Tuesday, March 20, 2018

උත්තරාදේවී සහ තවත් දේවිලා...

දරු ගැබට අත තියාගෙන සිටින උත්තරාදේවී සහෝදරයා ටෙලි නාට්‍යෙයන් 


ඒ අම්මා උන්නේ අමුතුම ඉරියව්වක. එතැන උන්නු පණහකට එහා පිරිස අතරෙ ඒ ඉරියව්ව විශේෂයෙන් කැපී පෙනුණෙ එයා එතන උන්නු පිරිස විතරක් නෙවෙයි, සමස්ත ප්‍රජාවම ප්‍රතික්ෂේප කරන්න වගේ, තවත් අතෙකින් ඒ කිසිවක් ගැන කිසිම හැඟීමක් නැති ආකාරයකින් උන්නු නිසා. මට ඒ අම්ම හමුවුණේ මෑතක කයිට්ස්වල ඇතුළත ගම්මානයක දරුවන් සමඟ වැඩකට ගිහින් හිටි අවස්ථාවක.


මම ඒ අම්ම ගැන ලියන්නමයි හිතන් උන්නෙ. ඒත් පහුගිය දවස්වල ඇතිවුණු කලබල එක්ක ලිවීම අතපසු වුණා. ආයෙම මතකය අලුත් වුණේ පහුගිය සති අන්තයේ ‘සහෝදරයා‘ බලද්දි.

උත්තරා දේවි දැන් දරු ප්‍රසූතිය ආසන්නයේ. ඇයත්, දරුවාත් වෙනුවෙන් කැපවෙන්න රජීව්ගෙ සොයුරියත් නැවත ගෙදර එනවා. රජීව් නැති අඩුව පුරවන්න බැරි බව ඇත්ත. ඒත් අජන්ත තමන්ගෙ උපරිමයෙන්ම උත්තරා දේවිට සුවපහසුව සලසන්න කැපවෙනවා. යුද්දය නිසාත්, බලලෝභී දේශපාලන අර්බුද නිසාත් තනිවුණු බොහෝ ගෑනුන්ට වඩා උත්තරාදේවි වාසනාවන්තයි කියල මට හිතෙනවා. ඒ එක් පැත්තකින් ඇයව ආරක්ෂා කරන ආර්ථික, සමාජ පසුබිමක් තිබීම. තවත් පැත්තකින් ඇයට සහය වෙන අජන්ත, අක්කා, යෙහෙළිය වැනි කීපදෙනෙකු හෝ සිටීම.

ගැබිණි උත්තරාදේවිගේ ඉදිමුණු දෙපා තවන අජන්ත  - සහෝදරයා ටෙලිනාට්‍යෙයන්

පෙර කී අම්මා මට හමුවුණේ පුංචි ගම්මානයක කිතුනු පිරිසක් එක්ව සංවිධානය කළ පාද නමස්කාරයකදි. අප නැවතී උන් දේවස්ථානයේ සිට පාදනමස්කාරය පැවති කුඩා පිට්ටනියට අපි ගියේ තල් ගස් යායවල් මැදින් වැටුණු අඩිපාරකින්. තැන තැන පාළුවට අත්හැරුණු අබලන් නිවෙස් දකින්නට තිබුණා. යුද සමයේ නටබුන්.

පාද නමස්කාරය අවසන් වුණේ පූජාවෙන්. පූජාව නිමවුණාම දේවස්ථානයේ පියතුමා එහි සිටි දමිළ කිතුනු පිරිසට අපේ කණ්ඩායම හඳුන්වා දුන්නා. ඒ හැමදෙනාම අප දෙස හැරී සිනා මුහුණින් අපව පිළිගත්තා. ඒවෙද්දිත් එතැන උන් දරුවන්ව අපේ වැඩසටහනේදි හමු වී තිබුණ නිසා ඔවුන්ගේ සිනා මුහුණු විශේෂයෙන් කැපී පෙනුණා. 

