පිටු

Monday, February 17, 2025

ආදරණීය සීතා !


2016 වසරේ සැප්තැම්බර් මස 06 වන දා සීතක්කාගේ සාහිත්‍ය -  සමාජ දායකත්වය ඇගයෙන සහෘද සංවාදයක් සීතා ඔබේ යෙහෙළිය - තිත්ත කවි ලියූ ගැහැනියනමින් මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. එදින තමයි ඇගේ ''මල් වරුසා" ගී පද සංග්‍රහය එළිදැක්වුණෙත්. විපුලි අක්කා, සුනිල් සර් ඇතුළු සීතා මිතුරු කවය සමඟ එක්ව සංවිධානය කළ එම ඇගයුම් උළෙලට සමගාමීව මවිසින් සිදු කළ මෙම සම්මුඛ සාකච්ඡාව එකල රාවය පුවත්පතේ පළවුණා.

ආදරණීය සීතක්කා 2025.02.16 දින තම ධෛර්යවන්ත දිවිසැරිය නිම කළාය. අවසන් කටයුතු 02.18 දින මඩගම්මන පාර, කටුකැලියාව, අනුරාධපුරදී සිදු කෙරේ. 

මහලු නොවනා ප්‍රේම පාරමිතාවක - තිත්ත කවි ලියූ ගැහැනියක්...

මේ වහින්නේ එදා මල් වරුසාවමයි

මහළු නොවනා පෙම්වතුන්ගේ

සොඳුරු මල් වරුසාවමයි

එදා මල් වරුසාවම යි...

මේ ගීතයේ එක පැතිකඩක් ප්‍රේමය. කාන්තාවක් විඳින ජීවිතය පිළිබඳ ලොකු කතාවක් මේ ගීතයේ තියෙනවා. ප්‍රේම කරන කාලෙ වැස්සත් නිකම්ම වැස්සක් නෙවි. මල් වරුසාවක්. එහෙම වැස්සක එක කුඩේ යටින් යන එක බොහොම සුන්දර අත්දැකීමක්. එක්කො දෙන්නම තෙමෙනවා. නැත්නම් දෙන්නම නොතෙමී එකිනෙකාව ආරක්ෂා කරමින් යනවා. නමුත් විවාහයෙන් කාලයක් යද්දි මේ එකිනෙකා කෙරෙහි වන ළෙංගතුකම, අනෝන්‍ය බැඳීම වෙනස් වෙනවා. මේ සිදුවීම අපි සමාජයේ  බොහෝ දෙනෙක් තුළ දකිනවා. මං කියන්නෙ ප්‍රේමය මහලු වෙන්න බෑ කියල. මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි.කියල මං ලිව්වෙ ඒ නිසයි. කාලයක් යද්දි, ‘මට තෙමෙන්න බෑ. එක කුඩේ මදිකියල වැස්සට ආවරණයක් හොයාගෙන යනව නම්, දෙන්න වෙන වෙනම ආරක්ෂාව හොයනව නම් මං හිතන්නෙ එතැන ආදරේ වෙනසක් වෙලා. මං කැමති ආදරය, එක කුඩේ යට එක්කෙනෙක් වැඩියෙන් ආරක්ෂා වෙන්න එහෙම නෙවෙයි, දෙන්න සම සමව ජීවිතේ බෙදාගන්න. එක්කො තෙමෙනවා නම් දෙන්නම තෙමුණාවෙ. එක වහළක් යට කූඩු වුණාට පස්සෙ එක කුඩේ මදිවෙන්න බැහැ. කසාද බැඳල හෝ නැතිව හෝ නීතිමය බැඳීමක් ඇතිව හෝ නැතිව ආදරය මහලු වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.

මහලු නොවනා ප්‍රේමයක් පිළිබඳව ඒ පාරමිතා පුරන්නී සීතා රංජනීය. ඈ විසින් ලියන ලද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හඬ මුසු කළ මේ වහින්නේ එදා මල් වරුසාවමයිගීතය පිළිබඳ මවිසින් ඇසූ පැනයකට පිළිතුරක් ලෙස ඇය එලෙස අදහස් ගොනු කළාය. වසර 37 කට වැඩි කාලයක් මාධ්‍ය වේදිනියක, සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ සීතා රංජනීගේ සාහිත්‍ය -  සමාජ දායකත්වය ඇගයෙන සහෘද සංවාදයක් සීතා ඔබේ යෙහෙළිය - තිත්ත කවි ලියූ ගැහැනියනමින් සැප්තැම්බර් 06 වැනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර, ඇයගේ මෙතෙක් පළ නොවුණු ගී පද රචනා ඇතුළත් මල් වරුසාගේය පද සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එහිදී එළිදක්වන්නට නියමිතය. මේ සංලාපයට ආසන්නතම නිමිත්ත එකී සහෘද කතිකාවයි.

මෙවැනි සුන්දර ගී පබඳින්නට හැකියාවක් තිබුණු ඔබ ඉන් එහාට සෞන්දර්යාත්මක, භාව ප්‍රකාශන මාධ්‍යයක් විදියට ගීතය එක්ක ගනුදෙනු කරල නැහැ. ඔබේ භාවිතය තුළ ගීතයත් එක් සමාජ වැඩක් විදියට නේද පෙනී සිටින්නෙ?

ගීත, කවි හෝ වෙනත් ලියවිලි වුණත් මම නිකම්ම ලිව්වෙ නැහැ. යම්කිසි දැක්මක්, අරමුණක් ඇතිවයි ලිව්වේ. රජරට ගුවන් විදුලියේ ඉන්න මුල් කාලෙ ලියවුණු ගීතවල යම් සෞන්දර්යාත්මක ගනුදෙනුවක් තිබුණා. රජරට සේවයෙ නිර්මාණාත්මක කටයුතුවලට වැඩි ඉඩක්, නිදහසක් ලැබුණා. ඒ බොහෝ ගීතවලට මම ඇසු, දුටු, අත්වින්ද මිනිසුන්ගේ ජීවන අත්දැකීම්, සමාජ ප්‍රශ්න තේමා වුණා. ඒක ඉබේමයි සිද්දවුණේ.

නමුත් කොළඹට ආවට පස්සෙ මම ක්ෂේත්‍ර ගණනාවක වැඩ කළා. ඉඳහිට ගීත ලියවුණත් ඒවා නිර්මාණ විදියට එළිදක්වන්න ගායක ගායිකාවන් හමුවෙලා කතා කරන්නවත්, බාර දෙන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ. ඒ අඛණ්ඩ ගනුදෙනුව නැතිව සංගීත ක්ෂේත්‍රයෙ ඉදිරියට යන්න අමාරුයි. ලියවුණු ගීත ගණනාවක්ම තියෙනවා ගායනා නොකළ. ඉදිරියට පළවෙන්නට නියමිත ගීත පොතට ඒව ඇතුළත්. මගේ ගීතයට සිදුවුණෙත් අනිත් නිර්මාණ කටයුතුවලට සිදුවුණු දේම තමයි. සමාජ දේශපාලන වැඩ එක්ක ගීතය වෙනුවෙන් යොදවන්න කාලය නැතිවුණා.

ඔබ ගැහැනියක්, හුදෙකලාවම ජීවිත ගමන යන. සමාජ දේශපාලන භුමිකාවක ක්‍රියාකාරීව වැඩ කරන තනි ගැහැනියකට මුහුණ දෙන්න සිදුවන අභියෝග මොනවද? ඔබ ඒ අභියෝග ජයගත්තා යැයි සිතනවද?

මම හිතන්නෙ තනිවම ජීවත්වීම මගේ වැඩවලට පහසුවක් වුණා කියලයි. ඒක මට අභියෝගයක් නෙවෙයි. වඩා නිදහස්ව වැඩ කරන්න, සමාජ දේශපාලන වැඩවලට සම්පූර්ණ කාලය වැය කරන්න මට ඒක පහසුවක් වුණා. සමාජයේ අදහසක් තියෙනවා තනි ගැහැනියක් විදියට මේ වගේ ක්ෂේත්‍රයක වැඩ කරද්දි ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියල. මං ආව ගමන දිහා ආපහු හැරිල බලද්දි මට හිතෙනවා මම වැඩබිමට ආවෙ යම් හැකියාවක්, දැක්මක් සහිතව නිසා මට කිසිම දෙයක් අභියෝගයක් වුණේ නැහැ කියල. විශේෂයෙන් මානව අයිතිවාසිකම්, ජනවාර්ගික අයිතීන්, කාන්තා අයිතීන්, මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ක්ෂේත්‍රවල තමයි මම මාධ්‍ය හසුරුවල තියෙන්නෙ. ක්‍රියාකාරිනියක් විදියට වැඩ කරල තියෙන්නෙත් ඒ ක්ෂේත්‍රවල. තනියෙන් හිඳීම තුළ මට පැය විසිහතරම වුණත් වැඩ කරන්න නිදහස තිබුණා. පවුල් බැඳීමක් තිබුණෙත් නැහැනෙ. රෑ දවල් නැතිව මේ විදියට වැඩ කරන තනි ගැහැනියක් ගැන සමාජයේ  විවිධ අදහස් තියෙන්න පුලුවන්. මං ගැනත් එහෙම හිතන්න ඇති. මම ගණන් ගත්තෙ නැහැ. මට ඒවා අදාළ වුණේ නැහැ. හොයල බැලුවෙ නැහැ. ඒ නිසාම මට යම් බලයක් ගොඩනැගෙන්නත් ඇති.

රජ රට සේවයෙ වැඩ කරමින් ඉද්දිත් මට හොඳ මිත්‍ර සම්බන්ධතා තිබුණා. අදත් ලොකු ප්‍රශ්නයක්නෙ මේ තරුණ පිරිසට තියෙන, මාධ්‍ය ක්ෂේත්‍රයෙ වෙන්න පුලුවන් වෙනත් සමාජ කණ්ඩායම් තුළ වෙන්න පුළුවන් යහපත් සම්බන්ධතා හමුනොවන එක. විශේෂයෙන් කාන්තාවක් වීම නිසා බලපාන ප්‍රශ්න තියෙනවා. දේශපාලනිකව පාවිච්චි කිරීම, ලිංගික බලපෑම් වගේ ගැටලු. එවැනි දේවල් ඉස්සරත් තිබුණා. මේ තරම් දියුණු සමාජෙක අද වුණත් තියෙනවා. නමුත් මට එවැනි බලපෑම් ආවෙ නැහැ. මම යම් හැකියාවක් එක්ක, දැක්මක් එක්ක වැඩ කරමින් හිටි නිසා වෙන්න ඇති. එවැනි නරක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුනොවුණු එක මට දැන් හරි පුදුමයි. සමානත්වයෙන් සලකන හරිම සමීප මිත්‍ර සම්බන්ධතා මට එදත් තිබුණා. මම හිතින් පොහොසත් පුංචි කාලෙ ඉඳන්ම. මට මා ගැන විශ්වාසයක් තිබුණා. මම මාව පහළට දා ගත්තෙ නෑ කවදාවත්. මම ගැහැනියක් කියල මම මට වෙනස්කම් කරගත්තෙ නැහැ. මම කරන දේවල් එක්ක මම කෙළින් හිටියා. ලිවීමෙදි වුණත්, වැඩවලදි වුණත් දක්ෂතාවයෙන්, කැපවීමෙන් මම ඉදිරියෙන් හිටියා. ගමේදි ගෙදරදි වුණත් ස්වාධීනව, නිදහස්ව හිතුවා, වැඩ කළා. ඒ නිසාම මට තනි ගැහැනියක් විදියට ජීවත් වීම අභියෝගයක් වුණේ නැහැ.

ළමා වියත්, යොවුන් වියත් අනුරාධපුරයෙ ගත කරලා ඔබ තාරුණ්‍යයෙදි කොළඹට සේන්දු වෙනවා. මේ විදියට ගමෙන් නගරයට සංක්‍රමණය වීම අද ඔබට දැනෙන්නෙ කොහොමද?

