Tuesday, November 1, 2016

‘‘සොරායා‘‘ - ගල් ගසා මරා දැමූ ගැහැනිය

පහර දෙන්නට ගලක් අතැතිව
The Stoning of Soraya M චිත්‍රපටයෙන්

( 2016.10.30 කලමුල්ල, රිදීමාවතේ පියවර තොරතුරු මධ්‍යස්ථානයේ දී ෆෙයිඩෝන් සහෙබ්ජාම් ලියූ, චූලානන්ද සමරනායක පරිවර්තනය කළ ‘‘සොරායා කෘතිය ගැන කළ අදහස් දැක්වීම. )

කතාකාරියක් නොවී නිහඬව ඉන්න කැමති මට මේ ආරාධනාව ලැබෙද්දි බෑ කියන්න බැරි වුණ හේතු දෙකක් තිබුණා. එකක් මං ඉතාම ගරු කරන, ආදරය කරන ලේඛකයෙක්, පරිවර්තකයෙක්, සහෝදරයෙක් වන චූලානන්ද සමරනායක, චූලයියාගේ සාහිත්‍ය ශ්‍රමය අගය කරන වැඩක් වීම, ඒ ගැන කතිකාවක් ඇතිවීම, අනිත් එක කළුතර අපේ සහෘද පිරිසගේ වැඩක් වීම... පුංචි දරුවො අයියල අක්කල එක්ක එකතු වෙලා කොළ කැඳ හදල විකුණල බොහොම පුංචියට පටන් ගත්ත කොළ කැඳ පුස්තකාලය අද මේ පියවර තොරතුරු මධ්‍යස්ථානය විදියට ඇවිත් තියෙන ගමන හරිම වටිනවා. මට මේ පුස්තකාලය පූජනීය තැනක් විදියටයි දැනෙන්නෙ.

අද මං කතා කරන්න යන්නෙ පොතක් ගැන. ඉතාම සංවේදී, අනුවේදනීය සත්‍ය ජීවිත කතාවක් ගැන. ‘සොරායා‘ ඒ තමයි පොතේ නම. සොරායා කියන්නෙ ගැහැනියක්. ගල් ගසා මරා දැමූ ගැහැනිය, ඒ විදියටයි කවරයේම ඇයව හඳුන්වන්නෙ. පොත් ප්‍රදර්ශනයෙදි මේ පොත ඇහැ ගැටෙද්දි මම ගත්තෙ නැහැ. දයාබර ඩාලියා, කූඩු කිරිල්ලී, දෙවියන්ගේ අඩවිය, කාන්තාරයේ කුසුම වගේ ඉස්ලාම් ආගමික අන්තවාදය නිසා පීඩාවට පත්වුණු ගැහැනුන් ගැන පොත් ගණනාවක් කියවල තියෙන නිසා මට මේ පොත ගන්න හිතුණෙ නැහැ. ඒව හරිම කම්පනයක් දැනෙන ජීවිත කතා. තවත් එවැනි කතාවක් කියවන්න බැරිකමක් දැනුණා. මේ වැඩේට කතා කරල පොත ගැන කිව්වම විශේෂයෙන් පොතක් ගෙන්නගෙන කියවන්න සිද්දවුණා. අන්න ඒ වෙලාවෙයි මට දැනුණෙ චූලානන්ද සමරනායක ඇයි මේ මොහොතෙ මේ පොත ලංකාවෙ අපට මුණගස්වන්නෙ කියන කාරණය.

සොරායා පොතේ කවරය -
වියළි කටුක ගලින් පිරුණු මිටියාවතක ඉපල් වී ගිය ගසක්. අහස පසුබිමින් මුස්ලිම් කාන්තාවකගේ මුහුණක අඩක්.. 

මේක ඇත්ත කතාවක්. ඇත්ත ගැහැනියක්. ඇය උපන්නේ ජීවත්වුණේ ඉරානයේ. මේ පොතේ සාහිත්‍යමය පැත්ත ගැන කතා කරනවට වඩා මං කැමතියි මේ පොත ජීවිතය ගැන, සමාජය ගැන, අරාජික පාලන සමයක වෙන්න පුලුවන් නස්පැත්ති ගැන, පාලක පන්තියත් එක්ක අත්වැල් බැඳගන්න ආගමික සංස්ථා හැසිරෙන අන්තවාදී, අමානුෂික ස්වභාවය ගැන කතා කරන පොතක් විදියට දකින්න. අපි ජීවත් වන සමාජයත් කැඩපතකින් වගේ අපට දකින්න සලස්වන කෘතියක් විදියට කතා කරන්න.

මුලින්ම පරිවර්තක චූලානන්ද සමරනායක ගැන තොරතුරු බිඳක්...

චූලානන්ද සමරනායක කියන්නෙ අපිට ඉන්න විශිෂ්ට පරිවර්තකයෙක්. සමාජ, සංස්කෘතික, දේශපාලන ක්‍රියාධරයෙක්. කවියෙක්. විචාරකයෙක්. පුවත්පත් කලාවේදියෙක්. ඒ සියල්ලමත් එක්ක ඔහු මනුෂ්‍යත්වයට ආදරය කරන යහපත් සමාජයක් ගැන හීන දකින කෙනෙක්. ඉතාම සොඳුරු මනුස්සයෙක්. තරුණ අවදියෙදි ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය දේශපාලනයට යොමුවෙනවා. සරසවි අධ්‍යාපනය ලබන අතර දේශපාලන කටයුතු නිසා අත්අඩංගුවට ගන්නවා. ඔහු ලේඛකයෙක් වෙන්නෙ මේ රැඳවුම් කඳවුරක විවිධ ශාරීරික මානසික පීඩනවලට ගොදුරු වෙමින් ඉන්න කාලයක. චූලයියා ඒ ගැන කියන්නෙ මෙහෙම...

