Thursday, May 16, 2019

කදිරගෙ තාච්චිය



අන්තර්ජාලයෙනි.

කදිර කියද්දි කට්ටියට මතක් වෙනවා ඇත්තෙ මුවන්පැලැස්සෙ කදිරව. පුංචි කාලෙ මුවන්පැලැස්ස අහද්දි මමත් කදිර කියල හිතින් මවා ගත්තෙ කදිරව තමයි. කදිරා කිව්වෙ ඇත්ත කදිරා. අපේ ගමේ උන්නු කදිරා.

කදිර කළේ පොල් කඩන රස්සාව. ගස් නැගල නෙවෙයි. අර දිග උණ කෙකිවලින්. කදිරත් උණ කෙක්කක් තරම් උස, මාර ගහක් වගේ සද්දන්ත මනුස්සයෙක්. උණ කෙකි දෙකක් උරිස්සේ තියාගන ගාණට බැලන්ස් කරගෙන පාරෙ යන කදිරා ඒ කාලෙ සුලබ දසුනක්. මං මේ ඒ කාලෙ කියන්නෙ අසූ ගණන්වල. මං එතකොට පුංචියි.

අපිට ඒ කාලෙ කඩයක් තිබුණා. කඩයක් කිව්වට ඒක මේ ගෙට ඉස්සරහින් පැළැල්ලක් අමට්ටලා හදපු පොඩි සිල්ලර කඩයක්. සීනි සීය කඩදහි ගොට්ටට කිරල, ගෝණි නූලෙන් බැඳල දෙන කාලෙ. රුපියල් දෙකකට තේ කුඩු ගොට්ට අරන් යන, සන්ලයිට්, ලයිෆ්බෝයි  නූලෙන් කපල බාග සබන් අරන් යන කාලෙ. අපිට නම් සත දහයට නාරං බික් ගන්නත්  පුළුවන් වුණා.

පොල් කඩපුවාම සන්තෝසම් විදියට ලැබෙන පොල් ගෙඩි, තීරු කරපු ලෙලි කෙන්දෙන් ජෝඩු ජෝඩු වෙන්න ගැටගහල උණ කෙක්කට දාගෙන එන කදිරා ඒ ටික අතාරින්නෙ අපේ කඩේ ඉස්සරහින්. පොල් ටික හොළවල බලල ඒව පොල් ගොඩට දාන්නෙ තාත්තා හරි අම්ම හරි.

පොල් සල්ලිවලින් බීඩියක් අරන් පත්තුකරන්, තවත් බීඩි මිටියක් ඉණේ සරම් මඩිස්සලේ ගහන් ඕපදූපත් කතා කර කර ඉඳල තමයි කදිර යන්නෙ. ඒ යන්නෙත් ගෙදර නෙවෙයි, කසිප්පු තිප්පලට. ඉන්පස්සෙ ගෙදර. බෙග් මාස්ටර්ගෙ බුදු ගුණ ගීයක් කියාගෙන ගෙදර යන කොට උණ කෙකි කරේ නෑ. ඒව ඉතින් කොහේ කොහේ හරි. පහුවදාට තමයි හොයාගන්නෙ.

කදිරා සමහරදාට තැඹිලි හරි කුරුම්බා හරි අරන් එනවා. ඒව දෙන්නෙ නොමිලේ. ‘‘ආ මෙන්න බබාලට කුරුම්බා ගෙනාවා‘‘ ඒ බබාල කිව්වෙ අපිට. ඉණේ ගහන් ඉන්න කෙකි පිහිය ඇදල කුරුම්බා කපල දෙන්නෙත් කදිරමයි. කුරුම්බා ලෙල්ලෙන් පැත්තක් ගහල හැන්දක් හදල අතට දීලා, ගෙඩිය දෙකට පලල ළොඳ කන්න අපි ඉදිරියෙන් තියන්නෙත් කදිරමයි. ඒ කොච්චර කොහොම වුණත් අපි කදිරට බයයි.

..............

මේක කදිර ගැන කතාවක් නෙවෙයි. වෙන කතාවක්.

