Friday, June 1, 2018

අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය

ගිනිබත් වන පොත්...


( වෙබ් කොලමක් ලිවීමේ ඇරයුමක් ලදිමි. ‘‘ඒදන් උයනේ මෙහා ඉමේ...‘‘ නම එයට තබන්නට අදහස් කළෙමි. මේ ඒ කොලම වෙනුවෙන් මා ලියු පළමු ලිපියයි. වෙබ් අඩවිය අද එළිදක්වන්නට නියමිතව තිබිණි. කෙසේ නමුත් මේ ලිපිය එළිදැකිය යුතු දවස නම් අද ය. අද ජුනි පළවෙනිදා ය. )

යුද්ධය නිම වී වසර නමයකි. නමුත් ප්‍රශ්නය තාම එතැන ය. බෙදුම, බිඳුම, රිදුම තාම එතැන ය. තිස් වසක යුද්ධයෙන් ගැඹුරු තුවාල ලත් හදවත් මතු නොව සමාජය ද සුවපත් කරන්නට අසමත් වූ රාජ්‍යයකි අප. යුද ඉතිහාසයේ මහා මිනිස් සංහාරයන් හා සමානවම අතිශය දරුණු සහ අමානුෂිකම ඛේදවාචකය වන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ශත වර්ෂ ගණනක් පැවති මහා දැනුම් සම්භාරයක් එක රැයින් ගිනිබත් කර දැමීමය. 1981 මැයි 31 වන දා රාත්‍රීයේ එසේ බල ලෝභී මුග්ධයින්ගේ ජාතිවාදී ගින්නෙන් දැවී යන අවස්ථාවේ ලක්ෂයකට ආසන්න වටිනා පොත් ද, දුර්ලභ අත් පිටපත් ද සහිත නිධානයක් වූ යාපනය පුස්තකාලය ලංකාවේ මතු නොව සමස්ත ආසියාවේම පැවති දැවැන්ත පුස්තකාලවලින් එකකි.

විනාශයට පත් වූ පුස්තකාලය

එදා ඒ පුස්තකාලය ගිනිබත් වූ දා රැයේ යාපනය නගරයේ එක් නිවසක, අළු වී යන දැනුම් සම්භාරය පිළිබඳ වේදනාවෙන් දැවි දැවී පණ ගැහුණු ශ්‍රේෂ්ට හදවතක් විය. පත් ඉරු දැවී නගිනා දුමාරය ඒ හදවතේ සෑම නහරයක්ම අවුරා, පුපුරුවා දැමුවා නිසැකය. ජූනි පළමුවනදා රැයේ අසීමිත වධ ගාවිනා විදි එකී ළය පැලී ඔහු මියැදී සිටියේය. ඒ වන විටත් යාපනය පුස්තකාලයේ දැවුණු පොත් පත් අතරින් දුමාරය ඉහළ අහසට නගිමින් තිබිණි. ඒ අවසන් හුස්ම පොද ද දැවුණු දැනුම් ගබඩාවේ අවසන් හුස්ම හා එක්වන්නට ඇත. 

ඔහු කවුද? මංජුල වෙඩිවර්ධනගේ ‘‘සුළගට අවනතව‘‘‘ කාව්‍ය සංග්‍රහයේ  ‘‘දාවිත්‘‘ කවියෙහි පසු සටහන ඔහු හඳුන්වා දෙන්නේ මෙලෙසිනි.  

සටහන - ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි. ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ  ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ සුවිශේෂම ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛණ්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේ ය. 1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරුණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම් කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙක් වූ යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ය.  එය, යාපනය පුස්තකාලය අසල තිබීම ඔහුගේ අඛණ්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.

1981 මැයි 31වැනි දා රාත්‍රියේ, දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත්‍රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය, එහි තුළ වූ අනූ දහසකට අධික පත-පොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ.

කවියේ ඇරඹුම යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයකු වන එම්. ඒ. නුහුමාන් විසින් දෙමළ බසින් රචිතව ඉංග්‍රීසියටද, පසුව සිංහලටද නැගුණු ‘‘බුදුන් ඝාතනය කිරීම‘‘ කාව්‍ය පන්තියෙනි.

සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙන
උන් වහන්සේ ඝාතනය කළහ
-           එම්. ඒ. නුහුමාන්


දාවිත්

මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත්
කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත්
ගීතාවලිය පුරා වේදනා  කවි ලියූ දාවිත්
නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත්

බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත්
ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත්
යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත්
ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත්

නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු
යාපනේ පොත්ගුලේ  වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු
අලි ඇත්තු අතර උන් ‘අතිමහත් බහුතරය’ වැදගත්තු
සැඟවිලයි ඉන්නැත්තෙ පිස්තෝල කරකවන බැතිමත්තු

බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන රෑ විත්
මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත්
පොත් ගුලට ඇතුළුවන එ පියගැටපෙළ ළඟට නෑවිත්
නිදි කුටියෙ කවුළු දොර විඳ තැවුල විඳ ගනිමි දාවිත්

ලේ විලක් මැද තිබුණ සම්බුද්ධ ඒ නිමල බඳ
ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද
තුඟු සිරුර සඟවලා පොත් වලින් චිතකයක් බැඳ
ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගෙ හද?