‘මං පරිවර්තනකරණයට යොමු කිරීමේ ස්තුතිය පුදන්න ඕනැ ලංකාවේ පොලිසියට හා හමුදාවට. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් මත භීෂණ යුගයෙදි මාව තුන් වරක් අත්අඩංගුවට ගත්තා. අන්තිමට හිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උඩම තට්ටුවේ. ඒක අප්‍රකට, රහසිගත රැඳවුම් කඳවුරක්. එතැනදි මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මං සමුගනිමු ගුල්සාරි පොත පරිවර්තනය කරන්න පටන්ගත්තේ ඒ දවස්වල. ශාරීරික පීඩා එක්ක ඒ සඳහා මට විවේකය ලබා දුන්නේ පොලීසිය හා හමුදාව. මේ වෙනකොට මං පොත් පනස් පහක් විතර පරිවර්තනය කරලා තියෙනවා.‘‘

ඔහු පරිවර්තනය කළ පොත් අතර සමුගනිමු ගුල්සාරි, චේ හා එක්ව සටන් වැද, මකුළු කැදැල්ලට යන පාර, සන්තියාගෝ නම් සැරිසරන්නා, යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය, ඔවුන් යුද වැදුණේ රට වෙනුවෙනි, නරක උන් ඇසුරෙහි, රාත්‍රිය, රතු සෝගම් මේ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා... එයින් රුසියන් කෘති 22 ක් පමණ තියෙනවා. මේව සාහිත්‍ය කටයුතු වගේම සමාජ වැඩ. මේ හැම කෘතියක්ම පරිවර්තනය කරන්න අනිවාර්යයෙන්ම බල පෑ සමාජ දේශපාලන කාරණයක් තියෙනවා. චූලානන්ද සහෝදරයා තමන්ව ආකර්ෂණය කරගත් පමණින් පොතක් සිංහලට පෙරළන කෙනෙක් නෙවෙයි. ඔහු පරිවර්තන කාර්යයට අත ගහන්නෙ එයින්  යහපත් පුරවැසියෙක් ගොඩනගන්න, ඒ හරහා යහපත් සමාජයක් ගොඩනගන්න දායකත්වයක් දෙන්න හැකිද කියන කාරණය මුල් කරගෙන. ලේඛකයකුට පරිවර්තකයකුට එහා ගිය මනුෂ්‍යයෙක්, පුරවැසියෙක් විදියට අපි ඔහුව අගය කරන්නෙ, ඔහුට ගරු කරන්නෙ, ආදරය කරන්නෙ ඒ නිසයි.

චූලානන්ද සමරනායක

2015 දි චූලයියට අන්තර්ජාතික චිංගීස් අයිත්මාතව් සම්මානය පිරිනැමෙනවා. අයිත්මාතව් සාහිත්‍යය තමන්ගෙ රටට, ජනතාවට හඳුන්වා දීමට දරපු උත්සාහය වෙනුවෙන්. ඒ සම්මානය ලැබෙන පළමු ශ්‍රී ලාංකිකයා ඔහු. ඔහු චිංගිස්ගෙ කෘති 06 ක් පරිවර්තනය කරනවා එයින් එකක් ළමා පොතක්. අනිත් පහම නවකතා. සුදු නැව, සමුගනිමු ගුල්සාරි, සියක් වසක් පවත්නා දවස, දංගෙඩිය, ධීවර ගීතය ඒ අතර වෙනවා.
ඒ වගේම ඔහු කවියෙක්, කෙටි කතා කරුවෙක්.

චූලානන්ද සහෝදරයා නැත්නම් චූලයියා සොරායා පරිවර්තන කාර්යයට අතගහන්නෙත් සාහිත්‍යමය කටයුත්තකට එහා ගිය සමාජමය වැඩක් කියන හැඟීමෙන් කියල මං විශ්වාස කරනවා.

මං කැමතියි මුලින්ම පොතට යන්න කළින් පසුබිම් කතා කීපයක් ඔබ එක්ක බෙදාගන්න.

ඉන්පස්සේ අපි සොරායා කියන්නෙ කවුද? ඇයට මොනවද වුණේ කියල හොයල බලමු.

ඊටත් පස්සෙ අපි කතා කරමු ඇයි මේ සොරායාගෙ කතාව අපට වැදගත් වෙන්නෙ කියල.

මේ තමයි පසුබිම් කතා...

මෑතක අන්තර්ජාලයෙ මගේ ඇස ගැටෙනවා රෝම අධිරාජ්‍ය සමයේ පල්ලියෙන් මරා දැමුණු තාරකා විද්‍යාඥවරියක් ගැන කතාවක්. ඇය හයිපතියා නැත්නම් හයිපේෂියා. ඇය උපන්නේ ක්‍රි.ව.350 -370 අතර කාලයේ කියලයි අදහස් වෙන්නෙ. හයිපතියා සොබාදහම සහ මනුෂ්‍යත්වය ගැන විශ්වාසය තැබූ ගැහැනියක්. ඇය ගණිතය හා තාරකා විද්‍යාව කියන විෂයන්වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඇයගේ නව සොයා ගැනීම තමයි පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය නොවන බව. එහි කේන්ද්‍රය සූර්යයා. පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය ඒ වටා ඉලිප්සාකාරව කරකැවෙන බව ඇය ප්‍රකාශ කළා. මේ වෙද්දි කොන්ස්තන්තීනු පාලන සමයේ අධිරාජ්‍යෙය් ආගම වුණ ක්‍රිස්තියානි පල්ලිය බලසම්පන්න විදියට පැතිරෙමින් තිබුණා. එය ඊජිප්තුවටත් කඩාවැදුණා. ඇය පල්ලියේ බලයට යටත් වුණ කෙනෙක් නෙවෙයි.

