Monday, March 12, 2018

බිල්ලට දෙන්නේ යෞවනයද?



අද සවස දුම්රියේදී ඇස ගැටුණු පාසල් සිසුන් කණ්ඩායමකි. බැලු බැල්මට උසස් පෙළ සිසුන් බව පෙනුණි. කතා බහ දුරකථනය මාර්ගයෙන් අන්තර්ජාලයට පිවිසීමය. අවහිර කර ඇති සමාජ මාධ්‍යවලට පිවිසීම පිළිබඳව නොදන්නා සිසුවකු දැනුවත් කරන්නට අනෙක් සිසුන් සියල්ලෝ පෙළ ගැසී උපදෙස් දෙමින් සිටිති. අන්තර්ජාලය පරතෙරට පිරික්සා ඇති බවට ලකුණුය ඒ කතා බහේ වූයේ. යෞවනය එබඳුය. කුතුහලයෙන් පිරී ඇත. අත්හදාබැලීම් කරන්නට කැමතිය. උද්වේගකාරීය. ඒ යෞවනය යහමඟට කැඳවනු මිස, ජාතිවාදී, ආගම්වාදී අදහස්වලින් ගිනි දැල්වීම කුමන අපරාධයක්ද? 

පසුගිය දින කිහිපය පුරා සමාජ ජාල ඔස්සේ ජාතිවාදී අදහස් පතුරුවා හැරීම පිළිබඳ චෝදනා එල්ල වූ බොහෝ පිරිස් නව යොවුන් වියේ බව පෙනේ. අත්අඩංගුවට ගත් පාසල් සිසුවට අදත් ඇප නොලැබුණු බව රාත්‍රී පුවත් විකාශයේදී අසන්නට ලැබිණි. 11 වෙනිදා පාන්දර ආනමඩුව කඩය කැඩීම සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණේද අවුරුදු 18 -22 අතර තරුණයින් කිහිප දෙනෙකි. මාධ්‍ය තුළ සංසරණය වූ කඩසාප්පුවලට ගල් ගසන සීසීටීවී දර්ශනවල සිටි වැඩි පිරිසක් යෞවනයන් බව පෙනුණි. උසස් පෙළ ලියන සහ ලියා අවසන් දරුවන්, යෞවනයන් ජාතිවාදී අදහස් පතළ කිරීමට, හිංසාකාරී ක්‍රියා සඳහා යෙදවීමට ආධාරක ලෙස භාවිත කිරීම කොතරම් ඛේදනීය තත්ත්වයක්ද? වඩ වඩාත් එයින් පිළිබිඹු වනුයේ ජාතිවාදී උන්මන්තකභාවයේ සැහැසිකමය. 

යෞවනයට උරුම උද්වේගකාරී බව, ජවය, කුතුහලය ජීවිතය අර්ථවත් කිරීමට මිස ජීවිතය විනාශ කර දැමීමට භාවිත කිරීම අනුවණකමකි. මනුෂ්‍යත්වය භේදබින්න කරවන සිතුවිලි, වචන, ක්‍රියා පතුරුවා හැරීමෙන් සමාජයට, රටට වන හානිය පිළිබඳව ඔවුන්ට අබ මල් රේණුවක තරම් අවබෝධයක් ඇති බවක් නොපෙනේ. දරුවන් මෙවැනි අපරාධ සඳහා පොළඹවන වැඩිහිටි සමාජය එහි වගකීම භාර ගත යුතුය. නමුත් බල ලෝභයෙන්, ජාතිවාදයෙන් අන්ධ වූ මිනිසුන්ට දරුවකුගේ ජිවිතයේ අගය වැටහේ යැයි සිතිය නොහැකිය. 



