Thursday, December 29, 2016

නත්තල් රෑ කෝපි දන්සැල්...

හඳ පායා ඇති සීත රැයක කඳු පන්තියක් අසලින් ඇදී යන තෑගි කෝච්චියක චිත්‍රයක්...

නත්තලට ගමේ ගියේ 23 වෙනි දා. ගෙදර ගියාට ඉතින් ළමයි බලනවා හැර මට කරන්න එච්චර වැඩක් නම් නැහැ. තේ එක පවා අතට ලැබෙද්දි මං කරන්නෙ ඒ ගෙදරින් මේ ගෙදරට පුංචි පැංචන්ගෙ හුරතල් බලමින් එයාල යන යන තැන ඇවිද ඇවිද ඉන්න එකයි, කකුල් දෙකේ තියල නළව නළව මාත් නිදන එකයි, දරුවන්ගෙ අත්අඩංගුවෙන් මිදෙන්න ඉඩක් ලැබුණොත් කුස්සියෙ ඉවුමකට පිහුමකට දායක වෙන එකයි තමයි...

අපට නත්තල් පූජාව තිබුණෙ රෑ එකොළහමාරට. නින්දක් නිදියල නැගිටිද්දි මාර සීතලක්. මට හිතුණෙම පල්ලි නොයා ආයෙම ගුලි වෙලා නිදියන්න. අලුත් ඇඳුම ඇඳන් පල්ලි යන්න ආසාවට චූටි දෝණිත් කම්මැලිකම් නොකර නැගිටිද්දි, අවුරුදු එකහමාරක් වෙන චන්දු බබත් පල්ලි යන්න ලෑස්ති වෙද්දි මටත් ලැජ්ජ හිතුණා තවත් නිදාගන්න. ඉතින් මමත් නැගිටල ලෑස්ති වුණා.

අප්පා ... එළියට බැස්සම තමයි තරු පෙනුණෙ... ඒ තරම්ම සීතලයි. පල්ලි ගියත් ඇතුළෙ ඉන්න වුණේ නැහැ. චන්දු අඬන්න ගත්ත නිසා අපි උන්නෙත් එළියෙ. ඒ අස්සෙ ෆාදගෙ දේශනාව රබර් වගේ ඇදුණා. නත්තල් පිත්තල් වෙමින් තියෙද්දි ඈතින් වතුර මුට්ටි උණු කරමින් උන්නු තරුණ නඩය ඇස ගැටුණා. ඒ අපේ ගමේ බෞද්ධ තරුණ කණ්ඩායම. එයාල කෝපි දන්සැලකට සූදානම් වෙමින්.

ඉඟුරු විස්කෝතු සමඟ කෝපි කෝප්පයක්... පින්තූරය නම් අන්තර්ජාලයෙන්..
පල්ලි යද්දි කැමරා, ෆෝන් අරන් ගියෙ නැහැනෙ.. ඉතින් පින්තූර ගන්න බැරිවුණා...

පූජාව ඉවර වෙද්දි එකට කිට්ටුයි. ඒ සීතලේ ඉඟුරු විස්කෝතු එක්ක උණුහුම් කෝපි කෝප්පයක් කියන්නෙ දිව්‍ය අමෘතයක් තමයි. එය වඩාත් දිව්‍යමය වෙන්නෙ එතැන මතුවුණු ආගමික සමඟිය, සහෝදරත්වය. ඒ සීතල රෑ අපට කෝපි කෝප්පයකින් සංග්‍රහ කළ ගමේ බොදුනු සහෝදරත්වයට අප්‍රමාණ පින්...

..............

25 වෙනිදා උදේ සුපුරුදු විදියට වට පිටට කැවිලි බෙදල මහගෙවල්වල ගියා නත්තලට කතා කරන්න. දැන් ඉතින් මහගෙවල්වල වැඩිහිටි පරම්පරාවෙන් ඉතිරි අම්මගෙ අම්ම විතරයි. ඒත් ඒ නෑ ගමන යන්න දරු මුණුබුරෝ නම් එන්න එන්නම වැඩි වෙනවා...

