Thursday, June 14, 2018

Bicycle Challenge - දුප්පත් අපගේ බයිසිකලේ...

මල් කූඩයක් සහිත බයිසිකලයක් අසල හිදිනා යුවතියක්... 



මූණුපොත කලින් කලට එක එක චැලේන්ජ් කරන්නේය. කොයි කවුරු චැලේන්ජ් කළත් සමහරවිට අහක බලාගෙන ඉන්නට සිදුවන්නේ කාලය පිළිබඳ ගැටලු නිසාම පමණක් නොවේ. කම්මැලිකමද නිසාය. නමුත් මේ බයිසිකල් චැලේන්ජ් එක දැක නොදැක්කා සේ ඉන්නට සිතුණේ නැත. මං කෝච්චිය තරමට ආදරය කරන තවත් වාහනයක් ඇත්නම් ඒ බයිසිකලයය. මගේ ජීවිතය හා බයිසිකලය අතර ඇති යාවජීව මිත්‍රත්වය නිසාම ඒ ගැන ලිවිය යුතුමයැයි කියා සිතුණි. චැලේන්ජුව දුන් ශෙනූට හද පුරා ස්තුතියි කියමි. 


අපේ ගම්පළාතේ මෑතක් වන තුරුම නිවසක අනිවාර්ය වාහනය වූයේ බයිසිකලයයි. අපි ඉස්සර ඉස්කෝලෙ ගියේද, ටවුමට ගියේද, පල්ලි ගියේද, දහම් පාසල් ගියේද, කඩේ ගියේද බයිසිකලයෙනි. දැන් නම් ඒ තැන ස්කූටිය උදුරාගෙනය. ඒත් මම තාමත් කැමති ගම පුරා බයිසිකලයේ යන්නටය. ඒ පරිසර හිතකාමීත්වය ගැනද සලකා බැලීමෙනි.
පුංචි කාලයේ ට්‍රයිසිකලයක නැගී ස්ටූඩියෝ ගත් ඡායාරූපයක්... 


පුංචිම කාලයේ මට ට්‍රයිසිකලයක් තිබූ බව මතකය. ට්‍රයිසිකලයක නැගී ගත් පින්තූරයක්ද ඇත. ඒ ට්‍රයිසිකලය නම් ටවුමේ ස්ටූඩියෝවේ එකකි. මමත් නංගීත් මොන්ටිසෝරි ගියේ තාත්තාගේ බයිසිකලයෙනි. ඉස්පෝක් කම්බි අතරට කකුල දමා ගැනීම නිසා බයිසිකලය පෙරළී තුන්වරක් කකුලේ එකම තැන තුවාල වීම මා පුංචි කාලයේ ලද මාරාන්තික අත්දැකීමය. තාමත් වම් පාදයේ ඒ කැළල ඇත. එක්වරක් මේ කකුල් පටළැවිල්ල නිසා බයිසිකලය පෙරළී ගියේ වෑ කන්දේය. මා වෑ කන්දෙන් පහළට රූටා ගියේ බෙරිහන් දෙමින් බව මතකය. එදා මට වෑ කන්ද පිදුරුතලාගල කන්ද තරම් උසට දැණිනි.



දන්නා කාලයේ සිටම අපේ ගෙදර බයිසිකල්වලින්ද, බයිසිකල් බඩුවලින්ද, ටයර් ටියුබ්වලින්ද අඩුවක් තිබුණේ නැත. ඒ අපේ ගෙදර 24 පැයේම විවෘත වින්කලයක්ද, හුළං පොම්පයක්ද තිබූ බැවිනි. වින්කල් බාසුන්නැහේ තාත්තාය. ගේ වටේට බයිසිකල් තුන හතරක් නොවූ දවසක් නැති තරම්ය. හතරවටේ කොහෙවත් වින්කලයක් නොතිබුණු නිසා අපේ ගෙදර නිකම්ම වින්කලයක් බවට පත් වී තිබිණි. ට්‍රයිසිකල්, බයිසිකල්, මෝටසයිකල් මේ මොක කැඩුණත් ගෙනාවේ අපේ ගෙදරටය. හදන්නට බැරි නම් ටවුමට යන තුරු ෂේප් කරගන්නට හෝ ඒවා අමට්ටා දීමේ හැකියාවක් තාත්තාට තිබුණි. හදන්නට ගෙනා සමහර පොඩි උන්ගේ බයිසිකල් මගේ සිහිනද හැඩ කළේය. ඒවා හැදූ විගස ගෙනයන්නට පෙර පැද බැලීම අපට මහත් සතුටක් විය.



