Tuesday, August 7, 2018

තුන්දෙනෙකු ගැන කතාවක් පමණක්මද?




 ‘‘තුන්දෙනෙක්‘‘ නිමාවේ අඳුරු ගන්වා තිබූ ශාලාව විදුලි පහන් එකිනෙක දල්වාලද්දී පවා මා උන්නේ සාංකාවෙනි. ඒ මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී Her, Him The other සිනමා පටය තිරගත වූ සැඳෑවය. ඒ රූප රාමු එකින් එක ඇස් ඉදිරියේ ගලා යද්දී සැබෑ මිනිස් මුහුණු සිය ගණනක් මා සිතේ පෙළගැසෙමින් තිබිණි. 

අතීතයේ දවසක මට්ටක්කුලියේ හමු වූ මඩකලපුවේ වැන්දඹු අම්මලාද, ළක්‍රිවී වැඩවලට ආ මන්නාරමේ, වව්නියාවේ නෙදන්කර්නි, යාපනේ තරුණ තරුණියන් සහ දූ දරුවන්ද, කයිට්ස් දූ දරුවන්ද, වලෙයිපාඩු තරුණ පිරිසද, ආනවිළුන්දාන් වැන්දඹු අම්මලා සහ දරුවන්ද, කේපාපිලව් හමුදා කඳවුර ඉදිරිපිට කූඩාරම් ගසාගෙන තම ඉඩම් හිමිකම ඉල්ලා සිටින මිනිසුන්ද, තේ වතුවල හමු වූ දිළිඳු අසරණ මිනිසුන්ද... ඒ මුහුණු මේ රටේ අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායකින් මට හමුවූ සිය ගණනක් පමණි.

ඒ ඇස් - මා ඇස්, ඉස්, මස් කළඹමින් තිබිණි. නිමාවූයේ තුන්දෙනෙකුගේ කතාවක් පමණක් නොවන බව හොඳින්ම දනිමි. එය අතීතයේ කතාවක් පමණක්ද නොවේ. වර්තමාන කතාවද, අනාගත කතාවද එයම වන බව සිතන්නට සිදුවීමත් වේදනාවකි. අප මහන්සි විය යුත්තේ ඒ කතාව වෙනස් කරන්නටය. වෛරයේ, ද්වේශයේ, ආත්මාර්ථයේ කතාව වෙනුවට එකිනෙකා තේරුම්ගැනීමේ, පිළිගැනීමේ ආදරයේ කතාවක් බවට පත්වීමටය. 

‘‘අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ...‘‘

‘‘අපට කියන්න කතා සියදාස් ගාණක් තියෙනවා. අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ‘‘ කියා පළමුව දිගහැරුණු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඇය‘ කතාවේ කේසා හඳගමට කියද්දී එවන් කතා කොතරම් නම් මා ඇසුවේදැයි සිහිපත් විණි. ‘‘අපි උන්නෙ දෙමටගොඩ සමන්තා එක ළඟ. තාමත් අපේ අය ඒ අහළ ඇති. දුවේ හොයල බලනවද?‘‘ ආනවිළුන්දාන් බලාපොරොත්තුවේ නිවහනේ වැන්දඹු අම්මලා 107 දෙනෙකුගෙන් ඒ කතාව කීවේ එක අම්මා කෙනෙකි. ඒත් එදා මට ඇයට හරිහමන් පිළිතුරක් දෙන්නට ඉඩක් නොලැබිණි. ඒ වේදනාව තාමත් මා පාරවයි. මෙවන් ගමන්වලදී හමුවුණු බොහෝ වියපත් අම්මාවරුන් කී කතාවල මහා පොදු සාධකයක් තිබිණි. ඒ 83 කලබල හමුවේ දකුණේ කොහේ හෝ තැනකින් ඔවුන් උතුරුකරයට පිටුවහල් කර දැමූ බවකි.  