දෙවියන්ගෙ මැවිල්ල ලෝකය එය සියල්ලේම උත්තරීතර කේන්ද්‍රස්ථානය කියන පල්ලියේ ඉගැන්වීමට මුළුමනින්ම පටහැනි ඇයගේ සොයාගැනීම. පල්ලිය මේ අදහස් දැක්කෙ මිථ්‍යා දෘෂ්ටියක් විදියට. ගල් ගහල, පුලුස්සල ඉතාම අමානුෂික විදියට පල්ලිය විසින් ඇයව මරා දමනවා. ඒ ක්‍රිස්තියානි අන්තවාදය. පල්ලියේ බලය කොයිතරම් ද කියන එක පැහැදිලියිනෙ. ඒ බල පරාක්‍රමය පැතිරිලා තිබුණු යුගය යුරෝපයේ අඳුරු යුගය විදියටයි සැලකෙන්නෙ. 

පාලන බලය එක්ක ආගමික අන්තවාදය එකතුවුණු හැම යුගයක්ම මිනිස්කම වැළලෙන අඳුරු යුගයක් තමයි. හිට්ලර්ගෙ යුදෙව් සංහාරය ගත්තත්, වර්තමාන මුස්ලිම් අන්තවාදය ගත්තත් ඒ විදියම තමයි. අද අපි මුස්ලිම් අන්තවාදය, ම්ලේච්ඡ ඝාතන ගැන කතා කරනවා. මධ්‍යකාලීන යුරෝපයෙ ක්‍රිස්තියානි පල්ලිය මීටත් වඩා ම්ලේච්ඡ විදියට කටයුතු කරල තියෙන බවත් අපි අමතක කළ යුතු නෑ. යටත්විජිත මුවාවෙන් රටවල්වල ස්වදේශීය මිනිස් ජීවිත, ස්වදේශීය සංස්කෘතිය, වටිනාකම් විනාශ කරල දැම්මෙත් එක අතක තුවක්කුව අනිත් අතින් බයිබලය අරන් ඇවිත් කියන එක අපි දන්නවා. 

යුදෙව් සමාජයේ පරිසිවරු, සදිසිවරු, විනයධරයො, පූජකවරු බලසම්පන්න වෙලා පව්කාර ස්ත්‍රීයට ගල් ගහන්න පෙළඹෙන්නෙත්, ජේසුව කුරුසෙ ඇණ ගහල මරාදාන්නෙත් මෙවැනිම පසුබිමක. පාලක පන්තියයි, පූජක පන්තියයි එකට එකතු වුණාම, අත්වැල් බැඳගත්තම එතන ධර්මයට, මනුස්සකමට ඉඩක් තියෙන්නෙ හරිම අඩුවෙන්.

සොරායා කෘතියේ පරිවර්තක සටහනේ කියවෙන විදියට අපි මේ සියලුම අන්තවාදයන් පිළිබඳව විවෘත මනසකින්, විචාරශීලීව බලන්න ඕන. එක් පාර්ශවකට පමණක් වරද පවරන්න ඉක්මන් වුණොත් අපට මේ කෘතියේ සමස්තය අපට දෙන්න උත්සාහ කරන පණිවිඩය හරියට අල්ලගන්න බැරිවෙනවා.

දැන් අපි සොරායා පොතට හැරෙමු.

සොරායා සහ දියණියන්.. සිනාමුසුව සතුටින් සිටින දසුනක්.. ඇය සුන්දරයි. අහිංසකයි.
The Stoning of Soraya M චිත්‍රපටයේ දර්ශනයක් 

සොරායා කියන්නෙ ඇත්ත චරිතයක්. ඇත්ත ගැහැනියක් මම මුලින් කිව්ව විදියට. ඇය උපදින්නෙ ඉරානයෙ. ඉස්සර නම් පර්සියාවෙ. 1951 අවුරුද්දෙ. ඒ වෙද්දි ෂා රජතුමා තමයි රජකම් කරන්නෙ. ඔහු විවාහ වුණ දවසෙයි සොරායා උපදින්නෙ. ෂා රජු විවාහ කරගත් කුමරියගේ නම තමයි සොරායා. ඒ අනුවයි ඉරානයේ කුපායෙහ් කියන හද්ද පිටිසර කඳුකර ගම්මානයක ඉපදුණු අන්ත දුප්පත් පවුලක දැරියකටත් රාජකීය නමක් ලැබෙන්නෙ. දෙමව්පියො කාටත් තමන්ගෙ දරුවො රජවරු තමයි.

සොරායා කොයි තරම් දුප්පත්ද කියනවනම් අවුරුදු දහයක් වෙද්දි නගරයේ ඉඩම් හිමි ධනවතකුගෙ නිවසෙ බැල මෙහෙවර කරන්නත් සිද්දවෙනවා. ඒ ගෙදර වයසක හාම්පුතාගේ ලිංගික අපචාරවල ගොදුරක් වෙන්නත් සිදුවෙනවා. ඉන්පස්සෙ ඇයට ගමේ ඉන්න නූගත්, කමකට නැති මනුස්සයකුගේ බිරිඳ වෙන්න සිදුවෙනවා අවුරුදු 13 දි. දුප්පත්, නූගත් පවුලක දැරියකට අත්වන ඉරණම බොහෝ වෙලාවට. ලංකාවෙ වුණත් තත්වය මෙහෙමයි. වෙනසක් නෑ. සොරායාගෙ සැමියා ගොර්බාන් අලී, දුරාචාරයට, නීතිවිරෝධී වැඩවලට ඇබ්බැහි වුණ කෙනෙක්. ෂා රජ්ජුරුවන්ගෙ පාලනය නිමා කරලා 1979 අයතුල්ලා කුමේනි ඉරානයේ පාලන බලය අතට ගද්දි සොරායා අම්ම කෙනෙකුත් වෙලා. අවුරුදු 13 දි විවාහ වෙන ඇය අවුරුදු 14 ක් ඇතුළත දරුවන් නවදෙනෙක් බිහිකරනවා. දෙන්නෙක් මළ දරු උපත්.

