පිටු

Thursday, November 17, 2016

ඉක්බිති ඔවුහු බුදියගත්හ.



"Dream Under a Desert Sky," by visually impaired artist Stella De Genova
 
තක්ෂිලා ස්වර්ණමාලිගේ මා ඇස ගැටුණු මුල්ම කෘතිය ‘‘ගොයම‘‘ කෙටි කතා එකතුවය. ඇගේ කුළුඳුල් නවකතාව ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ පිළිබඳව පූර්ව ප්‍රචාරණපාඨ ඇස ගැටුණු විට එය අනිවාර්යයෙන් මිල දී ගත යුතු පොත් ලැයිස්තුවට ඇතුළත් වූයේ ඒ එකම කෘතියෙන් වුවද ලේඛිකාවගේ හෘද සංවේදී ලේඛන කලාව මා ආකර්ෂණය කර තිබූ බැවිනි. 

නවකතාවේ පිටකවරයේ පින්තූරයකි.
‘‘සියල්ලන් නිද්‍රෝපගතව සිටිද්දී අවදිව සිටීම විකෘතියක් වූ කල්හි...‘‘ 

නවකතාවෙහි පිදුම වෙනුවට ඇත්තේ එබඳු කරකවා අත්හරින යෙදුමකි. ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ යන මාතෘකාව තරමටම එය අමුතු ය. නිද්‍රෝපගත වීම සහ බුදියා ගැනීම එකිනෙකට සමපාත වන්නේ කෙලෙසදැයි අප සිතා බැලිය යුතු ය.

‘ඉක්බිති ඔවුහු බුදියගත්හ. ආයෙත් ඒ කළුවර ම ය. ආයෙත් ඒ ගෙරවිලි ම ය. ඊයේ වගේම ය. ඇතැම්හු උඩුබැල්ලෙන් නිදති. ඇතැම්හු මුණින් අතට නිදත්. අත් පා එහෙ මෙහෙ යයි. කට දෙපැත්තේ ආයෙත් කුණු කෙළ ම ය. වික්ටෝරියා වත්ත සන්සුන් ය..........‘

‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ යන කෙටි වැකියෙන් ආරම්භ වී එම වැකියෙන්ම අවසන් වන චරිත කීපයක දිනක හැසිරීම ආකෘතිය කරගත්තද ඒ තුළ වරින් වර අතීතයට පිවිසෙමින් දීර්ඝ කාලීන සමාජ, දේශපාලන ගමන්මගක් සහ එහි වර්තමාන අර්බුද සියුම්ව ග්‍රහණය කරගන්නට කතුවරිය සමත් වී ඇත. වික්ටෝරියා වත්තට සංක්‍රමණය වී ඇති අමරේ කේන්ද්‍ර කරගනිමින් ඔහුගේ ළමා වියේ සිට කෘතියෙහි අද දවස දක්වා වන ජීවිත කාලය තුළ ඔහුගේ ජීවිතය සමග බද්ධ වී සිටින තවත් මනුෂ්‍ය ප්‍රාණ රැසකගේ ජීවන අරගල සමඟින් ඇදී යන කතාව කියවීමෙහි රුචිය වඩවන්නකි. 

නවකතාවෙහි ඇරඹුම අලුත් දිනකට අමරේගේ නිදිගැට හැරීමත් සමඟ ය.

‘‘තුං නොදකින් කාලකන්නිය, මූසලකමට පස්සට ඉර එළිය වැටෙනකල් බුදියගන්නවා. ඒ මදිවට තව ඈනුනුත් අරිනවා.‘‘

ඒකත් කළිං දා වගේමය. සීතක්කා පයිප්පයෙන් හෝදාගත් රෙදි ටික කම්බි වැටේ එල්ලයි.

