Thursday, November 16, 2017

'ටියැන්ජින් සංධ්වනි සහ අපේ කළණි'



‘‘අක්ක එනවද චීන ඔපෙරාවක් බලන්න.‘‘

අහඹු ඇරයුමකි...

‘‘එන්නම්‘‘ කිසිත් නොසිතාම එකඟ වූයේ එකපයිනි. චීන ඔපෙරාවක් කිසිදාක බලා නැතුවා නොවේද? ඉබ්බියක් දියට දාද්දි ඇන්නෑවේ කිව්වලු.

ඇරයුම පරිදි නෙළුම් පොකුණට පිවිස සතර අත දෑස් බැල්මෙන් පිහිනා බැලීමි.

‘‘කෝ කොයි ඔපෙරා.. මොන ඔපෙරාවක්ද? අනේ උන්දැයි මායි දන්න ඔපෙරා! ‘‘

එය සංගීත සංධ්වනියකි. "Tianjin Symphony Orchestra"

ඔබ සිතන්නේ මා දුර්මුඛ වූවා කියාද? කිසිසේත් නැත. සජීවි සංගීත සංධ්වනියක අත්දැකීම කෙබඳු වනු ඇත්ද? ඉබ්බියකට පියාපත් ලැබුණා වැනි සතුටකි.

එය චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ 60 වසර සැමරුම වෙනුවෙන් පැවැත්වූ සංගීත සංධ්වනියකි.


වාද්‍ය වෘන්දය තිස් දෙනෙකුගෙන් පමණ සමන්විතය. විවිධ තේමා යටතේ වාදන රටා සහ ගීත විශේෂාංග දහයක් පමණ ඇතුළත් විය. මියැසි රටාවන්ට දමා තිබූ මාතෘකා ද හරි අපූරුය.

‘‘බීජිං සිට සුභාශිංසන‘‘
‘‘වසන්තය‘‘
‘‘බට පඳුරු මියැසිය‘‘
‘‘රෝමි‍යෝ ජුලියට් ප්‍රේම පුරාවත‘‘
‘‘මගේ චීන හදවත‘‘

ඔන්න ඔවැනි හද බඳන මාතෘකාය. සතුට, උද්දාමය, විරහ වේදනාව මෙන්ම සමාධිගත නිවීමක්ද ගෙන එන්නට සංගීතය කොතරම් සමත් වන්නේද ඒ හෝරාව තුළ හදවතින්ම අත්විඳින්නට හැකි විය. වසන්ත මියැසිය සිහියට කැන්දූයේ ටිනක්ර් බෙල් කාටූන් සංගීතයය. මා එය මුමුණා අසල අසුනට පවසද්දී, ඈ කීවේ අපේ එක්කෙනත් මේ දැන් කීවේ එය බව ය.

අහා !!! ඒ සංගීත සංධ්වනියේ මිහිර !!! කියන්නට වචන නැත.

එවැනි විස්කමක් කරන්නට අප රටේ සමත් වූයේ නම් ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ම විය යුතුය. අප රටින් මෙබඳු සංගීත සංධ්වනි බිහි නොවන්නේ ඇයි? එබඳු දක්ෂයින් මෙහි නොවන නිසාද? මම සිතුවෙමි. අපට දක්ෂයින්ගෙන් හිගයක් නැත. නමුත් විශිෂ්ට ගණයේ නිර්මාණ වෙත යාමට අවැසි ආර්ථික පසුබිම, විවේක බුද්ධිය, අනෙකුත් සමාජ වටපිටාව  අපේ නිර්මාණකරුවන්ට හිමි නොවීම ඔවුන්ගේ මෙන්ම අපේත් අවාසනාවකි.  

...............

පසුදින මා උන්නේ ගමේ...

උදෑසන ස්වාධීන රූපවාහිනියේ ශනිදා සාදය නෙත ගැටුණේ අහම්බෙනි.  කළණිගේ වයලීනයේ තත් හැඬවෙමින් තිබිණි. එහි අපූරුව මා කිව යුතු නැත. ඔබ හොඳින්ම දන්නා බව දනිමි. 

‘‘වචන අඩුවෙන් කතා කරන, වයලීනයෙන් වැඩියෙන් කතා කරන කළණි.‘‘ ඔහු හඳුන්වා දෙන්නේ එලෙසිනි.