.............

නත්තල් සීයා වුණු අයියා... පුංචි නත්තල් ආච්චි අයියගෙ චූටි දූ අයිලියා...


නත්තල් සීයා එක්ක ගම වටේ දරුවන්ට තෑගි බෙදමින් යන එක අවුරුදු ගණනාවක් අපේ පවුල්වල අය සතුටින් කළ වැඩක්. අපේ ගමේ නත්තල් සීයාගේ ආරම්භය ගැන මං ලියූ සටහනක් මෙතන ඇති...  කාලයක් ඒ නත්තල් ගමනට වැඩිහිටි නිවාසයකුත්, ළමා නිවාසයකුත් එකතු වෙලා තිබුණා. ආර්ථික ප්‍රශ්න උග්‍රව දැනෙන කාලෙට මේ තෑගි ටොෆියකට, බැලුම් බෝලෙකට සීමා වුණා. පහුගිය අවුරුද්දෙ යන්න පුලුවන් වුණේ වැඩිහිටි නිවාසයට විතරයි. මේ අවුරුද්දෙ යන්න අදහසක් තිබුණෙම නැහැ. ‘‘අනේ ලොකූ ගම වටේවත් යමු...‘‘ කියල අයියයි, නෑනයි ටවුන් ගිහින් ආවෙ ළමයින්ට දෙන්න තෑගි භෝග ටිකකුත් අරගෙනමයි. මං ළඟත් කතන්දර පොත් ටිකක් තිබුණා. ඉතින් අපි හැන්දෑවෙ ගම වටේ නත්තල් සීයා එක්ක රවුමක් ගියා තෑගි බෙදමින්... ළමයින්ගෙ හිනා මූණු දැක්කම ඊට වඩා නත්තල් තවත් කොයින්ද?





.............

තවත් අමතකම නොවන දෙයක්... චන්දු බබාගෙ ආච්චි අම්මයි, සීයා තාත්තයි මේ සැරේ නත්තලට ඇවිත් තිබුණා අපි එක්ක නත්තල් සමරන්න. 27 හවස ඒ දෙන්නයි, මමයි එකටමයි ආපහු එන්න පිටත් වුණේ.

‘‘පුතේ ආච්චිඅම්මට ජේසු කියන්න..‘‘ මං එහෙම කියද්දි චන්දු බබා උන්නෙ මිදුලෙ ඇවිද ඇවිද... එයා එතනම වැල්ලෙ දණ ගහල පුංචි අත් දෙක එකතු කරල ජේසු කිව්ව හැටි මට තාම මැවිල පේනවා. තාම අවුරුදු එකහමාරයි. නත්තලට අම්ම තාත්තට වඳිද්දි, අපි හැමෝමත් වැඩිහිටියන්ට වඳිනවා. ඒ අතර අපේ පැටව් ටිකත් කෝලම් කර කර වඳිනව බලන්න ලස්සනයි...

නත්තල් රෑ පවුලේ භෝජන සංග්‍රහය නිමවෙලා මල්ලිල පිටත් වෙද්දි 

‘‘මම්මෙ ඔයා අපේ ගෙදර දොයියන්න එන්න...‘‘ කියපු සසෙන් බබාගෙ අහිංසක මූණ මට මැවිල පේනවා...

‘‘අම්ම එන්න කළින් අපි ඉස්කෝලෙ වැඩ ඉවර කරල අම්මව පුදුම කරවමු..‘‘ කියද්දි ‘‘හා අපි එහෙම කරමු... අම්මට සතුටු හිතෙයි...‘‘ කියල ඇස් නටව නටව කිව්ව චූටි මිමිත් මතක් වෙනවා.

යාම්තං අඩිය තියල ඇවිදින ගමන් තාල අල්ලන, නටන සවිරු බබා...