කදිරල උන්නු පොල් අතු ගෙවල් ටික තිබුණෙ වෙල් යායෙන් මෙපිට. වෙලෙන් එහා පැත්තෙ තිබුණෙ විශාල පොල් වත්තක්. ඒකෙ පොල් කඩන්නත් කදිරල යනවා. ඒ පොල් වත්ත අයිතිව තිබුණෙ දෙමළ මුදලාලි කෙනෙකුට. මට නම මතක නෑ. අපි සුබ්‍රමනියම් කියමුකො. එයාට ටවුමෙ කඩත් තිබුණලු. හොඳ මනුස්සයෙක්ලු. වට පිටාවෙ හිටිය සිංහල මිනිස්සු ගොඩක් ඒ පොල් වත්තෙ වැඩ කළාලු. කදිරල නීත්‍යනුකූලව පොල් කඩනව වගේම හොරාට වෙල මායිමේ තියෙන ගස්වලට නැගල හොර පොලුත් කඩනවලු. එහෙම දවසට පොල් ගේන්නෙ රෑට ගෝනියක දාගෙන.

‘‘මොකෝ ඉතින් මේවයෙ ගහල තියෙනවද හොර පොල් කියල.‘‘ අම්ම සැරට කියන්නෙ පොල් ගෝනි කඩේ මිදුලට ආ දාට.

අසූතුනේ ලොකු කලබලයක් වුණානෙ ලංකාව පුරාම. ඒ කලබල ගතිය මටත් යාම්තමට වගේ මතකයි. ඇඳිරි නීතිය කියන වචනෙ මං මුලින්ම ඇහුවෙ ඒ දවස්වල. ඇඳිරි නීතිය දැම්මා කිව්වම මං බැලුවා ඇයි කළුවර වුණේ නැත්තෙ කියල. මං හිතුවෙ ඇඳිරි නීතිය කියද්දිම රෑ වෙලා වගේ කළුවර වැටෙයි කියල. ඇත්තටම නම් රටම කට්ට කළුවරක ගිලිලා තිබුණා. ඒක කොච්චර ගණ කළුවරක්ද කියල මං තේරුම් ගත්තෙ ඊටත් ගොඩක් පස්සෙ කාලෙක.

දවසක් රෑ වෙල් යායෙන් එහා පොල්වත්ත මැද ලොකු ගිනි ජාලාවක් පෙනුණා. අපේ ගෙදර අයත් මිදුලට බැහැල බලන් උන්නා.

‘‘දෙමළ වුණාට සුබ්‍රමනියම් මුදලාලි හිත හොඳ මිනිහා. පව්.‘‘

‘‘ඇඳිරි නීතියත් දාලා තියෙද්දි කවුද අප්පා මේ අපරාධ කරන්නෙ.‘‘

‘‘ටවුමෙ කඩ කඩල තියෙන්නෙ පොලිසියත් ඉන්දැද්දිමනෙ.‘‘

එක එක කතා.

‘‘ඒ ගිනිගන්නෙ වත්තෙ බංගලාව ද අම්මෙ?‘‘ මං ඇහුවා.

‘‘යන්ඩ යන්ඩ ගිහින් නිදාගන්න. පොඩි ළමයින්ට ඕන නෑ මේවා. ‘‘ අම්මා කෑ ගැහුවා. අපි ගෙට වුණා. නින්ද ගියාද නැත්ද මන්දා.

රෑ මැද කවුදෝ දොරට ගහනව ඇහුණා. හෙමිහිට දොර ඇරුණා. කසුකුසුවක්. ආයෙමත් මට නින්ද යන්න ඇති.

By Nayanahari Abenayake - 2014 Aluthgama

‘‘මේ හොඳ නොන්ස්ටික් සාස්පානක්.‘‘ උදේ මං කුස්සියට යද්දි  අම්මා අන්ඩ තියෙන අලුත් තාච්චියක් කරකව කරකවා හිටිය මල් මල් හිනාවකින්. තාත්තගෙ මූණ නොරිස්සුමින් කළුවෙලා.

‘‘මං කිව්වා ඕක ගන්ඩ එපා කියල. ගින්දර‘‘ තාත්තා  පුටුවත් පස්සට තල්ලු කරල නැගිට්ටා. කඩේ ඇරලත් නෑ. දෙන්නම උන්නෙ කුස්සියෙ. තාම ඇඳිරී නීතියලු. කඩේ අරින්නෙත් නැහැලු.

‘‘කදිර කිව්වෙ කීයක් හරි කමක් නෑ දෙන්න කියලනෙ. අනික ඉතින් මං ගියායැ ගෙවල් කඩන්න.‘‘

අම්මාත් මූණ පුලුටු කරන් ඇතුළු කුස්සියට වැදුණා.

