Sunday, October 9, 2016

තරු පිරි අහස යට...



අන්ධකාරයට පෙම් බැඳුණු වෙරළ වැළඳගන්නා සයුරු රළ දෑසට නොපෙණුනත් හෝ හෝ හඬ සවනට ඇසෙමින් තිබුණා. මුහුද දෙසින් හමා ආ පවන් රැළි ලෝබ නැතිවම සීත කරදිය බිඳිති දෝතටම අරගෙන අප වටා එතුණා. බිඳුණු අරුංගල් පෙත්තක් වගේ හඳ තීරුවත්, පිච්ච මල් අහුරක් වගේ තරු පොකුරකුත් පෙරටුකර ගත් අහස  සුවිසල් සිත්තමක් වගේ දෑස් ඉදිරියේ නිරාවරණය වුණා. වප් මහේ 09 වෙනි සෙනසුරාදා රාත්‍රිය හතේ කණිසමට ආසන්නයෙන්. අපි උන්නෙ කැපුම්ගොඩ පල්ලිය ඉදිරිපස.. ඒ දුන්ගාල්පිටිය දිසාවෙ ළක්‍රිවි අනුශාසකවරුන්ගෙ එකතුවක්... කාලෙකින් පුරා දවසක්ම ළමුන්, දෙමව්පියන් සහ නව යෞවන යෞවනියන් සමඟ ජීවිතය බෙදා ගැනීමේ සතුට ජීවිතය අලුත් කරමින් තිබුණු මොහොතක්... 

ආරම්භය ම ගීතයකින්... ගිතාර තාලය නිලූෂන් පියතුමාගෙන්... 

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු... 

කතා බහ යොමුවුණේ ළක්‍රිවී සමඟ ගෙවුණු අපේ ජීවිතය ගැන. ළමුන් සමඟ කළ වැඩ අපේ ජීවිත ගොඩනගන්නට කොතරම් පන්නරයක්  වූවා ද යන වග...

‘‘අපි ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා කැප වී සිටින පුංචි මිනිස්සු වෙමු. අරමුණෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය නිසාම ඒ ශ්‍රේෂ්ඨත්වයෙන් බිඳක් අප තුළටද ආරෝපණය වෙයි.‘‘ ජවහර්ලාල් නේරු කියමන මට සිහිපත් වුණේ. අතීතයේ අනුශාසකවරුන් සමග කතා බහේදි මං නිතර මතු කළ කියමනක් ඒ... ඒ හැම වතාවකම මට කියන්න උවමනා වුණේ මහා වීරවරයො නොවුණත්, ලෝකයක් කතා කරන ජනප්‍රිය මිනිස්සු නොවුණත් දරුවන්ට ආදරෙන් දරුවන් වෙනුවෙන් වැඩ කරන  තරුණ තරුණියන්ගේ ජීවිත කොයිතරම් වටිනවද කියන කාරණය... 

ළමුන් සමඟ වැඩ කිරීම ඉතාම සරල, පුංචි වැඩක් විදියට පේනව ඇති සමාජයට‍. සින්දු කියන, සෙල්ලම් කරන, කෑම හදන, දන්සැල් දෙන, පොත් කියවන සෙල්ලම් සමිතියක් විදියටනෙ බැලු බැල්මට ළක්‍රිවිය පේන්නෙ. නමුත් ඒ පුංචි පුංචි වැඩ නිසා ළමා ජීවිතවලට එකතු වෙන ආලෝකය කොයි තරම්ද? එය අනාගත වැඩිහිටියෙක් වන ළමා මනස යහපත් විදියට ගොඩනගන්න කොයි තරම් දායකත්වයක් දෙනවද? එයට අපේ ජීවිතම වුණත් උදාහරණනෙ. 

‘‘මටත් අත්දැකීමක් තියෙනවා ෆාද බෙදාගන්න. මං හිතනවා අලුත් නංගිල මල්ලිලට මගේ මේ කතාව ආදර්ශයක් වේවි කියල..‘‘ ඒ ප්‍රවේශය නිදූගෙන්... 