‘‘ඕව ඉරෙයි බං. රෙදිවැලක් බැඳගං‘‘

‘‘තොගෙ මොකද මගෙ රෙදි ඉරුණම. තෝ යැ අරං දෙන්නෙ.‘‘

‘‘එහෙනං තොට මොකද මං මගෙ පස්සට එළිය වැටෙනකල් බුදියගත්තට......‘‘

පිටුව 10

සීතක්කා ලිංගික ශ්‍රමිකාවකි. මේ කටකමසිරියාවක් නැති කම චාරයක් නැති ගැහැනියකගේ ලක්ෂණයකැයි ඔබ සිතන්නට ඉඩ ඇත. නමුත් නවකතාව ගලා යන්නේ මෙබඳු මනුෂ්‍ය ජීවිත මුහුණ දෙන දුෂ්කර ජීවන අරගලය සහ ඒ තුළ පවා නොසිඳී පවත්වාගන්නට වෙර දරන මනුෂ්‍යත්වයේ සුවඳ සමඟිනි.  වික්ටෝරියා වත්ත ඇසුරු කරගෙන නාගරික මුඩුක්කු ජීවිතයද, අමරේගේ මවගේ මහගෙදර සහ ලොකු අක්කාගේ චරිතය මුල් කරගෙන ගැමි ජීවිතයද මේ සමස්ත ජීවිත ඇසුරින් එකම චක්‍රයක කැරකෙන ඒකාකාරී මිනිස් ජීවිත, සමාජ දේශපාලන සංසිද්ධි පිළිබඳවද අපගේ අවධානය යොමුකරවන්නට කතුවරිය සමත් වී ඇත. 

තවත් දවසකට නිදි බිඳින අමරේ පරණ පුරුදු ලෙසටම නිවසින් බැස පාර දිගේ ටිං බෙලෙක්කයකට පයින් ගසමින් ඇවිදින අතරමඟ හමුවන චරිත පාතිමා, චම්පිකා, එමලිං ආච්චි, රූපිකා, අයිරක්කා, තිලකෙ අයියා, අල්පෝන්සු, පෙට්ටි කඩේ සුමනෙ නාගරික පහළ පන්තියේ පෑගෙන, තැලෙන පීඩිත ජන ජීවිතයේ පැතිකඩක් අපගේ නිරීක්ෂණයට ලක්කරයි. අලුත් කීවාට කිසිවක් අලුත් නැති බව ද, කරකැවෙන්නේ එකම චක්‍රය බව ද වරින් වර සිහිකැඳවයි. මේ විෂම සමාජ දේශපාලන චක්‍රය තුළ අතරමං වුණු, හුදකලා වුණු, පිටුවහල් වුණු චරිත කිහිපයක් ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ තුළ අපට හමුවෙයි.

මෙහි කේන්ද්‍රීය චරිතය අමරේ වුව ද අපගේ සුවිශේෂ අවධානය පැහැර ගන්නා භූමිකාව සතුවන්නේ ‘ලොකූ‘ වෙත බව මගේ හැඟීමයි. ගමේ මහගෙදර හුදකලා තනිකඩ දිවියක් ගෙවන ලොකු අක්කා හෙවත් ලොකූ අමරෙගේ මාමා ගේ දියණියයි. ඇය සමාජයෙන් පිටමංව සන්සුන්, හුදකලා දිවියක් ගත කරන අහිංසක ගැහැනියකි. නමුත් ඒ අහිංසක ගැහැනිය තුළම සම්මත සමාජ සම්ප්‍රදායන්ට අභියෝග කරන, එයට එරෙහිව හුදකලා කැරැල්ලක් ගසන විප්ලවවාදිනියකද වෙසෙයි. සමස්ත කතාව පුරා මේ චරිත ලක්ෂණ මැනවින් සුසංයෝජනය කරමින් ‘ලොකූ‘ සම්බන්ධයෙන් සහකම්පනයක් අප තුළ ජනිත කරන්නට කතුවරිය සමත් වී ඇත. 

