පිටු

Monday, May 26, 2014

රිදුම් දුන් ‘‘වේ” කවි...


 

 
අන්න ඒ සහතිකය
පුංචිම සන්දියෙ
ඉස්ඉස්සිල්ලම අත රැඳුණු
වටිනාම සහතිකේ

සර්වෝද සිඟිති පාසල් අතර
ලංකාවෙන් පළමු තැන
සිඟිති ගෙවිලියන්ගෙ නැටුමට...

ගොවි නැටුමෙ ඉස්සරහම උන්නෙ මං

නෙවෙයි වෙන්න ඇති මිටි හින්දාම නම්
ළා තැඹිලි චීත්තෙ උන් හංසයා මෙන්
බටිති පා පොඩි හැඩට තියන්නැති මං....

දැන් ඉතින් ඉතිරි
මතකය ම පමණි....

කවි ලිව්ව හපනිට ලංකාවෙන් තුන්වැනියට

දුන්නු සහතිකයෙ තනියට
පොත් ගොන්නකුත් ලැබුණා දෝතට ...
පිප්පි ත් උන්නෙ එතන හුරුබුහුටියට
නැව් නගින්නට ඉස්සර...

‘‘
පිප්පී.. ලොක්කී ලටපට සපයන්නී පටකම්බිලි සැවැන්දරාගේ දෝන දිග මේස් කැකුලී..”
පිප්පි යන්නම ගියේ පුංචිම සන්දියේ
සහතිකය වේ කුසට රස බොදුන් වී තියේ...

බිහිදොර අබියස’ කලා උළෙල
නම විතරම ද මට හිමි...

සිංදුවක් හෙම අහන්නෙම නැද්ද
ගීතයක අගය දන්නේ ම නැද්ද
ගී ලියා සරසවි බිමේ දිනුම් ලද
සහතිකය තලු මැරුවෙ කුසගින්දරෙන් ම ද?

පුරාගෙන සපැමිණි හීන කන්දම දිය වෙවී

ගෙවුණු සරසවි දිවියෙ අවසාන වසරෙදි
ලියා තැබූ පොත සීගිරි කුරුටු ගී හා බැඳී
කා දමන්නට දුකක් හිතුණාද වේයනී.....

පාසැල් සන්දියේ සුරුවිරු මතක

දහම් පාසලේ ළ.ක්‍රි.වී.යෙ සහතික

දුක තමයි ඒත් හිත හදාගත හැක
ඇයි ගිල දැම්මෙ මගේ කවි පොත....

නව යෞවනේ සුන්දරම හීනවල
පාට ගත් අතකුරින් ලියූ කවිපද අතර
දැවටී තිබුණාද රසබර යමක්
මෙතෙක් ආ ජීවිතේ මට ම මඟ හැරී ගිය....

අනියත ලෝ දහම දැන උන්නත් බණේ
නොගැලූ කඳුලකිය දැවි දැවී ඇස් කොණේ
අනේ වේයනේ ඇයි කළේ මේ විනේ

මතක හදවත තබා සමරුපත් ගිලිහුණේ....
 
 
 

 

2014.05.23

29 comments:

  1. සහතිකය කුසගින්න......... එත් ආත්ම තෘප්තිය ඒ මිහිරි මතකය කිසිදා අමතක කළ හැකිද? ඒ වගේම අවැඩක් නොකොට වැඩක්ම කොට යන්තමට හෝ අහරක් සපයාගැන්මට මේ සහතික අත්වැලක් වී නොමැතිද?

    ReplyDelete
    Replies
    1. සහතික නැති වුණත් ඒ සුන්දර මතකය තියේවි ජීවත් වෙන තුරාම..

      නලින් අයිය කියල තියෙන කතාව නම් ඇත්ත..කාලෙන් කාලෙට ජීවිතය ගොඩනැගුණු විදිය ගැන සංකේත වගේ මේ සහතික... සහතික නැති වුණත් මම ජීවත් වෙනවා...

      Delete
  2. හපොයි වෙච්ච දෙයක්, වෙයන්නට කන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? ඕකුන් අපේ ආච්චි අම්ම එකතු කරලා තිබුනු අම්මගේ, පුංචි අම්මලාගෙ, මාමලාගේ කැම්පස් එකේ පොත්, එතකොට අපේ අම්ම ඒ කාලේ අසාවෙන් එකතු කරපු පොත්, පුංචි අම්මගෙයි මාමගෙයි නිබන්දනය අනේ ඔක්කොම කාලා. අන්තිමේදී පස් ගොඩක් විතරයි ඉතුරු. තව ඉතින් අම්මගෙයි පුංචි අම්මලගෙයි ,මාමලගෙයි සමුඋහ චයාරුපත් කළානේ ඉතින්. අර කතාවකට කියන්නවගේ, වෙයි මීයි නයයි ඔක්කොම ඉන්නේ අපිවම කන්න තමා.

