මගෙ ලොකු නංගිගෙ පුතා.... දැන්නම් එයා ලොකුයි. මේ පුංචි කාලෙ සිද්ධියක්.. එපාවෙන්නම එයාට කතන්දර පොත් ගෙනිහින් දුන්න මම්ම තමයි මම... හැබැයි තාමත් ඒ පොත් එයා පරිස්සම් කරගෙන ඉන්නවා.

      Delete
  2. සොදුරුම මතකයක් ලස්සන ලියැවිල්ලක්.
    /පුංචි ළමයින්ට දෙන්න තෑගි තෝරද්දි වැඩිහිටි අය හිතන්න ඕන තමන්ට ඕන කරන දේ ගැනවත්, තමන්ගෙ පහසුව ගැනවත් නෙවෙයි. පුංචි අය ආස කරන දේ ගැනයි. / මේ කැල්ල ගොඩක් හිතට වැදුනා.

    ReplyDelete
  3. /*
    සෙල්ලම් බඩු කඩනව නෙවෙයි. ඒව ඇතුළෙ මොනාද තියෙන්නෙ කියල බලන්නයි ගළවන්නෙ... අනික ඉතින් සෙල්ලම් බඩු යකඩ බඩු වගේ හයියට හදල නැහැනෙ. පොඩ්ඩ ඇත්නං කැඩෙනවා.
    */

    මේ ටිකනං සහතික ඇත්ත...

    ReplyDelete
  4. ඇත්ත කතාව. හිතන්න දෙයක් තියෙන ලිපියක්...
    ගොඩක් වෙලාවට දෙමව්පියන් කැමති දේවල්නේ දරුවන්ට තෑගී විදියට දෙන්නේ.... ඒත් පොඩි අය ආස සෙල්ලම් බදු වලට වැඩිපුරම..... අනික එයාල සෙල්ලම් බඩු ලැබුනම ඒවා කෑලි කරලා බලන්න ආසයි. පිරිමි ළමයි තමයි ගොඩක් වෙලාවට මං හිතන්නේ... ඒ වෙලාවට එයාලට බනින්න නරකයි. එයාල එකෙනුත් දෙයක් ඉගෙන ගන්නවනේ....

    ReplyDelete
  5. පොඩි කාලේ අපේ අයියට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නම ඒක තියෙන්නෙ විනාඩි කීපයයි. එයා ඒක කෑලි වලට ගලවලා ආයෙම හයි කරනවා...ආයෙම කඩනවා වැඩ කෝටියයි... ඉස්සර එයාට තිබ්බා සෙල්ලම් බඩු පෙට්ටියක්. ඒකෙ තිබුනේ කෑලි විතරයි....

    ReplyDelete
  6. හරිම ලස්සනයි...
    ළමා ලෝකෙ කියන්නෙ හරිම සුන්දර සුරංගනා ලොවක්...
    දෙමවුපියන්ට,වැඩිහිටියන්ට පුලුවන්නම් මොහොතකට හරි ඒ ලෝකෙට ඇවිත් ඒ සුන්දර හැගීම් වැලද ගන්න පුංචි සිගිත්තෝ ගොඩක් සතුටු වේවි...
    ළමයින්ව දැකිය යුත්තේ ළමා මනසකින්..
    ඔයත් ඒ දේ නියෙමෙටම කරලා තියෙන බව තේරෙනවා...
    ජයම වේවා !!!

    ReplyDelete
  7. ලස්සන හිතට දැනෙන හිතන්න තියෙන සටහනක්.. පුචි හිත්වල බලාපොරොත්තු අහස උසට තියෙනවා. ඒ දරුවො නොදැන උනත් ඒ බලාපොරොත්තු ඉටු වුනාම හනෛාවුනාම හිත්වලට ඇති වන්නේ දුකක්. අපි කාටත් එහෙමයි. කැඩුනත් අරන් දෙන්න ඕනෙ ඒක දරුවන්ට

    ReplyDelete
  8. 'පුතේ අද රෑට නත්තල් සීයා ඒවි තෑගිත් අරන්'

    'ඉතින් අම්මියො අපේ පාල බොලලුනෙ. නත්තල් සීයගෙ හිම කලත්තෙ එන්නෙ කෝමද?'

    ReplyDelete
  9. ස්තුතියි තරු....මේක කියවල මට මගේ අතීතය මතක් වුනා... ඉස්සර අම්මි, තාත්ති දෙන්න එක්ක එකතු වෙලා නත්තල් දවසෙ උදේට මගෙ ලග තෑගි තියල තියනවා... මොනවද ලෑබුනෙ කියල මතක නෑති උන්ත් ඒක මතක් වෙද්දි ඒ අය ගෑන පුදුම ආදරයක් දෑනෙනව.....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...