පිටු

Thursday, May 22, 2014

මිලාන නෙතගට හිනාවක් ගෙනෙන්නට




ඊයෙ දවසම (2013.03.26) ගෙවුණෙ ළ.ක්‍රි.වී. කටයුත්තක් එක්ක වෙන්නප්පුවෙ. හවස අපේ වැඩේ ඉවර වෙලා ලංසිගම ළ.ක්‍රි.වී. සමිතියේ පුංචි පැටව් එක්ක පන්සල් ගියා... බෝ මළුවෙ භාවනාවකට සමවැදෙන්න අවස්ථාවකුත් ලැබුණා. හිත නිවී සැනසුණු මොහොතක්.. පියතුමා දරුවන්ට අනුශාසනාවකුත් කළා බෝ මළුවෙදිම. ආවාස ගෙදර දී ස්වාමින් වහන්සේවත් මුණ ගැහුණා.. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් දරුවන්ට කෙටි දේශනාවක් කළා. 


මේ ගමන ගිය හැමෝම කතෝලික.. ඒ තමයි විශේෂම දේ. සැබෑ සාමයක්, සංහිියාවක් ගැන කතා කරන්න නම් අපිට ආගම්, ජාති, භාෂා, සංස්කෘතින් ගැන මේ අන්‍යෝන්‍ය අවබෝධය අවශ්‍යම වෙනවා.  භේද භින්න වීමේ විස පුරව ගත්ත වැඩිහිටි හිත් හදන්න අමාරු නිසා යහපත් ලෝකයක් ගොඩ නැගීමේ භාරදූර වැඩේ දරුවන්ගෙන් ආරම්භ කිරීමයි හොම දේ කියල මං විශ්වාස කරනවා....   


සතුටින්, සහෝදරත්‍වයෙන් ගෙවුණු ඊයෙ දවස අවසානයේ කම්පනීය සිදුවීමක් උණා.. ඒ ගැන ලිවීමයි ඇත්තටම මේ ලිපියේ මූලික අරමුණ.. මුල මැද අග ගළපන්නෙ නැතිව මේ කතාව කීමත් අසීරුයි... 


ඇත්තටම දරුවන්ගෙ හිත් ගැන අපි දන්නෙ මොනවද? එයා‍ලව තේරුම් ගන්න නං අපි තව කොයි තරම් සංවේදී වෙන්න ඕනද? විමසිලිමත් වෙන්න ඕනද? මහමෙරක ආදරයක් ලැබුණත් වැඩක් නැහැ නේද දරුවෙකුට අම්ම තාත්තගෙ ආදරය දුරස් වෙලා නම්....

මට මගේ ගෙදර වගේම ආදරවන්ත නිවසක්, පවුලක් තියෙනවා වෙන්නප්පුවෙ... සැප දුක දෙක්හිම ළග ඉන්න සෙනෙහවන්ත පවුලක්... 

ඒ නිවසේ පුංචි පැංචි නෙතූ.. ඇගේ අම්ම අප්පච්චිගෙ පෙම් කතාවෙත්, විවාහ දිවියෙත් ළගින්ම හිටි අක්කා කෙනෙක් මං... ඇගේ සුදු අම්මටත්, සුදු තාත්තටත් ( නෙතූ ආච්චිටත්, සීයටත් කතා කරන්නෙ එහෙම... ) ඉන්න ලොකු දුව මං... ඉතින් ඇය උපදින්නත් කළින්ම ඇගේ ආදර නැන්දි මං... බහ තෝරන කාලෙ ඉදන්ම පවුලෙ අනිත් අය වගේම නෙතූ මටත් ආදරේ උණා... අවුරුදු තුනක් විතර වෙද්දී ඈ මට නත්තලටත්, උපන්දිනේටත් චිත්‍ර ඇදල සුබ පැතුමක් එවන්නත් පුරුදු උණා.. 

ඇත්තටම රත්තරන් හිත් තියෙන පවුලක ආදරය ලබන්න ඈ වාසනාවන්තයි... මමත් වාසනාවන්තයි... 


