Friday, November 17, 2017

පාට පෙට්ටියක් පොළවේ ගැසීම චිත්‍රපටියක් නම්?


‘පාට පෙට්ටියක් පොළවේ ගැසීම චිත්‍රපටියක් නම් ‘දේදුනු ආකාසේ‘ ද චිත්‍රපටයකි‘ කියා කීවේ මා නොවේ. අසංක සායක්කාරය. කතාව නම් ඇත්තය. ‘දේදුනු ආකාසේ චිත්‍රපටයක් නම්, ඇත්තම චිත්‍රපටිවලට කියන්නේ කුමක්දැයි‘ මම ද සිතමින් සිටිමි.

ඩීමන් ආනන්ද රහස් පරීක්ෂක කතා ලියද්දී කරුණාසේන ජයලත් ද නවකතා ලිව්වේය. මාටින් වික්‍රමසිංහ නවකතා ලිව්වේය. මේ හැම කෙනෙකුටම තමන්ගේම වූ පාඨක, රසික සමාජයක්ද විය. දැන් වුණත් සුජීව ප්‍රසන්නආරච්චිගේ කතා කියවන රසික පිරිසක් වෙත්. හැමෝටම චෙකෝෆ්, ගෝර්කි, කොයියෝ, අරුන්දතී රෝයි, සලමන් රුෂ්ඩි හරියන්නේ නැත.


ඔන්නොහේ කමක් නැත කියා හිත හදාගන්නෙමි. ඒත් ඉතින් මේ ටික නොකියාමත් බැරිය.

රූප රාමුවල දුබල පෙළගැස්ම නිසාද, හරිහැටි රඟපාන්නට බැරි නිළියන් නිසාද කතාවේ අබල දුබල බව වැඩියෙන් කැපී පෙනෙන්නේය. මේ කතාවම වුණත් මීට වඩා ලස්සනට, තාත්විකව ගොඩනගන්නට ඉඩ තිබිණි. පාට පෙට්ටියක් පොළවේ ගැසීමේ කතාව නම් ඇත්තය. ඒ තරම්ම වෛර්වණය. නමුත් භාව උද්දීපනයන් නම් දුර්වර්ණය. ප්‍රියංකර රත්නායක, ජයලත් මනෝරත්න අපරාදේ කියා ඇත්තටම මට සිතුණි. හේමාල්ගේ රංගනයේ නම් ගත යුත්තක් ඇත.

ඒ නිළියන් නම් කුමට ගත්තාදැයි නොදනිමි. එයාලා අඬද්දී මට හිනා එන්නේය. එයාල හිනාවෙද්දී මට අඬන්නට සිතෙන්නේය. ලංකාවේ මෙතරම්ම නිළි හිගයක් ඇතැයි මම දැන නොසිටියෙමි.

.......

‘ඉතින් ඔච්චරම අවුල් නම් ඇයි බැලුවෙ?‘ කෙනෙක් අසන්නට ඉඩ ඇත.
උදේ ඇස් ඇරෙන්නේම කුස්සියට යාම එපා වූ දවසකින් යැයි සිතන්න. තමන් උයා ගන්නා දෙය කදමලු බැඳගෙන ගෙන ගොස් හැමදාම තමන්ටම කන්ට සිදුවීම, එපාවෙන වැඩකි. ඒත් ඉතින් කුස්සියට නොගොස් ඉන්නට, නොඋයාම ඉන්නට බැරි දවසක් ආවම...

ඒ අතර, කාර්යාලය මතක් වෙද්දී සිහිසන් නැතිවන්නට එන්නේ නම්,
ඒ තරම් අමාරුකම් දරාගෙන වුණත් රස්සාවට එද්දී මඟදි කෝච්චිය කැඩෙන්නේ නම්,

කෝච්චිය හදාගන්නා තුරු කල් මරද්දී කාර්යාල වෙලාව පමාවන්නේ නම්,

හිටිගමන් බැස හිස හැරුණු අතක ඇවිද යන්නට සිතෙන එක වළක්වන්නට බැරිය. එහෙම ඔහේ ඇවිද යන අතරතුර දේදුනු ආකාසේ නොව ඕනෑම එකක් බලන්නට හිතක් පහළ වීම ස්වාභාවිකය. පාට පෙට්ටිය පොළවේ ගැසීම බැලුණේ අන්න එවැනි අන්තිම නරක දවසක ය.

.......