අලුත් පාලනය තමන්ගෙ බලය රැකගන්න විරුද්ධවාදීන් දරුණු විදියට මර්දනය කරනවා. තමන්ට පාක්ෂික අයට ඕන අපරාධයක් කරන්න ඉඩ ඇරල බලන් ඉන්නවා. මේ අතර තමන්ගෙ වංචා, අපරාධ, හොරමැරකම් වහගන්න පූජක ලෝගු දාගත්ත අපරාධකාරයො තමන්වම දේව නියෝජිතයො කරගෙන මුල්ලාවරු බවට පත්වෙනවා. කුපායෙහ් කියන ගමටත් එනව ඒ වගේ දරුණු අපරාධකාරයෙක් පූජක වේෂයෙන්. ඒ ෂෙයික් හසාන්. මේ අතර අලුත් පාලනයට මුවාවෙලා වංචාවෙන් ඉහළට යන සොරායාගෙ සැමියට උවමනා වෙනවා ලස්සන තරුණියක්ව විවාහ කරගන්න. ඒකට තියෙන බාධාව තමයි සොරායා. ගම් නායකයයි, හොර පූජකයයි එක්ක එකතු වෙලා බොරු චෝදනා හදල, නූගත් ගම්වාසීන්වත් උසිගන්නලා, ආගමේ නාමයෙන් ඇය වැරදිකාරිය කරල ගල් ගහල මරල දානවා. මේ නිහඬ අහිංසක ගැමි ගැහැනිය ඒ මරණයට මුහුණ දෙන්නෙ තමන්ගෙ නිදහස වෙනුවෙන් වචනයක්වත් කියන්නෙ නැතිව.
  

සොරායා ගල් ගසා මරා දමන්නට පෙළ ගැසී සිටින ගම්වාසීන්. බහුතරය පිරිමින්.
ගල් ගසන්නට පෙර උඩුකය පමණක් ඉතිරිවන්නට වළලා දමනවා. ඒ සඳහා කැපූ ගැඹුරු වළක් ඉදිරිපිට සොරායා සිටිනවා.
ගම්මුන් ඇය වටකරගෙන.
චිත්‍රපටයේ දර්ශනයක්

මේ ඇත්ත ගැහැනියගෙ කතාව ෆ්‍රෙයිඩෝන් සහෙබ්ජාම් කියන මාධ්‍යවේදියට අහන්න ලැබෙන්නෙ අහඹු විදියට. ඔහු ප්‍රංශයේ ඉපදුණු, ප්‍රංශයේ ස්විස්ටර්ලන්තයේ ඉගෙනගත්ත ඉරාන ජාතිකයෙක්. බොහොම කැපවීමෙන් අවදානම් සහිත මාධ්‍ය කටයුතුවල යෙදෙන ලේඛකයෙක්, මානව හිමිකම් ක්‍රියාධරයෙක්. ඔහුගේ ජීවිත කතාවත් නවකතාවක් වගේ තමයි. හදාරන්න වටිනවා. ෆ්‍රෙයිඩෝන්ගෙ මාධ්‍ය කටයුතු නිසාම ඉරාන රජය ඔහුට රටට ඇතුළ් වීමත්, මාධ්‍ය කටයුතුවල යෙදීමත් තහනම් කරනවා. ඔහු රහසිගතව ඉරානයට ගිහින් එන ගමනක අතරමගදි හමුවෙනවා සහ්රා ඛානුම් කියල වයෝවෘද්ධ ගැහැනියක්. ඇය තමයි සොරායාගෙ නැන්දා. මේ මුල් හමුවීම සිද්දවෙද්දි සොරායා මරල දාලා සති දෙකක් ගතවෙලා. ඒ 1987 අවුරුද්ද. ඇය තමයි අපි මේ පොතින් කියවන සොරායගෙ කතාව සහෙබ්ජාම්ට කියන්නෙ.

Freidoune Sahebjam

සොරායා අපිට, ලංකාවට, මේ මොහොතට වැදගත් වෙන්නෙ කොහොමද?

ජීන් පී සැසන්ගෙ කූඩු කිරිල්ලී, දෙවියන්ගේ අඩවිය, වාරිස් ඩයරි ගැන කියවෙන කාන්තාරයේ කුසුම, ඇෆ්ගනිස්තානයේ මීනා, ඉරාකයේ ජොආනා වගේ ඉස්ලාම් අන්තවාදය නිසා පීඩාවට පත්වුණු ගැහැනු ගැන පොත් ගණනාවක් පරිවර්තනය වෙලා තියෙද්දි ඇයි මේ මොහොතෙ ඒ කියන්නෙ 2016 සොරායා පොත අපිට මුණගස්වන්නෙ. මං එහෙම ඇහුවොත් චූලයියට දෙන්න පැහැදිලි උත්තරයක් තියේවි. මං විශ්වාස කරනවා ඒක බොහොම පැහැදිලි සමාජ, දේශපාලනික උත්තරයක් වේවි.

ඉරාන විප්ලවය හා ඉන්පසු දේශපාලන තත්වය...

ඉස්ලාම් ආගමික ජනතා ව්‍යාපාරයක් හරහා ඇති වන සමාජ වෙනසක ප්‍රතිඵලයක් විදියට තමයි 1979 අයතුල්ලා කුමේනි ඉරානයෙ පාලන බලය අතට ගන්නෙ. මේකට ඉරාන විප්ලවය කියල කියනවා. වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් පරද්දල ජනතා බලවේගයක් ජයග්‍රහණය කරනවා. අරමුණ කොයි තරම් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී එකක් වුණත් ආගම හරි ජාතිය හරි වර්ණය හරි ඉස්සර කරගත්තම එතන ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩනැති වෙන බව කියන්න හොඳම උදාහරණයක් තමයි මේ ඉරාන විප්ලවය. ඉරාන විප්ලවයෙන් පස්සෙ බිහිවෙන්නෙ මුස්ලිම් සමූහාණ්ඩුවක්. ඒක ආගමික අන්තවාදයට නැඹුරු වුණ මර්දනකාරී ආණ්ඩුවක් බවට පත්වෙනවා බොහොම ඉක්මණින්ම. ප්‍රධානම හේතුව තමන්ගෙ බලය වැඩි කරගැනීම සහ බලය රැක ගැනීම මුල් වෙද්දි ජනතාව අමතක වෙනවා. යුක්තිය සාධාරණය අමතක වෙනවා. අමතක කරනවා. හරියට මේ මොහොතෙ අපි අත්විඳිමින් තියෙන යථාර්ථය වගේ. මට මෙන්න මෙතනදි තමයි ඇයි මේ මොහොත මේ පොත ලංකාවට හඳුන්වා දුන්නෙ කියන කාරණයට පිළිතුර ලැබෙන්නෙ. 