මට නගරයට එන්න සිද්දවෙන්නෙ මාධ්‍යවේදිනියක් විදියට. රජරට සේවයෙ 79 ඉඳල 86 දක්වා පිටපත් රචිකාවියක්, නිර්මාණ ශිල්පිනියක් විදියට මම පුලුවන් උපරිමයෙන් මිනිසුන්ගෙ ප්‍රශ්නවලට සංවේදීවෙමින් වැඩ කළා. ඒ වැඩ කරන කාලයෙ මම සමාජ වැඩවලත් උන්නා. පාසල් ජීවිතයෙදිත් සාහිත්‍ය කලා කටයුතුවල වගේම ක්‍රීඩාවෙදිත් මම ක්‍රියාකාරී ශිෂ්‍යාවක්. ගමේ සමිති සමාගම්වලටත් සම්බන්ධ වෙලා ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ කාගෙන්වත් අත්දැකීම් ලබලවත්, කවුරුවත් ඉල්ලීම් කරලවත් නෙවෙයි. ඒ විදියට හිතන්න පොළඹවන වටපිටාවක් තිබුණෙත් නැහැනෙ. මානව හිමිකම් සංවිධාන මොනවත්ම නොතිබුණු කාලෙක එහෙම වැඩ කළේ මිනිසුන්ගෙ ප්‍රශ්න මට දැනුණු නිසා. මම ඒවට සංවේදි වුණ නිසා. එහෙම වැඩ කරමින් ඉද්දි විවරණසඟරාව පටන් ගන්නකොට එහි සංස්කාරක මණ්ඩලයට මට ආරාධනාවක් ලැබුණා.

ඒ වෙනකොට කොළඹ එන්න මට අදහසක් තිබුණෙ නැහැ. දවස් හතම රජරට සේවයට යමින් හොඳ ජවයකින් වැඩ කරමින් උන්නු කාලයක්. මට ගමේ ඉන්නම ඕන කියල ලොකු හැඟීමක් තිබුණෙත් නැහැ. ඉන්න තැන මට ප්‍රශ්නයක් නෙවෙයි. කරන වැඩෙයි වැදගත් වුණේ. ගමේ සුන්දරත්වය ගැන බොහෝ අය වර්ණනා කළත් මට එහෙම හැඟීමක් තිබුණෙත් නැහැ. මං උන්නෙ වියළි ගමක. පාරිසරික සුන්දරත්වයක් දකින්න තිබුණෙ නැහැ. ස්වාධීන පුද්ගලයෙක් විදියට ජීවත් වීමේ අවශ්‍යතාවයි, වැඩ කිරීමේ උවමනාවයි විතරයි මට තිබුණෙ. ඒක කරන්න ගම ද, නගරය ද කියල හිතුවෙ නැහැ. කොළඹට ඇවිත් බෝඩිමක ගෙවුණු මුල් මාස කිහිපය දරන්න හරිම අසීරු වුණා. කොහොමවුණත් ගමේ හිටියෙ හරිම නිදහස් පරිසරයකනෙ. කොළඹ ආවම හැම පැත්තෙන්ම බිල්ඩින්. අහස දකින්න නෑ. බෝඩිං කෑම වුණත් හරිම අමාරුයි. මට දැනුණෙ සිරගත වුණා වගේ හැඟීමක්.

පළවෙනි මාසෙ වැඩ කරල නිවාඩු අරන් කෝච්චියෙ ගමට යද්දි, පැතිරුණු නිල් අහස දකිද්දි මට හරි නිදහස් හැඟීමක් දැනුණා අද වගේ මතකයි. කාලයක් යද්දි මම මේ ජීවිතේට පුරුදු වුණා. විවරණ සඟරාවට අමතරව වෙනත් වැඩවලටත් සම්බන්ධ වුණා. ගමෙන් නගරයට සංක්‍රමණය වීම තුළ භෞතිකව සිරගත වීමක් වගේ දැනුණත් ක්‍රමයෙන් වැඩවල යෙදෙද්දි ඒ හැඟීම සාමාන්‍යකරණය වෙලා, ඉන්පස්සෙ වැඩ තමයි මගෙ ජීවිතේ වුණේ.

සමාජ දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස ඉස්මතු වීම නිසා ඔබ තුළ සිටි ලේඛිකාව අකාලයේ මියැදුණා කියල මට හිතෙනවා. ඒ නිර්මාණශීලී, මානව හිතවාදී ලේඛිකාව අතරමඟ අත්හැරීම පිළිබඳව කතා කරමුද?

මං කළ වැඩත් එක්ක මං හිතපු දේවල් ලියන්න බැරි වුණා. ඒක ඇත්ත. මගේ ජීවිත අත්දැකීම් පරාසය, මගේ හැකියාවන් දන්න අය මාව උනන්දු කළා, පෙළඹෙව්වා වැඩ අඩු කරල ලියන්න කියලා. නමුත් මට ලියන්න බැරිවුණා. මගේ වෙනස ඒක තමයි. සමහරු සමාජ ප්‍රශ්න, මානව ප්‍රශ්න හැමදේම පැත්තක තියල, ඒවාට ක්‍රියාකාරීව දායක නොවී ගෙදරට වෙලා නිර්මාණකරණයේ යෙදෙනවා. මට එහෙම බැහැ. මම හැමවෙලේම රටේ වෙන දේවල් එක්ක සංවේදි වෙනවා. මානව අයිතීන්, කාන්තා ප්‍රශ්න, මාධ්‍ය අයිතීන්, ජනවාර්ගික ගැටලුව වගේ කාරණා එක්ක මිනිසාගේ ජීවත්වීමට අහිතකර තත්වයන් මතුවෙද්දි මට නිහඬව ඉන්න බෑ. යුක්තිය වගේ පත්තරයක වැඩ කරද්දිත් පත්තරයකට වඩා වැඩි යමක්කියන එක තමයි අපේ තේමාව වුණේ. පත්තර කලාවෙන් ඔබ්බට ගිහින් අපි පත්තරය තුළිනුත් ක්‍රියාකාරීව වැඩකළා. සමාජ ව්‍යාපාර හැදුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හැදුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භයේ සිට අද දක්වා අඛණ්ඩවම ඉන්න ක්‍රියාකාරී සාමාජිකාව මම. සාමාජිකයත් මම. තනතුරුත් දරල තියෙනවා. දැනටත් කැඳවුම්කාරිනිය විදියට වැඩ කරනවා. යුතුකමක්, වගකීමක් විදියට හිතල සමාජය වෙනුවෙන් වැඩ කරද්දි මගේ නිර්මාණ කටයුතු යටපත් වුණා. ඉඳහිට සාහිත්‍ය කලා නිර්මාණ රස විඳින්න අවස්ථාවක් ලැබුණම මගේ ඇතුළෙ ඉන්න සාහිත්‍යකාමී ගැහැනිය මතුවෙනවා. මටත් මෙහෙම දේවල් ලියන්න පුලුවන්නෙ, මේ අත්දැකීම් මටත් තියෙනවනෙ කියල හිතෙනවා. නමුත් ලියන්න වෙලාව නැහැ. ඒ දේවල් කරගන්න බැරි වුණා කියල දුක් වෙලා වැඩකුත් නැහැ. කරන්න බැරි වුණ බොහෝ දේවල් තියෙනවා.

ඔබ මාධ්‍යවේදිනියක්, සමාජ දේශපාලන ක්‍රියාකාරිනියක් විදියට දන්නා හඳුනන සහෘද පිරිසෙන් බහුතරයක් ඔබේ සාහිත්‍ය කලා කටයුතු ගැන දන්නෙ නැහැ. ඒ සීතා රංජනී නම් වන සාහිත්‍යවේදිනිය සිදු කළ නිර්මාණ කාර්යයන් ගැන සිහිපත් කරනවනම්?

මගේ ආරම්භය කවිය. පාසල් වියේ මම ලියූ කවියකට අනුරාධපුර දිස්ත්‍රික්කෙන් පළමු තැන ලැබුණා. මම කවිය එක්ක බැඳෙන්නෙ එතැනදි. 1972 දි කවියට පළමු සම්මානය ලැබුණෙ. රජරට සේවයෙ ඉද්දි ගුවන්විදුලි නාට්‍ය පිටපත්, ගී රචනා ගොඩක් ලියවුණා. ළමා නාට්‍ය, ගීත නාටක, විචිත්‍රාංග, කාන්තා වැඩසටහන් විශාල ප්‍රමාණයක් රචනා කළා. මේ හැම නිර්මාණයකම පිටපතක් මා ළඟත් තිබුණා. 88-89 භීෂණ කාලෙ මං කොළඹ ජනවාර්ගික අයිතීන්, මානව අයිතීන් වෙනුවෙන් වැඩ කරමින් උන්නා. ගෙදර අය බයවෙලා කිසිම ඇහිල්ලක්, බැලිලක් නැතිව මගේ සියලුම දේවල් ගිනි තියල තිබුණා. ඒ දවස්වල දුරකථන පහසුකම් තිබුණෙත් නැහැ. මගේ නිර්මාණ ජීවිතයේ මුල් අවදියෙ කළ සියලු වැඩ ගිනි දෙවියාට බිලි වුණේ එහෙමයි. මගේ උනන්දුවක් නැතිකම නිසාත් සමහර නිර්මාණ නැතිවුණා. දැන් ඉන්න ගෙදරට ගං වතුර දාලත් සමහර නිර්මාණ විසිකරන්න සිද්දවුණා. රජරට  සේවයෙ ප්‍රදර්ශනයකට තියන්න ළමා ගී, කවි, ගුවන්විදුලි නාට්‍ය වගේ අත්පිටපත් පහක් විතර කරල තිබුණා, ඒ ටික මම කොළඹ එද්දි අරන් ආව නිසා ආරක්ෂා වුණා.

හැත්තැ ගණන්වල ලියමින් උන්නට 93 දි තමයි මගේ පළමු පොත පලවෙන්නෙ. ඒ පළමු කවි පොත කතා කරන ගිනිදළු’. 86 ඉඳන් 93 දක්වා සමාජ දේශපාලන වටපිටාව ඇසුරු කරගෙන, ඝාතන සංස්කෘතියට විරුද්ධව ලියවුණු කවි. ඒකත් සමාජ වැඩක්. මගේ වැඩවලම පිළිබිඹුවක්. කතා කරන ගිනිදළුකවිය රිචර්ඩ් ද සොයිසාගෙ ආදාහනයෙන් පස්සෙ කොළඹ කනත්තෙ ඉඳල ඒ අහසට නැගෙන ගිනි දළු දිහා බලන් ඉඳල ගෙදර ඇවිත් ලිව්ව කවිය. සංකලන කියල සංස්කෘතික සඟරාවක් කළා ජනවාර්ගික අර්බුදය පදනම් කරගත්ත. ඒකෙ සංස්කාරිකා සටහන කියල මං හැමවෙලේම ලිව්වෙ කවියක්. ඒ කවි තමයි මේ පොතට ඇතුළත් වුණේ.

එයට සමාන්තරව තව කවි පොතක් කළා දෝංකාරය - යුදබිමෙන් උපන් කවිකියල. ඒක දෙමළ කවි කිවිඳියන්ගෙ කවිවල පරිවර්තනයක්. මම ඒක කරන්නෙත් මගේ වැඩවල කොටසක් විදියට. දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිංහල ජනතාව දැනුවත් කරන්න, සංවේදී කරන්න සංකලන සඟරාවේ පළ කළ කවි එකතුවක්. දෙමළ කවි කිවිඳියන්ගේ නිර්මාණ හොයාගෙන භාෂාව ගැන දන්නා අයගෙන් උදව් අරගෙන බොහොම අමාරුවෙන් පරිවර්තනය කරගත් කවි තමයි මේ කෘතියට ඇතුළ් වුණේ. යක්කුකියන කෙටිකතා පොත එන්නෙත් එහෙම.