ඒ අම්මලාට වගේම සෑම දමිළයකුටම කියන්නට කතාවක් ඇති බව නිසැකය. ගැටලුව ඇත්තේ ඒවා අසන්නට අප සූදානම්ද යන්නය. ඔවුනට කියන්නට ඇති කතාවලින් නවකතා, කෙටිකතා, කවි සිය දහස් ගණනක් ලියනු හැකි. චිත්‍රපට සියදහස් ගණනක් තනනු හැකි. නමුත් එය තේරුම් ගන්නට අපට හැකි වනු ඇත්ද? අප ඒ කතාව තේරුම් ගනු ඇත්ද? ඔවුන්ගේ කතාව කියන්නට ඉඩ සාදාදීම අපගේ වගකීමකි. යුතුකමකි. එය පිළිගන්නට, දරාගන්නට, තේරුම් ගන්නට අපේ හදවත් විවෘත කරගත යුතුය. ඒ වගේම අපේ කතාවත් ඔවුන් හා බෙදා හදා ගත යුතුය. දේශපාලකයන් ලංසු තබන්නේ ඔවුන්ගේ අසරණ ජීවිත පමණක්ම නොවන බව අපේ කතාවලින් ඔවුන්ටද වැටහෙනු ඇත. ඉදින් අප එක්ව කළ යුතු අරගලයක් මිස බෙදී වෙන්ව ඇණකොටා ගැනීමෙන් සිදුවන සෙතක් නැති බව ඔවුන්ද, අපද වටහා ගත යුතුව ඇත. 

‘‘ඔයාල ආයෙම එන්න. බලන්න යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක් ගත වෙලත් මේ අම්මලගෙ ඇස්වලින් තාමත් කඳුළු ගලන හැටි. ආධාර අරන් එනවට වඩා වැදගත් මේ විදියට ඇවිත් හැම අම්ම කෙනෙක් එක්කම කතා කරන එක. මේ මිනිස්සුන්ගෙ පපුවල කොයි තරම් දුක් කන්දක් හිර වෙලා තියෙනවද? ඒවට ඇහුම්කන් දෙන්න, කතා කරන්න, හිත් සුවපත් කරන්න.. ඒක තමයි වැදගත්ම දේ... නැවත එන්නැයි අපට ඇරයුම් කළේ ඒ නිවහනේ බලාපොරොත්තු දල්වන්නාවූ පැවිදි සොයුරියයි. ඒ 2014 වසරේ අත්දැකීමකි.

‘‘එළාර කියන්නෙ නරක වචනයක්‘‘

විමුක්ති ජයසුන්දරගේ ‘‘ඔහු‘‘ කතාවේ තමන්ගේ පෙර ආත්මය කතා කරන දරුවා ලාංකේය සිංහල බෞද්ධ උත්තමවාදයට පතිතකරන්නේ දරුණු අකුණු පහරක් නොවේද? සිංහල බෞද්ධ මවක කුසින් උපත ලදද ඔහු කතා කරන පෙරභවය උතුරේ සන්නද්ධ අරගලයට එක් වූ තරුණයකු ගැන කතාවකි. අපි මරාගන්නේ ජාතිය, ආගම ඉස්සර කරගනිමිනි. නමුත් ඇත්තටම ධාර්මිකව ජීවිතය දෙස බලන්නේ නම් එකිනෙකා සහෝදරත්වයෙන් වැළඳගනු මිස මරාගන්නට ඉඩක් ඇත්ද?

ජාතිය ගැන වගක් නැති දෙමළ බස කතා කරන සිංහල දරුවන් කල්පිටියේදීත්, එළුවන්කුලමේදීත් මට හමු වී ඇත. ඔවුන් සිංහලය. නමුත් ගයන්නේ දෙමළ ගීතය. කතා කරන්නේ දෙමළෙනි. චිත්‍රපටය තුළ සිටින සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්නට කල්පිටියට යන තරුණ සිංහල ගුරුවරයාට අග මුල පටලැවෙන්නේ එබැවිනි. කොතරම් මනුස්සකමින් පිරුණු හදක් තිබුණද උගන්වන්නට සිදුවන්නේ දෙමළුන්, මුස්ලිමුන් නැති ඉතිහාසයකි. සාහිත්‍යයකි. ‘එළාර‘ නරක වචනයකැයි කියා ඔහුට කෑ ගාන්නට සිදුවන්නේ එබැවිනි. ඔඩු දුවා වණ වූ මේ වාර්ගික තුවාලය හදන්නටත්, එය සුවපත් වන මං වසා දමන්නටත් අපගේ අධ්‍යාපන රටාව කොතරම් බලපෑමක් සිදුකර ඇත්ද?