‘‘බයිසිකල් කැඩුණට කමක් නෑ. මට ඒවා හදන්න පුළුවන්. අත පය කඩාගන්න එපා.‘‘ බයිසිකල් පැදිල්ල පුරුදු පුහුණු වුණ පුංචිම සන්දියේ තාත්තා දුන් එකම අවවාදය එච්චරය. මා එක වර  බයිසිකල් පැද්දා නොවේ. පියවරින් පියවර විද්‍යානුකූලව පෙරට ආ බව මතකය. මුලින්ම කළේ වම් පැඩලය මත දකුණු කකුල තබා, අනිත් කකුල බිම ගසමින් ඉදිරියට තල්ලු කරගෙන යාමය. පසුව පොල්ලට යටින් දකුණු කකුල දකුණු පැඩලය මත තබා එලෙසම පැන පැන යාම සිදුවිය. වම් කකුල පැඩලය මතට ගෙන පැද යාම සිදුවූයේ හෙමිනි.  ඒ මා පණ බය නිසාය. ( මේ වෙද්දී ලොකු නංගී පස්ස කරකව කරකවා පොල්ලට උඩින්ම පැද යන්නීය. ) තාත්තාගේ අවවාදය මතක තිබූ නිසා පෙරළෙන්නට වගේ යන්නේ නම් බයිසිකලය තල්ලු කර දමා පැත්තකට වී සීරු මාරුවට හිටගත්තේ කෙලෙසදැයි දැන් මතක නැත. පරිස්සම වැඩි නිසාම මා ලොකු නංගී තරම් තුවාල කරගත්තේද නැත. ඒ කාලයේ ඉතින් තුවාල වුණාමත් කුරුම්බැට්ටියක් උරච්චි කර ගානවාට වැඩි යමක් කරන්නේද නැත. 

පහේ පන්තියේ සිට මා ඉස්කෝලෙ ගියේ බයිසිකලයෙනි. එය ඒ කාලයේ මහ දෙයක් නොවේ. හැමෝම පුළුවන් පළමු අවස්ථාවේම ඉස්කෝලෙ ගමනට බයිසිකලය යොදාගන්නේය. අපට යන්නට බස් තිබුණේත් නැත. ඉස්සර මේ  තරම් පාරවල වාහන තිබුණේද නැත.  ඉතින්  ළමයි බයිසිකලේ ඉස්කෝලෙ යද්දී දෙමව්පියන් ගිනි පත්තු කරගත්තේද නැත.  ගඩාගෙඩි කඩා කමින්, දන්නා නොදන්නා පාරවල් ඔස්සේ, වැව් පිටි, වෙල් යායවල් අස්සේ කරක් ගසමින් රංචු පිටින් පාසල ඇරී එන එක අපේ එක විනෝදාංශයකි. 


පාරවල් අයිනේ මිනී පිච්චුණේ මා පහ වසරේ උගන්නා කාලයේදීය. එකට ගිනි ලා තිබූ සිරුරු දෙකක් දින දෙකක් පමණ පාර අයිනේ තිබියදී එතැනින් ඉස්කෝලෙ යන්නට සිදුවීම ළමා වියේ මා ලැබූ නරකම අත්දැකීමකි.

මට මගේම කියා අලුත් බයිසිකලයක් ලැබුණේ හතේ පන්තියේදී වීතරය. එය පාවිච්චි කළ එකක් වුවද අලුත්ම අලුත් ලෙස තිබිණි. උසස් පෙළ දක්වාත්, ඉන්පසුව බැංකුවට ගිය අවුරුදු එකහමාරත් මා සමඟ සිටියේ එයාමය. කැම්පස් ආවාට පසු බයිසිකලයට වූයේ කුමක්දැයි දැන් මතක නැත.

