Thursday, February 8, 2018

අතීතයෙන් මතු වෙන පරණ වැඩ ( නොව පැරණි වන රමණි)

දරුවන්ගේ සිනා මුහුණු රැගත් පින්තූරයක් 


හැමදාමත් කියනව වගේ ළක්‍රිවී ( ළමා ක්‍රියාකාරී වීරයෝ) කියන්නෙ මගේ දෙවැනි අම්මා. ළක්‍රිවී වැඩවලින් ඈත් වෙලා ටික කලක් වුණත් එන්නෙයි කියන ඕනම අවස්ථාවක ලංකාවෙ ඕනම තැනකට තාමත් දුවනවා. ඒ බැඳීම තාම එහෙමමයි. අලුත් අධ්‍යක්ෂ පියතුමා සම්මේලනයට උදව් කරන්න අක්කේ කියල කළ ඉල්ලීම නිසා පරණ ලිපි ගොනු අවුස්සද්දි කාලයේ වැලිතලාවෙන් මැකිල යන්න නියමිත මතක සටහන් ගොඩක් හමුවුණා.

මේ ‘පැතුම්‘ මිට ඉන් එකක්. දවස ආරම්භයට, උත්සවයක ආරම්භයට, හැම ආහාර වේලකටම පළමුව, රෑ නින්දට පෙර පැතුමක් කරන එක ළක්‍රිවියෙ සිරිතක්. 2011 වාර්ෂික අනුශාසක සම්මේලනයට මං හැදුව පැතුම් ටිකක් හමුවුණා. හිතුණා ඒ ටික පළ කරන්න. සාමාන්‍යෙයන් අනුශාසක සම්මේලනය බක් මාසයේ සති අන්තයක් අල්ලල බ්‍රහස්පතින්දා සැඳෑවේ ඇරඹිලා ඉරිදා උදෑසන අවසන් වෙන්නෙ. මේ පැතුම් හදල තියෙන්නෙ ඒ අනුව.    

සම්මේලන වේදිකාවක...
  
වාර්ෂික අනුශාසක සම්මේලනය - 2011
- පැතුම් -

ඉදිරිපත් කිරීම :-
ජාතික ළමා කමිටු නියෝජිත එකමුතුව

බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ ප‍්‍රාර්ථනාව සඳහා එක්තැන් කර ගනිමු. )

ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ සටහනක්

‘‘ මා දිනපතාම දුටු අතක් තිබුණා, මා බාල කාලේ.
ඒ අතේ නියපොතු ගෙවිළා වළං හෝදලා.... මාපට ඇඟිලි හරහට දිගට කැපිලා පලා ලියලා..... තැන තැන දැවිලා පාට වෙලා..... ඉන් ඉඳහිට ඉඳුල් සුවඳකුත් ආවා....
එහෙත් ඊට වඩා සුවඳබර අතක් මට වෙන තිබුණේ නෑ.
ඒ අම්මාගේ අතයි.
ඒ අතින් බත් කන කොට මොන රසක් ද? ’’

( සුළු වේලාවකට දෑස් වසා ගන්න.)

මේ මොහොතේදී........ අප වෙනුවෙන්ම කැප වෙලා වැය වෙලා,.... දහදිය කඳුළු හෙළල විඩාපත් වුණු,....... රුළි ගැහුණු,...... නහරවැල් ඉල්පුණු අපේ ආදරණිය අම්මලා තාත්තලාගේ, සියලූම ආදරණීයයන්ගේ මුහුණු දෑත දෙපා ආදරයෙන් සිහිපත් කරමු.  නව යෞවනයේ අපට......... ඊට වඩා සුවඳවත් දෑත්, වටිනා ජිවිත තිබිය හැකිද? අම්මාගේ දෑතේ රැඳුණු ඉඳුල් ඔබට සුවඳක්ද?......... තාත්තාගේ දහදිය ඔබට සුවඳයිද?........... සෑම ආහාර වේලක් සමගම සුවඳවත් දෑත්, අමිල දහදිය කඳුළු රැඳී ඇති බව කිසිදා අමතක නොකරමු.
කුසගින්නේ දැවෙන හිතකට එවන් සෙනෙහෙබර රැකවරණයක් වන්නට ප‍්‍රාර්ථනා කරමු.

