Wednesday, March 7, 2018

අහිමි වීමක වේදනාව ඔබ දන්නවද?



නටබුන් කඳුළු දූපතක දින තුනක් 01

‘කයිට්ස්‘ උතුරු කොණේ යාපනය අර්ධද්වීපයේ වෙරළට ආසන්නයෙන් තියෙන කුඩා දූපතක්. දැන් ඒ දූපත දක්වා කලපුව අතරින් යන්න මාවත සකස් වෙලා තියෙනවා. සංවර්ධනය ඇවිත් පාරවල් දිගේ... ඒත් ඇතුළේ ගම්වල ජීවිතවලට තාමත් ඒ සංවර්ධනය ගොඩක් දුරයි.  

‘කයිට්ස්‘ කිවූ ගමන් සිත දිව යන්නෙ අතීතයට. අසූව දශකයේ අග යුද හමුදාවේ උන් ඥාති සහෝදරයකු උන්නෙ කයිට්ස්වල. ඔහු නිවාඩුවට එද්දි ගෙනත් දුන්නා ලස්සන නත්තල්, උපන්දින සුබපැතුම් පත් ගොන්නක්. ඒ අතර තිබුණා විදේශන්හි සිට එවූ පින්තූර තැපැල් පත්. තව පින්තූර පොත් දෙකක්. සංගීත නාද නැංවෙන ඒ සුබ පැතුම් පත් මගේ ළමාවියට අපූරු අත්දැකීමක් වුණ බව මතකයි. ඒවයෙ ලියා තිබුණෙ දෙමළෙන්. ඒ නිසා ලියා තිබුණෙ මොනවද කවදාවත් දැනගන්න ඉඩක් ලැබුණෙ නැහැ.

‘‘එහෙ මිනිස්සු නෑ. ගෙවල් අතෑරල දාල ගිහින්.‘‘ ඔහු කීවෙ එහෙමයි. ඒත් එදා මට දැනුණෙ නැහැ මේ තියෙන්නෙ කවුරුන් හෝ ආශාවෙන් එකතු කරපු සුබ පැතුම්පත් නේද කියල. සෑහෙන කලක් පින්තුර එකතුවේ තිබුණු ඒ සුබ පැතුම් පත්වලට මොකද වුණේ කියල දැන් හරියටම මතක නැහැ. ඒත් ඒ එක පින්තූර සගරාවක් මෑතක පොත් පෙට්ටියක තිබී හමුවුණා.

පස්සෙ කාලෙක ඒ මතකය අලුත් වුණේ කරුණාකරන්ගෙ ‘මතක වන්නිය‘ කියවද්දි. එහි එක් ලිපියක් තියෙනවා යුද්දය අතරතුර තමන්ගෙ ආදරණීයයන් එවපු ලියුම් මිටියක් පරිස්සම් කරගන්න දරන මහන්සිය.


මෙදා සැරේ අපි කයිට්ස් ගියේ ළමා සහ තරුණ වැඩසටහන් කීපයකට. නිස්කලංක වටපිටාවක් තිබුණත් එහි ජීවිතය කොතරම් දුෂ්කරද යන්න තේරුම් ගන්නට දවසක්වත් ගතවුණේ නැහැ. වියළි කාෂ්ටක බිම, පානීය ජල හිඟය, රැකියා ප්‍රශ්නය ඒ ජීවිත වෙළාගෙන. ඉන්දියන් සාම සාධක හමුදාව ඇවිත් ගහගෙන, ගහගෙන යද්දි පළා ගිය ජනතාව අතරින් ඇති හැකි හැම කෙනෙක්ම රටින් පිටවෙලා. ආපසු ගමට ඇවිත් තියෙන්නෙ දුප්පත්, කිසිම දෙයක් කරකියාගන්න බැරි අය. ඒ අයගෙ ප්‍රධාන ජීවනෝපායන් වෙන්නෙ දුම්කොල වතුවල වැඩ. නැත්නම් ධීවර රැකියාව. ගොම එකතු කිරීම. වෙනත් වෙනත් සුළු කුලී වැඩ.

තැන තැන අතැර දා ගිය නිවෙස් බොහොමයි. ළමා වියේ මා අත පත් වුණු සුබ පැතුම් පත් ඒ එක් නිවසක පුංචි දරුවෙකුගේ වන්නට ඇති නේද, කියා සිතෙන්නට වීම ඇත්තටම ලොකු දුකක්. නටබුන් වෙලා තියෙන විශාල නිවාස දකිද්දි හිතෙනවා 70 - 80 දශකයන් වෙද්දිත් ඒ ප්‍රදේශයේ ජනතාව කොතරම් දියුණු තත්ත්වයක ඉන්න ඇත්ද කියල.