98 දි මං අසනීප වෙනවා. පැහැදැලිවම කියනවනම් පිලිකාවකට ගොදුරු වෙනවා. අදට වඩා දරන්න හරිම අමාරු කාලයක්. ඒ බරපතලම අභියෝගයට මං මුහුණ දුන්න විදිය තමයි තිත්ත කවියට පෙරවදනක්කියන ආඛ්‍යාන කාව්‍යය. එදා කිමියෝ තෙරපි කරල මං හොඳටම අමාරුවෙන් උන්නෙ. ගෙදරත් තනියෙන්. දැන් ඉතින් ඇතිකියන හැඟීමෙන් තමයි එදා රැයේ මං ඇඳේ වැතිරුණේ. ඒත් එක්කම මට හිතුණා මේ විදියට උන්නොත් මට ආයෙ නැගිටින්න බැරි වෙයි කියල. මං ඉක්මණින් නැගිට්ටා. ලියනව කියල හිතාගෙන මේසෙ ළඟ වාඩි වුණා. කොලයක්, පෑනක් ගත්තා. ඒ මහා වැස්සක් කඩාවැටුණු රාත්‍රියක්. මගෙන් ලියවුණේ කවියක්. මා තුළ ඉන්න කිවිඳිය, සමාජ ක්‍රියාකාරිනිය ඔක්කොම අවදිවෙලා ඒ කාව්‍යාඛ්‍යානය ලියන්න මාව පෙළඹෙව්වා.

රජ රට සේවයට ලියූ ගුවන් විදුලි නාට්‍ය එකතු කරල බැරි බරනමින් කෘතියක් කළා. යුක්තිය පුවත්පතට ලියූ කතාවක් තමයි රාමන්’. එය දෙමළ ගරිල්ලා භටයකුගේ කතාවක්. තංගම්මාකියල ළමා ගී පොතක් කළා. සාම ක්‍රියාවලියට දරුවන් සංවේදී කිරීමේ අදහසින් ලියවුණූ ගීත එකතුවක්. තංගම්මා එක්කලකියන ගීතය ලියවුණේ රජරට සේවයෙ ඉද්දි. ඒ ගීතය ජනප්‍රිය වුණා. ගොඩක් වැඩවලදි භාවිතා වුණා. පොත නම්වුණෙත් ඒ ගීතය අනුව.

මාධ්‍යයට අදාළව කළ සමීක්ෂණයක් ඇසුරු කරගෙන අදහස් ඝාතනයේ ගොදුරුකියල කෘතියක් කළා. ඒක සාහිත්‍ය කෘතියක් නෙවෙයි. සුනාමියට පසුව කාන්තාවන් මුහුණ දුන් අභියෝග පිළිබඳව සුනාමි කාන්තාවෝකියල කෘතියක් කළා. මීට අමතරව සමාජ, මාධ්‍ය කටයුතුවලදි කළ පර්යේෂණ තියෙනවා, තීරු ලිපි එකතුවක් තියෙනවා. තවම කෘති විදියට පළ කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මීළඟට පළවෙන්නෙ සැප්තැම්බර් 06 වෙනිදා එළිදක්වන මගේ ගීත ඇතුළත් මල් වරුසාගීත පොත.

තිත්ත කවියට පෙරවදනක්කාව්‍යාඛ්‍යානය ඔබ ලියන්නෙ ජීවිතයේ බරපතල කඩඉමකදි. දැන් ආයෙමත් ඔබ එවැනිම අභියෝගයකට මුහුණ දී සිටිනවා. මහා ධෛර්යයකින් ඔබ මේ සියල්ල දරාගන්නවා. ඒ ධෛර්යවන්ත ගැහැනිය උපදින්නෙ කොහොමද?

ඒක තමයි, මීට කළින් කළ ගුවන් විදුලි වැඩසටහනකදි ඩබ්.ජයසිරිත් ඔය ප්‍රශ්නය ඇහුවා ඔයාට මේ ශක්තිය එන්නෙ කොහෙන්ද?’කියල. මගෙන් ගොඩක් අය අහනවා ඒක. මම තිත්ත කවියට පෙරවදනක්ලියනවා මගේ ජීවිතේ අමාරුම අවස්ථාවක. එදා මාව බලන්න එන අයගෙ ඇස්වල මාව මැරෙයි කියන බය මම දකිනවා. නමුත් මම ඒ මරණය බාරගන්න ලෑස්ති වුණේ නැහැ. මේ සමාජය වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න ඕන කියන හැඟීම මට දැනුණා. මේ සමාජයෙ සිදුවුණ දේවල්, සිද්දවෙන දේවල් මම ඒ කාව්‍යාඛ්‍යානයෙන් කියනවා, ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න ජීවිතය එක්ක මං ඉන්න ඕන කියන හැඟීම තමයි එය ලියද්දි මට ප්‍රබලව දැනුණෙ. මුල්වරට අසනීප වෙලා දැන් අවුරුදු 18 ක්. එදා ප්‍රතිකාර නිමවීමත් එක්ක මම විවේක ගත්තෙ නැහැ. බොහොම අවිවේකී වැඩ රැල්ලක උන්නා. මානසික සහනයක් තිබුණෙ නැහැ. අපිට එහෙම ඉන්නත් බැහැ. සමාජ ක්‍රියාකාරීන් විදියට සහ සමාජ ගැටලුවලට සංවේදී කෙනෙක් විදියට අහක බලාගෙන ඉන්න බැහැ. ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කම්පනය වෙනවා. ඒවට විරුද්ධව සටන් කරනවා. ලියනවා. වැඩ කරනවා. පහුගිය කාලය තුළම අපි ගොඩක් මර්දනයන් එක්කනෙ ජීවත් වුණේ. ඒවත් එක්ක ලොකු ආතතියකින් වැඩ කළේ. කළින් අසනීපයම ඊටත් වඩා බරපතල විදියට දැන් මාව හොයාගෙන ඇවිත් තියෙනවා.

එදා මං අසනීප කාලය තුළ කාව්‍යාඛ්‍යානය ලිව්වා. අද සන්නිවේදනයේ දියුණුවත් එක්ක අසනීප වුණා කියල පැත්තකට වෙලා නිදහස්ව ලියන්න අවස්ථාවක් නැහැ. කම්පියුටර් එකත් එක්ක අදටත් මං වැඩවල යෙදිලා ඉන්නෙ. මේ සැරේ අසනීප වෙලා රෝහල්ගත වුණාමත් මම ලැප්ටොප් එක අරන් ගිහින් මාධ්‍ය නිවේදන නිකුත් කළා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනිය විදියට. එදාට වඩා අද මාධ්‍යවේදීන්ට නිදහසක් තියෙනව තමයි. නමුත් මේ ආණ්ඩුව වුණත් අත්තනෝමතික විදියට වැඩ කරන අවස්ථාවලදි අපට නිහඬව ඉන්න බෑ. ප්‍රතිචාර දක්වන්න වෙනවා. එදාට වඩා අද හොඳයි කියල හිතල නිහඬව උන්නොත් තත්වය බරපතල වේවි. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රති සංවිධාන කටයුතු, ප්‍රතිපත්ති සම්බන්ධයෙනුත් අපි යම් වැඩකොටසක් කරමින් ඉන්නවා. මේ සියලු කටයුතු එක්ක මට මේ සැරේ අසනීප වුණයි කියල විවේකයෙන් ඉන්න ඉඩක් ලැබුණෙ නැහැ. ඒ නිසාම නිර්මාණ කාර්යයක් සිදුවුණෙත් නැහැ. මේ වසරත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වගකීම ඉටුකරල ඉදිරියෙදි නිදහස් වෙන්න ලැබේවි. සමාජ වැඩවලින් අයින් වෙනවා කියල ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. ජීවිතය මට තව කාලයක් ලබා දුන්නොත් මම නිර්මාණ කාර්යයේ මට මගහැරුණු අවස්ථා යම්තරමකින් හරි පුරවන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතේ හරස්කඩක්, මගේ ජීවිතයේ අත්දැකීම් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු මට ජීවිතය තව ටිකක් කාලය දුන්නොත්.

මේ අවස්ථාවෙදි ඔබ විශේෂයෙන් සිහිපත් කරන්නට කැමති යමක් තියෙනවද?”

මට පවුල් බැඳීම් නැහැ. මගේ සහෝදර සහෝදරියන් උණත් ඉන්නෙ අනුරාධපුරයෙ. එයාලට නිතරම මාව බලන්න එන්න විදියක් නැහැ. කළින් අසනීප අවස්ථාවෙදි වගේම ඊටත් වඩා මේ මොහොතෙ මගේ ළඟින් ඉන්නෙ මගේ මිතුරු මිතුරියො. කාලයක් මා එක්ක වැඩ කළ අය වගේම වැඩවලදි මා එක්ක නොසිටියත්, මාව තේරුම්ගත්ත සමීප පිරිසක් මගේ ළඟින් ඉන්නවා. ඒ මං කරන වැඩ අගය කරලා, මගේ ජීවිතයට සංවේදී වෙලා මාව ජීවත්කරවන්න වෙහෙස දරන පිරිසක්. මේ මිත්‍ර සම්බන්ධතා මට ලොකු ශක්තියක්. තනිකඩ ගැහැනියක් වුණත් මං තනිවෙලා නැහැ කියල දැනෙනවා. මං සමාජයට යමක් දුන්න නම්, සමාජය වෙනුවෙන් යමක් කළා නම් එය කොහෙන් හෝ පෙරළා මට ලැබෙනව. වැඩ කළා මිස අපි සල්ලි හම්බ කළේ නැහැනෙ. සමාජය වෙනුවෙන් කළ දේවලට පෙරළා මට ලැබෙන මේ ආදරය, ශක්තිය තමයි මා ඉතිරි කළ ධනය.

සීතා රංජනී සමඟ කළ සංවාදය නිමාවේ දී මසිත රැව් දුන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද කිහිපයක් ඔබ හමුවේ තබන්නට සිත් වෙයි.

 ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි.

ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.

සංවාද සටහන - තරුරසී ප්‍රනාන්දු

Thursday, May 30, 2024

පිපිරුණු හදවත් කැබලිදෝ මේ...

සේයාරුව අන්තර්ජාලයෙනි.
2019 අප්‍රේල් 21 ප්‍රහාරයට ලක් වූ කටුවපිටිය ජේසුස් පිළිරුව

වෙසක් පෝ දිනය දියබත් වෙමින් තිබිණි. හිටිවනම හෝස් ගා කඩා හැලෙන වැස්ස පැය කාලක්වත් එක දිගට වහින්නේ නැත. ඇරඹුණා සේම හමාර වන්නේ ය. නමුත් ඉර එළිය කඳුළක්වත් පේන්නට නැත. හාත්පස වැහි බීරම ය.

මාධවී දසඅතේ කල්පනා කළේ දියණිය නොතෙමා දානයට කැන්දා ගෙන යන අයුරු ය. ඇය පෙර දින සිට ම කන්කෙඳිරි ගෑවේ දන්සැල් කන්නට රවුමක් යාමේ උවමනාවෙනි. දන්සැල් ඇරඹෙන වගට සංඥා නංවමින් වරින් වර හතර වටින් රතිඤ්ඤා හඬ නැගුණද වැස්ස මඳකට හෝ තුරල් නොවූයෙන් කන්කෙඳිරිය නෑසුණා සේ ඉන්නට මාධවී ට සිදු විය.

නමුත් දානය මගහරින්නට බැරි ය. එය විශේෂිත දානයකි.

