පිටු

Monday, November 7, 2016

කවුරුන්ද ඔබ මගේ

vladimir volegov

‘‘විහාරා‘‘ ඇගේ නම.

ගවුම් පොඩියක් ඇඳල බෝනික්කියකුත් තුරුළු කරන් උන්නු  ඈ හරිම අහිංසකයි. ඒ සිඟිත්තිය මගෙ සුරතේ දැවටී උන්නෙ අවිනිශ්චිත දුක්බර බැල්මක් ඇස්වල තවරගෙන.

මං හිටියෙ ඊටත් වඩා වික්ෂිප්තව. ගැහෙන හදවතකින්. තනිවුණු දැරියක් මං රැක බලා ගන්නෙ කොහොමද? ඇගේ අම්මා මගේ සමීපතම යෙහෙළියක්,  හසුනක් සමග තම එකම දියණිය මා වෙත එවා කොහෙදෝ දුර ඈතක ගිහින් තිබුණා.

‘‘මට විශ්වාසයි, ඔයා මගේ දෝණි හොඳින් බලාගනියි කියල‘‘ ඒ ලිපියේ මට මතක තිබුණේ, මගේ හිතේ කෙටිල තිබුණේ ඒ වචන ටික විතරමයි.
මම හිතමින් උන්නෙ බෝඩිමක, රස්සාවක් එක්ක තනි මම කොහොමද දැරියක් රැකබලාගන්නෙ කියන එක.

ඉන්පස්සෙ මං උන්නෙ ළමා නිවාසයක. මං විහාරව එතන නැවැත්තුවා. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඇය මගේ සාරි පොටේ එල්ලිලා ‘‘මාව දාල යනවද?‘‘ කියලඇහුවෙ ඇගේ ඇස්වලින්, මගේ ඇස්වලට එබිලා. ඒ ඇස් දිලිසුණේ  කඳුළුවල තෙතට කියල මට දැනුණා. ඇය එකම එක වචනයක්වත් කිව්වෙ නැහැ. මම මගේ හිත වාවගත්තා.
“මං හෙට උදේම ඔයාව බලන්න එන්නම් පැටියො.‘‘ මං ඇගෙන් සමුගත්තා.

පහුවදා මම ළමා නිවාසයට ගියේ ඇයට ඇඳුම්, කැඩුම් තෑගි බෝගත් අරගෙන. ඒ යද්දි විහාරට උණ. අසනීපෙකට වඩා ඇයට තිබුණෙ සාංකාව. මං ඇයව ළමා නිවාසෙන් පිටතට අරන් ගියා. ඇයට බෙහෙත් අරන් දුන්නා. ඇයත් එක්ක කොලොම් තොට එහෙ මෙහෙ ඇවිද්දා. හැන්දෑවෙ ආයෙම ඇයව ළමා නිවාසයට ඇරළුවා. ඒ දුක්බර සිඟිති ඇස් ආපසු හැරුණු මා දිහාටම එල්ල වෙලා තියෙන බව මට දැනුණා. ඒත් මං ආපහු හැරිල බැලුවෙ නැහැ. ඒ ළමා නිවාසය තිබුණෙ කොල්ලුපිටිය දුම්රිය නැවතුම ළඟින් වමට හැරිල යන සමුද්‍රාසන්න පාර අයිනක...

vladimir volegov

හීනයෙදි වුණත් මට ඒ පාර හොඳටම මතක තිබුණා. මම විහාරව අතින් අල්ලන් එක්කරගෙන ගිහින් ළමා නිවාසයට භාර දුන්නෙ ඒ පාරෙදි.
මේ ඒ හීනයේ දෙවෙනි කොටසද නැත්නම් මම මුලින් කිව්ව හීනය දැක්කෙ කළින් දවසකද කියල මට හරියටම නිච්චි නෑ...

............

ඊළඟ දවසෙදි මම කොල්ලුපිටිය හන්දියට යද්දි මහා කලබලයක්... පොලිසිය, හමුදාව හැමතැනම. සෙනග සීසීකඩ. මට හිතාගන්න බැහැ.

‘‘සුනාමියක් ඇවිත්, ඒ පැත්ත විනාසයි. ගන්න දෙයක් නෑ.‘‘ කවුදෝ කියනවා මට ඇහුණා.

‘‘දෙයියනේ විහාරා...‘‘ මගෙ හිත හෝස් ගාලා දැවුණා. ළමා නිවාසය තිබුණෙ මුහුදු වෙරළට කිට්ටුවෙන් බව මට මතක් වුණා. මම එතන උන්නු පොලීසියෙ කෙනෙකුට කිව්වා මට යන්න ඕන කියල.

‘‘ඒ පැත්තට යන්න දෙන්න බෑ මිස්. ඒ හරියෙ උන්නු හැමෝම මෙහාට ගේනවා.‘‘ ඔහු කිව්වා. මම ඔහු ළඟ අඬා වැටුණා.

‘‘එයා පුංචි දරුවෙක්... මට එයාව හොයාගන්න ඕන‘‘ තවත් බොහෝ දේ කිව්ව වුණත් ඒ මොනවද මට ම මතක නැහැ. අවසානයේ ඔහු මට අවසර දුන්නා දුම්රියපළ පාරෙ ඉදිරියට යන්න. 

පාර දෙපැත්තෙම මිනිස්සු පොදි පොදි.. දරුවොත් ඒ අතර.  හැම දැරියක් ගාණෙම මම විහාරගෙ මුහුණ හෙව්වා. මං උන්නෙ දිගටම අඬමින්... දෙයියනේ මේ දරුවට කරදරයක් වුණොත්, එහෙම හිතද්දිත් මගෙ හිත මහා වේදනාවකින් ගල්ගැහුණා.