මෑතක තරුණ එකමුතුවක් තුළ වාර්ගික ගැටලු, ඒවාට බලපාන හේතු සහ එයින් සමාජයට සිදුවන හානිය පිළිබඳවත් ඒ තුළ මනුෂ්‍යත්වය රැකගැනීම වෙනුවෙන් අපගේ ක්‍රියාකාරිත්වය කෙබඳු විය යුතුද යන්න පිළිබඳවත් අපි කතාබහ කරමින් සිටියෙමු. ඒ කතා බහට එක් වූ යෞවනයකු කියා සිටියේ ඔහුගේ ටියුෂන් සර් පන්තියේ දී ‘‘දැන් සිංහල ජනගහණය සීඝ්‍රයෙන් අඩුවෙමින් යන බවත්, අවුරුදු අටට වඩා අඩු ළමයින්ගෙන් 60% වඩා මුස්ලිම් ළමයි බවත්‘‘ කියූ බවයි. මේ තත්ත්වය සිංහල සමාජයට තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා පියවර ගැනීම අවශ්‍ය බවයි යෞවනයාගේ අදහස. ඒ කතාව සත්‍යෙයන් තොර බව අප කියූ විට ඔහු කීවේ ‘‘තමන්ගේ සර් සාමාන්‍යෙයන් බොරු නොකියන“ බවයි. ඔහු අපද දන්නා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. එසේම සාහිත්‍ය කලාව සම්බන්ධයෙන්ද යම් මැදිහත් වීමක් සිදුකරන අයෙකි. ඔහු දරන මතය දරුවන්ගේ මනසට එන්නත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනෙකා දෙස සැකයෙන්, අවිශ්වාසයෙන්, ද්වේශයෙන් බලන්නට යොවුන් දරුවන් පෙළඹවීමෙන් පෞද්ගලිකව ඔවුන්ටත්, පොදුවේ සමාජයටත් සිදු වන බලපෑම පිළිබඳව අප නැවත නැවත සිතා බැලිය යුතු නොවේද? මා පෙර කී යෞවනයාට ජන හා සංඛ්‍යාලේඛන දත්ත විමසා බලන්නැයි කී විට ඔහු පැවසුවේ ‘ඒවා සත්‍ය විය නොහැකි බවත්, පාලකයින් තමන්ට අවශ්‍ය පරිදි එම දත්ත වෙනස් කරනු ඇති‘ බවත්ය. 

වර්ගවාදී විස පොවා අවුස්සා මෙවර බිල්ලට දෙමින් ඉන්නේ නව යොවුන් විය ද? 

මේ දරුවන් ගළවා ගන්නට අපට කළ හැකි කුමක්ද?

15 comments:

  1. සිතිය යුතු දෙමවුපිය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුම කරුණක්.වැදගත් සටහනක්.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීම කළ යුතුම දෙයක් කියල. දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන විශේෂ අවධානයකින් හිඳීමත් වැදගත්.

      ස්තූතියි ඔබට.

      Delete
  2. සිංහලයන්ගේ ඔහොමනම් දෙමෙල්ලුන්ගේ කොහොම බ්‍රේන් වොශ් කරලා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. අන්න තර්ක. සිංහලයෝ ඔහොමනම් දෙමෙල්ලු කොකොමට ඇද්ද? ඇයි තම්බි? තර්ක ශාස්ත්‍රයේ කෙළ පැමිණිලා.

      Delete
    2. රටක් විදියට අපි අපේ බ්‍රේන් වොෂ් කරගත යුතු කාලය මේ මනුස්සකම වෙනුවෙන්. නැත්නම් අපිට හැමදාමත් ගිනි ඇවිළෙන සමාජයක විඳවන්නයි වෙන්නෙ අපේ දරුවන් වෙනුවෙන්.

      Delete
  3. මාත් මේ වෙද්දී අපේ ඔෆිස් එකේ අයගෙන් "තම්බින්ට, දෙමලුන්ට කත් අදින කල්ලතෝනිය" කියන නම්බුව අරං ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මේක හරි පරිස්සසමට කතා කරන්න ඕන වෙලාවක් තමයි මල්ලි. නැත්නම් තමන්ගෙම අය අතරෙත් අපිව ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒ අයව වෙනස් කරන්න නම් මුළුමනින්ම විරෝධතා ව්‍යාපාර දියත් කරලත් බෑ. කොහොමත් ජාතිවාදී, ආගම්වාදී අදහස් දරන අය වෙනස් කරන්න හරිම අමාරුයි.

      Delete
    2. මං ඒ වගේ තැන්වල එයාලට පෙන්නල දෙන දෙයක් තමයි වැඩිම අවදානම තියෙන්නෙ තමන්ගෙම දරුවන්ට බව. මේකෙන් විනාශ වෙන්නෙ තමන්වම කියන එක. ඒක පොඩ්ඩක් විතර ඵලදායක වෙනවා.

