Tuesday, February 6, 2018

තවත් ආදිත්‍ය කෙනෙක්!


( කරළියෙන් එපිට කතා )

උසස් පෙළ කරලා මම පූර්ණකාලීන සමාජ සේවයයි කළේ. ඒ කාලෙ ඉතිං දැන් වගේ අර කෝස් මේ කෝස්වලට පැන්නිල්ලකුත් නෑනෙ. නිදහස උපරිමයෙන් තිබුණා. උසස්පෙළ කරද්දි වුණත් පොදු වැඩවලින් අයින් වෙලා උන්නෙ නැහැ. ටියුෂන්වලට ජීවිතේ කැප කරල තිබුණෙත් නැති නිසා කාලය ගෙවුණෙ සැහැල්ලුවෙන්.

දහම් පාසල, තරුණ සමිතිය ඇරුණම වැඩියෙන්ම කාලය වෙන් කළේ ළක්‍රිවියට. ( ළමා ක්‍රියාකාරී වීරයෝ) ඔය අතර මහජන බැංකුවෙ තාවකාලික පදනමින් රැකියාව ලැබුණත් සති අන්තය වෙන්කළේ පොදු වැඩවලට. ගමේ පල්ලියෙ ළමා සමිතියක් කරනවට අමතරව දිසාවෙ, පදවියෙ වැඩත් කළා.  ඒ කාලෙ ළක්‍රිවියෙ අපිට මඟ පෙන්වන්න ඉතාම හොඳ, දක්ෂ අක්කල අයියල පිරිසක් හිටියා. එයාල සාහිත්‍ය කලාව ඇසුරු කළ, දේශපාලනිකවත් ප්‍රගතිශීලී අදහස් දැරූ ඉතාම දක්ෂ, අවංකව වැඩ කළ තරුණ තරුණියො. අපිව රැකබලාගත්තෙ දරුවො ගානට. ඒ නිසාම එයාල ගැන අපේ හිතේ අප්‍රමාණ ගෞරවයක් ඇති වෙලා තිබුණෙ.

මේ විදියට ළක්‍රිවීත් කරමින් සරසවියටත් ආවට පස්සෙ කට්ටියට ඕන වුණා මාව බැඳීමක පටළවන්න. මොකද මං උන්නෙ ප්‍රේමය ගැන වගේ වගක් නැති විදියට. ( එහෙම තමයි අනිත් අය හිතුවෙ. ඒත් ඔය හැම කාලෙකම මගේ හිතේ එක එක විදියෙ මළ ඉලව් තිබුණා. බොහෝ වෙලාවට ඒකපාර්ශවීය පෙම් කතා.) අපිත් එක්ක වැඩ කළ අයිය කෙනෙක් උන්නා. බොහොම තැන්පත්, හරිම හිත හොඳ, ප්‍රතිපත්තිගරුක පරමාදර්ශී චරිතයක්. හොඳ ගායකයෙක්. එයාගෙ සින්දු අහන්න අපි හරිම කැමතියි ඒ දවස්වල. එක කාලයක් අපි ගම්වල අනුශාසකවරුන්ගෙ ගෙවල්වල පැදුරු සාද කළා. ඒක ටිකක් වෙනස් විදියක වැඩසටහනක්. හොඳ ගීත තෝරගෙන ඒ ගීතවලට හැඳින්වීමක්, ගීත ගැන සංවාදයක් එක්ක තමයි ඒ වැඩසටහන කළේ. ඒ අයියා අපේ වැඩේ ප්‍රධාන ගායකයා.

එයාව මගෙ ජීවිතේට සම්බන්ධ කරන්න ගොඩක් අයට උවමනා වුණා. බැලු බැල්මට ඒකෙ කිසි වැරැද්දක් තිබුණෙත් නැහැ. ( වැරැද්ද තිබුණෙ මගෙ හිතේ. ) අපේ අම්ම, තාත්ත වුණත් කට පුරෝල පුතේ කියාගත්ත ගමන්. ලොකු බෑණා කරගන්නෙ බොහොම කැමැත්තෙන් උන්නෙ. ඒ අයියගෙ අම්මා නැති වෙලා. තාත්තා විතරයි උන්නෙ. මාව දැක්කම ඒ තාත්තගෙත් මූණ ආදරෙන් උතුරල යනවා. එයා මගේ අත්දෙකෙන්ම අල්ලන් කතා කරන්නෙත් පුදුම ආදරේකින්. අනේ මගේ ලොකු ලේලි කියල හිතෙන්න ඇති. අපේ පවුල්වල නිහඬ එකඟතාවක් තිබුණා මේ බැඳීමට. ඒත් ඉතින් මට හිත හදාගන්නම බැරිවුණා.