‘‘මම සාමාන්‍ය පෙළවත් පාස් නෑ. වැඩ තුනයි. මං කරන්නෙත් සාමාන්‍ය රස්සාවක් ඔයාල දන්නවා. හරියට ඉගෙනගන්නෙත් නැති, සෙල්ලක්කාර ළමයෙක් විදියට තමයි මුලදි මම ළක්‍රිවි සමිතියෙත් උන්නෙ. ඒ හින්දම මං තනිවුණ අවස්ථාත් තිබුණා. ඒත් මම ළක්‍රිවි සමිතිය දාලා ගියෙ නැහැ. කාලයක් සමිතියෙ ඉඳල මම අනුශාසක කෙනෙක් වුණා. එක වැඩසටහනකදි මට ළමයි කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණා. එදා වැඩසටහන නිම වෙලා යද්දි ඒ නංගිල මල්ලිලා ඇවිල්ලා මට වැන්දා. එදා මට මං ගැනම පුදුම හිතුණා. මගෙ ඇස්වල කඳුළු පිරුණා. ඒ තරම් වටිනාකමක්, ගෞරවයක් මට ලැබුණෙ ළක්‍රිවිය නිසා නේද කියල හිතුණා. ටිකෙන් ටික මම ළක්‍රිවිය තුළ වගකීම් භාර අරගෙන වැඩ කරන්න පුරුදු වුණා. ළක්‍රිවිය තුළ මට ලොකු ආදරයක් ලැබුණා. පිළිගැනීමක් ලැබුණා. මං හිතනවා මගේ ජීවිතයට ළක්‍රිවියෙන් ලැබුණු මගපෙන්වීම නිසයි අද මම මේ විදියට ඉන්නෙ කියල...‘‘

මේ ලිවිල්ලට වඩා හරිම සංවේදියි නිදූගෙ කතාව. ඒ හැඟීම්බර බව ලිවිල්ලකට ගන්න හරිම අමාරුයි. මෙවැනි ජීවිත අත්දැකීම් මම කොතෙකුත් අහල තියෙනවා. මට ම වුණත් කියන්න කොයි තරම් කතා තියෙනවද?

ළමයින් එක්ක වැඩ කිරීමෙදි ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැරි බව මට නිතරම සිහිපත් වෙන කාරණයක්. අද අපි කියන දෙයක්, දරුවන් එක්ක එකතුවෙලා කරන වැඩක් යහපත් සිතුවිල්ලක්, ක්‍රියාවක්, අධිෂ්ඨානයක් විදියට ආපහු මතුවෙන්නෙ සමහර විට ඒ දරුවා වැඩිහිටියෙක් වුණ දවසක වෙන්න පුලුවනි.    

පුංචි කාලෙ ළක්‍රිවී ළමයෙක් විදියට ඉද්දි මං වුණත් හිතුවෙ නැහැනෙ මගෙ ජීවිතයට මේ තරම් බලපෑමක් කරන්න, මාව ගොඩනගන්න ළක්‍රිවිය බලපෑම් සහගත සාධකයක් වේවි කියල. නිදූගෙ කතාව ලියල තියන්න හිතුණෙ ඉසබෙල් අයියන්දේ කිව්ව වගේ මතකයන් කාලයේ වැලි තලාවෙන් වැසී නොයාමට... සමුදුරු ගීතය, සීතල සුළඟ, තරු පිරි අහස යට අපි කතා බහ කළ දෑ කාලයේ වැලි තලාවෙන් වැසී නොයාමට...  


4 comments:

  1. නිදූගේ කතාව ළමා ක්‍රියාකාරීන්ටත් වඩා වැඩිහිටි අක්‍රියශීලි අයට වටිනවා.. අගෙයි.. මෙය ලියා තැබුවාට ස්තූතියි!

    ReplyDelete
  2. මේ ලගඳි මට මගේ පාසල් කාලයේ උන් ගුරුවරියක් හමුවුණා. ඇය ඉතා වේගයෙන් ගමන් කලේ. ඇය පසුපසින් පාසල් ශිෂ්‍යාවක් ගමන් කලා. ඇයට එම ගුරුවරියත් එක්ක හරි හරියට ඇවිදගෙන යන්න බැරිව දුවගෙන යන මට්ටමෙන් තමා ගමන් කලේ. විශ්‍රාම යන්නටත් කිට්ටු එම ගුරුවරියගේ හැසිරීම එදා පාසලේ දුටුව පරිදිමයි. ඒ ගුරුවරුන්ගෙ හැටි වෙන්න ඇති කියල මට හිකුනා.

    ReplyDelete
  3. ළමයි වෙනුවෙන් කරන ආයෝජනය තමයි හොඳම ආයෝජනය.එකේ ප්‍රතිලාභ මුළු මහත් ලෝකයටමයි.
    අක්කලාගේ " ළක්‍රිවී" කරන්නෙත් ඒ විදියේ පලබර ආයෝජනයක්.

    ReplyDelete
  4. ස්තුතියි තරු රසී මෙවැනි සටහන් ලියා තබනවට..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...