      Delete
  4. මිනිසුන් තමන්ගේ ආගමට ජාතියට අම්මට තාත්තට ඉපැදුනු රටට මෙහි සතා සීපාවාට ගහකොලට එතැනින් එහාට මිනිස් සංහතියට ආදරය කලයුතුයි!
    මෙහිදී අපි ලඝු කරගන්නවා ආගම හා ජාතිය කියන එක පමනක්!
    මිනිසුන් තමන්ගේ අම්මාට ආදරය කරණ ලෙසට තමන්ගේ සංස්කෘතියට ජාතියට ආගමට ආදරය කලයුතු වෙනවා.
    නමුත් වියයුතු ප්‍රථම කාරණය වන්නේ එම ආදරය කරණකොටගෙන අන් අයගේ ඇදහීමකට විශ්වාසයකට සංස්කෘථියකට පෞද්ගලිකත්වයකට හානියක් හිංසනයක් වෙනවාද යන්නය!
    අනෙක් කරුණවන්නේ තමන් තමන්ගේ ආගමට හෝ ජාතියට කරණා ආදරය තුල තමන් එම ආගමේ හෝ ජාතියේ සැබෑවූ උන්නතිය වෙනුවෙන් කලයුතු හා නොකල යුතුදේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු කොට ඇත්දැයි විමසා බැලීමයි!
    අප ; අපහමුවට එදිනෙදා පැමිනෙණ අපේ මිනිහාට ; අපේකම පෙර දැරි කරගෙන කල දෙයක් වෙත්ද? ඔවුන් ; ඔවුන් හමුවට එදිනෙදා පැමිනෙන ඔවුන්ගේ මිනිසුන් වෙත ඔවුන්ගේ බව පෙරදැරි කරගෙන ක්‍රියා කරණ්නේ අප මෙන්ද?
    ඔවුන් සිකුරාදාට පල්ලි යති! තොප්පි දමති! කොටු කොටු සරම් අඳිති! ගෙරි මස් කති! ගෑනුන්ව මුළුමනින්ම වසාගෙන පාරේ ගෙනියති ! ව්යාපාර ලෝකය අත්පත් කර ගනිමින් සිටිති! නගරවල ඉඩ කඩම් මිළදී ගනිති! ඔවුන්ගේ අහාර ආගමානුකූල ලෙස ලේබල් කර ගනිති! අපේ තරුණියන් විවාහ කරගනිති! ඔවුන්වද තමන්ගේ සංස්කෘථියට ඈඳා ගනිති! ලමයි රැසක් හදති! ජාතිය බෝ කරති!
    අපට අපේ ජාතියී නාමෙන් මින් නොකල හැකි දෙය කුමක්ද? එයට වග කිවයුත්තේ ඔවුන්ද? අපේ ජාතිය වැනසීමට මූලික හේතුව ඔවුන්ද? අප අපගේ ජාතිය වෙනුවෙන් කලදෙයක් වෙත්ද?
    මා මේ පිළිබඳව මාගේ බ්ලොගය තුල "හම්බයන්ද ? සිංහලුන්ද?" යන මැයෙන් යාන්තමින් කතා කොට ඇත. හැකිනම් පිවිස බලන්න!

    ReplyDelete
    Replies
    1. අප අනෙකාට ගරු නොකරන තාක්, අනෙකාගේ හිමිකම් පිළිනොගන්නා තාක් අපේ හිමිකම් රැකෙන්නෙත් නැහැ. අපට ගරුත්වය ලැබෙන්නෙත් නැහැ.

      ස්තුතියි, ඇවිත් බලන්නම්.

      Delete
    2. රටවල්වල බහුතරයට එක විදිහක ෆෝබියාත් , සුලු ජනකොටස්වලට තවත් විදිහේ ෆෝබියාත් තියනවා. ඒවා බොහෝමයක් සංඛ්‍යාලේඛන මගින් තහවුරු නොවනවා මෙන්ම බොහෝවිට තාර්කිකද නොවෙනවා. ඒත් මනුෂ්‍ය ස්වාභාවය, දේශපාලකයින්, ආගම, අහඹු සිදුවීම්, ඉතිහාසය හා හිතළු මගින් ඒ ෆෝබියාවන් පවත්වාගෙන යනවා. ටිකකාලයකින් ඒ ෆෝබියා නිසා ගැටුම් ඇතිවෙලා ඒ ෆෝබියා ඇත්ත වෙන අවස්ථා තියනවා. ඒ කියන්නේ බොරුවට වෙන බිය මත කරන කියන දේ නිසා ඒ බිය ඇත්ත වෙනවා
      (තට්ටයා ආශ්‍රය නිසා මාත් දිග හෑලි ලියනවාද මංදා.ඒ නිසා ලින්ක් දාන්නම් )