පළමු දවසේ උදේ වරුවත් සවස් වරුවත් දරුවන් සමග ගතවුණේ. අපි දරුවන් වෙනුවෙන් එකතු කරගෙන ගිය දමිළ සහ ඉංග්‍රීසි පොත් පුංචි ප්‍රදර්ශනයක් තියල දරුවන්ට භාරදුන්නා. එයාල ඒ පොත පත අත ගෑවෙ, පෙරළල බැලුවෙ ගොඩක් සතුටින්. දෙමළ වචනයක්වත් නොදැන දෙමළ පොත් ඇති තැන් හොයාගෙන ගිහින් ඒ පොත් ගන්න දරපු මහන්සිය ගැන දැනුණෙ ලොකු සතුටක්.



දවස අවසානයේ අපි පොදු සංවාද මණ්ඩපයක වාඩිවුණා. මූදු හුළං හමා එන සිහිල් හැන්දෑවක දරුවන්ට උගන්වන ටකරම් මඩුවක සිමෙන්ති පොළවේ. ඒ සංවාදය වචනයෙන් වචනය ඔබ හා බෙදාගන්නට තිබුණ නම් සතුටුයි. නමුත් මේ මොහොතේ වඩාත් අත්‍යවශ්‍යමයැයි සිතෙන, සංවේදීම දෑ පමණක් පෙළගස්වන්නම්.

දෙමළ විමුක්ති අරගලයට පාර කැපූ ඉතිහාසය පියතුමා අප හා බෙදාගත්තෙ ඉතාම සරලව. පියතුමා දමිළ නමුත් ඔහුට හොඳින් සිංහල කතා කරන්න පුළුවන්. ඒත් ඒ කොහොමද කියල අපි දැනන් උන්නෙ නැහැ.

‘‘මම උතුරෙ කෙනෙක් නෙවෙයි දකුණෙ. ඉපදුණේ මීගමුවෙ. ඉස්කෝලෙ ගියේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට. පහ වසර වෙනකල් මං ඉගෙනගත්තෙ සිංහල භාෂාවෙන්. 83 කලබලවලින් පස්සෙ අපට යාපනයට එන්න සිද්දවුණා. ඒ වෙනකල් මම යාපනේ කොහොඹ කොලයක්වත් දැකල තිබුණෙ නැහැ. දෙමළ වචනයක්වත් දැනගෙන උන්නෙ නැහැ.‘‘

පියතුමා තමන්ගෙ අතීත කතාව කිව්වෙ බොහොම තැන්පත්ව.

දෙමළ ජනතාවට දීර්ඝ කාලයක් අසාධාරණකම් වෙද්දි සාකච්ඡා මාර්ගයෙන්, අවිහිංසාවාදීව ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න මහන්සිවුණ හැම අවස්ථාවකම දකුණේ දේශපාලනයත්, බහුතර ජනමතයත් විසඳුම් වෙනුවට දුන්නෙ මර්ධනය. හැත්තෑව දශකය, අසූව දශකයේ මුල වෙද්දි යාපනය මුල් කරගෙන තරුණ පිරිස් එකමුතු වෙලා උන්නා මේ අසාධාරණකම් ගැන කතා කරන්න. ඔවුන් අත ආයුධ තිබුණෙ නැහැ. වරින් වර පොලිසිය, හමුදාව අතින් හිරිහැර වෙද්දි ඔවුන් මුලින්ම අතට ගත්තෙ ගල්, පොළු. ඒ වෙනුවට ආපහු ලැබුණෙ උණ්ඩ. උණ්ඩෙට මුහුණ දෙන්න ආයුධ නැතිව බෑ කියන අදහස ඇතිවෙන්නෙ එහෙම. මුලදි පොලිසියෙන්, හමුදාවෙන්ම පැහැර ගන්න කුඩා තුවක්කු තමයි ඔවුන් භාවිත කරල තියෙන්නෙ. මහා යුද්දයක් දක්වා දික්ගැස්සෙන්නේ මේ මතවාදීව ඇරඹුණු අවිහිංසාවාදී අරගලයම තමයි.

එහි වරද සිංහල අපි භාරගන්න ඕන කියලයි මට හිතෙන්නෙ.  හරියට අද වගේම.