ගරු මර්සලින් ජයකොඩි පියතුමා

 
බ‍්‍රහස්පතින්දා දින නිමාවේ පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ එක්තැන් කර ගනිමින් මේ ගීතයට සාවධානව සවන් දෙමු. )

මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ( ගීතය වාදනය කිරීම )

 ‘‘ දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් ඔබටමයි. ’’

අපේ සිත් සතන් අහුරා ගෙන වැට කඩුළු බැඳගෙන පවතින සීමාවන් ගෙන්, තණ්හාවන්ගෙන්  මිදිල එළියට ආවොතින් අපට ජීවිතයේ සැබෑ අරුත හමුවේවි. ජීවිතයේ සුන්දරත්වය හමු වේවි. නමුත් මේ නිදහස අපේ හදවතට, මනසට දිනා ගැනීම සැබවින්ම විශාල අභියෝගයක්... 
ඒ අභියෝගය ජය ගන්නට හැකි නම්, අපට හැකි වේවි හදවතින්ම සිනාවෙන්න.. මේ පොළව කොතරම් සුන්දරද යන්න පසක් කර ගනිමින්.....

‘‘ ලොව දුන්නු දේවල් අද අපට - හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම් - මුළු ලොවම ඔබටත් ආදරෙයි...’’
මුළු ලොවේම ආදරය දිනන දුවෙක් පුතෙක් වෙන්න ඔබට හැකියි.. ඔව් ඔබට හැකියි...

විඩාබර දවසක අවසන නිදි දෙව්දුවට සෙනෙහසින් ඔබව සුවපත් කරන්නට දයාබර ඇරයුමයි මේ...  ඔබ සැමට සුබ රාත‍්‍රියක්....


සිකුරාදා උදෑසන ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ එක්තැන් කර ගනිමින් මේ ගීතයට සාවධානව සවන් දෙමු. )

පිණබිඳු මුතුමල් සැනකෙළියේ ( ගීතය වාදනය කිරීම )



වාර්ෂික අනුශාසක සම්මේලනයේ අරුණු කිරණ මැදින් උදාවුණු පළමු දවසයි මේ.... ජීවිතය විඳින්නට ඒ සඳහා අප දූ දරුවන් යොමු කරන්නට සුවිශේෂ කැඳවීමක් ලත් අප සැම ඒ සඳහා පන්නරය  ලබන වාසනාවන්ත දවසේ ඇරඹුමයි මේ...

අප විසින් කළ යුතු මෙහෙවර අති විශාලයි. ඒ වගේම අති විශේෂයි. ඒ සඳහා අපේ සිත් දිරිමත් වේවායි ප‍්‍රාර්ථනා කරමු.

ජීවිතය වින්දනය කරන්නට අවස්ථාවක්, හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැති සියලූ දෙනා අපි සිහිපත් කරමු. ඒ සැමගේ නැණ පහන් දැල්වේවා... දිවි මග ආලෝකමත් වේවා....

අද දවසේ අප සැමගේ ශ‍්‍රමය සවිය මතු අනාගතයේ ඉසුරු සදන්නට.....
අද දවසේ අප සතු යුතුකම් ඉටු කොට ජීවිතයේ ඵල නෙළා ගන්නට......
මේ උදෑසන ආහාර වේල අපට ශක්තියක්ම වේවා කියා ප‍්‍රාර්ථනා කරමු. 

 සිකුරාදා දිවා ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ ප‍්‍රාර්ථනාව සඳහා එක්තැන් කර ගනිමු.)