      ඇමරිකාවේ බහුතරයේ බිය
      https://www.vox.com/science-and-health/2017/1/26/14340542/white-fear-trump-psychology-minority-majority

      ඉරාකයේ සුලුතරයේ බිය
      http://www.bbc.com/news/world-middle-east-41277880

      වාසිය දේශපාලකයින්ට
      http://www.independent.co.uk/voices/donald-trump-us-elections-hillary-clinton-race-hispanic-black-vote-white-americans-fear-minority-a7402296.html

      Delete
  5. පරිසරයට ආදරය කරන්න උගන්වන්න ඕනේ. ගස් එක්ක කතා කරන්න , තරු දිහා බලන් ඉන්න , සියලු දෙනා දිහා කරුණාවෙන් බලන්න වගේ දේවල් විශේෂයෙන් ම .

    ඉතිහාසය ගැන තියෙන දැනුමත් ගොඩක් වටිනවා මට හිතෙන විදියට .

    ReplyDelete
  6. හැම ජාතියේම අන්තවාදයන් කොන්දේසි විරහිතව හෙලා දකින්න ඕනේ.මම කවදාවත් මගේ ලග ඉන්න අනෙකාට කරදරයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ.කවුරු හරි දේශද්‍රෝහියෙක් කියලා එකට මට කිව්වොත් එක මට ආඩම්බරයක් පුහු දේශප්‍රේමීත්වයට වඩා.

    අක්කාගේ ප්‍රශ්නයට උත්තරේ මම හිතන්නේ එක අපි පටන් ගන්න ඕනේ දරුවෝ පුංචිම කාලේ ඉඳන්.පොඩි කාලේ ඉඳන්ම දරුවෙක්ට හරි පාර පෙන්නුවොත් ලොකු වෙනකොටත් ඒ දරුවා ඒ පාරේ යයි.

    ReplyDelete
  7. ඇත්තටම මහා විනාශයක් තමා මේ පොඩි ළමයින්ගේ ඔලුවලට ඕවා පුරවන එක. හැමෝම එකතු වෙලා රට දියුණු කරන්න, රටට ආදරය කරන්න කියන දේ වෙනුවට මොනවාද මේ පුරවන්නේ.. මම හිතන විදියට ගෙදර මිනිස්සුන්ට තමයි ලොකුම වගකීම තියෙන්නේ.. තාත්තා අම්මා ජාතිවාදී කතා නොකියන්න වෙන කවුරු කිව්වත් හිතට වදින ප්‍රමානේ අඩුයි..

    අපේ අම්මලාගේ මහගෙවල් තියෙන්නේ මල්වානට කිට්ටුව.. මල්වාන හරියේ අපි දන්න කාලේ ඉඳල ඉන්නේ මුස්ලිම් මිනිස්සු.. කොළඹ කොටුවේ කඩ කරන මුදලාලිලා ගොඩක් ඔය පැත්තේ ඉන්නවා... මේ මොන දේවල් වුනත් ඒ පැති වල ඉන්න වැඩි හිටි අය ඒ මිනිස්සු ගැන තරහකින් කතා කරන්නේ නෑ.. අපි එහෙ ගියත් අපේ ඔලුවලට ඒ අදහස් යන්නේ නෑ.. අපි ගිහින් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන කතා ගෙදර කිව්වත් අපිට උත්තරේ ලැබෙන්නේ.. "ඔය මිනිස්සු අපි දන්න කාලේ ඉඳන් ඔහොම තමා... අපි අපේ පාඩුවේ ඉන්නවා.. ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්නවා..."

    අපි සමාජෙන් අහගෙන ඔලුව පුරවාගෙන යන අදහස ගැන ආයේ හිතල බලන්න හිතෙනවා ගෙදරින් අපිට ලැබෙන උත්තරේ අනුව.

    ගෙදර ඉන්නෙත් ජාතිවාදී අම්මෙකුයි තාත්තෙකුයි නම් ඉතින් ළමයින් ට කොහෙන්ද හරි දෙයක් අහන්න ලැබෙන්නේ..

    ReplyDelete
  8. ඒ ටියුෂන් ගුරුවරයාගේ නම ලියන්න.
    අපි ඔහුගෙන් විමසමු. ඔහු එලෙස කීවා නම් දත්ත මූලාශ්‍ර ඉල්ලමු.
    සමහරවිට ඔහු එසේ නොකීවා ද විය හැකියි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...