''අනේ මැණික ඒ මාමගෙ පවුලෙම අය කටුවපිටියෙ පාස්කු දවසෙ බෝම්බෙන් මැරිලලුනෙ. දුවල දෙන්නයි, එයාගෙ නෝනයි. ඒ අයට පින්සිද්ද වෙන්නලුනෙ මේ දානෙ දෙන්නෙ. ඒ හින්දා කොහොම හරි ගිහින් එමු."

මාධවී නව හැවිරිදි දියණියට පැහැදිලි කළේ ඒ මරණ තුන මේ දැන්, මෙතැන සිදු වී ඇත්තාක් මෙන් සංවේගයෙනි.

ඔය කියන මාමා මාධවී දුටුවේත් නැත. මාධවීගේ අසල්වැසියා කීවේ මිනිසකු පයින් ම දරුවන් සිටිනා නිවෙස් සොයා ඇවිද යමින් දානයට ඇරයුම් කළ බවකි. ස්වාමියා ද අහිමි ව තනිවම දැරියත් රැක බලාගෙන සිටිනා මාධවීට ආසන්නතම පිළිසරණට සිටින අසල්වැසියන් දියණියගේ නම ද, ඒ දන් ලැයිස්තුවට දී ඇත්තේ පාසල් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය මල්ලක් ලැබෙන බව ද කියා ඇති හෙයිනි.

''කටුවපිටිය බෝම්බෙන් පවුලෙ අය නැති වුණ හින්දා ඒ ඉඩකඩම් විකුණලා දාලා අල්ලපු ගමේ කුලියට ඇවිත් ඉන්නවලු තනියම. මමත් හැබැයි මීට කලින් දැකපු කෙනෙක් නෙමෙයි. ළඟකදි වෙන්න ඇති එන්න ඇත්තෙ. නැති වුණු දරු දෙන්නයි, නෝනයි සිහි කරලලු දානෙ දෙන්නෙ. ගිහින් බලමුකො. අපිත් යනවනෙ."

අසල්වැසියා පැහැදිලි කළේය.

''පයින් ම ගෙවල් ගාණෙ ගියා ද?"

''ඔව් පයින් ම ආවෙ. ළමයි ඉන්න ගෙවල් අහගෙන ආව කියලයි කිව්වෙ."

''පව් මිනිස්සු. බෝම්බ පිපිරිලා අවුරුදු පහක්. ඒත් ඒ දුක් වේදනාවල කෙළවරක් නෑනෙ."

..................

මාධවී දියණිය සෝදවා නිල් මල් ගවුමක් අන්දා, කොණ්ඩ කරල් දෙකක් ගෙතුවාය. 'දැන් මේ ළමයා දකිද්දි අර මනුස්සයට දුක හිතෙයිද දන්නෙත් නෑ. කාටද දෙයියනේ තමන්ගෙ දරුවො නැති වුණාම දරාගන්න පුළුවන්.' හිත හිතා, හිත හිතා ඇය නැවතත් දියණියගේ මල් ගවුම ගළවා පරණ, අඳුරු ගවුමක් ඇන්දෙව්වාය.

එකල කොහේ හෝ දැක තිබුණු මිය ගිය දැරියන් දෙදෙනෙකුගේ සේයාරුවක් මාධවීට සිහිපත් විය. සුදු පසුබිමේ ලා නිල් මල් ඉහුණු ගවුම් හැඳ, සුන්දර සිනාවෙන් සැරසී සිටි ඒ දැරිවියන් දෙදෙනා හැබෑම සිරියාවන්ත ය. 'අනේ දෙයියනේ මේ ඒ දරුවන්ගෙ තාත්ත ද දන්නෙත් නෑ...' මාධවී සුසුමක් හෙළුවාය.

''අනේ අම්මෙ... මේ ගවුමට මං ආස නෑ." දියණිය කන්කෙඳිරි ගෑවාය.

''කමක් නෑ මැණිකෙ. දැනට විතරයි. ඒ මාමට දුක හිතෙයි එයාගෙ දුවලව මතක් වෙලා. දානෙට ගිහින් ඇවිත් දන්සැල් කන්න යද්දි අපි ලස්සන ගවුමක් ඇඳන් යමු."

මාධවී කුඩා අත් බෑගයට කොන්තය ද, යාච්ඤා පොත් ද දමා ගත්තාය. 'ආගමේ කට්ටියක් වෙන්න ඇතිනෙ. නැතත් මොකද, ඒ මැරුණු අය වෙනුවෙන් ඔරසමක් කියන්න ඕනෙ. පව් මිනිස්සු.'

අසල්වැසියා සිය දියණිය ඉදිරිපස නංවාගෙන පැද යන බයිසිකලය පිටුපස, මාධවී ද සිය කාන්තා බයිසිකලයෙන් ගමන් කළාය. දියණිය දෙපා දෙපසට දමා බයිසිකලයේ ලගේජය මත වාඩි වී උන්නාය.

..................

''කිව්ව හැටියට නම් ඔය කියන ගේ තියෙන්න ඕන මේ පාරෙ."

අසල්වැසියා බයිසිකලය නවතා වට පිට බැලුවේය. මාධවී ද ඊට පිටුපසින් පාපැදිය නවතා ගත්තාය. පේන මානෙක දානමානයක් දෙන ලකුණකුදු නැත. වැහි අඳුර මැද නිවෙස් පවා බොඳ වී ගිය සෙයකි. ගුරු පාර කෙළවර සිට වියපත් මිනිසෙක් හරකෙකු දක්කාගෙන එමින් සිටියේය.

''මාමෙ මේ හරියෙ ඉන්නවද, කටුවපිටියෙ ඉඳල ඇවිත් කුලියට ඉන්න කෙනෙක්..." අසල්වැසියා ඇසුවේ වියපත් මිනිසාගෙනි. එක්වරම වියපත් මිනිසාගේ මුහුණට සිනාවක් නැගිණි. බුලත් කහට බැඳි දසන් දෙපෙළම පෙනෙන සේ ඒ සිනාව පුළුල් විය.

''ආහ්... ඒ පැත්තෙත් ගිහින් කිව්වද දානයක් දෙනවා කියල. ඔය මනුස්සයගෙ ඔලුව හොඳ නෑ. හැමතැනම ගිහින් ඔය කතාව ම කියනවා."

මාධවීත්, අසල්වැසියාත් මූණෙන් මූණ බලාගත්හ.

''මිනිහ කොහුමෝලෙ වැඩ. හැබැයි කොහෙන් ආවද කියන්න නම් අපි දන්නෙත් නෑ. හොර බොරු නෑ. වැඩ නැත්නම් හතර අතේ ඇවිද ඇවිද ඔය කතාව කියනවා. මේ පාර කෙරවලේ තියෙනවා ගෙයක්. ඒ මිනිස්සුත් කොහු මෝලෙ වැඩ කරන්නෙ. අන්න මිදුලෙ ඇණ තියන් ඉන්නවා දැක්කා ඔය කියන මනුස්සයා ගිහින් කතා කරල බලන්නකො."

...................

''ඒ මනුස්සයගෙ හැඩ රුව දැක්කම නම් ඕන කෙනෙකුට හිතෙනවා එහෙම දන්පින් කරන්න වත්කමක් ඇති කෙනෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් ඔය වගේ කතාවක් කිව්වම කවුද හිතන්නෙ බොරුවක් කරනවා කියල..."

වැඩි දුර නොයා අසල්වැසි සව් දන්සැලක් සහ නූඩ්ලස් දන්සැලක් වැඳගෙන දියණිය සමඟ මහගෙවල් පැත්තේ ගිය මාධවී නිවැසියන්ට දානෙ විස්තර කීවේ සිනාසෙමිනි.

''මරු දානෙ...ආච්චම්මෙ මරු දානෙ..." දියණිය ද සිනාසෙමින් කොණ්ඩා කැරලි ගැස්සුවාය. ඇය හැඳ සිටියේ උදෑසන ගලවා දැමූ නිල් මල් වැටුණු ගවුම ය. ''මට උදේ දන්සැල් කන්න යන්නත් බැරිවුණා."

''ඔය මනුස්සය මේ පැත්තටත් ඇවිත් ගිහින් තියෙනවා. අර ළමයි හතරක් ඉන්න ගෙදර මනුස්සයට කිව්වලු ගේ හදල දෙන්නං කියලත්. එන්න කරදර වෙන්න එපා දානෙ බඩු ත්‍රීවීල් එකක ගෙනත් දෙන්නං කියලත් කිව්වලුනෙ... හරි පුදුම මනුස්සයෙක්නෙ..."

මාධවීගේ මව ඈ දත් තොරතුරු ද දාන කතා වස්තුවට එක් කළාය.

''අනික දැන් අපි ගියානෙ මනුස්සයා හොයාගෙන. උඩට කමිසයක්වත් නෑ. පරණ සරමක් ඇඳන් උන්නෙ. අපි ගිහින් දානෙ ගැන ඇහුවම කිසිම ගාණක් නැතිව කිව්වනෙ වැස්ස හින්ද දානෙට ඕන කරන බඩු ගන්න බැරි වුණා, ඒ හින්දා දානෙ කල් දැම්මා කියලා. ඒ මදිවට කියපි යන්කො ගෙදර, එන පාරෙ වෑන් එකක් තිබුණ නේද අන්න ඒ ගෙදර මං ඉන්නෙ කියල. උඩහ ගෙදර අයියා උන්නු නිසා මිසක මම නං මේ සම්මජ්ජාතියෙන් ඔය ගංගොඩේ යන්නෙ නෑ. ඉස්කෝල බඩු නෙමෙයි, රත්තරං පවුං දෙනව කිව්වත්."

කට වචන අදහාගෙන ගිය ගමන ගැන දැන් දැන් ඈ සිත වන්නේ කණස්සල්ලකි. කටුවපිටිය බෝම්බය සහ දරුවන් ඈඳී නොතිබුණා නම් ඇය එවැනි ගමනක් යන්නට සිතන්නේවත් නැත.

''ඉතින් ඒ මනුස්සයගෙ ගෙදර ගියා ද?" මාධවීගේ මව ඇසුවාය.

''මොන... වෑන් එක තියෙන ගේ පෙනි පෙනී මනුස්සයා වෙන වත්තකට පැන්නා. දානෙ දෙනකොට පණිවිඩයක් දෙන්නම් කියාගෙන. එන්නත් ඕන නැහැලු. ගෙදරටම ගෙනත් දෙන්නංලු. අර අපට පාර කියපු මාමා ආපහු හම්බවුණානෙ එද්දි. උන්දැ කියනවා ඒ වෑන් එක තියෙන ගෙදර එයාගෙ පුතාගෙලු. අර දානපතියා ඉන්නෙ පොල්වත්තෙ මුර මඩුවෙලු."

මාධවීගේ කතාවට කේතලයත් දුම් දම දමා හිනැහිණි. කුඩා ලී වංගෙඩිය තුළ තැලි තැලී ඉඟුරු කැබැල්ල සැර සුවඳක් විහිදුවන්නට විය.

''අප්පේ එහෙමත් බොරු කාරයෙක්. හොඳ වෙලාවට තනියෙන් නොගියෙ."

මාධවී මදක් හිතිවිල්ලේ කරක් ගැසුවාය.

''මට හිතාගන්න අමාරු අම්මේ, ඒ මනුස්සයගෙ ඔලුව හොඳ නැති වුණේ කොහොමද කියලා? අනික කියන්න ඕන තරම් බොරු තියෙද්දි ඇයි අර වගේ කතාවක් ම කියන්නෙ. අනික හැමතැනම කියන්නෙත් එකම කතාවලුනෙ. ඇත්තටම පවුලෙ අය බෝම්බෙන් නැතිවුණාද දන්නෙත් නෑ. මනුස්සයට කාගෙවත් අනුකම්පාවක්, අවධානයක් ඕන වගක් පේන්නෙත් නෑ. අනේ මන්දා..."

