Friday, November 25, 2016

ආදර බාඳුරා !!!





‘‘ගැළපීමක් ගැන කතා කරන්නෙ මොකටද? මොකද මං තමුසෙව කසාද බඳිනවද?‘‘

ඉමක් නොපෙනෙන අන්ධකාර ළිං පත්ළකින් නැගෙන භයංකාර දෝංකාරයක් වගේ ඒ වචන උත්තරාගේ කන්අඩිවල හැප්පි හැප්පි රිදුම් දුන්නා. රිදුම් මැව්වා. ඇය රිය අසුනේ වම්පසට ගුලිවෙලා දෙසවන් දෝතින්ම වසා ගත්තා. වැසුණු දෙසවන් අස්සෙනුත් ඒ විස ඊතල නැවත නැවත හද මස පසාරු කරමින්... පියවුණු ඇස් පිය අස්සෙනුත් ඒ ඇස් ගිනි පුළිඟු නැවත නැවත සිහි කල්පනාවත් දවා හළු කරමින්...

.......කසාද බඳින්න විතරමද ගැළපෙන්න ඕනි......... උත්තරා හිතින් හිතුව විතරමයි. 

පිස්සු හැදෙන්න ඔන්න මෙන්න. මැරිල වැටෙන්න ඔන්න මෙන්න... රිය දොර ඇරගෙන එළියට පනින්න, වාහනේක හැපෙන්න, එතැනම මැරෙන්න ඇත්නම්!!! දැන් නම් මට පිස්සු!!! උත්තරාට හිතුණා.

138 ලේලන්ඩ් බස් එකක රෝද අස්සෙ චිප්ප චිරිප්පං වෙලා ඉන්න ඇගේ රූපකාය ඇයටම පෙනුණා. උත්තරා ගැස්සුණා.




‘‘බඩේ අච්චේ ලගතී හේ‘‘ ඒක පරණ හින්දි චිත්‍රපටියක සින්දුවක්. ශ්‍රෙයා ගෝෂාල්ගෙ හිත පිස්සු වට්ටන ලස්සන හඬින් එච්චර පරණ සින්දුවක් වුණත් අලුතෙන් ඇහෙද්දි පශ්චාත්නූතන හිත්වලත් ඉසියුම්ම ස්වර වැයෙන්න ගන්නවා. අපි අඳුනගත්ත මුල් දවස්වල මේලයක අමුණල මේ ගීතය එයාමට එවල තිබුණා. ඒ තමයි ආදරේ ලස්සනම දවස්. හරියට වළාකුලක පාවෙනවා වගේ දැනෙන, දේදුන්නක වාඩිවෙලා ගිමන් හරිනව වගේ හරි සැනසිල්ලක් දැනෙන, මල් පෙතිවලින් පවන් සලනවා වගේ හිත නැළවෙන, මීමැස්සො මල් රොන් හොයා ඇවිදිනව වගේ නිතරෝම හිත කැළඹිල්ලෙන් ගුම් ගුම් ගාන... එච්චර ලස්සන ආදරණීය දවස් ඊට කළින් කවදාවත් තිබිල නෑ. ආයෙම තියෙන එකකුත් නෑ.

මම හින්දි ගීතයේ ඉංගිරිසි තේරුම සිංහල වචන විදියට ගැලපුවා. ඒක එච්චර අමාරු වුණේ නෑ. ආදරයෙන් හිතක් පිරිල තියෙද්දි ලස්සනම වචන උනන්නෙ රිදී උල්පතකින් වගේ. ලස්සනම සිතුවිලි ගලන්නෙ නයගරා ඇල්ල කඩන් හැලෙනවා වගේ. 

අපමණ සොඳුරු ය සියල්ල
මේ පොලෝ තලය ද
නදී දිය දහර ද
රාත්‍රිය ද...
පෙම්වත ඔබ ද...

