පිටු

Friday, February 23, 2018

මිනිස්කම් නොතැකූ සමාජයක පුපුරා ගිය ආදර හිත ‘රේගන්‘

රේගන් නවකතාවේ කවරයේ පින්තූරයකි. 


‘‘සැක කටයුතු දේ සොයමින් ඔහුගේ නිවහන පීරූ පොලීසියට සොයා ගත හැකි වූයේ අතිශය රහස් ලේඛන යැයි සිතූ දෙමළෙන් ලියූ සටහන් සමූහයක් පමණි. එහෙත් ඒ සියල්ල ප්‍රේමය වෙනුවෙන් ඔහු ලියූ කෙටි කවි විය.

ඔහුගේ නොමළ ප්‍රේමයේ හිමිකාරිය කව්ද? කිසිදා කිසිවෙකුට ඇය සොයා ගත හැකි නොවීය.

ඒ ඇය සතු දක්ෂතාවක් නිසා නොව, ඔහු ඇය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකළ නිසාය. ඉතිරි වූයේ ඔහුගේ අනන්ත ආදරය පමණි. මේ වසර විස්සක් ඇය සඟවා තබා තිබූ ඇගේ සත්‍ය කතාවයි. වෙනස් වූයේ නම්, ගම් පමණි. පැරණි පුවත්පත් මේ කතාන්දරවල ප්‍රවෘත්තිමය වටිනාකම් පමණක් සපයා දෙනු ඇත.“

කඩදාසි කැබලි කිහිපයක් මත තැබූ රතු රෝස මලක පින්තූරයකි. 

සංජීවනී රූපසිංහ විසින් ලියා ඇති ‘රේගන්‘ නවකතාවේ පසුකවරයෙහි සඳහන එලෙසින්ම ඔබ හමුවේ තබමින් මම එහි ඇතුළ් ගැබට පිවිසෙමි. මෙය උපමාලිගේ කතාවද? නැත්නම් රේගන්ගේ කතාවද? චමින්දිකාගේ කතාවද? සඳුන්ගේ කතාවද? අපට හුරුපුරුදු කතන්දර කීමේ ශෛලියෙන් ලියැවී ඇති මෙ කතාව කියවාගෙන යන විට ඔබ සිතේ පැනයක් හටගනු ඇත. නමුත් අවසානයේ නැවතත් ආපස්සට පිටු පෙරළමින්, විමසමින් සිටින විට මෙය ඔවුන්ගේ පමණක් නොව නිදහසින් පසු ලංකාවේ අප හැමගේත් කතාව බව පසක් වනු ඇත.

උපමාලි උපන්නේ හෙළ බොදු ගැමි පසුබිමකය. මව් පාර්ශවය පාතරට රදළ පවුල් පසුබිමකින් පැවත එන විට, පිය පාර්ශවය පැවත එන්නේ උඩරට අභිමානයෙන් සැදුම් ලත් පවුල් පසුබිමකිනි. ඒ සාඩම්බරකම්, හෙළ හැදියාව, ධාර්මික බව කෙසේ වුව උපමාලි ළමා වියේ සිටම අත්දකින්නේ බෙදා වෙන් කරනා, ඇණ කොටා ගන්නා, මිනී මරාගන්නා සමාජයකි. හමේ වර්ණය නිසා  සිය දරුවන් පවා බෙදා වෙන් කර ආදරය කරනා සමාජයකි. සුසුදු රුවැති අක්කා චාමින්දි හැමගේ අවධානයට, ආදරයට, සුරතලයට ලක්වන විට උපමාලි හැදී වැඩෙන්නේ කොන් වූ, ප්‍රතික්ෂේප වූ දැරියක ලෙස ඒ ආවේගයන්ද හද තුළ රුවාගනිමිනි.   