මා කළින් කී අම්මා සිටියේ දමිළ පිරිසත්, අපත් අතරමැද බිම වාඩි වී පියතුමා දෙස බලාගෙන.  පියතුමා අප ගැන හඳුන්වා දෙන විට පියතුමාට පසුපස හැරවූ ඈ අප දෙස බලනු වෙනුවට අප දෙපිරිස අතරින් කොහෙදෝ ඈතක බලා උන්නා. ඒ මුහුණෙ තිබුණෙ කිසිවකුත්, කිසි දෙයක් ගණන් නොගන්නා හිස්බවක්. පියතුමාගේ කතාවත්, අපේ කණ්ඩායමේ කතාවකුත් අවසන් වන තුරු ඒ ඉරියව්වෙන් එලෙසම සිටි ඈ සියල්ල අවසන් වනවාත් සමඟ කිසිවෙකු දෙස හෝ නොබලා නැගී යන්නට ගියා.

ජීවිත කාලය පුරාම වින්ද වධ වේදනාවල හැටියට ඒ අම්මල අපට වෛර කළත් සාධාරණයි කියන හැඟීමයි එවෙලෙ මට දැනුණෙ. කිසිම හැඟීමක් පළ නොකළ ඒ වියලි දෑසත්, මුහුණත්, ඒ අනපේක්ෂිත හැසිරීමත් මගේ හිතේ ඇඳිල තිබුණා.

අවසන් යුද්දයෙන් මිය ගිය ස්වකීයයන් සමරන දමිළ මවක් - සේයා රුව සම්පත් සමරකෝන්ගේ මූණුපොත් පිටුවෙන්


සියලු වැඩ අවසන්ව රාත්‍රියේ දවස පිළිබඳ සමාලෝචනයෙදි මගේ අදහස් දැක්වීමෙදි මම ඒ අම්ම ගැනත් මතක් කළා. ඒ මොහොතෙ පියතුමා කිව්ව කතාවත් එක්ක අපි හැමදෙනාගෙම හිත් ආයෙ අලුත් වටයකින් රිදුම් දෙන්න ගත්තා.

‘‘ඉන්දීය සාම සාධක හමුදාව ආව වෙලාවෙ මේ පැත්තෙන් ගහගෙන, ගහගෙන මේව හිස්කර ගෙන තමයි යාපනේට ගිහින් තියෙන්නෙ. මේවයෙ උන්න මිනිස්සු මරල, ගැහැනුන්ව දූෂණය කරලා, ගොඩක් කාන්තාවන්ට හිරිහැර වෙලා තියෙනවා. ඒ වගේම හමුදාව, පොලිසිය නිසා තාත්තලා නැති දරුවො ලැබුණු අම්මලත් මේ පැතිවල ඉන්නවා. ඒ අම්ම එහෙම කෙනෙක්. එයාට ඉන්නවා තාත්තෙක් නැති දරුවෙක්.‘‘ 

ඒ වියපත් දෑසේ පැවති මහා හිස්කම මට හරියටම කියවාගන්නට හැකිවූයේ ඒ මොහොතෙදි. යව්වනයෙදිම තාත්තෙක් නැති දරුවෙක් එක්ක ජීවන අරගලයට මැදිවුණාම, ඒ අතර උන් හිටි තැන් නැතිවුණු මහා යුද්දෙකටත් මුහුණ දෙන්න වුණාම ගැහැනියක් දරාගන්නේ කොහොමද? වැන්දඹු වුණු, වැන්දඹු කර දැමූ බෙහෝ ගැහැනු ලංකාවෙ ඉන්නවා. එයින් වැඩි දෙනෙක් ජීවිත සටනට උරදීමෙදි උත්තරාදේවි තරමටවත් වාසනාවන්ත වෙන්නෙ නැහැ.