කාන්තාවකගේ සිතුවමක් - ඉන්දීය චිත්‍ර ශිල්පී

By Tapas Sardar

‘‘රූපිකාගේ වචන ලොකු අක්කගෙ වචන වාගෙ නෑ. දඩිබිඩි ගාල කියෝගෙන කියෝගෙනත් යනවා. සමහර වචන වත්තෙ කොල්ලංගෙ වාගෙ. සමහර හැසිරීං වත්තෙ අම්මණ්ඩියෙක් වගේ. පෙනුමට ගැලපෙන්නෙ නැද්ද මංදා ඒවා. බැන්දහම හරියයි. බැන්දහම ලොකු අක්ක වගේ වෙයි. හිමිහිට කනට නෑහෙන්න කතා කරාවි එතකොට. කීකරුව ඉඳීවි. ඒත් ලොකු අක්ක නං කීකරු නෑ කාටවත්. අපේ අම්ම, තාත්තටත් කීකරු නෑ. පුංචම්ම බාප්පටත් කීකරු නෑ. මහගෙදර නැන්ද සුදු මාමට කීකරුත් නෑ. රූපිකා මට කීකරුව යටහත්ව ඉඳියි ඒ උණාට. ලොකු අක්කගෙ හිතුවක්කාරකංවලට ආස කර කර රූපිකාගෙං කීකරුකං බලාපොරොත්තු වෙන්නෙ ඇයි මං. ලොකු අක්ක කරන කියන දේවල් ලොකු අක්ක කරද්දි ආස වෙන්නයි, ගෑනි කරගන්න හිතෙන එකියක් කරද්දි අපුල හිතෙන්නයි හේතුව මොකක් වෙංඩ ඇද්ද?‘‘

පිටුව 21 

‘‘අක්කට මගුල් අරං එන ගොඩක් ගෑනුන්ට අක්කා කීවේ, ‘ඔයත් බැන්ඳනෙ. ඉතිං හොඳයිද? ඉස්සරට වඩා හොඳින් ඉන්නවද?‘ කියා ය. ‘ඇයි මේ හොඳින් ඉන්නෙ‘ කියා බැරි වෙලා හරි කාටවත් කියවුණොත් ඉන් එහාට අක්කගෙන් බේරිලි බොරුය. ‘දවස තිස්සෙම වහලියක් වාගෙ වැඩ වැඩ වැඩ නේද? මිනිහ උදව්වක්වත් වෙනවද ඔව්වට. මිනිහටත් ඉතිං වැඩනෙ. උඹලට තේරෙන්නැතිව නෙවෙයි හති වැටිල කියල උඹල ඔය ජීවිතෙං. මට වාගෙ හිතිච්ච ගමං ගෙයිං එළියට බැහැල පාර දිගේ ඇවිදං හිතිච්ච අතේ යංඩවත් නිදහසක් තියද ආ. ඇත්තටම ඇඟට ඕන වෙලාවට නිදාගන්ඩ ඇහැරිංඩවත් පුලුවංද? උඹල ජීවිත කාලෙම ඔට්ටුවෙන්නෙ උඹලට ඕන දේවලට නෙමෙයි බං. පිට උංට ඕන දේවල් ළං කර ගංඩ. උඹලට තියෙන්නෙ උඹලගෙ ඕන එපා කං නෙමෙයි බං උඹලට පිටිං හදල දීපු ඕන එපාකං. ඒව උඹලගෙත් ඕන එපාකං කරගෙන. ඕනම දේ ගංඩ උනත් ඔට්ටු වෙන්ඩ වෙලානෙ...‘‘

පිටු 68-69 

මෙම කෘතිය තුළ කතුවරිය මනුෂ්‍ය සම්බන්ධතා විනිවිද දකින, විවරණය කරන හෘදයාංගම විලාසය, මානව ජීවිතය දෙස ඇය හෙළන නිරීක්ෂණාත්මක සංවේදී බැල්ම මසිත වඩාත් ඇද බැඳ ගනියි. පීඩිත පන්තිය ගැන කතුවරිය තුළ පවතින විශේෂ දයාන්විත හැඟීම නවකතාවේ අකුරු වැල් අතරින් මිදී අපගේ හදවත් තුළද ලැගුම් ගන්නා සෙයකි.  ඉහළ, පහළ, මධ්‍යම, නාගරික, ගැමි වෙනසක් නැතිව මේ කොයි කොතැන වුව පීඩාවට පත්වන කාන්තාව පිළිබඳවද ඇයගේ මුදු ස්ත්‍රී හදවත ඇවිළෙන බවට සාක්ෂ්‍ය බහුලය. එම මනුෂ්‍ය ජීවිත හසුරුවන සමාජ දේශපාලන වටපිටාව පිළිබඳ තියුණු විවේචනයක්, විග්‍රහයක්, පරිණත දැක්මක් ඈ සතු යයි හඟිමි. 

රසවත් කතන්දරයක් ලෙසින් දිගහැරෙන නවකතාව තුළ පුළුල් සමාජ දේශපාලන විග්‍රහයක්ද යටි පෙළ තුළ සියුම්ව මතු වෙයි. 