ස්වර්ණලතා කිරිවත්තුඩුව මහත්මියගේ තිලකසිරි ළමා කෘතියෙන් උපුටා ගත් කොටසක්
‘‘ අපිට හාල් හම්බ වෙන්නෙ කොහෙන්ද ළමයි ’’
‘‘ කඩෙන් ටීචර් ’’
ළමුන් බොහෝ දෙනෙකු දුන් පිළිතුර මතක් වෙන විට තිලකසිරිට තවමත් සිනා යයි. එදා පුෂ්පා ටීචර් ද සිනාව මැඩ ගත්තේ ආයාසයෙනි.
‘‘  ඕක තමයි අපි කාටත් වැරදුණේ. අපි දන්නේ කඩෙන් හාල් ලැබෙන එක විතරයි. බැරි වෙලාවත් එහෙ හාල් නැති උණොත් අපිට මොකද වෙන්නෙ ?’’
‘‘ බඩගින්නෙ ඉන්ඩ ’’
‘‘ අපි පුළුවන් තරම් මහන්සි වෙන්න  ඕනේ  අපි කන බොන දේවල් අපිම වවා ගන්ඩ. ඔය ළමයි දන්නවනේ පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙදි අපේ රටින් හාල් පිටරට යැව්වා කියන එක. ඒත් අද අපි හාල් පිටරටවල් වලින් ගෙන්නා ගන්නවා. අපි ඒකට ලැජ්ජා වෙන්ඩ  ඕනෙ නේද? ඔය ළමයි ගෙවල්වල ඉඩ තියෙන හැටියට මොනවා හරි ඉන්දන්න මහන්සි වෙන්න  ඕන. වවන මිනිහා තමයි දිනන්නෙ......’’
තිලකසිරි තම එළවළු පාත්තිය සකස් කළේ එදාම සවසය.
( සුළු නිහඩතාවයක් )

මේ ආහාර වේල අපට ලැබෙන්නෙ, ඉන් අපගේ කුසගිනි නිවෙන්නෙ වගා කරන මිනිසුන්ගේ දහඩිය මහන්සිය නිසා... වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් වෙනුවෙන් අපිත් සුළුවෙන් හරි ගෙවතු වගාවට යොමු වෙමු. ඒ පිළිබඳව අරමුණු අධිෂ්ඨානයන් සිතේ පෙළගස්වා ගනිමින් මේ ආහාර වේල භුක්ති විඳිමු.

ගෙවතු වගාවේ යෙදෙන ළමුන් පිරිසක්

 සිකුරාදා රාත‍්‍රී ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත එක්තැන් කර ගනිමින් මේ පැතුමට සහභාගි වෙමු. )

යාපනය තිරුනෙල්වේලි ග‍්‍රාමයේ ඉපිද එහිම හැදී වැඩුණු සිවරමණි 1991 වසරේ දී ඇයට වයස අවුරුදු 21 ක් වෙද්දී සිය දිවි නසා ගත්තාය. ඇය විසින් ලියන ලද මෙම කවියේ ඇයට ජීවිතය එපා කරවූ හේතු සාධකද සැඟවී ඇති බව නිසැකය.

යුධ සමයෙ රාත‍්‍රිය සමග එන පීඩනය
අපේ දරුවන් අකාලයේ වියපත් කරනු ඇති....
පුංචි  කුරුල්ලන් බඳු ඔවුන්ගේ සොඳුරු වූ උදෑසන බිඳ දමයි..
මග හරස් කොට දමා ඇති ලේ වැකුණු මුහුණ නැති මළ සිරුරු....

ඔවුන්ගේ සිනා කෙළි කවට හඩ තාප්ප බිත්ති පවා පුපුරවන සුළුයි
ඉතින් ඒ අපේ දරුවන් දරුවන්ම නොවෙයි මින් මතු...

තරු පිරුණු රැයේ නිහඩ බව තුවක්කුවක වෙඩි හඩෙන් පිපිරවෙයි
ළමා කතන්දර සියල්ලෙහි හරි අරුත මැරී වැටෙනු ඇත ඒ සමග....