අතුරුදහන්වූවන් පිළිබඳ යුක්තිය ඉල්ලා සිදුකරන සත්‍යග්‍රහයක සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු දමිළ මව්වරුන් පිරිසක්
සේයා රුව -  ලාල් ලක්ෂ්මන්
                                                

14 comments:

  1. කඩු ගත්තෝ කඩුවෙන්ම නසිති කියලා බයිබලයේ තියෙනවා.
    මේකත් එයට උදාහරණයක්.

    මහින්ද රාජපක්ෂ මහතා යුද්දය දිනවපු නිසා මේ වගේ සිද්ධි දිගටම සිදුවීම වැලකුනා.

    ‍ඔව්වා දෙමළ ජාතිවාදයේ ප්‍රතිඵල. දෙමළ ජාතිවාදය පරාජය කිරීම තමයි ඔයවගේ සිදුවීම් වැලැක්වීමට එකම පිළියම.

    ReplyDelete
    Replies
    1. දෙමළ තරුණ තරුණියො එදා අවි අතට ගත්තෙ සෙල්ලමට හරි ආශාවට හරි කියල හිතනවනම් ඒක අපේ වරදක්. ඉතිහාසය විවෘත මනසකින් දකින කොට පැහැදිලි වෙනවා ඒ අවි එයාල අතට දුන්නෙ දකුණේ දේශපාලනයෙ දීර්ඝකාලීන මර්දනය විසින්මයි කියන එක.

      සිංහල වුණත් දෙමළ වුණත් ජාතිවාදය නරකයි. ඒක ඇත්ත. නමුත් ජාතිය කුමක් වුණත් හැම මනුෂ්‍යකුටම නිදහසේ ජීවත් වෙන්න, ගරුත්වයෙන් ජීවත්වෙන්න, සමාන සැලකුම් ලබන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය මර්දනය කරද්දි කවුරුන් හරි ඊට එරෙහි වෙනව නම් ඒ වරද එරෙහිවන්නාගෙද, මර්දකයාගෙද කියල අපි නැවත හිතන්න ඕන...

      Delete
  2. හිත ඇතුලෙන් සීතලට ලේ ගලනවා වගේ දැනෙනවා අක්කි.

    ReplyDelete
    Replies
    1. නොලියූ බොහෝ අත්දැකීම් හිතේ රිදුම් දිදී තියෙනවා. මේ සමාජයට ඕව ලියල කියල වැඩක් තියෙනවද කියල හිතෙන වාර අනන්තයි නංගි.

      Delete
    2. බුද්ධිකා අර අපේ සිරි සඟබෝ ට පක්ෂව දාපු ලියවිල්ලයි මේ ප්‍රතිචාරයයි අතර සෑහෙන පරතරයක් තියෙනවනේ :)

      Delete
  3. මේ දුක්ඛිත ප්‍රතිපල වලට අඩු වැඩි වශයෙන් අපිත් වැරදිකාරයෝ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙමයි.

      Delete
  4. සමහර වැරදි නිවැරදි කරන්න අමාරුයි. පැත්තක් ගන්න බැරි මේ වගේ වෙලාවලදී නිහඬතාව හොඳම විසඳුම. නමුත් පොදු කුලකයට වයිර කිරීම පවතින තාක් නිහඬතාව විසඳුම නෙවෙයි. කොයි ජාතියේ උනත් සාමකාමී රටක් පතන මිනිස්සු එකිනෙකාගේ මූනට ඔරවන එක නවත්වන තෙක් විඳවීම ඔහොමමයි.

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය නිවැරදි කරගන්නයි ඕන. නමුත් අපේ සමාජයට එහෙම උවමනාවක් ඇති බවක්වත් පේන්නෙ නැහැ නේද සුරංග. අපි ලියන කියන දේවල් හුළඟටද කියලත් වෙලාවකට මට හිතෙනවා.