නෙතු දුවට අකුරු කියෙව්වෙත් මං... ඇය ඉපදෙද්දි ඇගේ තාත්ත හිටියෙ දුර රටක.. නෙතුයි අම්මත් තාත්ත ළගට ගිහින් හිටිය අවුරුද්දක් විතර. දෙන්න ආපහු ආවෙ මේ ජනවාරියෙ.. දුව ඉස්කෝලෙ යන නිසා.. 

ඒ ආවම මං බලන්නත් ආව අපේ ගෙදර තෑගිත් අරන්.. කාලෙකට පස්සෙ එකතු වෙලා අපි කතා කර කර ඉද්දි, කතාව අතර මැද හෙමිහිට සින්දුවකුත් කි‍යවෙද්දි නෙතු දුව චිත්‍ර ඇන්දා... දම් පාටයි, ළා කොල පාටයි පාට කෑලි දෙකයි තිබුණෙ... ඒ පාට කෑලි දෙකෙන් ඈ අපූරු චිත්‍ර කීපයක්ම ඇන්දා...  


නෙතූගෙ  අම්මයි, අප්පච්චියි ආර්ථික අමාරුකම් ගොඩක හිර වෙලා ඉන්නෙ මේ දවස්වල. ඉතාලි ගිහින් ඉන්න ශ්‍රී ලාංකිකයින්ට තදින්ම දැනෙන ප්‍රශ්නයක්නෙ විරැකියාව.. ඉතින් නෙතූගෙ අම්ම එයාව ආච්චියි, සීයයි ළග නවත්වල ආයෙම රට ගියා.. පහුගිය පෙබරවාරියෙ... නෙතූගෙ තාත්තා තනියෙන් කරන අරගලයට යම් තරමින් හරි දායකත්වයක් දෙන්න හිතාගෙන...


'' අනේ අක්කෙ පුළුවන් වෙලාවට දුව ගැන බලන්න... ළමයින්ගෙ වැඩවල‍ට යද්දි දුවව එක්ක යන්න.." නෙතුගෙ අම්මා ගුවන්තොටුපළේදි මට ඇමතුමක් දුන්නෙ ඉකි ගගහ...


යන්න ඕන කියල හිතුවත් එහෙ... වරින් වර ඇමතුමක් දෙනව ඇරෙන්න යන්න වෙලාවක් තිබුණෙ නැහැ.. කතා බහ කරන අතරෙ දැන ගන්න ලැබුණෙ අම්ම ගිය දාට පහුවෙනිදා අම්මගෙයි, අප්පච්චිගෙයි පින්තූරෙ දිහා බලාගෙන නෙතූ ඇඩුව බව. ඉන්පස්සෙ ආයෙම අම්ම ගැන මතක් කළේ නැතිලු. වෙනද වගේම ඉස්කෝලෙ යනවලු. ළමයට අම්ම නැති අඩුව නො‍දැනෙනව ඇති කියල මං ටිකක් සැනහුණා.. 


නෙතූගෙ උපන්දිනේ තිබුණෙ 13, නෙතූගෙ සුදු අම්මගෙ උපන්දිනේ තිබුණෙ 21... එකම දවසකවත් මට යන්න බැරි උණා... මං ඒවි කියන බලාපොරොත්තුව එයාලගෙ හිත්වල තියෙන බව මට කතා බහෙන් තේරුණා... 


ඊයෙ අපේ වැඩ නිම වෙලා ආපසු එන ග‍මනෙ අපි එහෙ ගියා... නෙතූ අපිව පිළිගත්තෙ සතුටින්.. ඒත් මට ඈ දුටු ගමන් ලොකු වෙනසක් දැණුනා. වෙනද ගේ පුරාම සැහැල්ලුවෙන් කෑ ගගහ දුව ඇවිදින කිරිල්ලියක් වගේ හිටිය ඈ.. 