මෑත භාගයෙත් සිදුවෙමින් තිබුණෙ ඒ දේමයි මුස්ලිම් ජනතාවට එරෙහිව. අන්තවාදීන් කොතැනත් ඉන්නවා. කොයි ආගමෙත් ඉන්නවා. හෙමිහිට හෙමිහිට ජන මනසට විස කවපු අන්තවාදීන්ගේ උවමනාවන් තමයි මේ ඉටුවෙමින් තියෙන්නෙ. අද නිරායුධ මිනිස්සුන්ට ගහල, ගෙවල් කඩල, ජීවනෝපාය වනසල දැම්මම හෙට ඒ මිනිස්සු ආයුධ අතට ගත්තොත් ඒකට වගකියන්න ඕන කවුද?

‘‘යුද්දය නිසා නැතිවුණ දේවල් කාටවත්ම ආපහු දෙන්න බෑ. නැතිවුණු අභිමානය, නිදහස, අපේ පවුල් බැඳීම්, ගේ දොර, ඉඩකඩම් මේව කොහොමද ආපහු දෙන්නෙ. මම උසස්පෙළ පන්තියෙ ඉද්දි මගෙ හොඳම යාළුවා මගෙ ඇස් ඉස්සරහම වෙඩි වැදිල මැරුණා. ඒ යාළුවව මට ආපහු දෙන්න පුළුවන්ද? මේ එක ගෙදරකවත් නෑ තමන්ගෙ පවුලෙ පින්තූර. ආච්චිල සීයලගෙ පින්තූර. පින්තූර ඇල්බම්. දරුවන්ට එයාලගෙ ආච්චිල, සීයලව, නෑදෑයින්ව පින්තූරෙකින්වත් දකින්න ඉඩක් ඉතිරි වෙලා නෑ. තමන්ගෙ අය නැතිවුණු මිනිස්සුන්ගෙ හිත්වල තියෙන වේදනාව කවදාවත් ඉවරවෙන දෙයක් නෙවෙයි. ඔයාල අද පොත් අරන් ආවා අපේ දරුවන්ට. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් මගේ පොත් එකතුව විතරක්ම පස් වතාවක් මට නැති වෙලා තියෙනවා. මං අදටත් කිසි දෙයක් එකතු කරන්නෙ නෑ. ඕනෑම වෙලාවක ආයෙ යුද්දයක් පටන් ගනියි කියන බය මගෙ හිතේ තියෙනවා. ඕනම වෙලාවක අවතැන් වෙන්න වෙයි කියන හැඟීම මගෙ හිතේ තියෙනවා.‘‘

අද ලංකාවෙ තැනින් තැන ඇවිළෙන ගිනි දැල්වල රස්නෙ දැනෙද්දි මට මතක් වෙන්නෙම පියතුමාගෙ කතාව. කාර්යාලයේ මගේ අසුනට අල්ලපු අසුනෙ ඉන්නෙ මුස්ලිම් සහෝදරයෙක්. ඔහුගේ මුහුණෙ තියෙන බිය, අවිනිශ්චිත බව, කැළඹීම මගෙ හිතට තදින්ම දැනෙනවා. කයිට්ස් ඉඳන් ආපහු එද්දි මගේ හිත වරදකාරී හැඟීමකින් දැවි දැවී තිබුණෙ. දැන් ඒ හැඟුම දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. ඒ තරම්ම අපි වැරදියි.



18 comments:

  1. සිංහල අපි කිසිම වරදක් බාර ගන්න ඕන නෑ. මොකද අපි සේස්ට ජාතියක්. හැක්

    තරූ. සිංහල අපි විතරක් නෙමි දෙමල නායකයන් පවා මේවට වගකිවයුතුයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. අපි හරි සේස්ටයි අනේ...

      ඇත්ත, සිංහල, දෙමළ, මුස්ලිම් නායකයො තමයි වගකියන්න ඕන. ඒත් වන්දි ගෙවන්න සිද්දවෙලා තියෙන්නෙ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට. ඒකනෙ වැඩේ.

      Delete
  2. Replies
    1. අපි වැරදියි. ඒ මට දැනෙන විදිය.

      Delete
  3. කයිට්ස් කියන්නේ පුංචි දුපතක් නෙවෙයි මැඩම්! ලංකාවේ ලොකුම දූපත. මතක විදියට වර්ග කිලෝමීටර් 68ක් වගේ. කයිට්ස් හා වේලනී කියල ප්‍රධාන නගර දෙකක් තියෙනවා දුපත ඇතුළෙත්.. නමුත් යාපනය අර්ධද්වීපයට ගොඩබිමින් සම්භන්ද නිසා මේක තව දුරටත් දුපතක් විදියට සැලකෙන්නේ නෑ. දැනට ලංකාවේ ලොකුම දුපත විදියට ගැනෙන්නේ ඩෙල්ෆ්ට්. නමුත් භුමි ප්‍රමාණයෙන් කයිට්ස් වලට වඩා අඩුයි.