කර්තෘගෙ සටහනේ කියවෙන විදියට ආගමික උන්මාදයක් ඇති වෙනවා. හරයක්, දැනුමක්, අගක් මුලක් නැති මුල්ලාවරු නැත්නම් මුස්ලිම් ආගමික පූජකයො ඉබේ පහළවෙනවා. පසුගිය පාලන කාලයේ තමන් කරපු හොර මැරකම්, වංචා දූෂණ යටගහ ගන්න ආගම ඉත්තා කරගෙන සාන්තුවර, පූජකවර වේශයෙන් මිනිස්සු ඉදිරියේ පෙනී ඉන්නවා. අපේ රටේ සිදුවුණ සහ සිදුවෙමින් තියෙන දේවල් මේ එක්ක සන්සන්දනය කරල බලන්න කියල මං විශේෂයෙන් කියන්න ඕන නැහැනෙ නේද?

අපේ රටෙත් පහුගිය කාලෙ අපි දැක්කා ආගමික අන්තවාදය හිස ඔසවන හැටි. ඉරානයෙ ෂෙයික් හසාන්ල බිහිවෙනව වගේ ගලගොඩඅත්තේ ඥානසාර වගේ චීවරධාරීන් බිහි වෙන හැටි. ඒව කොයි තරම් භයානක විදියට සාමාන්‍ය ජන ජීවිතයටත් බලපෑවද කියල අපි දන්නවා. අලුත්ගම ගිනි ඇවිලුණු විදිය අපිට අලුත් කාරණ නෙවෙයි. වර්ගවාදය නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පීඩාවට පත්වුණෙත් මේ විදියටම තමයි. දැන් තත්වය තරමක් යටපත් වුණු බවක් තියෙනවා. නමුත් අන්තවාදී අදහස් දරන මිනිස්සුන්ව මානව හිතවාදී තැනකට ගන්න හරි අමාරුයි. ඒ නිසා අවදානම කියන එක හැමදාම තියෙනවා. ඒ නිසා හැමදාම මනුස්සකම වෙනුවෙන් වැඩ කරන්නත් වෙනවා. 

මේ ඉරාන විප්ලවය තරමක් සමාන කරන්න පුලුවනි, 2015 ජනවාරි 08 ලංකාවෙ ඇතිවුණු වෙනසට. ජනවාරි 08 ලංකාවෙත් පාලනයෙ පැහැදිලි වෙනසක් ඇතිවුණා. අපි ඒකට දේදුනු විප්ලවය කියලත් කිව්වා. අපි බලාපොරොත්තු වුණ විදියේ සමාජ දේශපාලන වෙනසක් තවමත් අත්දකින්න අපට හැකිවෙලා නැහැ. යම් යම් සාධනීය වෙනස්කම් තියනවා වුණත්. ජනවාරි 08 දේශපාලන වෙනස කියන්නෙ දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයෙකුගෙ විශේෂත්වයත්, ප්‍රබලකමක් නිසා ලැබුණු දෙයක් නෙවෙයි මං දකින විදියට රාජපක්ෂ පාලනය ගැන කලකිරිලා හිටිය ජනතාවගෙත්, මිනිස්සු දැනුවත් කරන්න ජීවිත අවදානම නොතකා පාරට බැස්ස සිවිල් සංවිධාන සහ මිනිස්සුන්ගෙ කැපකිරීම්වලත් ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නෙ. ඒක ජනතා බලවේගයක් මත සිදුවුණු වෙනසක්. ඉරානයෙත් පාලනය වෙනස් වෙන්නෙ ඒ විදියට. නමුත් එතනදි ආගමක් මුල්වෙලා තියෙනවා. 

විප්ලවයෙන් පස්සෙ ඉරානය පුරා ජනතාව පීඩාවට පත් කරන ආගමික අන්තවාදය හිස ඔසවනවා. බුද්ධිමතුන්, මානව හිතවාදීන් සිරගත වෙනවා. නැත්නම් මරා දැමෙනවා. ඒ අතර තමන්ට පක්ෂග්‍රාහී වන අන්ත දූෂිතයකුට, දාමරිකයකුට වුණත් රජයේ ආශිර්වාදය හිමිවෙනවා. අල්ලස්, දූෂණ, වංචා, මිනීමැරුම් සම්බන්ධව මේ වෙද්දි තියෙන මන්දගාමී ක්‍රියාකලාපය ගැනත් මේ ඔස්සේ හිතල බලන්න පුලුවනි. පීඩාවට පත්වුණු අයට යුක්තිය, සාධාරණය ඉටුවේවි කියල හිතන්න පුලුවන්ද? නීතිය හැමෝටම සාධාරණද? මේ ප්‍රශ්න අපිට මතුවෙනවා. 

මිනිස්සු වෙනසක් වෙනුවෙන් පාලනයක් පෙරළන්න මහන්සි වෙන්නෙ ඇත්තටම යුක්තිය, සාධාරණය, සමානාත්මතාව වගේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. මිනිස්සුන්ගෙ කරමතින් පාලන බලයට ඇවිත් මිනිස්සුන්ව අමතක කරල, පාගල දාලා තමන්ගෙ බලය රැකගන්න, තමන්ගෙ සාක්කුව පුරවගන්න පාලකයො උත්සාහ කරනවනම් ඒක රටකට කොයි තරම් විනාශකාරී විදියට බලපානවද කියල තේරුම් ගන්න සොරායා හොඳ උදාහරණයක්. 

