Thursday, November 23, 2017

ඇස් තෙත් කළ මතක

‘ඇස් තෙත් කළ මතක‘ පොතේ ඡායාරූපයක්

කියවන්නට පොතක් සොයමින් අලුත් පොත් ගොන්න පීරමින් සිටින විට පොත් අතර සැඟව, මතකයෙන් අමතකව ගිය කුඩා පොතක් ඇස ගැටිණි.

 ‘‘ඇස් තෙත් කළ මතක‘‘ - ගයාන් අබේසිංහ

‘ඇස් තෙත් කළ මතක‘ ලේඛකයා අසන, දකින, විඳින ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුණු මතක සටහන් ගොන්නකි. ලක්බිම පුවත්පතට ලියූ තීරු ලිපි එකතුවකි. පුවත්පතෙන් හෝ මුහුණු පොතින් මේ සටහන් නොකියවූ නිසාම නැවුම් හැඟීමෙන් පොතට එබී බලන්නට හැකි වීම වාසනාවකැයි සිතමි.

එහි අපූරුව ඇත්තේ සරල, සංවේදී කතා රටාවේ ය. පුද්ගල ජීවිතය තුළ මෙන්ම ගුරුවරයකු ලෙස ලද අත්දැකීම් ද එහි අන්තර්ගතය.  ‘ඇස් තෙත් කළ මතක‘ අප හමුවට ගෙන එන ගයාන් සේම ගයාන් ඇසුරු කරන අසන දකින විඳින චරිතද ජීවිතයේ අනේකාකාර දුක් දොම්නස් මැදින් ජීවිතය ජයගන්නට වෙර දරනා චරිතය. ගයාන් අම්පාරේ හිඳිමින්, සිංහල විෂය ස්වකීය මාධ්‍ය කොටගනිමින් පෞද්ගලික පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කරන්නෙකි. ඔහු මුදල් පසුපස හඹා යන ටියුෂන් මාස්ටර් කෙනෙකු ඉක්මවා ගිය සංවේදී සිතකින් ජීවිතය දකින බව මේ කතා එකිනෙක කියවන විට වැටහේ. ඔහු තම දරුවන්ගේ දුක් අමාරුකම් මැද දුක් ගන්නා නමුත් නොවැටී ජීවිතය දිනන්නට දිරි දෙන, දරුවන්ගේ සතුටේදී එක්ව සිනාසෙන මහ පොළවේ පය ගසා ජීවත් වන ගුරුවරයකු බව පෙනේ.

‘‘ලංකාවෙ බොහොමයක් දෙනා ළමයින්ට බනිද්දී ‘දැන් හැදෙන උන් කමකට නැතැ‘ යි කියද්දී, මම උන්ට අපමණව ප්‍රේම කරමි. ඒ කමකට නැති උන් තුළ ඇති අප්‍රමාණ මනුසත් ගුණාංග සීරුවට සොයන්නෙමි.‘‘
පිටුව 64

බලු පැටවකු තුරුළු කරගෙන සිටිනා දරුවෙක්...

මෙහි එන සසංකගේ කතාව දයාබර ගුරු දෑසකින් දකින අප්‍රමාණ සංවේදී බවකින් පිරිපුන් දරුවකුගේ කඳුළු කතාවකි. ඔහු කෘතිම පයකින් දිවි ගෙවන්නෙකි. බලු පැටියකු මිල දී ගන්නට පෙරුම් පුරන සසංක, මවගෙන් ලැබෙන මුදලද ගෙන සුරතල් සතුන් අලෙවි කරන තැනකට යයි. එතැන සිටින පුෂ්ටිමත්, සුරතල් බලු පැටවුන් වෙනුවට ඔහු සිත ඇදෙන්නේ කෙසඟ දුර්වල මුල්ලක් අල්ලා දිගෑදී සිටින බලු පැටවෙකි. ඒ අසරණකමට හේතුව පයක් නැති කමය. සසංක සම්පූර්ණ මුදලම දී මිල දී ගන්නේ ඒ බලු පැටවාය.