කාලයක් මම මල්ලීවද, ලොකු නංගී පොඩි නංගීවද තියාගෙන අපි බයිසිකල්වල ඉස්කෝලේ ගියෙමු.  මා ගමේ පාසලින් අස් වූ පසු ලොකු නංගී මල්ලීව භාරගත් අතර, පොඩි නංගීට තනි බයිසිකලයක් ලැබිණි. එක දවසක ඉස්කෝලෙ කන්ද ළඟ බයිසිකල් පෝලිමට නවත්වද්දී ඉදිරියෙන් ගිය සයිකලේ පෙරළෙනුත්, ඒ සමඟම කන්ද පහළට බස් එක ආවාත්, මා කෑ ගසනුත් මතකය. එහි වාඩි වී ගිය පොඩි නංගී පෙරළෙන බයිසිකලයේ පොල්ල යටින් රිංගා අගලට පැනගත්තේ කෙසේදැයි මට තාමත් හිතාගන්නට නොහැකිය. බස් එක තිරිංග පෑගූ සද්දය බොහෝ දුරකට ඇසී තිබිණි.





ගමේ ඉස්කෝලයට ගිය කාලයේ මාතින් බයිසිකල් අනතුරක් වූයේ එක ම එක වරකි. දවසක් පාසල ඇරී එන විට එක් වනම පාරට පැන්න දැරියක නිසා මාත් පෙරළී, ඇයත් තුවාල කරගත්තාය. ඈ එසේ පාරට පැන්නේ ගැරඬි මළකුණක් දැක බය වීමෙනි. අම්මාත්, තාත්තාත් නැතිව ආච්චී සමඟ හැදුණු වැඩුණු ඈ දිළිඳු දැරියක බව මා දැනගත්තේ ඇයව ඇරලන්නට ගෙදර ගිය විටය. පසුදා ඇගේ ආච්චි පාසලට පැමිණ ප්‍රින්සිපල් ළඟටම ගියේ මා ඇගේ මිණිබිරිය හප්පා තුවාල කර ඇති බව කියන්නටය. ප්‍රින්සිපල් ළඟට ගිය මම ඇත්ත කතන්දරේ පැවසීමි. ඒත් ආච්චිට උවමනා වූයේ මට දඬුවම් කරවන්නටමය. දැරිය තමාගේ වරද පිළිගත්තාට පසු ආච්චි යන්නට ගියේ අප දෙදෙනාටම බැණ වදිමිනි. ‘‘අනේ අක්කෙ ඉස්කෝලෙට එන්න එපා කිව්වට ආච්චි ඇහුවෙ නෑ. ‘‘ ඈ කීවේ අසරණවය. ඉන්පසු ගමේ ඉස්කෝලයෙන් අස් වන තුරුම ඈ මගේ දයාබර සොයුරියක විය.



උසස්පෙළ හදාරන්නට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට යන්නට පටන් ගත් මුල්ම සතියේ මා ගියේ බස්රියෙනි. එය පුදුමාකාර තෙහෙට්ටුව ගෙන දෙන වැඩකි. බස් දෙකක ගමනකි. ගෙදර එද්දී හතර පමණ වේ. සයිකලයට පුරුදු වී සිටි මට මෙය මහා දුෂ්කර ක්‍රියාවකි. බැරිම තැන පුරුදු වාහනයෙන් පාසල් යන්නට හිත හදාගතිමි. වෙල් යාය මැද්දේ ගුරු පාරෙන් තාර පාරට වැටී, මීගහකොටුව හන්දියෙන් හැරී උසාවිය අසලින් පාසලට යාම පසුව ගමේ පාසලට ගිය තරම්ම හුරු පුරුදු ගමනක් විය. දෙකට පාසල ඇරී දෙකහමාර වෙද්දී මං ගෙදරය. අව්ව, වැස්ස, සුළඟ, ගහකොල විඳිමින්, මඟතොට මිනිසුන් සමඟ හිනාවෙන්, කතාවෙන් බයිසිකලයෙන් ආ ගිය ගමන් සිහිකිරීම තාමත් සතුටකි. එක දවසක් පාසල ඇරී එන විට අයිස් වැස්සක්ද වැටිණි. වැස්ස දවස්වලට නම් ඉතින් මඟ නැවතීමක් නැත. තෙමීගෙනම ගෙදර එන්නේ හදිසියකට නොවේ. වැස්සේ තෙමෙන්නට ඇති ආසාව නිසාමය.