අවසන් දවසෙ මම ඇයට අරන් දුන්නු ගවුමෙ ළාකොල පාට සමනල් අත්දෙකක් තිබුණා, ගවුමෙ කඳ කොටස සුදු පාටයි, හරියටම පපුවට උඩින් පුංචි පාට පාට සමනලයෙක් ඇප්ලික් කරල තිබුණා. සමනල් අත්දෙකේ ළා කොල පාටින්මයි ගවුමෙ රැලි සාය තිබුණෙ. ඉතින් මං හොයා ඇවිද්දෙ ඒ ගවුම ඇඳගත්ත පැංචියෙක්ව.

‘‘අන්න තවත් රැල්ලක් එනවා...‘‘ මිනිස්සු ආයෙම කලබල වෙලා දුවන්න ගත්තා. මුහුද දෙසින් මහා රැල්ලක් නැගුණා මං වගේ දෙතුන් දෙනෙක් යට කරන තරම් උසැති, අඳුරු පෑ වියරු රැල්ලක්... මං හිටිවනම උන්නා. ඒ රැල්ල කඩන් බිඳන් ආවට මිනිස්සු බය වුණාට එක දිය පොදක්වත් මගෙ දෙපා අසලට ආවෙ නැහැ. ආයෙම මුහුද දෙසටම ඇදිල ගියා. මං ආයෙමත් විහාරව හොයන්න ගත්තා. හැම දැරියක්ගෙම මුහුණට එබෙමින්, හැම ළා කොල පෑ ගවුමක්ම හඹා යමින් මම ඇයව හෙව්වා.

අන්තිමේ ළමා නිවාසෙ ළමයි හැමෝම සුරක්ෂිතව තියන් උන්නු ගොඩනැගිල්ලක් ගැන හෝඩුවාවක් ලැබුණා. මම එතෙන්ට දුවගෙන ගියා. ළමයින්ව බලාගන්න වයසක උන්දැ කෙනෙක් එතන හිටියා. මම ඔහුගෙන් විහාරා ගැන ඇහුවා. ඔහු පැත්තක වාඩිවෙලා උන්නු ළමයි පිරිසක් පෙන්නුවා. ඒ පොඩි උන් ගොන්නෙ විහාරා උන්නා. ඇය ඇඳන් උන්නෙ අර සමනල් ගවුමමයි. ඒ වෙද්දිත් මගේ ඇස්වලින් කඳුළු බේරෙනවා.

‘‘විහාරා...‘‘ මම ඇගේ උරහිසෙන් අල්ලලා මං පැත්තට හරවගත්තා. ඒ එක්කම ඇයගෙ මූණෙ හිනාවක් ඉහිරුණා. ඇය පුංචි අත්දෙකින්ම වට කරලා මගේ කකුල් දෙක බදාගත්තා.

‘‘මං හිතුවා ඔයා කොහොම හරි මාව හොයාගනියි කියල..‘‘ ඇගේ ඒ අහිංසක වචන මගේ කඳුළු අළුත් කළා.

.................

පාන්දර ඇස් ඇරෙද්දිත් මගේ කම්මුල්වල නොවියලුණු කඳුළු පාරවල් දෙකක් තිබුණා. කඳුළින් ඇරඹුණු රැයක් කඳුළින්ම පහන් වෙලා තිබුණා. චිත්‍රපටියක් වගේ එහෙමත් හීන පේනවද? මට මං ගැනම පුදුම හිතෙමින් තිබුණෙ.

වැඩට එන අතරෙ කෝච්චියෙදිත් මං ඒ හීනය ගැනම හිතමින් උන්නේ. ඇයි එහෙම හීනයක් පෙනුණෙ. එකපාරටම විදුලි සරක් වැදුණ වගේ මගෙ හිත කීරි ගැහුණා.

‘‘දෙයියනේ ඒ විහාරගෙ මූණ.... ඒ ගවුම, ඒ කොණ්ඩය, ඒ ඇස්... ඒ පුංචි කාලෙ මම ම යි නේද? එතකොට මං ඒ අඬා වැටි වැටී හෙව්වෙ මාවම ද?“



10 comments:

  1. අපිටත් නොදැනිම අපි අපි ගැනම හිතනව නේ ද?
    -ransirimal@gmail.com

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ දැක්ක කල්.... ඒක හරි පුදුම හීනයක්, හරියට චිත්‍රපටියක් වගේ...

      Delete
  2. බුදු අම්මෝ තරු අක්කටත් පේන හීන.

    ReplyDelete
  3. මගේ චිත්‍රපට හීන නම් මැදින් ඉවර වෙන නිසා කියවන කොට මේ සිහිනයත් දැන් ඉවර වෙයි කියල හිතුන..

    තමන් තමන්වම හොයා ගෙන නිම වුන අපූරු සිහිනය

    ReplyDelete
  4. මටත් පේන හීන ඕවගෙ තමයි...වෙලාවකට දවස් ගානක් යනකන් ඉන්නෙ හීනෙක වගෙ හිතෙන්නෙ...

    ReplyDelete
  5. මටත් පේන හීන ඕවගෙ තමයි...වෙලාවකට දවස් ගානක් යනකන් ඉන්නෙ හීනෙක වගෙ හිතෙන්නෙ...

    ReplyDelete
  6. අමුතු විධිහකට ලියපු කතාවක්

    ReplyDelete
  7. "තාරා" මතක් වුනා....:(

    ReplyDelete
  8. ලස්සනට අකුරු කරපු දුක්බර හීනයක්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...