කළණි පෙරේරා

සංවාදයට සහභාගි වූ කළණි පෙරේරාගේ බිරිඳ ‘ලංකාව තුළ කළණිගේ හැකියාවට නිසි තැනක්, ඇගයීමක්‘ නොලැබීම පිළිබඳව කතා කළාය. ‘ලංකාවෙ නිහඬව හිටියොත් කවදාවත් තැනක් ලැබෙන්නෙ නැහැ.‘ ඈ පැවසුවාය. ඒ මොහොතේ කැමරා කෝණය කළණිගේ හැඟුම්බර මුහුණ සමීප රූප රාමුවක රඳවා ගත්තේය. 

හද බිඳුණේ මගේය.

‘ටියැන්ජින් සංධ්වනි සහ අපේ කළණි‘ මාතෘකාව මා සිත ලැගුම් ගත්තේ ඒ මොහොතේය.  

බලා හිඳින්නම් සෙනෙහසින්... අසා සිටින්නම් සෙනෙහසින්...
ගායනය - චම්පිකා එදිරිසිංහ
ගේය පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - කළණි පෙරේරා...









13 comments:

  1. කළණිගේ වයිෆ් කිව්ව කතාව සහතික ඇත්ත. රගන්නැත්නං චෑන්ස් නෑ ලංකාවේ. එහෙම දක්ෂයෝ නිහඩවම ඉදල නිහඩවම මැරිලා යනවා.. ආයි විශ්වයේ ඒ අය හිටියේ නෑ වගේයි. හැබැයි මේකේ තව එක පැත්තකුත් තියේ. තමන්ව මාර්කට් කරගන්න තමන් දැනගන්නත් ඕන. කව්රුවත් බලෙන් ගෙනැත් දෙන්නෑ නේ

    ReplyDelete
    Replies
    1. නිහඬ දක්ෂයින් ගැන අපිවත් කතා කරමු.

      Delete
  2. //ලංකාවෙ නිහඬව හිටියොත් කවදාවත් තැනක් ලැබෙන්නෙ නැහැ// අන්නේකයි..

    ඔයිත් ඔය අනුන්ගේ සිංදු කෑලි කියකියා යූටියුබ් දදා ඉඳල හරියන්නේ නෑ.. හොඳ සින්දුවක් කරමු. :)

    අහ.. කලණි ගේ වයලින් එක.. ඒක පට්ට! මැජික් එකක් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ සින්දු කියල පස්සෙනෙ ඉතින් තමන්ගෙම සින්දුවක් කියල එකක් කියන්නෙ මේ සිරි ලංකාවෙ... ඉන්නකො ටිකක්...

      Delete
  3. හැබැයි Erhu සහ violin දෙක සැහෙන වෙනස් නේද ? මම සැහෙන චීන සංගීතය අහනවා වැඩ කරන ගමන්. Guzheng වලට නම් මම සැහෙන කැමතියි. Eruh සහ Chinese flute ඒවත් එහෙමයි.

    East Asian මියුසික් අපි වැඩිය අතපත ගාපු එකක් නෙවේ. මං හිතන්නේ රංග දසනායකගේ සින්දුවක මට ඒක පාරක් ඇහිලා තියෙනවා ජැපනීස් කලර් එකක්.

    තායිවානයේ මේ U-Ia-Hue 雨夜花 ගීතිය මං කැමතිම එකක්. ඒක තායිවානයේ ජාතික ගීය වගේ ඇහෙනවා හැම තැනම. https://www.youtube.com/watch?v=_rNdfooPYYY

    Sakamoto Ryuichi, Japanese Story එකට හදපු ඔකිනාවන් ට්‍රැක් ඒක East Asian මියුසික් වල එක අග්‍ර ෆ්ලයක් කියල මං හිතන්නේ. https://www.youtube.com/watch?v=P0PE2wM903A ඕක මං ලැබ් එකේ ඉන්නකොටත් දාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. චීන සංගීතය ගැන මට ඒ තරම් දැනුමක් නැහැ. කිටාරෝ සංගීතය, බටනලා වාදන නම් රස විඳිනවා නිස්කලංක වෙලාවල.