ලංකාවෙ වැඩිදෙනෙක් හිතනවා අපි හම්බ කරගත්තොත් අපි කනවා. අපිට රට හදන්න බෑ. අපිට දේශපාලනය ඕන නෑ. අපි පාඩුවෙ අපේ වැඩක් බලාගෙන ඉන්නවා කියල. නමුත් අපි කාටවත් මේ දේශපාලන හැලහැප්පිලිවලින් වෙන්වෙලා ජීවත් වෙන්න බෑ. මේ හැමදේම අපිටත් අදාළයි. අදාළ වෙන මොහොතක් එනවා. ඉරානයේ ආගමික අන්තවාදය එක්ක සිද්දවෙන දේශපාලන වෙනස්කම්වල බලපෑම ඉරානයේ ඉතා කුඩා ගම්මානයක දුප්පත් අහිංසක ගැමි ගැහැනියකගේ ඉරණම වෙනස් කළ හැටි, දේශපාලනය එක්ක අත්වැල් බැඳගන්න ආගම කොහොමද අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කියල තේරුම් ගන්න සොරායා කියවල බලන්න. 


පරිවර්තකගේ සටහනේ මෙන්න මෙහෙම තියෙනවා.

‘‘කවර ආගමක වුව මූලික පදනම වනුයේ අවිහිංසාව බව අවිවාදිතය. එහෙත් ආගම දේශපාලකයාගේ අවිය බවට පත් වූ විට එසේම ආගමික නායකයන් දේශපාලනයට ඍජුවම මැදිහත්වන හෝ දේශපාලන සූදුවෙහි අතකොළු බවට පත්වන විට මුලින්ම ආගමෙන් ඉවත් කෙරෙනුයේ අවිහිංසාවය. ප්‍රජාවෙහි නූගත්කම ඉහළ මට්ටමක පවතින විට මේ තත්වය තවත් බරපතල වෙයි. සියලු ආගම් ඇසුරෙහි අද අප දකින පොදු සත්‍යය එයයි.‘‘ 

ජේසුව මරාදාන, පව්කාර ස්ත්‍රියට ගල් ගහන යුදෙව් අන්තවාදය වුණත්, හයිපතියා මරා දමන ක්‍රිස්තියානි අන්තවාදය තුළත්, සොරායා මරාදමන, දූෂණයට ලක්වුණු කාන්තාවට පොල් පිති පාර 100 ක් දෙන මුස්ලිම් අන්තවාදය තුළත් අලුත්ගම ගිනිබත් කරන බෞද්ධ අන්තවාදය තුළත් අපි දකින්නෙ මේ ඇත්ත. මේක එක ආගමකට, ජාතියකට සීමාවුණ දෙයක් නෙවෙයි. හැම කාලෙකම පාලකයො තමන්ගෙ බලය රැකගන්න, මිනිස්සු මර්දනය කරන්න ආගම හෝ ජාතිය මුල්කරගත් අන්තවාදයක එල්ලෙන හින්දා පුරවැසියන් විදියට අපි දැනුවත්ව එකිනෙකා අතර අනෝන්‍ය අවබෝධය ගරුත්වය රැකගෙන මිනිස්සු විදියට ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕනෙ. 

සොරායා තුළ අපට හමුවන ජීවිතය හඳුනගනිමු...

නගරයෙන් දුර ඈතක කඳු වැටියක තිබුණ කුපායෙහ් ගමේ නූගත්කම, දුප්පත්කම සොරායාගෙ ජීවිත ඉරණම එක්ක බැඳිල තියෙනවා. සොරායා යම් තරමකින් කියවන්න ලියන්න ඉගෙනගන්නවා. නමුත් ඇයගේ ස්වාමිපුරුෂය ගෝර්බාන් අලී උගත්කෙනෙක් නෙවෙයි. ඔහුට උගත්කමවත්, මනුස්සකමවත් හමුවෙන්න ඉඩක් නැහැ, ඒ දුප්පත් නූගත් සමාජයෙ. ගමේ බහුතරයත් එහෙමයි. එහෙම සමාජයක් වැරදි පාරට හරවන්න ලේසියි. ගැටුම්වලට අවුලුවන්න ලේසියි. අනික ආගම කියන එක මනසින් නැතුව හැඟීමෙන් අල්ලගත්ත සමාජයක් ආගම ඉස්සරහට දාලා අවුළුවන්න ලේසියි. මේ නිසා හරිම වැදගත් ගමින් ගම දැනුවත්, සංවේදී, හෘද සාක්ෂියක් තියෙන මිනිස් සමාජයක් හදන එක. මේ වගේ වැඩ වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්නෙ ඒ නිසයි.

ෂෙයික් හසාන්, ගොර්බාන් අලී වගේ මිනිස්සු කොතැනත් ඉන්නවා. මොන පාලනය ආවත් සූක්ෂ්ම විදියට තමන්ගෙ වාසියට හරවගන්න එයාල දක්ෂයි. අද පාර්ලිමේන්තුවෙත්, මාධ්‍ය ආයතනවලත්, ගමක් ගමක් පාසාත් මෙහෙම අය ඉන්නවා. සමාජයක් විදියට මේ වගේ අයව ප්‍රතික්ෂේප කරන්න, ඒ අයට රැකවරණ දෙන ආගමික සංස්ථා, දේශපාලන සංස්ථා පිටුදකින්න අපි ශක්තිමත් වෙන්න ඕන. 

මේ නවකතාවෙ ප්‍රධාන කාන්තා චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් සොරායා ඇය නිහඬ, ඕනෑම දුකක් කරදරයක් හිස නමා භාරගන්න විදියෙ කෙනෙක්. අනිත් කෙනා සහ්රා ඛානුම් සොරායගෙ නැන්දා. ඇය විශේෂ චරිතයක් වෙන්නෙ මේ වගේ වටපිටාවක වුණත් ඇය අධ්‍යාපනය ලබන්න, උගත් මනුස්සයෙක් විවාහ කරගන්න, ඇගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න, බුද්ධිමත් ගැහැනියක් විදියට ගමේ කටයුතුවලට සම්බන්ධ වෙන්න, අදහස් දක්වන්න දරන උත්සාහය නිසා. ආත්ම විශ්වාසයයි, දැනුවත්භාවයයි කාන්තාවකට කොයි තරම් වටිනවද කියල අපට දැනෙනවා.