‘‘අපි උපන්දා ඉඳල එක ගෙයි උන්න සහෝදරයො වගේ. ඔයාල ඒ තමන්ගෙ සහෝදරයා එක්ක එක බිම බෙදාගන්න බෑ කියල ඒ සහෝදරයට ගහල, මරල නැති කරල දැම්මා. අපි දැන් නැත්තටම නැති වෙලා ඉවරයි. අපට තවත් නැතිවෙන්න දෙයක් නෑ. ඒත් ඔයාල මේ දෙමලව නැති කරල බේරගත්ත රට දැන් චීන්නුන්ට සින්නක්කර විකුණද්දි බලාඉන්නෙ කොහොමද? වරාය නගරය හදන්න රට මැද මහ ගල් පර්වත කඩනවා. රට වටේ මුහුදු වෙරළ හෝටල්වලට විකුණනවා. දූපත් බදු දෙනවා. පරිසරය විනාශ කරනවා. දෙමළට ගහල බේරගත්ත රට මේ විදියට විනාශ වෙලා යද්දි ඔයාල මොනවත්ම නොකරන්නෙ ඇයි?‘‘

දිනක් අපෙන් එලෙස ඇසුයේ උතුරුකරයේ දමිළ පියතුමෙකි. අපට කට උත්තර නැති විය.

‘‘ඔයාල තේරුම් ගන්නවනම් මගේ වයස තරම් දිගට ඇදෙන යුද්දයක් ඇතිවෙයිද?‘‘

අම්මලාට දරුවන් අහිමි වීම, දරුවන්ට දෙමව්පියන් අහිමිවීම තරම් අහිමිවීමක් තවත් ඇත්ද? හඳගමගේ ‘‘අනෙකා‘‘ අපෙන් විමසනුයේ අම්මා කෙනෙකුගේ ඇස්වලින් ගලා යන කඳුළුවලට අපි අරුතක් එක්කරන්නේ කවදාද යන්නයි. අතුරුදන් වූ තම පුතා සොයා කොළඹට එන අම්මාත්, සැමියා පිළිබඳ සත්‍යය සොයා එන වැන්දඹු තරුණ කාන්තාවත් අගනුවරදී මුහුණ දෙන අත්දැකීම් අප තේරුම් ගන්නේ කෙසේද? අපට ඇත්තේ මළ මිනී ගණන් කර, ඉලක්කම් සන්සන්දනය කර සතුටු වූ අතීතයකි. කැබිතිගොල්ලෑව, බුත්තල, කොළඹ බස් බෝම්බ ගැන කතා කරන අපට එවැනි බෝම්බ සිය ගණනක්, උණ්ඩ දසදහස් ගණනක් එකදිනකදී උතුරට වැටුණු  බව අමතක වේ. අහිමි වීම උතුරට වුවද, දකුණට වුවද වේදනාව එකමය. අප ඒ වේදනාවට සංවේදීවන්නේ කවදාද? 

‘‘අපිට අපේ දරුවො ඉන්නවද? නැද්ද කියල විතරක් කියන්න. ඉන්නවනම් එක පාරක් අපට බලන්න දෙන්න.‘‘ උතුරෙන් ආ අම්මා කෙනෙකු දරුවකුගේ පින්තූරයක් අත තියාගෙන කඳුළු පුරවන් කී කතාව අදත් මා පාරවයි. වව්නියාවේ අට්ටාලයක නැගී අතුරුදහන් වූ තම ආදරණීයයන් ඉල්ලා සත්‍යග්‍රහයක උන් පිරිස අතර එක් අම්මා කෙනෙකි. ඒ අම්මා අත වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයා පාසල් දැරියන් පිරිසක් වට කොටගෙන ඉන්නා ඡායාරූපයකි. එහි ඉන්නා දැරිය තමාගේම යැයි ඇය පවසයි. නමුත් එය එසේ නම් දැරිය සොයා දෙන්නට හෝ ඒ ඇය නොවන බව තහවුරු කොට ඇගේ හිත හදන්නට හෝ කාටවත්ම උවමනාවක් නැත. අදටත් ඇගේ ප්‍රශ්නය විසඳුණාදැයි මම නොදනිමි. 

අම්මලා තරම් උහුළන පිරිසක් තවත් ඇත්ද? අසූ අට, අසූනවයෙ මරාදැමුණූ දූ පුතුන් කාටත් අමතකව යන පසුබිමක අම්මලා තාමත් හඬා වැළපෙති. උතුරු නැගෙනහිරද එසේමය. අම්මලාගේ ඇස්වල ඇත්තේ කවදාවත් නොසිඳෙන කඳුළු උල්පත්ය. දකුණය, උතුරය කියා එහි වෙනසක් නැත. අදත් ඔවුන් තම දරුවන් සොයමින්, ඉල්ලමින් රට වටේ ඇවිදින්නේ එබැවිනි. හඳගමගේ චිත්‍රපටයේ අතුරුදහන් වූ තම පුතා සොයා යන අම්මා වැනි අම්මාවරුන් සැබවින්ම මට හමු වී ඇත. තවමත් ඒ අම්මලා අට්ටාල මත නැග උපවාස කරති. කියනා කියනා පමාවට කොළඹ දිව එති. කොටුව දුම්රියපළ ඉදිරිපිට බැනර් අල්ලාගෙන වාඩි වී හිඳිති. සියල්ල අත්හැරී ගියද සිය දරුවන් දෑහින් දකිනා බලාපොරොත්තුව අත්හැර ගන්නට අම්මලාට නොහැකිය. යුද්දය පිරිමින්ට ආඩම්බරයකි. නමුත් ගැහැනුන්ට සහ දරුවන්ට එය වධ බන්ධනයක්, දරුණු වධ ගාවිනාවක් වන්නේ එලෙසිනි.  