''ඔයින් ගියා මදෑ..." අම්මා ගොජ ගොජ ගා ගැහෙන කේතලය ගෙන තේ බඳුනට හීන් සීරුවේ උණු වතුර වත්කළාය.

''ඇත්තටම ඒ මනුස්සයට එහෙම කරදරයක් වෙලා නම් ?" මාධවී තේ බඳුනෙන් නැගෙන දුම් කැරලි බිඳී විසිරී යන දෙස බලමින් කියා ගත්තේ තමන්ටම ය. ආයෙමත් සිරි සිරි පොද ය. අහස මහ වැස්සකට අර අදිමින් හිඳී.

''වෙලා නම් ඒත් මොනව කරන්නද? නැති වුණු මිනිස්සු නැතිවුණා. ඉතුරු වුණු මිනිස්සු විඳවනවා... යුක්තියක්, ධර්මයක් තියෙන රටක්යැ මේ?"

''හ්ම්... ආයෙමත් ඡන්දයක් ළඟයි.''

අම්මා අත තැබූ තේ කෝප්පයට අසිහියෙන් මුව තැබූ මාධවී තොල් පට පුච්චා ගත්තාය.

දියණියගේ සිනා හඬ ගෙමිදුල දෙසින් ඇසිණි. මාධවීට යළිත් සේයාරුවේ උන් කටුවපිටියේ දියණියන් දෙදෙනාගේ සිනා මුහුණු සිහිපත් විය. ඇය දිගු සුසුමක් හෙළුවාය.

Monday, May 13, 2024

නාඳුනන ගැහැනිය සහ මධු සමය අහිමි මංගල්‍යය

(ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිනියක වන තිලිනා වීරසිංහ සමග කළ මෙම සංවාදයේ සංක්ෂිප්ත ලිපියක් 2015.08.23 දින
'නිහඬතාව සැහැසියි' මැයෙන් යුතුව රාවය පුවත්පතේ පළ විය. අප එම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ 'දියොනිස් දෙවොල පාමුල සිට නාඳුනන ගැහැනිය හඳුනා ගැනීම' මැයෙන් 2015 මැයි 24 දින මීගමුවේ පැවැත්වූ සංවාදය වෙනුවෙනි. 

එහි සම්පූර්ණ සටහන නැවත බ්ලොග් අඩවියේ පළ කරනුයේ   2024.05.17 දින 'බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වෙන 'මධු සමය අහිමි මංගල්‍යය' සංවාදශීලී සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙනි. )


 

අප තේවත්ත විහාර මාවතෙන් හැරී ගමනාන්තය සොයමින් සැරිසරන විට නාඳුනන ගැහැනිය දන්නා හඳුනන ළෙංගතු සිනාවක් සහිත ව ගේට්ටුව අබියස වූවා ය. එකී සිනහව සමඟ තවදුරටත් ඇය නාඳුනන්නියක නොවූවාය. ඇය තිලිනා වීරසිංහ ම වූවා ය.

වසර 19 කට පසු දියොනිස් දෙවොල පාමුල සිට නාඳුනන ගැහැනිය හඳුනා ගැනීම මැයෙන් විණැන කලා හා මාධ්‍ය පදනම සංවිධානය කළ සාහිත්‍ය කතිකාවට පෙර ඇය හමුවීම අත්‍යවශ්‍ය බව හැඟුණි. ඇයගේ කෘති හරහා දැන හඳුනා ගත් නිදහස අගයන, මානවවාදී ප්‍රේමයෙන් පිරිපුන් පෙරළිකාර ගැහැණිය සැබෑ ලොව හමුවීමේ දොළක් වී යැයි පැවසීම ද අතිශයෝක්තියක් නොවේ.

හරිත තුරුලිය ගොමුවකින් වට වූ ඇයගේ නිවහනේ සිහිලැල් ආලින්දය තුළ නිදහස්ව ගලා ගිය හෘද සංවාදයේ අකුරු ඇමිණුමයි මේ.

 

ඔබ ලාංකේය සාහිත්‍යයේ පැහැදිලි අනන්‍යතාවක් සනිටුහන් කළ ලේඛිකාවක්. කොහොමද මේ පසුබිම ගොඩනැගුණේ?

මම පුංචිම කාලෙ ඉඳල ලිව්වා. මුලින්ම මගේ ලේඛන හැකියාව අඳුන ගත්තෙ මගේ තාත්තා ආනන්ද වීරසිංහ. ඒ මට අවුරුදු නවයෙදි විතර. අවුරුදු හයක් මගේ නිර්මාණ පුවත්පතක පළ නොවෙද්දිත් ළමා පුවත්පත්වලට නොනවත්වා ලියන්න මාව උනන්දු කළේ තාත්තා. හැබැයි මම උසස්පෙළට ඇවිදින් කලා විෂයන් හදාරන්න තෝර ගනිද්දි අරගලයක් ඇති වුණා. පවුල සමඟ ඒ ඇතිවුණු ගැටුම් මගේ කතාවලටත් ඇවිත් තියෙනවා. බැඳීමක් ආදරයක් වගේම අපි අතර නිරන්තර අරගලයකුත් තිබුණා. ඒ අරගලය තවමත් පවතිනවා.

මම ගෝතමී බාලිකාවෙ ඉගෙනගනිද්දි, 1985 ගෝතමී කියල පත්තරයක් අපි දෙතුන් දෙනෙක් කළා. මගපෙන්නුවෙ මගේ උසස් පෙළ සිංහල ගුරුතුමිය ජයවතී ජයසිංහ. මේ වැඩවලට තාත්තා විරුද්ධ වුණා. ගෙදර එන්න රෑ වීම, ඉගෙනීමට බාධා වීම ඒ වගේ හේතු කාරණා එක්ක තමයි ඒ විරෝධය පැන නැගුණෙ. නමුත් අවසානයේ උසස්පෙළ හැදෑරුවට පස්සෙ මාව බැංකු ක්ෂේත්‍රයට හෝ වෙනත් වෘත්තියකට යොමු කරන්න ගත් උත්සාහය අසාර්ථක වුණාම, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන විජිත යාපා මහතාට කියල මාව විජය ආයතනයට සම්බන්ධ කළෙත් තාත්තා.  ඒ අනුව 1988 මම  ලංකාදිපෙට යනවා ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් විදියට.

මගේ මුල්ම කෘතිය නාඳුනන ගැහැණිය කියවල තාත්තා කම්පා වුණා. උඹව විශ්ව විද්‍යාලෙ යවල උගන්නන්නෙ නෑ මේ වගේ පොත් ලියන බව දන්නවනම් කිව්වා. 1950 දශකයේ ගුරු වෘත්තියට පිවිසුණු මගේ දෙමව්පියන් සාම්ප්‍රදායික සංස්කෘතික රාමුවක හැදී වැඩුණ අය. ඔවුන් මේ නිර්මාණ කියව ගත්තෙ ඒ රාමුව තුළයි. පොතේ ආරම්භයෙදිම අත්දැකීම් කියලත් තිබුණනෙ. දිගින් දිගටම පවුලෙන් එල්ල වුණු විරෝධතාව තියෙද්දිත් මම දිගටම ලිව්වා. 2008 සමනල මරණය පළවුණාම, ඒ වගේම මම ලිව්ව දේශපාලනික ලිපි නිසා තාත්තා අවසන් කාලෙ ගොඩක් බයෙන් හිටියා මට අනතුරක් වෙයි කියල.

මධුසමය අහිමි මංගල්‍යය පොත මම ගෙදර තිබ්බෙ නැහැ පේන්නවත්. අම්මටයි, තාත්තටයි කම්පනයක් දැනෙන්න ඉඩ තිබුණ නිසා. හැබැයි තාත්තා සමනල මරණය කියවල තිබුණා. මම පොතක් දුන්නෙත් නැහැ. ගෙදර කොතැනක හරි තිබිල එයා පොත කියවන්න ඇති. පොත කියවල මගෙන් ඇහුවා පොතක් ප්‍රින්ට් කරන්න කොයිතරම් මුදලක් යනවද කියල. මම කිව්වා රුපියල් 50000 ක් විතර. ඊළග පාර ඔයා හොඳ පොතක් ලිව්වොත් මම පොත් මුද්‍රණය කරගන්න සල්ලි දෙනවා කියල තාත්තා කිව්වා. ඒ වගේම තාත්තා මිය යද්දි මට යම් මුදලක් ඉතිරි කරල තිබුණා තව පොතක් දෙකක් ප්‍රකාශ කරන්න. ඒකෙන් තමයි නාඳුනන ගැහැණිය නැවත මුද්‍රණය කලේ.

පවුල කියන්නෙ රාජ්‍යයේ මූලික ඒකකයනෙ. ඒ මූලික දේශපාලන සමාජ ඒකකය වන පවුල තුළ තියෙන ගැටුමට මටත් මගේ පවුල තුළ මුහුණදෙන්න සිද්දවුණා. මම ඒ තුළ හිරවෙලා ඉන්න කැමති වුණේ නෑ. මම නිදහසට කැමතියි. ඒ නිසා පවුල තුළත්, රාජ්‍ය තුළත් නිදහස වෙනුවෙන්, සමාජ සමානාත්මතාව වෙනුවෙන් නිරන්තර අරගල කරනවා. මගේ අයීතීන් එක්ක වැඩ කරන්න වගේම මම අනිත් අයගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නත් කැමතියි.

අපි නාඳුනන ගැහැනිය ගැන කතා කරමු. නාඳුනන ගැහැනිය පළවෙන්නෙ 1996 වසරෙදි. එදා සමාජය කොහොමද ඇයව හඳුනාගන්නට උත්සාහ කළේ ?

1988 සිට 1993 දක්වා ලංකාදීප පුවත්පතේ ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් ලෙස සිටි මගේ අදහස් ප්‍රකාශනයට සීමා කිරීම්, බාධා කිරීම් සිදුවෙද්දි මම 1993 රාවය පුවත්පතට සම්බන්ධ වුණා. නාඳුනන ගැහැනිය පළවෙන්නෙ මම රාවය පුවත්පතේ දේශපාලන විශේෂාංග ලේඛිකාවක් විදියට කටයුතු කරමින් සිටියදීයි. ස්ත්‍රියක් විදියට සමාජය තුළ මම අත්විඳින දේ ලියන්න පසුබිමක් ලාංකීය සාම්ප්‍රදායික පුවත්පත් රාමුව තුළ තිබුණෙ නැහැ. විකල්ප කියන පුවත්පත්වල වුණත් ඒ සඳහා වැඩි ඉඩක් ලැබුණෙ නැහැ. මා අත්විඳින පීඩාකාරී දේශපාලන, ආර්ථික ව්‍යුහයට මා තුළ ගොඩනැගුණු දේශපාලනික විරෝධය කෘතියක් හරහා සමාජගත කරන්නට මං උත්සාහ කරන්නෙ ඒ අනුවයි.

මුලින්ම මේ පොත ‘ආදරය සහ ආදරය‘ නමින් මුද්‍රණයට බාර දීල තිබුණු අවස්ථාවකයි කොළඹ මහ බැංකු බෝම්බය පිපිරෙන්නෙ. යුධ ප්‍රහාරයකදි හැම කෙනෙක්ම උනන්දු වුණේ තමන් දන්නා අඳුනන කෙනෙක් මිය ගිහින්ද කියල දැනගන්න. තම සමීපතමයන් මිය ගිහින් නැති බව දැනගත්තම ඉබේම සැනසුම් සුසුමක් හෙලනවා. නමුත් ඒ වෙද්දිත් යුද්දය නිසා බරපතල ලෙස මිනිසුන් මිය යමින් තිබුණා. දීර්ඝකාලීනව මා තුළ යුධ විරෝධයක් ලියලමින් තිබුණා. මහබැංකු බෝම්බයේ කම්පනයත් එක්ක ඒ විරෝධය, යුද්ධයේ අමානුෂික මුහුණුවර කතාවක් විදියට ඉස්මතු වීමයි සිද්දවුණේ.  විනාඩි විස්සක වගේ කාලයකදියි නාඳුනන ගැහැනිය ලියවුණේ. කිසිදු සංස්කරණයකින් තොරව ඒ කතාවත් එකතු කරල නාඳුනන ගැහැනිය නමින් පොත එළිදැක්වුණා.