සෙන්ට්‍රල් එකේ පාපැදි නවත්වන්නට වෙනම විවෘත ශාලාවක් තිබිණි. එහි දිනකට බයිසිකල් දෙතුන් සියයක් වැරදුණේ නැත. ඒ අතර තිබූ අබලන්ම බයිසිකල් අතර මගේ බයිසිකලය තිබූ බව මතකය. විටෙක එය ලැජ්ජාවක් වුවද මම බයිසිකලයෙන් පාසල් යාම නතර නොකළෙමි.

එක් දිනක් උසාවි කන්ද බැහැගෙන එන විටම බයිසිකලයේ බ්‍රේක් අහුනොවන බව මට දැනිණි. ටික දිනක සිට බ්‍රේක් වැඩ කළේද එක පැත්තක පමණි. එදා නම් ඇඟේ ලේ වතුර වුණ දවසකි. උසාවි කන්ද ස්රීස් ගා බැස්ස බයිසිකලය පන්නල පාරට වැටෙන විට වාසනාවට පාරේ වාහන නොවුණි. ඒ වේගයෙන්ම මීගහකොටුව ඔර්ලෝසු කණුව ළඟට එන විට මා සිතුවේ වාහනයක් ආවොත්, තුවාලයක් වුණත් කමක් නෑ බයිසිකලය අතහැර පැනගන්නා බවය. වාසනාවට ප්‍රධාන පාරේද වාහනයක් නොආවෙන් පණ බේරාගෙන ගෙදර එන්නට හැකි විය. එදා නම් තාත්තාට අම්මාගෙන් හොඳවැයින් අහගන්නට සිදුවිය. වඩුවගේ ගෙදර පුටු නෑ වගේ, තාත්තා වින්කල් වැඩ දැනන් උන්නාට අපේ බයිසිකල් හදාගන්නට සියදහස් වාරයක් සිහිපත් කළ යුතුය. අදටත් මගේ බයිසිකලය මුල්ලක දමා ඇත්තේ තාත්තාට රටේම වැඩ කරන්නට වෙලාව ඇතත් මගේ බයිසිකලය හදා දෙන්නට වෙලාව නැතිකම නිසාය. දැන් වින්කල් කියා දෙයක් හතර මායිමක ඇත්තේම නැත. පුංචි උන් ඇර බයිසිකල් පදින අය දැක්මද දුබලය. සියල්ලන් ඉගිලෙන්නේ මොටෝබයිසිකල්වලිනි. 



උසස්පෙළ ප්‍රතිඵල බලන්නට මා පාසලට ගියේද බයිසිකලයෙනි. මීගහකොටුව බස් නැවතුම අසලදීම පාරට පැන මා නැවතූ යහළු යෙහෙළියන් පිරිසක් කීවේ ‘බලන්නට දෙයක් නැති බවය.‘ මම සීතල වීමි. කාණු ගැට්ටේ තබා තිබූ පය කට කට ගා ගැහෙනු මටම දැනිණි. ‘ඒ හතරක්ම තියෙනවා‘ යන්න ඇසුණේ පසුවය.

පසුව විශ්වවිද්‍යාලයට එනතුරුම කුලියාපිටිය මහජන බැංකුවේ වැඩ කළ අතර ඒ වසර එකහමාරද මගේ වාහනය වූයේ බයිසිකලයමය. ගමේ ගිය සතිඅන්තවල ගම පුරා කරක් ගසන්නට බයිසිකලය මෙන්ම චැලියක්ද තිබිණි. 