හෙමි හෙමින්
සන්සුන් ලෙසින්
පැමිණෙනු ඇත එය
ප්‍රේමය යැයි අප පවසන
විස්මිත ය
ඒ සොඳුරු ආගමනය...

අරුමැසි ය සියල්ල
මේ මෝසම ද
සල්ලාපයන් ද
සාංකාවන්ද...
පෙම්වත ඔබ ද ...

සසර හුරුයැයි හඟිමි විටෙක
විටෙක නුහුරු ය.. නුපුරුදු ය...
දකිමි එලෙසින් ඔහු...
සිහිනයක් සේ
පිබිදී හිඳින්නෙය
රැය මුළුල්ලේ
ඔහු මා ඇසි පිය තුළ...



අසිරිමත් ය සියල්ල
මේ තරු කැට ද
මේ දැකුමන් ද
මේ සඳ මඬල ද
පෙම්වත ඔබ ද...

ඒ කාලෙ හරිම අහිංසකයි. ඒ අහිංසක ආදර මායා බාඳුරා ගොටුවට මං වැටුණෙ, ඇලුණෙ ස්වකැමැත්තෙන්ම. වැඩිදුර නොහිතාම...‘‘


උත්තරා අසරණ හසරැලි මාත්තුවකින් මූණ පුරා තැවරුණු වෙහෙසකර බව මකාදාන්න උත්සාහ කළා. 


............... 

‘‘ඉස්සර අපි කුලියට උන්නු ගේ ළඟ ගෙදරක් තිබුණා. හැමදාම රෑ හත වෙද්දි ඒ ගෙදර දෙන්න දෙමහල්ලො ගෝරිය පටන් ගන්නවා. ඒ මනුස්සයා සෝමපාල කුලී වැඩ කළේ. ගෑනු කෙනා කාන්ති. මුලදි මනුස්සයා බීල ඇවිල්ල ගෝරි දානවා. ගෑනු කෙනාට ගහනවා. හට්ටි මුට්ටි පොලවෙ ගහනවා. අර ගෑනු කෙනත් පැය ගානක් හැපි හැපී අඬනවා. පස්සෙන් පහුවෙද්දි ඒ ගෑනු මනුස්සයත් හැන්දෑවට බොන්න ගත්තා. දෙන්නත් එක්ක ජෝඩු දාල බයිසිකලේ ගිහින් බීල එනවා. ඉන්පස්සෙ මරාගන්නවා. අපි කියන්න පුරුදු වෙලා හිටියෙ අන්න තේවාව පටන්ගත්තා කියල....

ඒ දවස්වල මට හිතුණු දෙයක් තමයි, දෙයියනේ කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල. හැමදාම ගුටි කකා, අඬ අඬා ඒ මනුස්සය එක්කම ඉන්න පුලුවන්ද? ඇයි අතෑරල යන්නෙ නැත්තෙ. මම නම් මොහොතක්වත් එහෙම ඉන්නෙ නෑ කියල මම හිතුවා.“

උත්තරා හිනා වෙවී කිව්වා. ඒ මාරාන්තික ගැටුම් රැල්ලකින් පස්සෙ සාම සාකච්ඡා සාර්ථක වෙලා යුද උණුහුම මැකිල තිබුණු සැනසිලිදායක මොහොතක්. 

‘‘ඉතින්?“  ඔය කතාව මේ දැන් මෙතනට ඇයි? කියන්න වගේ ඔහු ඇහුවා. 