නාඳුනන ගැහැනිය මුල් මුද්‍රණයෙදි හොඳ ප්‍රතිචාර ලැබුනා. ස්වාධින සාහිත්‍ය උළෙලේ අවසන් වටයේ කෘති තුනට තේරුණා. විචාරකයන් යම් පමණකට කෘතිය ගැන කතා කළා. ඒ වෙද්දි නිර්මාණ සංවාදය කියන එක ලාංකේය සමාජයේ තිබුණෙ නැහැ, විශේෂයෙන්ම ස්ත්‍රියකගේ දේශපාලන ලේඛනයක් සම්බන්ධව.

සමස්තයක් විදියට ගත්තම මගේ පොත් ගැන කතිකාවක් ඇති වුණේ නැහැ. මම ඒක දකින්නෙ පෞද්ගලික කාරණයක් හැටියට නෙවෙයි. ස්ත්‍රිය සහ ලිංගිකත්වය ගැන කතා කරන ස්ත්‍රීන් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් හැටියට. ‘දියොනිස් දෙවොල පාමුල සිට‘ නවකතාව සමාජගත කරල අද නදීකා මුහුණ දීල තියෙනවනම් ප්‍රශ්නයකට මතවාදීව ඒකෙම දිගුවක්. අපි මේ තත්වය වෙනස් කරන්න ඕන. ඉන්දීය සමාජය අපට වඩා ඉතාම දැඩි සාම්ප්‍රදායික මතවාදවල එල්බගෙන සිටියා වුණත් නිර්මාණ කාර්යයේ යෙදුණ ස්ත්‍රීන් වෙනුවෙන් මීට වඩා හොඳ සමාජ ප්‍රතිචාර ලැබෙනවා. තමන්ගෙ කෘති සමාජගත කරන්න අවකාශ තියෙනවා. නමුත් අපිට එහෙම ප්‍රතිචාරවත්, සහයක්වත් ලැබෙන්නෙ නැහැ. හරිම අඩුයි. බොහෝ අය ස්ත්‍රින්ගේ නිර්මාණ සමාජගත කරන්න පෙනී සිටින්න අකමැතියි. සිමොන් ද බෝවා, අරුන්දතී රෝයි පරිවර්තන කියවන අය ලාංකේය ලේඛිකාවන්ගෙ කෘති කියවන්නෙ නැහැ. එය කණගාටුදායක තත්වයක්. ලේඛන ශෛලියේ, නිර්මාණකරණයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් නොකියවා අත්හැරීමෙන්, කතිකාවක් ඇති නොවීමෙන් මේ සමාජය යහපත් තැනක් කරන්නට ලේඛිකාවන් විදියට අපි දරන වෙහෙස නොතකා හැරීමක් සිද්ද වෙනවා.

 


ඔබ ස්ත්‍රීවාදිනියක්, ස්ත්‍රීවාදී ලේඛිකාවක් විදියට හඳුන්වනවා. එක් අතකින් මෙය ඔබේ ලේඛන ශ්‍රමය ලඝු කිරීමක් විදියටයි මම දකින්නෙ. ඇත්තටම ඔබ ස්ත්‍රීවාදිනියක් ද?

ලෝකයේ විවිධ දේශපාලන මතවාද තියෙනවා. මාක්ස්වාදය, ෆැසිස්ට්වාදය, ලිබරල්වාදය, ප්‍රජාතන්තවාදය වගේ. ස්ත්‍රීවාදය කියන්නෙත් දේශපාලන මතවාදයක්. ඒ මතවාදය බිහිවෙන්නෙ ස්ත්‍රීන් දේශපාලනික, ආර්ථික සංස්කෘතික අයිතීන් ඉල්ලා කරන දේශපාලනමය අරගලයෙදි. ඒ වටා ගොඩනැගෙන සාහිත්‍ය නිර්මාණ අදහස් සහ මතවාද එකතුවක් තමයි ස්ත්‍රීවාදය කියල කියන්නේ.

මම ස්ත්‍රීවාදිනියක් කියල රටේ අය හඳුන්වනවා. මම මගේ අයිතිවාසිකම් සහ සමස්ත ලංකාවෙ මිනිසුන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක්. මමත් ගැහැණියක්. ඒ නිසාම මමත් ඇතුළුව ගැහැණිය මේ සමාජය තුළ අත්විඳින පීඩාව සම්බන්ධ විශේෂ හැඟීමක් මට තියෙනවා. ඒ නිසා ම මම ස්ත්‍රීන් වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටිනවා. මොකද ඔවුන්ට හඬක් නඟන්න බහුතරයක් සහය නොදෙන නිසා. නාඳුනන ගැහැනිය කෘතියෙ ‘ආදරය සහ ආදරය, ‘දෙයියන්නාන්සෙගෙ කැමැත්ත, ‘පිටුවහල් කළ තරුණිය කෘතියේ ‘අධිකරණය ඉදිරියට ගිය සොල්දාදුවා, ‘සමනළ මරණය කෘතියේ ‘සමනල මරණය හරහා හමුදාවට බැඳෙන ග්‍රාමීය තරුණයන්ගේ ඛේදවාචකය, ‘නගරයේ ආදරවන්තයා, ‘මධුසමය අහිමි මංගල්‍යෙය් ‘ඇගේ මිත්‍රයාගේ ආදරවන්තයා ඔය මම නම් කරපු සියලුම කතාවල කේන්ද්‍රිය චරිත වෙන්නේ පුරුෂ චරිත. ‘පිටුවහල් කළ තරුණිය කෘතියේ එන ‘ආදරයෙන් සිරගතවීම තුළ වෙනම කතාවක්. සමලිංගික ගැහැණු දෙදෛනක් සහ සමලිංගික පිරිමි දෙදෙනෙක්. මේ මම ඇසු දුටු අත්දැකීම්. මේ පොත්වල හැම කතාවක්ම ඇත්ත අත්දැකීම් සමඟ මුසු වී තිබෙනවා.

මගේ සාහිත්‍ය කෘතිවල ස්ත්‍රියක අත්විඳින පීඩාවන් වගේම, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා, අපට යුද්ධයෙන් මිදෙන්න තියෙන අවශ්‍යතාව, පවතින දේශපාලනය ප්‍රශ්න කිරීම, උපහාසයට ලක්කිරීම වගේ විවිධ තේමාවන් ඇතුළත්. ස්ත්‍රීවාදිනියක් විදියට මාව හඳුන්වන අය ඇත්තටම මගේ පොත් හරියට කියවල නැහැ. මගේ දේශපාලන මතවාද කියවන්නෙත් නැහැ. මම දැඩි ලෙස රාජ්‍ය මතවාද අභියෝගයට ලක්කරන්නියක්. සමස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව මැදිහත් වන්නියක්. ඉතිං ස්ත්‍රිය මත ප්‍රචණ්ඩත්වය පමුණුවන ව්‍යුහය පුපුරුවා හැරිය යුතු බව මං අවධාරණය කරනවා. එය සබුද්ධිකව වටහා ගත යුතු මානුෂීය තත්වයක්. මේ සමාජය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සැදුම් ලද්දක් කියන ඒ ස්වභාවික රීතිය මං පිළිගන්නවා. ඒ තුළ ගැහැණුන්ට මානවීය වශයෙන් රැඳී සිටින්න තියෙන අයිතිය වෙනුවෙන් මං පෙනී සිටිනවා. මං ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් පමණක් නෙවෙයි සමස්ත සමාජය තුළ මානව අයිතීන් වෙනුවෙනුයි පෙනී සිටින්නේ.

‘මධුසමය අහිමි මංගල්‍යය ලිවීමේ අරමුණම හොඳ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන මානුෂීය සංවාදයක් ගොඩනැඟීමයි. ‘ඇගේ සිහිනය අද්දර කතාවත් එහෙමයි. හොඳ මෘදු මනුෂ්‍ය සම්බන්ධතා තියෙනවා. ඒවා එක්ක ආදරය ගැන අලුත් කතන්දරයක් ඕන. සම්ප්‍රදායික බැඳීම්වලින් තොරව පවතින මානුෂික සම්බන්ධතා ගැන හෘදයාංගම කතාබහක් සමාජය තුළ ඇතිවෙන්න ඕන.

ඉතින් ස්ත්‍රීවාදයට බයවෙන්න එපා. 19, 20 සියවස මුල ලෝකයේ පැවති දේශපාලන තත්වයන් එක්ක, වැඩවසම් යුගය බිඳ වැටිල ගොඩනැගුණු කාර්මීකරණයත් ධනවාදයත් එක්ක ගෙවල්වල හිරවෙලා හිටපු ගෑණු අධ්‍යාපනය ලබන්න, දේශපාලනය කරන්න, සංස්කෘතික නිදහස ලබන්න විශාල අරගලයක් ගෙන ගියා, බටහිර රටවල. ඡන්ද අයිතිය, අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කිරීම හා විවාහ සංස්ථාව තුළ ප්‍රචණ්ඩත්වයෙන් මිදීම එවැනි කාරණා තමයි මුල්වුණේ.

ගෑණුන්ව ගෘහය තුළ ප්‍රචණ්ඩත්වයට ලක් කරන්න එපා කියල මීට අවුරුදු 20 කට උඩදි මම ලියද්දි, කතා කරද්දි මං ලේඛනයේ යෙදුණු විකල්ප මාධ්‍ය ආයතන තුළින් පවා මාව උපහාසයට ලක් කළා. හැබැයි අද ඒක රාජ්‍ය මතවාදයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා සමාජගත කර තියෙනවා. ඒ ගැන මට සතුටක් දැනෙනවා. ඒ වගේ අරගල තුළින් තමයි ස්ත්‍රිය තම අයිතීන් දිනාගන්නෙ. සමහර වෙලාවට ස්ත්‍රියක් නිර්මාණයක් කළාම ස්ත්‍රීන්ම ඒවාට එරෙහි වෙන්නෙ ඔවුන් සිටින්නෙ අර පුරුෂයාගේ අසහාය බලය පිළිබඳ අවුරුදු  සියදාස් ගාණක් තිස්සෙ ගොඩනැගුණු සාම්ප්‍රදායික මතවාදය තුළ නිසා. අනාගතයේ මතවාදවල යම් ආකාරයක සුබවාදී ඛණ්ඩනයක් සිදුකිරීම සඳහා අපි සාමුහිකව අරගල කරන්න ඕන.

 

මේ වන විට ඔබ නාඳුනන ගැහැනිය, පිටුවහල් කළ තරුණිය, ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය, මධු සමය අහිමි මංගල්‍යය, සමනල මරණය කියන කෘති සමාජගත කරල තියෙනවා. ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය හැරුණම අනෙකුත් කෘති සියල්ල බැලූ බැල්මට කෙටි කතා. නමුත් කෙටි කතාමත් නෙවෙයි. ඔබ සඳහන් කරන්නෙ අත්දැකීම් විදියට. ඒ වගේම ඔබට චෝදනාවක් තියෙනවා සාහිත්‍ය රීති නොතකන ලේඛිකාවක් විදියට. මේ ගැන මොකද හිතන්නේ ?

මගේ කෘතිවල එන හැම කතාවක්ම මේ සමාජයේ ඇත්ත අත්දැකීම්. මම ඇසු දුටු නැත්නම් මම වින්ද අත්දැකීම්. ඒ අත්දැකීම් තුළින් මං ලබන කම්පනය සහ ඒ සම්බන්ධ මගේ මතවාදය තමයි මේ නිර්මාණ හරහා මතුවෙන්නෙ.