ලොකුම වෙනස තිබුණෙ ඇස් දෙකේ... ඇස්වල ජීවය හිඳී ගිය බවක් මට දැණුනෙ... සුදු අම්මාගෙ උකුලෙ ඉඳන් ඈ වරින් වර මා දිහා බලපු විදිය මට තාමත් මැවිල පේනවා.. ඒ ඇස්වල තිබුණෙ හිර කර ගත්ත ලොකු දුකක්... තනිකමක්.. පාළුවක්... තමන්ගෙ අම්මගෙ ආදරවන්ත අක්කට ඒ දුක තේරේවිද වගේ අහන බැල්මකින් ඇය මා දිහා බැලුවෙ... 


මම දෝණි උ‍කුලෙ තියාගෙන මං අරන් ගිය කතන්‍දර පොත කියල දුන්නා.. ඇගේ ඉස්කෝලෙ පොත් බැලුවා.. පිළිවෙලයි වැඩ. වැඩියක්ම හපන්කම් පෙන්නල තිබුණෙ චිත්‍රවලට. එක වසර දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරමෙ පිරිපුන් බවක් ඇගේ චිත්‍රවල තියෙනවා... හාදුවක් පිරිනමමින්ම මං අගය කළා ඇගේ හපන්කම්... අපේ කණ්ඩායමේ පියතුමාත්, අනෙක් සොයුරු සොයුරියනුත් සතුටින් ඇගේ පොත පත බැලුවා... අගය කළා...

ඒත් වෙනදා තිබුණ සැහැල්ලු කෙළිලොල් බව ඇගෙන් අතුරුදහන් වෙලා... 


ඇත්තටම නෙතූගෙ නිහඬතාවය අම්මා නැති අඩුව නොදැනීම නෙමෙයි.. ඇය මහමෙරක් තරම් දුකක් හිතේ හිර කරගෙන ඉඳීම.


පුංචි දරුවෙක් තුළ මේ තරම් දරා ගැනීමේ හැකියාවක් තියනවද? නැත්නම් එය හිත තුළ ගොනු වන පීඩනයක්ද? එය කවදා කෙලෙස පිට වේවි ද?  


අවුරුදු විස්සකටත් වඩා තමන්ගෙ ගෙදරම ළමා එකතුවක් කළ, ආදරවන්ත දරු දෙන්නෙක් ලෝකෙට දායාද කළ, අපි හැමෝටමත් ආදරණිය අම්මා කෙනෙක් වන නෙතූගෙ සුදු අම්මා ඇයව මහත් ආදරයෙන් වගකීමෙන් බලා ගන්නා බව සහතිකයි. ඒත් අම්මගෙන් හුදකලා උණ ලෝකය පුරව ගන්න අඬන දොඩන, කෑ ගහන දරුවෙක් නොවී නිහඬතාවය තුළ ගිලී යාම ඇගේ අනාගතයට කොහොම බලපාවිද කියල හිතද්දි මට බයකුත් දැනෙනවා...


අපි එන්න ලෑස්ති වෙද්දි ඇගේ සුදු අම්ම ‍මෙහෙම ඉල්ලීමක් කළා..


'' අනේ ෆාද අපේ නෙතූට දැන් හැමදේම අමතක වෙනවා.. ගෙදරින් කරන් එන්න කියපු දේවල් දැන් මට මතක නැහැනෙ කියල හවසට අඬනවා.. දුව වෙනුවෙන් ඔරසමක් කියන්න... '' 


මගේ හිත ගැස්සුණා... ඈ ‍පුරන මුනිවත මුදා හරින ක්‍රමයක් ද මේ?


පියතුමා එක්ක එකතු වෙලා අපිත් ඈ වෙනුවෙන් යාච්ඤා කළා...  


ඊයෙ අපි ආව ගමන් නෙතූ කියනවලු මෙහෙම...


''සුදු අම්මෙ මං තේ බොන කෝප්පෙ බිඳිනවා...''