ඉතිරි වූ පුංචි දහවලෙහි ඔවුහු
ළපටි තල් ඇටවලින් වේල් කරත්ත නොසාදති - තාච්චි නොපනිති..
අමතක වී ගොස්ය ළමා කෙළිදෙල......

දැන් ඔවුහු බත් කූරන්ගෙ තටු දෙකම කඩා ගෙන පුළුස්සා සතුටු වෙති
කෝටු කැබලිති තුවක්කු මෙන් මානා ගෙන
සතුරන්ය සිතා ගත් යාළුවන් මරා දා සිනා සෙති......

ඒ අපේ දරුවන්ගෙ ළමා කෙළි සෙල්ලම්ය...
යුධ සමයෙ රාත‍්‍රිය සමග එන පීඩනය විසින් දැන්
අපේ දරුවන් අකල්හිම වියපත් කර තිබේ....

යුද්ධයට ආ වඩන... යුධ ජයග‍්‍රහණයෙන් ප‍්‍රීති ඝෝෂා නගන අප කොතෙක් දුරට යුද්ධය නිසා පීඩාවට පත් වන පූංචි දරුවන්, අසරණ මිනිසුන් පිළිබඳව සංවේදීද? සාගින්නට... වේදනාවට.... වෛරයට... කලකිරීමට ජාති ආගම් කුල භේදයක් නැත... අපි අවුළුවන්නේ මේ ගිනි දැල් නම්  ඒ නොමිනිස්කමම මිස අන් කිසිවක් නොවේ...

මේ මොහොතේදීත් උපන් ගම් බිම් අහිමිව, කඳවුරුවල නැත්නම් තාවකාලික නිවාසවල දිවි ගෙවන උතුරු නැගෙනහිර ජනතාව ගැන අපට හැඟීමක් ඇත්ද?

අදටත් ලොව පුරා පවතින ගැටුම් නිසා කොතෙක් නම් දූ දරුවන් පීඩාවට පත් වෙනවාද? ඒ කඳුළු, වේදනා, ලංකාවේ වුවත්, ලිබියාවේ වුවත්, සෝමාලියාවේ වුවත් එහි කටුක බවේ වෙනසක් වේද? එවන් දූ දරුවන් සිත්හි මෙනෙහි කර ගනිමින් ඔවුන්ගේ ජීවිතවලට සතුට සැනසුම් උදා වේවා කියා ප‍්‍රාර්ථනා කරමින් රාත‍්‍රී ආහාර වේල සඳහා නික්ම යමු,  මේ බිමේම ඉපිද අකල්හි අප අතරින් සමුගත් සිවරමණි සොයුරියද සෙනෙහසින් සිහි කරමින්.......

විඩාබර මව්වරු දරුවන් සමඟින්... පින්තූරය අන්තර්ජාලයෙනි. 

සිකුරාදා දින නිමාවේ පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත එක්තැන් කර ගනිමින් දින නිමාවේ පැතුමට සහභාගි වෙමු. )

          මේ සුන්දර රාත‍්‍රියට තරු එළියට හඳ පානට.......... මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි...
          කවුද කියා දුන්නෙ ඔයාට ?
          හොඳයි කියන්න බලන්න ?
          ම්ම්ම්...... ඔයාගෙ ආදරය...
          ම්ම්.... හරියටම හරි.... ඒත් මගේ ආදරය නම් නෙවෙයි...
          එහෙනම් ?
          ඔයාලගෙ ආදරය...
          ඒ කියන්නෙ ?
          අම්මගෙ තාත්තගේ... ඉඳන් මේ මුළු විශ්වයේම ආදරය .... ඒ ආදරය තමයි මට ජීවිතය දුන්නෙ... මේ තරම් ආදරණීය ජීවිතයක් මට දුන්නේ.....
          හ්ම්... අපි කාටත් එහෙමයි නේද ?
          ලස්සන දවසක නිමාව....
          ඇත්තමයි...
          ඔයාට සුබ රාත‍්‍රියක්...
          ඔයාටත් එසේම වේවා...

