Sunday, June 24, 2018

ඇඳී මැකී යයි රිදී රේඛා...



‘‘ආහ්...‘‘ තවමත් ළය පෙදෙසින් හීන් රිදුමක් පොළා පනිනවා. දකුණු ඇලයට හැරී උන් උත්තරා වම් ඇලයට හැරුණෙ පපුවට අතක් තියාගෙනමයි.

හාත්පස වැහි අන්ධකාර පොරෝනයෙන් එතිලා තිබුණෙ... ඒ අතර ඈත ගුවන් පාලමේ රිය පහන් එළි අදුර කපාගෙන පහළට ඇදෙනු දැනුණා. ඒ ආලෝක රේඛා අළු අහසේ ක්ෂණික රටා මවමින් මැකී ගියා. උත්තරා ඒ එළිය රේඛා වෙත අනිමිසලෝචනයෙන් බැඳිලා උන්නා ටික වෙලාවක්.
වැසුණු කවුළුවේ වීදුරු තිරය මත වැහි බිඳු හැපි හැපී දුක කියනවා... 

ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා. ඒ තෙත් රේඛා වීදුරු මීදුමේ මැව්වෙ එක එක රටා. ඒ හැම රටාවකම අමුතු පාළුවක් දැවටිලා තිබුණා. අතීතයේ දවසක රිය වීදුරුවක තෙත වැහි බිඳිති එක්කරමින් තමා ඇඳි චිත්‍රයක් ඇයට සිහිගැන්වුණා. පුළුල් අතක රැඳුණු සේද ලේන්සුවකින් ඒ සිත්තම එදා අසුරු සැනෙකින් එහෙ මෙහෙ වී මැකී ගියා. විහිළුවක් බව දැන දැනත් උත්තරාගෙ ඇස්වල කඳුළු පිරුණා. අදත් ඒ වගේ වීදුරු වැහි දිය සිත්තම බොඳ වුණා. අතකින්වත්, ලේන්සුවකින්වත් නෙවෙයි, එදා වාගේම කඳුළකින්...

‘‘හ්ම්... හ්ම්‘‘ ජංගමය ඇමතුමක ඉඟි පෑවා. උත්තරා  දුරකථනය ගෙන සවනට තියාගත්තෙ පුරුද්දට, කවුදැයි නොබලාම.

‘‘බෙහෙත් ගත්තද?‘‘ ඒ හඬේ කරුණාවක් දැවටිලා තිබුණා. උත්තරා සැනෙකින් දුරකථන තිරය ඇස් ඉස්සරහට ගත්තා. තිරය පුරා උන්නෙ ඔහු. එදා ඒ සිත්තම මකා දැමූ අතේ හිමිකාරයා. ඒ සුපුරුදු සිනාවෙන්ම. දුරකතන තිරයේ වගේම උත්තරාගෙ හිතෙනුත් කවදාවත් ඒ හිනාව මැකිල තිබුණෙ නැහැ.

‘‘හ්ම්‘‘

‘‘බෙහෙත් බිව්වද?‘‘

‘‘හ්ම්‘‘

‘‘දැන් කොහොමද?‘‘

‘‘හොඳයි.‘‘

‘‘බෝඩිමේද?‘‘

‘‘ඔව්‘‘

‘‘තාම පපුව රිදෙනවද?‘‘ 

‘‘හ්ම්‘‘

‘‘මං හැමදාම කියනවනෙ ලෙඩ තියන් ඉන්න එපා කියල. හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නල බෙහෙත් ගන්න කියල. කවදාවත් කියන දෙයක් අහනවද?‘‘ සුපුරුදු ආඥා ස්වරය... ‘කියනවා මිසක කවදාවත් මාව එක්කරගෙන ගියාද බෙහෙත් ටිකක් අරන් දෙන්න.‘ උත්තරා හිතුවා විතරයි ඇහුවෙ නැහැ.

‘‘දැන්වත් ඔය හිතුවක්කාරකම් පැත්තක තියල කාට හරි ආදරය කරන්න, බඳින්න. ගෑණියෙකුට තනියෙන් ඉන්න බෑ.‘‘

‘මොකෝ බැරි, මේ මං ඉන්නෙ.‘ උත්තරා එහෙම හිතුව විතරයි. වෙනද වගේ කැත්තට පොල්ලෙන් දමල ගහන්නැහේ එහෙම උත්තරයක් දීගන්න බැරි තරම් අසරණ ගතියක් උත්තරාට දැනුණා.

‘‘මං අද ඔය පැත්තෙන් යන්නෙ. දැන් රාගම කිට්ටුව.“

ආඥා ස්වරය ආයෙමත් සාමාන්‍ය වෙලා තිබුණා. ඒ සාමාන්‍ය ස්වරයේ වියළි ගතියට උත්තරාගෙ හිතත් මැළවිලා ගියා.

ඈ ගිලන් සයනයෙන් මිදිලා වීදුරු කවුළුව අහ පුටුවට වැටුණා. රිදුම් දෙන හිස කවුළුවේ ඔබා ගත්තා. වැහි බිඳු රටා විසාලනය වෙවී මැකිල ගිහින් ඈතින් ගුවන් පාලම ඇගේ ඇසට හසුවුණා. විදුළි එලි පෙරහැරක් මවමින් රිය පේළිය හෙමිහිට ඇදිල යනවා. ඒ හැම වාහනයක්ම එනකල් මඟ බලා ඉන්න ගෙයක් ඇති. කොයිමොහොතේ ගෙට ගොඩවෙනවද කියන හැඟීම ඒ වාහනවල යන හැමකෙනෙක්ගෙම හිතේ රැඳිල ඇති. අඹු දරුවො, අම්මල, තාත්තල කී දෙනෙක් නම් එයාල එනකල් බලන් ඉන්නවා ඇත්ද?   