‘‘අර  තරම් ලස්සන බලු පැටවු ගන්න පුලුවන්කම තියෙද්දි ඇයි පුතා මේ ඇවිදින්න බැරි බලු පැටියම ගත්තෙ?‘‘

දරුවා අහිංසක හිනාවක් පාලා එයාගෙ කලිසමේ කකුල උස්සලා පෙන්වනවා. දරුවට තිබුණෙ ඇත්ත කකුලක් වෙනුවට කෘතිම කකුලක්....
පිටුව 34-35

ගයාන් දරුවන්ගේ දුක් වේදනාවන් හඳුනන්නා සේම ඔවුන්ගේ හැකියාවන්ද හඳුනයි. අගය කරයි. ලේසියෙන් අලුත් පොතක් පතක් නොපැමිණෙන අම්පාර පැත්තේ දරුවන්ට අලුත් පොත් ගැන, කවි ගැන, සාහිත්‍ය වැඩ ගැන කියාදෙයි. ඔහු තම සිසු සිසුවියන් ගැන කතා කරන්නේ තමන්ගේම දරුවන් ගැන කතා කරනා තරම් ඇල්මකිනි. මෙම කතා එකතුව වඩාත් සංවේදී වන්නට එයද හේතුවකැයි සිතේ.

දරුවන් පිරිසක් සමඟ සිටිනා ගුරුවරියකගේ සේයා සිතුවමක්

සියලු සාහිත්‍ය කලා සංස්කෘතික කටයුතු අගනුවර කේන්ද්‍රගත වන විට ඈත ගම්දනව්වලට ඒ සංස්කෘතික ජීවිතය හුරුකරවන සොඳුරු මිනිසුන්ගේ කැපවීම වඩ වඩාත් අවශ්‍ය කාලයකි මේ. ගයාන් තම අමාරුකම්ද දරා ගනිමින් ඒ කාර්යය ඉටුකිරීම සඳහා කැප වී සිටින බව පැහැදිලිය.


අනන්ත අප්‍රමාණ කඳුළු මැද ජීවිතය දියකර හරින අයුරු නොව, ජීවිතය ජයගන්නා හැටි ලියන්නට ගයාන් පරිස්සම් වන්නේය. වඩාත් වටින්නේ එයය. මිථ්‍යාවද, අපරාධ දූෂණ වංචාද වපුරමින් පත්තර පිටු පුරවන යුගයක වඩාත් අවැසි වන්නේ ජීවිතයට ආදරය කරන්නට, ගරු කරන්නට, සංවේදී වන්නට තමන්ගේ පෑන මෙහෙයවන ලේඛකයන්යැයි සිතමි. ඒ උත්සාහය වෙනුවෙන් ගයාන්ට ස්තූතියි කියන්නට මේ සටහන අවස්ථාවක් කරගනිමි.

ඇස් තෙත් කළ මතක - සයුර ප්‍රකාශනයකි. 

8 comments:

  1. ‘‘ඇස් තෙත් කළ මතක‘‘ හිතේ තිබුනට ,
    මේ ..... ‘‘ඇස් තෙත් කළ මතක‘‘ කියවන්නට හිතේ ... මට .

    ReplyDelete
  2. //කඳුළු මැද ජීවිතය දියකර හරින අයුරු නොව, ජීවිතය ජයගන්නා හැටි ලියන්නට ගයාන් පරිස්සම් වන්නේය. වඩාත් වටින්නේ එයය.// +++++++ ගයාන් ලස්සනට ලියනවා..

    ReplyDelete
  3. බලුපැටියගෙ කතාව නම් ගයාන් උස්සපු එකක්,නැත්නම් ගයාන්ගෙන් උස්සල!

    ReplyDelete
    Replies
    1. බලුපැටියගෙ කතාව උස්සපු එකක්.මේ ගයාන් අනුන්ගෙ කතා අනුවර්ථනය කරන පොරක්.

      Delete
    2. මමත් ඒ වගේ කතාවක් නම් කියවල තියනවා.
      http://gawker.com/three-legged-dog-helps-boy-cope-with-his-disability-1524472694

      Delete
  4. තාත කියවන්න බැරී උනා.ඒත් ගයාන්ගේ මතක කියවන්න අවස්ථාව ලැබුණා පත්තරෙන් වගේම මුහුණු පොතෙනුත්ග ඇස් තෙත් වෙන්නේ නොදැනීමයි.

    ReplyDelete
  5. අනුන්ගේ දුකේදී ඇස් තෙත් වෙන මිනිස්සු ඇසුරු කරන්න ලැබීමත් එක්තරා විදියක වාසනාවක්.

    ReplyDelete
  6. මගෙත් ඇස් තෙත් කල මතකයන්... පොත පරිස්සමට තියා ගන්න ගත්තා ඒත් කියෙව්වෙනම් පත්තරෙන්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...