    ReplyDelete
    Replies
    1. මම වේයන්ට සමාව දුන්නා.... හැමදේම අනිත්‍යයි.. මොනා උණත් වේයො ටිකක් සාධාරණව හිතල බලල මගේ එම්ඒ සහතිකය බේරල තියෙනවා.... තව වටින දේවල් ටිකක් බේරල තියෙනවා...

      Delete
  3. නිකන්ම නිකන් කොළ කැබලි වුනත් ඒ සහතික එක්ක ලැබුණ ආත්ම තෘප්තිය මිල කරන්න අමාරුයි. මගෙත් කවි පොත් වල කතාව නම් ඛේදජනකයි . පරණ ඩයරි වලයි අතන මෙතන කොළ කෑලි වලයි ලිව්ව කවි පරිස්සන් වුනේ නැහැ . තරංග වලට යවලා දිනපු ඒවා වත් කොපි කරලා තියා ගෙන නැහැ . මට හිටියා අපුරු කවිකාර මිත්‍රයෙක් . ඔහු කළා සඟරාවක් .ඒ කලාප දෙකක පළවුණා කවි ටික තියෙනව. අර වටරවුමේදී මග හැරුනේ .පස්සේ කාලෙක හිරු පත්තරේ ගිය කවි කීපයක් පරන කබඩ් එකක තියෙනව. ඒවාත් මේ අපේ ගෙදර එක්කෙනා ඒ කාලේ එකතු කරපු නිසා. තව ඉතින් එයාට ලිව්ව ආදර කවි ටික නම් ෆයිල් කරලා තියල ලොකු මිටියක්. දැන් ළමයින් නම් ලියන්නේ වන් නෝට් වල නැත්තන් බ්ලොග් වල . එයාලට අපිට වගේ වෙන එකක් නැහැ.
    මන් එක කාලයක් කවි පොතක්ම ලිව්වා . යාලුවෙක් ඉල්ලන් ගෙනත් දුන්නේ නැහැ . ඒ වගේ ලියන මුඩ් ආයේ එන එකක් නැහැ . කසාද බැඳිල්ල එයට හේතුවක් නොවේ . ලියනවා නම් මට වඩා ආස වෙයි ඔහු. නමුත් එහෙම කාලයක් හැමදාම එන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ සහතික වල භාවිතමය වටිනාකමක් තිබුණෙ නැහැ.. මේ වන තෙක්.. සුන්දර මතකයන් විතරයි.

      මේ කවි පොතේ තියෙන්නෙ 90 දශකයේ ලියවුනු කවි... වැඩිම හානියක් වෙලා නැහැ. වටේටම ලස්සනට කාලා මැද කවි ටික ඉතුරු කරල.. මේ වේයො මොනා උණත් ටිකක් මානුෂිකව හිතලත් තියෙනවා....

      බින්දි මට මතකයි ඒ කවිය... මේ තියෙන්නෙ ලින්ක් එක...
      http://nelumwila.blogspot.com/2012/12/blog-post_6.html

      කවි, ලියුම්,පත්තර, පොත් ඕව තමයි මමත් එකතු කළ වස්තු... ඒව නැතිවෙද්දි දුකක් දැනෙනවා. නමුත් ඒ දුක් මොනවද මිනිසුන්ගෙ අහිමිවීම් එක්ක බලද්දි...

      බින්දි, නෙළුම් විල පාලු වෙන්න දෙන්න එපා.. ඔයා ලියන අමුතු තාලෙ සරල සුන්දර රසවත් ලිපි කියවන්න අපි කැමතියිනෙ...

      Delete
  4. ඔය දේවල් කොළ වල තිබුණාට ඒ අපේ උත්සහය... ඒ කාලේ ජීවිතය. අපි ඒවා ගන්න දුක් විදපු තරම. ඒවා දිනුවාම අපි සතුටු වුණ තරම...

    ඒත් අද ඒවා සහතික ෆයිල් එකට වෙලා... ඔහේ බලාගන ඉන්නවා. ඉන්ටර්විව් වලදී ඒවා පෙරලන්නේ අපි කරපු වැරදි බලනවා වගේ... අන්තිමට මං ඔය සහතික ඔක්කොම උස්සං යන එක නැවැත්තුවා.. හැබැයි තරූ අන්තිමට ජීවිතේ ගොඩදාගත්තෙත් ඒ දේවල් වලින් ම තමයි... ඒ නිසා වේයන්ට කියන්න ඔය මගේ ජීවිතය ඒක වේයන්ට දෙන්න බෑ කියලා

    ReplyDelete
    Replies
    1. මම ඒ සහතික මතක විදියට තියා ගත්තා මිස ඉන්ටර්වීවි නම් ගෙනිච්චෙ නැහැ... ඒව මතක සැමරුම් විතරක්ම වුණා.. දැන් මතකය ඉතිරියි... කඩදාසි නැහැ...

      කමක් නැහැ... ඒ හරහා ගොඩනැගුණු ජීවිතය ගිල දමන්න වේයන්ට බැහැනෙ. නේද නංගී..