‘‘දැන් කොයි හරියෙද?‘‘ දිගු නිහැඬියාව දරාගන්න බැරිම තැන ඇය ඇහුවා.

‘‘පාලම පටන් ගන්න තැන...‘‘

‘‘හ්ම්...‘‘ උත්තරා ගුවන් පාලමෙන් ඇහැ ගත්තෙ නැහැ. KS 8815 ඒ සුදු පාට මොටෝ රථය. ඕනම අන්ධකාරයක අඳුනගන්න තරම් උත්තරාගෙ හිතේ කෙටිලා තිබුණා. උත්තරා උත්තරාගෙ ආදරයට තරම්ම ඒ වාහනයටත් ආදරය කළා. ‘කතා කරන්න පුළුවන් නම් එයාට කෑ ගහල කියයි මං කොච්චර ආදරය කළාද? ඒ ආදරය නිසා කොච්චර දුක් වින්දද කියල.‘ උත්තරා හිතුවා.  

‘‘මට ඔයාව පේනවා‘‘ මොටෝ රිය ගුවන් පාලම හරි මැදට එද්දිම උත්තරාට කියවුණා.

‘‘ඒ කොහොමද?‘‘ ඔහු ඇහුවෙ සරදමට වගේ.

‘‘ඔයාව නෙවෙයි, කාර්රෙක... ඔයාට පිටිපස්සෙන් බයික් එකකුයි, වෑන් එකකුයි නේද තියෙන්නෙ...‘‘

‘‘හ්ම්‘‘ සුසුමක්!!! ඒ සුසුම එහෙම්මම ඇවිත් උත්තරාගෙ හිතේ පැටළුණා.

‘‘මාව බලල යන්න එනවද?‘‘ උත්තරා ඇහුවෙ නැහැ. සුපුරුදු ස්ත්‍රී අහංකාරය ඇයව ගොළු කරල දැම්මා. ඒත්, ඇවිත් යන්න ඒවි උත්තරාගෙ හිත කිව්වා.

‘‘ගෙදරින් කෝල් එකක් එනවා. මං තියන්නම්.‘‘ රිය ඇගේ දෑස් මානයෙන් මැකී යත්ම දුරකථනය මිමිණුවා.

‘‘හා‘‘ උත්තරාගෙ උත්තරේ සීතල වෙලා තිබුණා. ඇය හෙමිහිට ජංගමය ජනෙල් කණ්ඩියේ තැන්පත් කළා.

‘අපි ඈත් වෙලත් දැන් කාලයක් ගිහින් නේද? ඒත් තාමත් කතා කරන හැමවෙලාවකම මේ දැන් ඇස් ඉස්සරහ ඉන්නව වගේ දැනෙන්නෙ කොහොමද?‘උත්තරා හිතුවා.  

වැසුණු කවුළුවේ වීදුරු තිරය මත්තෙ වැහි බිඳු හැපි හැපී දුක කියනවා... ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා.

උත්තරා බොහෝ වේලාවක් ඒ දිහා බලන් උන්නා.



20 comments:

  1. මගෙ ජීවිතේටත් සමීප අත්දැකීමක්. එකම වෙනස මම අර කාර් එක ඇතුලේ හිදීමයි.මීට වඩා ඇමතුමේ අනිත් කෙලවර ගැන සැලකිලිමත් වෙන්නම්...ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඒ නම් සතුටු හිතෙන කමෙන්ට් එකක්

      Delete
  2. කැමතියි..දැනුණා..

    ReplyDelete
  3. ලස්සනයි තරු අක්කේ.කෙටිම කෙටි කෙටි කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      Delete
  4. ලස්ස්නයි..වෙන වචන හොයාගන්න බැරි තරම් හිත හිර වෙලා

    ReplyDelete
  5. උත්තරා ය කියුවට ප්‍රශ්ණ පත්තරයක්.. හ්ම්ම්...

    ReplyDelete
  6. උත්තරා කියපු ගමන් මම දැනගත්තා වෙන්න යන සන්තෑසිය.

    ඔන්න ඕක ඉක්මනින් ලියලා අහවරක් කරනවකෝ

    ReplyDelete
    Replies
    1. උත්තරාගෙ කතා ඉවර වෙන්ට නම් උත්තරාට මැරෙන්නම වෙනවා... මට මේ වගේ කතාවක් ලියද්දි වෙන නමක් දාන්ට හිතෙන්නෙ නෑ අනේ...

      Delete
    2. උත්තරාගේ කතා කියෝලා ඌය්යා වෙලා උන්නේ. ඒවාට ඉතින් උත්තරා මොනා කරන්නද? දාන්නකෝ මේ මගේ වගේ නමක්, බලන්නකෝ පන ගහල එන හැටි! හි හි හි

      Delete
    3. අනේ මන්දා කොහෙන් හොයාගන්නවද මේ නම්? ලිඛිතා මංජරී.... කාලෙකින් ලිව්වෙ නෑ නේද පිස්සු හැදෙන කතාවක්...

      Delete
    4. ඇයි මොකක් වෙලාද මේ නමට? ඒ නම තිබ්බේ රෝස පෙත්තක ලියලා , පරසතු උයනේ!

      පිස්සු හැදෙන කතා නේද? මැඩම් ඔය කියන්නේ මොන එකද දන්නේ නැහැ නේ?? මොකද මට පිස්සුය කියලා හිතාගෙන ලියන ඒවා මෙයාල කියනවනේ හැටිය කියල.

      Delete
  7. ඕවා එහොම තමයි. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මේ වගේ හැමදේම හිතේ තද කරන් හිටියනම් අද අපි පිස්සන් කොටුවේ

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...