ඊටත් වසර ගණනාවකට පසු (2014)  මට නැවතත් අලුත්ම බයිසිකලයක් තෑගි ලැබිණි. ඒ ලොකු නංගීගෙනි. ඒ බයිසිකලය මිල දී ගෙන තිබුණේ ඇය බුලත් වැඩ කිරීමෙන් ලත්  මුදලනි. ‘‘අක්කා මං වෙනුවෙන් කොච්චර දේවල් කරල තියෙනවද? මට ඔයාට කවදාවත් හොඳ තෑග්ගක් දෙන්න ලැබුණෙ නැහැනෙ.‘‘ ඈ එසේ කීවෙන් මම ඒ තිළිණය භාරගතිමි. මුදල් දෙන්නට නොගියෙමි. ඇගේ සතුට මගේ මුදලට වඩා වටිනා බැව් දැනිණි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග  කියන්නේ ඒ බයිසිකලය ලැබීමේ කතාවයි.

පාපැදිය සම්බන්ධයෙන් තවත් සුන්දර අත්දැකීමක් ලැබුණේ ජපානයේදීය. ජපානය සුන්දර රටක් ලෙස මට දැනෙන්නේ ඒ මිනිසුන් පරිසරයට දක්වන ආදරය නිසාය. අප නැවතී උන් OISCA පුහුණු මධ්‍යස්ථානය පැවතියේ ශිකොකු පළාතේ අයගාවා නගරයට එපිටින් වන සුන්දර ගම්මානයකය. එහි සිට නගරයට ඒමට ආයතනයේ බස් රිය හැරුණු විට වෙනත් ප්‍රවාහන පහසුකම් නොතිබිණි. ඒ වෙනුවෙන් තිහක් පමණ බයිසිකල් තිබුණි. බයිසිකලයෙන් නගරයට ඒම අපහසු කටයුත්තක් නොවුණි. බයිසිකල් පැදීමට දැන සිටීම කොතරම් වාසනාවක්දැයි පළමුවරට දැනුණේ එහිදීය. අපේ කණ්ඩායමේ භාෂා පරිවර්තක මිසතො සන් හැරුණු විට බයිසිකල් පදින්නට දැන උන්නේ මා සහ ලාඕස්වලින් පැමිණි ෆොන්සි පමණි. අපට කැමති සයිකලයක් තෝරාගෙන පැද පෙන්නන්ට කීවේ අපේ සයිකල් පැදීමේ හැකියාව මැන බැලීමටය.


අපගේ භාෂා පරිවර්තක මිසතො සන් සමඟ පාපැදි සවාරියකට සූදානම්ව 

අහන්නත් දෙයක්ද? එක වටයෙන්ම සමත්ය. ඒ බයිසිකලය පුහුණුව නිම වී එනතුරුම මගේ නමින් වෙන් වී තිබිණි. ජපානයේ මහා නගරයක වුවත් බයිසිකල් පදින්නට බිය විය යුතු නැත. සෑම මාර්ගයකම වෙනම තීරුවක් පා පැදි සඳහා වෙන්ව ඇත. ටයි කෝට් ඇඳ, බ්‍රීෆ් කේස්, ලැප්ටොප් ගත් මහතුන්ද, රස්සා පිණිස යන කාන්තාවන්ද, කොටට කොටේ ඇඳගත් තරුණ කෙල්ලන්ද, විසේකාර කොල්ලන්ද, පාසල් ළමුන්ද එක සේ සයිකල් පදිති. එතරම් නිදහසේ සයිකල් පදින ජන කොටසක් මා ඒ දැක්කාමය. මමද ලැබෙන පුංචි විවේකයක් හෝ අපතේ නොයවමින් ගමේ තරම්ම නිදහසේ ඇති තරම් බයිසිකලයේ සවාරි ගැසුවෙමි.


බයිසිකලයෙන් පාසල් යන ජපන් සිසුවියක් 



ටකමට්සු නගරයේ මාසයක් නැවතී උන් හෝටලයේ තිබුණේ බයිසිකල් දෙකක් පමණි. එය ගෙන මුහුදු වෙරළට, වරායේ රෝස උයනට, ටකමට්සු උයනට, මාළිගාවට, සල්පිල් කඩපිල් අස්සේ ආ ගිය ගමන් සිහිපත් වන විට අප්‍රමාණ සතුටක් සමඟ සුසුමක්ද නැගේ. මගේ රටේ ප්‍රධාන නගරයක නම් එලෙස බයිසිකල් පැදීම පණ පුදන්නට වන වැඩකි. ඒ නොදන්නා නගරයේ රෑ කාලයේ පවා අප බයිසිකල් පැද්දේ කිසිදු බියකින් තොරවය. සමහරවිට ඒ ආරක්ෂිත බව නිසාමද, නැත්නම් අපගේ නොදන්නාකම නිසාද නිශ්චිත නැත. කිසිදු බියක් නොදැනුණු බව නම් නිසැකය.