එපමණක් නොවේ, ඈ දකින්නේ උඩරට, පාතරට කියා ආදරයට අකුල් හෙළනා සමාජයකි. වැට මායිමට කුලල් කාගන්න සහෝදරයින් එකිනෙකා මරා ගන්නා සමාජයකි. මව්පියන් ඇණ කොටාගන්නා දෙස බලමින් දරුවන්ද ඇණ කොටා ගන්නා සමාජයකි. ලිංගික ඊර්ෂ්‍යාවෙන් සිය පෙම්වතිය, බිරිඳ හෙළා දක්නා ඈ පීඩනයට ලක්කරනා සමාජයකි. අන්තවාදය සහ මිථ්‍යාව රජයන සමාජයක මනුෂ්‍යත්වයට, ආදරයට හිමිවන්නේ කොතරම් අවම වටිනාකමක්ද? පවුලක සාමය වෙනුවෙන් කැපවන්නට අකමැති මිනිසුන් රටක සාමය වෙනුවෙන් කැපවන්නේ, වැයවන්නේ කෙසේද?

සමගි පෙරමුණු රජය බිඳ වැටී, එක්සත් ජාතික පක්ෂ පාලනය ඇරඹෙන අතර අළු යට සැඟව පැවති ජාතිවාදී ගිනි පුපුරු ගිනි ජාලාවක්ව රට පුරා ඇවිළ යයි. දෙමළුන් මරා, දෙමළ කඩ, කඩා බිඳ, ගෙන ආ දම් පාට රෙදි රෝලක්ද, නූල් කැරලිද අඩු මිලට ගන්නා උපමාලිගේ රැඩිකල් අම්මා ඒවායින් කොට්ට උරද, ඇඳ ඇතිරිලිද මසයි. බොහෝ කලක් ගත වනතුරු සිය නිවසේ දම් පැහැය රජයනු උපමාලි දකියි.  

අඩු වැඩි වශයෙන් කුමනාකාරයකින් හෝ අපද වාර්ගික අර්බුදය දිග්ගස්සන්නට, මහා මිනිස් සංහාරයක් දියත් කරන්නට දායක වී ඇතුවා නොවේද? අවි අතට ගත් ත්‍රස්තවාදීන් දකිනු මිස ඔවුන් අතට අවි දුන් දීර්ඝකාලීන සමාජ, දේශපාලන පරිහානිය දකින්නට තවමත් අප අසමත්ය. ඉදින් සැබෑ සාමය තවදුරටත් සිහිනයක්ම පමණි.

උතුර එලෙස ගිනිගනිමින් පවතිද්දී දකුණේ තරුණ හදවත්වල ගිනිපුපුරු ගිනි ජාලාවී හාත්පස ඇවිළ යන්නේය. පාරවල් අද්දර තරුණ සිරුර දැවී යන්නේය. ගංඟාවල මිනී පාවයන්නේය. අඳුරද, බියද, මරණයද රජ කරන්නේය. පුංචි උපමාලි අත්විඳින බිය, සංකාව, අවිනිශ්චිත බව, මරණය පිළිබඳ හැඟීම් එලෙසම මාද විඳි බව මතකය.  

මේ අතර අක්කා චාමින්දි හැඩි දැඩි පොලිස් නිලධාරියෙකුට පෙම් බඳින්නීය. ඔහු සඳුන් ය.

‘‘මේ මුළු පොළොන්නරුවෙම අපිට උඩින් යන්න කාක්කෙක්වත් නෑ. සුදු අයිය කිව්වම මුළු පොළොන්නරුවම තාම බයයි. පනස් අටේ හර්තාලෙදි මේ ගිරිතලේ ඇලෙන් මෙගොඩට එක දෙමළෙකුට එන්න දුන්නෙ නෑ. පෙති ගහලා මැරුවා මං තනියම.

මේ රට ජාතිය රැකගන්න ඉස්සරහට එන්න ඕන වෙලාවල පස්සට ගියේ නෑ අපේ පරපුරේ කවුරුත්. ළමයි ඔක්කොම හමුදාවට දුන්නා. මට ඉවර කරන්න බැරි වෙච්ච එක මුං කරන්න ඕනෙ. පර දෙමල්ලු ඔක්කොම මරල මිසක ගෙදර එන්න එපා කියල මං කියලා තියෙන්නෙ.‘‘