‘‘ඇය, ඔහු සහ අනෙකා‘‘ ගේ කතාව අපි නැරඹිය යුත්තේ හඳගම කියන්නාක් මෙන් අපේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන හඳුනාගැනීමටය. යුද උන්මාදය, ජාතිවාදය විසින් කප්පාදු කර දැමූ සංවේදී නහර පුබුදුවා ගැනීමට නම් අප ඔවුන්ගේ කතාව ඇසිය යුතුය. දැකිය යුතුය. ‘‘අනෙකා‘‘හි වැන්දඹු තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුගේ දුරකථන ඇමතුම නොසලකා හැරියා සේ ඉතා රළු ලෙස දමිළ සමාජයෙන් අප නොතකා හරින අවස්ථාද ඇත. 

මම එවැනි අත්දැකීම්වලටද මුහුණ දී ඇත්තෙමි.  ඔවුන් විඳ ඇති දුක්වේදනා දකින විට පුදුම විය යුත්තේ එසේ නොවන්නේ නම් පමණකැයි මම සිතමි. නිදහස, අභිමානය, ආරක්ෂාව, ජීවන අපේක්ෂාවන් බිඳී වැනසී යෑමේ ඛේදනීය විලාපය විටෙක වියළි බවින්ද, තවවත් විටක මුරණ්ඩුබවකින්ද, ද්වේශයකින්ද, තවත් විටක තෙතබරිත බවින්ද ඒ මුහුණු මත ඇඳී ඇත.  එබඳු අවස්ථාවල සමාව ඉල්ලන්නටද, ආදරෙන් වැළඳගන්නටද නොපැකිළෙමි. නමුත් බොහෝවර මට හමු වී ඇත්තේ සාමය සහ නිදහස වෙනුවෙන් දෑත් දිගුකරන අපේක්ෂාවෙන් පිරුණු ආදරවන්ත මුහුණුය. 

හදවත් විවෘත කිරීමේ යතුර ඇත්තේ තේරුම් ගැනීම තුළය. ආදරය තුළය. ඉනික්බිතිව අපට බොහෝ දේ කළ හැකිය. නමුත් අනතුර ඇත්තේ අපගේ ආදරයේ බලයට වඩා මේ සමාජය වෙළා පවත්නා බල තණ්හාවේ සහ අන්තවාදයේ බලය ප්‍රබල වීම තුළය. සැබවින්ම මනුෂ්‍යත්වය ඇත්තේ බරපතල අනතුරකය. ඒ අනතුර අපට සම්මුඛ වන මොහොත මෙම තුන් ඈඳුතු කතා අපට සිහිපත් කර දෙයි.



8 comments:

  1. දෙමළට ගහල - බේරගත්ත
    ලෝකේ උතුම් රට
    චීන ණයට - හිලව් වෙන්න
    විකිනෙනවා රට
    ධර්මිෂ්ට සමාජයකට
    රැවටුන මේ රට
    යහපාලන මර උගුලේ
    යලි ගිලුනයි රට

    ReplyDelete
  2. බලන්න තියනවනම් හොඳයි අපටත්.

    ReplyDelete
    Replies
    1. අයියලටත් පුළුවන් වෙයිනෙ දර්ශනවාරයක් ලෑස්ති කරගන්න.

      Delete
  3. කොහෙද මේ ෆිල්ම් එක පෙන්නන්නෙ? ඔබේ ලිපිය මට අමතකව තිබූ අතීතයක් මතක් කලා. ඊගාවට කට්ටකාඩුවට එය ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. හැම මාසෙම අන්තිම ඉරිදා හවස 4.00 ට මීගමුව මාරිස්ටෙලා කොලේජ් එකේ සිනමා දැක්මක් තියෙනවා. මේ ෆිල්ම් එක බලන්න ලැබුණෙ එතැනදි... මං හිතන්නෙ මේක රට පුරා දර්ශන වාර, සාකච්ඡා වරින් වර තියෙනවා.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...