පැහැදිලිවම මගේ සාහිත්‍ය භාවිතාවේ වෙනස්කමක් තියෙනවා. මගේ නිර්මාණ සාම්ප්‍රදායික සාහිත්‍ය රාමුවකට රිංගවන්න අමාරුයි. ඇත්තටම මම නිර්මාණකරණයේ යෙදීමේ අවශ්‍යතාවයෙන් ලියනව නෙවි. මම කොහොමටත් ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් විදියට දිගටම වැඩ කරපු කෙනෙක්. 88 ඉඳල මේ දක්වා ස්වාධීන පුවත්පත්  කලාවේදිනියක්. මට අවශ්‍ය වෙලා තියෙන්නෙ අසාධාරණයට, වෙනස් ලෙස සැලකීමට, කොන් කිරීමට, ප්‍රචණ්ඩත්වයට ලක්වූවන් වෙනුවෙන් සහ හඬක් නැති ස්ත්‍රීය වෙනුවෙන්, සමාජ කොටස් වෙනුවෙන් හඬක් නගන්න. ඔවුන්ගේ අයිතීන් හිමිකර දීම හා ඔවුන්ට යුක්තිය ඉටු කරදීම වෙනුවෙන් මතයක් ගොඩනගන්න. ගෘහස්ත වේවා, සමාජමය වේවා ප්‍රචණ්ඩත්වයට එරෙහිව මගේ දේශපාලනික මතවාදය ඉදිරිපත් කරන්න,  ඒ ප්‍රචණ්ඩත්වය තුනී කරල පීඩාවට පත් ජන කොටසට සාධාරණයක් ඉෂ්ටවෙන සමාජ ක්‍රමයක් ගොඩනගන්න, ඒ වෙනුවෙනුයි මම ලේඛනයේ යෙදෙන්නෙ. මට සමහරු චෝදනා කරනවා සාහිත්‍යකාරියක් වෙන්න පුළුවන්ද ස්ත්‍රීවාදී විලංගුව දාගෙන කියල. එය තැකිය යුතු චෝදනාවක් විදියට මම දකින්නෙ නැහැ. මම පැහැදිලිව කියනවා මගේ ලේඛනය දේශපාලනිකයි. මම පැහැදිලි දේශපාලන අරමුණක් ඇතිව ලියන්නෙ.

තමන් කැමති වස්තුබීජයන් කලා කෘතිවලට අරගන්න ඕනම කෙනෙකුට නිදහස තියෙනවනේ. මම කැමති දේවල් මම ලියනවා. තව කෙනෙක්ට එයා කැමති දේ ලියන්න පුළුවන්. මගේ ලේඛනයේ අඩුපාඩු සහ මතවාදී ඌණතා සාකච්ඡා කරමින් එය සංවර්ධනය සඳහා කෙරෙන්නාවූ සංවාදයක් මිස අනිත් කිසිම දෙයක් මම තකන්නෙ නැහැ. ඒවා ඉතාම සම්ප්‍රදායික, ඉතාම මුග්ධ දේවල්.  නිසි විචාරයක් නැහැ. ලංකාවෙ ඕනම දෙයක් සම්බන්ධයෙන් එහෙමයි. මගේ කෘතින් සම්බන්ධයෙන් විතරක් නෙවි. විශේෂයෙන් ස්ත්‍රීන් යමක් කළාම ලිංගිකත්වය ගැන කතා කළාම බොහොම අනතුරුදායකයි ලැබෙන ප්‍රතිචාර. ප්‍රතිචාර හා විවේචනලටත් වඩා නිශ්ශබ්දතාවය තමයි දරන්නම බැරි. හොඳ ප්‍රගතිශීලී කොටස්, විකල්පයි කියන මාධ්‍ය ආයතන පවා මගේ කෘති සම්බන්ධව ඉතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒක ඉතාම සැහැසි තත්වයක්. නිහඬව මරා දානව වගේ තත්වයක්.

මම සැහැල්ලුව අදහස් පළ කරනවා. හැබැයි සැහැල්ලුව අදහස් පළ කළාට එය සමාජගත කරන එක සැහැල්ලු වැඩක් නෙවෙයි. අපි සමාජය ස්පර්ශ කරල ලබන දේ ලියන්නෙ හුදකලාව. එය නැවත සමාජගත කරද්දි, අනිත් සමාජයේ සංවේදී කොටස්වල දේශපාලන කණ්ඩායම්වල සහයෝගය අවශ්‍යයයි.

 

පාලන තන්ත්‍රය පිළිබඳ පැහැදිලි විවේචනයක් ඔබේ සෑම කෘතියකම ඇතුළත්. විශේෂයෙන්ම යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය සම්බන්ධයෙන්. ලංකාවෙ දේශපාලනයේ වර්තමාන තත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

අපේ රට යටත්විජිත වාදයෙන් මිදිලා දේශීය පාලක පන්තියක් අතට බලය ලැබෙන්නෙ අධිරාජ්‍යවාදීන් සමඟ ඇති වුණු යම් සම්මුතියක් අනුව. නිදහස් අරගල තුළින් නෙමෙයි ලංකාවෙ පාලන තන්ත්‍රය වෙනස් වෙන්නෙ. අපේ සමාජයට දේශපාලන අරගල පිළිබඳ හරි, දේශපාලන නිදහස පිළිබඳ එහෙම සංජානනයක්, සවිඥානකත්වයක් නැහැ. දේශපාලන වශයෙන් සමාජානුයෝජනය ඉතාම පහළ මට්ටමක තියෙන්නෙ. දේශපාලන වශයෙන් මේ සමාජය නවීකරණය වෙලා නැහැ. මොකද අපේ රටවල්වල වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන්නෙ කෘතිම ආකාරයකට. යුරෝපයෙ සිද්ද වුණා වගේ ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. අධිරාජ්‍යවාදී අවශ්‍යතා අනුව ඔවුන්ගේ රටවල තිබුණූ කිසියම් දේශපාලන ආකෘතියක් මෙහාට ගලප්පගද්දි සිද්දවුනු විකෘතිතාවන් එක්ක තමයි අපේ රාජ්‍ය තුළ දේශපාලන ගමන ආරම්භ වෙන්නෙ.

ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි වාර්ගික ප්‍රචණ්ඩත්වය මේ රටේ ඇතිවෙන්නෙ. මේ විකෘති වෙච්ච දේශපාලන සමාජයක දශක ගණනාවකට පස්සෙ බිහිවෙන මනුෂ්‍ය වර්ගයට අයිති කෙනෙක් හැටියට මම විශ්වාස කරනවා, පාලකයන් පාලිතයින්ට එරෙහිව හෝ එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයකට විරුද්ධව හෝ එක් මනුෂ්‍ය කොට්ඨාශයක් තවත් මනුෂ්‍ය කොට්ඨාශයකට එරෙහිව, ස්ත්‍රීන් පුරුෂයන්ට එරෙහිව හෝ පුරුෂයන් ස්ත්‍රීන්ට එරෙහිව, වැඩිහිටියන් දරුවන්ට එරෙහිව හෝ සිදු කරනු ලබන ප්‍රචණ්ඩත්වයන් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධයන් හැටියට. එතකොට මගේ ප්‍රවේශයම මම ගන්නෙ ලේඛනයෙදි මේ සාපරාධයට එරෙහිව හඬක් නගන්න. මේ හඬ නගන්නෙ ඇත්තටම දේශපාලන වශයෙන් නොදියුණු දේශපාලන හා සමාජ සංස්කෘතියක් ඇතුළෙ ඉඳන්. දේශපාලනය යම් ආකාරයක කියවා ගැනීමක් කළ, යම් ආකාරයක ශාස්ත්‍රීයව සහ විද්‍යාත්මකව හදාරපු සහ හදාරමින් සිටින කෙනෙක් හැටියට.

දශක තුනක් විතර තිබුණු වාර්ගික අර්බුදයක් ඉතාම රළු විදියට රාජ්‍ය පාර්ශවයෙන් මැදිහත් වෙලා දරුණුම ප්‍රචණ්ඩ බලයක් යොදලා තාවකාලිකව ඒකෙ අවසානයක් සිද්ද කළත්, මතුපිට භෞතික ප්‍රහාරයන් නතර වෙලා දැන් අවුරුදු පහක් ගත වුණත්, මේ ක්‍රියාවලිය තුළ ජනවර්ග අතර බිඳවැටුණු මානුෂික බැඳීම් ගොඩනැංවීමක් සිද්දවෙලා නැහැ මේ දක්වා. ඒ අර්බුදය පැන නගින්නේම දශක ගණනාවක් පුරා තමන්ට සිදුවුනු දේශපාලනික අසාධාරණකම්වලට එරෙහිව. දකුණෙ තරුණයනුත් ආයුධ ගත්තා. උතුරෙ තරුණයනුත් ආයුධ ගත්තා. රාජ්‍යයට එරෙහිව පාලක පන්තියට එරෙහිව කරපු අරගලයක් ඉතාම දැඩි ලෙස මර්දනය කළා උතුරෙත්, දකුණෙත්. මම මනුෂ්‍යයෙක් හැටියට ගැහැනියක් හැටියට මේ අතිශය බිහිසුණු මනුෂ්‍ය සංහාරයට එරෙහිව මනුෂ්‍යත්වය පාර්ශවයේ ඉඳන් තමයි පෙනී සිටියෙ. දකුණේ සහ උතුරේ මර්දනයට එරෙහිව මතවාද ප්‍රකාශ කරමින් මම දේශපාලනයක නිරත වෙනවා. හුඟක් අය කතා කරන්න අකමැති, හුඟක් අය කතා කරන්න බය සහ හුඟක් ආය ජාතිවාදී ආස්ථානයකින් මේ ප්‍රශ්නය විග්‍රහ කරද්දි මේ දිහා මානුෂියව බලන්නත්, මේ ප්‍රශ්නය දේශපාලන වශයෙන් විග්‍රහ කරගන්නත් හැකියාව තිබුණු නිසා තමයි මගේ ලේඛනයෙදි මම යුද්ධයට එරෙහි කතිකාවක් ඇති කරන්න උත්සාහ කරන්නෙ.මේ ගැන සමාජ සංවාදයක් මතු කරල මානුෂීය සම්බන්ධතා ගොඩනැගීම හා රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය අහෝසි කිරීම තමයි මගේ අරමුණ වෙන්නෙ.

එතකොට පහුගිය අවුරුදු පහ තුළම යුද්ධයේ බිහිසුණු අත්දැකීම් අතිඋදාර වීරත්වයක් ලෙස සැමරුවා.  මේ 2015 ජනවාරි 08 වෙනිදයින් පස්සෙ කවුරුහරි හිතනවනම් අළුත් සංහිඳියාවක් ඇති වෙලා, දේශපාලන වෙනසක් ඇති වෙලා කියල මම ඒක පිළිගන්නෙ නෑ. මතුපිටින් පේන චිත්‍රයක් අපිට තියෙනවා. කිසියම් විදියකට නව ආණ්ඩුව පිහිටුවීමේදී, නව ජනාධිපතිවරයා පත් කරගැනීමේදී උතුරෙ ජනතාවගෙ සහයෝගිතාවයක් ලැබුණා. හැබැයි මැයි 19 වෙනිදා යුද සැමරුම් උළෙල මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය ඉතාම ජාතිවාදී වැඩපිළිවෙලට එරෙහිව ප්‍රබල මැදිහත්වීමක් දේශපාලනිකව කරන්න මේ රජය සහ අලුත් ජනාධිපතිවරයා අපොහොසත් වුණා. ඔවුන් නැවත සිදු කළේ අර හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගිය ඒ කෝවටම වැටිලා සිංහල සමාජයට පෙන්නුම් කිරීම දැන් අපිත් මේ යුද සැමරුම අගයනවා. අපි මේ රණවිරුවන් අගයනවා කියල.