අක්කාගේ ආදරවන්තයාගේ ඥාති සමූහයා බැහැදකින්නට පුලතිසි පුරවරයට නෑගම් ගිය උපමාලිට සඳුන්ගේ පියාගෙන් අසන්නට ලැබෙන්නේ එවන් කතාවකි. කූඹියෙක් මැරීමත් පවකැයි දහම් පාසලින් ඉගෙනගත් උපමාලිට රට ජාතිය වෙනුවෙන් යයි කියා දෙමළ මිනිසුන් මරා දැමීම පවක් නොවන්නේ කෙසේදැයි සිතා ගත නොහැකි විය.  පර දෙමළුන් වනසා දැමීමේ පරම චේතනාවෙන් සිය පුතුන් යුද්දයට යවන පියාට අවසානයේ ලැබෙන්නේ කුමක්ද? වසරින් වසර නිවසට ගෙනෙන තම දරුවන්ගේ පණසුන් සිරුරුය.  යුද්දයෙන් දිනුවේ කවුරුන්ද?

කටු කම්බි පොටක දැවටුණු රතු රෝස මලක පින්තූරයකි. 

ජීවිතයේ අරුත් සොයමින් මෙබඳු හැල හැප්පීම් මැද නව යෞවනයට එළඹෙන උපමාලිගේ යොවුන් හද සසල කරන දෑස හිමි ඔහු ය ‘රේගන්‘.

‘‘රේගන් කියන්නෙ ජීවිතයම නෙවෙයි. ජීවිතෙන් අර්ධෙකුත් නෙමෙයි. ජීවිතෙන් පෙත්තකුත් නෙමෙයි. එකම එක මොහොතක්. පෙනී නොපෙනී ගිය එකම එක මොහොතක්. ජීවිතේට තියෙන්නේ මොහොත විතරයි කියලා බුදු හාමුදුරුවො කියල තියෙන්නේ. ඒත් අපි මොහොත අල්ලගන්නෙ කල්පයක් කරලා.“ පසුකලෙක උපමාලි රේගන් ගැන මතකය ආවර්ජනය කරනුයේ එලෙසිනි.  

අගනුවරට සමීපයේ ආදරය සහ සතුට පිරුණු දිළිඳු පවුලක උපත ලබන රේගන් 83 ජූලි කලබල සමයේ අගනුවරින් පන්නා දැමෙන කුඩා දරුවෙකි. තම දෑස් ඉදිරිපිට ජාතිවාදීන්ගේ ලේ පිපාසයෙන් පියාගේ ජීවිතය අහිමි වන,  සදාකාලික ආබාධිතයකු වූ මවකද, නංගීද, මල්ලීද සමඟ උපන් බිමින් පන්නා දැමෙන ඔහු මුහුණ දෙන ජීවන අරගලය කෙබඳු වන්නට ඇත්ද? තුවාල කැළැල් පිරුණු ඔහුගේ සිරුර ඒ අත්විඳි ජීවිතයට නිහඬ සාක්ෂියක් වැන්න.

‘‘වෙපන් එකක් අතින් ගත්තම දැනුණු ආඩම්බරය හරි පුදුම එකක්. දුප්පත්කමින්, අසරණකමින්, අසාධාරණයෙන්, බඩගින්නෙන් මිරිකිලා හිටපු අපිට ඒක අභිමානයක් ගෙනාවා. කැලෑවල් ගානෙ දවසම එක රොටියක් කාල හිටපු දවස් ඕන තරම් තිබුණා. ඒත් අපි ළඟ කවදාවත් නොතිබුණු අභිමානයක් තිබුණා. ගමේදි අපිට වීරකමක් ලැබුණා. ප්‍රභාකරන් අපේ වීරයා එදත් අදත්. අපි අයිය කියලයි කිව්වෙ.“

‘‘ඊයා‘‘ රේගන්ගේ වීරයාට උපමාලිගෙන් ලැබෙන්නේ එබඳු ප්‍රතිචාරයකි.

දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් බිමට පිවිසුණු රේගන් එක දවසක් එක මොහොතක් ආදරය විඳින්නට කොතෙක් කලක් නම් බලා සිටින්නේද?  ඉනික්බිතිව නුගේගොඩ පුපුරා යන බෝම්බය, ‘එතැන වැටී ඇති ගැඹුරු කැලැල් සහිත අත? හැමදාම අත්දිග ටී ෂර්ට් ඇඳන් වහගත්ත කැළැල්. ඔව් ඒ අතම තමයි.‘ මරණයට වඩා ප්‍රේමය බලවත් යැයි බයිබලයේ ප්‍රේම ගී පවසයි. මරණය පෙනි පෙනී ආදරය වෙනුවෙන් ඉවසා සිටින්නට, මරණයට මොහොතකට පෙර ආදරය වෙනුවෙන් ජීවිතෙන් නිමේෂයක් වෙන් කරන්නට හිත හදා ගත් රේගන්ට ආදරය නොකර සිටින්නට අපට හැකිද?

‘රේගන්‘ සාහිත්‍ය රසාස්වාදය පිණිස නොව උතුරු දකුණු හදවත් යා කිරීමට මාවතක් තනන ආදරය, මනුෂ්‍යත්වය සහ ජීවිතය වෙනුවෙන් කියවන්න.

 ( රේගන් මිල රු. 350.00. කර්තෘ ප්‍රකාශනයකි.)

10 comments:

  1. වටිනා අදහසක්.සැබවින්ම උතුර දකුණ යා කළ හැක්කේ මිනිස්සුන්ගෙ සිත් යා කිරීමෙනි...කුඩා කළ සිටම දරුවෙකුට වුවත් ජාති වාදී අදහස් වලින් ඈත්වීමට ඉගැන්ව්වීමත්, ඒවාගෙන් දරුවාව විනිර්මුක්ත වීමට හැකි ආකාරයේ පරිසරයක් ගොඩනැගීම වැදගත්...සිංහල,දෙමළ,මුස්ලිම් නොව සියල්ල ලාංකිකයෝ යැයි පවසන සමාජ වාතාවරණයක් අවශ්‍ය වේ.එය කළ හැක්කේ ජාති වාදී අදහස් වලින් සමාජය මුදවා ගැනීමෙනි..සමාජ් මාධ්‍ය ඇතුළු මුලු මහත් සමාජයේම වගකීමකි...

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය ඒ සමාජ වගකීම ඉටුකරනවා වෙනුවට ගිනි අවුළුවන එකනෙ කරන්නෙ. ඒක තමයි ලොකුම අවුල.

      ස්තූතියි මානෙල් ඔයාගෙ අදහස්වලට.

      Delete
  2. මේ සටහන කියවනකොට කතාවම කියවන්න ආසහිතුනා... අපි ඒ පොතත් කතෘ තුමියගෙ අවසරේ ඇතිවම ඕඩියෝ කරමුද අක්කෙ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් නංගි. මම අවසරය අරන් දෙන්නම්. පොතත් ගෙනත් දෙන්නම්. මේ සටහන ලියද්දි මටත් මතක් වුණා.

      Delete
  3. එහෙම නම් ඉතින් මගේ ඊළඟ පොත මේක. දැන්නම් ලිස්ට් එක එන්න එන්නම දික් වෙනවා. මට හිතෙනවා තරු වෙලාවකට අපි දෙන්නම එක විධිහට හිතනවා කියලත් හේ හේ

    ReplyDelete
    Replies
    1. ගහ මරාගන්නෙ නැති, ඇණ කොටාගන්නෙ නැති, මිනිස්සු අතුරුදහන් වෙන්නෙ නැති යහපත් සමාජයක් ගැන හීනයක් අපට තියෙනවනේ. මේ රටේ ඒ හීනය සැබෑවක් වෙන්නෙ නැති බව දැන දැනම වුණත් අපි අඛණ්ඩව ඒ හීනයම දකිනවා. ඒ වෙනුවෙන්ම ලියනවා. වැඩ කරනවා. ඒ නිසා වෙන්න ඕන අයියෙ මේ සමානකම ඇතිවෙන්නෙ.

      Delete
  4. පොත ගැන ඔයා ලියපු විදියත් හරිම ලස්සනයි

    ReplyDelete
  5. විචාරය අගෙයි . :)

    කියවන්න හිතුනා මටත් !

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...