අයගාවා මංමාවත්වල පාපැදි සවාරියක අතරතුර

මෑත යුගයේදී බයිසිකල් ගැන නම් කියන්නට ඇත්තේ කොඳු කැඩෙන කතන්දරය. අපේ පොඩි සෙට් එකම දැන් බයිසිකල් පදිති. දෙතුන් දෙනෙක් රෝද තුනෙන් දෙකට මාරු වී ඇත. බයිසිකල් අරන් දෙන මම්මාටම කොඳු කැඩෙන තුරු තල්ලු කරන්නට සිදුවීම දෛවයේ සරදමකි. ගේ මිදුලෙන් එහාට බයිසිකල් පදින්නට අවසර නැති චන්දුටත්, සසෙන්ටත් හිතේ හැටියට ගම වටේ සයිකලෙන් යන්නට ඉඩලැබුණේ පහුගිය වෙසක් දවසේය. ඒ බලු, කපුටු දානය වීල්බැරෝවක දාගෙන ගම වට ගිය අයියලා පසුපස මාගේ අවසරයයි, ඇල්ම බැල්මයි ඇතිව බයිසිකලෙන් යන්නට ඉඩ සදා දුන් බැවිනි. අපි පුංචි කාලේ වගේම පිස්සුවෙන්, පිස්සුවෙන් බයිසිකල් පදින පුංචි පරම්පරාව දැක්මත් සතුටකි.


බයිසිකල් පදින අපේ පුංචි සෙට් එක.... 



මගේ බයිසිකල් පැදීම ගැන නොව මට අන් අයකුගේ බයිසිකල් පැදීම ගැනද කියන්න සුන්දර කතාවක් ඇත. මහින්ද නාමල් කියන්නේ අරුම පුදුම මනුස්සයෙකි. මා ඔහු ගැන මින් පෙරත් ලියා ඇත. ඔහු ලේඛකයෙකි. සමාජක්‍රියාධරයෙකි. ගුරුවරයෙකි. ජංගම දුරකථනයක් හෝ වාහනයක් පාවිච්චි නොකරන වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මුළුමනින්ම පරිසරහිතකාමී වන්නට වෙර දරන අපූරු මනුස්සයෙකි. මගේ නවකතාව ගැන කළුතර සංවාදය පැවති දා රාත්‍රියේ මා නවාතැන් ගත්තේ නාමල් අයියාගේ ගෙදරය. ඔහුගේ බිරිඳ ටිකිරි අක්කා වේලාසනම මා පාරට ඇරලූ අතර මා බසයක් එනතුරු සිටියදී මා අසල බයිසිකලයක් නැවතිණි. ඒ කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ආචාර්ය මහින්ද සර් ය. කලමුල්ලේ සිට ඔහු පාසලට යන්නේ බයිසිකලයෙනි. ඒ යතුරුපැදියක් ගන්නට මිල මුදල් හිඟකමක් නිසා නොවන බව මම සහසුද්දෙන්ම දනිමි. 

( ලිපිය අවසානය දක්වා කියවූයේ නම් මේ චැලේන්ජ් එක ඉදිරියට ගෙන යාම අපේ බ්ලොග් මිතුරන්ට භාරදෙමි. කළණෙ, රවී, රන්දි, හැලපෙ, ශානි, මං එරන්දි, කොළඹ ගමයා, මිථිල ඇතුළු එකී මෙකී නොකී සැමට විවෘතය... )




14 comments:

  1. මටත් ඇති පදම් අත්දැකීම් තියෙනවා බයිසිකල් ගැන. වෙසක් පොසොන් කාලෙට වැල්ලෑගල පඬුවස්නුවර, ටිකක් කොල්ලා කාලේ අනුරාධපුරේ ගියේ බයිසිකලේ. හිටගෙන සයිකලේ පදිනකොට බල්ලො අල්ලන්නේ නැතිවෙලා වෙච්ච වැඩත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් ලස්සන බයිසිකල් කතන්දරයක් ලියන්න හැකි වෙයිනෙ...