පවතින සමාජ, දේශපාලන ක්‍රමය පිළිබඳ නිරීක්ෂණය මතුවන්නේ විටෙක අමරෙගේ ගමේ පාසලේ භෞතික විද්‍යා ගුරුවරයා සුනිල් සර්ගේ හඬිනි. තවත් විටෙක ලොකු අක්කා තුළිනි. ලොකු අක්කාගේ ජීවන සහකරුවා වන වාමාංශික දේශපාලනයේ නියැළුණු, යහපත් සමාජයක් ගැන අපේක්ෂාවෙන් නොනිමි අරගලයකට එක් වී සිටින අතුල ගේ ඇසිනි. ලොකූ සහ අතුල අතර වන බැඳීම සම්මත සමාජයේ නිල මුද්‍රාව යටතේ වූවක් නොවේ. නමුත් එය හදවතින් සහ සමාජමය වගකීමෙන් බැඳුණු ඕනෑම මොහොතක එන්නටත්, ඕනෑම මොහොතක යන්නටත්,  අවැසි නම් රැඳෙන්නටත් නිදහස ඇති අපූරු බැඳීමකි. 

‘‘මං මගෙ ශ්‍රමය ධනපති ආණ්ඩුවට විකුණනවා. ඒක මගෙ බඩගෝස්තරේ. එච්චරයි. අධ්‍යාපනෙං කරන්නෙ සිස්ටම් එක රකින්න මිනිස්සු හදන එක. සිස්ටම් එක දුවවන්න ශ්‍රමිකයො හදන එක. මං කරන්නෙ මේ ජඩ සිස්ටම් පවත්වගෙන යන කොන්ත්‍රාත් එකක්.......‘‘
‘‘මේ කිසිම සංසිද්දියක් ගැන හුදකලාව වියුක්තව විග්‍රහ කරන්න බෑ දරුවනේ. නිර්මාණවලින් කියවෙන හැම ඛේදවාචකේම මුල් තියෙන්නෙ පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ. ඒ සමාජ ආර්ථික ක්‍රියාවලියට තමා දේශපාලනේ කියන්නෙ. නැතුව ඡන්දෙ ඉල්ලන පක්ෂ දේශපාලනේට නෙවෙයි. අපිත් එක්ක තියෙන මේ හැමදේම දේශපාලනිකයි. අපේ හුස්මෙත් තියෙන්නෙ දේශපාලනේ. ඒකෙං වියුක්තව කිසිම දෙයක් විග්‍රහ කරන්න බෑ සංයුක්තයි.‘‘

සුනිල් සර්

පිටුව 28

‘‘එහෙම කිංඩිය දාන්ඩ එපා බං. අපෙත් පපුව පත්තු වෙනවා. පිකාසෝල එක්ක ෆුල්ටයිම් වැඩ කරපු ඉතිහාසයක් අපිටත් තියෙනව කියල මල්ලි දන්නවනෙ. මේ සිස්ටම් එක පෙරළන එක මේ යන විදියට කරන්ඩ පුළුවං වැඩක් නෙමෙයි බං. දියුණු ධනේෂ්වරයෙං පස්සෙ තමයි ඕව හිතන්නවත් පුළුවං. අපි තාම ඔව්වට හරි දුරයි බං.‘‘

අතුල අයියා, අතුල අයියා මක්කරනවා ඇද්ද? මේ වෙලාවෙ කොහේ ඇද්ද? 

‘වම්මු වම්මු නෙවෙයි. උං වම්මු කියල කියාගන්නවා. මේ සිස්ටම් එකේ උංගෙ වම මාර මාකට්. උංට මේක පවතින එක වාසියි. උංට මර්දනේකුත් නෑ. මේක රෙපෙයාර් කර කර හොඳට පවත්වං යනව මිසක් මේක පෙරළන්න උංට ඇත්ත උවමනාවක් නෑ. වම්මු කියල පෙනී හිටියට විප්ලවවාදියො වෙන්නෙ නෑ. දේශපාලන සාහිත්‍යෙය් වම කියන වචනෙ වේසකමේ ඇරල තියෙන්නෙ.‘‘