    රයිට්.. කයිට්ස් තමයි මගේ පලවෙනි ඇපොයින්මන්ට් එක.. 1999 වගේ යුද්දේ බරට තිබුණු කාලෙකත් හමුදා නිලධාරියෙක් විදියට මට මේ මිනිස්සු ගැන මේ විදියටම හිතන්න පුළුවන් උනා.. බෝධිනී ගේ අනිත්කොන පොත ගැන හැඳින්වීමක් ලියද්දි මම ඒ වගේ එක අත්දැකීමක් ලියුව මතකයි.. ඒ දවස්වල මම මගේ ඔෆිස් එක හා නිවහන විදියට පාවිච්චි කරේ වේලනී කිට්ටුව තිබ්බ 1969 ආරම්භ කරා කියල උඩින් ලොකුවට ලියල තිබ්බ ඩේ කෙයාර් එකක්.. ඒක ඒ වෙනකොටත් බොහොම ලස්සනට පිළිවෙලට තිබ්බ.. යාපනේ අනිත් පති වගේ නෙවෙයි කයිට්ස් කියන්නේ 'යාපනේ කොළඹ හත' වගේ මිනිස්සු ලක්ෂරි ලයිෆ් එකක් ගෙවපු පැත්තක්. ඒ කාලේ වෙනකොටත් යාපනේ බොහොමයක්ම රජයේ කන්තෝරු තිබ්බේ කයිට්ස් වල.. (ඩේ කෙයාර් එහෙම 70 දශකයේදීත් තියෙන්න ඇත්තෙත් ඒකයි).. මම හැමදාම කියන කතාවක්- ප්‍රභාකරන්ලා මුලික වෙලා යුද්ධයක් පටන් අරං යාපනේ දියුණුව දශක ගානකින් ආපස්සට දැම්මේ නැත්නම් අපිට මේ වෙනකොට කොහොමත් විසා අරන් තමයි යාපනේ යන්න වෙන්නේ කියන එක..

    අද වෙනකොට රටේ නැගෙනහිර දකුණේ හා මැද ඇතිවෙලා තියෙන මේ ගෝත්‍රික හටන් නිසා වැඩිම කැළඹීමකට පත් වෙලා ඉන්න එකෙක් මම.. ගිනිපෙනෙල්ලෙන් බැට කාල තියෙන නිසා කණාමැදිරියටත් පට්ට බයයි.. මිනිස්සු කොහොම මේ වගේ ඔලුව අවුල් කර ගන්නවද මංදා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඇත්ත කයිට්ස් පොඩි නැහැ. මං එහෙම ලිව්වෙ අපේ දූපතට සාපේක්ෂව... දැන් ඇත්තටම දූපතක් විදියට සලකන්න බැහැ. ගොඩබිමින් සම්බන්ධ වෙලයි තියෙන්නෙ. වේලනෙයි නේද? අපි ඒ මැදින් ගියා වෙරළකට. චාර්ටි කියල. හරිම ලස්සන තැනක්.

      ගිනිපෙනෙල්ලෙන් බැට කාලා තිබුණත් ගිනි ජාලාවලටවත් බය නැති අය ඉන්න එකනෙ වැඩේ කළණෙ.

      Delete
  4. නත්තල් කාඩ්, පොත්පත් කතාව අති ශෝචනීයයි!

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා ශෝචනීය කතා අපමණයි.

      Delete
  5. //මහා යුද්දයක් දක්වා දික්ගැස්සෙන්නේ මේ මතවාදීව ඇරඹුණු අවිහිංසාවාදී අරගලයම තමයි.//

    ගොඩක් මතවාද අන්තිමට නතර වෙන්නේ යුද්දයකින්.ඒ කියන්නේ අපි දරන මතයත් දරන්නේ අන්තවාදීව වීම තමයි මේකට හේතුව වෙන්න ඇත්තේ.
    අන්තවාදය කොන්දේසි විරහිතව පිටු දකින්න උගන්වන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට.එදා කිරිඇල්ල කිව්වා වගේ ඕනේ ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්.හැබැයි සාමය තියා ගන්න තමයි අමාරු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, වෛර කිරීම ද්වේෂ කිරීම පහසුයි. ඒත් මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී හිඳීම තමයි මේ වගේ සමාජයක අසීරුම දේ

      Delete
  6. ගෙවිලා ගිය දේවල්, ඉදිරියෙ වෙන දේවල්.
    වෙනසක් නැහැ සිදු වේ......
    ආගිය මග...., යා යුතු තැන......
    දන්නෙ තමා.......මයි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය චක්‍රයක් වගේ. නැවත නැවත සිදුවෙනවා.