‘‘අනේ මට ඉතින් එහෙම හිතෙන්නෙ නෑනෙ. මට දැනෙන්නෙ සහෝදරයෙක් විදියට විතරමයි.‘‘ මේ ගැන කතා කළ අයට මං කිව්වෙ එහෙමයි.

‘‘මොකක්ද අනේ ඔය හිත, ඕක ටිකක් වෙනස් කරගන්නකො‘‘ කියල අපේ අම්මත් කිව්වා. ඒත් මට බැරිවුණා.

මේ අතරවාරෙ අපි දෙන්නගෙ කසාදයක් ගැන කතා කළ අපේ ළක්‍රිවියෙ සහෝදරයකුට ඒ අයිය කියල තිබුණෙ මෙන්න මෙහෙම කතාවක්.

‘‘නංගි දැනටමත් ගමනක් යන්න පටන් අරගෙන. එයාගෙ ජීවිතේ ඉදිරිය තියෙන්නෙ මෙහෙ. මං එයාව බැන්දොත් එයාව ගමට හිරවෙනවා. ඒක කරන්න හොඳ නෑ. අපි මේ ගමන යන්න එයාට ඉඩදෙන්න ඕන.‘‘

මමත් ඒ උත්තරය බොහොම සතුටින් බාරගත්තා. සමහරවිට එයා එහෙම නොකිව්ව නම් හැමෝගෙමත් කැමැත්ත නිසා ඒ විවාහයට මමත් කල්ගිහින් හරි කැමති වෙන්නත් තිබුණා. හැමදේම වෙන්නෙ හොඳටයි කියනවනේ.  ඒ අයියා හිටියෙ අපේ නගරයෙනුත් ඈත නගරයක, ඉනුත් ගොඩාක් ඇතුළක පිහිටි ගමක. එයාලට විශාල ඉඩමක් වගේම විශාල කුඹුරු යායකුත් තිබුණා. ඒ  කුඹුරුවල වැඩ කරන්න වෙයි කියන බයත් මට තිබුණා. මං ඉතින් පොත් කියවන්න මිස කුඹුරු වැඩ කරන්න හිතන් උන්නෙත් නැහැනෙ.

කසාදෙ නොකෙරුණාට අපේ බැඳීම් නැතිවුණේ නැහැ. අපේ ගෙදර විශේෂ අවස්ථාවල ඒ අයියටත් ආරාධනා කළා. මගෙ කවි පොත ජනගත කළ ගමේ උත්සවයටත් එයයි, නෝනයි දෙන්නම ආවා. ඒ විතරක් නෙවෙයි කොළඹ තිබුණු පොත ගැන සාකච්ඡාවට ඒ තරම් දුර ගෙවාගෙන එයා ආවා. සියලුම වැඩ අවසන් වෙලා යන්න ලෑස්ති වෙද්දි
‘‘මේ නංගිට පුංචි තෑග්ගක් මගෙන්‘‘  කියල මගෙ අතේ සුදු කවරයක් තිබ්බා. ඒකෙ මුදලකුත් එක්ක පොඩි සටහනක් තිබුණා.


27.01.2018
‘‘ආදරය ඔයා බෙදාගන්න, පුළුල් කරන විදිය....
              හෙමිහිට විඳගන්නවා.
              බෙහෙවින් අගය කරනවා.
මගේ ජීවිතයේ කොටසක් ඔයා ඉටුකරනවා.‘‘
මගේ සුපැතුම්
............. අයියා...

ඒ ඇස්වල දිලිහෙන අවංක සතුටක් මං දැක්කා. ඒ සතුට සහෝදරියකගේ ජයග්‍රහණයක් වෙනුවෙන් වෙන්න පුළුවනි. ස්වපරිත්‍යාගයක ප්‍රතිඵල දකින පෙම්වතෙක්ගෙ නිරාමිස සතුටක් වෙන්නත් පුළුවනි. කොහොමවුණත් මට හිතුණෙ ‘ඒ තවත් ආදිත්‍ය කෙනෙක් නේද?‘ කියලයි. 

2 comments:

  1. හ්ම්ම්.. දැන් මං කොහොමද මේකට විහිළුවක් කරන්නේ..

    "ආදරය ඔයා(ල) බෙදාගන්න, පුළුල් කරන විදිය....
    xxxxxxxxxxxxxx.
    බෙහෙවින් අගය කරනවා.
    xxxxxxxxxxxxxxxxxxxx."
    මගේ සුපැතුම්!!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...