‘‘ලොතු නැන්දෙ ඔයා මොතද තලන්නෙ?‘‘ අහමින් වටේ කැරකෙන අයිලියා...

මේ තමයි අපේ ලෝකෙ... එයාල එක්ක ඉද්දි වෙලාවකට යුද්දයක් වගේ වුණත් හැමදාම නත්තල් තමයි...

චන්දු... සවිරු...

චන්දුට නත්තල් සීයා දුන්නු තෑග්ග ගිටාර් එකක්.. එයා ඒකට හරිම ආසයි... 


    

18 comments:

  1. නත්තල සිරිතුත් පලාතෙන් පලාතට වෙනස්ද?
    මගෙ කතෝලික යාලුවෙක් ඉන්නව එයාල වඳින්නෙ නෑලු නත්තලට.

    ReplyDelete
    Replies
    1. අපේ පවුල්වලට මේ සිරිත් එන්නෙ අපි ජීවත්වෙන්නෙ බෞද්ධ පරිසරයක නිසා වෙන්න ඕන...

      Delete
  2. මම හිතන්නෙ ඔය සිරිත් විරිත් ඒ ඒ ප්‍රදේශයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතත් එක්කයි හැඩගැසෙන්නේ. ප්‍රදේශයන් ප්‍රදේශයට සිරිත් විරිත් වෙනස් වෙන්නේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... අපේ පැත්තෙ ගොඩක් දුරට සිංහල අවුරුදු සැමරිල්ලට සමානව තමයි නත්තලත් යන්නේ...

      Delete
  3. පුංචි ළමයි එක්ක ඉන්න කොට දවස ගත වෙනවා තේරෙන්නේ නැහැ නේද තරු අක්කේ.පොඩි උන්ගේ කෙලි කවටකම් එක්ක හැමදාම ඉන්න පුළුවන් නම් කොච්චර ලස්සනද ජිවිතේ.

    ReplyDelete
    Replies
    1. ළමයි ලොකු වෙන එක තමයි දුක... මේ හුරතල් හරිම ටික කාලයයි.

      Delete
  4. ඔය නත්තල් සීය නං හොදයි දැං ඉන්න නත්තල් සීයල හරි ලෝබයි ටොපී විතර මයි දෙන් නෙ

    ReplyDelete
    Replies
    1. අපිටත් සමහර වෙලාවට එච්චර තමයි දෙන්න පුලුවන් වෙන්නේ... අත මිට තියෙන හැටියට තමයි...

      Delete
  5. පුංචි තෑග්ගක් හරි හැමෝටම දීලා සතුටු වෙන්න පුලුවන් නම් ඒක තමයි ලොකුම සතුට.. එහෙම නේද අක්කේ....

    ReplyDelete
    Replies
    1. තෑගි දුන්නම වගේම ඉතින් තෑග්ගක් ලැබුණමත් සතුටක් දැනෙනවා... අපිත් තාම හදවතින් පුංචි ළමයිනෙ නංගි...

      Delete
  6. පලාතෙන් පලාතට නත්තල් සිරිත් උනත් වෙනස්

    ReplyDelete
  7. තට්ට නත්තල් සීයලා ඇත්තෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අර තොප්පිය දැම්මම ඉතින් තට්ටෙ පේන්නේ නැහැනෙ නේද?

      Delete
    2. නවගත්තේගම ස්ටයිල්........!!

      Delete
  8. සතුටුයි අහන්නත් මේ වගේ දේවල් පිලිබඳ. කෝපි දන්සැල් ලමයින්ට ෆුල් සැලියුට් එක.

    ReplyDelete
    Replies
    1. අපේ පල්ලියෙ මංගල්ලෙට බත් දන්සැලකුත් දෙනවා... ඒක නම් කිතුනු බොදුනු හැමෝම එකතු වෙලා කරන්නෙ... ඒ එකමුතුකම හරි වටිනව කියල මටත් හිතෙනවා...

      Delete
  9. So nice to hear this kind of love and unity between all religions.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...