ඒ සාස්පාන ඊට පස්සෙ බොහෝ කාලයක් තාච්චියක අඩුව පිරිමහිමින් අපේ දර ලිප්වල දුම් ගැහි ගැහී බිත්තර බැද්දා. කරවල තෙල් දැම්මා.

අර පොල් වත්ත සිංහල මුදලාලි කෙනෙක් අරන් තිබුණා. කුණුකොල්ලෙට කියල තමයි මිනිස්සු කිව්වෙ. සුබ්‍රමනියම් මුදලාලි පවුල පිටින්ම ඉන්දියාවට ගියාලු. දැන් ඒ පොල් වත්ත නෑ. තියෙන්නෙ ‘සිරිපුර‘. කෑලි කෑලි කඩල විකුණපු සිරිපුරක්...

By Nayanahai Abenayake - 2014 Aluthgama

දැන් කිව්වෙ මේ 2019ට. මාත් ගමේ නෑ. ඉන්නෙ ස්විස්ටර්ලන්තෙ.

පාස්කු ඉරිදා බෝම්බ පිපුරුණා කියද්දි මගෙ හිතත් පිපුරුණා දැන් මං පල්ලි යන්නෙ නැති වුණත්, හිත පත්තුවුණා. ස්විස්ටර්ලන්තෙ උන්නත් ඉතින් තාම හිතේ සිංහල අස්කොන් තියෙනවනෙ. බෝම්බෙ පිපිරිලත් දවස් ගාණකට පස්සෙ ටවුමෙ මුස්ලිම් කඩවලට ගැහුව කියද්දි මට මතක් වුනේ සුබ්‍රමනියම් මුදලාලිව.

‘‘ඔච්චර දේපළක් තිබුණ මිනිස්සු, දන්න කියන කාලෙ ඉඳල උන්නු ටවුම. ඒත් අන්තිමේ ඒ මිනිස්සුන්ට ඇඳිවත පිටින් ඉන්දියාවට යන්න උණේ.‘‘

කොටුවෙ බෝම්බෙට අහුවුණු මහප්පව බලල ගෙදර ආපු දවසක තාත්තා කියපු දිග කතාවක් ඇතුළෙ සුබ්‍රමනියම් මුදලාලිත් උන්නා.  සුබ්‍රමනියම් මුදලාලිගෙ ගේ කැඩුවෙ, ගිනි තිව්වෙ කදිරල ද? සමහරවිට නැතුව ඇති. පිටින් ආව අය වෙන්න ඇති. ඒත් කදිරල ඒ ගේ කොල්ල කෑවා. සමහරවිට ගේ කැඩුවෙත්, ගිනි තිබ්බෙත් උන්ම වෙන්න ඇති. තාමත් මගෙ හිතේ නොවිසඳුණු ගැටලුවක්.

අපේ ගමේ මුස්ලිම් කවුරුත් නෑ. ඒ හින්දා කවුරුත් ගුටිකන්න නැතුවැති. ගහන්න අයත් නෑ. දැන් කදිරලත් මැරිලනෙ. තාත්තා කළින්ම මැරුණු එක හොඳයි මේව නොදකින්න. නැත්නම් එයා හාට් ඇටෑක් හදාගන්නවා. ඒ තරම් කැක්කුමක්නෙ තිබුණෙ දෙමළ, මුස්ලිම්  මිනිස්සු ගැන. ඒ දවස්වල අපේ කඩේට බඩු ගත්ත කඩ වැඩිහරියක් මුස්ලිම්. බයිසිකලේ පිටිපස්සෙ බැන්ද ලෑලි පෙට්ටිය පුරවල ගෙනාපු තරමක් බඩු ගෙනාවෙ ණයට.

අර තාච්චිය ! ඒක මට තාම මතකයි. අපේ ටවුමෙ මුස්ලිම් කඩවලට ගහල ගිනි තිව්වා කියද්දි මගේ හිත තාමත් ඒ තාච්චියට ඇලිල නේද කියල මට හිතුණා .