මාධ්‍යෙව්දියා හමුවේ සොරායාගේ කතාව පවසන නැන්දණිය සහ්රා ඛානුම්
චිත්‍රපටයේ දර්ශනයක්

නමුත් සොරායාගෙ ඉරණම වෙනස් කරන්න ඇයට හැකි වෙන්නෙ නැහැ. ඒක තනිකරම පිරිමින්ගෙ බලය බරපතල විදියට මතුවෙලා සම්පූර්ණ ගමම යටපත් කරගත්තු අවස්ථාවක්. පුදුමාකාර කම්පනයක් ඇති වෙන තැනක් තමයි, කිසිම වැරැද්දක් නොකළ මේ අහිංසක ගැහැනියට ගල් ගහන්න ඇයගේ වයසක තාත්තවත්, පුතාල දෙන්නවත් පෙළඹවීම. සමාජයක් මේ තරම්ම නරුම වෙන්නෙ කොහොමද? ඒක මුළුමනින්ම නූගත්කමත් එක්ක බැඳුණු ම්ලේච්ඡත්වයක්. දැන් අපි හිතන්න පුලුවන් ලංකාවෙ මෙහෙම නැහැනෙ කියල. ලංකාවෙ සිද්දවෙන දේවල්වල හැටියට ගල් ගහල මරල දාන එක දාහෙන් සම්පතයි කියල හිතෙනවා. ඒක එතනින් ඉවරයි. නමුත් අපේ සමාජයේ ගැහැනියව හැමදාම නොමරා මරනවා. මාධ්‍ය, කටකතා, ඕපදූපවලින්. මෑතක රිය අනතුරකින් මිය ගිය කවීෂා සම්බන්ධව මාධ්‍ය, විවිධ අය මතවාද පතුරවපු විදිය අපි දැක්කා. 

බල අරගලවලට මැදිවෙලා අන්ත අසරණ වෙන්නෙ දුක් විඳින්නෙ කාන්තාවන්, දරුවන්. ලංකාවෙ ප්‍රසිද්ධියෙ ගල්ගහල මරන්නෙ නෑ. ඒත් ක්‍රිශාන්ති කුමාරස්වාමි, ඉසප්‍රියා, මනම්පේරි, සේයා, විද්‍යා වගේ අයට සිදුවුණේ මොකක්ද කියල අපි දන්නවා. මේව ශරියා නීතියට අනුව ගල් ගහල මරාදානවටත් වඩා ම්ලේච්ඡයි. එහෙම නැතිව ගැහැනියටත් ආදරයෙන්, ගෞරවයෙන් සලකන සමාජයක්, අධ්‍යාත්මිකත්වයක් හදන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. 

මේ අතර පසුගිය සතියෙ මාධ්‍යවල පළවුණා පුත්තලමෙ නල්ලන්දළුවෙ මුස්ලිම් කාන්තාවක් තනියම ගෙදර ඉන්න වෙලාවක පුද්ගලයෙක් ගෙට ඇතුළ් වෙලා බලෙන් ඇයව දූෂණය කරනවා. මේ කාන්තාව පොලිසියට පැමිණිල්ලක් කරනවා. මේ අතර පල්ලිය ඇයව වැරදිකාරිය කරලා ෂරියා නීතිය යටතේ දඬුවම් කරලා. පොල් පිති පහර 100 ක්. ඇය එයට විරුද්ධවත් නීතිය හමුවට ගිහින් තියෙනවා. සමහර විට මාධ්‍ය හරහා එළියට නොඑන අනන්ත හිංසාවන් ලංකාවෙත් සිදුවෙනවා. ඒවට විරුද්ධව නැගිටින්න කාන්තාවට ලොකු ධෛර්යයක් තියෙන්න ඕන. සන්ධ්‍යා එක්නැලිගොඩ, අනුරාධපුරයෙ මයුරි වගේ දිගටම සටන් කරන කාන්තාවො ඉන්නවා. ගැහැනුන්ට ගල්ගහල මරාදාන්න සූදානම්වුණු සමාජයක තමන්ගෙ සැමියන්, පුතුන් වෙනුවෙන් සටන් කරන ඒ වගේ ගැහැනු ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕන. 

‘‘ඔබ මිනිසුන්ගේ වේදනාව හඳුනන්නේ නැතිනම් ඔබව මිනිසා යන නමින් හැඳින්විය නොහැක.‘‘

මෙහෙම කියන්නෙ 13 වෙනි සියවසේ ඉරානයේ ජීවත්වුණු කවියෙක්. සාදි ශිරාස්. මිනිසුන්ගේ දුක වේදනාව හඳුනන, මනුස්සකම තියෙන සැබෑ පුරවැසියන් ගොඩනැගෙන්න නම් අපි ගම් මට්ටමින්, බිම් මට්ටමින් මේ වගේ සංවාද, සාකච්ඡා ඇති කරල අපි අපිම දැනුවත් වෙන්න ඕන. මනුස්සකමයි, ආදරයයි තරම් වටින දෙයක් මේ ලෝකෙ තවත් නැහැ කියන පණිවිඩය අපි සමාජයට අරන් යන්න ඕන. සොරායා පොත අපිට කියල දෙන ලොකුම පාඩමත් ඒකයි.

සොරායා චිත්‍රපටයේ පෝස්ටරයක්
( සියලුම පින්තූර විස්තර කළේ දෑසින් නොදකින නමුත් මනසින් බොහෝ දේ දකින, හදවතින් බොහෝ දෑට සංවේදී වන අපගේ ආදරණීය සොයුරු සොයුරියෙන් වෙනුවෙන්.. මේ බව සිහිපත් කරදුන් නිර්මාණි නැගණියට තුති. )

13 comments:

  1. /////‘‘ඔබ මිනිසුන්ගේ වේදනාව හඳුනන්නේ නැතිනම් ඔබව මිනිසා යන නමින් හැඳින්විය නොහැක.‘‘////////
    +++++++++

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද වැඩිපුර ඉන්නෙ මිනිස්සු නෙවෙයි...