      Delete
    2. ඔව් , ඔයා හරි .

      කොන්ටම් බවුතිකයේ තියෙනවා , ලෝකයේ සියලුම ක්‍රියාවලි චක්ක්‍රිය ක්‍රියාවලි කියල

      Delete
  7. ඔය ලමයින්ට සිංහල බාශාව උගන්වන්න වැඩපිලිවෙලක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අපි සින්දුවක් කියමු කිව්වම ළමයි කිව්ව එයාල සින්දුවක් කියන්නම් කියල. සිංහල සින්දුවක්. අපිට පුදුම හිතුණා. ‘‘උදෑසනම පොඩි අපි දුව එනවා‘‘ සින්දුව කිව්වෙ.

      අධ්‍යාපන පහසුකම් හරිම අඩුයි. ඒ ළඟම තියෙන ඉස්කෝලෙ ( කියන්නත් ලැජ්ජයි) කතෝලික මහා විද්‍යාලය කියල තියෙන්නෙ. ඒකෙ ගුරුවරු ළමයින්ට හරියට උගන්වන්නෙ නැහැලු. ‘අඩු කුලේ උන්. උගන්නල වැඩක් නෑ කියල.‘ ටියුෂන් නැහැ. තිබුණත් යන්න ආර්ථික ශක්තියක් නැහැ ගොඩක් ළමයින්ට. පල්ලියෙ සතියෙ දවස් පහේම හවස ළමයින්ට නොමිලේ උගන්වනවා. ඒකට තරුණ කණ්ඩායමක් කැප වෙලා ඉන්නවා. ඒ ළමයින්ට කැපකරු මාපිය ක්‍රමයක් යටතෙ පොඩි ගෙවීමක් කරනවා.

      ෆාද හැමෝටම ඉංග්‍රීසි උගන්වනවා. ඒ අතර සිංහල භාෂාව උගන්වන්නත් යම් උත්සාහයන් දරනවා. සිංහල ෆාද කෙනෙක් ඉන්නවා. එතන ඉන්න දමිළ පියතුමාට සිංහල කතා කරන්න පුළුවන්.

      Delete
  8. අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව ආයුධ අතට ගත්ත සිංහල අයත් වැරදියි....
    ආසාධාරණකම් වෙනවා කියලා ආයුධ අතට ගත්ත දෙමළ මිනිස්සුත් වැරදියි.....මේ දෙගොල්ලොම ගැන මට තියෙන්නෙ පිළිකුළක්. මේ දෙගොල්ලොම පවතින නීතිය තුළ කරේ සහ කරන්නෙ වැරද්දක්.
    මන් පෞද්ගලිකව විශ්වාස කරනවා දෙමල මනුස්සයෙක්ට දෙමල වීමම නිසා ලංකාවේ ඇතුළෙ අරගල කරන්න තරම් ප්‍රශ්ණ නැති බව... කුමක් හෝ වේවා පවතින සිවිල් නීතියෙන් ඔබ්බට ආයුධ අතට ගන්න හැමෝම ගැන තියෙන්නෙ මට පිළිකුලක්...

    ReplyDelete
    Replies
    1. දෙමළ මිනිස්සුන්ට පැහැදිලිවම අසාධාරණවෙලා තියෙනවා.

      ඉංග්‍රීසි බැරි හෝ ඉංග්‍රීසි ඉගෙනගන්න අකමැති දෙමළ ලමයෙක්ට
      දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් නීතීඥයෙක් වෙන්න පුළුවන්ද?

      දෙමළ මිනිස්සුන්ගේ වාහන වල අංක තහඩුවල තියෙන්නේ ඉංග්‍රීසි අකුරු.

      ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නේ ඉංග්‍රීසියෙන්.

      ආණ්ඩුවේ බැංකුවක ගිනුමක් අරඹනවිට ඉංග්‍රීසි අකුරින් නම ලියන්න වෙනවා.

      Delete
  9. අන්තවාදයකට ලොකුම පෝෂණය ලැබෙන්නේ විරුද්ධ අන්තවාදයෙන්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...