      Delete
  2. බයිසිකල් ගැන මතක අලුත් කිරීම ගැන ස්තුතියි . අපේ තාත්තා තරුණ කාලේ බයිසිකල් පැදීම ඉගෙන ගන්න ගියාම කම්බි වැටක් දිගේ ගිහින් තුවාල වෙලා තිබුන නිසා තාත්තා ජීවිතේට බයිසිකල් පැද්දේ නෑ.එ නිසා අපේ ගෙදර බයිසිකලයක් තිබුණේ නෑ.මහප්පා ගමේ තිබෙන තමන්ගේ ඉඩම වගා කරන්න හැම සති අන්තයකම බයිසිකල් එකේ ආවහම එකෙන් තමයි මම පදින්න පුරුදු වුනේ.ඔය පලවෙනි පියවර කීපය පුළුවන් කියලා දැනගත්තාම මහප්පා එයාගෙ ළමයින්ට අරන් දීලා තිබුණ තුන් කාලේ බයිසිකල් එකේ එන්න පටන් ගත්තා.හරියට පොල්ලට උඩින් දාලා පදින්න පුරුදු වුනේ එකෙන්. කබල් බයිසිකල් එකක් අම්මා අරගෙන දුන්නේ ඕ ලෙවල් පාස් වුනාට පස්සේ.ම යාළුවෙක්ගේ තාත්තා වින්කලයක් කලා. එයා ලගට තමයි බයිසිකල් එකේ මොනවහරි රෙපෙයාර් වලට අරන් යන්නේ.හැබැයි කවදාවත් ඒ තාත්තා බයිසිකල් එක හදන්නේ නෑ. ඒ වෙනුවට හදන හැටි කියලා දෙනවා.පැච් දැමීමේ සිට සියළුම දේ එයාගෙන් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න බැරිවුන එකම දේ රිම්වල බකල් අරින එක. ඊට පස්සේ අරන් දුන්නේ අළුත්ම වාගේ BSA බයිසිකල් එකක්.ඒකෙන් ගිය ගමන් නම් අනන්තයි. තවම ඒක දිරදිරා ගෙදර තියනවා. තවත් එකක් අපි බයිසිකල් පැදපු කාලයේ තමයි අර අළුත් ටයර් එකක් ගන්න පරණ එක අරන් සමූපකාරය යන කාලේ. ටයර් ඒ තරං දුර්ලභ දෙයක්. බ්‍රෑන්ඩ් දෙකයි තිබුණේ. ලෝටස් ,සින්වා.සින්වා ටයර් අන්තිම සවුත්තුයි. තෝරල ගන්න බෑ සමූපකාරේ තියන එක ගන්න ඕන. සමහර ටයර් වලට හුලං ගහනකොට පැත්තේ සමහර තැන්වල ගෙඩි වගේ පිම්බිලා එනවා. ඒකටත් ප්‍රතිකර්මයක් යාළුවගේ තාත්තා වගේ ළග තිබුනා . කැන්වස් රෙදි කෑල්ලක් එතනට තියල මහල දෙනවා.

    ReplyDelete
    Replies
    1. බයිසිකල් හැදිල්ලෙත් පොඩි කලාවක් තියෙනවා... රිම්වල ඇද අරින්න, ටියුබ්වල පැච් හොයාගන්න, පැච් දාන්න තාත්තා ළඟත් එක එක ක්‍රම තිබුණා. බයිසිකල් පදින්න මිස හදන්න ඉගෙනගත්තෙ නම් නෑ.

      Delete
  3. මල් කූඩේ තියෙන බයිසිකල් එකේ නම් චේන් එක පැනලා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... ඒක නෙට් එකෙන් හොයාගත්ත පින්තූරයක්... අම්මෝ ඉස්කෝලෙ යන කාලෙ මජංවලින් සුදු ගවුම් පරිස්සම් කරගත්තෙ හරි අමාරුවෙන්... කෝටු කෑල්ලකින් චේන් එක රඳවල පිටිපස්සෙ රෝදෙ යාම්තමට උස්සල පැඩල් එක වටයක් කැරකෙව්වම චේන් එක දාගන්න පුළුවනි... කොච්චරනම් ගවුම්, සායවල් ඉරුණද, මජං ගෑවුණාද ඒ කාලෙ...