රාත්‍රී සුබ පැතුමක පින්තූරයක් 


 සෙනසුරාදා රාත‍්‍රී ආහාර පැතුම

කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට
මොන කෙං ගෙඩිය ද තව  ඕන කියන්නේ... //

ඇද්ද බොලංලා උඹලගෙ බඩ ගෙඩිය විතරක් පිරුණොත්... වගේ වගක් ඇද්ද උඹලට කුස පොත්ත පිට කොන්දට ඇලිල සුදහගින්දරේ පිච්චි පිච්චි ජීවත් වෙන මිනිස්සු ගැන...
අනේ අනිච්චං... මහ ලොකුවට දේශනා කොළාට ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ... බොලල්ල හිතන්නෙත් තමන්ගෙ බණ්ඩි ගෙඩිය ගැන විතරයි...

අනේ ඇත්තට කන බත් පතට ළෙංගතුකමක්, ඒ බත් පතට කඹුරපු මිනිස්සු ගැන ගවුරවයක් නැතිව, ළුැණු ගෙඩියක් සුද්ද කරල දෙන තරමටවත් බත් පත වෙනුවෙන් දාඩිය කඳුලක් හෙලන්නෙ නැතිව බත් වේලක් අතට ගන්න එකත් පාපයක් බොලං....  ඕං කිව්වා....

‘‘ ඒ කතාවෙත් හිතන්න වටිනා දෙයක් තියෙනවා... අපේ මේ ආහාර වේල වෙනුවෙන් කැප වූණූ වැය වූණු හැම දෙනාම ආර්ථික කමිටු සභාපති අයියා ඇතුළු ආහාර අංශය,  පුංචි අම්මා ඇතුළු කෑම උයන අම්මලා, ආහාර සඳහා මූලිකව වෙහෙසුණු සැම, මිල මුදලින් දායක වුණු සැම ස්තූති පූර්වකව සිහි කරමින් මේ සමුළු බිමේ අප එක්ව රස විඳින අවසන් රාත‍්‍රී භෝජනයට  සන්තොසින් නික්ම යමු.


 සෙනසුරාදා රාත‍්‍රී දින නිමාවේ පැතුම
( අපි සියලූ දෙනාම නැගී සිටිමු. සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ ප‍්‍රාර්ථනාව සඳහා එක්තැන් කර ගනිමු. )

දැන් රාත‍්‍රී කාලයයි...
තාරකා ඇසිපිය නිසල වෙයි...
නෙත් අගින් බේරී පිණි වැටෙයි
සුළෙඟ් සුසුම් රැල් සීතලයි
සොහොයුරනි දැන් අප ඉතින්
සමුගත යුතුව ඇති වෙලාවයි.............

ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබැයි
එහෙත් නතරව එතැන
වැළපිය යුතු නොවෙයි - අප යා යුතුයි

රළක් නම් මුහුදේ
නිදා නොඉඳියි වෙරළකට මුහුණ දෙයි
සඳත් කඳු මුදුනට ඇවිත්
තම නිම් වළල්ලෙන් සමුගනියි

බලන් රණ ගොස නැගෙන තැන
ඒ ජීවිතේ පෙරමුණයි
ඉතින් සමුගන්නට කාලයයි
වහා අප එහි යා යුතුයි...