'' ආ......... එහෙම කරන්න එපා... ඇයි ඒ කෝප්පෙ බිඳින්නෙ... ඔයා කවදාවත් එහෙම වැඩ කළේ නැහැනෙ.. '' 


''ඔයා දැක්කෙ නැහැනෙ තරු නැන්ද මට උපන්දිනේට කෝප්පෙකුත් ගෙනල්ල.. හෙට ඉඳන් මට ඒ කෝප්පෙ තේ බොන්න ඕන..." ඈ කිව්වලු...


'' කෝ බලන්න කෝප්පෙ... ආ.......... ඉතින් පරණ කෝප්පෙත් තිබුණාවෙ. හෙට තරු නැන්දා ගෙනාව කෝප්පෙට හදල දෙන්නම්කො '' 


අද උදේ මේ කතාව ඇහුවම මට සතුටක් වගේම දුකකුත් දැණුනා.. 

ඊයෙ මං ඇයට අරන් ගියා කෝප්පෙකුත්... ළා කහ පැහැති ඒ හුරුබුහුටි කෝප්පෙ සුරංගනාවියක්ගෙ පින්තුරයක් තියෙනවා... ''දුව'' කියල ගහලත් තියෙනවා... ඒ පුංචි තෑග්ග ඇගේ හිතට කොයි තරම් ළං වෙලාද? 


මිලාන වෙලා තිබුණ ඇගේ ඇස් දෙක මට මතක් වෙනවා.. අනේ අපි ‍‍කොහොම නම් මේ පුංචි හිත් තේරුම් ගන්නද? 



 

මහ රෑ අපේ ගෙදර ඉදන් පාට කෑලි දෙකෙන් ඇඳපු චිත්‍රය.. මේ චිත්‍රය අඳිද්දි දුර රටක තනි කාමරයක හිර වෙලා ඉන්න අප්පච්චිව ඇගේ යටි හිතට බලපාන්න ඇති කියල හිතන්න බැරිද?





නෙතූගෙ අම්ම රට යන්න දින දෙකකට කළින් එහෙ ගිය වෙලාවෙ මං නෙතූට හදල දුන්න හා පැංචගෙ වෙස් මූණ...



නෙතූගෙ අම්මයි, මමයි, නෙතූයි එකතු වෙලා අලවපු හංසයා.. 




මේ ලස්සන හිනාවත් අරන් ඇගේ අම්මට ඉක්මණින්ම ආපහු එන්න ලැබෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ...


6 comments:

  1. මෙය මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නෑ. ඔබේ RSS Feed වල ප්‍රශ්නයක් විය හැක.

    http://kathandara.blogspot.com/2013/03/half-day-casual-leave.html?showComment=1364373680782#c4970089607498081397

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට... ප්රරශ්නෙ විසදගන්නෙ කොහොමද කියල මං දන්නෙ නැහැ... අනික එහෙම අවුලක් ඇති කියල මං දැනගෙන හිටියෙත් නැහැනෙ... කොහොමද ඒක හදා ගන්නෙ...

      Delete
  2. ජීවිතය කියන්නේ ප්‍රශ්න ගොඩක්, අරගලයක්. එක ප්‍රශ්නයක් විසඳා ගන්න ගිහින් තවත් ප්‍රශ්න හදාගන්නවා වගේ නේද අපි සමගර දෙනා?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං ඇත්ත...

      RSS feed වල ප්රදශ්නෙ විසදගන්න උදව් කළාට නං එහෙම වෙන එකක් නැහැ නේද? ඇත්තටම මං ලියන්න මිස බ්ලොග්වල තාක්ෂණික පැත්ත ගැන වැඩි යමක් දන්නෙ නැහැ...

      Delete
  3. mama eyala ekka yadumin ekathu wenawa. matath kella gena dukai.

    ReplyDelete
  4. වෙන්නප්පුව අවට ප්‍රදේශ කීපයකම තියන පොදු ප්‍රශ්නයක්,,දෙමව්පියන් රට ඉන්න ළමයි,,මමත් ජීවිතෙන් වැඩි කාලයක් ගෙව්වෙ එහෙම,,,මම එකග නෑ ඔහොම ළමයිව තනි කරනවට..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...