      Delete
    2. පළමුව අපි මේ රටේ ඉහළ වෙනස් කළ යුතුයි. නමුත් එතැනට ඔබින කෙනෙක් නෑ. ඒ චරිතය බිහිවෙන්න ඕන අපි අතරින්මයි. එදාට අපට රට වෙනුවෙන් මහන්සි වෙන්ට හිත් දෙයි. තවමත් මේ ඇත්තේ හොඳ මිනිසුන් නිහඬ සමයයි.

      Delete
  5. ඔය ප්‍රශ්නවලට අමතරව පොඩි දූපතක ජනකොටස් දෙකක සෑහෙන ප්‍රමාණයකට අනෙකාගේ භාෂාව බෑ කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

    ReplyDelete
  6. ඔය කෙනෙක් විතරයි.ඔය වගේ කොපමණ දරුවන් ඉන්නවද මේ බෞද්ධ බිමෙත්... ඒක නිසයි අපි එකඟ විය යුත්තේ ගබ්සාවට.. එවිට 'අවජාතක' ලේබලයෙන් දරුවන් නූපදේවී...

    ReplyDelete
  7. හුළඟට උනත් කමක් නැහැ ලියන්න අක්කා. එක්කෙනෙක් දෙන්නෙක් හැදුනත් වටිනවා

    ReplyDelete
  8. ලලිත් සහ කුගන් කියල දෙන්නෙක් හිටිය. දෙමල. උන් අර නාතුරුදහන් වෙච්හි උන් හොයන්න ගියා යාපනේ . ආණ්ඩුවෙන් අල්ලල හිරේ දැම්ම . කුණු වෙන්න ගහල තිබ්බ. උන්ගේ දේශපා ලනයට මම විරුද්ධයි. හැබැයි උන් ජාතිවාදියෝ නෙමෙයි. දෙමල ජාතිවාදයට මම විරුද්ධයි. ඒත් එකට උන් විතරක් පලි නැහැ. අපි දෙගොල්ලම් ජාතිවාදී වෙලා හිටියේ. ඔය දෙන්නගේ එක්කෙනෙක්ගේ ළමයෙක් අම්ම එක්ක අර හිස් බැල්මෙන්ම බලන් හිටිය එක විරෝධතාවයක . ගේ පපුව හෝස් ගාල පත්තු වුණා ඔයාට වගේම. . දැන් අවුරුදු ද 5, 6ක් ක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඒ ළමයට උදව් කරනවා. වෙන මොනවා කරන්නද . පිටරට ඉන්න දෙමල මිනිහ කොච්චර ආත්මාර්ථ කාමිද, පිටරට ඉන්න සිංහල මිනිහ වගේම ලංකාවේ ඉන්න අයත් කොච්චර ජාතිවාදී ද කියල මම දැක්කේ අර සිරි සඟබෝ බෙල්ල කපන්න ගිය සිද්දියේදී. ඒ වෙලාවේදී මට මතක් වුණෙම අර දරුවා. ඒ ළමය ඉපදුනේ ජාතියක් අරන් නෙමේනේ . ජාතිය ආගම එන්නේ පස්සේ. අර බුදු හාමුදුරුවෝ ජාතක කතාවකුත් කියල තියෙනවා. ගිරව් දෙන්නෙක් ගැන. අහල තියනවද දන්නේ නැහැ? ඒවා අහල සාදු කාර දෙනවා විතරයි.
    සිංහලයන්ටත් සම්පුර්ණයෙන්ම වරද පටවන්නත් බැහැ. මුස්ලිම් වරු ජාතිවාදී වෙන්න හදනවා. දෙමල අය මුල් කාලේදී උනා. එහෙමෙ වෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝධී එකක් හැදෙනවා. ඒ අවදානම දැක දැක ඒ අවදානම ගන්නවා. හැබැයි දෙගොල්ලගෙම දුප්පත් කොටස බැට කනවා. තේරෙන්නේ නැහැ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...