දසුන් !!! අපරාදෙ මේ කොලුවා යැයි සිතුණි. හිටියා නම් ඉදිරියේදී චිත්‍රපටවල වීරයාගේ යාළුවා වන්නටද, සමහර විට, කාලෙකදි වීරයා වන්නට වුවද ඉඩතිබිණි.


මැරෙන්නට තරම් දුකක් ආ විටදී කළ යුත්තේ ගෙට හෝ කාමරයට වැදීම නොව එළියට බැස ඇවිද යාම ය. හිත නිදහස් වන තුරු, සැහැල්ලු වන තුරු ඔහේ ඇවිද යාමය. කා එක්ක හෝ කතා කිරීම, පොතක් පත්තරයක් බැලීම, චිත්‍රපටයක් බැලීම, ගහක් කොලක් ඇලක් දොලක් ළඟ වාඩි වී සිටීම, සාප්පු සවාරි යෑම, පොත් සාප්පුවල රස්තියාදු වීම මේ වගේ ඕනෑම දෙයක් ප්‍රතිඵලදායක විය හැකිය.


ජීවිතය මරණය තරම් පහසු නොවන බව දනිමි. නමුත් අප තෝරාගත යුත්තේ ඒ අපහසු මාර්ගයම  නොවේද? 

10 comments:

  1. ෆිල්ම් එක බැලුවෙ නම් නැහැ
    බලපු කෙනෙක් කිව්වා ෂේප් කියලා..

    වෙන්න ඇති.. ලංකාවෙ වෙනත් ෆිලුම් වලට සාපේක්ෂව හොද ඇති කියල තමා මගෙ නම් අදහස

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂ හොඳක් මට නම් පෙනෙන්ට තිබුණෙ නෑ. කළින් චිත්‍රපටිය ආදරණීය වස්සානේද මොකක්ද එක මීට වඩා හොඳයි...

      Delete
  2. මමත් බැළුවේ නැත.බලන්ට උවමනා වුනේද නැත.
    ඉදිරියට බලන්නේ නැත.බැලූ කිසිඑකෙක් ඒකේ හොඳක් කීවේද නැත

    ReplyDelete
    Replies
    1. අහම්බ හිතුවක්කාර තීරණයක් විදියට මාත් බැලුවෙ... අපරාදෙ හොඳ පොතක් ගන්න තිබුණ සල්ලි.

      Delete
  3. trailer එකෙන්ම මටත් වැඩේ අවුල් බව තේරුනා. හේමාල් පන මදි භාවයන් අතින්...

    එහෙනම් ඔයත් බැලුවා ඈ !
    කෝච්චිය මග කැඩුනේ, මිතුරා අඬ ගැසුවේ... film hall එකක්ම ලන්ගදීද????

    ReplyDelete
    Replies
    1. මිතුරෙක් අඬගැහුවෙ නෑ අනේ. මං තනියම බැලුවෙ.

      Delete
    2. තනියෙම බැලුවා කිව්වා?? චෑ චෑ බෝම නාක තාලෙට හැදෙන ගෑල්ලමයෙක් !

      ඉස්සර කාලයකදී ඕනෑම වර්ගයේ අන්ත ගොන් සිට සිරාම තත්වය දක්වා හින්දි ෆිල්ම් මලදානයක් බැලීමේ රෝගයක් තිබ්බ එකියක් විදියට....... (කට පියාගමි)

      Delete
  4. නිළියන් දෙන්නා ගැන තරු අක්කා කියලා තියෙන කතාව නම් ඇත්ත.ඒ දෙන්නාගේ රංගනය මටත් හරි මදි. දිනේෂ් කොළඹගේ කලින් චිත්‍රපටිය වෙච්චි "ආදරණිය කතාවක්" මිට වඩා ලස්සනයි.වගේම උදාරිගේ රංගනයත් එකේ හොඳයි.මේ චිත්‍රපටියේ චිත්‍රාල්ගේ සංගීතය හොඳයි.හැබැයි ඉතින් මෙහෙම චිත්‍රපටි වලින් හරි සිනමාශාලා වලට මිනිස්සු ඇදෙන එක ඒ කර්මාන්තයට හොඳයි.

    ReplyDelete
  5. ෆිල්ම්? එහෙම ඒවාත් තියෙනවද ලංකාවේ? අම්මප මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා කියල ඇහුවමයි.. :)) හැබැයි මේක කියෙව්වම වෙලාවක් හදාගෙන ගිහිං අර නිලියෝ අඬනවා බලලා හිනාවෙලා එන්න හිතුනා..

    ReplyDelete
  6. ෆිල්ම් එක බැලුවේ නෑ.බලලාම ඉන්න ඕන..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...