පිටු

Friday, February 16, 2018

තනිව උහුළනා තනිව වැළපෙනා ගැහැනු...



( පසුගිය කිතුසර කලාපෙය් පළ වූ ලිපියකි.)


හුදකලා ගැහැනුන්ගෙන්, තනිව ජීවිතය උහුලනා ගැහැනුන්ගෙන්, දරු බර කරපින්නාගෙන ජීවිතය වෙනුවෙන් අරගල කරනා එකලා මව්වරුන්ගෙන් මා වට පිටාව පිරී ඉතිරී තියේ. ඔවුන්ගේ සුසුම්වලින් වායුගෝලය උණුහුම් වී තියේ. ඔවුන්ගේ කඳුළුවලින්, දහදියවලින් මහ පොළව පෙඟී තියේ. 

මට හුස්ම ගැනීමට ද අසීරු සෙයකි. සැහැල්ලූවෙන් මේ බිම මත පා තබා යන්නේ කෙලෙසින්ද?

හිම කිරමක මිහිර විඳීමට ලොබ නොවනා දරු සිතක් වේද? අප පවා ඒ රසයට ලොල් නොවන්නේද? අයිස් කිරමක වස ගන්වා සිය දරු තිදෙනාට කවා මවක් සියදිවි නසාගත්තේ ඉතා මෑතකදී ය. ඒ යාපනයේ අරියාල ප‍්‍රදේශයේය. තමන්ගේම දෑතින් තම දරුවන් මරාදමන්නට තරම් මවකගේ හිත දරුණු වන්නේ කෙසේදැයි යමෙකුට ප‍්‍රශ්නයක් ඇති විය හැකිය. එක්කෝ ඇය උන්මන්තක ගැහැනියක විය යුතුය. නො එසේනම් ඉතා දරුණු සිතැත්තියක විය යුතුය. සියලූ දුක් කරදර මහ පොළව සේ උසුලාගනිමින් තම දරු පැටවුන් රකින අම්මාවරුන් කොතෙකුත් සිටියදී එපමණටම සිත සවි නැති ගැහැනුන් සිටීමද අරුමයක් නොවේ. එබඳු ගැහැනුන්ට සවියක් විය හැකි සමාජයක් ගොඩනගන්නට තවමත් අපට හැකි වී නැතුවා නොවේද?

විෂම සමාජ, ආර්ථික රටාව මිනිසා මත පටවන පීඩනය ගැහැනිය කරා එන්නේ දෙගුණ තෙගුණ වෙමිනි. සමහරවිට ස්වාමිපුරුෂයන් හැරගිය, මිය ගිය මව්වරු කිසිවකුගේ හව්හරණක් නොමැතිව දරුවන් උස්මහත් කරගන්නට දරන්නේ ලෙහෙසිපහසු වෙහෙසක් නොවේ. ඇයට කිසිවෙකුගෙන් හව්හරණක් නොවන විට, අවම වශයෙන් සැනසිලි වචනයක්වත් නොවන විට තවදුරටත් දරා සිටීමට නොහැකි වීම අරුමයක් නොවේ. මේ වන විට සැමියන් සිටියද පවුල් තුළ දරාගත නොහැකි පීඩනය නිසා බොහෝ මව්වරු දිවිගෙවන්නේ මානසික අසහනයන් මැද ය. ඔවුන් මානසිකව රෝගී වී සිටින බව සමාජය හඳුනාගන්නේද කුමන හෝ ව්‍යසනයක් සිදුවීමෙන් පසුවය. 

ගම් මට්ටමින්, බිම් මට්ටමින් තමන්ගේ ප‍්‍රශ්න බෙදාහදාගන්නට, සහනයක් ලබා ගන්නට මඟක් නොවීම ගැටලූවකි. මිනිසුන් වශයෙන් අප එකිනෙකාට සවන් දිය යුතු බව, සංවේදී විය යුතු බව, ජීවිතයේ ප‍්‍රශ්න බෙදාගන්නට සමීප විශ්වාසවන්ත අයකු අවැසි බව පුන පුනා සමාජය දැනුවත් කළ යුතු කාලයකි මේ. කාන්තා සමිති, සංවිධාන අවැසි වන්නේ මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන කාන්තාවන්ගේ අධ්‍යාත්මික, මානසික ශක්තිය දියුණු කරමින්, ඔවුන් සාමූහිකව සවිබල ගන්වන වැඩපිළිවෙලක් වෙනුවෙනි. උද්ඝෝෂණ, පෙළපාලි, මාධ්‍ය සාකච්ඡුාවලින් පමණක් කාන්තාවගේ භුමිකාවෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැත. 