‘‘ඉතින්, දැන් මට තේරෙනවා. එහෙම ඉන්න පුලුවන් කියල. හිතේ ඩිංගක් හරි ආදරයක් තියෙනවනම් ඕන දුකක් උහුළන් ඉන්න පුලුවන් ගෑනියෙකුට... සමහර වෙලාවට කරන්නම දෙයක් නැත්නම්, ඒත් ඉන්න වෙනවා...“

උත්තරා දුස්ට ප්‍රේමවන්තයාගේ වම් කම්මුල මත පිටි අත්ල තියල මැදැඟිල්ලෙන් හෙමිහිට පිරිමදින ගමන් කිව්වා.දෙතුන් දොහකින් නොකැපුණු රැවුල් කොට අතැඟිලිවල ඇනි ඇනී හිත හීරෙන්න ගත්තා. ඒ මුහුණෙ තිබුණෙ මහා විඩාපත් බවක්. තැන තැන රවුළු කොට සුදු පෑයට හැරෙමින් තිබුණෙ දිගු ජීවිත ගමනක වෙහෙසකර ලකුණු මේ යැයි කියන්න වගේ...  

ඉස්සරම දවස්වල ප්‍රේමයම ඉහිරුණු ඇස්වල තවදුරටත් ආදරයක තෙතමනයක් ඉතිරි වෙලා තියෙනවද බලන්න උත්තරාගේ ඇස් ඉස්සි ඉස්සී වෙහෙසුණා. ඒත් ඒ අඳුරු මුහු‍ණේ දුඹුරු ඇස් බැල්ම කොහේදෝ නොදන්නා ඈත ඉසව්වක තනිවෙලා තිබුණා. 

8 comments:

  1. අම්මෝ... අන්තිමට තල්ලු කළා නේද පල්ලමට? ලස්සනයි තරූ

    ReplyDelete
  2. සිංදුව ලස්සනයි. කතාවත් ලස්සනයි...

    ReplyDelete
  3. ලස්සනට වියමන කරාලා

    ReplyDelete
  4. හරිම ලස්සනයි කතාව...

    ReplyDelete
  5. අර විදිහෙන් ගෝරි යන ගෙදරක් අපේ ආචිචිලාගේ අල්ලපු වැටේ තිබුණා. "අල්පොන්සුවා බීලා..." හවස සද්ද සාජ්ජෙ පටන් ගනිද්දි කුස්සියෙන් එළියෙ වටපිල උඩ බුලත් හෙප්පුව ලඟ වාඩිවෙලා ඉන්න ආච්චි කියනවා. අපිත් ඉතින් අහන් ඉන්නවා. සිංහලත් ඉගෙන ගන්නවා.
    උන්දෑ රස්සාවට කලේ වලං විකුණන එක. හවහ ඔය සද්ද පූජාව තිබුණට උදේ පාන්දරම වගේ වඩක්ක ගොනා බැඳපු වලං කරත්තේ පිටත් වෙනවා. බේබි අක්කාවත් ලඟින් වාඩි කරවන්, උදේ හීතල හින්දා ඉස්මුදුනේ ඉඳන් රෙද්දකුත් පොරවන්, අල්පොන්සුවා කරත්තෙ දක්කනවා. වඩක්කයා ඔළුව වනලා ගෙජ්ජි හොල්ලා යන සද්දේ මං තාම ඉඳහිට අහනවා.

    ReplyDelete
  6. මමත් ඔහොම පවුල් දැකලා තියෙනවා අක්කා... කොහොම හරි නොයෙක් හේතු මතින් එයාලා වෙන් නොවී එකට ඉන්නවා ... යහළුවෙක් කීවා ගැලපෙනම අය හමුවෙන්නෙ නෑ.. නොගැලපීම් කැපකිරීම් බවට පත් කරගන්නවා කියලා ! ඒක කොයිතරම් ඇත්ත ද

    ReplyDelete
  7. වෙන් වෙන්න දහසක් හේතු තිබ්බත් එක හේතුවක් නිසා වෙන් නොවී ඉන්න ආදරවන්තයෝ කොයි තරම් නම් ඉන්නවාද ?සමහරවිට කාලයක් යන කොට අර ඉහත කි නොගැලපීම් හේතු වෙන්න තරම් දේවල් නොවන බවත් දෙගොලොලෝම වටහා ගනීවි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...