      ස්තුතියි මේ සටහනට, අර තායිවාන් ගීතයය්, ජපන් සංගීතයයි ලස්සනයි.

      මං කැමති ජපන් ගීතයක් මේ...

      https://www.youtube.com/watch?v=HQtFsu3G9f0

      Delete
    2. මේ ඌද? කෙන්යූෂා ?
      හිසෂිබුරි.
      - නිප්පොන් ඇනෝ

      Delete
    3. අපිටත් ඉතින් ඔය දැනුමක් තිබිල නෙවේ ඉතින්....කනට ඇහෙන විදියට තමයි ඉතින් :D

      ඒක බලන්න බෑ බ්ලොක් කරලා මෙහෙ.

      මේක බලන්නකෝ වෙලාවක....... Erhu නම් මේක තමයි මට

      https://www.youtube.com/watch?v=VjvqOf6T_R4
      Guzheng නම් මේක ලස්සයි වගේ නේ ?

      https://www.youtube.com/watch?v=K-v1DrB9xVA&t=321s


      U-Ea-Hue and ඔයා එවපු Nada Sou Sou ඔය සින්දු එකම ස්ටේජ් එකක............ රීමි චං පට්ට ලස්සනයි එකේ නම් හෑ.....

      https://www.youtube.com/watch?v=1sZy6dc708Q

      නැද්ද නිප්පොන් ඇනෝ ඔනී සං ???

      ඔව් ඔව් ඌ තමයි .... නේ අපිත් ඉතින් ඉන්න එපැයි පුළු-පුළුවන් විදියට නේ !!

      Delete
  4. හරි ලස්සනයි අක්කේ මේ දාලා තියෙන වාදන ටික.

    ඔය වයලින් ගහන අයගේ බෙල්ල රිදෙන්නේ නැතිද කියන එක මට තියෙන අමතර ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. අප්පේ මේ කොල්ලට තියෙන ප්‍රශ්න... එදා වැඩසටහනට කළණි අරන් අැවිත් තිබුණ වයලීන් එක එයාටත් වඩා අවුරුද්දක් වැඩිමල්ලු. වයලීන් එක 55... ඒක ස්ටැන්ලි පීරිස් ළඟ තිබිල තියෙන්නෙ. කළණීට දීල තියෙන්නෙ ‘‘මේක දෙන්න සුදුසුම කෙනා ඔයා‘‘ කියල. රු. 750 කටලු ගත්තෙ. ඒකත් රු 10 ගාණෙ සැරින් සැරේලු ගෙව්වෙ...

      Delete
  5. 70 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාදක මඬුල්ලේ හිටිය ප්‍රවීණ වයලීන් වාදකයින් තිදෙනෙක්, ඩී.ඩී.ගුණසේන, කළණි පෙරේරා සහ තිස්සසිරි පෙරේරා...

    1982 දි රූපවාහිනිය ඇරඹීමත් සමඟම ඔවුන් තම අනුපමේය හැකියාව රූපවාහිනියටත් ලබා දුන්නා. ඊට කලින් වාදනය විතරක් අහල තිබ්බ ඒ සැබෑ දක්ෂයින්ගෙ ස්වරූපය අපිට මුලින්ම දැකබලා ගන්ට ලැබුනෙ ඊට පස්සෙ....

    ReplyDelete
  6. හෙහ්..තව එකක් අමතකම උනා.රූපවාහිනියෙ දකින්ට කලින් මම හිතාගෙන හිටියෙ කළණි පෙරේරා කියන්නෙ ගෑණු ළමෙක්ය කියල..

    ඉස්සෙල්ලම රූපවාහිනියෙ ඔය මොකක්ද වැඩ සටහනකදි "මෙන්න හඳුනාගන්න අද වාද්‍ය වෘන්දය..." කියල එක එක්කෙනාගෙ සමීප රූප අරගෙන නම් කිව්ව.

    "වයලීනය...... කළණි පෙරේරා" කියල මෙන්න තඩි රැවුලෙක් පෙන්නුවම මම අඤ්ඤ කොරොස් උනේ නැද්ද? ඇයි මම සැදී පැහැදී හිටියෙ සුකුමාලස් ලලනාස් කෙනෙක් බලන්ට නෙව...:)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...