විජිත අයියා

පිටුව 156

යුනික් රේඩියෝවේ, බැටරියෙන් දුවන කළු සුදු රූපවාහිනියේ සිට වර්තමානය දක්වා සමාජ වෙනස මෙහි සියුම්ව නිරූපිතය. සමසමාජ දේශපාලන ව්‍යාපාරයේ සිට වමේ දේශපාලන ව්‍යාපාරවල ගමන සහ එහි බිඳී යාම වර්තමාන අර්බුද චරිත සහ සිදුවීම් ඇසුරින් මතුකරන අතරම ධනවාදයේ ගොදුරු බවට පත් වූ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳවත් එහි යහපත් වෙනසක් වෙනුවෙන් කැප වන මිනිසුන් සහ ඒ පිළිබඳව වන සුවහසක් අපේක්ෂාවනුත් නවකතාවට ජීවය කවයි.  

‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ යනුවෙන් මුද්‍රිත කෘතියක් ලෙස එය නිමාව දුටුවද ජීවිතයට හෝ පැවැත්මට නිශ්චිත අවසානයක් නැති බවම එයින් ඉඟි කෙරේ. 

තක්ෂිලා ස්වර්ණමාලිගේ කුළුඳුල් නවකතාව වන ‘ඉක්බිති ඔවුහු බුදියගත්හ.‘ 2016 වසරේ ප්‍රකාශයට පත් වූ සිංහල නවකතා අතර පාඨක, විචාරක, සහෘද අවධානයට පාත්‍ර විය යුතු අගනා ප්‍රයත්නයක් ලෙස හඟිමි. 

පසු සටහන 

තක්ෂිලා ගේ ගොයම කෙටි කතා එකතුව  පිළිබඳව මට දැනුණු හැඟුණු දෑ 2014 වසරේ වත්පොතෙහි තැබූ සටහනකි මේ. වර්ල්ඩ් විෂන් ආයතනය මඟින් නවගත්තේගම විද්‍යාලයේ සංවිධානය කළ පොත් ප්‍රදර්ශනයකට  පොත් රැගෙන ගොස් තිබියදී කුටිය තුළදීම පොත කියවා හමාර කර, ඒ පිළිබඳ මගේ අවධානය යොමු කළේ රොෂානි නංගීය.

https://www.facebook.com/rsrc.php/v3/yB/r/-pz5JhcNQ9P.png
ජීවිතය, ආදරය, මනුස්සකම ගැන හිතට දැනෙන සරල කතා ටිකක් කියවන්න කැමති අයට පොතක් හඳුන්වා දෙන්න කැමතියි.

‘‘ගොයම
තක්ෂිලා ස්වර්ණමාලි
සන්ථව ප්‍රකාශන
මිල රු. 250

මනුෂ්‍ය සම්බන්ධතාවල අපූර්වත්වය ඇය ග්‍රහණය කරගන්නවා සංවේදීව. සමාජ සම්මතය විසින් අසම්මතයැයි හංවඩු ගසන මනුෂ්‍ය සම්බන්ධතා දෙසත් මානුෂිකව බලන්න ඇය අපිව පොළඹවනවා. .. ලිංගික ඊර්ෂ්‍යාවෙන් තොරව මනුස්ස සම්බන්ධකම් තේරුම්ගන්න පුළුවන් ගැහැණු පිරිමි මේ කතාවල ජීවත් වෙනවා. ඇගේ කතාවල ඉන්න මිනිස්සු ආදරවන්තයි. ඒ ආදරය දැනෙන්නෙ ගතට නෙවෙයි හිතට... බොහෝ විට අප්‍රකාශිත වුණත් ඒ ප්‍රේමණීය හැඟීම් ජීවිතවල ඇති කරන වෙනස පැහැදිලියි.

කතාවෙන් කතාවට වෙනස් අත්දැකීම් තියෙන්නෙ. නමුත් මේ හැම කතාවක් ඇතුළෙන්ම ගලාගෙන යන එක තේමාවක් අහු වෙනවා. ඒ මනුස්සකම සහ ආදරය...

ජීවිතය ගැන ඇගේ හැඟීම් අපිත් එක්ක බෙදා ගන්න සරල කතා ශෛලියක්, භාෂා රටාවක් කතුවරිය අනුගමනය කරනවා. පිටු සැකසුමේදී අත්වැරැද්දක් සිදු වී ඇති බව දැනෙනවා, පිටුව පුරා ඉඩකඩ ඉතිරිව තිබියදීත් අකුරු මෙතරම්ම කුඩා වීම නිසා... කතා එකතුවේ නමත්, කවරයේ ඡායාරූපයත් අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්නෙ බොහොම අඩුවෙන් කියලත් හිතෙනවා...