ඇසක් තටු අකුළා ගුළි වෙමින්
අඩන්නට වාගේ හදයි
නමුත් සොහොයුර අපට අකැපයි
ඔව් - කඳුළු සීතල වැඩියි
එළිය හඳුනන රෑ කුරුල්ලෙක්
උදෑසනකට අඩ ගසයි
මෙතෙක් තුඩ ගෑ තිත්ත පළවැල
හොට ඇරී බිම පතිත වෙයි

හෙට පිපෙන මල් අද රෑ
කට කොණින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තවමත් ටිකයි

හෙටත් අද වගෙ නම් ඉතින්
අප කොහේ හෝ තැන තැන ඉඳියි
නමුත් ඒ ඇත්තක් නොවෙයි
අප මුණ ගැහෙයි - හෙට මුණ ගැහෙයි
කොහේදී හරි නොවෙයි හෙට අප
එකම තැනකදී මුණ ගැහෙයි....

‘‘ සත්තකින්ම ළ.ක‍්‍රි.වී. අම්මාගේ හෙවණේදී අප හෙටත් නිසැකවම මුණ ගැහෙයි. ඔබ සැමට සුබ රාත‍්‍රියක්... ’’



6 comments:

  1. මුතුහර ළමා සමාජයේ ක්‍රියාකාරීව හිටි කාලය මතක් උනා.. හැබැයි මේ වගේ ආගමික නැඹුරුවක් නම් තිබ්බේ නෑ. :))

    ReplyDelete
    Replies
    1. මේකෙ ආගමික නැඹුරුවක් නෑ අනේ. අපේ ළමා සමිතිවල ආගම්, ජාති භේදයක් තිබුණෙ නැහැ.

      Delete
    2. ආගමික නැඹුරුවක් ය කියුවේ එක එක ආගම් වලට decline එකක් නෙවෙයි පොදුවේ 'යහපත්/ ආගමට දහමට බර/ සුපේශල/ ශික්ෂාකාමී' වැඩ නෙවෙයි අපේ උන් කරේ.. මොනවට හරි කමක් නෑ තරඟයක් තියල එකෙක් ව පරද්දල එකෙක් දිනලා සතුටු වෙන විදියේ වැඩ තමයි වැඩි හරියක්ම.. එහෙම වැඩ පෙන්නන්න බැරි ඒවාට ඒවාට අදක්ෂ ළමයින්ගේ සහයෝගයක් ලැබුනේ නෑ.. ඒ තරඟය නිසාම ළමා සමාජය කාලෙකින් නැති වෙලා ගියා..

      Delete
    3. ළක්‍රිවියේ අදක්ෂ ළමයි පැත්තකට වෙන එක වළක්වන්න එක එක වැඩ තියෙනවා. තරඟ නෑ. ඒවට කියන්නෙ කුසලතා ඇගයීම්. ( එහෙම කිව්වට ඉතින් ඉබේම තරඟ වෙනවා.) හැම ළමයෙකුටම තමන්ගෙ හැකියාවන් එක්ක ඉන්න පුළුවන් විවිධ අංශ දානවා. එල්ලෙ, ක්‍රිකට් වලට කණ්ඩායම හදන්නෙ ගැහැනු පිරිමි කලවමට වෙන වෙනම නෙවෙයි. ගැහැනු ළමයින්ට අනිවාර්ය අවස්ථා දෙන විදියට කොන්දේසි තියෙනවා. ඔය වගේ එක එක වැඩ කළා ඒ කාලෙ තරඟ කියන හැඟීම නැති කරන්නයි, හැම ළමයෙකුට අවස්ථාව දෙන්නයි.

      ඒ කාලෙ මං ගමේ කළ ළමා සමිතියෙ ගොළු මල්ලි කෙනෙක් උන්නා. අනිත් අය හැකියාවන් ඉදිරිපත් කරද්දි එයත් ඉස්සරහට ඇවිත් අත මයික් එක වගේ හදාගෙන සද්ද දානවා. මම ඉතින් ළමයි එක්ක අත්පොඩි ගහනවා. එයාට හරි සතුටුයි. ඇත්තට එහෙම කාලයක්... වැඩත් කළා ඒත් ලොකු සැහැල්ලුවකුත් තිබුණා.

      Delete
  2. Nice one. V. Thoughtful.

    ReplyDelete
  3. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...