      Delete
  2. මේ ලියවිල්ල කියවන කොට, මේ උත්සවයේ දී කතා කරන්නට ඔබට ආරාධනා කිරීම කොයි තරම් අගනේද කියා තේරුණා!

    ඇත්තටම ඔබ මේ කතාව හෝ ඒ වගේ කතාවක් කරනවා අහන්නත් ආසයි. මා දැක නෑ කාන්තාවක් පොත් ගැන කතා කරනවා කිසිම පොත් එළිදැක්විමක . ඒ බව මතක්වුණේත් මේ කමෙන්ටුව ලියන වෙලාවේ දී යි.

    පොත් එළිදැක්වීමක් මෙහෙයුවාය කියා මා අසා ඇති එකම කාන්තාවත් ඔබයි.

    ඊජිප්තුවේ කාන්තාවක් ගැන ලියවුණු නවකතාවක පරිවර්තනයක් මා කියෙවුවා. එහි කතාවත් හරිම සෝචනීයයි. පරිවර්තනය මිල්ටන් ප්‍රනාන්දු, මුද්‍රණය විශ්වලේඛා/සර්වෝදය.

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් පොත් එළිදැක්වීම් මෙහෙයවන, සාහිත්‍ය වැඩවලදී කතා කරන අවස්ථා කොතෙකුත් තියෙනවා රසික අයියේ... ලංකාවෙ නොඉන්න නිසා ඔයාට ඒව මගහැරෙනවා. මේ දවස්වල සාහිත්‍ය වේදිකාවෙ කතාවලදි කැපී පෙනෙන කාන්තා චරිතය නදී වාසලමුදලි කියලයි මට හිතෙන්නෙ. ඇය හොඳ සූදානමක් ඇතිව කතා කරනවා. ඒ කතාබහ අර්ථවත්.

      මම බොහෝ විට අපේ සමාජ වැඩ කණ්ඩායම තුළ කෙරෙන මෙවැනි වැඩවලට තමයි සම්බන්ධ වෙන්නෙ...

      Delete
    2. තරු අක්කා පොතක් එළිදක්වන වැඩසටහනක් මෙහෙයවන අයුරු මමත් වරක් දුටුවා.

      Delete
  3. පැහැදිලි කිරීම සුපිරියි...... දායක වුණ හැමට ජය......

    ReplyDelete
  4. මේ විස්තරය කියෙවුවම පොත කියවන්න ආසා හිතුනා...
    අක්කා කියනවා වගේ අයුක්තිය අසාදාරණය මැද ජීවත්වෙන කාන්තාවෝ කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද... ඒත් ඒ අය අතරින් කීදෙනෙක් ද ඒ වෙනුවෙන් කතා කරන්නේ... සොරායා වගේ කීදෙනෙක් සමාජයේ ගල් පහරට ලක් වෙනවද??

    පින්තූර විස්තර කිරීම සාර්ථකයි අක්කේ.... බොහොම ස්තුතී...

    ReplyDelete
    Replies
    1. ඔයත් එක්ක ගත කළ දවස මට ගොඩක් අලුත් පාඩම් කියාදුන්නා. ස්තූතියි නංගි ඔයාටත්...

      Delete
  5. කුමන ස්වරුපයෙන් තිබ්බත් "අන්තවාදය" කියන්නේ දුටු තැන කොන්දේසි විරහිතව හෙලා දකින්න ඕන දෙයක්.

    චූලානන්ද සමරනායකයන්ගේ සන්තියාගෝ නම් සැරිසරන්නා සහා යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය කියන කෘති දෙක මා ගාව තියෙනවා.මට ඒ පරිවර්තන භාෂාව සරල වුනත් ඒ අභ්‍යන්තරයේ තියෙන කතාව එක්වරම තේරුම් ගන්න පොඩ්ඩක් අපහසු වුනා.

    තරු අක්කාගේ මේ සටහන තුලින් අධ්‍යාපනයේ තිබෙන වැදගත්කමත් කියවෙනවා.තමන්ගේ අයිතිවාසිකම් ගැන නොදන්නා ඒ ගැන කතා නොකරන මිනිසුන්ගෙන් තවත් අයගේ අයිතිවාසිකම් රැකෙයි කියා සිතන්න බැහැ.

    ReplyDelete
  6. වෙනස් සිතීමකට පොළඹවන, වෙනස් සිතීමකට අඬගසන වටිනා අදහස් ටිකක්‍, තරු.
    මීළඟට මිලදී ගන්නා පොත 'සොරායා'. චූලා සහෝදරයාගේ පරිවර්තන කාර්යය ගැන ඔබකළ අැගයීමත් වැදගත්.

    ReplyDelete
  7. මාත් සමග වැඩ කරපු ඉරාන ජාතිකයෙක් අපේ ප්‍රොජෙක්ට් එකේ පුද්ගල දත්ත ඇතුලත් ෆෝම් එකක ආගම කියල තිබුණ හිස්තැනේ ලියල තිබුනා මෙන්න මෙහෙම We should not ask this kind of questions"

    මමත් අත්‍යාවශ්‍ය නොවන කිසිම වෙලාවක ආගම කියන දේ ගැන සටහන් කරන්න ඒක දැකපු වෙලාවේ ඉඳල හිතා ගත්තා.

    මේ ෆිල්ම් එක මම බලල තියෙනවා. හැබැයි පොත නම් අරන් නෑ. පොතේ නම තියෙන විදියට දැක්ක ගමන් කතාව හිතා ගන්න පුළුවන් නිසා ගන්න හිතෙන්නෙත් නෑ. ඇයි දන්නේ නෑ ඒ විදියට නම දැම්මේ..

    ReplyDelete
  8. මේ තරම් විදග්ධ ලෙස මෙම යථාර්ථය අතැඹුලක් සේ ගෙන හැර පෑම ගැන තරැරසී සොයුරියට ස්තුතියි..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...