කෙසේ නමුත් සිත් ගත් සරල සුන්දර කතා එකතුවක්...

( ‘‘ගොයමගැන අවධානය යොමු කළ රොෂානි නංගීට තුති )
  

(‘ඉක්බිති ඔවුහු බුදියාගත්හ‘  ආශිර්වාද ප්‍රකාශනයක්. මිල රු.350.00 )


8 comments:

  1. ඔයාගේ විචාරයේ විධිහට නම් හොඳ පොතක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොත හොඳයි අයියේ, අද ලියවෙන බොහෝ නවකතා එක්ක ගනිද්දි. මේ මුල්ම නවකතාව වුණත් ඉදිරියෙන්

      Delete
  2. පොත ගැන සටහනත් ඒ උපුටා ගෙන තියෙන සමහර චරිත,දෙබස් වලින් එහෙම දැනුනේ හෙන්රි අයියාගේ "විල්ලරවාඩිය"පොතේ වගේ අභාෂයක්.පොත කියවන්න අසා හිතෙන විදියේ විස්තර කිරීමක් තරු අක්කේ.පොතේ නම් හරි ආකර්ෂනියයි.හරියට කවි පොතක නමක් වගේ.

    ReplyDelete
    Replies
    1. විල්ලරවාඩියට වඩා මගේ හිත ගත්තා. භාෂාව සරලයි. කෙටි සංවාද ස්වරූපය වැඩියි. දීර්ඝ සංවාද අඩුයි. අමරේගෙ සිතුවිලි ධාරාවන් විදියටත් ගලාගෙන යනවා. ආකෘතිය, භාෂාව මේ හැමදෙයක්ම ගොඩක් සංකීර්ණ නැහැ. සරලයි. නමුත් ඒ සරලකම ඇතුළෙ ලොකු ගැඹුරක් තියෙනවා කියල මට හිතෙනවා.

      Delete
  3. පොත කියවලා නෑ. කියවයිද දන්නෙත් නෑ.
    ඒත් ඔබ ඉතා දක්ෂ විචාරකයෙක් ( විචාරකාවක් කියල වචනයක් තියනවද? )

    ReplyDelete
    Replies
    1. විචාරිකාවක්... කියන වචනය හරි. නමුත් මම මේ කරල තියෙන්නෙ නම් විචාරයක් නෙවෙයි. විචාරයක් න්‍යායයන් එක්ක ශාස්ත්‍රීය මට්ටමින් කෙරෙන්න ඕන දෙයක්නෙ. මම මේ ලියල තියෙන්නෙ මට දැනුණු හැඟුණු දේ. ඒක විචාරයකට වඩා කියවීමක් ප්‍රා. Reading එකක්.

      Delete

    2. ////මම මේ ලියල තියෙන්නෙ මට දැනුණු හැඟුණු දේ. ඒක විචාරයකට වඩා කියවීමක් ප්‍රා. Reading එකක්.////

      තරු..මේ කොටසට මම හරිම කැමතියි. ඇත්තටම වෙන්න ඕනෙත් ඒක. බොක්ස් ඇතුලට යන්නේ නැතුව තමන්ට හැඟෙන, සහ දැනෙන දේ තමයි ලියන්න ඕන. අපි මහා චින්තනයන් ගැන පට්ට පල් හෑලි ලියනවා. මම විශ්වාස කරනවා, ඒ තුල ඉන්නේ වෙනත් චින්තකයෙක් මිසක් තමන් නොවන බව. මේ තමයි මගේ චින්තනය. මම හිතන්නේ චින්තන, දර්ශන හැදෙන්නේ තමන් ස්වාධීනව හිතන්න, ඒ බව කියන්න සහ ලියන්න හැකිනම් විතරයි. නැත්නම් ආයෙමත් අපි වහල්ලු. චින්තන වහල්ලු.

      Delete
  4. දෙබස් වැඩිපුර තියන පොත් කියවන්න කම්මැලි නැ.. මේ පොතත් ඒ වගෙයි...ස්තුතියි පොත ගැන කිව්වට තරූ...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...