      Delete
  4. නවකතා හැර ලමා කාලය හා ගම ගැන නොස්ටාල්ජික් පොතක් ලියන්න අදහසක් නැද්ද? නවකතා ෆෝම් එකෙනුත් ලිව්වහැකි ( ලියල තියනවනම් සමාවෙන්න )

    ReplyDelete
    Replies
    1. තාම ලියල නම් නෑ... ඉදිරියෙදි ලියන්න හිතන් ඉන්න නවකතා දෙක තුනකම ළමා කාලය ගැන තොරතුරු එකතු කරන්න හිතන් ඉන්නවා. මගේ පළමු නවකතාවෙ සිස්ට සෙව්වන්දිගෙ ගම සහ එයාගෙ ළමා කාලය ගැන ලියවිලා තියෙන බොහොම තොරතුරුත් ඉතින් මගේ කතාවට යම් තරමකින් සමානයි... ලියන්නම්කො ඉදිරියෙදිත්... ස්තුතියි ප්‍රා...

      Delete
  5. අපේ තාත්තාගේ කකුල් දෙක වෙලා තියෙන්නේත් බයිසිකලයක් නිසා බයිසිකල් එක්ක ලොකු ගණුදෙනුවක් අපෙත් තියෙනවා.

    මට මගේ කියලා මුලින්ම බයික් එකක් ලැබුනේ 97 දී විතර.ඒ මවුන්ටන් බයික් එකක්.තාමත් මතකයි.Kenstar රතු පාට මවුන්ටන් බයික් එක අරගෙන ආවේ බම්බලපිටියේද කොහෙද තිබ්බ සයිකල් බාසර් එකෙන්.මගේ වයසේ හැටියට මට වඩා පොඩ්ඩක් ලොකු බයික් එක පදිනවාට වඩා මම කලේ එක තල්ලු කරගෙන ගිය එකයි.එහෙම තල්ලු කරගෙන ගිය බයික් එක සමබරව පැදගෙන යන්න පුරුදු උනේ බෝක්කුවක් උඩට නැගලා බයික් එකට හෙමිහිට නැගලායි.
    එත් ඒ බයික් එක එහෙම වැඩි කාලයක් පදින්න ලැබුනේ නැහැ.ඒ කාලේ තිබ්බ ආර්ථික අමාරු කම් එක්ක ඒ බයික් එක උගස් කරන්න සිද්ද උනා තාත්තාට.

    ඊට පස්සේ එක එක බයික් පැද්දත් බයික් එකක් අයිති කර ගන්න තරම් ඕනකමක් තිබුනේ නැති නිසා අදත් මට මගේම කියලා බයික් එකක් නැහැ වගේම අවුරුදු ගානකින් දැන් බයික් එකක් පැදලත් නැහැ.

    ReplyDelete
  6. හුටා.. අපරාදේ අන්තිම වෙනකම් කියෙව්වේ.. දැන් ලියපන්කො මගේ බයිසිකල් කතා.. :D

    ReplyDelete
    Replies
    1. හුටා.. අපරාදේ අන්තිම වෙනකම් කියෙව්වේ.. දැන් ලියපන්කො මගේ බයිසිකල් කතා x 2

      Delete
  7. ගෙදරත් දැනට බයිසිකල් තොගයක් තියනවා. අපිත් කොහොමත් බයිසිකල් වලට ආදරේ පවුලක්. ලියන්නම්කො

    ReplyDelete
  8. බයිසිකල් මතක ටික හරිම රසවත් තරුරසී! එක හුස්මට කියෙව්වා. මට නම් තියෙන්නේ බොහොම පුංචි බයිසිකල් කතාවක්. එක අතකට ඒක බයිසිකල් නොලැබීමේ කතාවක්. කම්මැලිකම ඇර ගත්තොත් ලියලා දාන්නම්! :)

    ReplyDelete
  9. බයිසිකල් කතා කීපයක්ම මතකෙට එනවා. වෙලාවක ලියන්න ඕනෑ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...