නිසලවුණු හද පතුළ සඟවගෙන එළි නොදුටු ශාස්ත්‍රය
හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත්‍රය
ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත්‍රය
අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය


මංජුල වෙඩිවර්ධන
2014 ජූනි

Rev. Fr. HS David (PhD) an etymologist spent much time researching at the library. Upon hearing the library was set ablaze, the aggrieved priest died in his sleep that night
Nation.lk

බයිබලීය ඉතිහාසය තුළ සඳහන් වන දාවිත් කතා පුවත , දාවිත් රජ විසින් ලියූ බවට සඳහන් වන බයිබලයේ එන කාව්‍යමය ග්‍රන්ථය ‘‘ගීතාවලිය‘‘, බාබෙල් කොත සම්බන්ධ සිදුවීම සහ එයින් නිපන් විවිධ භාෂා පිළිබඳ අතීත කතාව ඇතුළු මේ කාව්‍යයට පදනම් වී ඇති ඉතිහාසය, පුරාවෘත්ත සහ පුද්ගල චරිත දන්නා හඳුනන අයෙකුට කවිය වඩාත් ගැඹුරින් විඳීමට අලුත් දොරටු විවර වනු ඇත.

යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් අඛණ්ඩව භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණු, ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ  ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ විද්වතෙකු වූ, භාෂා තිස් තුනක් පමණ දැන සිටි ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟී, යාපනේට ආ බව සඳහන් කිරීම කොතරම් සංවේදී, අර්ථපූර්ණ අවස්ථාවක්ද? කවිය තුළ සහෘද සිත වඩාත් කම්පනය කරන තැන එතැන යැයි සිතමි. ඉතින්, දාවිත් පියතුමා, නැත්නම් ඩේවිඩ් පියතුමා ළය පැළී මිය යාම අරුමයක් නොවේ.

ප්‍රතිසංස්කරණය කළ යාපනේ පුස්තකාලය 

පසුකලෙක කලා කටයුත්තකට යාපනයට ගිය ධර්මසිරි බණ්ඩාරනායකයන් පුස්තකාලය තුළට කැඳවා ගිය පුස්තකාලයාධිපති, සිංහල පොත් රාක්ක පෙන්වා ඇත. මාටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන්ගේ කෘති ඇතුළු සිංහල පොත් රැසක් එහි තිබී ඇත. ඒ පොත් පෙන්වා ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.
‘‘අපේ පුස්තකාලෙට ගිනි තියලා ගිනි දළු අහසට නගිද්දි, අපි මේ පොත් බේරගත්තා.‘‘

ඒත් දාවිත් පියතුමනි, ‘‘අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රියමයි.‘‘.... මේ මනුස්ස හදවත් ගිල ගත් රෑ අඳුර කවදා නම් නිමා වේවිද?


6 comments:

  1. ඔය වගේ පොත් විනාශ උනොත් ඒවායෙ තියෙන කරුණු ආරක්ෂා කරන්න පුලුවන් ක්‍රම දැං තියෙනවා. (https://www.google.com/googlebooks/library/).පොතක් විනාශ වෙනවා කියන්නෙ ජීවිතයක් නැතිවෙනවා වගේ දෙයක්.

    ReplyDelete
  2. දාවිත්ගේ පුතා සලමොන් මහා ප්‍රඥාවන්තයා.මේ දාවිතුත් ඒ වගේ ප්‍රඥාවන්තයෝ බිහි කරන්න කොයි තරම් දායකත්වයක් දෙන්න ඇතිද ?

    අනිත් අතට යුදෙව්වන්ට එරෙහිව සංහාරය පටන් ගන්නකොට හිට්ලරුත් යුදෙව් සාහිත්‍ය විනාශ කෙරුවේ පොත් කඳු පිටින් ගිනි තියමින්.යම් ජාතියක එරෙහිව නැගී සිටින්නෝ ජිවිත විතරක් නෙමේ සංස්කෘතියක්ම වඳ භාවයට පත් කරන්නේ පලි ගැනීමේ වියරුවෙන්ම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම ජාතියකට එරෙහි නැගී සිටීමක් වුනාද ලංකාවෙ ?

      Delete
    2. රුවන් වැකි:
      බුදුහාමුදුරුවෝ අයිති සිංහලයාට විතරද?
      - සුනිල් ආරියරත්න
      යාපනය පුස්තකාලය අයිති දෙමළාට විතරද
      - ජගත් පතිරණ

      Delete
  3. ක්‍රිස්තියානි කාරයෝ, මාක්ස්වාදියෝ, දෙමෙල්ලු, NGO කාරයෝ කියා ගන්න දඟලන්නේ
    ඒකීය පුද්ගලයෝ කිප දෙනෙක් යාපනේ පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධියට සෑම සිංහලයෙක්ම වගකිව යුතු බවයි.
    ඔය තර්කයම අනිත් පැත්ට ගත්තොත්
    LTTE සංවිධානය සිංහලයන්ට කල සෑම අපරාධයකටම
    සෑම ක්‍රිස්තියානි කාරයම, මාක්ස්වාදියම, දෙමෙලාම, NGO කාරයාම වගකිව යුතුයි.

    හයිසින්ත් සිංගාරයර් දාවිත් ගැන කියන්න තියෙන එකම දෙය ඔහු සිංහල සංස්කෘතිය ලංකාවේ විශේෂ සංස්කෘතිය හැටියට පිලිගත්තද නසැද්ද කියන දෙය විතරයි.

    ReplyDelete
  4. මේ වියතාගේ කම්පනය හා අභාවය ගැන ධර්මසිරි බණ්ඩාරනායක tv වැඩ සටහනකදී ප්‍රකාශයක් කරනවා දැකලා ඉංජිනේරු මහත්තයෙක් හොඳටම ප්‍රකෝප වෙලා. ප්‍රකාශයයි, ඒකට එයාගෙ කොමෙන්ට් එකයි දෙකම මගේ හිතවතෙකුට එවලා. මටත් පෙන්නුවා! හරිම වෛරී, තුච්ඡ කමෙන්ට් එකක්. ඔහොම උගත් ජාතිවාදියොත් තවම ඉන්නවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...