පාසලේ දී වමනෙ ගිය සිසු දැරියක ගැබ් ගෙන ඇතැයි සැක කොට පාසලෙන් නෙරපා දැමූයේ ඉතා මෑතක ය. ඒ සඳහා මුල් වී ඇත්තේද විදුහල්පතිනියකි. ඇය ද ගැහැනියකි. ඉතින් අපේ ස්ත‍්‍රීත්වය කොයිබද? පසුව හෙළිවූයේ ඉතා දිළිඳු දැරියක වූ ඇය නිරාහාරව සිටීම හේතුවෙන් වමනය ගිය බවකි. කොතරම් ඛේදනීයද? සැබවින්ම ඈ ගැබ් ගෙන තිබුණා වුවද ගත යුතු පියවර එයද? ගැහැනුන් ලෙස ගැහැනුන්ගේ ප‍්‍රශ්නවලදී මෙතරම් අසංවේදීව කටයුතු කිරීම පිළිබඳව අප ලැජ්ජා විය යුතුය. ස්ත‍්‍රීත්වයේ ගරුත්වය රැුකීමට ස්ත‍්‍රීන් පෙරට නොඑන්නේ නම් බාහිර සමාජය ගැන කියනුම කවරේද? 

අද අපේ දැරියන් බෙහෙවින් අනාරක්ෂිතය. නිවස, පාසල තුළම ඇය අපහරණයට ලක්වන්නේ නම් ඇයට රැුකවරණයක්, ගෞරවයක් අන් තැනකින් ලැබෙතැයි අපේක්ෂා කළ නොහැකිය. පසුගිය දිනවල දරු දැරියන් දූෂණය කොට මරා දැමීම් කොතෙකුත් අසන්නට ලැබිණි. සමාජය මත පැටවී ඇති ආර්ථික, සමාජ පීඩනය මෙන්ම ලිංගික පීඩනයද පුපුරා යන අවස්ථා ලෙස මේවා හඳුනාගත නොහැකිද? එබඳු අසහනයකින් පිරි සමාජයක් නිවා සනහන්නේ කෙලෙසින්ද? එයට සමාජ, ආර්ථික වෙනසක් ඇති කරන දේශපාලනික පෙරළියක් සිදු විය යුතු බව නොකිවමනාය. එය එසේ සිදුවනතුරු, ඒ වෙනුවෙන් අරගල කරන තුරු ජීවිතය ඉදිරියේ අසරණ වන ගැහැනුන් අප රැුකගන්නේ කෙසේද? ඔවුන්ට සවියක් වන්නේ කෙසේද? ඔවුන් වෙනුවෙන් අත්වැලක් වන්නේ කෙසේද?

අප මේ පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සංවාද විය යුතුය.  

4 comments:

  1. කාන්තා ගැටළු ගැන අඩුවෙන්ම සංවේදී කාන්තාවෝමයි කියල මට හිතෙන්නේ.. සමහර විට බොහෝ දෙනා තම තමන්ගේ කුටුම්බය ඇතුලේ සන්තර්පණය වෙන මානසිකත්වය නිසා වෙන්න ඇති.. පුරුෂ මූලිකය කියන සමාජිය බැම්ම කඩාගෙන යන්න තරම් ගට් එකක් තියෙන කාන්තාවෝ තවම අවශ්‍ය තරම් බිහිවෙලා නැද්ද මංදා..

    ReplyDelete
  2. ඕනෑම සමාජයක ගැහෑනුන්ට සලකණ ආකාරය මත එහි පැවැත්ම රැඳී ඇත.
    මේවා ගැන ලියන්නට වෙලාව මදිය.
    කාන්තාවන් ගැන හඬන දොඩන කඳුළු පෙරණ එවුන් අතටද අනාරක්ෂිත ගැහැනියක පත්වුවහොත් සිදුවන්නේ අවැඩක්මය.
    සමාජ මාධ්ය හරහා කඳුළු පිසලන්නට එන පිරිමින් ගේ කටයුතුද කෙලවර වන්නේ එලෙසින්මය. මේවා සමාජගත සත්යයන්ය. එහෙත් දන්නා එවුන්ද නොදන්නා සේ සිටීම වඩාම අවාසනාවන්ත වන්නේය!
    ගැහැනුන් හොඳම යැයි මා මින් අදහස් නොකරමි!

    ReplyDelete
  3. කතා කළයුතුම මුත් කතා කරන්නෙම කතා නොකලම යුතු දේය....
    සැනසිය යුතු මුත් කරන්නෙම පැරවිම්මය....
    සවන්දිය යුතුමුත් හදන්නෙම කටකතාය
    නිවියයුතු තැන අවුලන්නෙම ගින්දරය
    ගැහැණියට විරසක වන්නෙම ගැහැණුන්ය...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...