මාවිල්ආරුවෙ ඉඳන් ගහගෙන, ගහගෙන යද්දි වගේම, 2009 යුද්දෙ ඉවර වෙලා කිරිබත් දන්සැල් දෙද්දිත්, ඇමරිකාවෙ පෙන්ටගනයට ගැව්වමත්, ඇෆ්ගනිස්තානෙට සිරියාවට බෝම්බ දාද්දිත් මගේ හිත බිත්තරයක් වගේ අර තාච්චියෙ බැදෙනවා. බැදි බැදී පිච්චෙනවා.  

අවුරුදු ගාණකට පස්සෙ අගහිග බෝ වෙලා කඩෙත් වැහිලා අම්මා ඩුබායි යන්න සැලසුම් සකස් කර කර උන්නා. එතකොට මං පහවසරෙ. අසූ අටේ. සැරින් සැරේ ක‍ඩේ වහන්න වුණා කාලයක්ම. ණය පොත පිරිල, පිරිල ඒ වගේ පොත් දෙකතුනක්ම කඩේ ලාච්චුවෙ තිබුණා. අන්තිමට කඩ ලෑලි කවදාවත්ම නොඇරෙන තැනට ආවා. ඒකෙන් මුළු ගේ පුරාම මුළු දවසම මැකී නොයන අඳුරක් බෝ වෙලා තිබුණා.

අම්මගෙ රට ගමන ගැන තාත්තගෙ ඒ හැටි මනාපයක් තියෙන පාටක් පෙනුණෙ නෑ. ‘ගෑනු රට පටවල හම්බකරන් කන්න මට ඕන නෑ.‘ තාත්තා කිව්වෙ එහෙම. ‘හැමදාම මෙහෙම දුක් විඳින්න බෑ. අවුරුදු දෙකකට ගිහින් ආවනම් ඇති.‘ අම්මා කිව්වෙ එහෙම.

කන්න තිබුණු බත් පිඟානෙ අඩුවක් පුරවන්න මං උන්නෙ බිත්තරයක් බදින්න ලෑස්තියෙන්. අර තාච්චුවම තමයි ලිපේ තියල තිබුණෙ.

ලිප පත්තුකරන්න ගිනිකූර ගැහුව විතරයි ගිනි පෙට්ටියම මගෙ අතේ පත්තු වුණා. මං කෑ ගැහුවා. අම්මයි, තාත්තයි දෙන්නම දුවල ආවෙ තරඟෙට.

‘‘ආයෙමත් ඔය රට යන කතා ඕනෙ නෑ. පේනවනෙ කරගත්ත දේ‘‘ 

යක්ස කේන්ති ගිහින් උන්නු තාත්තා අර තාච්චිය අරන් මිදුලට විසි කරා.
එදා තාච්චියෙ අඬුව කැඩුණා. ඒක ආපහු කුස්සියට ආවෙ නෑ. ගිනි පෙට්ටියම අතේ ඇවිලිලා පිච්චුණු ඒ කැලල තාමත් මගෙ වම් අතේ තියෙනවා.

By Nayanahari Abenayake




7 comments:

  1. Is this for real? or fiction?

    ReplyDelete
  2. හම්මෝ මේ මොන ගින්දර තාච්චියකටද පපුවත් එක්ක පිච්චුනේ! අනේ ඒ දේවල් නොදැක්ක එක ගැන මම කොච්චර සතුටු වෙනවද. ලියමනේ තරම කියන්නේ මාව ඌයි වෙලා!

    ReplyDelete
  3. ආයෙමත් නම් ලේ හලන්න ඕනේ නැහැ.පොඩි ගිනිකූර තරු අක්කාගේ අත පුච්චලා දැම්මා එදා, ඒ පොඩි ගිනිකුරු ගොඩක් අද රටම ගිනි තියන්න අරගෙන දැන් ආයෙමත්.

    ReplyDelete
  4. ඉස්සර මහසෝනලා, රීරි යකාලා හිටියේ සොහොන් පිට්ටනිවල, වෙල් දෙණිවල, පාලු මන්ඩිවල. දැන් සොහොන් පිට්ටනි, වෙල් දෙණි, පාලු මන්ඩි නැතිම තරම්. යක්කු අලුත් වාසභවනවල් හොයාගෙන, මිනිස් හිත් ඇතුලේ!

    ReplyDelete
  5. අපිවත් තාච්චියෙ පිච්චන ඒ කරගද දැනෙන ලියමනක්!
    ඉතින් අපි තවතවත් පිච්චෙන්න ඕනද?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...