රණවිරුවන් කියන්නෙ කවුද මේ රටේ අහිංසක පීඩිත පන්තියට අයිති, අඩු අධ්‍යාපන සුදුසුකම් තියෙන ග්‍රාමීය තරුණයො. තමන්ගෙ පැවැත්ම සඳහා යුද්දය පවත්වාගෙන යන පාලක පන්තියෙ උවමනා එපාකම් තමයි මේ අහිංසක ග්‍රාමීය තරුණයන් බිලිගන්නෙ.  සමනල මරණය කෘතියේ සමනල මරණය කතාව හරහා මේ ඛේදවාචකය තමයි කතා කරන්නෙ. ඒ කෘතියෙම එන වැන්දඹුවගේ සංවාදය කතාව සහ රාජේවශ්වරී මෙනවියගේ උරුමය සහ නගරයේ ආදරවන්තයා කියන කතාවල එන්නෙ යුද්දය නිසා සමාජයේ එක් මානව කණ්ඩායමකට සිදුවුණු මානසික හිංසනය, පීඩාව, අතවරය, ඔවුන් සුළු කොට තැකීම. මේ කිසිවකට සාධාරණය ඉෂ්ට වෙන්නෙ නෑ යුද සැමරුමකින්. පසුගිය රජය කළ තරම් මහා පරිමාණයෙන් වියදම් නොකළට, ප්‍රදර්ශන භාවිතය අඩුවුණාට  ඒ ජාතිවාදී උන්නතිකාමය මොවුන් තුළත් තියෙනවා. ඒක මේ යුධ සැමරුම තුළ මට විශේෂයෙන් දැණුනා. ලංකාව දේශපාලනික වශයෙන් නවීකරණය වෙලා නැති නිසා ඕනෑම වෙලාවක පාලක පන්තියට පුළුවන් ජාති වාදය මුල්කරගෙන සමාජය අවතැන් කරන්න. තමන්ගෙ බලය වෙනුවෙන් සමාජය නොමග යවන්න. ඒ ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ඒ ක්‍රියාවලිය අවසන් වෙන්න නම් මේ ගෝත්‍රවාදයට පිටතින් ඇත්තටම සබුද්ධික ඉතාම ප්‍රබල මැදිහත්වීමක් මාධ්‍ය හරහා, සිවිල් සමාජ සංවිධාන, සංවේදී මිනිසුන් හරහා ගොඩනැගිය යුතු වෙනවා.

මම ඉල්ලා සිටින්න කැමතියි සමනල මරණය හා වැන්දඹුවගේ සංවාදය කියන කතා හරහා මම ගොඩනගන්න උත්සාහ කරන මනුෂ්‍යත්වය වෙනුවෙන් ප්‍රබලව මැදිහත් වෙන්න කියල. වචනවලට සීමා නොවී  උතුරත් දකුණත් අතර මනුෂ්‍යත්වය නැවත මුණගස්වන වැඩපිලිවෙලකට අපි යන්න ඕන. අපට පැහැදිලි දේශපාලන දැක්මක් තියෙන්න ඕන. අපි කතා කරන භාෂාවන් වෙනස් වුණාට, අපේ සංස්කෘතිය වෙනස් වුණාට අපි එකම මානව වර්ගයට අයිති බව තේරුම්ගන්න ඕන. අසාධාරණයට ලක්වුණු, ප්‍රචණ්ඩත්වයට ලක්වුණු මිනිසුන්ගෙ ජීවිතවලට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් වන කොටසකට අයිතියක් නැහැ අඩු ප්‍රතිශතයක්  වන ජන කොටසකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරුවන්න.

අද තියෙන තත්වය තුළින් වඩා යහපත් දේශපාලන තත්වයක් ගොඩනැගෙයි කියා විශ්වාසයක් මට නැහැ. මේ ධනේෂ්වර රාජ්‍යයකට තම පැවැත්ම වෙනුවෙන් හමුදාව පොලිසිය අවශ්‍යයයි. ඔවුන්ට පවතින්න අවශ්‍යම දෙයක් තමයි සමාජ බෙදීම්, වාර්ගික බෙදීම්. එය පාලකයින්ට ඉතාම හොඳ සුරක්ෂිත දේශපාලන පැවැත්මක් තහවුරු කරනවා. දේශපාලනිකව නොදියුණු සමාජයක තත්වය ඒකයි. වර්තමාන යහපාලන රජය එතනින් ඉදිරියට එනවයි කියල හිතන්න සාධක නැහැ. දේශපාලඥයින් පුරවැසියන්ව ඉතාම පහසුවෙන් අන්දවන දේශපාලන සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. මම සහ අපි, මම සහ අපි 2 ප්‍රහසන ප්‍රබන්ධය හරහා මම මේ ඇන්දවීමට එරෙහිව සාකච්ඡාවක් ගොඩනගන්න උත්සාහ කරනවා. මං දන්නවා ලාංකීය සමාජය තුළ මට අඛණ්ඩව මම සහ අපි ප්‍රහසන ප්‍රබන්ධ රචනා කරන්න පුළුවන් කියා. මොකද සෑම ධනේෂ්වර ආණ්ඩුවක්ම සමාජය අන්දන නිසා හා සමාජය ඇන්දී සිටින නිසා.

 

වසර 30 කට ආසන්න කාලයක් ලේඛිකාවක් විදියට කටයුතු කරන ඔබ ගේ වර්තමාන ලේඛන ජීවිතය ගතවෙන්නෙ කොහොමද?

මෑත කාලෙ අවුරුද්දක් හමාරක්ම මොකුත් ලියවුණේ නැහැ. මාස හයක් විතර දැඩි අසනීප තත්වයෙන් ප්‍රතිකාර ගනිමින් හිටියෙ.

මම නිර්මාණකරණයේ යෙදෙන්නියක් පමණක් නෙවෙයි දේශපාලන ලිපි ලියන්නියක්. හුඟක් අය අමතක කරන දෙයක් ලංකාවේ සිදුවන දේශපාලන ක්‍රියාවලියත් එක්ක දිගින් දිගටම මම දේශපාලන රචිකාවියක් හැටියට ඉන්න බව. පසුගිය දවස්වල මම නිදහස පුවත්පත හරහා ලාංකීය දේශපාලනයේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳ සංවාදයට සම්බන්ධ වුණා. යුද්ධය නිමවුණාට පස්සෙ දෘශ්‍යමාන ප්‍රහාර නතර වුණා. නමුත් දෙමළ මිනිසුන්ට එරෙහි මර්දනය නතර වුණේ නැහැ. 

2009 මැයි වලින් පස්සෙ මහින්ද රාජපක්ෂ රජය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා උතුරු වසන්තය කියල එතකොට මම හුදකලාවම ගියා යාපනයට. එහෙ නැවතිල ඇවිදල, මිනිසුන්ගේ සැබෑ ජීවිතය ගැන අත්දැකීමෙන් ලිපි පෙළක්ම ලිව්වා ‘‘උතුරු වසන්තය සමඟ හුදකලා වූ යාපනය“ කියල. ඒ වගේම ආසියාවේ ආශ්චර්ය කියා මහින්ද රාජපක්ෂ ලංකාව හඳුන්වද්දි ‘‘ආසියාවේ ආශ්චර්යයේ උතුරු කොණ“ කියල මම ලිව්වා. ‘‘රාජ්‍යයේ මර්දනය අබිමුව කම්කරු පංතියේ ඓතිහාසික නොනිමි අරගලය“ කියා කටුනායක කම්කරු අරගලයේ රොෂේන් චානක ඝාතනයේදී මම ලිව්වා. මම හුදකලාවම රොෂේන්ගේ අවමංගල්‍යයට සහභාගි වුණේ ඔහුගේ මරණය වට කරගෙන සිටි හමුදා වළල්ල බිඳගෙන ඇතුළු වෙලා. දැනට වසර කිහිපයකට උඩදි ඝාතනය කළ සරසවි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යයන් කළ අරගලවලට මං සහය දුන්නා. මානව හිමිකම්  සහ යුක්තිය වෙනුවෙන් උතුරේත් දකුණේත් සමස්තයක් ලෙසට රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට, මුග්ධත්වයට, මර්දනයට එරෙහිව මම පෙනී සිටිනවා. දැඩි මර්දනකාරී වටපිටාවක බොහෝ දෙනෙක් ලියන්න බියවෙද්දි, බොහෝ අය රටින් පලාගිය තත්වයක් තුළ, බොහෝ අය කතා නොකරන තත්වයක් තුළ මම දිගින් දිගටම රාජ්‍යය තුළ සිදුවන දේශපාලන මර්දන ක්‍රියාවලියට එරෙහිව, 18 වැනි සංශෝධනයට එරෙහිව ලිපි ලියමින් මට ඉඩ ලැබෙන තැන්වල පළ කරමින්,  දිගටම ලේඛනයේ යෙදුණා. මට අදහස් පළ කරන්න බොහෝ තැන්වල ඉඩ දෙන්නෑ. මගේ අදහස් ඇතැම් තැන්වලින් ප්‍රතික්ෂේප කරද්දි  මම කොහොමහරි අවකාශයක් සලසාගන්නවා ඒ අදහස් ප්‍රකාශනයට.

අවසාන වශයෙන් මම ලිව්වෙ ස්ත්‍රීන්ගේ අයිතීන් පිළිබඳ දේශපාලන සංවාදයක්.  ඒක ජනරළ පත්තරේ පළවුණා.  ඒ ලියවිල්ලෙ අරමුණ ස්ත්‍රීය පිළිබඳ නව සිතාබැලීමකට කතිකාවක් ඇති කිරීම. එතනින් පස්සෙ කිසිවක් මම ලේඛනගත කළේ නැහැ. නමුත් ඒකෙ තේරුම මම නොලිය ඉන්නව නෙවි. නාඳුණන ගැහැණිය විණාඩි 20 කින් ලියවුණේ මම අවුරුදු ගාණක් තිස්සෙ හිතින් ලියමින් හිටිය එක. ලංකාවෙ සහ ලෝකයේ සිද්දවෙන  ආර්ථික, දේශපාලන, සංස්කෘතික ක්‍රියාවලිය සමඟ මම නිරන්තර සංවාදයක යෙදිල ඉන්නවා. ඉතින් ඉදිරියෙදි ඒක ලේඛනගත වෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ ප්‍රකාශන සමාජගත කරන්නෙ කොහොමද කියන එක.

මම පොත්වලින් හම්බ කරල නැහැ. මුදල් බලාගෙන පොත් ලියන්නෙත් නැහැ. මගේ මුල් කෘතීන් මිළ කලේ රු. 40 ක් වැනි මුදලකට. මුද්‍රණ වියදම පියවාගැනීම සඳහා පමණයි. මං ලියන පොත් මේ සංස්කෘතික රාමුව ඇතුළෙ විකිණෙන්නෙත් නැහැ. පොත් සාප්පු විකුණන්න බාරගන්නෙත් නැහැ. නමුත් මං පොත් ලියමින් ප්‍රකාශනය කරනවා. මුද්‍රණ වියදම පියවගත්තොත් මට තව පොතක් කරන්න පුළුවන්.

නාඳුනන ගැහැණිය කෘතිය දෙවන මුද්‍රණය කරල අවුරුදු දෙකක් ගත වෙනවා.. ඒ අවුරුදු දෙකකට කිට්ටු කාලය තුළ ඒ ගැන නිසි සංවාදයක් ගොඩනැගුණෙ නැහැ. මගේ ලේඛන හරහා ඉස්මතු කිරීමට වෑයම් කරන මතවාදී කරුණු පිළිබඳ නැවත සංවාදයක් ගොඩනගන්න මං ඔබට ආරාධනා කරනවා.

 

 හෘද සංවාදය - තරුරසී