      Delete
  5. කමක් නෑ මං නං කැමතියි වේයො නිසා ලස්සන කවි ටිකක් පද බැඳුනා නේද.

    ReplyDelete
    Replies
    1. ලස්සන නම් මන්දා.. දුකට ලියූ කවි....

      Delete
  6. හුඟක් වෙලාවට ඉක්මනටම නැති වෙන්නේ අපි වැඩියෙන්ම ආස කරන දේමලුනේ අක්කේ.. ඉතින් මේකත් අන්න ඒ වගේ කතාවක් තමයි.. හැම පාරම ලංකාවට යද්දී මටත් මූණ දෙන්න වෙන දයක් තමයි ඕක..

    ReplyDelete
    Replies
    1. ඔව් මට හිතාගන්න හැකියි... තමන්ගෙ ගෙදරින්, රටෙන් ඈත ඉද්දි කොයි තරම් අහිමිවීම් වලට මුහුණ දෙන්න වෙනවද?

      මමත් ගෙදරින් පිටවෙලා දැන් අවුරුදු 14 ක්... හොඳටම ඇති කියල හිතෙනවා..

      Delete
  7. හිතේ තියෙන මතකයනුත් ඔය විදියට කාලා දාන්ට වේයන්ට පුලුවන් නම්......:(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් වේයන්ට කරන්ට හැකි දෙයක් නෙවි පොඩ්ඩි... මට ම තමයි කාලා දාන්න වෙන්නෙ... වැඩේ කියන්නෙ ජීරණය වෙලා ලේවලටත් මුසු වෙලාද කොහෙද?

      Delete
  8. සුන්දර මතකයක් කවියක් කරල අපූරුයි...
    ලස්සන කවියක් ජයවේවා

    ReplyDelete
    Replies
    1. සුන්දර මතකය විතරක්ම ඉතිරියි...

      Delete
  9. මතකාවර්ජනයකට මං විවර කල අපූරු නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. නිකමට ලිව්වෙ.. හිතේ අමාරුව නැති වෙන්නත් එක්ක.

      Delete
  10. ලස්සන කවි සිතුවිල්ලක්...
    මම පොඩි කාලේ හාවෙක්ට ඉදලා තියෙනවා. නාට්ටිය පුරාම මට තියෙන්නේ පැන පැන ඉන්ඩ.. :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දැනුත් පැන පැනම ඉන්නෙ නේද?

      Delete
  11. එහම හිතේ තියෙන මතකයන් කාලා දාන්න පුළුවන් ක්‍රමයක් හොයා ගත්තොත් මටත් කියන්න හොදේ.

    ReplyDelete
    Replies
    1. වැරදි තැන වැටුණේ,දාන්න ඕනේ වුනේ පොඩ්ඩිගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් විදියටයි.

      Delete
  12. තරු අක්කාටත් තිබුණානේ ඔය ටික ලැමිනේට් කරලා තියා ගන්න.
    මිනිස්සුන්ට අහිමි වෙන දේවල් එක්ක ඕක එතරම් දෙයක් නොවේ කියලා තරු අක්කා කිවත් මට නම් ඕනෑම අහිමි වීමක් දුකක්....:)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ලැමිනේට් කළ එකක් යාම්තමට බේරිලා තිබුණා... ඒත් වේ පස් බැඳිලා හැමතැනම...

      කවියක් ලියල හිත හදාගන්න මට්ටමට ඇවිත් තියෙන්නෙ දැන් වයස වැඩි නිසා වෙන්න ඇති... මල්ලි.. ඔයාල තාම පොඩි ළමයිනෙ...

      Delete
  13. මාර අදෝනාවක් වගේ හිත ඇතුලටම රිදුම් දුන්නා

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඒකත් ඉවරයි... හිත හදාගත්තා..

      Delete
  14. //දැවටී තිබුණාද රසබර යමක්
    මෙතෙක් ආ ජීවිතේ මට ම මඟ හැරී ගිය....//

    සතුටක පැණි රසයද... කඳුලක ලුණු රසයද
    සහෘද උණුසුමෙන් හිඳින ලද තනිකමක ඇඹුල් රසයද
    සොඳුරු හදවතක මිහිරිම සුවඳින් දුම් දමන සඳ
    වටිනා පොතක් වුව නොකා ඉන්නේ අනේ කොහොමද?
    - වේයෝ -

    ReplyDelete
    Replies
    1. ‍මගේ පොත්පත් කෑව වේයෝ ටික දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද?

      ලස්සන අදහස...

      හැබැයි වේයො ටික පොත වටේට කාලා කවි ටික ඉතුරු කරල..... වේයො උණත් මානුෂිකව හිතල තියෙනවා.

      Delete
  15. පරිස්සමින්.. වේයෝ විතරක් නෙමෙයි මියොත් ඔහොමමයි, මටත් ඕන තරම් පාඩු කරලා තියෙනෙවා..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...